රවී රත්නසබාපති විසිනි
“..මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, තුන්වන කාර්තුව ආරම්භයේ සිට ප්‍රධාන උද්ධමනය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන අතර වසර අවසන් වන විට එම අගය ඉලක්කගත පරාසය කරා ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි”. සමස්ත දර්ශකයේ ප්‍රධාන සංරචකයක පමණ ඉක්මවා ගිය අස්ථාවරත්වයක් පවතින විට උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම අභියෝගයක් බව මහ බැංකු අධිපතිවරයා රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත පැවසීය.(ද මෝනිං පුවත්පත, 2025 ජුනි 10)
උද්ධමනය වැදගත් වීමට හේතුව
මෑත කාලීන අර්බුදය අතරතුර උද්ධමනයේ විනාශකාරී බලපෑම් ජනතාව අත්විඳ ඇති බැවින් එවැනි තත්ත්වයක් නැවත වතාවක් ඇති වීමේ තර්ජනය බැරෑරුම් ලෙස සැලකිය යුතුය. උද්ධමනය මඟින් ආදායම සහ ඉතිරිකිරීම් ඛාදනය කරන අතර; නුසුදුසු ආකාරයෙන් ධනය නැවත බෙදා හරින්නා සේම ආයෝජන සහ සම්පත් වෙන් කිරීම විකෘති කරයි. එහි වඩාත්ම විනාශකාරී බලපෑම් ඇති වන්නේ ඉතිරිකිරීම් මතය. එය සෑම කෙනෙකුටම බලපාන නමුත්, සමුච්චිත ඉතුරුම්වල සැබෑ වටිනාකම ජීවනාලියක් කොට ගත් විශ්‍රාමිකයන් සඳහා මෙම බලපෑම වඩාත් උග්‍රව දැනේ.
සැපපහසු සහ ආරක්ෂිත විශ්‍රාමික දිවියක් සහතික කිරීම සඳහා වැඩිහිටියන්ට ඉතිරිකිරීම් ඉතා වැදගත් වේ. ඒවා මූල්‍ය ස්ථාවරත්වයක් ලබා දෙන අතර, වැඩිහිටියන්ට සෞඛ්‍ය සේවා වියදම් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාවේ වේගයෙන් වයස්ගත වන ජනගහනයක් පැවතීම නිසා ඉතිරිකිරීම් විශේෂයෙන් වැඳගත් වේ. 2042 වර්ෂය වන විට, සෑම පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම වයස්ගත අයෙක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉතිරිකිරීමේ වැදගත්කම
මුදල්වල වැදගත් කාර්යයක් වන්නේ වටිනාකම් ගබඩා කිරීමට ඇති හැකියාවයි. බහුතරයක් දෙනා තම ඉතුරුම් මුදල් ආකාරයෙන් තබා ගනී. මුදල් වටිනාකමේ උච්චාවචනයන් නොතකා ඉඩම් හෝ රත්තරන් වැනි භෞතික වත්කම් ඒවායේ වටිනාකම රඳවා ගන්නා නමුත් (තමන්ගේම නිවස හැර) මෙවැනි වත්කම්වල ආයෝජනය කළ හැක්කේ සුළු පිරිසකට පමණි.
ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය දර්ශක යහපත් මට්ටමක තිබුණත්, වැඩිහිටියන් සඳහා වන සෞඛ්‍ය පහසුකම් සතුටුදායක නොවේ . ඩිමෙන්ශියාව, හෘද රෝග සහ දියවැඩියාව වැනි දිගුකාලීන රෝග සඳහා පවතින සත්කාරයන්ගේ ගුණාත්මකභාවය දුර්වල මට්ටමක පවතී. විස්තෘත පවුල් ඒකකයේ බිඳවැටීම සහ තරුණ තරුණියින් විශාල වශයෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීම නිසා සාම්ප්‍රදායික වැඩිහිටි ආධාරක ක්‍රමය පහත වැටෙමින් පවතින බවක් පෙනී යයි. ඒ අනුව වැඩිහිටි සුරැකුම් නිවාස වඩ වඩාත් වැදගත්කමක් උසුලමින් පවතී. ඒ නමුත් පවතින පහසුකම් බොහෝ දුරට පෞද්ගලිකව සපයනු ලබන අතර ඒවා ප්‍රමාණවත්ව සැපයීමක් නැති නිසා පවත්නා සේවාවන් මිල අධිකය. කලින් විශ්‍රාම යන වයස සහ වයස් වෙනස්කම් කිරීම රැකියා අවස්ථා සීමා කරන අතර වැඩිහිටි සේවකයින් සඳහා ආර්ථික අභියෝග ගැඹුරු කරයි.
මේ අනුව, විශ්‍රාම යන අවස්ථාව වන විට රාජ්‍ය විශ්‍රාම වැටුපක ප්‍රතිලාභ භුක්ති නොවිඳින සාමාන්‍ය පුරවැසියෙකු, තමන් විසින් රැස් කරගත් ඉතිරිකිරීමක් මත ජීවත් වීමට උත්සාහ කළ යුතුය.
වයස්ගත වීමත් සමඟ ඇති වන අධික වෛද්‍ය වියදම් නොවැළැක්විය හැකි අතර හෘද රෝග, දියවැඩියාව වැනි නිදන්ගත රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානම හේතුවෙන් කාලයත් සමඟ එම වියදම් ක්‍රමයෙන් වැඩි වන අතර ඒ වෙනුවෙන් අඛණ්ඩ ප්‍රතිකාර අවශ්‍ය වේ. සංකූලතා හේතුවෙන් හදිසි ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් දැරීමට සිදු වන මූල්‍යමය බර තීරණාත්මක ස්වරූපයක් ගනී.
විශ්‍රාමිකයන්ට ඇති අභියෝගය වන්නේ ආදායම් උත්පාදන අවස්ථා නොමැතිකමත් සමඟ ඉහළ යන වියදම් සමතුලිත කර ගැනීමයි. ඔවුන්ගේ ඉතිරිකිරීම්වල වටිනාකම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. විශ්‍රාම යන පුද්ගලයින්ට තවත් අවුරුදු 20-30ක් ජීවත් වීමට අපේක්ෂා කළ හැකිය. ඒ තරම් දිගු කාලයක් වෙනුවෙන් සැලසුම් කිරීම මේ මොහොතේ පවා දුෂ්කර වන නිසා උද්ධමනයක් යටතේ සැලසුම් කිරීම කළ නොහැකි තරම්ය.
ඉතුරුම් මත උද්ධමනයේ බලපෑම
2023 වසරේදී මහ බැංකුව උද්ධමනය සඳහා 5%ක ඉලක්කයක් (2%ක සීමාවක් සහිතව) සම්මත කර ගත් අතර එමඟින් උද්ධමනය 7% දක්වා ළඟා විය හැකිය. බොහෝ රටවල් 1% - 3% අතර ඉලක්කයක් භාවිතා කරන අතර 2% මට්ටම වඩාත් යෝග්‍ය වේ. සැබෑ ජීවිත බලපෑම්වලින් වියුක්තව, සංඛ්‍යා දත්ත (2%, 5%, හෝ 7%) දෙස පමණක් බැලුවහොත්, එම වෙනස කුඩා බව පෙනුණත්, මෙමඟින් ජනතාවගේ ඉතිරිකිරීම් කෙරෙහි ඇති කරන බලපෑම සුළුකොට තැකිය හැක්කක් නොවේ.
විශ්‍රාම යාමට ආසන්නව සිටින පුද්ගලයින් තවත් අවුරුදු 20-30ක් ජීවත් වීමට අපේක්ෂා කළහොත් සහ ඔවුන් සතුව රු. 10,000,000ක ඉතිරි කිරීම් ඇතැයි උපකල්පනය කළහොත් ඔවුන් වෙත බලපාන උද්ධමනයේ ආසන්න බලපෑම පහත වගුවෙන් නිරූපණය කෙරේ.
විශ්‍රාමිකයාගේ වයස අවුරුදු 75 වන විට උද්ධමනය 7% දක්වා ළඟා වුවහොත් ඔහුට සිය ඉතුරුම් වටිනාකමෙන් 74.16%ක් අහිමි වනු ඇත. උද්ධමනය 2%ක් නම් පාඩුව 32.7%ක් වනු ඇත. මිල ගණන් ඉහළ යන්නේ එක් වරක් පමණක් නොවේ. සෑම වසරකම ඒවා පෙර වසරවල වැඩිවීම් මත ඉහළ යයි. මෙම ගොඩගැසීම (සංයුක්ත කිරීම) කාලයත් සමඟ මුදල්වල වටිනාකම බොහෝ වේගයෙන් පහත වැටීමට හේතු වේ. වාර්ෂික උද්ධමන අනුපාතයේ කුඩා වෙනසක් පවා දශක ගණනාවක් පුරා භයානක ප්‍රතිඵල ඇති කරන්නේ එය කාලීනව සමුච්චනය වීම තුළින් විශ්‍රාමික ඉතුරුම්වල සැබෑ වටිනාකම දැඩි ලෙස අඩු කිරීම නිසාය.
ශ්‍රී ලංකාවේ උද්ධමන ඉතිහාසය
ශ්‍රී ලංකාව අතීතයේ කටයුතු කර ඇත්තේ කෙසේද? මෙය පැහැදිලි කිරීමට ඇති එක් ක්‍රමයක් වන්නේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විනිමය අනුපාතය දෙස බැලීමයි. නිශ්චිතවම නොවුනත්, උද්ධමනයේ සංයුක්ත බලපෑම මුදල් ඒකකයේ අවප්‍රමාණය තුළ පුළුල් ලෙස පිළිබිඹු වේ.
මුළු වසර හතළිස් පහ තුළම වාර්ෂික සාමාන්‍ය වාර්ෂික ක්ෂය වීම 6.72% ක් පමණ වන අතර එය නව උද්ධමන ඉලක්කයේ ඉහළ පරාසය තුළ පවතී. ගැටලුව විසඳීම වෙනුවට, නව ක්‍රමය මඟින් අතීත අර්බුද ඇති කළ අස්ථාවරත්වයම පවත්වා ගෙන යා හැකි අතර, එමඟින් එය නැවැත්වීමට වඩා එය දිගටම කරගෙන යාමට ඉඩ ඇත.
වැඩිහිටියන්ගේ ඉතුරුම් කෙරෙහි ඇති බලපෑම තියුණුය, නමුත් තරුණයින්ට වුවද ඒ තරම් හොඳක් සිදු වන බවක් පෙනෙන්නට නැත. පෙනෙන පරිදි මධ්‍යස්ථ උද්ධමන මට්ටම් පවා නිහඬව පුරවැසියන්ගේ එදිනෙදා යහපැවැත්මට බාධා කළ හැකිය. මිල ගණන් ඉහළ යන විට, මිනිසුන් තම වැටුපෙන් මිලදී ගැනීමට ඇති හැකියාව අඩු වන බව සොයා ගන්නා අතර ජීවන රටාවන් සීමා කරන දුෂ්කර තේරීම්වලට අනුගතවීමට බල කරයි. ඉතිරි කිරීමද දුෂ්කර වන අතර ඉතිරිකිරීම්වලින් කළ හැකි දේවල වටිනාකම අහිමි වේ. තවද විනිමය අනුපාතය දුර්වල වන අතර, ආනයන වඩාත් මිල අධික වේ. එමඟින් ඉහළ යන වියදම් චක්‍රයක් ඇති වේ. ස්ථාවර හෝ අඩු ආදායම්ලාභීන් සඳහා, මෙම පීඩනයන්ගෙන් ඇති වන බලපෑම විශේෂයෙන්ම දරුණු ගණයේ එකකි.
උද්ධමන ඉලක්කයක් සැකසීම
උද්ධමන අනුපාතය අඩු වන තරමට වඩා හොඳ බව පැහැදිලිය. උද්ධමනය 0%ට ආසන්නව තිබීමෙන් මිල වෙනස් වීම නිසා ඇතිවන ගැටළු අඩු වේ. එබැවින් එය හොඳ අදහසක් සේ පෙනේ. නමුත් ධනවත් රටවල මහ බැංකු අවධමනයට, එනම් මිල අඛණ්ඩව පහත වැටීමට බෙහෙවින් බිය වෙති. එබැවින් ඔවුන් එතරම් දුරට උද්ධමනය ඉලක්කය අඩු කිරීමෙන් වැළකී සිටිති.
අවධමනය ගැන බිය වන්නේ ඇයි?
2022 සිට 2024 දක්වා කාලය තුළ මහ බැංකුව විසින් සිය භාණ්ඩාගාර බිල්පත් තොගය විකුණා දමමින් අවධමන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ අතර, එහිදී උද්ධමනය ශුන්‍යයට ආසන්න විය. ඒ අනුව විනිමය අනුපාතය (360/- සට 300/- දක්වා) ශක්තිමත් වූ අතර ආනයන පිරිවැය, විශේෂයෙන් බලශක්ති පිරිවැය අඩු විය.
මිල පහත වැටීම සෑම විටම නරක දෙයක් නොවේ. ඵලදායිතාව වැඩි වීම; යම් යම් යෙදවුම් මට්ටමක් සඳහා ඉහළ මට්ටමේ නිමැවුමක් නිර්මාණය වීම වැනි කරුණු මත මිල පහත වැටේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී ශ්‍රී ලංකාවේ කාර්යක්ෂමතාව දැනටමත් පවතින්නේ අඩු මට්ටමකය ග මෑතකදී එය තවත් නරක අතට හැරී ඇත. රජය මිල පාලනයන් හරහා නොව, ඵලදායිතා වැඩිදියුණු කිරීම් සඳහා සහාය වීම තුළින් මිල පහත වැටීම දිරිමත් කළ යුතුය. උදාහරණයක් ලෙස වෙළඳාම සහ ආයෝජන සඳහා සීමාවන් ලිහිල් කිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ එය ඵලදායිතා වර්ධනයට ඇති බාධක ඉවත් කළ යුතුය.
මිල පහත වැටීම යනු ජීවන මට්ටම් වැඩිදියුණු වීම යන්නයි. එසේ නම් මහ බැංකු මේ ගැන බිය වන්නේ ඇයි? මෙහිදී ඇති වන ගැටලුව වන්නේ, මහා අවපාතයෙන් පසුව, ආර්ථික විද්‍යාඥ කේන්ස් විසින් රැකියා අහිමිවීම් සමඟ මිල පහත වැටීම (අවධමනය) යන කාරණය සම්බන්ධ කිරීමත් එම බිය තවමත් පහ නොවී තිබීමත් ය. මෙම බිය නිසා, ප්‍රතිපත්ති සම්පාදකයින් බොහෝ විට අවධමනය වැළැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර එමඟින් ඔවුන් ඉහළ උද්ධමනය පිළිගැනීමට වැඩි ඉඩක් ඇත. ස්ටීවන් ඩී. කිං මෙසේ සටහන් කර තිබේ:
“ඉතිහාසය පුරාම මිල මට්ටම ඉහළ යාමත් පහත වැටීමත් සිදු ව ඇත. විසිවන සියවස සහ ඉන් ඔබ්බට, මිල මට්ටමේ පහත වැටීම් දුර්ලභ තත්ත්වයන් බවට පත්ව ඇත. ඇත්ත වශයෙන්ම, විසිවන සියවස විසි එක්වන සියවසට පිවිසෙන විට, මිල පහත වැටීම් පිළිබඳ බිය අන්තයටම ළඟා වී උමතුවක් වී තිබේ. දහනව වන සියවසේ අගභාගයේදී දක්නට ලැබුණු ආකාරයේ ̔සාධනීය අවධමනය̕ පිළිබඳ හැකියාව නොසලකා හරින ලදී. ඒ වෙනුවට, ඔවුන් සියලු වර්ගවල අවධමනය සැලකුවේ හානිකර සහ වළක්වා ගත යුතු දෙයක් ලෙසය.
මිල පහත වැටෙන විට වැටුප් පහත වැටෙන්නේ නැත්නම්, ව්‍යාපාරවලට ලැබෙන්නේ අඩු ලාභයකි. මෙය බොහෝ සමාගම් බංකොලොත් වීමට හේතු විය හැකි අතර, 1930 ගණන්වල මෙන් ඉතා ඉහළ විරැකියාවකට තුඩු දිය හැකිය.
...අවධමනය වැළැක්වීමට ඕනෑවට වඩා උත්සාහ කිරීම සෑම විටම පාහේ උද්ධමනය කෙරෙහි නැඹුරුතාවයක් ඇති කිරීම වැළැක්විය නොහැකිය. යම් ආකාරයක ̔සාධනීය අවධමනයක්̕ (ආර්ථික බිඳවැටීම නොව ඵලදායිතා ලාභ නිසා ඇති වන ආකාරයේ) ඇති අවස්ථාවකදී පවා මෙය සිදුවිය හැකිය .
මිල දර්ශක භාවිතයෙන් උද්ධමනය මනිනු ලබන විට, පහත වැටෙන මිල ගණන්, ඒවායේ හේතුව කුමක් වුවත්, ”අවධමනය” ලෙස සටහන් වේ.
උද්ධමනය සහ මුදල් ප්‍රතිපත්තිය ගැන නැවත සිතා බැලීම
උද්ධමනය වියුක්ත සංඛ්‍යාලේඛන අනුව නොව ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි එමඟින් ඇති වෙන බලපෑම අනුව සලකා බැලිය යුත්තකි. හිටපු ෆෙඩරල් සංචිත සභාපති පෝල් වොල්කර්, උද්ධමනයේ නිවැරදි මට්ටම පිළිබඳ ග්‍රීන්ස්පෑන්ගේ අර්ථ දැක්වීම අනුමත කළේ මෙසේය:
“සාමාන්‍ය මිල මට්ටමේ අපේක්ෂිත වෙනස්කම් මඟින් ව්‍යාපාරවල හෝ කුටුම්භවල තීරණවලට බලපෑමක් නොකරන තත්ත්වය” .
වෙනත් වචන වලින් කිවහොත්, (සාමාන්‍යයෙන් උද්ධමන අනුපාතය) ඉතා අඩු මට්ටමක පවතින බැවින් එය ජනතාවගේ එදිනෙදා තීරණවලට බලපාන්නේ නැත හෝ ඔවුන්ට මිල ගණන් ගැන කරදර වීමට හේතු නොවේ.
උද්ධමන දර්ශක සහජයෙන්ම අපැහැදිලි බවත් නිශ්චිත සංඛ්‍යාත්මක ඉලක්ක කරා ළඟා වීමේ උමතුව දුර්වල ප්‍රතිපත්ති තීරණවලට හේතු වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
“කිසිම මිල දර්ශකයකට පාරිභෝගික මිල ගණන්වල සැබෑ වෙනස සියයට දහයෙන් එකක් හෝ හතරෙන් එකක් දක්වා ග්‍රහණය කර ගත නොහැක. භාණ්ඩ හා සේවාවල විවිධත්වය, ඉල්ලුමේ මාරුවීම්, මිලකරණයේ සහ ගුණාත්මකභාවයේ සියුම් වෙනස්කම් මාසයෙන් මාසයට හෝ වසරින් වසර නිශ්චිතව ගණනය කිරීමට නොහැකි තරම් සංකීර්ණය. එපමණක් නොව, ආර්ථිකයක් වර්ධනය වන විට හෝ මන්දගාමී වන විට, ආර්ථික ප්‍රසාරණයේ කාල පරිච්ඡේදවල මිල ගණන් තව ටිකක් ඉහළට වෙනස් වීමේ ප්‍රවණතාවක් පවතී, සමහර විට ආර්ථිකය මන්දගාමී වන විට හෝ පසුබෑමේදී ටිකක් පහළට යන නමුත් වසරින් වසර සිදු වන වෙනස්කම් සෑම විටම එකම මට්ටමක නොපවතී.” (වොල්කර්, 2018)
වොල්කර්ට අනුව, මුදල් ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කය වන්නේ අනාගතයේදී මුදල් එහි වටිනාකම තබා ගන්නා බවට මිනිසුන්ට විශ්වාස කළ හැකි බව සහතික කිරීමයි.
“අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරන්නේ කාලයත් සමඟ මුදලේ වටිනාකම නොනැසී රඳවා ගනු ඇති බවයි. එබැවින් එයට ආහාර, නිවසක් හෝ පසුව ස්ථාවර මුදලක් ගෙවන බැඳුම්කරයක් වැනි දෙයක් අද හෙට මෙන්ම අනාගතයේ යම් දිනකදීද එකම මිලට මිලදී ගත හැකි බවය. එම අපේක්ෂාව, එම විශ්වාසය පවත්වා ගැනීම මුදල් ප්‍රතිපත්තියේ මූලික වගකීමකි.” මුදල් එහි වටිනාකම පවත්වා ගන්නා බවට මිනිසුන්ට විශ්වාස කළ හැකි බව සහතික කිරීම මුදල් ප්‍රතිපත්තියේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකකි. ”
මේ ආකාරයෙන් බැලූ විට 2% ඉලක්කයක් 5% ට වඩා හොඳයි නමුත් වෝකර් පෙන්වා දෙන පරිදි
“සියයට 2ක උද්ධමන අනුපාතය සාර්ථකව පවත්වා ගෙන යාමෙන් අදහස් වන්නේ එක් පරම්පරාවක කාලයට වඩා මඳක් වැඩි කාලයක් තුළ මිල මට්ටම දෙගුණ වන බවයි” .
මෙම අදහස නිශ්චිත සංඛ්‍යා ඉලක්කයක් බවට පත් කිරීමෙන් මිල ගණන් ඉහළ යාමේ සම්භාවිතාව වැඩි වන බවට ඔහු අනතුරු ඇඟව්වේය. විශේෂයෙන් එම ඉලක්කයට අවම සීමාවක් ඇතුළත් කර ඇත්නම් උද්ධමනය මත ඉහළ යන පීඩනයක් ඇති කරයි.
“එවැනි සංඛ්‍යාත්මක නිරවද්‍යතාවයකින් පෙනී යන්නේ තත්වයන් වෙනස් වන විට වඩාත් නම්‍යශීලී ඉලක්ක කිරීමකින් ප්‍රතිපත්තිය සියුම් ලෙස සකස් කළ හැකි බවයි. ආර්ථිකය ඉතා මන්දගාමී බවක් පෙනේ නම් සුළු උත්තේජනයක් ලබා දීම සඳහා සමහර විට සියයට 3 දක්වා වැඩි වීමක් විය හැකිද? සහ, සියයට 3 ප්‍රමාණවත් නොවේ නම්, සියයට 4ක් දක්වා එය වැඩි නොකරන්නේ මන්ද?”(වොල්කර්, 2018)
අවපාතයන් තේරුම් ගැනීම
මහා අවපාතයට පෙර, 1920 ගණන්වල (මෙම කාලය ̔ගිගිරුම් හඩ සහිත විසි ගණන් ලෙසද සැලකේ) ෆෙඩරල් සංචිතයෙන් පහසුවෙන් ණයට ගැනීම නිසා වේගවත් ආර්ථික වර්ධනයක් දක්නට ලැබුණි, නමුත් මෙම වර්ධනයට දිගු කල් පැවතිය නොහැකි වූ අතර 1929 මැද භාගයේදී පමණ අවසන් විය.
“කෘතිමව පවත්වා ගනු ලබන අඩු පොලී අනුපාත ව්‍යවසායකයින් නොමඟ යවන සුළුය. අඩු පොලී අනුපාත හරහා අධික ණය වර්ධනය ව්‍යවසායකයින්ගේ ලාභ-අලාභ ගණනය කිරීම් විකෘති කරයි. ලාභදායී සහ පහසු ණය මඟින් ව්‍යවසායකයින් තම ව්‍යාපෘති මගින් සැබවින්ම උපයන මුදලට වඩා වැඩි මුදලක් උපයනු ඇතැයි සිතීමට සලස්වයි. මුදල් ණයට ගැනීමට ලාභදායී බැවින් ණය දීම ආරක්ෂිතය යන සාවද්‍ය විශ්වාසය බැංකු තුළද පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කෘතිමව ලාභදායී ලෙස දක්වන ණය මඟින් ව්‍යාජ ඉල්ලුමක් ඇති කරන අතර එමඟින් ඒවා ලාභදායී බව පෙනේ. එබැවින්, ක්‍රියාත්මක කළ නොහැකි හෝ යථාර්ථවාදී නොවන ව්‍යාපෘති සඳහා වැඩි මුදලක් වැය වේ (එකින්සි, 2016) .”
ලාභ ණය මගින් මෙහෙයවනු ලබන උත්පාතයක් අවසන් වූ විට, ඉල්ලුමක් නොමැති ආයෝජන සිදු කර ඇති බව ව්‍යාපාර වටහා ගනී. උත්පාතය අතරතුර විකෘති වූ භාණ්ඩ මිශ්‍රණය තිරසාර නොවන අතර නිෂ්පාදන මට්ටමද එසේමය. එනම් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ වර්ග සහ ඉහළ නිෂ්පාදන ප්‍රමාණය දිගටම පවත්වා ගත හැක්කක් නොවේ. ආයෝජන ඉතා විශේෂිත භාවිතයන් සමඟ බැඳී ඇති බැවින්, මෙම ගැටළුව විසඳීමට කාලයක් ගතවේ. අවම වශයෙන් සමහර භාණ්ඩ කල් පවතින ඒවා වනු මෙන්ම ස්ථිර හෝ යම් ව්‍යාපෘතියකට විශේෂිත ඒවා වනු ඇත. එම භාණ්ඩ විකිණීම හෝ ඒවා භාවිතා කරමින් ව්‍යාපාර වසා දැමීම දුෂ්කර හා මන්දගාමී ක්‍රියාවලියකි. එම භාණ්ඩ විකිණීම හෝ ඒවා භාවිතා කරමින් ව්‍යාපාර වසා දැමීම දුෂ්කර හා මන්දගාමී ක්‍රියාවලියකි. මෙය මහා පරිමාණයෙන් සිදුවුවහොත්, බැංකු ද අවදානමට ලක් කළ හැකිය.
මේ අනුව, උද්ධමනය මගින් ඇති කරන ලද උත්පාතයකින් පසු ගැලපුම් කාලය දිගු හා වේදනාකාරී වන අතර එමඟින් කේන්ස් විසින් හඳුනා ගත් දිගු කාලීන විරැකියාව නිර්මාණය කරයි. උත්පාතය දිගු වන තරමට ගැටලුව වඩාත් නරක අතට හැරේ. විසඳුම වන්නේ අවපාතයට බිය නොවී, තිරසාර නොවන වර්ධනයක් ඇති කරන පහසු ණය ප්‍රතිපත්ති වළක්වා ගැනීමෙන් අදාළ ගැටළුව වළක්වා ගැනීමයි.
ජෝන් ටේලර් මෙම මතයට සහය දක්වන්නෙකි, එක්සත් ජනපදයේ සහ යුරෝ කලාපයේ ප්‍රසාරණ ප්‍රතිපත්තිය නිවාස උත්පාතය වේගවත් කිරීමට වගකිව යුතු හේතු සාධකයක් බවත් එමඟින් අවසානයේදී 2008 නිවාස අර්බුදය පවා ඇති වූ බවටත් ඔහු තර්ක කරයි. එම අදහස, පොලී අනුපාත දිගු කාලයක් අවම මට්ටමක පවතින විට, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන විශාල අවදානම් දැරීමට ඉඩ ඇති අතර, එය මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථාවරත්වයට හානි කළ හැකිය යන මතය දැරූ ඩැන්ටයින්ගේ මතයට සමානය (ඩැන්ටයින්, 2012). ටේලර් යෝජනා කරන්නේ, මෙම කාලය තුළ මහ බැංකු ඉහළ පොලී අනුපාත නියම කර තිබුනේ නම්, පසුව ඇති වූ නිවාස බුබුල සහ ගෝලීය මූල්‍ය අර්බුදය වළක්වා ගත හැකිව තිබූ බවයි.
අවධමනය භයානක වන්නේ මූල්‍ය පද්ධතියේ බිඳවැටීමක් ඇති කරන්නේ නම් පමණක් බවට වෝකර් එකඟ වන අතර, ඒ නිසා ඔහු ලාභ මුදල් ප්‍රතිපත්තිවලට එරෙහිව තර්ක කරයි.
“අධමනය යනු මූල්‍ය පද්ධතියේ තීරණාත්මක බිඳවැටීමක් මගින් ඇති කරන තර්ජනයකි. මන්දගාමී වර්ධනයේ කාල පරිච්ඡේද සහ නැවත නැවතත් අවපාත ඇති වූ අතර, 1975 සහ 1982 වැනි කාලවලදී ඇති වූ දරුණු අවපාත පවා, මූල්‍ය පද්ධතියට බරපතල තර්ජනයක් ඇති කළේ නැත.
සැබෑ අවදානම වන්නේ හිතාමතා හෝ වැරදීමකින් උද්ධමනය ඉහළ යාමට ඉඩ දීමයි. එය වෙළඳපල අනතුරේ හෙළන නොසැලකිලිමත් සමපේක්ෂන සහ බුබුලු ඇති කරයි. උත්ප්‍රාසාත්මක ලෙස, අවධමනය වළක්වා ගැනීම සඳහා සුළු උද්ධමනයක් ඇති කිරීමට අඩු පොලී අනුපාතයක් පවත්වා ගැනීම වැනි පහසු මුදල් භාවිතා කිරීම ඇත්ත වශයෙන්ම අවධමනය ඇති කළ හැකිය (වොල්කර්, 2018).
අඩු සංවර්ධිත රටවල් සඳහා මුදල් ප්‍රතිපත්ති අරමුණු
මුදල් ප්‍රතිපත්තියේ අරමුණු විය යුත්තේ අභ්‍යන්තර ස්ථාවරත්වය (මිල ස්ථායිතාව හෝ උද්ධමනය) සහ බාහිර ස්ථාවරත්වය (ගෙවුම් ශේෂ අර්බුදවළක්වා ගැනීම) පවත්වා ගැනීමයි. ගෙවුම් ශේෂ අර්බුදයක් යනු විදේශ විනිමය අර්බුදයකි; ජාත්‍යන්තර මුදල් වෙත ප්‍රවේශ වීමට හෝ රඳවා ගැනීමට රටකට ඇති හැකියාව බිඳ වැටීමකි, එබැවින් මුදල්මය සංසිද්ධියකි.
සංචිත මුදල් ඒකකයක් නිකුත් නොකරන රටවලට ආනයන සඳහා ගෙවීමට, බාහිර ණය සේවා කිරීමට සහ සංචිත ගොඩනැගීම වෙනුවෙන් එසේ තමන් විසින් නිකුත් කළ නොහැකි මුදල් අත්පත් කර ගැනීමට සහ සැබවින්ම රැස් කිරීමට හැකි විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය (අභ්‍යන්තර) ප්‍රතිපත්ති තීරණ බොහෝ දුරට බලපාන්නේ හෝ සීමා වන්නේ රට ජාත්‍යන්තරව කටයුතු කරන ආකාරයෙනි. මෙම අර්ථයෙන් රට ගෙවීම් ශේෂය සීමා කර ඇත. බාහිර කාර්ය සාධනය මඟින් රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය ඇතුළුව දේශීය ප්‍රතිපත්ති අවකාශය සීමා කරයි.
විදේශ විනිමය ගලා ඒම් පාලනය කිරීමට හෝ පුරෝකථනය කිරීමට පවා අපහසු බැවින්, සංචිත සමුච්චය කිරීම සඳහා විදේශ විනිමය පිටතට ගලායාම කළමනාකරණය කිරීම අවශ්‍ය වේ. පසුගිය අර්බුදයේ (මෙන්ම 1960-70 ගණන්වලට අදාළව) පැහැදිලි වන පාඩම වන්නේ, ප්‍රමාණාත්මක සීමා කිරීම් සහ තීරුබදු පැනවීම් අකාර්යක්ෂම බවයි. විදේශ විනිමය පිටතට ගලායාම නියාමනය කිරීම සඳහා ඇති එකම ඵලදායී යාන්ත්‍රණය වන්නේ සමස්ත පරිභෝජනය සහ ආයෝජන මට්ටම් තීරණය කරන පොලී අනුපාතයයි. සංචිත රැස් කිරීමට අවශය නම්, විදේශ මුදල් පිටතට ගලායාම සීමා කරන සමස්ත ඉල්ලුම සීමා කරන මට්ටමක පොලී අනුපාතය පවත්වා ගත යුතුය. 2024 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රතිපත්තිය ලිහිල් කරන තෙක් මහ බැංකුවට සංචිත ලබා ගැනීමට හැකි විය. එතැන් සිට ශුද්ධ සංචිත තත්ත්වය පහත වැටී ඇත (පහත වගුව බලන්න).
එබැවින් මහ බැංකුව රට තුළ උද්ධමනය පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම විනිමය අනුපාතය කෙරෙහි ද අවධානය යොමු කරයි. උද්ධමනය සහ විනිමය අනුපාතය යන දෙකම කළමනාකරණය කිරීමට උත්සාහ කිරීම නිසා යම් ගැටුමක් ඇති විය හැකි අතර කාලයත් සමඟ ගෙවුම් ශේෂ අර්බුදයකට තුඩු දිය හැකිය. ට්‍රම්ප්ගේ තීරුබදු වැනි බාහිර කම්පන මඟින් ගැටුම තවත් උග්‍ර කරනු ඇත. විදේශ මුදල් ලැබීම මන්දගාමී වුවහොත්, ඉතුරුම් පහත වැටෙන බැවින්, වියදම් මන්දගාමී කිරීමට සහ මුදල් ඉතිරි කිරීමට බැංකුවට පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් ඇති විය හැකිය. නමුත් බැංකුවකට උද්ධමනය 5%ක මට්ටමක තබා ගැනීමට අවශ්‍ය නම්, එයට අනුපාත අඩු කිරීමට අවශ්‍ය විය හැකි අතර, එය ඒවා ඉහළ නැංවීමේ අවශ්‍යතාවයට පටහැනි වේ. උද්ධමනය සඳහා අඩු ඉලක්කයක් තබා ගැනීම මෙම ගැටුම් අඩු කරන අතර අර්බුදයක් ඇතිවීමේ සම්භාවිතාව අඩු කරයි.
න්‍යායාත්මකව සැලකීමේදී නම්‍යශීලී විනිමය අනුපාතයක් ඇති රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට ලක් නොවේ. මන්ද යත් මහ බැංකුවට පහසුවෙන් ‘විනිමය අනුපාතය ලිහිල් කළ හැකිය‘. මහා පරිමාණ විනිමය අනුපාත උච්චාවචනයන් ආර්ථිකයට විශාල බාධා ඇති කළ හැකි බැවින් මෙය ප්‍රායෝගිකව කළ නොහැක්කකි. තවද, විවෘත ආර්ථිකයක විනිමය අනුපාතය පාරිභෝගික මිල දර්ශකයේ වැදගත් නිර්ණායකයක් වන අතර එම නිසා පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා යම් විනිමය අනුපාත කළමනාකරණයක් අවශ්‍ය වේ. අවශ්‍ය නම් විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වීමට කැපවීමක් මෙයින් අදහස් කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරී පත්‍රිකාවකට අනුව, උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් විනිමය අනුපාතය යොදා ගනු ලබන “විනිමය-නැංගුරම් දැමූ උද්ධමන ඉලක්කකරණය” නම් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හේතුවක් තිබේ.
අඩු සංවර්ධිත රටවල ප්‍රතිපත්ති සම්පාදකයින් සාමාන්‍යයෙන් විනිමය අනුපාතය සමීපව පාලනය කිරීමට කැමත්තක් දක්වන බව අදාළ පත්‍රිකාව සටහන් කරයි :ඵසියර් ැඑ ්කගල 2010ල ්සර්මාද ැඑ ්කගල 2016 හි උපුටා දක්වා ඇත) .
පත්‍රිකාව මෙසේ පිළිගනී:
“අඩු සංවර්ධිත රටවල් සියල්ලම පාහේ දැන් උද්ධමන ඉලක්කකරණය භාවිතා කරන අතරම ඔවුන්ගේ විනිමය අනුපාත සමීපව කළමනාකරණය කිරීම වත්මන් ආර්ථික න්‍යායන්ට අභියෝග කරයි. :්සර්මාද ැඑ ්කල 2016* .
නමුත් ඉන් නිගමනය කරන්නේ:
̔අපගේ ප්‍රතිඵල මතභේදාත්මක බව ඔප්පු විය හැකි නමුත්, අවම වශයෙන් ඒවා න්‍යාය වත්මන් භාවිතය සමඟ සමපාත කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සාමාන්‍යයෙන් තම මුදල් වටිනාකම නිදහසේ තීරණය වීමට, එනම් පාවෙන විනිමය අනුපාතයට ඉඩ නොදේ. ඒ වෙනුවට, විශේෂඥයින් බොහෝ විට පාවෙන විනිමය අනුපාතයක් නිර්දේශ කළත්, ඔවුන් තම විනිමය අනුපාතය දැඩි ලෙස පාලනය කිරීමට හෝ කළමනාකරණය කිරීමට කැමැත්තක් දක්වයි. “මෙම සංකීර්ණතාවට හේතු වන්නේ කුමක්ද? උද්ධමන ඉලක්කකරණය සඳහා ස්ථාවර නැංගුරමක් ලෙස විනිමය අනුපාතය භාවිතා කිරීම සැබෑ ජීවිතයේදී සහ ආර්ථික න්‍යායට අනුව ඵලදායී වේ. නමුත් උද්ධමන ඉලක්කකරණය සඳහා නම්‍යශීලී විනිමය අනුපාත භාවිතා කිරීම න්‍යායාත්මක ගැටළු ඇති කරන අතර ප්‍රායෝගික භාවිතයේදී හොඳින් ක්‍රියාත්මක වී නොමැත.”
ප්‍රතිපත්ති නිර්දේශය: 2% උද්ධමන සීමාවක්
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින අතර, එම තත්ත්වය ඉන් පෙර ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය 16 වතාවට එක් වූ මෑත කාලීනම අවස්ථාවයි. මෙහිදී උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව ප්‍රශංසනීය කාර්යයක් ඉටු කළේය. වර්තමානයේ ඇති අභියෝගය වන්නේ එම දුෂ්කරව දිනාගත් ස්ථාවරත්වය ආරක්ෂා කිරීමයි. කැළඹිලි සහිත ගෝලීය පරිසරයක, තත්ත්වය අතිශයින්ම වැදගත් හා බරපතල එකකි.
ස්ථාවරත්වය සඳහා ඉහළ සීමාවක් ලෙස 2% උද්ධමනය සම්බන්ධයෙන් සාධාරණ තර්ක ඉදිරිපත් කළ හැකි බව වොල්කර් පවසයි. දැඩි සීමාවක් ලෙස 2%ක උද්ධමන සීමාවක් නියම කිරීමෙන් මහ බැංකුව මෙම ප්‍රමිතිය අනුගමනය කළ යුතුය. එය ඉලක්කයක් නොවන අතර සීමාවක් බව සැලකිය යුතුය. මහ බැංකුව උද්ධමනය 2% මට්ටම ඉක්මවීමට ඉඩ නොදිය යුතු නමුත් එය 2% මට්ටමේම තබා ගැනීමට උත්සාහ කිරීම අවශ්‍ය නොවන්නේ, ඉන් පහළ අගයයක් වුවත් සාධනීය වන නිසාය. මෙමඟින් මහ බැංකුවට අවධමන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා නම්‍යශීලී වීමට ඉඩ සලසයි.
අඩු උද්ධමනය පවත්වා ගැනීමේ දුෂ්කරතාවය පිළිබඳව මහ බැංකුව විසින්ම අනතුරු අඟවයි. ගෝලීය කැළඹිලි සහිත කාලයකදී, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රවේශමෙනි. උද්ධමනය ඉහළ යාමට ඉඩ නොදී දැඩි අඩු සීමාවක් නියම කිරීම අවදානම් අඩු කිරීමට සමත් වේ. උද්ධමනය අඩු ඉලක්කයක තිබියදී ඉහළ යාම නිසා සිදු වන හානිය, ඉහළ උද්ධමන ඉලක්කයකදී ඉහළ යාමෙන් වන හානියට වඩා අඩුය. කෙසේ වෙතත්, ප්‍රමුඛතාවය විය යුත්තේ ඊළඟ අර්බුදය වැළැක්වීමයි. මන්ද අඩු උද්ධමන සීමාවකින් කුඩා වෙනසක් සිදු වීම පවා එම අවදානම වැඩි කරන අතර අසීරුවෙන් සිදු වන ප්‍රකෘතිමත් වීම අඩපණ කළ හැකිය.
උද්ධමනය අඩු මට්ටමක පවතින අතර ආර්ථිකය ස්ථාවර බැවින්, 2% උද්ධමන සීමාව පවත්වා ගැනීම සඳහා පොලී අනුපාත තරමක් ඉහළ නැංවීමට දැන් හොඳම කාලයයි. කලින්ම පියවර ගැනීම ජනතාවගේ අපේක්ෂාවන් හැඩගස්වන බැවින්, දිගු කාලීනව ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ කුඩා ප්‍රතිපත්තිමය වෙනසක් පමණි. අඩු උද්ධමන ඉලක්කයක් ඇති තත්ත්වයකදී සදහටම ඉහළ පොලී අනුපාත පවතී යැයි සමහරු බිය වෙති. නමුත් ප්‍රායෝගිකව සිදු වන්නේ උද්ධමනය පහළ සීමාවක තබා ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව ස්ථිර තීරණයක සිටින බව අඛණ්ඩ ක්‍රියාමාර්ග තුළින් පෙන්නුම් කිරීම මඟින් උද්ධමන අපේක්ෂාවන් අඩු කිරීමයි. ඒ අනුව පොලී අනුපාත පහත වැටිය හැකිය. ශක්තිමත්, විශ්වාස කළ හැකි උද්ධමන සීමාවක් තිබීම සහ ඒ පිළිබඳව කලින්ම ක්‍රියා කිරීම නිසා පසුකාලීනව තවත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වීම ඇතුළු විශාල ගැටළු වළක්වා ගැනීමට හැකිවේ.
ප්‍රතිපත්ති සම්පාදකයින් වොල්කර්ගේ අනතුරු ඇඟවීමට සවන් දිය යුතුය:
“මගේ වෘත්තීය ජීවිතයෙන් ලද පාඩමක් වන්නේ, එවැනි සාර්ථකත්වය විසින්ම තමන්ගේ විනාශයේ බීජ රැගෙන යා හැකි බවයි. හානිකර උද්ධමනයකට මුහුණ දී සිටින නොයෙකුත් රටරටවල් ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සටන් කරන ආකාරය මම දැක ඇත්තෙමි. ඉන්පසු, ජයග්‍රහණය පෙනෙන මානයේදී, බලධාරීන් උද්ධමනය තවත් ලිහිල් කර තවදුරටත් වර්ධනය උත්තේජනය කිරීමේ බලාපොරොත්තුවෙන් “කුඩා ප්‍රමාණයේ උද්ධමනයක්” පිළිගනී, ඒ අවස්ථාවේදී නැවතත් උද්ධමනය ඉහළ යාමේ ක්‍රියාවලිය ආරම්භ වේ. මේ සම්බන්ධව ඕනෑ තරම් උදාහරණ ලතින් ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවලින් හමුවේ.”