කම්කරු දිනයේ නිහඬ පැති

මේ ගෙවෙන්නේ ලෝක කම්කරු මාසයයි.සරලවම කිවොත් ශ්‍රමයේ මාසය කියලත් හඳුන්වනවා.ඇත්තටම ඇයි අපි කම්කරු දිනයක් සමරන්නේ ?

සියලුම මිනිසුන් විවිධාකාරයෙන් වැඩ කරනවා. සමහරු කායික ශ්‍රමය යොදා ගෙන වැඩ කරනවා ,සමහරු මානසික ශ්‍රමය යොදවාගෙන වැඩ කරනවා.සමහරු තමන් කරන වැඩවලින් තෘප්තිමත් වෙනවා. නමුත් සමහරු වැඩවලින් හෙම්බත් වෙනවා.මුළු ලෝකෙම එකම වැඩ ලෝකයක් වගේ…ලෝකයම වසර 134ක් මුළුල්ලේ කම්කරු දිනය නොනවත්වා පවත්වාගෙන එන්නේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ලේ දහඩිය වගුරපු පුද්ගලයින්ට කෘතගුණ සැලකීම පදනම් කරගෙනයි.

ඉතින් හිතන්න මේ මැයි මාසය කම්කරු දිනය සැමරීමට ප්‍රධානම හේතුව තමයි 1886 මැයි පළවෙනිදා ඇමරිකානු කම්කරුවන් පිරිසක් පැය අටකට තම වැඩ මුරේ සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවරට පැමිණ තම හාම්පුතුන්ට බලපෑම් කිරීමට උද්ඝෝෂණය කිරීම….

වහලුන් ලෙස තම ශ්‍රමය පැය 14 සිට පැය 20දක්වාත් නොකඩවා වැඩ කිරීම පදනම් කරගෙන මෙම විරෝධතාවන් ආරම්භ වූ බව සදහන් වෙනවා. ඒ සඳහා 65000 පමණ පිරිසක් සහභාගි වූ බවත් සඳහන් වෙනවා.මෙම වර්ජනයේ තෙවන දිනයේ දී සිදු වූ කෝලාහලයකින් කම්කරුවන් හතර දෙනකු හා පොලිස් නිලධාරියෙකුට ජීවිතය අහිමි වෙනවා. ඒ නිසා මෙම වර්ජනය මෙහෙය වූ ප්‍රධාන සාමාජිකයින් කිහිප දෙනෙක්ද අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම සමහරුන්ට මරණ දණ්ඩනය ද ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් ද නියම කෙරෙනවා.මෙම කාරණය නිසා මැයි මස පළමු දා ලෝකයේ සෑම රටක් පාහේම කම්කරු දිනය අති උත්කර්ෂවත් ලෙස සමරනවා.එය වැඩ කරන ජනයාගේ අයිතීන් උදෙසා කම්කරු නීති සම්පාදනයට විවර වූ ප්‍රධාන මාවතක් ලෙසත් හදුන්වන්නට පුලුවන්.

ශ්‍රී ලංකාවේ මැයි දිනය ඒ.ඊ ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් 1927 දි මුලින්ම පටන්ගෙන තියෙන්නේ. මෙම වසරේ අප සමරන්නේ 96 වැනි කම්කරු දිනය. ඉතින් හිතන්න විවිධ ආර්ථික,සමාජීය කටයුතු හමුවේ පීඩා විඳි කම්කරුවා වහල් භාවයෙන් මිදී වෘත්තිය වටිනාකමක් ද ලබා ඇත්තේ මේ මැයි අරගලය පදනම් කරගෙනයි.කම්කරුවන් සදහා වන නීතිය කියලා කියන්නේ වැඩ කරන ජනතාවගේ සහ ඔවුන්ගේ සංවිධානවල පරිපාලන නීති හා නීතිමය අයිතිවාසිකම් සදහා මූලික වෙන සීමා කිරීම්වලට. වර්තමානය වන විට අපට කම්කරුවෙක් කියන්නේ කවුද කියලා ඇහුවොත් අපේ හිතේ චිත්‍ර රූප මැවෙන්නේ වැඩ කරනවනම් ඉතින් කම්හල්වල වැඩබිම්වල බරවැඩ කරන පිරිමියෙක් නේ නැත්නම් රජයේ සේවකයෙක් කියලනේ.ඒක ඇත්තටම සත්‍යක් ද? කම්කරුවන් වෙනුවෙන් වෙන් වුණු මාසයේ කවුරුත් නොදුටු කම්කරු අයිතිවාසිකම් කඩවන පිරිසක් ගැන කතා කිරීමට තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ.

ඉතිං අපි මුලින්ම කතා කරන්නේ කාන්තාවන්ට අහිමිවන කම්කරු අයිතීන් ගැනයි.කාන්තාව කියන්නේ ජීවයේ උල්පත කියලා ඔයාලා දන්නවා.ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙත් හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලින් කියලා මැක්සිම් ගෝර්කි වරක් කියලා තියෙන්නේ. ඇයගෙන් තොරව ලෝකයේ පැවැත්මක් නැහැ.ඒ කියන්නේ මානව සංහතියේ ආරම්භයක් නැහැ.දරුවෙකු උපදින මොහොතේ එකවර බිඳෙන අස්ථි දහසක වේදනාවක් ස්වභාවධර්මය විසින්ම කාන්තාවන්ට උරුමකර දී ඇත්තේ වචනයේ පරිසමාප්තයෙන්ම දරාගැනීමේ සංකේතය කාන්තාව වන බැවින්.කාන්තාව ලෝකය නිර්මාණය කිරීමට දායක වෙනවා වගේම කාන්තාව ලෝක ආර්ථිකය, රටක ආර්ථිකය සංවර්ධනයට දායක කරගත යුතුයි. නමුත් සමස්ථයක් ලෙස ගත්තාහම කාන්තාවකට තම ශ්‍රමය රටේ ආර්ථිකය වෙනුවෙන් දායක කළ හැකි ද? යන ප්‍රශ්නය ඔබ අප කාටත් වැටහෙනවා.

ඉතින් හිතන්න වැඩකරන ජනතාව අතරේ කාන්තාව කියන්නේ රටක ආර්ථිකය සංවර්ධනය සඳහා ශ්‍රමය සපයා ගත හැකි මානව සම්පතක්.ඒත් ලංකාව තුළ පමණක් නොව ලෝකය තුළ කාන්තා අයිතිවාසිකම් ඉතා අඩු වශයෙන් කතාබහට ලක්වන අයුරු දැකගන්නට පුළුවන්. ඊට හේතුව තමයි කාන්තාවට සරිලන ආකාරයෙන් වෘත්තිය අයිතිවාසිකම් රැසක් තවමත් කම්කරු නීති යටතේ කතාබහට ලක් නොවීම.

සමස්තයක් ලෙස කාන්තාවන් ශ්‍රම බලකායට ලංකාවේ දායකත්වය සපයන්නේ 30.8% ක පමණ අඩු ප්‍රමාණයක්. ඒත් මේ ප්‍රතිශතය අද වෙනකොට තව තවත් අඩුවෙනවා කියලා සඳහන් වෙන්නේ. ඇත්තටම මෙයට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ පහත කාරණයන්.

ගෙදර දොරේ දරුවන්ට රැකවරණය සපයමින් වැටුප් නොගෙවා තම ශ්‍රමය මිඩංගු කරන අපේ රටේ අම්මලාට මුදල මත රැකියාවක් කිරීමට හැකියාවක් නෑ.ඉතිං ඒකට හොද විසදුමක් ලෙස අර්ධ කාලීන වැඩ පිළිබඳ සංකල්පය ලෝකයට ඇවිත් තියෙනවා. නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කම්කරු නීතියේ කොතනකවත් සදහන් වෙලා නැති එක කණගාටුවට කාරණයක්.

2019 ලෝක බැංකු දත්ත මත ශ්‍රී ලංකාවේ අර්ධකාලීන රැකියා කරන කාන්තා පිරිස 33.82%ද, පිරිමින් 19.87%ක් පමණ අඩු මට්ටමක් ද පෙන්නුම් කරනවා. ඉතින් හිතන්න මේ දත්ත වාර්තාවලිනුත් පෙනී යනවා ලංකාවේ කාන්තාවන් දෙගුණයකටත් වැඩි පිරිසක් අර්ධ කාලීන රැකියාවක නිරත වෙනවා කියලා. ඒ නිසා අර්ධකාලීන හා නම්‍යශීලී වැඩ දිරිමත් කිරීමෙන් කාන්තා ශ්‍රමය අපගේ ආර්ථික සංවර්ධන කාර්යයට යොමු කරගන්න පුලුවන්.

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් ද අපට පේනවා නොගෙවා රැකවරණ කාර්යයට ශ්‍රමය සපයන කාන්තාවන් 2016 තුළ 38.4% ක ප්‍රමාණයක් වාර්තා වූ බව. 2017 වන විට 86.4% දක්වා වැඩිවී ඇති බවත් ඒ දත්තවලින් තහවුරු වෙනවා. මේ අනූව කාන්තාවන් සඳහා ඔවුන්ට මුදල මත රැකියාවක් කිරීමට හැකි වන අයුරින් ලංකාවේ කම්කරු නීතියට අර්ධකාලීන රැකියාවන් සදහා නීති මාලාවක් ඇතුළත් කළ යුතු වෙනවා.

සාප්පු සහ කාර්යාල සේවක පනත මගින් කාන්තාවන් සදහා වැඩ කිරීමට වෙලාව ලබා දී ඇත්තේ උපරිම වශයෙන් පැය නමයක් සහ සතියට දින 5ක් පමණක් බව ඔබ දන්නවා ඇති.නමුත් බහුකාර්ය කටයුතුවල යෙදෙන කාන්තාවට, අතිකාල සේවයක් කිරීමට තමන් කැමතිනම් පැය 12ක් වැඩ කිරීමට හැකිවන අයුරින් කම්කරු නීති සංශෝධනය නොවීම ඉතා ඛේදනීය තත්ත්වයක්.අනෙක් කාරණය තමයි, ලංකාව වැනි සංස්කෘතික සභ්‍යත්වයක් තිබෙන රටක කාන්තාවන්ට රාත්‍රි කාලයේදී රැකියා කිරීමට අවස්ථාවක් නැති අතර ස්ත්‍රී පුරුෂ භාවය හමුවේ කාන්තාවකට පිරිමින්ට ඇති අයිතීන් රැකියාවේ දී සීමාවන අයුරු දැක ගැනීමට පුළුවන්. 1954 අංක 19 දරණ රැකියා නියාමන සහ වේතන පනතේ සඳහන් කර ඇත්තේ කාන්තාවන් රාත්‍රි අටෙන් පසුව වැඩ කිරීම තහනම් කියලා.

කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් වන්නේ කම්කරුවන් වෙනුවෙන් හිමි අයිතීන් පිළිබඳව සාකච්ඡා කිරීමට යි.නමුත් වර්තමානයේ දේශපාලකයින් වෘත්තීය සමිති පටු ආකල්ප වෙනුවෙන් පෙළපාලි යනවා.මෙවනි කාරණා නිසාවෙන් වටිනා කම්කරු අයිතීන් යටපත් වී යනවා.ඒ නිසා කාන්තා ශ්‍රමය රටෙහි ආර්ථිකයට දායක කර ගැනීමට අපට බැරි වෙනවා.

වර්තමානයේ දී අපට පේනවා කාන්තාවන්ට රැකියා ස්ථානයේ දී තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂාවන ආකාරයට රැකියාක් කිරීමට බැරි තත්ත්වෙකට පත්වෙලා කියලා. රැකියා ස්ථානය දී කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වීම නිසාවෙන් කාන්තාවන් රැකියාවට පැමිණීමට අදි මදි කරනවා. ඒ වගේම, විවාහක කාන්තාවන් රැකියාවට යවන්න පිරිමි පාර්ශවය අකමැත්තක් දක්වනනවා. එබැවින් කාන්තාවන්ගේ වටිනා ශ්‍රමය අපට නැති වී යනවා.ඉතිං හිතන්න කම්කරු දිනය හොද ඔපේට සැමරුවට යටින් තිබෙන බොරුව කොතරම් නම් හපයක් ද කියලා.

ලිංගික අපරාධ කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ හා දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ ලිංගිකත්වය පැහැදිලි කොට තිබුණත් රැකියා ස්ථානයේ දී සිදුවන හිරිහැර පිළිබඳව කිසිදු තැනක සඳහන් කර නැති බව අප කාටත් දැකගන්නට පුළුවන්.වෛද්‍ය සංගමය 2011 දී සිදු කරන ලද නියැදි සමීක්ෂණයකින් තහවුරු වෙලා තියෙනවා කාන්තාවන් නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවිකාවන් 57% දෙනෙක් පමණ ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බවයි. ඒ විතරක් නෙවෙයි එම කාන්තාවන් ද කියලා තියෙනවලු රැකියා ස්ථානයේදී සිද්ධ වෙන ලිංගික අඩත්තේට්ටම් වලට නිසි ක්‍රියාමාර්ග ගන්න්වනම් ඔවුන් රැකියාවේ නිරත වීමට කැමති බව.ඉතිං හිතන්න මේ අහිමිවන්නේ කම්කරුවන්ගේ අයිතීන් නොව ද? කම්කරුවා යනු හැඩි දැඩි පිරිමි පුරුෂයා පමණ ද?එය ප්‍රජාතන්ත්‍රවාදී රටක සමානාත්මතාවය සුරැකෙන අවස්ථාවක් ද? ඔයාලා දන්නවා ඇති ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ඩොලර් ගේන්නේ කාන්තාවන් කියලා. අද වන විට කාන්තා ශ්‍රමය 30%- 35% අතර දෝලනය වන්නේ මෙම අසාධාරණ හේතු පදනම් කරගෙනයි.

ඒ වගේම අපි කතා කරන අනෙක් පාර්ශවයේ තමයි, රජයේ රැකියා නොකරන පැය 8 පමණක් සේවයට වාර්තා කරන පෞද්ගලික අංශය හා විධායක මට්ටමේ නොවන කම්කරුවන්. කවුද මේ කම්කරුවන්?? කම්කරුවන් කිව්වම අපි හිතන්නේ වැඩකරන ජනතාව කියලා. වෘත්තීය ඉල්ලීම් ඉල්ලිය හැකි පිරිසක් කියලා. ලොකු ලොකු අය කම්කරු දිනය සමරද්දී ගෙවල්වල සැපට ඉද්දී කම්කරු දිනය දවසෙත් එදා වේල හම්බ කරන කම්කරු දිනයෙත් වැඩ කරන පිරිස් ඕන තරම් ඉන්නවා. පොඩි කඩයක් කරන, ස්වයං රැකියාවක් කරන, මුට්ට කරගහන මිනිසුන් කම්කරු දිනය දවසේ අපාදුක් විදිමින් රැකියාවේ නිරත වෙනවා. මේ මිනිස්සුත් කම්කරුවන් නෙවෙයි ද? රටට ඩොලර් ගේන්න අත්වැල් සපයන්නේ මේ මිනිස්සුන් නෙවෙයි ද? අද ලංකාව මෙහෙමවත් දුවන්නෙ පොඩි මිනිස්සු නිසයි නමුත් මොවුන්ගේ අයිතීන් ගැන කාටවත් වගේ වගක් නෑ. කතා වෙන්නේ ලොකු ලොකු අය ගැනවීම කණගාටුවට කාරණයක්.

කොයි නීතියකවත් සාමාන්‍යය කම්කරු අයිතිවාසිකම් ගැන ලියවිලා වත් නැහැ. ලංකාවට ඩොලර් ගේන කාන්තාව ලිප් බොක්කට හිර කරලා ශ්‍රම උල්පත් සියල්ලම අද වෙනකොට හිඳිලා ගිහින් තියෙන්නේ... ඒක තමා අද රටට මෙහෙම වෙලා තියෙන්නේ. ලොකු ලොකු වේදිකා වල ලොකු ලොකු කෙබර ඇද බෑවට කවුරුවුනත් කම්කරු දිනයේ සැලකිලිමත් වෙන්න ඕනේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මූලික වශයෙන් වෙර දරන පුද්ගලයින්ගේ කම්කරු අයිතීන් දිනා ගැනීමට. ඉතින් ඔයාලට තේරෙනවා ඇති හොඳ ඔපේට ලෝකෙට පේන්න මැයි දිනේ සැමරුවට රට ඇතුලේ ලොකු ලොකු පෙළපාලි තියලා මේ කරන්නේ කිසි තේරීමක් නැති බොරු වැඩක් වග.

දුෂාණි එදිරිසිංහ

2023.05.02