Advocata පර්යේෂණ අංශයේ ප්‍රතිපත්ති විශ්ලේෂක අනුෂ්ක කුරුප්පුගේ අධ්‍යයනයක් ඇසුරිනි. ලිපිය සම්පාදනය දිල්මිණී අබේරත්න විසිනි.
ඔයත් ලංකාවේ ගෙයක් හදන්න ඉන්නවා නම්, මේ සටහන මග ඇරගන්න එපා. ඔයාලා දන්නවද ලංකාවේ ලේසියෙන් තමන්ටම කියලා ගෙයක් හදන්න බැරි මොකක් හින්දද කියලා? මේ සම්බන්ධයෙන් බොහෝ දුරට අහන්න ලැබෙන්නේ දේශපාලනික උත්තර. හැබැයි අද අපි හෙළි කරනවා ඇත්තම හේතුව. ලංකාව මේ වෙද්දි ලෝකයෙන්ම දැරිය නොහැකි මට්ටමක නිවාස මිල ගණන් ඉහළ ගිය රටක්. රස්සාවක් කරන්න, ළමයි පාසල් යවන්න ආදී බොහෝ දේවල්වලට තමන්ගෙම කියලා ගෙයක් තියෙන එක වටිනවා. ඒත් අද වෙනකොට ලංකාවේ නිවාස සිහිනය බොඳ වෙමින් යනවා. මිනිස්සු කාලයක් තිස්සේ කුලී ගෙවල්වල හිරවෙලා.
නිවාස ප්‍රශ්නයට හේතුව නිර්මාණය කළේ ලංකාවමයි
පළවෙනියටම කියන්න ඕන. ලංකාවේ අපිට ගෙයක් හදන එක, එහෙම නැත්නම් මිලට ගන්න එක මිල අධික, අපහසු වැඩක් වෙලා තියෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුව නිසාවත්, කලාපීය යුද්ධයක් නිසාවත් නෙවෙයි. භාණ්ඩ මිල ගණන් වැඩි වෙන්න ඒවා හේතු වුණත්, අපේ ප්‍රශ්නෙට තියෙන්නේ වෙනම හේතුවක්. ඒ තමයි දේශීය නිෂ්පාදකයො ආරක්ෂා කරන්න කියලා හිතාගෙන පනවන බදු සහ වෙළද බාධක. මේ නිසා මිලියන ගණනක මිනිස්සුන්ට තමන්ගේ රට ඇතුලෙම හිසට සෙවණක් ලබා ගන්න බැරිවෙලා තියෙනවා. එහෙම බැලුවාම නිවාස ප්‍රශ්නයට හේතුව රට ඇතුලෙම නිර්මාණය වුණ එකක්.
Image by PublicDomainPictures from Pixabay
දේශීය නිෂ්පාදකයා නඟා සිටුවමුද?
දේශීය නිෂ්පාදකයො ආරක්ෂා කරන්න කියලා හිතාගෙන විදේශීය සැපයුම්කරුවන් මත පනවන බදු සහ වෙළද බාධකවලට අපි පොදුවේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග කියලා කියනවා. විදේශීය නිෂ්පාදකයන් මත ආරක්ෂණවාදී බදු පැනව්වම, ඔවුන් සපයන භාණ්ඩවල මිල ගණන් දේශීය නිෂ්පාදනවලට වඩා මිල අධිකයි.
කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ‘හා කමක් නෑ. අපි එහෙනම් දේශීය වෙළඳපළෙන් භාණ්ඩ මිලට ගන්නවා’ කියලා. ඇත්තටම බදු පැනවීමෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි.
Image by wal_172619 from Pixabay
ඒත් ඒ භාණ්ඩයම සපයන දේශීය නිෂ්පාදකයෝ ඉන්නේ සුළු ප්‍රමාණයක්. ඒ නිසා තරඟකාරී මිලක් ඇත්තේ නෑ. සීමිත දේශීය නිෂ්පාදකයෝ එක්කෝ ඒකාධිකාරියක් හරි කථිපයාධිකාරියක් හරි නිර්මාණය කරගන්නවා. සරලව කිව්වොත්, දේශීය නිෂ්පාදකයෝත් තමන්ගේ භාණ්ඩයේ මිල ඉහළ නංවනවා. ඒක විදේශීය භාණ්ඩයේ මිලට වඩා අඩු වුණත්, ඇත්තම වටිනාකමට වඩා වැඩි මිලක් මෙතනදි අය කෙරෙනවා. දේශීය නිෂ්පාදකයෝ ඉන්නෙත් ටික දෙනෙක් නිසා, ගුණත්වය පවත්වා ගැනීම, කාර්‍යක්ෂමතාව වගේ දේවලුත් බිඳ වැටෙනවා. මෙතනදි ඇත්තටම වෙන්නේ ලංකාව ඇතුලේ ඉන්න සුළුතරයක් නිෂ්පාදකයන්ට, එහෙම නැත්නම් සැපයුම්කරුවන්ට තමන්ගේ මඩිය තර කරගන්න පුළුවන් විදිහට වෙළඳපළ හැඩගැහෙන එක. ඒකෙන් පීඩාවට පත්වෙන්නේ බහුතරයක් වන නිවාස අහිමි ජනතාව.
දැරිය නොහැකි නිවාස මිල අතින් ලංකාව ආසියාවෙන්ම දෙවැනි තැනට
2026 මාර්තු මාසයේ ගෝලීය නිවාස දර්ශකයට අනුව නිවසක් ලබා ගැනීමට ඇති දැරිය නොහැකි මිල සැලකුවොත් ලංකාව ආසියාවෙන්ම දෙවැනි තැනට ඇවිත් තියෙනවා. ඒ තරමටම අමාරුයි ලංකාවේ ගෙයක් හදාගන්න එක. මේ කතාව 2025 හතරවෙනි කාර්තුවෙදි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරපු දේපල වෙළඳාම් හා වෙළඳපොළ විශ්ලේෂණයෙනුත් තහවුරු වෙනවා. දුකට කාරණය කොච්චර නිවාස මිල උද්ධමනයක් තිබ්බත්, මිනිසුන්ගේ පඩි වැඩි නොවෙන එක. ඒ නිසා ගෙයක් හදන එක මිරිඟුවක් හඹා යනවා වගේ. ළං වෙනවා කියලා හිතුවට ඒක කරන්න බෑ.
ඉලක්කම් කතා කරයි
ලංකාවේ සැබෑම සංඛ්‍යා දත්ත දිහා බැලුවොත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක මාසික ආදායම රුපියල් 76,414ක් වගේ අඩු අගයක්. මූලික පහසුකම් ටික විතරක් තියෙන සරලම ගණයේ නිවසක් ඉදි කරොත් ඒ වෙනුවෙන් වර්ග අඩියකට රුපියල් 5500ක් - රුපියල් 10,000 අතර මුදලක් වැය වෙනවා. එහෙම බැලුවහම මුලු මාසෙම පඩිය වියදම් කළත්, කෙනෙක්ට ඒකෙන් මිලට ගන්න පුළුවන් වෙන්නේ වර්ග අඩි දහයක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක්. තවදුරටත් මේක මේ වෙළඳපළේ තියෙන තාවකාලික උච්ඡාවචනයක් නෙවෙයි. ඇත්තම කතාව මූලික මිනිස් හිමිකමක් ඉටු කරගන්න බැරුව මිනිස්සු ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට පත්වෙලා. ඒකට හේතුව දැඩි ආරක්ෂණවාදී ලක්ෂණ පිරුණු ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්ති.
අපි සරල උදාහරණයක් ගත්තොත්, කොළඹදී හරි නුවරදි හරි සිමෙන්ති කොට්ටයක් විකුණන්නේ කීයටද? මොන මිලටද කියන එක තීරණය වෙන්නේ වරායෙදි. එතනදි මේ කියන නිෂ්පාදනවලට පැරා තීරු බදු එකතු වෙනවා. සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පහසුවෙන විදිහට, අපි මේ පැරා තීරුබදුවලට සැඟවුණු දේශසීමා බදු කියලා කියමු. නමුත් ඊට අදාළ නිශ්චිත යාන්ත්‍රණයන් ගැන අපි හොයා බලන්න ඕන. මේ බදු අතරට ගැනෙන්නේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) සහ ආනයන සෙස් (CESS) බද්දයි.
සම්මත රේගු බදු සහ සැඟවුණු දේශසීමා බදු
මේවා සම්මත රේගු බදු නෙවෙයි. සම්මත රේගු බදු කියන්නේ විනිවිදභාවයක් සහිත, කලාපීය නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ සාකච්ඡා කරලා වෙනස්කම් කරන්න පුළුවන් සහ ජාත්‍යන්තර වෙළඳ විනයට අනුකූල වන බදුවලට. ඒත් පැරා-තීරු බදු කියන්නේ සම්මත තීරුබදු මත පනවපු වෙනත් ස්ථරවලට. ඒවා විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වගේ වෙළඳ ගිවිසුම් මඟ අරින්නමයි. නිදහස් වෙළඳ ගිවිසුමක් යටතේ යම් භාණ්ඩයක් / අයිතමයක් ‘තීරුබදු-නිදහස්’ කියලා ලැයිස්තුගත කරලා තිබුණත්, තවමත් සමහර භාණ්ඩ / අයිතමවලට මේ කියන දේශසීමා බදු පනවලා මිල 100% ඉහළ දාන්න පුළුවන්කම තියෙනවා.
Negative List
සාමාන්‍යයෙන්ම නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹෙන රටවල් අතරේ වුණත් ඒ ගිවිසුම යටතේ negative list කියලා එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ ඒ ඒ රටවල් දෙකේ තියෙන සුළු පරිමාණ, ළදරු කර්මාන්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ ළඳරු කර්මාන්තවලින් නිපදවන භාණ්ඩ ගිවිසුමට යටත් කරගෙන නෑ. හැබැයි ලංකාවේ වෙන්නෙ negative list එකකින් ළඳරු කර්මාන්ත ආරක්ෂා කිරීම නෙවෙයි. මහා පරිමාණ කර්මාන්ත ආරක්ෂා කිරීම. ඒකෙන් වෙන්නේ වෙළඳපළේ විශාල හැකියාවක් තියෙන නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම.
රජයෙන් තමන්ට ඒ වගේ අසීමිත ආරක්ෂාවක් ලැබෙන නිසා මේ වගේ මහා පරිමාණ කර්මාන්තකරුවෝ තමන්ගේ ඵලදායිතාවය වැඩි කරගන්න, කාබන් විමෝචනය අඩු කරගන්න, ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගන්න තමන්ගේ අතිප්‍රමාණ ලාභ වියදම් කරන්නෑ. පැරා තීරු බදු ඉහළ මට්ටමක තබා ගන්න නිසා රජය ආනයනික ටයිල් හෝ සිමෙන්ති බෑගයක මිල කෘතිමව ඉහළ මට්ටමක තියාගෙනයි ඉන්නේ. එතකොට negative list එක හරහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහයෙන්, මහා පරිමාණ දේශීය කර්මාන්තකරුවෝතමන්ගේ සිල්ලර මිල උද්ධමනය ආනයනික භාණ්ඩවලට වඩා බොහොම පොඩ්ඩක් අඩුවෙන් තියාගන්නවා. අන්තිමට මේ වෙනුවෙන් අසාධාරණ මිල ගණන් ගෙවන්නේ සාමාන්‍ය මිනිස්සු. මොකද මේ වෙළඳපළේ කිසිම තරගකාරීත්වයක් නැහැ; අධිකාරීත්වයක් විතරයි තියෙන්නේ. ඒකෙන් බහුතර සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වෙලා දේශීය මහා පරිමාණ නිෂ්පාදකයන් සුළුතරයත් විතරක් අති දැවැන්ත ලාභ ලබමින් පෝසතුන් බවට පත්වෙනවා. ඔන්න ඔය නිසා තමයි ලංකාවේ අපිට ගෙයක් හදාගන්න මේ තරම් අමාරු.
ඇඩ්වොකාටා ආයතනයේ සොයාගැනීම්
Advocata ආයතනයේ අලුත්ම ඉදිකිරීම් අංශ විශ්ලේෂණයට අනුව, රජය ගොඩනැගිලි ද්‍රව්‍ය මත පනවලා තියෙන CESS සහ PAL බදු වහාම ඉවත් කළහොත්, සිමෙන්ති සහ වානේ වැනි මූලික භාණ්ඩ සඳහා සිල්ලර මිල එක රැයකින් 20% සිට 30% දක්වා පහත වැටෙනවා. මේ ප්‍රධාන ද්‍රව්‍ය පිරිවැයේ 25%ක පහත වැටීමක් කියන්නෙම ගෙයක් හදන එකේ මුළු පිරිවැයෙන් 18%ක අඩුවීමක් තියෙනවා. මධ්‍යම පාන්තික පවුලකට, මේ 18% කියලා කියන්නේ නිකම්ම නිකම් ඉලක්කමක් නෙවෙයි, තමන්ගේ ජීවිත කාලෙ පුරාවට හීන දැක්ක නිවසක් හිමි කර ගන්න තරමක් ලේසි වීමයි.
ගෝලීය වෙළඳපළ සහ ලංකාවේ වෙළඳපළ
2026 මුල් භාගයෙදි ලෝක ආර්ථිකයේ සහ දේශපාලනයේ ඇති වුණ ගැටළු නිසා ලන්ඩන් ලෝහ හුවමාරුවේ ඇලුමිනියම් මිල ගණන් 10% ඉහළ ගිහින්. ඒකට හේතු වෙලා තියෙන්නෙ බලශක්තිය ආශ්‍රිත ගැටළු සහ ගල්ෆ් කලාපයේ සැපයුම් මධ්‍යස්ථානවලට බාධා සිදුවීම. ඒ ඇරුණම දේශීය බලශක්ති පිරිවැය ඉහළ ගිය නිසා ඒ මත පදනම් වෙන සිමෙන්ති වගේ කර්මාන්තවල පිරිවැය ඉහළ ගිහින් තියෙනවා. කොහොමත් ලංකාව ඇලුමිනියම් නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ නිසා ගෝලීය මිල කම්පනය වළක්වන්න බැහැ. ඒකට අපිට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. කිසිම තරගකාරීත්වයක් නැති ලංකාවේ වෙළඳපළ මේ වගේ ගෝලීය තත්ත්වයකට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක බැලුවොත් ඇත්තටම ගෝලීය වෙළඳපොලේ ඇතිවුණේ අර්බුදය හින්දා දේශීය වශයෙන් මිල දරාගන්න බැරි මට්ටමකට ඉහළ ගියා. අපේ මිල ඉහළ යාම ජාත්‍යන්තර මිනුම් සලකුණුවලටත් වඩා ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නෙ.
ශ්‍රී ලංකාවේ ජාතික ඉදිකිරීම් සංගමයේ ප්‍රධානී එම්. ඩැරින්ටන් පෝල් මහත්මයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනතුරු ඇඟවීමක් කළා. ඔහු නොකියා කියන්නේ මේ අක්‍රමවත් මිල ඉහළ යාමේ මාෆියාව නිසා 2026 අප්‍රේල් වෙද්දි කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති බෑගයක් රුපියල් 2,100ට වඩා වැඩි වෙලා.
මේ ප්‍රශ්නය තියෙන්නේ ආනයනික භාණ්ඩ වෙළඳපළේ විතරක් නෙවෙයි. ඒ තරගකාරී නොවන වෙළඳපොලට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි දේශීය වැලි සැපයුම. ඒ කියන්නේ මේවට කිසිම ජාත්‍යන්තර සම්බන්ධයක් නෑ. ලංකාවෙම ගංඟාවලින් ලබා ගන්න වැලි නිසා මැදපෙරදිග රටවල්වත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපෑමක්වත් ඇත්තේ නෑ. ඉතින් මේ තියෙන තත්ත්වය තුල ඉදිකිරීම් අමුද්‍රව්‍යවල ගාන වැඩිවෙද්දී එක මාසයක් ඇතුලත වැලිකියුබ් කාලක මිල රුපියල් 7500 ඉඳලා 9000 දක්වා ඉහළ ගියා. ඒක 20%ක මිල ඉහළ යාමක්.
මේ වගේ හැසිරීමකට හේතුව හරිම සරලයි. පාරිභෝගිකයාට වෙන විකල්පයක් නෑ කියලා සැපයුම්කරුවෝ දන්නවා. තීරු බදු පනවලා ආනයන සීමා දාලා තියෙන නිසා ජාත්‍යන්තර වෙළඳපළින් භාණ්ඩ ගෙන්නන්න තියෙන ඉඩ සීමිතයි. වෙළඳපොළක් මේ වගේ අනවශ්‍ය විදිහට සීමා කලාම, තමන්ට අවශ්‍ය ඕනෑම මිලක් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමේ බලය දේශීය සැපයුම්කරුවන්ට හිමි වෙනවා. ඒකයි ගැනුම්කරුවෝ සූරාකෑමට ලක් වෙන්නේ.
ශ්‍රම වෙළඳපළටත් පැතිරුණු බලපෑම
අපි මෙච්චර වෙලා කතා කරේ අමුද්‍රව්‍ය මිල ගණන්වල වෙනස්කම් ගැනනේ. හැබැයි දැන් ඒක ශ්‍රම වෙළඳපළටත් බලපාලා තියෙනවා. මොකද අවුරුදු ගාණක් තිස්සේ නොගැලපෙන ව්‍යාපෘතිවල හිරවෙලා, අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගිහිල්ලා, ඉදිකිරීම් අංශයේ ගැටළු මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. මේ නිසා ලංකාවේ ඉන්න දක්ෂ, කුසලතා පිරි ඉදිකිරීම් අංශයේ කාර්මිකයන් වැඩි පඩි හොයාගෙන මැදපෙරදිග රටවල්වලට ගිහින්. ඒ නිසා ලංකාවේ ඉදිකිරීම් අංශයට ඉන්න ශ්‍රමිකයන් පිරිසත් අඩුයි. ඒ අයගේ අයකිරීම් සාමාන්‍ය මිනිස්සුන්ට දරන්න බැරි තරම් වැඩියි.
2026 ජනවාරි මාසයේදී, The Morning පුවත්පත වාර්තා කරපු විදිහට මේ අවුරුද්දේ විතරක් දේශීය ඉදිකිරීම් අංශය පුහුණු සේවකයින් 20,000ක මූලික හිඟයකට මුහුණ දීලා තියෙනවා. අර්බුදය කොයිතරම් උත්සන්න වෙලාද කිව්වොත්, ඉදිකිරීම් ව්‍යාපෘති පවත්වාගෙන යන්න විදේශීය සේවකයින් 7,500ක් ලංකාවට ගෙන්න ගන්න හදිසි අවසර පත්‍ර ඉල්ලලා ප්‍රධාන ඉදිකිරීම් සමාගම් රජයට විධිමත් පෙත්සමක් පවා ඉදිරිපත් කරලා තියෙනවා.
Photo by Samuel Regan-Asante on Unsplash
ඉස්සරහට මිනිස්සු ගෙවල් හදන එකක් නෑ
මේ තත්ත්වය දිගටම පැවතුණොත් වෙන්න පුළුවන් නරකම දේ වෙන්නේ, ආදායමක් සහිත සාමාන්‍ය පවුල් ගෙවල් හදන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන එක. මොකද ඇත්තටම ඔවුන් ගැඹුරු සමාජ ආර්ථික අවස්ථාවරත්වයකට පත්වෙලා. මේ ප්‍රශ්නයට පිළිතුර සම්පූර්ණයෙන්ම පැහැදිලියි. ඒ වගේම මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ පවා කරලා ඉවරයි. මේ වෙද්දී රටේ තියෙන හැම දේශපාලන පක්ෂයක්ම මේ විසඳුමට ඇත්තටම එකඟයි.
මීට කලින් බලයේ හිටපු ආණ්ඩුව කැමති වුණා අදියර තුනක් යටතේ ක්‍රමානුකූලව දේශසීමා විකෘති කිරීම සහිත පැරා තීරු බදු ඉවත් කරන්න. ඒ වගේම දැන් ඉන්න ආණ්ඩුවත්, 2029දි සෙස් බද්ද සම්පූර්ණයෙන් ඉවත් කරන්න අවුරුදු හතරක සැලැස්මත් ඉදිරිපත් කරලා තියෙනවා.ඒ ඇරුණාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට කියලා තියෙනවා සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණයක් විදිහට පැරා-තීරුබදු ක්‍රමයෙන් ඉවත් කරන්න අවශ්‍යයයි කියලා. මේ හැම අංශයක්ම එකඟ වෙලා තිබුණත් මේ දේවල් තාම ක්‍රියාත්මක වෙලා නැති හේතුවක් තියෙනවා.
මේ සම්බන්ධයෙන් අරුත පර්යේෂණ ආයතනය හෙළිදරව් කරන විදිහට පැරා තීරු බදු ඉවත් කරන්න බැරි ප්‍රශ්නය තමයි, ඇත්තම අයවැය දත්ත ගත්තොත් දේශපාලනඥයෝ කියන කතා සහ මූල්‍යමය යථාර්ථතය අතර වෙනසක් තිබීම. අරුත පර්යේෂණායතනයේ සොයාගැනීම්වලට අනුව, පැල් සහ සෙස් බද්ද මඟින් ලැබෙන බදු ආදායම 2028 දක්වාම ඉහළ යයි කියල බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඉදිරි වසර දෙක ඇතුලේ සියලුම ජාත්‍යන්තර වෙළඳ බදුවලින් අතිවිශාල ප්‍රතිශතයක්, ඒ කියන්නේ 67% පැල් සහ සෙස් බද්දෙන් ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරන්නේ නැතුව හරිම ලේසියෙන් වරාය හරහා පහසුවෙන්ම එකතු කරගන්න පුළුවන් ආදායම්වලට රජය දැඩි ලෙස ඇබ්බැහි වෙලා තියෙන්නේ. තමන්ගේ ලිඛිත පොරොන්දු ඉදිරිපත් කරන්න අසමත් වුණු ආණ්ඩු තමන්ගේ මූල්‍යමය නොහැකියාව වහගන්න කරන්නේ එකම දෙයයි. ඒ තමයි දිගින් දිගටම මධ්‍යම පාන්තික ජනතාවට බදු විදිහට ඒ බර විතැන් කිරීම.
ඇඩ්වොකාටා ආයතනය යෝජනා කරන විසඳුම්
1. අමුද්‍රව්‍ය සඳහා 0% බදු: ක්ලින්කර් (clinker) හෝ බොක්සයිට් (bauxite) වැනි ශ්‍රී ලංකාව තුළ ස්වභාවිකව නොපවතින අමුද්‍රව්‍ය, දේශීය නිෂ්පාදන ක්‍රියාවලීන්හි මූලික පිරිවැය වහාම අඩු කිරීම සඳහා සම්පූර්ණයෙන්ම තීරුබදු රහිතව ආනයනය කිරීමට ඉඩ සැලසිය යුතුය.
2. අතරමැදි භාණ්ඩ සඳහා 10%: අර්ධ වශයෙන් සැකසූ භාණ්ඩ සඳහා පනවන සාධාරණ මට්ටමේ තීරුබද්දක් මගින්, අවසාන නිෂ්පාදනයේ මිල අධික ලෙස ඉහළ නොනංවාම, දේශීය එකලස් කිරීමේ කටයුතු දිරිගැන්වීම සඳහා දේශීය සැපයුම්කරුවන්ට සාධාරණ තරගකාරීත්වයක් ලබා දේ.
3. නිමි භාණ්ඩ සඳහා 20%ක සීමාව: මෙය දැඩි උපරිම සීමාවක් ලෙස ක්‍රියා කරයි. මෙම 20%ක සීමාව මගින් ගෝලීය 'ප්‍රපාතනය' (dumping) ක්‍රියාවලියට එරෙහිව දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ ආරක්ෂාවක් ලැබෙන අතරම, දේශීය පාරිභෝගිකයින්ගෙන් 70% සිට 100% දක්වා අධික මිලක් අය කිරීම සම්පූර්ණයෙන්ම වළක්වයි. යම් කර්මාන්තයකට 20%ක තරගකාරී වාසියක් සහිතව පැවතිය නොහැකි නම්, එම කර්මාන්තය මූලික වශයෙන්ම අකාර්යක්ෂම එකක් වන අතර, තවදුරටත් මහජන මුදලින් ඊට විශාල වශයෙන් සහනාධාර ලබා නොදිය යුතුය.
මේ ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමෙන් ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.9% ප්‍රමාණයකට දායකත්වය දෙන රුපියල් බිලියන 1,875කට වඩා වටිනා දේශීය ඉදිකිරීම් අංශයට සම්පූර්ණයෙන්ම පණ දෙන්න පුළුවන්. හැබැයි අපි මේ ප්‍රතිසංස්කරණය ගැන කිව්ව ගමන්, ලේසියෙන් එකතු කරගන්න තියෙන වරායේ රේගු බදු ආදායම නැති වෙන නිසා මේ වෙනකොට රජය ඇතුල ඉන්න විචාරකයෝ ටික කලබල වෙනවා. නමුත් බදු සම්බන්ධයෙන් අපි ප්‍රතිසංස්කරණයක් කලොත්, ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග නොගෙන තරඟකාරී බව වැඩි කළොත් පුළුල් සාර්ව ආර්ථික ලාභ ලැබීමේ හැකියාව අපිට තියෙනවා. විශේෂයෙන්ම නව ගොඩනැගිලි ව්‍යාපෘති ඇතිවීම, ඉදිකිරීම් අංශයේ ශ්‍රමිකයන්ට ප්‍රමාණවත් වැඩ ලැබීම මත සමස්තයක් විදිහට, ආයතනික බදු සහ ආරක්ෂණවාදී සීමාවලින් තොර, ඒවායින් ලැබුණ තාවකාලික ආදායමට වඩා හොඳ ආදායමක් මේ ඔස්සේ අපිට ලබා ගන්න පුළුවන්.
ඉතින් ආරක්ෂණවාදී ක්‍රියාකාරකම්වලින් ඉතාමත් ස්වල්ප සැපයුම්කරුවන් ප්‍රමාණයක් පෝසතුන් බවට පත් කරනවද? ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න දේශීය වශයෙන් බහුතර ජනතාවගේ සුබසිද්ධිය බිල්ලට දෙනවාද? ප්‍රතිපත්ති සම්පාදකයන්ට තියෙන තේරීම ඉතාමත් පැහැදිලියි. ඔවුන්ට තියෙන්නේ අකාර්යක්ෂමතාවය සහ ආරක්ෂණවාදය බැහැර කරලා වෙළෙඳපළ විවෘත කරන්න විතරයි. නිදහස් වෙළඳපළ ඇතුලේ ඉල්ලුම් සැපයුම් බලවේගවලට පුළුවන් තනියෙන් වැඩේ ගොඩ දාලා දෙන්න. තුන්වෙනි පාර්ශවයක් මේකට ඇතුල් වෙලා බදු පනවලා, බාධා කරනවා කියන්නෙම අවුලක් තමයි.


