දිල්මිණී අබේරත්න විසිනි
Image by congerdesign from Pixabay
අගෝස්තු මාසෙ ඉවර වෙද්දිත් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 10න් වැඩි වුණා. අනිත් කෙටි කෑම වර්ගවලත් මිල ගණන් වැඩි වෙන සංඥාව තමයි ඒ. අපි හැමෝම දන්නවා රටේ ආර්ථිකය හොඳ වුණත් නැතත්, ලෝක ආර්ථිකය මොන පැත්තට හැරුණත්, ලංකාවේ වෙළඳපළේ මිල වැඩි වුණ භාණ්ඩයක්වත් සේවාවක්වත් ආයෙමත් මිල අඩු වෙන්නේ නෑ. ඒකට කමක් නෑ කියලා හිත හදාගන්නත් බෑ. මොකද භාණ්ඩ මිල ගණන් ඉහළ ගියාට අපිට ලැබෙන පඩිය එහෙම වැඩි වෙන්නේ නෑ. කාලයක් ගිහින් පඩිය යම් තරමකින් වැඩි වුණත්, ඒ වෙනුවෙන් පවා සේවකයන්ට උද්ඝෝෂණ, අරගල, වැඩ වර්ජන වගේ ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනවා. ඒත් මිනිස්සුන්ට තමන්ගේ මූලික අවශ්‍යතා වන කෑම බීම සහ ඉඳුම් හිටුම්වලට පඩියෙන් අතිවිශාල වියදමක් දරන්න සිද්ධ වෙලා. ඊටත් ඉස්සර ගත්තු බඩු මල්ලම මිලට ගන්න මේ වෙද්දි කලින්ට වඩා ද්ටුන් ගුණයක වියදමක් දරන්න වෙලා. ඒ නිසාම මිනිස්සුන්ගේ අතේ ඉතුරුවක් නෑ. ඉඩමක්, ගෙයක්, වාහනයක් කියන්නේ හීනයක්ම විතරයි. මේ හැමදේටම ලංකාවේ අපි ලබන අඩුම වේතනයත් බලපානවා.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත මත පදනම් වෙලා 'Visual Capitalist' නිකුත් කරපු අලුත්මලෝක අවම වැටුප් සංසන්දනාත්මක වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව රටවල් 130ක් අතරින් 120 වෙනි තැනට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාව ඉන්නේ ඉතාමත් පහළ මට්ටමක. ලංකාවට පිටිපස්සෙන් ඉන්නේ රටවල් 10ක් විතරයි. ඒ නයිජර්, භූතානය, හයිටි, ගිනියා, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සියෙරා ලියෝන්, ඝානාව, කිර්ගිස්ථානය, ගිනි බිසව් සහ ගැම්බියා කියන රටවල්. ඒ රටවල්වල තියෙන සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, විවිධාංගීකරණයෙන් සහ නවෝත්පාදනයෙන් තොර වෙළඳපළවල්, ප්‍රාථමික තාක්ෂණය, දේශපාලන අස්ථාවරත්වය, විදේශීය වෙළඳාමට විවර නොවීම සහ තරඟකාරී ශ්‍රම වෙළඳපළවල් නොතිබීම කියන හේතු නිසා ඔවුන් මේ මට්ටමේ ඉන්නවා. ලිස්ට් එකේ ඒ ළඟම ඉන්න ලංකාවටත් මේ හේතු කාරණා පොදුයි.
Image by Clker-Free-Vector-Images from Pixabay
ශ්‍රී ලංකාවේ මාසික අවම වැටුපේ ගැනුම් හැකියාව (purchasing power) ඇමරිකානු ඩොලර් 200ක් පමණක් වන බවත්, එමගින් රට ලෝකයේ අඩුම වැටුප් සහිත රටවල් අතරට අයත් වන බවත් එම වාර්තාව පෙන්වා දෙනවා. දකුණු ආසියාවේ ඉහළින්ම ඉන්නේ අවම මාසික වැටුප ඩොලර් 587 වුණ මාලදිවයින, දෙවනි තැන ලැබුණේ අවම මාසික වැටුප ඩොලර් 570 වුණ පාකිස්ථානය. මෙතනදිත් ලංකාව ඉන්නේ අන්තිම හරියේ. මොකද භූතානය විතරයි ලංකාවට පහළින් ඉන්නේ.
දකුණු ආසියානු කලාපය
ආසියානු කලාපය ගත්තොත්,දකුණු කොරියාව ඇමරිකානු ඩොලර් 2,362ක ඉහළම අවම වැටුප වාර්තා කරමින් ලෝකයේ 11 වන ස්ථානය හිමිකර ගනිද්දි ජපානය ඇමරිකානු ඩොලර් 1,839ක් සමඟ 16 වෙනි තැන රැඳිලා ඉන්නවා.
ආසියානු කලාපය
මේ ලයිස්තුවේ උඩින්ම ඉන්නේ ගෝලීය වශයෙන්, මාසෙකට ඇමරිකානු ඩොලර් 3,804කට සමාන ගැනුම් හැකියාවක් සහිත ස්විට්සර්ලන්තය. ඉතාමත් ප්‍රශංසනීය මිලදී ගැනීමේ හැකියාවක් එක්ක ලැයිස්තුවේ හොඳම රටවල් 10 අතරට වැඩි වශයෙන් යුරෝපා කලාපයේ රටවල් ඇතුලත් වෙනවා.
සාමාන්‍යයෙන් මේ වගේ ශ්‍රේණිගත කිරීම්වලදි ඉස්සරහින්ම ඉන්න, ඉතාමත් හොඳ මට්ටමක ඉන්න රටවල් ටිකක් මේ ලිස්ට් එකේ පේන්න නෑ. ඒ තමයි ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ සහ ෆින්ලන්තය කියන නෝර්ඩික් රටවල්. ලෝකය පුරාම අවම වැටුප් වෙනස් වෙනවා. මේ කියන රටවල් ලිස්ට් එකේ නෑ. ඒකට හේතුව ඒ රටවල්වල නීතියෙන් නියම වුණ අවම වැටුපක් නෑ. ඒ වෙනුවට අවම වැටුප් තීරණය වෙන්නේ සේවා යෝජකයන් සහ වෘත්තීය සමිති අතර සිද්ධ වෙන සාමූහික කේවල් කිරීමකින්.
කවුරුත් හොයලා බලන ඇමරිකාවේ අවම මාසික වැටුප ඩොලර් 1,257ක් අරන් ලිස්ට් එකේ 25වෙනියට ඉන්නවා. මෙම අගයන් ගණනය කරලා තියෙන්නේ සෘජුවම ඇමරිකානු ඩොලර් ආදායම මත නෙවෙයි, දේශීය ගැනුම් හැකියාවේ සමානතාව (purchasing power parity) මත පදනම් වෙලා. බදු හෝ අතිරේක දීමනා මෙම සංඛ්‍යාවලට ඇතුළත් නොවන බව වාර්තාව අවධාරණය කරනවා.
වැටුප් ගිලින බදු
ලංකාවේ බහුතරයකට කාලා ඇඳලා ඉන්න මේ තරම් අමාරු වෙන්නේ අපේ රටේ ලැබෙන වැටුප්වලට උද්ධමනයත් එක්ක ගැලපෙන්න බැරිකම. උද්ධමනය ඉහළ යන්න දිගුකාලීනව බලපානවා කාලයක් තිස්සේ වෙනස් නොවී තියෙන විශාල ප්‍රතිශතයක වක්‍ර බදු. පිළිගත් ක්‍රමය අනුව ඉපැයීම් සහ ධනය අනුව ගෙවන සෘජු බදු ප්‍රතිශතය වැඩි කරලා, සමාජයේ දුප්පත් පෝසත් භේදයකින් තොරව හැමදෙනාම පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවලට පනවන වක්‍ර බදු අඩු කිරීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ කරන්න කියලා කොයිතරම් අපි යෝජනා කළත්, බලයට පත්වන හැම ආණ්ඩුවක්ම මේ කාරණය මඟ ඇරලා තියෙනවා. ඒකට හේතුව හරිම ලේසියෙන් භාණ්ඩ හා සේවාවලට බදු පනවන්න, ඒවා ගැන හොයලා බලන්න පුළුවන් වීමත්, සෘජුවම බද්දට යටත් විය යුතු අයව නිවැරදිව හඳුනාගන්න සමත් ක්‍රමවේදයක් ලංකාවේ නැතිකමත්. මේකෙන් වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ මාසෙ අන්තිමට වැටුප් පත්‍රිකාවක් අතට ලැබෙන වෘත්තිකයන් විතරයි. ඔවුන් සෘජු සහ වක්‍ර බදු කියන දෙකටම මුහුණ දෙන අවස්ථා තියෙනවා. ඒත් මාසිකව වැටුප් නොලැබෙන, ආදායම් මාර්ග නිල වශයෙන් වාර්තා නොවෙන බොහෝමයක් ධනවතුන් හෝ ව්‍යාපාරිකයන් සෘජු බද්දෙන් නිදහස් වෙනවා. ඒ නිසා ඒ බරත් වක්‍ර බදු ගෙවන සාමාන්‍ය ජනතාව පිටම පැටවෙනවා.
යෝජනා
Image by Mohamed_hassan from Pixabay
අවම වැටුප් අනුව ශ්‍රේණිගත කළාම, ලංකාව දැනටමත් ඉන්නේ ලෝකේ රටවල් 130න් 120 වෙනි තැන. ඒක කිසිම විදිහකින් හොඳ සංඥාවක් නෙවෙයි. වාර්තාවලින් කිව්වත් නොකිව්වත්, ලංකාවේ හැබෑ තත්ත්වය ලංකාවේ ජීවත් වෙන අපි දන්නවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මත පවා පනවලා තියෙන බදු සහ ණය ගෙව්වම මිනිස්සු අතේ රුපියලක් ඉතිරි වෙන්නේ නෑ. ඒක වෙනස් කරන්න නම් ලංකාවේ බදු ව්‍යුහයේ ඉඳන්ම වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඒකට කාර්‍යක්ෂම බදු එක් රැස් කිරීමේ ක්‍රමයක්, විනිවිදභාවයෙන් යුතු සහ ඊට කැපවුණු නිලධාරීන් අතයවශ්‍ය වෙනවා.
සම්පූර්ණ වාර්තාව: https://www.visualcapitalist.com/mapped-minimum-wages-around-the-world-adjusted-for-cost-of-living/

