Advocata

ළිං මැඩි සංකල්පය පසෙක ලා ජාත්‍යන්තරයට විවර වෙමු.

ළිං මැඩි සංකල්පය පසෙක ලා ජාත්‍යන්තරයට විවර වෙමු.

ළිං මැඩි සංකල්පය පසෙක ලා ජාත්‍යන්තරයට විවර වෙමු.

ඇත්තටම අපි අවුරුද්දට හරියට සමරනවද ?

සුර්‍යා මීන රාශියේ ඉදං මේශ රාශියට ගමන් කරන මේ කාලේ අනාදිමත් කාලයක ඉදං අපේ පැරැන්නෝ නව වසර උදාව හරිම සතුටෙන් අභිමානයේ සශ්‍රීකව සැමරුවා. වසන්තේ උදාවත් සමග ගමේ නගරයේ වෙනසක් නැතුව අලුත් අවුරුද්ද පිළිගන්න හැමෝම ලෑස්ති උනා , අතු මල් බර උනා ඵල බර උනා , අළුත් සහල් මංගල්ලේ හරි උජාරුවට සමරපු අපේ අය එළබෙන වසරටත් සෞභාග්‍ය උදා කරගැනීමේ උවමනාවෙන් අලුත් අවුරුද්දට ලහි ලහියේ ලක ලෑස්ති වෙන කාලේ තමා මේ බක්මහ කියන්නේ. බක් මහ එහෙම නැත්තං‍ භාග්‍යවන්ත මාසේ විදියට සලකන සිංහලයා මේ මාසේ තමන්ගේ එදිනෙදා ජිවිතය අලුත් කරගන්න ලැබෙන අවස්ථාවක් ලෙස සැලකුවා . ගේදොර අලුත් උනා කෑම බීම අලුත් උනා  සිතුවිල්ලේ ඉදං නැවුම් මාසිකත්වයක් මේ මාසේ පුරාවට අපි පවත්වා ගන්න උත්සහා කලා. ඉතින් මේ අලුත් අවුරුද්ද කියන්නේ අපේ සමාජයට නිකම්ම නිකං උත්සවයක් නෙමේ හින්දු හා සිංහල සංහිදියාව අගයන තරහා මරහා අමතක කරලා අලුතෙන් ආරම්භයක් ගන්න විවිධ සංස්කෘතික සම්මිශ්‍රනය වන මෞලි මංගල්ලයක් කිව්වොත් වඩා නිවැරදී.
ඉතින් මේ අලුත් අවුරුද්ද අපේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද ? ඇත්තටම අලුත් අවුරුද්ද කියන්නේ කාටත් නොදැනුනාට දැවැන්ත ආර්ථික ක්‍රියාකාරකමක් . සංස්කෘතික වශයෙන් වගේම ආර්ථික වශයෙන් අපිට ඉතා වැදගත් දේවල් ටිකක් අලුත් අවුරුද්දත් සමග අපට කියා දෙනවා. හැබැයි ඔය කියා දීපු පාඩම් අපි හරියට පාවිච්චි කරාද කියන එකනම් ගැටලුවක් තමා.


අලුත් අවුරුද්ද අලුත් දේට තැන දෙන්න අලුත් වෙන්න වෙනස් වෙන්න අපිට කියලා දෙනවා අපි අපේ ජීවිතය ප්‍රතිසංස්කරණය කරලා යාවත්කාලීන කරගන්නේ කොහොමද? අපේ ආර්ථිකය අලුත් කරගන්නේ කොහොමද? අපේ සංස්කෘතික ජීවිතය වෙනස් කරගන්න ඔනේද ? වගේ පුද්ගල බද්ද ප්‍රශ්න සමුදායක්ම අලුත් අවුරුද්ද අපෙන් අහනවා. අපි හරියට ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවනං අලුත් ජීවිතයක් ලගා කරගන්න පුළුවන්. නමුත් රටක් විදියට අපි අලුත් වෙලාද යාවත්කාලීන වෙලාද අපේ නීති, අපේ ආර්ථිකය , රාජ්‍ය සේවය , අපේ වෙළදපල අලුත් වෙලා ප්‍රතිසංස්කරණය වෙලා වෙනදට තිබ්බට වඩා සාදනී්‍ය හොද දියුණු තැනකට ඇවිල්ලද? ඇත්තටම අපේ අලුත් වීමේ ප්‍රවනතාව මන්දගාමීනේද ආර්ථිකමය, අධ්‍යාපනික හා සමාජීය අතින් බැලුවම අපි ලෝකෙට වඩා දශකයක් විතර පස්සෙන් නේද ඉන්නේ ලෝකේ අපිව දාලා දුවලා. තාම අපි ඉබි ගමින්.

සමස්ථ ලෝකයම එකම ආර්ථික දාමයක වැලක පුරුක් වගේ ගැට ගැහෙන කොට අපි ඒකෙන් ඈත් වෙලා . පෙර අපර දෙදිග මුහුදු කේන්ද්‍රයේ ස්ථානගත වෙලා ඉන්න අපි ලෝකයේ සැපයුම් දාමය තුල නෑ . ඒක මොනතරම් ඛේදජනක කතාවක්ද, අපි අපි ඇතුලෙම හිරවෙලා අපි දූපත් මානසිකත්වයකට වැටිලා ව්‍යාපාර වලට වෙළදපලට අනවශ්‍ය නීති දාගෙන ලෝකයෙන් ඈත්වෙලා වගේම පරවේනිගත යල්පැනපු ආර්ථික ක්‍රමයක් පවත්වාගනිමින් අතිවිශාල අකාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යනමින් ලෝකෙට බැන බැන ඉන්නවා අපිව දුප්පත්කලා කියලා. 

ඇත්තටම මේ දුප්පත් දූපත් මානසිකත්වයෙන් ගැලවීලා නවීන නැවුම් දියුණු රටක් සෑදීමට අපි අපේ ආර්ථික ප්‍රතිපත්ති වල දැවැන්ත ගැඹුරු ව්‍යුහාත්මක වෙනස් කම් කරන්නම ඔනේ අපේ තාක්ශණය හා වෙළදපල යාවත්කාලීන නිදහස් අවකාශයකට ගෙන යන්න ඔනේ නැතුව මේ සමරන අලුත් අවුරුද්දකින් කිසිම වැඩක් නෑ. අපේ පැරැන්නෝ හැමදාම විස්වාස කලේ අලුත් වීම “අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී” කියපු අපි අද පරණ හනමිටි කරේ තියන් ලොකෙන් ඈත්වෙලා තිබීම හරිම කනගාටු දායක සිද්දියක්.

ඒ වගේම අපිට මේ අවුරුද්ද තව දෙයක් අපිට කියලා දෙනවා ,හරි දේ හරි වෙලාවට හරි තැනදී කරන්න කියන පුරුද්ද අපිට අලුත් අවුරුද්දෙන් කියලා දෙනවා අපි හැමෝම මුලු රටක් වශයෙන් එකතු වෙලා එකම වෙලාවට එකම දෙයක් කරනවා ඉතින් එහෙම එකතු වෙලා කරන්න පුළුවන් දේවල් වල වැදගත් කමත් අපිට මේකෙන් කාලාන්තරයක් තිස්සේ කිව්වත් තවමත් අපිට ඒවා දැනිලා නැති තරම්. අපි අපේ ආර්ථිකයට කරන්න ඕන ප්‍රතිසංස්කරණ හරි වෙලාවට හරි තැනේදී හරි විදියට කලෙත් නෑ ඒක අපි එකතු වෙලා කලෙත් නෑ අපිට එහෙම කරන්න ඔනෙ කියලා අදහසකුත් තිබ්බේ නැ අන්තිම එක එක වෙලාවට එක එක්කෙනාට ඔන ඔන ඒවා කරලා ආර්ථිකය කඩං වැටිලා රට බංකොලොත් භාවයට වැටුනා . බලන්න මේ චාරිත්‍ර වල වැදගත්කම ගැඹුර නමුත් අපි ඒක චාරිත්‍රයකට විතරක් නැකතකට විතරක් අවුරුදු දවසට විතරක් සීමා කරලා අපේ ජීවිතයේ වැදගත්ම පාඩමක් මග ඇරගත්ත ජාතියක් වෙලා ඉවරයි ඉතින් මේ අවුරුද්දෙවත් හරි ආර්ථික ප්‍රතිසංස්කරණ හරි විදියට හරි වෙලාවට හැමෝම එකතු වෙලා කරමු අපේ ආර්ථිකය ගිලගනිමන් ඉන්න පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරට හැකි ඉක්මනින් ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒවා රටටත් ආර්ථිකයටත් අපිටත් බරක් නොවෙන තැනට ‌ගේමු ඒ දේට හැමෝම සහභාගී වෙමු නැතුව රටක් විදියට අපිට හැමදාම ඉන්න වෙන්නේ නොනගතේ තමා.

තව දුරටත් මේ අලුත් අවුරුද්ද ආර්ථිකයට කොච්චර සම්බන්දද කියනවනං බලන්න වර්තමානය දිහා අලුත් අවුරද්දත් එක්ක කොච්චර වෙළදපල පිබිදීමක් එනවද නිශ්පාදනය කොපමණ වැඩි වෙනවද නමුත් මේ අවුරුද්ද දැඩි ආර්ථික අහේනියකට ලක්වෙච්ච අවුරුද්දක් නිසා වෙළදපල හැකිලිලා අපේ ක්‍රයශක්තිය අඩුවෙලා දැඩි උද්දමනකාරී වෙළදපලක් ඇතුලේ තමා අපිට අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ . මේක වෙළදපලේ තියන ප්‍රශ්නයක් නෙමේ අපේ අදුරදර්ශි ආර්ථික උපායමාර්ග නිසා අපිට උදාවෙච්ච දෙයක්. කොකිස් කන්න වගේ සල්ලි අච්චු ගැහැව්වම වෙළදපලේ මුදල් සංසරණය වැඩ වෙනවා නමුත් ඊට සාපේක්ශව නිශ්පාදනය නැති නිසා ඉල්ලුම ඉහල යනවා ඒ මදිවට පෝර හා කෘමි නාශක තහනම් ප්‍රතිපත්ති හා අනෙකුත් ආනයන තහනම් නිසා නිශ්පාදකයින්ට ඉල්ලුමට සාපේක්ශ සැපයුම දීගන්න බැරිවෙනවා වෙළදපල මිල ගණන් සිඝ්‍රලෙස අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් රටේ භාණ්ඩ හා සේවා මත උද්දමනය ඉහල යනවා ඉතින් බලන්න රජයක් හෝ ඕනෑම පාර්ශවයක් වෙළදපල නිදහස් ක්‍රියාකාරීත්වට අත තිබ්බම වෙනදේ සම්පූර්ණ පද්දතියම අවුල් වෙලා බිදවැටෙනවා. ඉතින් අවුරුද්දක් හරි හමන් විදියට සමරන්න නං අපි අනිවාර්යෙන් අපේ වෙළදපල හොදින් ක්‍රමවත්ව නිදහස්ව තියාගන්න ඔනේ.
ඒවගේම තමා අලුත් අවුරුද්දත් සමග බැදිච්ච වැඩ ඇල්ලීම ,ගනුදෙනු කිරිමේ හා ආහාර අනුභවය කියන කාරනය. අපේ පැරැන්නෝ බොහොම සරළව වගේම ලස්සනට අපිට ලොකු ආර්ථික විද්‍යා පාඩමක් කියා දෙනවා .
අපි ඉස්සෙල්ලාම හරි වෙලාවට හරියට වැඩ ඇල්ලීම කරන්න ඔනේ වැඩ ඇල්ලීමට අපේ සීයලා අප්පච්චිලා කුඹුරට ගියා එහෙම නැත්තම් කොරටුවට ගියා එදා අපේ ආර්ථිකය ගැට ගැහිලා තිබ්බෙ කෘෂිකර්මාන්තයත් එක්ක හැබැයි දැන් වෙන කොට කෘෂිකර්මාන්තයට විශාල විදියට බාධා ඇතිවෙලා තියනවා කෘෂි යෙදයුම් වලට විශාල මිල ඉහල යෑම් හා සමහර පෝශක වල හිගතාවයන් තියනවා තවත් ප්‍රධාන බාධාවක් තමා අපේ සැපයුම් දාමයේ අක්‍රමවත් වීම අස්වැන්නෙන් 30%-40% ප්‍රමානයක් අපතේ යනවා මේ හේතුවෙන් ගොවියට නිසි මිලක් ලැබෙන් නෑ වගේම පාරිබෝගිකයට සාදාරන මිලට භාන්ඩය ලැබෙන්නෙත් නෑ. ඒවගේම මේ ගොවි බිමි වල තිබෙන නීති රෙගුලාසි නිසා ගොවියන්ගේ නිදහස සීමා වෙලා තියනවා අඩුමතරමේ ඔවුන්ට ඔවුන්ගේ ඉඩමේ අයිතියවත් නෑ ඔවුන්ට කැමති බෝගයක් වගාකරන්නත් බෑ ඒ හැමදේටම රජය මැදිහත් වෙනවා. ඉතින් මේ හේතුවෙන් අපේ කෘෂි කර්මාන්තය එන්න එන්නම පටු වෙමින් තියනවා ඒ ආශිතව විවසායකයින් හා ගොවින් අඩුවෙමින් යනවා අනාගතේ දවසක කෘෂිකර්මාන්තය කියන්නේ පැරණි පොත්පත්වල චිත්‍රකාතාවක් වෙන්නත් බැරිකමක් නෑ.

අලුත් අවුරුද්දේ අපි කරන්න ඔනේ අපේ මේ කර්මාන්ත පද්දතිය යාවත්කාලීන කිරීමට අවශ්‍ය තාකශ්නය හදුන්වාදීමයි ඒකට අපේ මේ තියන නීති පද්දතිය වෙනස් විය යුතුමයි.කෘෂි කර්මාන්තය වේවා අපනයන බෝගකර්මානතය වේවා වෙනත් ඕනෑම කර්මාන්තයක ඒකාදීකාර කිසිම ලෙසක පවත්වා ගෙන යෑම හෝ පැවතීම සිදු නොවිය යුත්තක් ඉතින් අපිට මේ කර්මාන්ත හා නිශ්පාදන පද්දතිය වඩා දියුනු තැනකට පත් කිරීමට ව්‍යුහාත්මක වෙනස්කම් කල යුතුයි කෘෂි විවසායකයින්ට ඔවුන්ගේ ඉඩම් අයිතිය ලබා දෙමින් ආයෝජකයින්ට වඩා පහසු හිතවත් ව්‍යාපාර පරිසරයක් සකස් කරමින් අපනයකරුවාට ඇති බාධා ඉවත් කරමින් ව්‍යාපාර පහසුවෙන් කරගෙන යෑම සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කලයුතුයි නැතුව රජය පාඩු පිට පාඩු ලබ ලබ බදු සල්ලි ඒවලට පුච්ච පුච්ච ව්‍යාපාර කර කර ඉදලං වැඩක් නෑ ඉතින් මේ අවුරුද්දේ ගනුදෙනු සාර්ථක වෙන්නනම් අපේ වැඩ ඇල්ලම හරියටම කරන්න ඔනේ නැත්තං අපේ ආහාර අනුභවයට තියන කෑම වේල එන්න එන්න කුඩා වෙනවා.
ආහාර අනුභව නැකතනම් අපි කොයි කවුරුත් ආසාවෙන් බලාගෙන ඉන්න නැකතක්නේ. ඉතින් අපේ කෑම මෙසෙ ගත්තත් අපේ ආර්ථිකයට සෘජු ලෙස සම්බන්දයි. බලන්න අපේ කෑම මේසේ පුරාවට තියන කැවිලි පෙවිලි. කොකිස් ආවේ ලන්දේ යුගයේ පැණි වලලු ඉන්දියාවෙන් අපේ මේ සැරට හදන ලුනු මිරිසේ මිරිස් ලතින් ඇමරිකාව, කේක් බිස්කට් එංගලන්තෙට නෑකම් කියනවා කොයි  පැත්තෙන් කොහොම ආවත් අද අපේම දේවල් වෙලා අපි ලොකේ තියන හොද දේවල් අපේ විදියට අපේ කරගන්න හැටි මේ අවුරුද්දෙන් අපිට කියලා දෙනවා. ඒ වගේම බලන්න මේ කැවිලි පෙවිලි හදන්න මුළු ලෝකෙම එකතු වෙලා නැද්ද කියලා පාන් පිටි ඇමරිකාවෙන්, සිනි ඉන්දියාවෙන්, පැණි ගම්පහෙන් , ගෑස් සිංගප්පූරුවෙන් , හාල් අම්පාරෙන් ඉතින් බලන්න මේ කැවිලි පෙවිලි මේසේ මේ විදියට හදාගන්න මිනිස්සු කීදෙනෙක් එකතු වෙනවද මේ දේ කරන්න පුළුවන් වෙළදපලකට විතරයි. වෙළදපලක් තියනවනං ඒ වෙළදපල නිදහස්නම් මේ විදියට විචිත්‍රවත් රස කෑම මේසයක් විතරක් නෙමේ රටකුත් අපිට ලැබෙනවා. අපේ වෙළදපලට තියන බාධා අනවශ්‍ය නීති රෙගුලාසි ඉවත් කරලා සංකීර්ණ තීරුබදු නැති කරලා ,මිල පාලන වගේ මායාවන්ගේ ඈත්වෙලා ඉල්ලුම සැපයුම අනුව වෙළදපට නිදහසේ ප්‍රසාරනය වෙන්න දුන්න නම් ඉතින් හැමදාම අවුරුදු වගේ තමා.
ඉතින් මේ අවුරුද්දෙවත් අපිට වසර දහස් ගනනක් තිස්සේ කියලා දීපු ඒ ආර්ථික විද්‍යා පාඩමෙන් මේ පාරවත් හරියට වැඩක් ගමු නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි වෙලාවට නිසි තැනේදී කරලා යාවත්කාලීන දියුනු වෙළදපලක් නිදහස්ව බාධාවකින් තොරොව වැඩෙන්න දෙමු. දූප්පත් දූපත් මානසිකත්වයෙන් මිදිලා වීශ්වීය මිනිසෙක් විදියට ලෝකය දකින්න පටන් ගමු අන්න එකොට ලංකාවේ රාශි ටික හරියට කැරකිලා දුප්පත් රාශියේ ඉදං පෝසත් රාශිය හැකි ඉක්මනින් ගමන් කරන්න පුළුවන් වෙනවා.

ජනත් පෙරේරා
Janath Perera
18/4/2023

මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු

"බිත්තර හරි ගනන්නේ" , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන  රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා  ඉන්න මිනිසුන්ට වේල් තුන පිරිමහ ගන්නවා කියන එකත් අභියෝගයක් වෙලා කියලා අපි දන්නවනේ.

ලංකාවේ ප්‍රධාන ආහාරය වන පෝෂදායි බත් වේලකට මස් කෑල්ලක් මාළු කෑල්ලක් එකතු කරගන්න බැරි දුප්පත් මිනිහාගේ එකම පිහිට  වූනෙත් රුපියල් 12  13 ට පැවති බිත්තරනේ…ඉතිං බිත්තරෙන්  ශරීරයට ප්‍රෝටීන් එකතු කර ගත්තත්  අද වෙනකොට එය මිලට ගන්නවා තියා ඒ දිහා ඇහැක් ඇර බලන්නවත් බැරි මට්ටමකට මිනිසුන් පත්වෙලා.

කඩේට ගිහින්  බිත්තරයක් අතට අරන් එය නැවතත් බිමින් තියලා එන මිනිස්සුත්,ඉස්සර පඩි අරන් තම දරුවන්ට බිත්තර 10ක් විතර  අරන් ගෙදරට යන මිනිස්සුත්  මේ දවස්වල බිත්තර එක දෙක අරගෙනයන අවස්ථා  ඕනෑතරම්  කඩපිල් වලට ගියාහම බලාගන්න  පුලුවන්. ඒකට හේතුව ඉතිං වෙන මුකුත් නෙවෙයි. අද කඩේක බිත්තරයක් රුපියල් 60-65  අතර තමා විකිණෙන්නේ...ඉතිං බලන්නකෝ අද ඉස්පිරිතාලෙ ලෙඩෙක්ට බිත්තරයක් දී ගන්න බැරි මට්ටමකට බිත්තර අහේනියක් ඇති වෙලා.බේකරි කර්මාන්තය,කේක් කර්මාන්තය ආදී සුළු පරිමාණ ව්‍යාපාර මේ හේතුවෙන් නැත්තටම නැතිවී යන තත්ත්වයකට පත්වෙලා.

ඇත්තටම මේ වගේ තත්ත්වයක්  ලංකාව තුළ ඇති වෙන්න ලොකුම හේතුව තමයි මිල පාලන හේතුව. ඉතිං මේ පිළිබඳ 2018 දී ඇඩ්වොකාටා  ආයතනය   "ශ්‍රී ලංකා දේශපාලන රඟහලේ මිල පාලනය,Price controls in sri lankan political Theatre" පර්‍යේක්ෂණ වාර්තාවෙන් පෙන්නලා දීලා තියෙන්නේ,"මිල පාලනය කියන්නේ හුදෙක් දේශපාලන කටයුත්තක් විතරයි කියලා එමගින් භාණ්ඩ වල මිල අඩුකිරීමක් කිසි දවසක සිදුවෙලත් නෑ සිදුවෙන්නෙත්  නෑ කියලා…

ඉතිං මොකද්ද මේ මිල පාලනය කියන්නේ…අම්බෝ රජය බඩුවලට මිලක් දාල දැන් වෙළෙන්දොන්ට ඕන ඕන විදියට නටන්න බෑ… හරී ෂෝක් අප්පා…ආණ්ඩුව හරී හොදාදායි… ඔහොමනේ ඔයාලා හිතන්නේ…ඇත්තටම මිල පාලනය කියන්නේ ආර්ථික විද්‍යාවට අනුව සරලවම කිව්වොත්,"වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය යටතේ තීරණය කරන සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණයක් යැයි රජයට දැනුනූ  විට ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම හේතුවෙන් රජය විසින් නියම කරනු ලබන මිලයි."ඇත්තටම ඔයාලා හිතන්නේ මේ ක්‍රියාව රජය මහජනයාගේ යහපතට සිදුකරනවා කියලා ද? නැහැ. එහෙම හිතන්නත් එපා. ඒනිසා සිදුවන්නේ තව තවත් බඩුවල මිල ඉහළ යාමක්. මතක? රජය විසින් කැසට් වගේ  ගහන විවිධාකාර ගැසට් මඟින්  පසුගිය කාලයේ දී (සහල්, සීනි, පොල් තෙල්, ගෑස්, සිමෙන්ති) මිල පාලනයක් සිදු කලා. ඔයාලට මතක ඇතිනේ..ඒවිතරක්  නෙවෙයි, ඔයාලට මතක ඇති පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව පොල් ගෙඩියටත් උපරිම මිලක් නියම කළා…2019 වසරේ කොවිඩ් කාලයෙත් මෙවැනි මිල පාලනයක් දැම්මා මතක ඇති ඔයාලට.  

බිත්තරයක් රුපියල් 10 ට දුන්නා, ටින් මාලු එකක් රුපියල් 100ට දුන්නා.ඉතිං මෙවැනි මෝඩ තීන්දු තීරණ නිසා රජය පැන වූ සහන මිල අවුරුද්දක් යන්නත් කලින් හතර පස් ගුණයෙන් වැඩි වුණා. අද වෙනකොට බිත්තරයක් කටේ තියාගන්න තියා අතට ගන්න බැරි තැනටම මිල පාලනය පටිසන් දීලා කියලා බිත්තරේ 60ට 65ට කද්දි ඔයාලට දැනෙනවා ඇති.

ඡන්ද ගන්න මිනිසුන්  අන්දවලා හොද හිත දීනා ගන්න දේශපාලකයෝ කරන කූට පැලැස්තර අතීසාරයට අමුඩ ගැසීමක් විදියටත් සලකන්න පුලුවන්. මේ දේමයි බිත්තර කර්මාන්තයට සිදු වුණෙත්. රජයට ඕන ඕන විදිහට භාණ්ඩවල මිල තීරණය කරන්න බැහැ. ඒ නිසා සිදුවන්නේ සාමාන්‍ය මිලට වඩා කළු කඩ මිලක් දක්වා භාණ්ඩ මිල ඉහළ යාමක්.ඉතිං මේ කාරණයෙන් තේරුම් යන්නේ අපි ජීවත්වෙන විවෘත ආර්ථිකය තුළ භාණ්ඩවල මිල තීරණය වෙන්නේ සාපේක්ෂව ඉල්ලුම හා සැපයුම මත බවයි. එබැවින් වෙළඳපොළට රජය අනිසි ලෙස මැදිහත් වීම වැළැක්විය යුතුයි. එය ආර්ථික විද්‍යාවට අනුව හොඳ දෙයක් නම් නොවෙයි. 

ඉතින්  බිත්තරවලට වුනෙත්  පාරිභෝගික කටයුතු අධිකාරිය  පැන වූ මිල පාලනය නිසා බිත්තර මිල වේගයෙන් ඉහළ යාමක්..ඔයාලට මතක ඇති අගෝස්තු මාසයේ බිත්තරේට පාලන මිලක් දැම්මා රුපියල්  42ට විකුණන්න ඕන කියලා…එම පාලන මිල දැම්මත් එක්කම වෙළඳපොලේ ඇති බිත්තර අතුරුදහන් වුණා. එය බිත්තර හා කුකුල් මස් කර්මාන්තයට විශාල අභියෝගයක් වුණා. අභිජනනය කළ කුකුළු ෆාම් විදුලිය නොමැති කම පදනම් කරගෙන වසා දැම්මා,බිත්තර දමන කිකිළියන්ට කෑමට අවශ්‍ය සෝයා ආශ්‍රිත ආහාර නොමැති වීමෙන් මසට විකිණුවා, කුඩා පරිමාණ කුකුළු නිෂ්පාදකයින් රුපියල් 42ට පැන වූ පාලන මිලට බිත්තර විකිණීමෙන් පාඩු පිට පාඩු ලැබීමට ඇති හැකියාව නිසා ඔවුන්ට තම කුකුළු කර්මාන්ත කරගෙන යාමට නොහැකිවුණා.මේ ඔස්සේ පැහැදිලිවන්නේ රජය විසින් දුරදිග නොබලා සිදුකරන මෝඩ වැඩ තමයි.

ඒ නිසා බිත්තර සැපයුම දිනකට බිත්තර මිලියන 7 සිට  මිලියන 4 දක්වා පහතට වැටුණා. අර කලින් කියූ කළු කඩ මිල ඉහළ ගොස් අද දරුවකුට දෙන්න බිත්තරයක් මිලට ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා.ඉතින් ඒ නිසා රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කරලා  තියෙනවා.ඒකට හේතුව තමයි, රටකින් බිත්තර ගෙනල්ලා රුපියල් 25-30 විකීණීමට හැකියාවක් තියෙන නිසා අපේ රටේ බිත්තර නිෂ්පාදනයට වඩා ආනයනික බිත්තර වෙළෙඳපොළට බෙදා හැරීමේ වාසි දායක තත්ත්වයක් තියෙනවා.ඊට හේතුව ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් කුකුළු කර්මාන්තය සිදු කරන්නේ සුළු පරිමාණයෙන් නෙවෙයි.ඔවුන් මහා පරිමාණයෙන්  කර්මාන්තය සිදුකරගෙන යාම නිසාත් කර්මාන්තයේ කාර්‍යක්ෂමතාවය වැඩි නිසාත් විශාල වශයෙන් බිත්තර නිපදවා ගත හැකි වෙලා තියෙනවා.ඉතින් හිතන්නකො අපේ රටේ කර්මාන්තයේ කාර්යක්ෂමතාවයට කෙතරම් විහිලු සහගතද කියලා.

ඒ නිසා නිෂ්පාදන කාර්යය කාර්යක්ෂමව සිදු කළ හැකි ක්‍රමවේදයක් ගොඩ නැගිය යුතු වෙනවා.වෙළඳපල එකිනෙකට සම්බන්ධ වී ඇති නිසා ගෝලීය වෙළදාම තුළ තරඟකාරීව හැසිරීමට වෙළදුන්ට මං මාවත් විවර කළ දිය යුතු වෙනවා. එමගින්  උඩ ගිය බිත්තර මිල නැවත යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වෙනවා වගේම ආර්ථික අර්බුදය යම්තාක් දුරට ප්‍රගතිශීලී මාවතකට රැගෙන යාමට අපිට හැකියාවක් ලැබෙනවා.


දුෂාණි එදිරිසිංහ

2023.01.13

ත්‍රෛලෝක විජය පත්‍ර ඩොලර් වලින් පවන් සලයිද ?

කාලෙන් කාලෙට සතියෙන් සතියට අළුත් අළුත් මාතෘකා වේදිකාවට එනවා. ඉතින් කාලයක් තිස්සේ ලංකාවෙ තැන් තැන් වල කතා කරපු දෙයක් තමා දැන් දියවන්නාව පැත්තෙන් ඇහෙන්නෙ.

ඒ තමයි ගංජා ගැන කෙරෙන සාකච්ජාව. ගංජා නොහොත් කංසා එහෙම නැත්තං මරුජුවානා නැත්තං ඉතින් ත්‍රෛයිලෝක වියජ පත්‍ර. නම් නං හැට හුටාමාරක්ම තියනවා ඔය මොන නමකින් කතා කලත් ඕකෙන් අපේ ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් වෙයිද ?

එහෙම හිතන එකත් අර කොහෙවත් ඉන්න දියසෙන් කෙනෙක් ඇවිත් රට ගොඩදාලා අපිව තුසිතෙ එක්කං යයි වගේ සීන් එකක්ද කියලා සමහරුන්ට හිතෙයි. ඇත්තටම ඔය කියන තරම් ගංජා වලින් අපිට ඩොලර් පැටව් ගස්ස ගන්න පුළුවන් නම් ඇමරිකාව තිරුඟු වගාකරන එක නවත්තලා ජාතික පුෂ්පය ගංජා මල කරලා පේටන් එකත් මේ වෙද්දී අරං.

subject එක ගැන දන්නෙ නැති කට්ට්ය මවන ෆැන්ටසි කතාව තමා ගංජා economyයක් හදලා අපි දියුණු වෙමු කියන කථාව. ඕක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. ගංජා ලොකේ වැඩි ප්‍රවනතාවයිකින් භාවිතා කරන්නේ මත්ද්‍රව්‍යක් ලෙස ජාන විකෘති කරලා හදන කැනබි variant වල THC අගය වැඩියි ඒ් කියන්නේ මත්වෙන ප්‍රතිශතය වැඩී තවත් සරලව කිව්වොත් තනකොළ ගලවං යන්න වදිනවා කියන එක.

ඒ වගේ variant හදන්නේ රසායානාගාර ආශ්‍රිතවයි.දැඩි පාලිත තත්වයන් යටෙත් විශාල ආයෝජනයක් කරලා කරන්න ඕන වැඩක්,කැනඩාව හා ඔස්ට්‍රේලියාව වගේ රටවල විශාල වශයෙන් ඒ වගේවගේ රසායනාගාර ගංජා නිශ්පාදනය කරනු ලබනවා. ඕක ගැන දන්න කට්ටිය දන්නවා කුඹින්ගෙන් දැලඹුවෝ මියෝ තව තව කෘමින් ගෙන් බේරගන්න නං ළමයි බලාගන්නවා වගේ පැළ බලාගන්න ඕනේ කියලා.

අනිත් වැඩිපුර යොදාගන්න කාණ්ඩය තමා ඖෂධ ලෙස යොදා ගන්න ගංජා කාණ්ඩය. මෙහි මත්කාරක අඩු ප්‍රතිශතයක් තමා තියෙන්නේ. පිලිකා රෝගින්ට, මානසික ආතතිය ඇති රෝගින්ට යුරෝපයේ වෛද්‍ය නිර්දේශතව ලබාගන්න පුළුවන් ආයුරුවේදය හා සිංහල හෙළ වෙදකමේදි ඉතා බහුලව ගංජා භාවිතා වෙනවා. වස්ති, මදන මෝදක, අරිශ්ඨ ගුලි ,කලල්ක, ඉසකුඩිච්චි, දුම්හට්ටි හා කැද වලටද යොදාගනු ලබන ගංජා ප්‍රධානම ඖෂදයක් ලෙස භාවිතා කරනු ලබනවා

Martket product විදියට ගත්තම බෙහෙත් හා මත්ද්‍රව්‍ය වලට අමතරව සබන්, අයිස්ක්‍රීම්, සුවද විලවුන්, හදුම්කුරු, බිස්කට්,රූපලාවන්ය හා චොක්ලට් ව‌ගේ එකි මෙකි නොකි බඩු ගොඩක් ගංජා ආශ්‍රිතව හදනවා ඒවගේම ලොකයේ වෙළඳපළ පංගුව විදියට ඩොලර් බිලියන 13.2 ක් 2021 වසෙර්දි සදහන් වෙනවා.

අතීතයේ අපිත් ගංජා කුළුබඩුවක් විදියට පාවිච්චි කරපු විදිය රොබටර් නොක්ස්ගෙ එදා හෙළදිවෙන් හොයාගන්න පුළුවන්.නිකං පරණ මනුස්සයෙක් ගෙන් ඇහැව්ව් කියයි මස් බුරුල් වෙන්න හොද්දට කොළයක් දෙකක් දානවා කියලා. ඉතින් ගංජා කියන්නේ අවිවාදයෙන්ම multi use කරන්න පුළුවන් පට්ට material

ඒ්වගේම ගංජා කියන්නේ අපේ සමාජෙට නුහුරු නුපුරුදු දෙයක් නෙමයි. එත් ඔය හේන් වගා කරලා ගංජා තෙල් බෝතල් කරලා රට යවලා ආර්ථිකේ ගොඩදාන කතා නං ඉතින් ෆැන්ටසි තමා.

අවුරුදු 150ක් විතර පරණ Ceylon Tea එක Brand කරගන්න බැරුව market එක කෙල කරගත්තු අපි ගංජා වලින් ලෝකය ජයගනි කියලා හිතන්න නං එපා. ඒ්ක ඒහෙන් පිටින්ම තඩි මුලාවක්.

ඉස්සෙල්ලාම අපිට නිසි අධ්‍යන හා පර්යේෂණය අවශ්‍යයි ප්‍රාමානික වෘතිකයින්ට මේ වැඩේ බාර දෙන්න ඔනෙ. ඒවගේම නීති සම්පාදනය විය යුතුයි මොකද මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ගංජා තෙල් දාලා ටොපි, ලොසිංජර, කිරිටොපි පාසල් ළමුන් අතට බොහෝම ඉක්මනින් පත්වෙන්න පුළුවන්. සකල සිරිං පිරි සිරි ලංකාවේ ඒ් වගේ වැඩ නං හෙනම වේගෙන් සිද්ද වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ඒක නිසා නිසි ක්‍රමවේදයක් හා දිගුකාලින සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඔනේ නැත්තං කූඥ්ඥෙ ගෙලෝපු රිලවට වෙච්ච දේ තමා අපිටත් වෙන්නෙ කියලා හොදට මතක තියා ගන්න ඔනේ.

අනිත් අතට ගත්තත් ලොකයෙ ගංජා වෙළදපල ඉතා විශාල එකක් නෙමේ. ඒ වගේම එයට අති විශාල පාරිබෝගිකයින් සංඛාවකුත් නෑ පාන් පිටි, සිනි, ආයුධ ,මෝටර් රථ ,ඉලෙක්ට්‍රොනික් වෙළදපළපළ පංගුව එක්ක සදන්නවත් බැ. උදාහරණයක් ගත්තොත් සිනි ප්‍රධාන අමුදව්‍ය කරගත්තු කොකා කෝලා වල market cap එක ඩොලර් බිලියන 235.77 ක අගයක් ගන්නවා.ගංජා වලට ඒ තැනට යන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා කියලා ඔයාලට තේරෙනවනේ.ඉතින් අපි බලන්න ඔනේ හොද ශක්‍යතා අධ්‍යනයක් කරලා ගංජා economy එක අපිට ගැලපෙනවද කියලා. එහෙම නැතුව කඩි මුඩියේ ගංජා වලින් ඩොලර් ගේමු කියලා ගංජා නීති ගත කරලා පිස්සු කෙලියොත් ඒකත් හරියට හරිත කෘෂි කර්මෙට වෙච්ච නස්පැතියම තමා උරුම වෙන්නේ. එක හරියට ගොනත් ඇනලා ගහෙන් වැටිලා ඉද්දි දුවං ගිහිං තඩි වලකට පැන්න සීන් එකක් වගේ වෙනවා

එක එක් කෙනාට ජනප්‍රියවෙන්න මාතෘකා හදාගන්න එක පැත්තකින් තියලා ශාස්ත්‍රීය අධ්‍යනයක් මගින් නව නිර්මාණ හා නවෝත්පාදන අතිවිශාල ප්‍රමානයක් ගංජා ආශ්‍රිතව සිදුකරන්න පුළුවන්. එහෙම නැතුව අදුරෙ අතපත ගාන වැඩ නොකර නිසි ක්‍රමවේදයක් යටතේ ගංජා නෙමේ ඔනෑම බෝග වගාවකින් ජාත්‍යන්තර වෙළඳපලෙන් විශාල පංගුවක් අයිතිකරගන්න අපිට පුළුවන්. මේ කතාව ලත් තැනම ලොප් නොකර නිසියාකාර ක්‍රම හා වැඩපිලිවෙලක් යටතේ ගෙනගියොත් අපිට ඩොලර් ගේන එක simple case එකක්.

ජනත් පෙරේරා
Janath Perera

19/10/22

මඩ සෝදාගත් කල ගොවියා රජ වෙයිද ?

අපි දන්න කාලේ ඉදං අපිට මතක කාලෙ ඉදං ගොවියොන්ගෙන් ඇහුනේ දුක්ගැනවිලි විතරමයි
විශේෂයෙන් පහුගිය දවස් ටිකේ ඒ ප්‍රශ්න තවත් උග්‍ර උනා කුඹුරට වැඩිය පාරවල් වල හිටිය ගොවියො ටික ටික ගොවිතැනෙන් ඈත් වී ගෙන ගියා.

එයාලා නිතර කියන දේයක් තමා එයාලගේ අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නෑ ,කූඹුරට තාක්ශනේ ලැබෙන්නෙ නෑ, තෙල් පෝර කෘමිනාශක නෑ , කිසිම ලාබයක් නෑ , වගා හානී වගේ එකි මෙකි නොකි නා නා විද ප්‍රශ්න කප්පරක්.

මේ විදියට අපේ බත් පත සපයන ගොවියා මොකද හැමදාම දුකෙන් දුප්පත්වෙලා ඉන්නේ ඒක පට්ට අවුලක්නේ,
මේක ගොවියගේ ප්‍රශ්නයක්ද රටේ අවුලක්ද නැත්තං බත් කන අපේ අවුලක්ද ?
ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි කාලෙන් කාලෙට එක එක ආණ්ඩු පත් කරගත්තා ගොවියෝ රජ කරවලා අපිටත් හොද ආතල් එකේ ඉන්න,
ඒයාලා බලය ඉල්ලුවේ නොමිලේ පෝර දෙනවා , ගොවි ණය කපනවා , වගා ඉඩම් අයිතිය දෙනවා, වැඩි මිලක් වී වලට දෙනවා වගේ හෙන සුරංගනා කථා කියලා අපිත් ඉතින් ඉවක් බවක් නැතුව අපිම කපලා මහලා ඇදගත්තා, ඊට පස්සේ බලයට එන මිනිස්සුන්ට ඒවා අමතකයි හැබයි බැදගත්ත බෙරේ යංතං හරි ගහන්න එපැයි නැත්තං ඊගාව චන්දෙට ඒයාලා ගෙදර, ඒ නිසා ඒ හැම ආණ්ඩුම කලේ තව තව ණය පිට ණය අරං සහනාදාර දි දී දුප්පත්කම maintain කරපු එක.

වගාබිමට අවශ්‍ය නව තාක්ශණය, වැඩි අස්වැන්නක් සහිත බීජ , ගොවිමහතුන්ට අවශ්‍ය නව කෘෂි අධ්‍යාපන, වගා භූමියේ අයිතිය වගේ දෙවල් පැත්තකට දාලා අපි කලේ නොමිලේ නොමිලේ කිය කිය පෝර ටොන් ගනං බෙදපු එකයි කිසිම පූර්ණ කාලීන සැලසුමක් ක්‍රමවේදයක් නැතුව ගේන කාබනික වගා සංග්‍රාමය, පෝර කෘමි නාශක තහනම වගේ දුරදිග නොබලා ගත්ත තීරන වලට පට්ටට වියදං කරපු ඒකයි විතරයි,
අන්තිමට ඒකෙන් උනේ ගොවියා විතරක් නෙමේ බත් කන අපිත් කබලෙන් ලිපට වැටිලා ලිප ගිනිගත්ත එකයි.

අද ලංකාවේ උද්දමනය 70% පැනලා ලෝක බැංකු වාර්ථාවලට අනුව ආහාර උද්දමනය අතරින් ලංකාව ලෝකෙන්ම 3න්වෙනි තැන මේක කොහෙන් ගිහින් නතර වෙයිද කියලා සකරයගේ පුතා වෙච්ච වෛමවත් දන්නේ නැතුව ඇති.

කෘශි කර්මාන්තෙ තියා පොදු වැසිකිලියක් වත් හරියට කරන් යන්න දිගුකාලින සැලසුම් ලංකාවේ නෑ හදපු ඒවත් හමස් මලුවල ඔබලා එන එන ඇමතිට ඔන සභාපතිට ඔන දේවල් කරනවා, ඒදා ඉදන්ම කිසිදු නිස්චිත ක්‍රමවේදයක් නොදිබිච්ච අපේ රටේ තරුණ තරුණියෝ System Change ඉල්ලුවම සමහරු උඩ බිම බලන්නේ ඒක නිසා, Change කරන්නත් System ඒකක් තියෙන්න ඒපැයි.
ඉතින් එදිනෙදා ටුවර්ස් වගෙ පෙළපාලියක් යනකොට උද්ගෝෂනයක් ඒනකොට වැඩ වර්ජන ඒහෙම දකින කොට පට් ගාලා පාලකයෝ කලේ

“ආ මෙහෙ එන්න මෙහෙ එන්න ආ මේක ගන්න බොරුවටනේ කලබල වෙන්නෙ කියලා”

වගා ණය, වන්දි, සහනාදාර, පඩි වැඩිකිරීම් කරලා අපේම බදු සල්ලි එයාලගේ වගේ අපිටම බෙදුවා බෙදපු බෙදිල්ලේ තරම කියන්නේ දැන් රට බංකොලොත් ලෝකෙන් ගත්ත ණය ගෙවාගන්නේ බැරුව ඒහෙට මෙහෙට ඇඹරි ඇඹරි IMF ඒක පස්සෙන් ලෝකබැංකුව පස්සෙනුයි යන්න වෙලා.

දැන් අර ඉස්සර හරක්ට පුන්නක්කු බෙදන්නා වගේ බෙදන්න සල්ලිත් නෑ ණය ගන්න විදියකුත් නෑ අනික කෘෂිකර්මාන්තය ගැන ගත්ත මෝඩ තීරන නිසා වැඩේ තවත් අල වෙලා උග්‍ර ආහාර අර්බුදයකට මූණදෙන්න වෙලා මහ බැංකුවට අනුව අගෝස්තු මාසේ ආහාර මත උද්දමනය 84% පසු කරලා වාර්තා දත්ත දිහා බල බල ඉන්න දෙයක් නෑ නේ කඩේට ගියාම අපිට තාරුකා පාත්වෙන ගානට බඩුමිල නැගලා කියලා හොදටම පේනවනේ.

ආපහු පරණ ප්‍රශ්ණ ටිකම ඇවිත් ගොවි ණය, පෝර නෑ ,කෘෂි රසායන අධික මිලයි ,බඩුමිල , ප්‍රවාහනය අධික මිලයි,තෙල් නෑ , වී මිල අඩුයි වගේ පරණ තැටියම ආපහු ඇහෙනවා හැබැයි මේපාර ගිය පාරවල් වල වගේ

“මා වැනි දිලින්දා වර වර ලගට කැන්දා දුක් සැප කිමන්දා අසන නිරිදෝ “

ලොවෙත් නැති වෙලා ලොවි ගහෙත් නැතිවෙලා තියෙන්නේ, නිරින්දෝ තෙල් හොය හොය ණය හොය හොය ආධාර හොය හොයා ලෝක වටේ දුවනවා හුරේ තියං ,
නිසි කළමණාකරනයක් ක්‍රමවේදයක් නැති වෙච්ච නිසා කොරෝනා කියන මහා රූස්ස ගහනේ වැටිච්ච අපිට උද්දමනය කියන ගොනා බිමදාගෙන ඇනගෙන ඇනගෙන යනවා අපිට කරන්න කිසිම දෙයක් නෑ.

ගොවියට ඉතින් දැන් වෙන්නේ මඩෙන් ගොට එන්න එයාගේ ලමයින් නං කවදාවත් කුඹුරක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නම් නෑ.මේකෙන් වෙන්නේ අපේ වී නිෂ්පාදනය ඇතුළු ආහාර නිෂ්පාදනය අඩාල වෙන එක, දැනටත් හාල් මිල දරන්න බැරි ගණන් වලට ඉහල ගිහිං ඉවරයි කළුකඩ ඇති වෙලා මොල් මාෆියාවක් ගැන කතාකරනවා ,පෞද්ගලික ව්‍යාපාරිකයව පතුරු ගහනවා හූරං කනවා කියලා ඒ තත්වෙට පරිසරේ හදපු අය සුදු රෙද්දෙන් මූණ වහං තාමත් පරණ සෙල්ලම් ටික ඒ විදයටම කරනවා ඒයාලට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුංචිම හරි උවමනාවක් තියනවා කියලනං පෙන්නෙ නෑ.

තමන්ගේ ප්‍රධාන ආහාරය නිස්චිත මිලකට ප්‍රමාණවත්ව සපය ගන්න බැරි රටක ආර්ථිකයක් ගැන කතාකරලා වැඩක් නෑ ,ගොවියා රජ කරවන්න කලින් කකුල් දෙකෙන් ස්වයංව නැගිට්ටවන්න ක්‍රමයක් හදාගන්න ඔනේ
හැමදාම පිනට කන ජාතියක ඉරනම අති භයානකයි, ඒ ෆිල්ම් එකේ ට්‍රේල එක තමා අපි මේ දකින්නේ අපිට පිනට කන්න පුරුදු කරපු අය බුරුතු පිටින් ලමා ලපටිත් අරං යන්න යාවි එයාලගෙ රටවලට අන්තිම අපිට ඉතුරුවෙන්නේ හපකරලා දාපු රොඩ්ඩක් විතරයි.

හැමදාම උනේ කුඹුර මඩටම යට වෙච්ච එකයි ඒ මඩෙන් ගොවියට ගොඩවෙන්න බැරිවෙච්ච එකයි ව්තරයි ,කුඹුර වෙළඳපොළත් එක්ක සම්බන්ද වෙන්න ඕන. එහෙම වුණාම ඔය ඔක්කොම වැඩ කරනවා. මෙතන තියන ලොකුම ප්‍රශ්ණය ඇවිල්ලා කුඹුර දළු දාලා නිල්ල ගහන වෙළදපොළක් වෙන්නෙ නැතිකම. ඒක නිකංම නිකං සහනාධාර දෙන මුඩ් බිමක් වගේ. ගොවි බිම් වල අයිතිය ගොවින්ට දෙන්න ඔනේ නැත්තං කවදාවත් මේ ප්‍රශ්න වලට විසදුමක් නම් ලැබෙන්නෑ ගොවිතැන් කරන්න දිරිමත් කරනවා වෙනුවට අපි හැමදාම කලේ බාදක දාපු එක ඒ බාදක නැති කරලා නීතිමය අයිතිය ගොවියට ලබා දෙන්න ඔනේ. අන්න එතකොට කුඹුර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එතෙකාට තමා වෙළදපලට සම්බන්දවෙලා පද්දතියක් විදියට දුවන්න පටන්ගන්නෙ.

ඒ වගේම සෑම වසරකට අපි වෙළදපලට නිශ්පාදනය කරන බෝගවලට නිසි සැලැස්මකට ක්‍රමෙව්දයක් යටතේ තොග කල්තියාගන්නෙ කොහාමද ආරක්ශිත තොග කොච්චරක් ඔනෙද ප්‍රවාහනයේදි ගබඩා කිරිමේදි සිදුවෙන හානිය අවමකරගන්න නවීන ක්‍රම මොනවද, ප්‍රවාහන විදම් අඩු කරන්න ජාලගත ක්‍රමයක් හදන්න ඔනේ ඒකෙන් භාණ්ඩ මිල අඩුවෙන් තියාගන්න පුළුවන් ඒතකොට තමා වෙළද පල ප්‍රසාරනය වෙන්නේ වැඩි ඉල්ලුමක් ඇති වෙන්නේ ඒ වගේම වැඩි ආදායමකුත් එන්නෙ.

අද ලෝකය ඩිජිටල් වෙලා එත් අපේ දත්ත තියෙන්නෙ අමාත්‍යංශවල පුස්කාපු අල්මාරි අස්සෙ ඒ අල්මාරි අස්සේ තියන දත්ත එලියට අරං ඩිජිටල් දත්ත ගබඩාවක් නිර්මානය කරලා දත්ත මත පදනම් කරගත් තීන්දු තීරන ගන්න ක්‍රමවේදයක් හා ඒවා යාවත්කාලීන කරන විදියකුත් අපි හදාගන්න ඔනේ, අපිට ඉදිරියට යන්න නම් දිගුකාලින වැඩපිලිවලක් හා ප්‍රායෝගික ක්‍රමයක් අත්‍යාවශයි නැත්තං රජකරවන්නවත් ගොවියො ගෙන්න වෙන්නෙ චීනෙන් හරි ඉන්දියාවෙන් හරි තමයි.

ජනත් පෙරේරා
Janath Perera

2022.10.16

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙ…

ලංකාව කියන්නේ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඉහළ සංස්කෘතියකින් පරිපූර්ණ වංචාව දූෂණයෙන් තොර ධර්මිෂ්ඨ රටක්. ඇත්තටම හිනා යනවා නේද? බුදුනුත් තෙවරක් වැඩි, හතර පෝයටම සිල්ගන්න… ගුණවත් නැණවත් පිරිසක් තමයි ලංකාවේ ජීවත් වෙන්නේ… හැම හොද වැඩක් ම පටන් ගන්නෙත් බුදුන්ට මල් තියලනෙ, නිකන් හරියට ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ. ඇයි දන්නවද එහෙම කිව්වේ… අල්ලස සහ දූෂණය අතින් රටවල් අතර ප්‍රමුඛ රටක් බවට සිරිලංකාව පත්වෙලා හමාරයිලු…

ඉතිං අපි බලමු අල්ලස හා දූෂණය කියන්නේ මොකක්ද කියලා... අල්ලස කියන්නේ පගාවනේ…සාමාන්‍යයෙන් අපි දන්නේ ජරාව කනවා කියල… අද ජරාව නොකන මනුස්සයෙක් මේ ලෝකේ නැතිම තරම්… ලාභ ප්‍රයෝජන තකා අනෙකාගේ රීරි මාංශ උරා බීමට තරම් පෙලඹෙන සත්ව කොට්ඨාසයක් බවට මිනිසුන් පත්වෙලා. ඒ ඔස්සේ තමයි දූෂණය පිළිබඳවත් කතාව එන්නෙත්…සරලවම කිව්වොත් දූෂණය කියන්නේ පැවරී ඇති බලතල පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා අයථා ලෙස යොදාගන්න එකනේ... මෙම තත්ත්වය ලංකාවේ විතරක් නෙවෙයි, ආසියාවේ ඉහළ තැන සිට පහළ තැන දක්වාම හොර රහසේ සිදුවන දෙයක්.

රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් සහ ලංකාවේ දේශපාලඥයින්,පොලිසිය වැනි අය රාශියක් අල්ලස සහ දූෂණය රජකරවන අයවලුන් බවට පත්වෙලා.මහ බැංකු වංචා,සුදු ළූණු වංචා,සීනි වංචා එකී නොකී වංචා. ඒත් ඉතිං මේ අය වේදිකාවල රඟන්නේ හරියට උපාසක බළල්ලු සිල් ගන්නවා වගේ. අර නිකං කියමනකුත් තියෙන්නේ කකුළු අම්මා පැටවුන්ට කෙළින් යන්න කියනවා වගේ කියලා…

අපි පොඩ්ඩක් බලමු ලංකාව ලෝකයේ දූෂණය අතින් කීවෙනි තැනක ඉන්නවද කියලා…"ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එක කියන්නේ නම් 2021 වසරේ ලංකාව ලෝකයේ රටවල් 180ක් අතරින් 102 කියලයි. ඒ කියන්නේ දූෂණ ප්‍රමිතිය (Corruption Rank)102 යි.දූෂණ දර්ශකය(Corruption Index) 37යි.වසර 10ක් පුරාවට ලංකාවේ සිදු වුණු දූෂණ ශ්‍රේණිගත කිරීම පහත ප්‍රස්තාරයෙන් ඔයාලට දැකගන්න පුලුවන්.

(මූලාශ්‍රය:ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්)

අල්ලස සහ දූෂණය රටක සංවර්ධනය අඩාල කරවන ආර්ථිකය සීඝ්‍රයෙන් පහළට ඇද දමන ක්‍රියාවක්… දූෂණය වංචාව අද ලංකාවේ සුළු පරිමාණයෙන් හා මහා පරිමාණයෙන් සිදුවෙනවා. ඒත් රාජ්‍ය පාලකයින් ඇහැ කන වහන් ඔහේ බලන් සිටීම කණගාටුවට කාරණයක්… ඒත් කියන්නෙනම් මේක තනි සිංහල බෞද්ධ රටක් කියල.

රටක් සංවර්ධනය වෙන්න ඕනේ..අධිවේගී මාර්ග, පාලම්, ගොඩනැගිලි හැදෙන්න ඕන. ඒත්,තමුන්ගේ ලාභ ප්‍රයෝජන තකා අහිංසක ජනතාවගේ මුදල් යටිමඩි ගැසීම එතරම් හොඳ දෙයක් නොවන බවත් දැනගන්නම ඕන… එහි ඵල විපාක අප අද වන විට ඇස් පනා පිටම විදවමින් සිටිනවා..

ඩොලර් නොමැතිව පත්ව ඇති ආර්ථික අර්බුදය ගෙවා නිම කරගත නොහැකි තරමට ණය කඳු ගොඩගැහිලා…ලෝක බැංකුව කියන විදියට මේ වෙනකොට(2022) දරිද්‍රතාවය 11.7% දක්වා ඉහළ ගිහින්.ඒ නිසා අද ශ්‍රී ලංකාව දුප්පත්කමේ රේඛාවෙන්(poverty Line)පහළ මට්ටමකට ඇද වැටිලා තියෙනවා.අම්මලාට දරුවෙක්ට කිරිවීදුරුවක් දී ගන්න බැහැ…පාසල් දරුවෝ දවල් කෑමට කුරුම්බා මද කනවා.එදා වේල හොයා ගන්න බැරි මිනිසුන් හොරකම් වලට පෙලඹිලා… දරුවන් පාසල්වල නොකා නොබී සිහිසුන්ව ඇද වැටෙනවා...වැඩිහිටියෙක්ට බෙහෙත් පෙත්තක් මිලට ගන්න බැරි වෙලා… අනෙකාගේ දුක තේරුම් නොගෙන තම බඩ කට පුරෝගන්න ගිහින් අද ලංකාවම නරකාදියක් බවට පත්වෙලා.

දූෂණය ඇත්තටම මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී වරදක්..... ඇත්තටම සුද්දා අපිට දීලා ගියේ ණය නැති රටක්නේ.ඒත් ඉතිං අපේ රටේ පාලකයින් වසර පහෙන් පහට මේ රට තුළ විශාල ණය බරක් ඇති කරලා... එම ණය බර ඇති වීමට ප්‍රධානතම හේතුව   තමයි  මේ දක්වා රට සංවර්ධනය කරනවා කියමින් ගත් විදේශීය ණය වලින් විශාල ප්‍රමාණයක් රට පාලනය කරපු අය හොරා කෑම.

හැබැ‍යි ඒ හොරා කෑම වෙන්නේ තරඟකාරී වෙළදපොළක් නැති වෙන තැන. සාර්ථක වෙළදපොළක් ඇතුළේ හොරකම් කරන කෙනාගේ භාණ්ඩයේ මිල වැඩි වෙනවා. කල් පවතින්න බෑ. අපේ ගොඩක් අය හොරකම් කරන්නේ වෙළදපොළ වහලා සහ විකෘති   කරල. කොහොම හරි අන්තිමේදී සිදුවුණේ ඉතිං වංචාව හා දූෂණය රජ කරගෙන රට ආර්ථික අර්බුදයෙන් මිරිකී තව තවත් අගාධයටම ගෙන ගොස් අතහැරීමක්. 

මේ නිසා රටේ උද්ධමනය 70% වැඩිවෙලා.විදේශ ආධාර,ආයෝජන නවත්තලා.ආදායම් බෙදී යාමේ විෂමතාවක් ඇතිවෙලා.ඇත්තම කිව්වොත්, දූෂණය වන පරිමාණය මත තමයි රටක් සංවර්ධිත ද සංවර්ධනය වෙමින් පවතින ද ඌන සංවර්ධිත ද කියලා කැටගරි වෙන්නෙ. ඉතිං හිතන්නකෝ දශක ගනනාවක් තිස්සෙ  ලංකාව ඇයි සංවර්ධනය වෙමින් පවතින්නෙ කියලා...ඔයලාට ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙනවද?ජොබට සරිලන පඩියක් තියෙනවද? දැන් පේනවානේ රටකට වෙච්ච දෙයක්.තවත් ඇස් කන් වහන් බලන් ඉන්නකෝ… එතකොට අනාගත පරපුරට ලස්සන රටක් ඉතුරු වෙයි.අල්ලස හා දූෂණය ලංකාවෙන් අතුගා දාන්න රජයන් පියවර ගත්තත් ඒවා හරියට කරනවද නැද්ද යන්න සැකයක් තියෙනවා.මොකද නැත්නම් මේ වගේ  ආර්ථික අර්බුදයකට අද   පත්වෙන්නෑනෙ.

නිදහස් ආර්ථික සමාජය සංවර්ධනය උදෙසා අල්ලස සහ දූෂණය පුලුවන් තරමින් අඩුකරමින් යහපත් දේශයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු වෙනවා.. ඒ සඳහා අදාළ නීතිරීති තද කරමින් ඒවාට ගරු කරන පිරිස් නිර්මාණය කිරීමට රජය පියවර ගැනීම ඉතාමත් වැදගත්.ඒ වගේම අසාධාරණයට එරෙහිව හඬ නැගීමට මිනිසුන් විදියට අපටත් ශක්තිමත් කොදු නාරටියක් අවශ්‍යය වෙනවා.එමගින් ආර්ථිකය අතින් ස්ථාවර සංවර්ධිත රාජ්‍යක් ගොඩනගා ගැනීමට පුලුවන්.


දුෂාණි එදිරිසිංහ

2022.10.14

පොහොසතුන් දුප්පත් කරන, දුප්පතුන් තවත් දුප්පත් කරන ඉහළ නගින ජීවන වියදම

ලංකාවේ ආර්ථිකය ගැන දැන් බලද්දී මට මහාචාර්ය රොහාන් සමරජීව ඇඩ්වොකාටා ආයතනය ගිය අවුරුද්දේ නොවැම්බර් වල පවත්වපු “ආර්ථිකයට ජාතික සම්මුතියක්” සම්මන්ත්‍රණයේදී කියපු පොඩි ප්‍රකාශයක් මතක් වෙනවා. මහාචාර්යතුමා ප්‍රකාශ කලේ අපේ මේ ආර්ථික අර්බුදය සුළි කුණාටුවක් කියලා හිතුවොත් අපි තාමත් ඉන්නේ ඒ කුණාටුවේ පටන් ගැන්මේ. දැන් ඉතින් අපි ඉන්නේ මේ අවුරුද්දේ 7 වෙනි මාසේ, ඒ වගේම අපේ ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් තියෙන කාලෙක. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජූනි මාසයට නිකුත් කරපු දත්ත වලට අනුව ලංකාවේ උද්ධමනය(inflation) 54.6% වෙද්දී ආහාර උද්ධමනය 80.1% ක් වෙනවා. මේ අවුරුද්ද පටන් ගන්නකොට ජනවාරි මාසයේදී, ලංකාවේ උද්ධමනය 14.2%ක් වෙද්දී ආහාර උද්ධමනය වුනේ 25% ක් විතරයි. ඒ කියන්නේ මේ මාස පහ ඇතුලත ලංකාවේ උද්ධමනය 40.4% කින් හා ආහාර උද්ධමනය 55% කින් ඉහළ ගිහින් තියෙනවා.(දැන් ඉතින් මේක කියවන ආර්ථික විද්‍යාව නොදන්නා අය බලනවා ඇති මේ උද්ධමනය කියන්නේ මොකක්ද කියලා. උද්ධමනය කියන්නේ යම් කාල සීමාවක් තුළ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යෑම. උද්ධමනය වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන්ට බඩු මිලදී ගන්න පුළුවන් හැකියාව අඩුවෙනවා කියන එකයි.) මෙහෙම බලනකොට මේ අවුරුද්දේ ජුනි මාසය වෙද්දී අපේ රටේ පුද්ගලලෙයුකුට ආහාර මිලදී ගන්න තියෙන ආර්ථිකමය හැකියාව 55%කින් පහළ වැටිලා තියෙනවා. 

තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල 2021 හා 2022 අතර වෙනස් වී ඇති ආකාරය පහත වගුව තුලින් ඔබට බලා ගන්න පුළුවන්. (facebook එකේ articel එක කිය වන අය comment section එකට යොමු වෙන්න)..

මේ දරුණු ලෙස ඉහළ යන ජිවන වියදමට බලපාන හේතු කිහිපයක් තියෙනවා. සල්ලි අච්චු ගැසීම ප්‍රධානම ලෙස බලපානවා වගේම, මීට අමතරව කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඇති වූ අහිතකර බලපෑම, රුසියානු-යුක්ක්‍රෙන් යුද්ධය, විදේශ විනිමය හිඟකම වැනි කාරණා ගණනාවක් මේකට බලපානවා. මේ කාරණා ගැන ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඇති. වෙච්ච දේ වුනා කියලා හිතාගෙන මේකෙන් ගොඩ එන්න විදියක් හිතන්න ඕනේ නිසා, මේ ඉහළ යන ජීවන වියදම පාලනය කරගන්නේ කොහොමද, ඒ සඳහා තියෙන විසදුම් මොනවද කියන එක ගැන ඔයගොල්ලොන්ට අදහසක් දෙන්න මම උත්සහ කරනවා. 

අපි කවුරුත් දන්න විදියට, ජිවන වියදම ඉහළ යන්න බලපාන ප්‍රධාන එක හේතුවක් වුනේ  මුදල් අච්චු ගැසීමයි. 2022 අවුරුද්දේ මුල් මාස හතරේ මහ බැංකුව විසින් රු.බිලි.588 මුද්‍රණය කරලා තියෙනවා. මුදල් අච්චු ගහන්නේ රටේ අදායමට වඩා වියදම වැඩි වෙනකොටයි. ඉතින් loans ගන්න බැරි වෙනකොට, ණයට මුදල් ගන්න බැරි වෙනකොට වියදම් පියවන්න මුදල් ඕනේ නිසා සල්ලි අච්චු ගහනවා. ඉතින් මේක නවත්ත ගන්න නම් අනිවාර්යෙන්ම රජයේ වියදම් කපා හරින්න ඕනේ. සල්ලි අච්චු ගහලා රාජ්‍ය සේවකයින්ගේ පඩි ලබා දීම, රාජ්‍ය අංශය නඩත්තු කිරීම නවතන්න ඕනේ. මෙහෙම පඩි ගෙවන්න රජයට මුදල් අච්චු ගහන්න ඕනේ වෙන්නේ නැහැ රාජ්‍ය ආයතන ලාභ ලබනවානම්.   

2021 ලංකාවේ වැඩිම පාඩු ලබන රාජ්‍ය සතු ව්‍යාපාර 5 වුනු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම,ලංකා ගමනා ගමන මණ්ඩලය ,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ලැබූ මුළු පාඩුව රු.බිලි. 281 ක්. ඉතින් මෙහෙම පාඩු ලබද්දී මේවා නඩත්තු කරන්න මුදල් අච්චු ගහන්න වෙනවා කියන එක අරුමයක් නෙවෙයි. අපි මේ කාලය තුළ රජයේ වියදම් පුළුවන් තරමින් අඩු කරන්න ඕනේ. රජයේ අනවශ්‍ය වියදම් කපා දාන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න ඕනේ. මේ අංශයට සිදු කෙරෙන දේශපාලනික පත්කිරීම් නැවැත්විය යුතු වෙනවා වගේම, ආයතනයේ පවතින අවශ්‍යතාවන්ට අනුව පමණක් සේවකයින් බඳවා ගන්න ඕනේ. ඒ සදහා අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පවා අපිට කරන්න වෙනවා.

එතකොට මේ පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය අඩු කරගත්තොත් මේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වෙලා ඉන්න දුප්පත් ජනතාවට අවශ්‍ය සමාජ ආරක්ෂණ පද්ධතියක්  ස්ථාපිත කරගන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකය ගැන මත පල කරන ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස් වලට අනුව මේ ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ පොහොසත් අයත් දුප්පත් වෙනවා, ඒ වගේම දුප්පත් මිනිස්සු තවත් දුප්පත් වෙනවා. 

ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ සෑම සිදුවීමක්ම එකකට  එකක් සම්බන්දයි, හරියට නිකන් දම්වැලක් වගෙයි. ජිවන වියදම අඩු කරන්න බැහැ , උද්ධමනය අඩු කරන්නේ නැතුව. උද්ධමනය අඩු කරන්න රාජ්‍ය වියදම අඩු කරන්න ඕනේ. මේක කරන්න පුළුවන් ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් විතරයි.  

අපි පුන පුනා කියන දෙයක් තමයි මේ වගේ අර්බුද එන්නේ, අර්බුද 5ක package එකක් විදියට. ඒ කියන්නේ ඩොලර් නැති වීමේ අර්බුදය, ණය අර්බුදය, මුල්‍ය පද්ධතියේ අර්බුදය (මේක හටගන්නේ රාජ්‍ය සතු ව්‍යාපාර ණය ලබා ගැනීමේදී ඇප වෙලා තියෙන්නේ රජය), දේශපාලන අර්බුදය හා මානුෂිය අර්බුදය. මේ අර්බුද පහම වර්තමානය වෙනකොට ශ්‍රී ලංකාව අත් විඳිමින් තියෙනවා.රජය අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදු නොකෙරුවොත්, මේ අර්බුද තවත් එන්න එන්නම දරුණු වෙනවා.

මේ ප්‍රතිපත්තිමය වෙනස් කිරීම් සිදු කිරීමට අපි දැනටමත් ප්‍රමාද වැඩී. නමුත් දැන්වත් අපි මේ වෙනස්කම් සිදු කරන්න ඕනේ. දැන් තියෙන තත්ත්වය අනුව බඩු ලබා ගන්න පෝලිම් වල ඉන්න ඕනේ, නමුත් මේ වෙනස්කම් සිදු නොකලොත් අපිට කන්න අවශ්‍ය බඩුවත්, බෙහෙත්වත් තියෙන එකක් නැහැ. 

මේ ගෙවෙන්නේ තීරණාත්මක කාලයක්. ඉතින් අපි මේ අර්බුදයෙන් සදාකාලිකවම ගොඩ එන්න අවශ්‍ය දේ කල යුතුයි. ඒ තමයි දුප්පත් මිනිසුන්ට අවශ්‍ය සමාජ ආරක්‍ෂණ ජාලා ගොඩ නැගීම, ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්න පාඩු ලබන රජය සතු ව්‍යාපාර පුද්ගලිකරණය කිරීම්. ඒ වගේම අපේ මුල්‍ය වෙළෙදපොළ තුළ නැවතත් මින්නිසුන්ගේ විශ්වාසය ඇති කිරීම සඳහා මහ බැංකුව ස්වාධින ආයතනයක් කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ කිරීම. 

අපිවත් අපෙන් පස්සේ බිහිවෙන අනාගත දරුවන් මේ ප්‍රශ්නයට නැවතත් මුහුණ නොදෙන ආකාරයට අවශ්‍ය වෙනස්කම් ආර්ථිකයට සිදු කරන්න ඕනේ. 

2022.07.05

තත්සරණි සිරිවර්ධන

අවුරුදු 12ක් තිස්සේ රු.බිලි.282 පාඩු ලබපු ශ්‍රී ලංකන් ගුවන් සේවය

ලංකාවේ ආර්ථිකය ඉතාමත් තීරණාත්මක මොහොතක ඉන්න කාලයක, තව එක වැදගත්  කරුණක් ගැන ඔයගොල්ලොන්ගේ අවධානය යොමු කරන්න ඕනේ කියලා හිතුණා. ඒ තමයි ශ්‍රී ලංකන්  ගුවන් සේවය. මගේ කලින් articles වල ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන සඳහන් කරලා තිබුනත්, වර්තමානයේ තියෙන කථිකාවතත් එක්ක ඒ ගැන විශ්ලේෂණයක් කරලා, මේ article එක කියවන ඔයගොල්ලොන්ට අපක්ෂපාති අදහසක් ලබා දෙන්න ඕනේ කියලා හිතුවා.

වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වසින් රටේ ඉදිරි බාහිර ණය ගෙවීම් අත්හිටුවනවා  කියන කාලෙක, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගුවන් යානා 21ක් අලුතින් lease කරන්න අවශ්‍ය procument කැදවිමත්  සමඟයි.  

ව්‍යාපාරයක් විතරක් නෙමෙයි ගෙදරක් උනත් දිගටම පවත්වාගෙන යන්න අදායම්, වියදම් හා ණය සම්බන්ධයෙන් අදහසක් ලබා ගන්න විශ්ලේෂණයක් කරලා බලනවා. ඉතින් දැන් අපි ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන්න ඕනේ.

අපි මුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ හා අලාභ දිහා බලමු. මුදල් අමාත්‍යංශයෙන් නිකුත් කරලා තියෙන දත්ත වලට අනුව 2021 ජුනි මාසය වෙනකොට මේ ආයතනය ලබලා තියෙන පාඩුව රු.බිලි. 25ක්. එක අවුරුද්දක් ආයතනයක් පාඩු ලැබුවා කියලා අපිට බැනේ ඉතින් හරියකට නිගමනයකට එන්න. ඒ නිසා අපි 2006 ඉදන් මේ දත්ත අරගෙන බලමු . 

මේ දක්වලා තියෙන ප්‍රස්ථාරයට අනුව 2009 පස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබලම නැහැ. 2009 ඉදලා 2021 ජුලි මාසේ වෙනකම්ම දරපු මුළු පාඩුව රු.බිලි.282 වෙනවා. හැබැයි මෙතනදී විශේෂයෙන් දක්වන්න ඕනේ දෙයක් තමයි 2009 වෙනකන් Sri Lankan Air Lines වල 43.63% කොටස් අයිති වෙලා තිබ්බේ Emirates ගුවන් සමාගමටයි. 2009 පස්සේ ශ්‍රී ලංකාවේ රජය තමයි සම්පුර්ණයෙන් Sri Lankan Air Lines ක්‍රියාත්මක කලේ. එතකොට ඇත්තටම බැලුවොත් ශ්‍රී ලංකා රජය ගුවන් සේවය ලබා ගත්ත දවසේ ඉදන් ලාභ ලබලා නැහැ. දැන් Emirates සමාගම Sri Lankan Air Lines කරගෙන යද්දිත් පාඩු ලැබුවා, හැබැයි ඒගොල්ලෝ ලාභත් ලැබුවා. සමහර වාර්තා වලට අනුව Emirates සමාගම 2001 වර්ශයේදී කටුනායක ගුවන්තොටුපොළට එල්ල කල ප්‍රහාරයෙන් ලැබුනු රක්ෂණ වන්දිය නිසා, Emirates සමාගම යටතේ Sri Lankan ගුවන් සේවය ලාභ ලැබූ බව සඳහන් වෙනවා. රාජ්‍ය ව්‍යාපාරයක් පාඩු ලැබීම සහ පුද්ගලික ව්‍යාපාරයක් පාඩු ලැබීම අතර විශාල වෙනසක් තියෙනවා. පුද්ගලික ව්‍යාපාරයක් පාඩු ලැබුවම ඒ පාඩුව දරන්නේ ඒ ආයතනයයි, හැබැයි රජයේ ව්‍යාපාර පාඩු ලැබුවම ඒ බර පැටවෙන්නේ කවදාක්වත් ගුවන් යානයක ගමන් නොකරපු මහජනයා මතයි.

දැන් අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය සම්බන්ධයෙන් අදහසක් ගමු. පහත දක්වලා තියෙන ප්‍රස්ථාරයෙන් පෙන්වලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයේ ඇපකර මත ලබාගෙන ඇති ණය (Public Guaranteed Debt). මේ රජයේ ඇපකර මත ලබාගෙන ඇති ණය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක් හරි හේතුවක් මත ගුවන් සමාගමට ණය ගෙවා ගැනීමට නොහැකි වුනොත් රජයෙන් ඒ ණය පියවන්න ඇප වෙන බවයි. මහ බැංකු වාර්තාව අනුව 2021 වෙනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ ඇපකර මත ලබාගෙන ඇති ණය ප්‍රමාණය රු.බිලි 60 ක්. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලත (2020-2021) රජයේ ඇපකර මත ලබාගෙන ඇති ණය ආසන්න වශයෙන් රු.බිලි.17කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්ද ණය වැඩි වෙලා තියෙන ආකාරයත් දකින්න පුළුවන්. 

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය සතු ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේ ආයතනය නඩත්තු වෙන්නේ මහජනතාවගේ බදු මුදල් වලින්. එතකොට මේ ආයතනය ලබන හැම පාඩුවක්ම දරන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ටයි. අවුරුදු 12ක් තිස්සේ පාඩු ලැබුවත්, මේ ආයතනය ක්‍රියාත්මක වුණු නිසා මේ තුල සිදු වුනු හැම වියදමක්ම ඒ කියන්නේ වැටුප් වල වියදම් ඉදන් නඩත්තු වියදම් පවා දැරුවේ රජයේ භාණ්ඩාගාරයයි. සාරාංශයක් විදියට ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලික ව්‍යාපාරයක් වුනානම් මේ වෙනකොටත් වහලා.

දැන් මේ අලුතින් lease කරන්න හදන ගුවන් යානා 21 සම්බන්ධයෙන් ගත්තොත්, ලංකාවේ බෙහෙත් හිඟ, තෙල් හිඟ, ගෑස් හිඟ ඒ කියන්නේ මිනිසුන්ගේ මුලික අවශ්‍යතා සපුරා ගන්න බැරි කාලෙක පාඩු ලබන ආයතනයක් ඩොලර් වියදම් කරලා ගුවන් යානා ලබා ගැනීම හරිද කියලා එක පැත්තකින් හිතන්න වෙනවා. අනෙක් පැත්තෙන් ගත්තොත් මේ ගුවන් යානා lease නොකෙරුවොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා නැති වෙනවා. එතනත් එතකොට තව පාඩු ලැබීමක්. 

අවුරුදු 12ක් තිස්සේ පාඩු ලබන ආයතනයකට ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ඔබට බාරයි. 

2022.05.05

තත්සරණි සිරිවර්ධන

ආර්ථිකය RESET කරන සප්තවිධ ප්‍රතිපත්තිය

ආර්ථිකය RESET කරන සප්තවිධ ප්‍රතිපත්තිය 

  1. දුප්පත් මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ආවරණයක් ලැබෙන, වෙළඳපොළ මිල වෙනස්වීම අනුව වෙනස්වන, මූලික අවශ්‍යතා සඳ​හා සමාජයේ දුප්පත්කම වැඩිම පිරිසට සෘජුව බැංකුවට මුදල් යන ක‍්‍රමයක්

  2. පාඩු ලබන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවය ප‍්‍රතිව්‍යූහගත ​කිරීම. රජයේ වි​යදම් අඩු කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරී​ම

  3. විනිමය අනුපාත සහ ශ‍්‍රී ලංකා ​මහ බැංකුව අනුගමනය කරන මූල්‍ය ප‍්‍රතිපත්ති පිළිබදව සහ ස්වාධීනත්වය පිළිබදව ප‍්‍රතිපත්තිමය ප‍්‍රතිසංස්කර​ණ කිරී​ම

  4. බදු ක‍්‍රමයේ ප‍්‍රතිසංකරණ සිදුකිරීම. පහසුවෙන් සහ කාර්යක්ෂම​ව එකතු කළ හැකි බදු වෙත වැඩි අවධානය යොමු කිරීම ස​හ බදු පදනම පු​ළුල් කිරී​ම. තීරු බදු ප‍්‍රධාන කාණ්ඩ 3ක් යටතට ගෙන එමින් සරල තීරු බදු ක‍්‍රමයක් හරහා වැඩි ආදායමක් රජය ලබා ගැනීම සහ දේශීය නිෂ්පාදන වල තරඟකාරීත්වය වැඩි කිරී​ම.

  5. විදේශ සහ ජාත්‍යන්තර වෙළදාම සමඟ එක්වීම​ට ස​හ ගෝලීය නිෂ්පාදන දාම සහ ජාල හරහා සම්බන්ධ වී​ම, විදේශ ආයෝජන මුල් කරගත් ආර්ථික ප‍්‍රතිව්‍යූහගත කිරීම.

  6. ව්‍යාපාර පහසුවෙන් කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම. ක්ෂුද්‍ර‍්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ඇති මූල්‍ය, ප‍්‍රාග්ධන, බලපත‍්‍ර, ශ‍්‍රම සහ ඉඩම් වලට ඇති බාධාවන් සම්පූර්ණයෙන් ඉවත් කිරී​ම

  7. එම ප‍්‍රතිසංස්කරණ සමඟ ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රමාණය පිළිබදව සහ ණය ගෙවීමේ හැකියාව පිළිබදව අධ්‍යනයකින් පසු ණය ප‍්‍රතිව්‍යූහගත කිරීම වෙත අවධානය යොමු කිරී​ම

ලංකාවේ ණය ස්ථාවර නැහැ (Unsustainable) - IMF

IMF කියන්නේ අපේ රටේ හරි හරියට කථා වෙන මාතෘකාවක්. දේශපාලන වේදිකාවේ විතරක් නෙමෙයි දැන් වෙද්දී ඔයගොල්ලොන්ගේ ගෙදර කෑම කන මේසෙත් කථා කරන මාතෘකාවක් වෙලා. කලින් දවස් වල ගොඩක් දෙනෙක් කතා කරන්න අකමැති මාතෘකාවක් වෙලා තිබ්බත් දැන් ගොඩක් දෙනෙක් කතා කරන්නේ මේ ගැන. ඉතින් මම හිතුවා මේ IMF එකෙන් නිකුත් කරපු වාර්තාව සම්බන්ධයෙන් ඔයගොල්ලොන්වත් දැනුවත් කරන්න. 

ගිය සිකුරාදා (25) IMF එකෙන් Articel - IV කියලා වාර්තාවක් නිකුත් කරලා තිබුණා. මේ report එක වාර්ෂිකව IMF හි සාමාජික රටවල් වල ආර්ථිකය විශ්ලේෂණය කරමින් ඉදිරිපත් කරන වාර්තාවයි. ඒ රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන ඇගයීමක් කරලා, වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය ගැනත්, තියෙන ආර්ථික අර්බුද වලින් ගොඩ එන්න ආර්ථිකයට සිදු කරන්න ඕනේ ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැනත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. 

දැන් මේ වාර්තාවේ දක්වලා තියෙන විදියට අපිට දකින්න පුළුවන් වැදගත්ම කාරණය තමයි, ඔවුන්ගේ විශ්ලේෂණයන්ට අනුව, ශ්‍රී ලංකවේ ණය පවත්වාගෙන යා නොහැකි (unsustainble) තත්ත්වය යටතේ වර්ගීකරණය කරලා තියෙනවා. නැත්තම් ණය ගෙවාගෙන යාම අපහසු බව තමයි මේකෙන් කියලා තියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ, අපිට ඊළඟ වසර කිහිපය තුළ (2023-2026) ගෙවන්න තියෙන ණය ගෙවීම අපහසු බවයි. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන්න සිදු වෙනවා. 

දැන් තියෙන තත්ත්වයත් එක්ක බලද්දී  IMF එකට ගියා කියලා අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැහැ . එහෙනන් ඉතින් අපි IMF එකට ගියපු වාර ගණනත් එක්ක (16 වතාවක්) බලද්දී ඉතින් අපි අද මෙතන නෙමයි ඉන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි IMF එකට යන එක නෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ ලබාගන්න වැඩසටහන හරියට අපේ රටේ ක්‍රියාත්මක නොකරන එකයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිකන් ලෙඩ ඇදට වැටුණු, අන්තිම පණ අදින ලෙඩෙක් වගෙයි. IMF එකට ගියාම වෙන්නේ අර හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර් රෝග ලක්ෂණ බලලා ලෙඩ හොද වෙන්න බෙහෙත් දෙනවා වගේ දෙයක්. එතකොට IMF එකෙන් යෝජනා කරලා තියෙන මේ ප්‍රතිසංස්කරණ ටික දොස්තර ලබලා දීලා තියෙන බෙහෙත් වගේ. ඔලුව උස්සන්න ඇති. ඒ උනත් දීර්ඝකාලීනව දුවන්න මදි. මොකද බෙහෙත් ටික මගකදී නවත්තලා දාලා පරණ තාලෙට වැඩ කලොත් වෙන්නේ අපි කලින් ඉදපු තත්ත්වෙටම වැටෙනවා. ඒ වගේම තමයි අපේ රටත්. IMF එක යෝජනා කරන්න පුළුවන් නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ අපිමයි. ඒ යෝජනා අපිට හරියට යොදන්නත් පුළුවන්, බාගෙට යොදන්නත් පුළුවන්. 

අපි IMF එකට ගිය පමණින් අපේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. අපිට ඉක්මනින් සුව වෙන්න පොඩි රුකුලක් දෙන එක විතරයි සිද්ද වෙන්නේ. ඒ නිසා හිතන්න එපා දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. හැබයි අපි අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට පටන් ගැනීම, මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න තියෙන නිවැරදි පියවරක්. මේ අර්බුදයෙන් ගොඩ එන්න අපි ආර්ථික ප්‍රතිසංස්කරණ තමයි කරන්න ඕන. එහෙම වුණොත් විතරයි අපිට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුලළුවන්.

IMF එකෙන් Articel - IV වාර්තාවේ දක්වලා තියෙන විදියට අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යෝජනා කරලා තියෙන ප්‍රතිසංස්කරණ පහත දක්වලා තියෙනවා. 

  • අපේ බදු වලින් ලැබෙන ආදායම වැඩි කර ගැනීමටත්, අපේ බදු පදනම ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම.

  • සහනදායි මිලකට ලබාදෙන බල ශක්ති සේවාත්, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර යලි ප්‍රතිව්‍යුහගත කිරීම.

  •  ලංකාවේ ණය යලිත් නැවත ගෙවීමේදී තිරසාර ලෙස ගෙවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම.

  • මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමටත් ඒ තුළින් ඉහළ යමින් පවතින උද්ධමනය (inflation) පාලනය කිරීම.

  • සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම හා එයින් ආවරණය කරන පදනම විශාල කිරීම.

  • ආර්ථික වර්ධනය සීඝ්‍ර කිරීම සදහා කාන්තා ශ්‍රම බලකා දායකත්වය ඉහළ නැංවීම, තරුණ විරැකියාව අඩු කිරීම, වෙළදාමේ ලිහිල්කරණය හා දුෂණය අවම කිරීම.

තත්සරණී සිරිවර්ධන 

(2021.04.01) 

හිඟන්නාගෙත් pocket එකට ගහන මුදල් අච්චු ගැහීම

මේ දවස්වල social media වල නිරන්තරයෙන් දකින්න පුළුවන් posts තමයි දවසකට මෙච්චර ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. මෙහෙම මුද්‍රණය කරා කිව්වට කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි මෙච්චර සල්ලි ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කියලා. ඉතින් මේ ලිපියේ අරමුණ තමයි සල්ලි අච්චු ගැසීම හා ඒකෙන් අපේ pocket එකට වෙන බලපෑම තේරුම් කරන එක. 

අපි මුලින්ම බලන්න ඕනේ ඇයි ලංකාව මුදල් අච්චු ගහන්නේ කියලා. අපි ගෙදරක අදායම් වියදම් ගැන බලනවා වගේම, රටක් දුවද්දීත් ඒ රටේ අදායම් වියදම් ගැන බලන්න ඕනේ. මොකද රටකට අදායම් වලට වඩා වියදම් වැඩිනම් එතන අයවැය හිඟයක් පවතිනවා. ලංකාවේ අයවැය හිඟය දැන් අවුරුදු ගානකම ඉදන් තියෙන එකක්. 2020 අවුරුද්දේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 11.1%, මේකේ රුපියල් වල වටිනාකම වෙන්නේ රු.ට්‍රිලි. 1.6ක්. එතකොට සාමාන්‍යයෙන් නම් ගෙදරක වියදම් වැඩි වෙලා අදායම අඩු වෙද්දී ආයේ පඩි හම්බ්වෙනකල් ඉතුරු සති ටික දුවා ගන්න එක්කෝ loan එකක් ගන්නවා එහෙම නැත්තම් කාගෙන් හරි ඉල්ල ගන්නවා. හැබැයි ලංකාවේ අයවැය හිඟය එන්නේ රු.මිලි වලින් නිසා හැමදාම loan ගගහා කරන්න අමාරුයි. එතකොට ලංකාව විතරක් නෙමෙයි බොහෝ රටවල් කරන්නේ ඒ අයවැය හිඟය පියවන්න මහ බැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කරලා තියෙන විදියට රු.ට්‍රිලි. 1.4 ක් විතර 2021 වර්ෂයේදී මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. 

දැන් අපි බලන්න ඕනේ මුදල් අච්චු ගැහුවම එකෙන් උද්ධමනයට  වන බලපෑම මොකද්ද කියලා. සාමාන්‍යයෙන්  ආර්ථික විද්‍යාඥයින් දක්වන අදහසක් තමයි රටක් මුදල් අච්චු ගහන්න ඕනේ ඒ රටේ ආර්ථික වර්ධන වේගයට අනුකූලවයි. උද්ධමනය තුලින් සිද්ද වෙන්නේ භාණ්ඩ වල මිල ගනන් ඉහළ  යනවා. 2020 වර්ෂය සදහා ආර්ථික වර්ධන වේගය -3.6%. එතකොට දැන් පේනවා ඕයගොල්ලෝන්ට මෙහෙම මුදල් අච්චු ගැහුවම අපේ ආර්ථිකයේ මුදල් සැපයුම වැඩි වෙනවා, හැබැයි අපේ ආර්ථිකය විශාල වෙන්නේ නැහැ, (ඒ කියන්නේ අපේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ). එතකොට වෙන්නේ පොඩි භාණ්ඩ ප්‍රමාණයක් පිටි පස්සේ විශාල මුදල් ප්‍රමාණයක් හබා යනවා. එතොට වෙන්නේ මේ භාණ්ඩ වල මිල ගණන් ඉහළ යන එක තමයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ වෙන්නේ මේ මිල වැඩි වෙන හැම වාරයක් තිස්සෙම ඔයගොල්ලොන්ගේ පඩි වැඩි වෙන්නේ නැහැනේ, ඉතින් උද්ධමනය වැඩි වෙනවා කියන්නේ ඔයගොල්ලොන්ගේ පඩියෙන් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන එකයි. 

ගොඩක් අය හිතන් ඉන්නවා දැන් මේ අයවැය හිගය අඩු කරන්න imports අඩු කරාම හරි කියලා. අපි ඔතනින් තමයි වරද්ද ගන්නේ, මොකද අපි අපේ ආනයන අඩු කරපු ගමන් සිද්ද වෙන්නේ අපේ අපනයනත්(export) අඩු වෙන එකයි. මේක කවුරුත් පිළිගන්න කැමති දෙයක් නෙමෙයි. අපි කියන්නේ අපේ අපනයන අඩු වෙන්නේ, අපේ imports වල වැඩි හරියක්ම තියන්නේ අපි අපේ අපනයන වලට යොදා ගන්න දේවල්. 2020 මහ බැංකු වාර්තාව අනුව 56.6% අපි ආනයන(import) කරලා තියන්නේ අන්තර් භාණ්ඩ (උදා: තෙල්, රෙදි පිළි උපාංග, පොහොර etc). 

අනිත් කාරණාව තමයි අපේ මේ භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ අපේ විනිමය අනුපාතය ඉහළ යන නිසා කියන එක තමයි හැමෝගෙම අදහස. අපේ විනිමය අනුපාතය ඉහළ යන්නේ රජය විසින් අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්තියක් නිසා. ඔවුන් විදේශ විනිමය අනුපාතය  එක මට්ටමේ තියාගන්න එයට පාලන මිලක් නියම කලා, එතකොට තමයි අපි කිවුවේ රු.205 ඩොලර් නැති උනාට රු.260 ඩොලර් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රශ්නේ විසදන්න import අඩු කරලා හරි යන්නේ නැහැ. අපි අවුරුදු ගානක් ඉඳන්ම Imports අඩු කරපු එක තමයි කරේ. ඒක විසඳුමනම් ඉතිං ඇයි තාම මෙච්චර imports අඩු කරලත් අපිට විනිමය අර්බුදයක් ඇති වුණේ. ඒක නිකන් අපි අපේම ඇහැට ඇන ගන්නවා වගේ වැඩක්. අන්තිමට අපිට අපනයන වලින් එන ඩොලර් ප්‍රමාණයවත් රටට එන්නේ නැහැ.

වර්තමානයේ පාවිච්චි කරන නූතන මුල්‍ය නියාය, ඒ නියායෙන් කියන්නේ රටකට අය වැය පරතරය පියවීමට කොච්චර මුදල් අච්චු ගැහුවත් කමක් නැහැ කියලා. මේ නියාය ඇමරිකාව, ජපානය වගේ ස්ථාවර මුදල් එකක වලට වැඩ කලාට ලංකාව වගේ කුඩා ආර්ථිකයන් තියෙන රටවලට වැඩ කරන්නේ නැහැ. 

අන්තිමට ඉතින් මහ බැංකුව අච්චු ගහන මුදල් ප්‍රමාණය වැඩි  වෙන්න  ඔයාගෙයි මගෙයි pocket එකෙන් යන ගාන තමයි වැඩි වෙන්නේ. 

තත්සරණී සිරිවර්ධන 

(2021.03.22) 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බිලි. 707 ණයයි. රු.බිලි. 61 පාඩු ලබනවා.

ලංකාවේ මේ තියෙන තෙල් ප්‍රශ්නය ගැන දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද දැන් බලන බලන petrol shed එකක පෝලිම. සමහරක් තැන් වල පෙට්‍රල් ඇත්තෙත් නැහැ.දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න නම් අපේ රටේ පසුබිම මුලින්ම තේරුම් ගන්න ඕනේ. 

2020 වර්ෂයේදී ලංකාවට ආනයන කරපු වැඩිම (තනි) ආනයනය වුනේ තෙල් (gross fuel). මේක මුලු ආනයන වල ප්‍රතිශතයක් විදියට ගත්තෝත් 15.8% , මුලු වටිනාකම ඇ.ඩො.බිලි 2.5 වෙනවා. ලංකාවට තෙල් සැපයුම් කරන්නේ ආයතන දෙකක් තුලින් පමණයි. ඒ ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO). දැන් මේ ආයතන දෙක ගත්තම තෙල් මිල ගණන් වල පැහැදිලි වෙනසක් තියෙනවා. IOC එකේ පෙට්‍රල් ලීටරයක මිල රු.204 වෙනවා වගේම ඩීසල් ලීටරයක මිල රු.139 වෙනවා. ඛනිජ තෙල්  සංස්ථාව ගත්තම පෙට්‍රල් (92) ලීටරයක මිල රු.177  වගේම ඩීසල් ලීටරයක මිල රු.121 වෙනවා.  

මේ තෙල් අර්බුදය ඇතිවෙන්න ප්‍රධාන හේතු ගණනාවක් තිතියෙනවා. ඒවා අපිට එකින් එක විග්‍රහ කරලා දක්වන්න පුළුවන්. 

මුලින්ම තියෙන ප්‍රශ්නය තමයි ලංකා ඛනිජ තෙල්  සංස්ථාව තෙල් මිනිසුන්ට ලබා දෙන්නේ සහන මිලකට. අපි අපේ අසල්වාසීන් වෙන රටවල් (ඉන්දියාව, බංගලාදේශය,පකිස්ථානය හා නේපාලය) එක්ක තෙල් මිල ගණන් සන්සන්ධනය කරලා බැලුවම, අපිට පෙන්නේ මේ කලාපයේ අඩුම තෙල් මිලක් නියම කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මෙහෙම වෙන්න හේතුව තමයි මේ තෙල් මිල ලෝක වෙළදපොලේ තියෙන තෙල් මිල හා යාවෙන්නේ නැති එකයි. ඉතින් මෙහෙම ගෙන්නන මිලට වඩා අඩු මිලකට තෙල් විකුණනකොට පාඩු ලබන එක අහන්න දෙයක් ද? ලංකාවේ තෙල් මිල නියම කිරීමේ සුත්‍රයට අනුව අපි පෙට්‍රල් ලිටරයකින් රු.18.37 පාඩු ලබනවා වගේම ඩීසල් ලීටරයකින් රු.46.80 පාඩු ලබනවා. මේක සුළු පාඩුවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අපි තෙල් ගෙන්නනේ මෙට්‍රික් ටොන් වලින්. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර පාඩුවක්ද කියලා.  

ඉතින් මෙහෙම සහන මිලකට තෙල් ලබා දුන්නේ අද ඊයෙක නෙමෙයි. මේක දැන් අවුරදු ගානක ඉදන් වෙනවා. එතකොට මේ ඇතිවෙන පාඩු හැම එකක්ම දරාගන්න වෙන්නේ රජයට. 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල්  සංස්ථාව දරන පාඩුව රු.බිලි. 61 ක්.හැබැයි 2021ට ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) එක ලබපු ලාභය රු.මිලි. 988. එතකොට මේ ලංකා ඛනිජ තෙල්  සංස්ථාව ලබන පාඩු හැම එකක්ම දරන්න වෙන්නේ රජයේ බැංකු වලට. මුදල් අමාත්‍යංශයට අනුව 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල්  සංස්ථාව රාජ්‍ය බැංකු වන මහජන බැංකුව, ලංකා බැංකුව ගෙවිය යුතු ණය ප්‍රාමණය රු.බිලි 707 ක්.

මේ තෙල් අරබුදයට තවත් හේතුවක් වෙලා තියෙන්නේ ලංකාවේ තෙල් වෙළදපොලේ තියෙන ද්වී අධිකාරිය. ඒ කියන්නේ මේ වෙළදපොලේ  ඉන්නේ ප්‍රධාන තරගකරුවන්   දෙන්නෙක් විතරයි. අපි හැමෝම දන්න විදියට මේවගේ වෙළදපොලක් තියෙනකොට සම්පුර්ණ ඒ වෙළදපොළ හසුර වන්නේ මේ ආයතන, ඒවගේම ඒගොල්ලෝන්ට තෙල් වල මිලටත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. 

මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් එක විදියකට මේ වෙළදපොළ විවෘත කරන්න ඕනේ. උදාහරණයක් විදියට සිංගප්පුරුවේ තෙල් වෙළදපොලේ තරගකරුවන්  පස්දෙනෙක් ඉන්නවා. ෂෙල් (shell), කැල්ටෙක්ස් (caltex), SPC මේ අතර වෙනවා. එහෙම උනොත් ගොඩක් තරගකරුවන්  වෙළදපොලේ ඉන්න නිසා මිලට වැඩි බලපෑමක් කරන්න මේ ආයතන වලට බැරි වෙනවා. ඒවගේම තමයි තෙල් හිඟයක් ඇති වෙන්නෙත් නැහැ. එතකොට ඔයගොල්ලොන්ට තෙල් ගහන්න පෝලිම් වල ඉන්න ඕනෙත් නැහැ. 

අපිට අපේ තෙල් වෙළදපොල විවෘත කරන්න බැරි නම්, අවමවශයෙන්  අපේ තෙල් මිල වෙළදපොළ මිලට හරියන්න හදන්න ඕනේ. ඒ කියන්නේ අපි මිල සුත්‍රයක් හදුන්වා දෙන්න ඕනේ. ලෝක මිල ඉහල යද්දි අපේ මිල ඉහල යන්නත්, ලෝකේ මිල පහල යද්දී අපේ මිල පහල යන්නත්. එතකොට ඛනිජ තෙල්  සංස්ථාව පාඩු ලබන්නෙත් නැහැ, මෙච්චර ණය වෙන්නෙත් නැහැ. 

ගොඩක් දෙනක් මේ තෙල් මිල ඉහල යන එකට විරුද්දයි. ලෝක බැංකුවෙන් දක්වලා තියෙන විදියට දිළිඳු නොවන ජනතාව තමයි ඉන්ධන සහ විදුලිය විශාලම ලෙස පාරිභෝජනය කරන්නේ. සමාජයේ ඉහළ ස්ථරයේ 30%ක් තමයි  ඉන්ධනවලින් 70%වක්ම  පරිභෝජනය කරන්නේ. ඉතින් එහෙම බලනකොට ඇයි අපේ රජය ණය වෙලා සල්ලි තියෙන මිනිස්සුන්ටම  සහන ලබදෙන්නේ. ඇත්තටම බලාගෙන යද්දී තෙල් වල සහනදායි මිලෙන් වාසි වැඩිහරියක් ලබලා තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සු. 

හැබැයි තවත් කෙනෙක්ට කියන්න පුළුවන් මේ තෙල් මිල ඉහළ යන එක පොදු ප්‍රවාහන අංශයට (දුම්රිය ගාස්තු, බස් ගාස්තු), වතුර බිල් වලට වගේම light බිල් එකටත් බලපානවා කියලා. ඔව් ඒක ඇත්ත. අපි කියන්නේ ඒ ආර්ථිකමය වශයෙන් පහත් ස්ථරයේ ඉන්න ජනතාවට cash transfer system එකකට මුදල් ලබා දෙන්න. එතකොට මේකෙන් වෙන්න ඇති නැති හැමෝටම සහනාදාර දෙනවට වඩා නැති කොටසට අවධානය යොමු කරලා ඔවුන්ට සහනාධාර දෙන එකයි.  

මේ දේවල් කරන්න ලේසි නැහැ. හැබැයි අපි මේ ඉන්න තත්ත්වය උඩ මේක තමයි අපිට වැඩි ප්‍රශ්න ඇති නොවී කරන්න පුලුවන් ලේසිම දේ. අපිට මේ අර්බුදයෙන් ගොඩඑන්න නම් දීර්ග කාලීන වෙනස්කම් කරන්නම වෙනවා. තමන්ගේ පුද්ගලික වාසිය නොතකා රටක් විදියට අපි ප්‍රශ්නයට විසදුම් හොයන්න ඕනේ . මොකද මේ ප්‍රශ්න වලට තවකලික විසදුම් වැඩක් වෙන්නේ නැහැ. මේච්චර කල් කලේම මේ ප්‍රශ්න වලින් ලිස්සලා යෑම විතරයි. එකේ ප්‍රතිපල අපි දැන් අත්විදිනවා. මේ නිසා මේ තෙල් ප්‍රශ්නෙත් විසදගන්න නම් සදහන් කරපු විසදුම් වලට අකමැත්තෙන් හරි යන්නම වෙනවා. 

තත්සරණී සිරිවර්ධන 

(2021.03.03) 

කාන්තාවන් රැකියාවේදී ලිංගික හිංසනයට මුහුණදීම රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

බොහෝ දෙනා වැඩිපුර කතා නොකලත්, ලංකාවේ ශ්‍රම දායකත්වයට බලපාන ප්‍රධාන මාතෘකාවක් ගැන ලියන්න මම හිතුවා. ශ්‍රමය කියල කියන්නේ ආර්ථිකයක වැදගත්ම කොටසක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායනේ ඉතිං මූලික නිෂ්පාදන සා​ධක කියල අපි අ.පො.ස සාමාන්‍ය පෙළටත් ඉගෙන ගන්නේ. ඉතින් කාන්තා ශ්‍රම දායකත්වය අඩු වෙන්න බලපාන සාධක අතර තවත් එක සාධකයක් තමයි කාන්තාවන් රැකියාවේදී මුහුණ දෙන ලිංගික හිංසනය. ගොඩක් දෙනා අවධානය යොමු නොකලත්, මේකෙන් රටක ආර්ථිකයට වෙන බලපෑම ඉතා විශාලයි. 

අපි අපේ ශ්‍රම බලකායේ දායකත්වය මනින්න යොදාගන්න සංගුනකයක් තමයි, ශ්‍රම බලකා දායකත්ව අනුපාතය. මේ සංගුනකයෙන් අපිට අදහසක් ගන්න පුළුවන් අපේ රටේ කීදෙනෙක් රැකියාවක නිරතවෙනවද, හා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2021 වසරේ 2 වන කාර්තුව වෙනකොට අපේ මුළු ශ්‍රම බලකා දායකත්වය 49.8%ක්. හැබැයි ලංකාවේ කාන්තා ශ්‍රම බලකා දායකත්වය 30.9% වෙද්දී, පුරුෂයන්ගේ ශ්‍රම බලකා දායකත්වය 71.1% වෙනවා.  

 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව  2019 වෙද්දී වැඩ කරන වයසේ ජනගහනයෙන් 43.6% පිරිමි වෙද්දී 53.7% කාන්තාවන් වෙනවා. මේ දත්ත වලින් අපිට පේන්නේ ලංකාවේ  වැඩිහරියක් වැඩකරන වයසේ කාන්තාවන් හිටියට, එගොල්ලොන්ගෙන් අපේ ආර්ථිකයට ලැබෙන දායකත්වය හරිම අඩුයි. 

අපි මුලින්ම බලන්න ඕනේ මේ ලිංගික හිංසනය කියන්නේ මොකක්ද කියලා.  ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව, සේවා ස්ථානයේ ඉන්න බලධාරියෙකු විසින් භාවිතා කරන වචන හෝ ක්‍රියාවන් තුළින් සිදුවන ලිංගික හිරිහැර මෙයට ඇතුලත් වෙනවා. ලංකාවේ නීතිය යටතේ රැකියාවේදී වෙන ලිංගික අතවරයන් අපරාධී ක්‍රියාවක් ලෙස සැලකුවත්, ලංකාවේ කාන්තාවන් නිරන්තරයෙන් මේ සිදුවීම් වලට මුහුණ දෙනවා. මේ හා තියෙන සමාජ අපකීර්තිය නිසා  රැකියාවේදී වෙන ලිංගික අතවරයන් ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ නෑ.

දැන් ලංකාවේ තත්ත්වය ගත්තොත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය 2011 වර්ෂයේදී සිදු කරලා තියෙන පරීක්ෂනයක් අනුව කාන්තා ඇගළුම් සේවිකාවන් 57% තම රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැර වලට ලක්වෙලා තියෙනවා. ඊට අමතරව කාර්මික අංශයේ රැකියාවේ නිරත වෙන කාන්තාවන් 62.3% යම් ආකාරයක ලිංගික හිරිහැරයකට මුහුණ දීලා තියෙනවා. 

තවත් ප්‍රධාන කාරණයක් වෙන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සිදු කරපු සමික්ෂනයට  දායකවූ කාන්තාවන්ගෙන් 60% ප්‍රකාශ කරලා තියෙන්නේ රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර වලට නොවනවා කියලා සහතික වෙනවා නම් ඔවුන් රැකියාවට යන්න කැමැත්තක් තියෙනවා කියලයි.

මහ බැංකු 2020 වාර්තාවට අනුව අපනයන වලින් ලංකාවට වැඩිම  ආදායමක්  ලැබෙන අංශ දෙකක් තමයි ඇගලුම් හා රෙදිපිළි කර්මාන්තය (12.4%) හා තේ කර්මාන්තය (44%). මේ අංශ දෙකේම වැඩිපුරම සේවය කරන්නේ කාන්තාවන්. ඔවුන් නිසා තමයි අපි මේ හැමෝම කතා කරන ඩොලර් හිගය පොඩ්ඩක් හරි කළමනාකරණය කරගන්න පිටුවහලක් ලබලා දෙන්නේ. ඉතින් අපිට රජයක් විදියට, පුරවැසියන් විදිහට  වගකීමක් තියෙනවා මේ අංශ වල වැඩ කරන්න කාන්තාවන්ට වැඩ කරන්න හොද පරිසරයක් හදලා දෙන්න.   

ඉතින් මේ දේ ඇගලුම් හා තේ කර්මාන්ත වලට විතරක් සීමා වෙලා නොකර, අපේ රටේ පුද්ගලික හා රජයේ ඕනෙම රැකියා ස්ථානයක කාන්තාවන්ට වැඩ කරන්න හිතකර පරිසරයක් හදන්න ඕනේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව ලංකාවේ බොහෝ ආයතනවල ලිංගික හිරිහැර සම්බන්දයෙන් හා ලිංගික හිරිහැර අවම කිරීමට ඇති යාන්ත්‍රණය සම්බන්දයෙන් සේවකයන් දැනුවත් කිරීම අඩුයි. එතකොට එකේ ප්‍රතිඵලයක් විදියට ලිංගික හිරිහැරයකට මුහුණ දෙන කාන්තාවන්ට අසාධාරණ ලෙස දඩුවම් කරනවා කියලයි ඔවුන් දක්වන්නේ. 

මේ ලිංගික හිරිහැර නිසා  කාන්තාවන්ට නුසුදුසු වාතාවරණයක් තමන්ගේ රැකියා ස්ථානය තුළ ඇති කරනවා. ​මේකෙන් වෙන්නේ තව තවත් කාන්තාවන්ගේ ශ්‍රම බලකා දායකත්වය අඩුවෙන එක. මොකද මේ වගේ දෙයකට මුහුණ දීපුවාම කාන්තාවන්ගේ ගෙදර මිනිස්සු කියන්නේ වැඩට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කියලයි. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට සේවා ස්ථානයෙන් මිනිසුන් ඉවත් වීම එන්න එන්න වැඩි වෙනවා. ඉතින් අනිත්මට වැඩ කරන්න මිනිස්සුත් නැ. එතකොට වෙන්නේ පිටරටින් සේවකයෝ ලංකාවට ගේන්න.

මේකට අමතරව සේවා දායකයෙක් විදියට ඒ රැකියා ස්ථානයේ නමත් පලුදු වෙනවා. මොකද මේ ගැන කටින් කට ගියාම මිනිස්සු කොච්චර vacancy තිබ්බත් apply කරන්නේ ​නෑ. ඉතින් මේකෙන් පාඩුව වෙන්නේ තමන්ගේ කර්මන්තටමයි. ඉතින් සේවා දායකයාට ලොකු වගකීමක් තියෙනවා සියලුම සේවකයන්ට වැඩ කරන්න සුදුසු පරිසරයක් ලබලා දෙන්න.  

මේ රැකියා ස්ථානයේ  ලිංගික හිරිහැර නිසා අපිට නැති වෙන්නේ අපේ රටේ ශ්‍රම බලකායමයි. විවිද හේතුන් නිසා ගෙදරට වෙලා ඉන්න කාන්තාවන්, අපේ ශ්‍රම බලකායේ භාවිතා නොකළ ශ්‍රමයයි. අපිට හරියට ඒ ශ්‍රමය භාවිතා කලොත්, අපේ රටේ නිෂ්පාදන දායකත්වය වැඩි කරගන්න පුලුවන්. ඒවගේම රටේ ආර්ථිකයේ ඵලදායිතාව වැඩි කර ගන්නත් පුළුවන්. 

තත්සරණී සිරිවර්ධන 

(2021.02.17) 

රජයේ ලොකුම ව්‍යාපාර 5 දවසකට ලබන පාඩුව රු.මිලි. 384.

ගියපාර ලියපු මගේ articel එකට කෙනෙක් comment කරලා තිබුණා අපි ​ඛනිජ තෙල් ස​හ විදුලි බලය මුදල් වලට ගන්නවා නම් කොහොමද මේ ආයතන පාඩු ලබන්නේ කියලා. ඒවගේම මෙච්චර ණය වෙලා තියෙන්නේ කොහොමද කියලත් අහල තිබු​ණා. ඉතින් මම හිතුවා මේකට පිළිතුරක් ලියන්න. 

ඇඩ්වොකාටා ආයතනයේ වර්ගීකරණයට අනුව ලංකාවේ රාජ්‍ය සතු ව්‍යපාර 527ක් තියෙනවා. හැබයි මහ භාණ්ඩාගාරයේ හදුනාගත් ක්‍රමෝපායි​ක රාජ්‍ය සතු ව්‍යපාර 52 ක් තියෙනවා. 2006 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මේ ව්‍යාපර 52ක ලබපු මුලු පාඩුව රු. ට්‍රිලියන 1.2ක් වෙනවා.

2020 වෙනකොට ලංකාවේ ලොකුම රාජ්‍ය සතු ව්‍යාපාර 5 වුනු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ස.තො.ස,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක දවසකට ලබන පාඩුව රු.මිලි. 384ක් වෙනවා.

අපි දැන් බල​මු මේ ප්‍රධාන රාජ්‍ය සතු ව්‍යාපාර කොච්චර පාඩු ලබනවාද කියලා. 

  • ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2009 වසරෙන් පස්සේ 2020 වෙනකන් කවමදාවත් ලබා ලබලා නැහැ. රු.බිලි. 47 ක පාඩුවක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2020 දී ලබලා තියෙනවා. රජයේ ඇපකර මත ලබා ඇති ණය (ඒ කියන්නේ රාජ්‍ය සතු ව්‍යාපාර වලට මොකක් හරි ණයට ගන්න ඕනේ වුනාම රජය ඇප වෙලා ගත්ත ණය ) ප්‍රමාණය රු.බිලි. 43ක්. 

  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවුරුදු 2 කට පස්සේ 2020 තමයි ලාබ ලැබුවේ. 2018 හා 2019 අවුරදු වලදි ලබපු පාඩු රු.බිලි. 105ක් හා  රු.බිලි.10ක්. බැංකු සදහා නොපියවූ ණය (outstanding debt to banks) ප්‍රමාණය රු.බිලි 524ක්.

  • ලංකා විදුලිබල මණ්ඩලය 2020 අවුරුද්දේ ලබපු පාඩුව රු.බිලි. 62. ඔවුන් දරණ සම්පුර්ණ ණය ප්‍රමාණය රු.බිලි 96 වෙනවා.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙච්චර මේ රාජ්‍ය සතු ව්‍යපාර පාඩු ලබන්නේ ඇයි කියලා.

මේකට තියෙන එක ප්‍රධාන හේතුවක් තමයි මේ රාජ්‍ය සතු ව්‍යාපාර බහුතරයකට තියෙන්නේ ඒකාධිකාරී බලයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මහජනතාවට ලබාදෙන සේවය වෙන කවුරුත් ලබාදෙන්නේ නැ. උ​දා: ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය. එතකොට මේ ආයතන වලට අරමුදල් සපයන්නේ රජයේ භාණ්ඩාගාරය තුලින්. එතකොට කොච්ච්ර පාඩු ලැබුවත් කවුරුත් මුකුත් කියන්නේ නෑ මොකද මේ සේවය ලබා දෙන්න වෙන කෙනෙක් නැති නිසා. ඇත්තටම පුද්ගලික අංශයේ ආයතනයකට ඒකාධිකාරයක් තිබුණනම් හොදට ලාභ ලබනවා. මොකද කිසිම තරගයක් නැති නිසා. ඒත් ඒකාධිකාරයක් තිබිලත් අපේ රාජ්‍ය ආයතන වලට ලාභ ලබන්න බෑ. එච්චරට අකාර්යක්ෂමයි. ලාභ ලබන බොහො රාජ්‍ය ආයතනත් ලාභ ලබන්නේ ඒකාධිකාර සහ බදු වලින් සහනයක් අරගෙනයි. 

තවත් එක් හේතුවක් තමයි මේ ආයතනවල වැඩ කරන සේවක පිරිස. මහ බැංකු වාර්තාවට අනුව 2020 වර්ෂයේ ලංකවේ රාජ්‍ය අංශයේ මුළු සේවක පිරිස මිලියන 1.5 වෙනවා. සමහරක් ආයතනවල ඕනෙවටත් වඩා සේවකයින් ඉන්නවා. ඉතින් පඩිනඩි ලබලා දෙන්න ගියාම ඉතින් ලොකු වියදමක්. 

තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් සේවා, ඒ කියන්නේ විදුලිය, වතුර, තෙල් වගේ දේවල් මිනිසුන්ට රජය ලබලා දෙන්නේ සහන (subsidary) මිලකට. එතකොට ඒකෙන් එන පාඩුවත් දරාගන්න ඔනේ රජය. 

ඉතින් ඔන්න ඕකයි පිලිතුර. මෙච්චර පාඩු ලබලත් මෙච්චරකල් දුවන්නෙත් ඔන්න ඔය හේතු හින්දයි. ඉතින් මේකෙන් ගොඩ එන්න නම් අපිට මෙ රාජ්‍ය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. මෙක හැමෝම පිලිගන්න මතය නොවුනත් අවුරුදු ගනන් පාඩු ලබන ව්‍යාපාර පෞද්ගලීකරණය කරන්න ඔනේ. 

මොකද මේවා තව පාඩු ලබන කොට එකේ බරත් වැටෙන්නේ මහජනතාවට තමයි.

තත්සරණී සිරිවර්ධන 

(2021.02.07) 





විදුලිය අදත් කපයි ද?

ලංකාවේ power cut එකක්  කියන්නේ අපිට නම් අලුත් දෙයක් නෙමෙයි. අඩුම තරමේ මාසෙකට එක පාරක් හරි power cut එකක් එනවාමයි. හැබැයි ගිය අවුරුද්දේ මැද ඉදලා මේ විදුලිය විසන්දි කරන එක ගැන ගොඩක් දෙනෙක් කතා වුනා. මේකට ප්‍රධානම හේතුවක් උනේ දෙසැම්බර් 3 වෙනිදා මුලු ලංකාවේම විදුලිය විසන්දි වීමත් එක්කයි. ඒක නම් සිදු වුනේ බියගම හුවමාරුවේ සිදු වුනු බිදවැටීමක් නිසයි.

2022 අවුරුද්ද පටන් ගත්තත් හරි අපේ රටේ විදුලිය විසන්දී වීම් එන්න එන්නම වැඩි වුනා. එතකොට ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය කපන කාල සටහනුත් නිකුත් කලා. අපි දැන් බලන්න ඕනේ ඇයි මේ කවදත් නැතුව මේච්චර power cut කරන්නේ කියලා.

එක ප්‍රධාන හේතුවක් තමයි ලංකවේ එන්න එන්න වර්ෂාපතනය අඩුවෙනවා. මහ බැංකුවට  අනුව නොවෙම්බර් මාසයේ හා දෙසැම්බර් මාසයේ, විදුලි බල නිෂ්පාදනයට,ජල විදුලි දායකත්වය 68.4% හා  62.6% වුනා. ජනවාරි මාසය වෙනකොට මේ දායකත්වය 33.6%ට අඩු වුනා. එතකොට මේ අඩු වෙච්ච් විදුලි බල නිෂ්පාදනය පුරවන්න වුනේ තාප බල විදුලියෙන්. එතකොට අපිට පේනවා  තාප විදුලි බල ජනනය, වැඩිවෙලා තියෙන විදිහ. දැනේ මේ තාප විදුලි බල ජනනය ප්‍රධාන වශෙයන්ම සිදු වෙන්නේ මේ ගල් අගුරු හා තෙල් යොදා ගෙනයි. 

දැන් මේ වර්තමාන විදුලි කප්පාදු කිරීමට බලපාලා තියෙන එක ප්‍රධාන හේතුවක් තමයි රටට, විදුලි බලය නිෂ්පාදනය කරන්න අවශ්‍ය තෙල් හා ගල් අගුරු ලංකාවට ආනයනය කරන්න අවශ්‍ය ඩොලර් නැහැ.

 මහ බැංකුවට අනුව අපේ සංචිත ඇ.ඩොලර් බිලියන 3.1 එකක් තියෙනවා. මේක භාවිතා කරලා තමයි , රටේ පවතින අවශ්‍යතාවන්ට අවශ්‍ය දේවල් ආනයනය කරනනේ. උදාහරණයක් විදියට බෙහෙත්, ආහාර, පොහොර වගේ දේව​ල්. ඊට අමරව මේකෙන් තමයි අවශ්‍ය අපි ණය ගෙවන්නෙත්. ඉතින් ඒ හැමදේටම වියදම් කරලා තමයි තෙල් හා ගල් අගුරු ගේන්නේ.. ඉතින් ඇත්තටම බලනකොට අපිට ඩොලර් ප්‍රමාණය මදි මේ හැමදේම කරගන්න. 

ඉතින් අපි හැමෝම දන්න විදියට අපේ රටට ඩොලර් ගලා ඒම ප්‍රධාන ලෙසම අඩුවෙන්න ප්‍රධානම හේතුවක් වුනේ covid-19 වසංගත තත්ත්වයයි. නමුත් ඩොලර් අඩු ප්‍රශ්ණය අද ඊයෙ ආපු ප්‍රශ්ණයක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කරපු නැති නි​සා ආපු ප්‍රශ්ණය​ක්. Covid -19  ප්‍රශ්නය තවත් වැඩි කරා.  Covid -19 එන්න කලින් ලංකාවට වැඩිපුරම විදේශ විනිමයක් ගලගෙන ආවේ Tourism, විදේශ ප්‍රේෂණ (remittences) සහ ඇගලුම් කර්මාන්ත තුලින්. මේ හැම අංශයකටම මේ වසංගත තත්ත්වය බලපෑවා. හැබැයි මීට අමතරව ආණ්ඩුව විසින් ගෙන ඇති වැරදි ආර්ථික ප්‍රතිපත්ති (ඩොලරයට පාලන මිලක් යෙදීම) මේ තත්ත්වය දරුණු කරන්න බලපාලා තියෙනවා. 

 මේ ප්‍රශ්න වලට අමතරව තව තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි, ලංකා විදුලි බල මණ්ඩලයට තියෙන ණය ප්‍රමාණය.  මුදල් අමාත්‍යංශයේ 2020 වාර්තාව අනුව ලංකා විදුලි බල මණ්ඩලය බැංකු වලින් ගත් ණය ප්‍රමාණය රු.බිලි. 96 විතර වෙනවා වගේම, ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව සහ  ස්වාධීන විදුලි සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය ප්‍රමාණය රු.බිලි. 133 වෙනවා. එතකොට විදුලි බල මණ්ඩලය 2020 අවුරුද්දේ දුවලා තියෙන්නේ රු.බිලි.62 පාඩුවක් තියාගෙන. ඒ පාඩුව දළව​ශයෙන් මුලු අවුරුද්දෙම දුප්පත් මිනිස්සුන්ට සමෘධියට වියදම් කරනවා වගේ මුදලක්. 

විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල්  නීතිගත සංස්ථාවට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ගෙව්වේ නැති නිසා තමයි ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව අවශ්‍ය තෙල් ටික දීලා නැත්තේ. අපි අදුරේ ඉදියත්,බැලු බැල්මට නම් කරපු වැඩේ සාධාරනයි කියලා හිතෙනවා. ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව රු.බිලි. 529 බැංකු වලට ණය ගෙවන්න ඕනේ. 

පහුගිය දවස් වල සපුගස්කන්ද හා කැළණිතිස්ස විදුලි බලාගාර, වහලා දැම්මා ක්‍රියාත්මක වෙන්න තෙල් නැතුව. ඒවගේම නොරොච්චෝලේ විදුලි බලාගාරයෙත් විවි​ධ බිද වැටී​ම් තිබුණා. හැබැයි ඔන්‍න‍ අද (27) ඉදලා තව දවස් 10 සදහා විදුලිය සම්පාදනය කරන්න අවශ්‍ය තෙල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව ලබාදීලා කියලා වාර්තා වුනේ.

අපිට හැමදාම මෙහෙම දුවන්න පුලුවන්ද ? රාජ්‍ය ආයතන එකිනෙකාට ණයයි. දුවන්නේ loss පිට. රටක් නෙමෙයි සාමාන්‍ය ගෙදරක්වත් වැඩි කල් දුවන්න බෑ මේ විදියට. අපි රටක් විදියට බලන්න ඕනේ ඊලග දවස හරි මාසේ හරි දුවන්නේ කොහොමද කියලා නෙමෙයි. ස්ථිරසාර ලෙස මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. 

අපි හැමදාම කියනවා වගේ රජයේ පාඩු ලබන ආයතන ප්‍රතිවුහගත කරන්න ඕනේ. රටේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඕනේ. මේ හැම දේකටම තවකාලික විසදුම්  හොයන්නේ නැතුව ස්ථිරසාර විසදුම් වලට ගිහින් අපි මේකෙන් ගොඩ එන්න ඕනේ. මොකද මේ ප්‍රශ්න වලින් අන්තිමට බැට කන්නේ හරියට වෙලාවට බදු ගෙවන සාමාන්‍ය අපිමයි. 

තත්සරණී සිරිවර්ධන 

(2022.01.29)



ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ කොහොමද?

මේ දවස් වල විශාල කතාවක් යනව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගත කරන්න ඕන කියල. සමාන්‍ය භාෂාවෙන් කියනවනං මේ සීන් එක ලංකාවේ කවුරුත් වැඩි​ය දන්නේ නෑ. මොකද ලංකාව කවදාවත් ණය ප්‍රතිව්‍යූහග​ත කරල නැති නිසා. මේ වීරයා ලෙසින් ලියන්නේ ණය ප්‍රති ව්‍යූහගත කිරීම් පිළිබදව ලෝකයේ ප්‍රධානම උපදේශකයෙක් ලෙස කටයුතු කරපු ලී බුක්කෙයිට් (Lee C. Buchheit) කියපු දේවල් වලි​න්. ඒ වගේ​ම අ​පේ යාලුවෙක් ඉන්නවා ඉක්වදෝරයේ (​​Ecuador) මහා භාණ්ඩගාරයේ. ඔවුන් වතාවන් කීපයක්ම ණය ප්‍රතිව්‍යූගත කරා. ඔහුගෙන් දැන ගත්තු විස්තර වලින් තමයි මේ ටික ලියන්නේ.

මුලින්ම කියන්න ඕනෙ මේ අපි බැංකුවෙන් වාහනයක් ලීස් එකට අරගෙන ගෙවා ගන්න බැරිවෙලා රී ෆිනිනෑන්ස් (Refinance) කරන මට්ටමෙ​න් රටව​ල් ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැ​න හිතන්න හොද නෑ. මේක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්.

ණය ප්‍රතිව්‍යූහගත කරන්න කලින් ඇයි අපිට මෙහෙම වුනේ කියල එක පාරක් ටොක්කක් ඇනල මතක් කරල දීලම යන්න ඕන.

අපි අඩු කාලෙකින් ගෙවන්න වැඩිපුරත් එක්​ක ​ණය වැඩි පොළියට අරගෙන ආදායමක් එන්නේ නැති ව්‍යාපෘති වල වැඩි වැඩියෙන් ආයෝජනය කරා. ඊට පස්සේ ණය වල පොළිය ගෙවන්නත් පොළියට සල්ලි ගත්තා. ඒක තමයි හේතුව. ඒ වගේම ණය නොවන විදේශ ආයෝජන සහිතව ව්‍යාපෘතියක් කරන්න යද්දි “බුදු අම්මෝ, (සමහරු අඩෝ කියලත් කියනවා) මෙන්න විකුණනවෝ. අත තියන්න එපා කියල වෘතීය සමිති වල මහත්වරුවන්ව ෆෝම් කරල ඒ ඒ කාල වලට විපක්ෂයේ ඉන්න මහත්වරු දේශපාලන වාසි ගත්තා.

ඉතින් ඒ නිසා ණය අරං තේරුමක් ​නැති ව්‍යාපෘති වල දාල දැන් වැලේ වැල් නැතුව ඉන්නේ. හැම දේශපාලන පක්ෂයම විපක්ෂයේ ඉදිද්දි කරේ ඕක තමයි. කොච්චර වැලේ වැල් ​නැද්ද කියනවා නම් අවුරුද්දට අපේ ආදායම රු.100යිනම් ණය වල පොළිය විතරක් ගෙවන්න යනවා රු. 70ත්-79ත් අතර. ලෝකේ ණය වල පොළිය වෙනුවෙන් ආදායමෙන් වැඩිම මුද​ලක් වියදම් කරන රටවල් අතර ඉහළින්ම ඉන්න රටක් තමයි ‘ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය ලංකා’

අපේ ආදායම රු.100 වුණා​ට පොළියයි වාරිකයයි දෙකම ගෙවන්න ඕන රු.142ක්. සෞක්‍ය, අධ්‍යාපනය, රජයේ සේවකයන්ගේ වැටුප් වගේ වියදම් ගැන ගනන් කරන්නේ නැතුව.  ඒක තමයි ඔය එන හැම රජයක්ම කියන්නේ “අපි යද්දි මෙච්චරි ණය තිබ්බේ. දැන් බලන්න අලුතෙන් ​ණය අරං. ගොඩාක් ණ​ය අරං.” වගේ ක​තා කියන්නේ. ඉති​ං ගත්තු ණය වල පොළිය ගෙවන්නත් ණය ගනිද්දි ණය තවත් වැඩි වෙනවා. ඒකට තමයි ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ ස්නෝබෝල් (Snowballing) වෙනව කියල.

එන හැම රජයකටම තියන ප්‍රමාණයට වඩා ණය ගන්නම වෙනවා මේ ණය ගෙවන්න.  ඉතිං පොළිය ගෙවන්නත් ආයෙත් ණය ගත්තා. ගොඩක් ණය තියෙන්නේ ඩොලර් වලින්. ඒ නිසා බදු ආදායමෙන් විතරක් ගෙවන්නත් බෑ. විදේශ මුදල් වලින් ආදායම් ලැබෙන ආදායම් මාර්ග වෙන්න ඕන. එහෙම ඉති​ං විදේශ මුදල් වලින් රජයට ආදායම් ලැබෙන තරම් ලොකු දෙයක් නෑ. එතකොට ඔබ මගෙන් අහයි ඇයි සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ අපිට ආදායම් නෙවෙයිද කියල. ඇත්තම කතාව නෑ කියන එක තම​යි. සංචාරක කර්මාන්තයේ අදායම් උපයන්නේ හෝටල් හිමියන්, Tour operators, ගයිඩ්ල (Tour Guides), ප්‍රවාහන කරන පිරිස වගේ අය. ඔවුන් උපයන ඩොලර් පුද්ගලික බැංකුවකට විකුණල ඒ පුද්ගලික බැංකුව ඒ ඩොලර් මහ බැංකුවට විකුණ​ල බියගම ෆැක්ටරියේ අච්චු ගහන කොල කෑලි (ශ්‍රී ලංකා රුපියල්) වලට ඒ ඩොලර් මාරු කර ගන්න කැමති වුනොත් විතර​යි ඒක මහ බැංකුවට ආදායමක් වෙන්නේ. ඒකත් ඉති​ං ආදායමක් කිව්වට මහ බැංකු​ව මහන්සි වෙලා හොයන ආදායමක් නෙවෙයි​නේ. අච්චු ගහන කන්තෝරුවක කවුරු හරි අච්චු ගහන සල්ලි අපිට දීල ඩොලර් ගන්න එක තමයි හැම රජයක්ම මහා පුරාජේරුවෙන් ඔන්න අපිට සංචාරක කර්මාන්තයෙන් මෙච්චර ඩොලර් හම්බ කරා කියල කියන්නේ.

ඒ ඩොලර් උපයන්​නේ ඔබ මම වගේ සාමාන්‍යෙන් මිනිස්සු. ප්‍රේෂණත් (Remittances) එහෙමමයි. ඔය ඩොලර්, රියාල්, ඩිනාර්, යූරෝ ඔක්කොම සල්ලි අයිති අපිට. රට ඉන්න මිනිස්සුන්ට. ඒත් බැංකුවට විකූණු​වම ඒව ඔවුන්ට අයිති වෙලා ඔවුන් අති​න් ගත්ත වගේ පොඩි talk එකක් දෙනවා. ඉතිං හැම රජයක්​ම ඩොලර් වලින් ණය අර ගත්ත​ට ඩොලර් වලින් ආදායම උපයන ව්‍යාපෘති තියෙන්නේ අතේ ඇගිලි ගානට තමයි. වරායවල්, ගුවන් තොටුපොළ වගේ ජාත්‍යන්තර සම්භන්ධතා තියන තැනකින් තමයි ​ඉතිං ඩොලර් වලින් උපයන්න පුලුවන්. ඒකනෙ ම​ං මේකෙ හැමදාම කියන්නේ ලෝකෙත් එක්ක යං කියල. කොහෙද කැමති වෙන්නේ නෑනෙ.

දැන් අපිට මේක ගෙවාගන්න අමාරු නිසා සමහරු අහනව අපි මේක නොගෙව ඉන්න බැරිද කියල. එහෙම කරොත් අන්තර්ජාතික ගණුදෙනු කරන බැංකු සහ අන්තර්ජාතික මූල්‍ය පද්ධතියෙන් අපේ මුදල් ගණුදෙනු අත් හිටුවනවා. කිසිම දෙයක් කර ගන්න බැරුව අපිව නික​ං අතරමං වෙලා යනවා. ඒක නිසා එකපාර​ට මුකුත් නොකියා නොගෙව ඉන්න බෑ. සරළවම අපේ හවුසින් ලෝන් එකේ හරි වාහනේ හරි වාරිකය දවසක් දෙකක් පරක්කු කරනව වගේ කිසිම දැනුම් දීමක් නොකර සල්ලි නොගෙව ඉන්න බෑ. හරි දිනයට ගෙවන්න ඕන.

නොගෙව ඉන්​න එක​ත් ප්‍රශ්ණක් නම් ගෙවන එකත් ප්‍රශ්​ණ වැලැ​ක් නි​සා දැන් අපි ​මේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන කතා කරනවා.

චීන විදේශ ඇමතිතුමා ආවම ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමාන්ගෙන් ඉල්ලා සිටියා චීනයෙන් අපි ග​ත්​තු ණය ප්‍රතිව්‍යූහගත කරන්න කියල. ඉතිං චී​න විදේශ ඇමතිතුමා මුකුත් නොකිය ගියාට චීන කොමුනිස්ට් පක්ෂය විසින් මෙහෙයව​න Global Times වෙත ප්‍රකාශය​ක් ලබාදෙමි​න් Chinese Academy of International Trade and Economic Cooperation ආයතනයේ ආර්ථික පර්යේශ​ක Song Wei මහතා කිව්වා චීනය ණය ප්‍රතිව්‍යූහගත කරන්න සූදානම්, හැබැයි ලබා දීල තිබෙන සනනා​ධාර ණය (concessional loans) නැත්තං පොළී නැති දීර්ග කාලීන ණය විතරයි ප්‍රතිව්‍යූහගත කරන්න චීනය කැමති ඒ​ත් වාණිජ ණය (Commercial loans) ප්‍රතිව්‍යූහගත කරන්න බෑ කියල.

මේක තේරුම් ගන්න අපි ලංකාව විදේශ ණය අරං තියෙන්නේ කාගෙන්ද කියල මුලින්ම හොයා ගන්න ඕන. ඊට කලින් ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැ​න මූලික සංකල්ප දෙකක් අපි අවබෝද කර ගන්න ඕන.

1. පළවෙනි එක තමයි 21 සියවසේ කවුරුත් සංචිත වලින් ණය ගෙවන්නේ නැති බව. එහෙම කරන්නේ අමාරුම වෙලාවක තමයි. ඒ වගේම සංචිත වලින් භාණ්ඩ ආනයනය කරන්නේත් නෑ. ආනයනය කරන්නේ භාණ්​ඩ අපනයනය කරල උපයන මුදල් වලින්.

ඒ නිසා බොහෝ රටව​ල් කරන්නේ එක බැදුම්කරයක් කල් පිරෙද්දි තවත් බැදුම්කරයක් ඒ වෙනුවෙ​න් නිකුත් කරල කලින් බැදුම්කර​ය පියවන එක. ස්වයිරී රාජ්‍ය​න් නාකි වෙන්නේ නෑ කියන පදනමේ ඉදල ඔය වැඩේ කරන්න පුලුවන්. අපි බැංකුවෙන් ණයක් ගන්න ගියොත් මුලින්ම වයස කීයද කියල අහල 55 පිරෙන්න කලින් වාරික කීයක් ගෙවන්න පුලුවන්ද කියල ගනං හැදුවට රටවල් වලට වයසක් නැති නිසා ඔය වැඩේ කරන්න පුලුවන්. හැබැයි ඒ වැඩේ කරන්න නං නිතර නිතර වෙළදපොළට ගිහිල්ලා බැදුම්කර නිකුත් කරන්න පුලුවන් වෙන්න ඕන. ස​රලව කියනවනං

ණය ගෙවීමේ හැකියාව = නැවත ණය ලබා ගැනීමත ඇති හැකියාව.

දැන් ලංකාවට නැත්තේ අන්න ඒ​ක. මොකද අපේ ක්‍රෙඩිට් රේටිං (credit rating) එක පහල දාල. වෙළදපොලෙන් ණයට ගන්න බෑ. එතකොට බැදුම් කර නැවත නිකුත් කරන්න බෑ. කරන්න පුලුවන්. එතකොට ඉතිං ගෙවන්න වෙන පොළිය සහ පාඩුව ගනං හැදුවම ඊට වඩා හොදයි අතිං ගෙවල හරක් ටිකක් බලා ගන්නවා. ඒ නිසා තමයි වෙන රටව​ල් වලින් සල්ලි අතමාරු කරගෙන ඒක සංචිත වලට දාල ඒකෙන් ගෙවන්නේ. අන්න ඒ රටවල් වලි අතමාරු ක්‍රමයට ණය ගන්න එකට තම​යි swap කියන්නේ.

2. දෙවැනි සංකල්පය තමයි ණය ප්‍රතිව්‍යූගත කරද්දි හැමෝම බලන්නේ මුලින්ම ප්‍රතිව්‍යූගත කිරීමෙන් ඉවත් වෙලා ඉන්න. මොකද ණය ප්‍රතිව්‍යූහගත කරනවා කියන්නේ ණය දීපු කෙනා ලොකු පාඩුවක් විදිනවා කියන එක. ඉතිං ඩොලර් මිලියන 500 - 1000 දීපු මිනිස්සු කැමති වෙයිද අතිං වියදං කරගෙන ඩොලර් මිලියන වලින් පාඩු ගන්න.  ලංකාවේ යචකයෙන්ක්ට රු.20ක් දුන්නත් අහනව 20ට තේකක්වත් බොන්න පුලුවන්ද කියල. මොකද ඔය ණය ප්‍රතිව්‍යූහගත කර​න වැඩේ මාස 9 ඉදල අවුරුදු 3-4ක් වුනත් ඇදෙන්න පුල්වන් මහා හිසරදයක්. හිසරදය ඉතිං ඕක කේවල් කරන්න යන අයට තමයි.

ඒක නිසා කවුරු​ත් කැමති නෑ ණය ප්‍රතිව්‍යූහගත කරන්න. ඒ වගේම ණය ප්‍රතිව්‍යූහගත කරන සාකච්චාවලදි මිනිස්සු එන්නේ නෑ කි​රි කෝපි බීල කෑම කාල සතුටු සාමිච්චියේ යෙදිල “ආජි තපර ලාලි ලා​යි - සබඳ අපි කදු නොවෙමු” කියල සිංදු කියන්න..

විශ්වාස කරල සල්ලි දීල දැන් අපි ඇවිල්ල ගෙවන්න බැහැ කියල නහයෙන් අඩ අඩ කිව්වම තවත් ඒ ගැන කතා කරන්න වෙලාවයි, සල්ලියි නාස්ති කරගෙන එන මිනිස්සු එන්නේ අන්තර්ජාතික මට්ටමේ ලෙවෙල් එකෙන් කේවල් කරන්න. Blood bath එකක් කියල තමයි පොශ් විදියට කියන්නේ. අපේ භාෂාවෙන් කියනවනං ගේම ඉල්ලන්න එන්​නේ.  මතකයිනේ ගෝල්ඩෙන් කී (Golden Key), එදිරිසිංහ (ETI) ටෘස්ට් ඉන්ව්ස්මෙන්ට් වගේ ඒවයින් ලංකාවේ මිනිස්සුන්​ගේ සල්ලි වල​ට පොලු තිබ්බම පැවතු​නු අපහසුව. අන්න ඒ වගේ තමයි.

ඉති​ං ඒක නිසා ණය ප්‍රතිව්‍යූගත කරන්නම වෙනවනං ගොඩක් දෙනෙක් කරන්නේ ඒක හැමෝම අතරේ බෙදෙන ක්‍රමයක් යෝජනා කිරීම. තනියම ණය ප්‍රතිව්‍යූහගත කරන්න කවුරුත් කැමති නෑ. ලෝකයේ දක්ෂතම ආයෝජකයන්ට සහ නීතිවේදීන් “අනේ අ​පේ ණය විතර​ක් ප්‍රතිව්‍යුහගත කරන්න. අනිත් අයට ඔහේ ඉන්න දෙන්න හිත රිද්දන්න එපා. ඇහරවන්න එපා නිදා ගන්න දෙන්​න" කියල කියන්​න තරම් මෝ​ඩ හේතුවක් නෑ. අන්න ඒක තමයි මූලික සිද්​ධාන්ත දෙක. චීනය අර කලිංම කියල තියෙන්නේත් ඒක තමයි. දැන් අපි බලන්න ඕන ඔය ණය ප්‍රතිව්‍යූහගත කරද්දි අපි කාටද ණය කියල සහ කා අතරද මේක බෙදිල යන්නේ කියල.

ලංකාව විදේශ ණය අරං තියනව ප්‍රධාන ආකාර 3කට

A. බහුපාර්ශ්වීය ණය

ඒ කියන්නේ ලෝක බැංකුව(World Bank), ආසියානු සංවර්ධන බැංකුව (ADB), අතර්ජාතික මූල්‍ය අරමුදල (IIMF) වගේ ආයතන. ඔවුන්ගෙ​න් අපි දැනට ඔවුන්ට ණයයි ආසන්න අවශයෙන් බිලියන $8.5ක්. හම්බන්තොට වරාය වගේ 8 ගුණයක්. අපේ සමස්ථ විදේශ ණය වලින් 28%ක් විතර. ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නෑ සාමාන්‍යෙන්. මොකද ඔවුන් ණය දෙන්නේ ඉතාම අඩු පොලියට විශාල කාලයකින් ගෙවන්න. එතකොට ඒ වගේ ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නෑ. කරනවනං ඔවුන්ම තව ණයක් දීල ඒක දික් කරන එක තමයි කරන්නේ

B ද්වීපාර්ශවීය ණය

ඒ කියන්නේ එක එක රටවල් වලින් ඉල්ල ගත්තු ණය. ඉන්දියාවෙන්, චීනයෙන්, ජපානයෙන්, ප්‍රංශයෙන් ඉල්ල ගත්තු ණය. දැනට ආසන්න වශයෙන් අපි බිලියන $6.2 ක් විතර ණයයි. අපේ සමස්ත විදේශ ණය වලින් 18%ක් විතර.  දළ වශයෙන් ජපානය තම​යි අපේ ලොකුම ණය හිමියා. අපේ විදේශ ණය වලින් 10%ක්. චී​නයට 2%ක් විතර. (චීන එක්සිම් බැංකුවේ ණය වැටෙන්නේ වෙලදපොළ ණය විදියට. ​ඒ පිළිබදව වෙනම පහළ කතා කරනවා) ඉන්දියාවට 2.3%ක් විතර. 

මේ ද්වී පාර්ශ්වි​ක ණය ප්‍රතිව්‍යූහගත කරන එක ලේසි නෑ. ඒකට හේතුව ද්වීපාර්ශ්වික ණයක් ප්‍රතිව්‍යූගත කරද්දි පැරිස් සමුලුවේ (Paris Club) රටවල් වල ​ණය ප්‍රතිව්‍යූගත කරන්න ඕන පැරිස් සමුලුවේදි විතර​යි. අපිට ණය දීල තියන රටවල් වලින් ජපානය, ප්‍රංශය වගේ රටවල් පැරිස් සමුලුවේ සාමාජික රටව​ල්. චීනය සහ ඉන්දියාව පැරිස් සමුලුවේ රටවල් නෙවෙයි. සාමාන්‍යෙන් ණය ප්‍රතිව්‍යූගත කරද්දි ඔක්කොම රටවල් වලට එකම ප්‍රමාණයකින් සහ ඊට අනුරූප වෙන ව්දියට තමයි ප්‍රතිව්‍යූගත කරන්න ඕන. එක රටක් කවදාවත් කැමති වෙන්නේනේ නෑ ඔවුන්ගේ රටේ ණය විතරක් ප්‍රතිව්‍යූගත කරන්න.

මොකද කිසිම රටක් එක රටක සම්පූර්ණ ණය බර විතරක් දරා ගන්න ඔලුවෙ අමාරුවක් එහෙම නෑ. ජනාධිපතිතුමා චීනයෙන් ණය ප්‍රතිව්‍යූහගත කරන්න ඉල්ලා සිටියම චීනයේ  Academy of Regional and Global Governance of the Beijing Foreign Studies University හි Long Xingchun ප්‍රකාශ කරල තිබ්බේ චීනය එහෙම කරනවනං ඉන්දියාව, ඇමරිකාව සහ ජපානයත් ණය ප්‍රතිව්‍යූගත කරන්න ඕන කියල. ඒ කියන්නේ ඒක තමයි චීනයේ මතය.  එතකොට අපිට ජපානය ඇතුලු පැරිස් සමුලුවේ රටවල් එක්ක වෙනම සාකච්​චා කරල ඔවුන් කැමති වෙන ප්‍රතිව්‍යූගත කිරීම් ආකෘතියට ඉන්දියාව චීනය ඇතුලු පැරිස් සමුලුවට පිටින් ඉන්න රටවල් කැමති කරවා ගන්න අවශ්‍යයි. එහෙම නැත්තං මුලුන්ම පැරිස් සමුලුවට පිටින් ඉන්න රටවල් එක්ක සාකච්චා කරල ඔවුන් කැමති වෙන ණය ප්‍රතිව්‍යූගත කිරීමකට පැරිස් සමුලුවේ රටවල් කැමති කරවා ගන්න ඕන. ඔය සාකච්චා භූ දේශපාළන කාරනා එක්ක සෑහෙන සංකීර්ණයි.

C. අන්තර්ජාතික මූල්‍ය වෙළදපොළෙ, මූල්‍ය ආයතන වලින් ලබා ගත් ණය.

ලංකව වැඩිපුරම ණය අරං තියෙන්නේ මූල්‍ය වෙළදපොළෙන්. දළ වශයෙන් බිලියන 19ක්. හම්බන්තොට වරාය වගේ 19ක්. මුලු විදේශ ණය වලින් 57%ක් විතර. ඒ අතරින් චීන එක්සිම් බැංකුවෙන් (China exim Bank) ගත්තු ණය තියනවා 8%ක් විතර මුලු ණය වලින්. වැඩිපුරම තියෙන්නේ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර(International Sovereign Bonds -ISB). 34%​ක්. මූල්‍ය වෙළදපොළේ ණය ප්‍රතිව්‍යූගත කිරීමත් ඉතාම සංකීර්නයි.

අපිට 2022 හෝ 2023 කල් පිරෙන බැදුම්කරයක් විතරක් පස්සේ ගෙවන්නං කියල ප්‍රතිව්‍යූගත කරන්න බෑ. කලින් මූලික සිද්ධාන්තවල කිව්වා වගේ හැමෝම බලන්නේ මුලින්ම ප්‍රතිව්‍යූහගත කිරීමෙන් ඉවත් වෙන්න. දෙවනියට බලන්නේ කරන්නම වෙනවනං හැමෝවම මේකට පටලවන්න. ඒ වගේම ඔය ස්වෛරී බැදුම්කර තිබෙන්නේ අන්තර්ජාතික නිව්‍යෝක් (New York) හෝ ලන්ඩන් (London) නීතිය යටතේ. මොකද මුලු ලෝකයම එම නීති ක්‍රමයත් එක්ක හු​රු පුරුදු නිසා. එතකොට උසාවි ගිහිල්ල වගේ විසදගන්නවා නං ඉතිං එංගලන්තේ හරි නිව්යෝක් හරි උසාවියේ තමයි විසදන්න වෙන්නේ. ලංකාවේ නිකුත්කරපු තව ඩොලර් බැදුම්කර වර්ගයක් තියනවා ශ්‍රී ලංකා ස්වෛරී  බැදුම්කර (Sri Lanka Development Bonds - SLDB’s)  කියල. අන්න එක නං ලංකාවේ නීතිය යටතේ නිකුත් කරල තිබෙන්නේ .

දැන් බලමු ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ කොහොමද කියල.

ණය වල ප්‍රතිව්‍යූහගත කරද්දි කරන්​න තියෙන්නේ කරුණු 4ක් විතරයි.

1. පළවෙ​නි එක තමයි මුලු ණය ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරන්න කැමති වෙනවා. උදාහරණයක් විදියට චීනය කියනවා අපි සම්පූර්ණ ණය දීල තියනවා බිලියන 3ක්. අපි බිලියන 2​ක් විතරක් ණය අරං තියනවා කියල හිතාගෙන ඉතුරු ගණ​ං හදල ඉතුරු බිලියන 2 විතරක් ගෙවන්න. ​එක බිලියනයක් අපි සාංගික දානයක් දුන්නා කියල හිතා ගන්නං වගේ කියල කියනවා. ඔන්න ඕකට තමයි කියන්නේ හෙයා කට් (Haircut) කියල

2. දෙවැනියට කරන්නේ පොළිය අඩු කරනවා. කලින් 5% පොළියට ගණං හැදුවේ දැන් අපි 2%කට පොළිය හදන්නං කියල කියනවා. (Coupon Clipping)

3. තුන්වැනියට තියෙන්නේ ගෙවන කාලය වෙනස් කරනවා. කලින් අවුරුදු 5න් ණය ගෙවන්නං කියල කිව්වේ. එහෙනං ඕගොල්ලො අවුරුදු 10කින් ගෙවන්න කියල කියනවා (Extension of maturity)

4. ඔය ඉහත කියපු කරුණු 3න ඕන විදියකට සංකළණය කරල එගක වෙන ක්‍රමයක් වෙන්න පුලුවන් (Mix and match of all of the above)

හැබයි මූලික අදහස තමයි හැමෝම එකම විදියට ණය වල බර දරාගන්න ඕන කියන එක.

ලංකාව වගේ රටකට අපේ රජය ගත්තු ණයට අමතරව අපේ රජයට අයිති ව්‍යාපාර (State owned enterprises) ගත්තු ණයත් තියනවා. උදහරණයක් විදියට ශ්‍රී ලංකා වරාය අධිකාරිය(Sri Lanka Ports Authority) , ඛණිජ තෙල් නීතිගත සංස්තාව(Ceylon Petroleum Corporation) , ශ්‍රී ලංකන් ගුවන් සමාගම (Sri Lankan Airlines) වගේ ඒවයේත් ණය හෙලිදරව් කරල ඒවත් ප්‍රතිව්‍යූහගත කිරීමට සිදු වෙනවා.

ඒ වගේම ණය ප්‍රතිව්‍යූහගත කරද්දි රටේ ණය වලින් කොතරම් ප්‍රමාණයක් ණය හිමියන් දරා ගන්න ඕනද කියල ස්වාධීනව ආර්ථික විශ්ලේෂණයක් කරන්න ඕන(Debt Sustainability Analysis). ඉතිං එහෙම එකක් කරන්න පුලුවන් ආයතයකට මේ ලෝකයේ දැනට තියෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පමණයි (International Monetary Fund- IMF). ලංකාවටත් ඔය Debt Sustainability Analysis කරන්න පුලුවන්. ඒත් එතකොට ණය හිමියො ටික අපිව විශ්වාස කරන්නේ නෑ. ණය වලට පොල්ල තියන මිනිස්සු තවත් ණය ගැන කියන කතා පිළිගන්නේ කවුද?

ගොඩක් දෙනෙක් යෝජනා කරා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන්න කියල. ඒත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල විදේශ විණිමය දෙන්නේ රටේ ණය ස්තාවරනං විතරයි. මොකද නැත්තං අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සල්ලි ණය හිමියන්ට දෙනවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කැමති නෑ. ඒක නිසා මේ වගේ තත්වයක් යටතේ අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගියපු ගමන් ඔවුන් බොහෝ වෙලාවට කියන්න ඉඩ තිබෙනවා මුලින්ම ණය ප්‍රතිව්‍යූගත කරගෙන එන්න කියල.

බොහෝ වෙළාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර හෝ වැඩසටහන​ක් යටතේ රටක් සිටින විට සියලු ණය ගෙවීම් සිදු කිරීමට යොදා ගන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් කාලය ඉවර වුණාට පස්සෙයි. එහෙම කරන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මුදල් ණය හිමියන්ට යන්න නොදෙන්නයි. (Debt reprofiling)

සාමාන්‍යෙන් ණය ප්‍රතිවූ​හගත කිරීමකදී අපි වෙළදගණුදෙනු කරන ණය හිමියන්ව (Trade creditors) පැත්තකින් තියනවා. නැත්තං ණය ප්‍රතිව්‍යූහගත කරන කාලයේදී අපිට අවශ්‍ය තෙල්, බෙහෙත් වගේ ආනයන කරන්න අමාරු වෙන නිසා.

අපි ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ අන්තර්ජාතික  ස්වෛරී බැදුම්කර හිමියන් සමගනම් බොහෝ විට බැදුම් කර හිමිය​න් එකතුවී කමිටුවක් පිහිටුවා ගනු ලබනවා. ඔවුන් ගේ නියෝජිතයන්, ඔවුන්ගේ නීති සහ මූල්‍ය උපදේශකයන් කේවල් කිරීම් වලට (Debt Negotiation) සහභාගී වෙනවා

සාමාන්‍යෙන් ණය ප්‍රතිව්‍යූහගත කරපු රටවල් සම්භන්ධයෙන් ආයෝජකයන්ගේ විශ්වාසය අඩු වීම සහ ආයෙමත් නිතර නිතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම් වලට යොමු වීමට සම්භාවිතාවක් ඇති බව තමයි පේන්න තියෙන්නේ.

ශ්‍රී ලංකාව කවදාවත් ණය ප්‍රතිව්‍යූහගත කරල නැති නිසා ආජන්ටිනාව (Argentina) සහ ඉක්වඩෝරය (Ecuador) කරපු තරම් ලේසි වෙන එකක් නැති බව තමයි මට හිතෙන්නේ. ඒ වගේම ඒ රටවල් වලට තෙල් ඇතුලු විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපිට එහෙම නැති නිසා ලේසි වෙන එකක් නෑ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම අමාරු වුණා කියල ඒකෙන් පැනල යන්නත් බැරි තත්වයකට තමයි අනික් පැත්තෙන් එන්නේ. මොකද කිසිම පක්ෂයක්  මේකෙන් ගොඩ එන විදිය ගැන හරි ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලත් නෑ. අපි තව කාගෙන් හරි වැඩිපුර පොළියට අතමාරුවක් කරගෙන දවස ගෙවාගන්නවා වගෙ වැඩක් තමයි යන්නේ. එහෙම කරල යන්න පුලුවන් සීමාවක් තිබෙනවා.

සමහර වෙලාවට එළියෙ ඉදන් කියන තරම් ලේ​සි නෑ ආර්ථික ප්‍රතිසං​ස්කරණ කරන්න. මේ ටික ලිව්වේ මේක කියවල කවුරු හරි මහා විශාල ආර්ථික ප්‍රතිසංකරණයක් කරයි කියල බලාපොරොත්තුවෙ​න් නෙවෙයි. දෙයක් කරන්න පුලුවන් ඒ දේ ගැන දැන ගත්තොත්නෙ. නොදන්න දෙයක් කරන්න කොහොමත් බැරි නිසයි දැන ගන්න කැමති අයට කිව්වේ. 

ණය ප්‍රතිව්‍යූහගත කරනවද නැද්​ද කියන තීරණය මොකක් වුනත් ඒක හැමෝටම බලපානවා. එහෙනං කොල්ලො අපි ​ගියා.

ඇයි මෙච්චර බඩු මිල වැඩි ?

ඇඩ්වොකාටා බත් කරි indicator එක 2021 දෙසැම්බර් මාසයේ මෙතෙක් සටහන් කරපු  වැඩිම අගය වාර්තා කළේ, සාමාජිකයින් හතරදෙනෙකුගේ නිවසක් සදහා, ආහාර ද්‍රව්‍ය වර්ග 10ක් සදහා යන වියදම සම්බන්ධවයි. නොවැම්බර් මාසයේදී බත් කරී indicator වාර්තා කල අගය රු.1387.65ක් වනවා වගේම, දෙසැම්බර් මාසයේදී මෙම අගය රු.1593.11 වුනා. මේක එක මාසෙකදී 15% ක වැඩි වීමක්.

මාසෙකින් මෙච්චර මිල වෙනස් වෙන්නෙ කොහොම ද? අපිට ඒ හේතු මේ විදියට විග්‍රහ කරන්න පුළුවන්. 

කොවිඩ් වසංගතය හා වැරදි ආර්ථික ප්‍රතිපත්ති (ඩොලරයට දමා ඇති පාලන මිල) වල හේතුවක් විදියට වර්තමානයේ අපේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා. මේ හේතුව නිසා අපේ ආනයනයන් සීමා වෙලා. එතකොට අපි ආනයන කරන තෙල්, ගෑස්, ළූණු, ඖෂද හා අනෙකුත්  ද්‍රව්‍යන්ගේ මිල ඉහළ යනවා විතරක් නෙවෙයි ඒ භාණ්ඩ වර්ගයන් වල හිඟයක්ද ඇති වෙලා තියෙනවා. ඒවගේම අපේ රටට ඇවිත් තියෙන භාණ්ඩ, වරායෙන් නිදහස් කරන්න අවශ්‍ය ඩොලර් නැති නිසා ඒ භාණ්ඩ ප්‍රමාණය වෙළදපොලට මුදා හරින්න බැරි වෙලා තියෙනවා. ඊට අමතරව භාණ්ඩ ආනයනය කරන පිරිසට ණයවර ලිපි නිකුත්කර ගැනීමටත් ඉතාම අපහසුයි.

ඩොලර් හිඟයට අමතරව වෙළදපොලට සපයන භාණ්ඩ වල අඩුවක් තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ, කොවිඩ් 19 වසංගතයත් සමග සැපයුම් ජාල වල පවතින අවහිරතාවන්. බොහෝ රටවල දේශසීමා ඉක්මවා සංචරණය තහනම් කරලා තියෙන නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. සමහරක් භාණ්ඩ මේ හේතුව නිසා අඩු වෙලා තියනවා වගේම අමතරව ආණ්ඩුව විසින් පනවපු ආනයන තහනම් නිසාත් මේ බඩු වල මිල ගණන් ඉහළ යාමට හා හිඟයක් ඇතිවීමට හේතු වෙලා තියෙනවා. ඒ වගේම ලෝක වෙළදපොලේ ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමක්ද පවතිනවා. කොවි​ඩ් වලින් පස්සේ නැව් ගාස්තු වැඩිවීමක් වගේම ලෝකයේ ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ වල මිලත් ඉහළ ගිහින්.

ඒ වගේම ප්‍රධානම වශයෙන් බලපාන ප්‍රශ්නයක් තමයි මහ බැංකුවෙන් සිදු කරණ මුල්‍ය පද්ධතියේ  ප්‍රසාරණයන් (සල්ලි අච්චු ගැසීම). ඒ කියන්නේ රජයෙන් සිදු කරන සමහරක් ව්‍යපෘති වලට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්න රජය මහ බැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මේ ක්‍රියාවෙන් ඇතිවෙන නරක ප්‍රතිවිපාක කිහිපයක් තියෙන​වා. මුලින්ම වෙන්නේ කෘතීම විදියට සපයන මුදල් නිසා විවිධ ඉදිකිරීම් ඇතුලු ආනයන අවශ්‍ය ව්‍යාපෘති වලට අමතර මුදල් යාමෙන් ආනයන සදහා තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මුලින්ම අපේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම වැඩි වෙලා විදේශ විනිමය අර්බුදයක් හෙවත් Balance of payment crisis එකකට මග පාදනවා. දෙවැනියට  මෙම ක්‍රියාව නිසා උද්ධමනය ඇතිවෙනවා. මේකෙන් බඩු මිල ඉහළ යනවා වගේම මිනිසුන්ට බඩු මිලදී ගැනීමට තියෙන හැකියාවත් අඩු වෙනවා. 

දැන් මේ තියෙන ගෑස් හිඟයත්, ගෑස් වල මිල ගණන් ඉහළ යාමත් සිදුවෙලා තියෙන්නේ හේතූන් ගණනාවක්  මතයි. එක හේතුවක් තමයි විදේශ විණිමයේ පවතින හිඟය හා ගෑස් වෙළදපොලේ පවතින කතිපයාධිකාරී තත්ත්වය. කතිපයාධිකාරී වෙළදපොලක් කියන්නේ ආයතන කිහිපයක් පමණ​ක් පවතින තත්ත්වයක්. මේ වගේ වෙළදපොලක ඒ ආයතන කිහිපයට විතරක් එකතු වෙ​ලා මිල තීරණය කරන්න පුළුවන්. මේ නිසා තමයි ගෑස් වෙළදපොලේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් උදා වුනේ.   

මේ හේතු වලට අමතරව ලෝකේ ආහාර වල හා භාණ්ඩ වල මිල ඉහළ යාම, ලංකාවේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම සදහා බලපානවා. උදාහරණයක් ලෙස ලෝකේ තෙල් මිල ඉහළ යනවා නම්, ලංකාවේ තෙල් මිලත් ඉහළ යනවා. ඊට අමතරව කොවිඩ්-19 වසංගත තත්වයත් එක්ක භාණ්ඩ ප්‍රවාහණය කිරීමේදී ආරක්ෂාව සදහා ගන්න පියවර හේතුවෙනුත්  මේ භාණ්ඩ වල මිල ඉහළ යනවා.

 මෙවැනි හේතුන් කිහිපයක් වර්තමානයේ භාණ්ඩ වල මිල ඉහළ යාම සදහා බලපාලා තියනවා වගේම, මෙය මෙවැනි දරුණු තත්ත්වයක් බවට පත් වෙන්න ප්‍රධාන වශයෙන් අපේ අදූරදර්ශී  ප්‍රතිපත්ති හා කොවිඩ්-19 වසංගතය බලපාලා තියෙනවා.

බත් කරි Indicator එකට පිවිසෙන්න: www.bci.advocata.org.

තත්සරණි සිරිවර්ධන

(2022.01.20)


හොඳටම සහනාධාර දෙන්නේ කොහොමද?

අපි අදහන හැම ආගමකම දානය ගැන කියල තියනවා. බුදු දහමේ දානය හෙවත් දන් දීම නිතරම අගය කරනවා. කතෝලික ආගමේ කියන්නේ එක අතකින් දෙන දෙයක් අනෙක් අතට නොදැනෙන්න දෙන්න කියල. මුස්ලිම් ආගමෙත් නැති බැරි අයට දීම ගැන සදහන් වෙනවා. මේ අතර වාරයේදි තමයි මුදල් අමාත්‍යතුමා මේ දින වල ඉහළ යන ජීවන වියදම සැළකිල්ලට අරගෙන රජයේ සේවකයන්ට රු. 5000ක දීමනවක්, සමෘධිලාභීන්ට රු. 1000 ක දීමනාවක්, ගොවියන්ට වී කිලෝවකට රු 25ක අමතර මිලක්, වතුකරයේ ජනතාවට මසකට රු.80 බැගින් පාන් පිටි කිලෝ 15ක් වැනි රුපියල් බිලියන 229ක් බර තිබෙන දානයකට සමාන දීමනා ගොන්නක් ඉදිරිපත් කලේ. 

උද්ධමනය 12%ක් වීමත්, ආහර වර්ග වල මිල (ආහාර උද්ධමනය) 22%ක් ඉහළ යාමත් නිසා ජනතාව බඩු මිල සම්භන්ධව යම් මැසිවිල්ලක් නැගූ බව අසත්‍යක් නොවේ. එම නිසා පවතින දේශපාලන සන්​දර්භ​ය තුල මෙවැනි තීරණ දේශපාලකයන් ගනු ලබනවා. අපි අද බලන්නේ මෙවැනි දීමනා ලබා දීමේදී ලබා දිය යුතු හොදම ක්‍රමවේදය සහ මෙමගින් ආර්ථිකයට සිදිවිය හැකි බලපෑම කුමක්ද යන්නයි. 

මුලින්ම කියන්න අවශ්‍යයි සල්ලි ​නිකං ලබා දීම එතරම් හොද දෙයක් නොවේ. අපි සාමාන්‍යෙන් දරුවන්​​ට පවා උගන්වන්නේ මහන්සි වෙලා යමක් උපයා ගන්නා ලෙස මිසක් නිකං ලබා ගන්නා ලෙස නොවෙයි. මොකද නිකං ලබා ගැනීමේ මානසිකත්වයෙන් ඕනම කෙනෙක්ට ඉදිරියට යන්න අමාරුයි. නමුත් එය සත්‍යක් වුණත් මහ පොළවේ යතාර්තයට මුහණ දෙන්න වෙනවා. අමාරුකම් තියන දුප්පත් මිනිස්සු සෑහෙන අපි වගේ දකුණු ආසියාතික කලාපය තුල ඉන්නවා. අපි අත පය හතර තියනවානම් කුලී වැඩක් කරල හරි යමක් හොයා ගන්න බැරිද වගේ ඇහුවට ඔවුන්ට මහන්සි වෙලා ඉදිරියට එන්න පුලුවන් ක්‍රමයකටයි සහනාදාර දෙන්න අවශ්‍ය. 

එම නිසා මේ සහන මල්ලෙන් රජයේ සේවකයන්ට රු.5000 ක පඩි වැඩි වීමක් දීම තරමක් තේරුම් ගැනීමට අපහසුයි. ඒ සදහා බොහෝ විට හේතුව විය හැක්කේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේත් ඉතාම අඩුවෙන්. ඉති​න් බඩු මිල ඉහළ යාම ඔවුන්ටත් ඉතා තදින් දැනෙනවා. නමුත් ඒ සදහා පිළියම ඔවුන්ගේ පඩි නිකරුණ් වැඩි කිරීමට වඩා රජයේ අනවශ්‍ය සේවකයන් ඉවත් කර එම ඉතිරිවන මුදල හරහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමව පැවතිය යුතු අංශ සදහා පඩි වැඩි කිරීමයි. අපේ රාජ්‍ය අංශයේ වැඩිපුරම සිටින්නේ කම්කරු මහත්වරු​න්, රියදුරු මහ​ත්වරුන් සහ ලිපිකාර සහ කාර්යාල සහයක මහත්වරුනුයි. ඔවුන් වැඩක් නැතිවුණත් නිකරුණේ කාලය ගත කරමින් විශාල අතිකාල දීමනාවක් ලබා ගන්නවා. මට හමුවුනු සංස්තා සහ රජයේ ආයතන වල සභාපතිවරුන් නිතරම කියන දෙයක් තමයි “මම අතිකාල (Overtime) ​අත්සන් කරම මට වඩා වැඩි පඩියක් මගේ රියදුරාට/ කාර්යාල සහයකට අත්සන් කරනවා" කියන කාරණය. ඔය හේතුව නිසා සමහර අතිකාල ලබා ගත හැකි රැකියාවල සිටින රාජ්‍ය සේවකය විධයක ශ්‍රේණියට සමහර අවස්තාවලදී ලබා දෙන උසස්වීම් පවා ලබා ගැනීමට මැලිවන බව රහසක් නෙවෙයි. මෙය කුඩා රාජ්‍ය ආයතන වල පමණක් නොවෙයි ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ස්තානවලත් එලෙසමයි. ඉතින් කාර්යක්ෂමතාවයක් නොමැතිව ඉහළ යන බඩු මිල වෙනුවෙන් රු. 5000ක දීමනාවක් ලබදීමෙන් සිදුවන්නේ බඩු මිල තවත් ඉහළ යාමට ඇති හැකියාව ඉහළ යාමයි. 

එය වැලැකිවීමට නම් අප බදු මුදල් වැඩි කිරීම හෝ දැනට වෙන්කර ඇති ප්‍රාග්ධන වියදම් (පාසල් ගොඩ නැගීමට, රෝහල් ගොඩ නැගීමට) කපා හැරීමට සිදු වෙනවා. 

නමුත් මහ පොලවේ යතාර්තය තමයි රජයේ සේවකයන් හැරුණු විට ඇත්තටම රැකියාවක් කර ගැනීමට තරම් දක්ෂතාවයක් නැති පිරිස් සමාජයේ සිටිනවා. අපි ඔවුන්ට යම් සහනයක් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම ආර්ථිකය​ක ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමේදී එහි බලපෑම වැඩිපුරම දැනෙන්නේ දුප්පත් මිනිසුන්ට​යි. ඛණිජ තෙල් මිල ඉහළ යාම, ආහර ව​ල මිල ඉහළ යාම, මූලික අවදියේ​දී වලදී ආර්ථිකය සංකෝචනය ව​න නිසා රැකියා අහිමි වීම වැනි බොහෝ දේ මුලින්ම බලපාන්නේ දුප්පත් මිනිස්සුන්ටයි. එහෙමනම් අපි ඔවුන්ට සහනයක් ලබා දෙන්නේ කොහොමද? 

ඒ සදහා ආර්ථික විද්‍යාවේ තිබෙන ක්‍රමවේදය තමයි එම පිරිස් සදහා සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුමට තෝරාගත් ස්තර අනුව කෙලින්ම මුදල් ලබා දීම. අපි තව ටිකක් මේක පැහැදිලි කර ගමු. 

දුප්පත් වීමේත් විවිධ ස්තර තිබෙනවා. ඛණිජ තෙල් මිල ඉහළ යාම අඩු ආදායම් ලාභී තෙල් වලින් බෝට්ටු භාවිතා කරන ධීවර මහතෙකුට බ​ලපාන ප්‍රමාණය වැඩියි සාමාන්‍යයෙ​න් වාහනයක් භාවිතා නොකරන අඩු ආදායම් ලාභී කම්කරුවෙකුට වඩා. අපි දැන් අනුගමනය කරන ක්‍රමය තමයි රජය සහනාධාරයක් ලබා දීමෙන් හැම තෙල් ලීටරයක්ම අඩු මිලකට ලබාදීම. නමුත් අපි දන්නා පරිදි වැඩිපුරම තෙල් භාවිතා කරන්නේ එම තෙල් මිල දරා ගත හැකි පිරිසයි. තෙල් ලීටරයකින් කිලෝමීටර් 4-ක් 5ක් පම​ණක් ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇ​ති අධි සුපෝකභෝගී වාහන වල ගමන් ගන්නා පිරිසට තමයි හැමෝගෙම තෙල් මිල අ​ඩු කිරීමෙන් වැඩිම වාසිය වෙන්නේ. කොළඹ ප්‍රධා​න පෙලේ පාස​ල් අසල බොහෝ පිරිස් වාහනයේ එන්ජිම ක්‍රියාත්මක කරවා වායුසමනය තුල කාලය ගත කිරීම දැක ගත හැකියි. සැමගේම ඉන්ධන මිල අඩු කිරීමෙන් සිදුවන්නේ එවැනි දේ සදහා ඉන්ධන භාවිතා කරන අයටත් දිරි දීමනාවක් ලබා දීම​යි. ඊලගට කල හැකි වන්නේ දුප්පත් අය තෝරා ගෙන ඔවුන්ට පමණක් ඉන්ධන අඩු මිලට ලබා දීමයි. නමුත් එය ක්‍රියාත්මක කිරීම පහසු නෑ. ඒ වගේම ඉන්ධන අනවශ්‍ය අය වැඩිපුර මිලදී ගෙන එය කලු කඩ වෙළදාමක් බවට පත් වීමෙන් නැවත රජය ලබාදෙන සහනාධර​ය නාස්ති වීමට ඉඩ තිබෙනවා. 

එහෙමනම් මේ සදහා තිබෙන හොදම ක්‍රම​ය කුමක්ද? අන්න ඒ ක්‍රමයට තමයි අපි කියන්නේ සෘජුව ඩිජිටල් ක්‍රමයට මුදල් ලබා දීම කියල. මෙතනදි අපි කරන්නේ හැමෝටම සහනා​ධාරයක් ලබා දෙනවා වෙනුවට දුප්පත් පිරිස​ට පමණක් වෙළදපොළේ මිල උච්චාවචනය වීම අනුව සෘජුවම මුදල් ලබා දීම. එහිදී තෙල් අවශ්‍ය නැති අයට එම මුදල් තෙල් වෙනුවව ඔවුන්ට කැමති අවශ්‍යතාවයක් වෙනුවෙන් භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම එය ඩිජිටල් ක්‍රමයකට කෙලින්ම ඔවුන්ගේ බැංකු ගිණුමට ලබාදීම තමයි සුදුසුම. එතකොට මුදල් වංචා කිරීමට තිබෙන අවස්තාව අඩුයි. ඒ වගේම දේශපාළ බලය නිසා මුහුණ බලා මුදල් ලබා දීම, මුදල් ලබා දීමට රැස්වීම් පැවැත්වීම වැනි දේවල් කරන්න අපහසුයි. ඒ වගේම විශා​ල මුදල​ක් ඉතුරු කර ගත හැකියි. දැනට සමෘධිය සදහා වෙන් කරන මුදලෙන් 25%ක්ම වැය වන්නේ පරිපාලන වියදම් සදහායි. 

ඒ වගේම සහනාදාරය ලබා දීමෙදී ඉන්ධන භාවිතය අනුව සහනාධරය විවිධ අගයන් වලින් ලබා දිය හැකියි. වැඩිම අවශ්‍යතාවයක් තිබෙන පිරිසට වැඩි මුදලකුත්, අඩු අවශ්‍යතාවයක් තිබෙන අයට අඩු මුදලකුත් සහනාධාර ලෙස ලබා දිය හැකියි. ඒ වගේම ලෝක වෙළදපොලේ කලින් කලට ඉන්ධන මිල වෙනස් වෙනවා. එවිට අපිට එම මිල උච්චාවචනයට අනුව ලබා දෙන සහනාධාරය ඉහළ පහළ යැවිය හැකියි. එමගින් රජයට විශාල මුදලක් ඉතුරු කර ගත හැකියි වගේම නිකම් මිලට ගන්නවාට වඩා සහනාදාර ලබා ගන්න අයටත් අදාල භාන්ඩ ගෞරවාන්විතව මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. එමගින් අඩු ආදායම් තිබෙන පිරිස් තව තව​ත් සහනාධා​ර මත යැපීමට පොළඹවනවාට වඩා ඔවුන්ට උත්සහයෙන් වැඩ කිරීමට යම් දිරි ගැන්වීමක් ලැබෙනවා. 

සහනා​ධාර ලබා දීමේදීත් වෙළදපොළේ මිල වැඩි වන භාණ්ඩ සදහා සහ ඒවා භාවිතා කරන පිරිසට පමණක් සහනා​ධාර ලබා දිය හැකියි. දැනට අපගේ විදුලි බිලට, ජල ​බිලට, ඉන්ධන ආදී සෑම දෙයකටම රජයෙන් විශාල සහනාධාර​යක් ලබා දෙනවා. නමුත් එය තවදුරත් කිරීමට උත්සහ කිරීමෙන් ඇතිවන අනි​ටු විපාක වලින් සිදුවන්නේ රජයේ ප්‍රසාදය නැතිවීමත්, ජනතාව තවත් අපහසු තත්වයට පත්වීමයි. 

 ඉන්දියව වනි අප තරම් නොදියුණු රටවල් සහ අ​ප්‍රිකාවේ රටවල් මෙම සෘජු තෝරාගත් පිරිසට පමණක් සහනාදාර ලබා දීමේ ක්‍රම වෙත යොමු වී තිබෙනවා. (Direct Cash Transfer) ඔවුන් සහනාධාර ලබා දෙන්නේ වෙළඳපොළේ මිල ඉහළ පහළ යන ආකරය අනුවයි. ඉන්දියාවේ ආදාර් නම් ඩි​ජිටල් කාඩ්පත හරහා මම ක්‍රමය ක්‍රියාත්මකයි. එහි තේරුම එම ක්‍රම වල ප්‍රශ්න කිසිවක් නොමැති බව නොවේ. නමුත් අප දැන් අනුගනය කරන පාන්පිටි ග්‍රෑම් 500 ලබාදීම, රජ​යේ සේවකයන් හැමෝටම රු.5000ක් ලබාදීම වැනි ක්‍රියාමාර්ග මගින් සිදුවන නාස්තිය අති විශාලයි.

වසර ගණනාවක් මුලුල්ලේ Universal Basic Income නැතහොත් සෑම පුරවැසියෙකුටම යම් නිශ්චිත මුදලක් ලබා දී රජය මගින් ලබා ​දී විවිධ සහනාදාර කපා හැරීම පිළිබදව සාකච්චාවක් ලෝකයේ පවතිනවා. කෙසේ වෙතත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී නිසි පරිදි අරමුණු කරගත් ආර්ථික අපහසු කම් ඇති අය තෝරා ගැනීමෙන් යම් උදව්වක් දීම අත්‍යාවශයි. නමුත් අපට එය කල හැකි ධාරිතාවේ සහනයක් විය යුතු​යි. එලෙසම එය ක්‍රමවත්ව විය යුතුයි. අපට කල නොහැකි මට්ටමේ සහනා​ධාර මහ බැංකුවෙන් ණයට ගන්නා මුදල් වලින් ලබා දීම​ට උත්සහ කිරීමෙන් අපගේ මුදල් වල වටිනාකම තවත් අඩුවී ජනතාව තවත් අපහසුතාවයට පත්වීමට ඉඩ තිබෙනවා. එම නිසා අප සහනාදාර ලබදීමේදි සහනාදාරය මෙන්ම එයින් ඇතිවන අනෙක් ප්‍රතිපල සහ ක්‍රමවේදය ගැනත් සැළකිලිමත් විය යුතුයි.