මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු

"බිත්තර හරි ගනන්නේ" , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන  රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා  ඉන්න මිනිසුන්ට වේල් තුන පිරිමහ ගන්නවා කියන එකත් අභියෝගයක් වෙලා කියලා අපි දන්නවනේ.

ලංකාවේ ප්‍රධාන ආහාරය වන පෝෂදායි බත් වේලකට මස් කෑල්ලක් මාළු කෑල්ලක් එකතු කරගන්න බැරි දුප්පත් මිනිහාගේ එකම පිහිට  වූනෙත් රුපියල් 12  13 ට පැවති බිත්තරනේ…ඉතිං බිත්තරෙන්  ශරීරයට ප්‍රෝටීන් එකතු කර ගත්තත්  අද වෙනකොට එය මිලට ගන්නවා තියා ඒ දිහා ඇහැක් ඇර බලන්නවත් බැරි මට්ටමකට මිනිසුන් පත්වෙලා.

කඩේට ගිහින්  බිත්තරයක් අතට අරන් එය නැවතත් බිමින් තියලා එන මිනිස්සුත්,ඉස්සර පඩි අරන් තම දරුවන්ට බිත්තර 10ක් විතර  අරන් ගෙදරට යන මිනිස්සුත්  මේ දවස්වල බිත්තර එක දෙක අරගෙනයන අවස්ථා  ඕනෑතරම්  කඩපිල් වලට ගියාහම බලාගන්න  පුලුවන්. ඒකට හේතුව ඉතිං වෙන මුකුත් නෙවෙයි. අද කඩේක බිත්තරයක් රුපියල් 60-65  අතර තමා විකිණෙන්නේ...ඉතිං බලන්නකෝ අද ඉස්පිරිතාලෙ ලෙඩෙක්ට බිත්තරයක් දී ගන්න බැරි මට්ටමකට බිත්තර අහේනියක් ඇති වෙලා.බේකරි කර්මාන්තය,කේක් කර්මාන්තය ආදී සුළු පරිමාණ ව්‍යාපාර මේ හේතුවෙන් නැත්තටම නැතිවී යන තත්ත්වයකට පත්වෙලා.

ඇත්තටම මේ වගේ තත්ත්වයක්  ලංකාව තුළ ඇති වෙන්න ලොකුම හේතුව තමයි මිල පාලන හේතුව. ඉතිං මේ පිළිබඳ 2018 දී ඇඩ්වොකාටා  ආයතනය   "ශ්‍රී ලංකා දේශපාලන රඟහලේ මිල පාලනය,Price controls in sri lankan political Theatre" පර්‍යේක්ෂණ වාර්තාවෙන් පෙන්නලා දීලා තියෙන්නේ,"මිල පාලනය කියන්නේ හුදෙක් දේශපාලන කටයුත්තක් විතරයි කියලා එමගින් භාණ්ඩ වල මිල අඩුකිරීමක් කිසි දවසක සිදුවෙලත් නෑ සිදුවෙන්නෙත්  නෑ කියලා…

ඉතිං මොකද්ද මේ මිල පාලනය කියන්නේ…අම්බෝ රජය බඩුවලට මිලක් දාල දැන් වෙළෙන්දොන්ට ඕන ඕන විදියට නටන්න බෑ… හරී ෂෝක් අප්පා…ආණ්ඩුව හරී හොදාදායි… ඔහොමනේ ඔයාලා හිතන්නේ…ඇත්තටම මිල පාලනය කියන්නේ ආර්ථික විද්‍යාවට අනුව සරලවම කිව්වොත්,"වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය යටතේ තීරණය කරන සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණයක් යැයි රජයට දැනුනූ  විට ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම හේතුවෙන් රජය විසින් නියම කරනු ලබන මිලයි."ඇත්තටම ඔයාලා හිතන්නේ මේ ක්‍රියාව රජය මහජනයාගේ යහපතට සිදුකරනවා කියලා ද? නැහැ. එහෙම හිතන්නත් එපා. ඒනිසා සිදුවන්නේ තව තවත් බඩුවල මිල ඉහළ යාමක්. මතක? රජය විසින් කැසට් වගේ  ගහන විවිධාකාර ගැසට් මඟින්  පසුගිය කාලයේ දී (සහල්, සීනි, පොල් තෙල්, ගෑස්, සිමෙන්ති) මිල පාලනයක් සිදු කලා. ඔයාලට මතක ඇතිනේ..ඒවිතරක්  නෙවෙයි, ඔයාලට මතක ඇති පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව පොල් ගෙඩියටත් උපරිම මිලක් නියම කළා…2019 වසරේ කොවිඩ් කාලයෙත් මෙවැනි මිල පාලනයක් දැම්මා මතක ඇති ඔයාලට.  

බිත්තරයක් රුපියල් 10 ට දුන්නා, ටින් මාලු එකක් රුපියල් 100ට දුන්නා.ඉතිං මෙවැනි මෝඩ තීන්දු තීරණ නිසා රජය පැන වූ සහන මිල අවුරුද්දක් යන්නත් කලින් හතර පස් ගුණයෙන් වැඩි වුණා. අද වෙනකොට බිත්තරයක් කටේ තියාගන්න තියා අතට ගන්න බැරි තැනටම මිල පාලනය පටිසන් දීලා කියලා බිත්තරේ 60ට 65ට කද්දි ඔයාලට දැනෙනවා ඇති.

ඡන්ද ගන්න මිනිසුන්  අන්දවලා හොද හිත දීනා ගන්න දේශපාලකයෝ කරන කූට පැලැස්තර අතීසාරයට අමුඩ ගැසීමක් විදියටත් සලකන්න පුලුවන්. මේ දේමයි බිත්තර කර්මාන්තයට සිදු වුණෙත්. රජයට ඕන ඕන විදිහට භාණ්ඩවල මිල තීරණය කරන්න බැහැ. ඒ නිසා සිදුවන්නේ සාමාන්‍ය මිලට වඩා කළු කඩ මිලක් දක්වා භාණ්ඩ මිල ඉහළ යාමක්.ඉතිං මේ කාරණයෙන් තේරුම් යන්නේ අපි ජීවත්වෙන විවෘත ආර්ථිකය තුළ භාණ්ඩවල මිල තීරණය වෙන්නේ සාපේක්ෂව ඉල්ලුම හා සැපයුම මත බවයි. එබැවින් වෙළඳපොළට රජය අනිසි ලෙස මැදිහත් වීම වැළැක්විය යුතුයි. එය ආර්ථික විද්‍යාවට අනුව හොඳ දෙයක් නම් නොවෙයි. 

ඉතින්  බිත්තරවලට වුනෙත්  පාරිභෝගික කටයුතු අධිකාරිය  පැන වූ මිල පාලනය නිසා බිත්තර මිල වේගයෙන් ඉහළ යාමක්..ඔයාලට මතක ඇති අගෝස්තු මාසයේ බිත්තරේට පාලන මිලක් දැම්මා රුපියල්  42ට විකුණන්න ඕන කියලා…එම පාලන මිල දැම්මත් එක්කම වෙළඳපොලේ ඇති බිත්තර අතුරුදහන් වුණා. එය බිත්තර හා කුකුල් මස් කර්මාන්තයට විශාල අභියෝගයක් වුණා. අභිජනනය කළ කුකුළු ෆාම් විදුලිය නොමැති කම පදනම් කරගෙන වසා දැම්මා,බිත්තර දමන කිකිළියන්ට කෑමට අවශ්‍ය සෝයා ආශ්‍රිත ආහාර නොමැති වීමෙන් මසට විකිණුවා, කුඩා පරිමාණ කුකුළු නිෂ්පාදකයින් රුපියල් 42ට පැන වූ පාලන මිලට බිත්තර විකිණීමෙන් පාඩු පිට පාඩු ලැබීමට ඇති හැකියාව නිසා ඔවුන්ට තම කුකුළු කර්මාන්ත කරගෙන යාමට නොහැකිවුණා.මේ ඔස්සේ පැහැදිලිවන්නේ රජය විසින් දුරදිග නොබලා සිදුකරන මෝඩ වැඩ තමයි.

ඒ නිසා බිත්තර සැපයුම දිනකට බිත්තර මිලියන 7 සිට  මිලියන 4 දක්වා පහතට වැටුණා. අර කලින් කියූ කළු කඩ මිල ඉහළ ගොස් අද දරුවකුට දෙන්න බිත්තරයක් මිලට ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා.ඉතින් ඒ නිසා රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කරලා  තියෙනවා.ඒකට හේතුව තමයි, රටකින් බිත්තර ගෙනල්ලා රුපියල් 25-30 විකීණීමට හැකියාවක් තියෙන නිසා අපේ රටේ බිත්තර නිෂ්පාදනයට වඩා ආනයනික බිත්තර වෙළෙඳපොළට බෙදා හැරීමේ වාසි දායක තත්ත්වයක් තියෙනවා.ඊට හේතුව ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් කුකුළු කර්මාන්තය සිදු කරන්නේ සුළු පරිමාණයෙන් නෙවෙයි.ඔවුන් මහා පරිමාණයෙන්  කර්මාන්තය සිදුකරගෙන යාම නිසාත් කර්මාන්තයේ කාර්‍යක්ෂමතාවය වැඩි නිසාත් විශාල වශයෙන් බිත්තර නිපදවා ගත හැකි වෙලා තියෙනවා.ඉතින් හිතන්නකො අපේ රටේ කර්මාන්තයේ කාර්යක්ෂමතාවයට කෙතරම් විහිලු සහගතද කියලා.

ඒ නිසා නිෂ්පාදන කාර්යය කාර්යක්ෂමව සිදු කළ හැකි ක්‍රමවේදයක් ගොඩ නැගිය යුතු වෙනවා.වෙළඳපල එකිනෙකට සම්බන්ධ වී ඇති නිසා ගෝලීය වෙළදාම තුළ තරඟකාරීව හැසිරීමට වෙළදුන්ට මං මාවත් විවර කළ දිය යුතු වෙනවා. එමගින්  උඩ ගිය බිත්තර මිල නැවත යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වෙනවා වගේම ආර්ථික අර්බුදය යම්තාක් දුරට ප්‍රගතිශීලී මාවතකට රැගෙන යාමට අපිට හැකියාවක් ලැබෙනවා.


දුෂාණි එදිරිසිංහ

2023.01.13