දිල්මිණී අබේරත්න
පහුගිය දවසක හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ අලුත්ම ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව ඉදිරිපත් වුණා. එහෙනම් අපේ ලංකාවේ පාස්පෝට් එකට මොකද වෙලා තියෙන්නේ කියන කුතුහලයෙන් අපිට මිදෙන්න අමාරුයි. මේ වතාවේ ලයිස්තුව හරිම රසවත් වෙනස්කම් තියෙන එකක්. සාමාන්‍යයෙන් මුල් පෙළේ ඉන්න යුරෝපා ඇතුළු බටහිර රටවල් පහු කරගෙන ආසියාවේ රටවල් ගණනාවක් ඉස්සරහට ඇවිත්. ලංකාවත් කලින් හිටි මට්ටමට වඩා තරමක් දියුණු වෙලා. මේ වෙනස්කම් හැම එකක් ගැනම පැහැදිලිව දැනගන්න මේ සටහන කාට කාටත් උදව් වේවි.
Image by jacqueline macou from Pixabay
2025 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ මුලින්ම ඉන්නේ සිංගප්පූරුව. 2024 අවුරුද්දේ ඒ තැන ලැබුණේ ප්‍රංශයට. ඒ වුණාට කාලයක් තිස්සෙම සිංගප්පූරුව ලෝකයේ බලවත්ම පාස්පෝට් දහය අතරේ හිටි රටක්. ඉතිං මේ අවුරුද්දේ ලෝකයේ බලගතුම පාස්පෝට් එක විදිහට සිංගප්පූරුවට පුළුවන්කම තියෙනවා ලෝකෙ වටේ ගමනාන්ත 227න් 193 කට වීසා නැතුව ගමන් කරන්න. හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයෙන් කරන්නේ, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (International Air Transport Association: IATA) දත්ත අරගෙන ලෝකයේ තියෙන හැම රටක්ම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන එක. ඒ අනුව ගමනට කලින් වීසා ගන්නෙ නැතුව ගමන් කරන්න පුළුවන් වැඩිම ගමනාන්තයන් ප්‍රමාණයකට හිමිකම් කියන රටවල් පිළිවෙලකට පෙළ ගස්වනවා. එහෙම හදපු ලිස්ට් එකේ උඩින්ම ඉන්න රටට තමයි ලෝකේ බලගතුම පාස්පෝට් එක තියෙන්නේ.
ලෝකයේ බලගතුම පාස්පෝට්
ලෝකයේ වැඩිම ගමනාන්තයන් ප්‍රමාණයකට වීසා නැතිව පහසුවෙන් සහ ඉක්මණින් ගමන් කරන්න පුළුවන්කම තියෙන රටවල් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ ස්ථාන දහයක් දක්වා පෙළ ගස්වලා තියෙනවා. එකම ස්ථානයේ රටවල් එකකට වඩා ඉන්න අවස්ථාවනුත් තියෙන බව අපිට මේ වගුවෙන් බලාගන්න පුළුවන්. ඒ අනුව ලෝකයේ බලගතුම විදේශ ගමන් බලපත්‍ර සහිත රටවල් ගණන 36ක්. ඒ හැම රටකටම අවම වශයෙන් ගමනාන්ත 182කට වීසා නැතිව ගමන් කරන්න පුළුවන්.
ආසියාවේ විදේශ ගමන් බලපත්‍ර ලයිස්තුවේ පෙරමුණට
Image by Hanin Abouzeid from Pixabay
කලින් වගුව දිහා බැලූ බැල්මටම පේනවා ලිස්ට් එකේ මුල්ම රටවල් තුන අතරේ ඉන්න සිංගප්පූරුව, ජපානය සහ දකුණු කොරියාව කියන්නේ ආසියාතික රටවල්. යුරෝපය ඇතුළු බටහිර රටවල් ඉන්නේ ඊට පස්සේ. විශේෂයෙන්ම මේ යුරෝපා රටවල් අතර තියෙන සමීප සම්බන්ධතාව සහ යුරෝපා ආර්ථික හවුල නිසා, ස්වභාවයෙන්ම ඒ සියලු යුරෝපා කලාපයේ රටවල් අතර වීසා නැතිව ගමන් කරන්න ඒ රටවල්වලට පුළුවන්. මේ නිසා තමයි යුරෝපා හවුලේ බොහොමයක් රටවල් ලිස්ට් එකේ මුල් ස්ථාන දහය අතරේ ඉන්නේ. ඒ අනුව තුන්වෙනි ස්ථානයේ ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤය කියන රටවල් 7 ඉන්නේ ගමනාන්ත 189කට වීසා නැතිව සංචාරය කරන්න පුළුවන්. යුරෝපා සංගමයෙන් ඉවත් වුණු මහා බ්‍රිතාන්‍යය මේ ලයිස්තුවේ 6වෙනි තැන ලබා ගෙන රටවල් 186කට වීසා නැතිව ගමන් කිරීමේ හැකියාව සහතික කරගෙන තියෙනවා. ලෝක බලවතා කියන ඇමරිකා එක්සත් ජනපදයට ලැබිලා තියෙන්නේ ලිස්ට් එකේ දහවෙනි තැන.
ලංකාව ඉන්නේ කොතැනද?
ආසියාවේ රටවල් ගත්තම ලංකාව ඉන්නේ අතරමැදි තැනක. ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලංකාව ඉන්නේ ලිස්ට් එකේ 91වෙනියට. ඒ අනුව රටවල් 42කට වීසා නැතිව යන්න පුළුවන්කම ශ්‍රී ලංකාවට තියෙනවා. 2024 අවුරුද්දේ 96වෙනි තැන හිටපු ලංකාව 2025දී 91 දක්වා ඉහළට ඇවිත් තියෙනවා. ලංකාවට ළඟම තියෙන රටවල් එක්ක බලද්දි ලංකාවේ තත්ත්වය සංසන්දනය කරලා බලන්න පහත වගුවෙන් පුළුවන්.
මෑතකදි ලංකාව රටවල් 40කට වීසා නැතිව ලංකාවට පැමිණීමේ හැකියාව ලබා දුන්නා.
වැඩිම වෙනසක් වුණේ කාටද?
දිගින් දිගටම ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය කියන රටවල්වල ශ්‍රේණිගත කිරීම් පහළ ගිහින්. ඒ රටවල් දෙකම පහුගිය අවුරුද්දට සාපේක්ෂව ස්ථාන කීපයකින් පහළ වැටිලා තියෙනවා. ඒ වුණත් රටවල් දෙකම තවමත් පෙරමුණේම ඉන්න රටවල් කාණ්ඩයට අයිතියි.
ඇමරිකාව 2014දීත්, මහා බ්‍රිතාන්‍යය 2015දීත් ලෝකයේ බලගතුම පාස්පෝට් හිමි රටවල් විදිහට ලිස්ට් එකේ උඩම හිටපු කාලයකුත් තිබුණා.
මේ වසරේ ලොකුම පිම්ම පැනලා ලිස්ට් එකේ සෑහෙන දුරක් උඩට එන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉන්දියාවට. ඒ 2024දි හිටපු 85 තැන ඉඳලා 77 වෙනි තැනට ඇවිත්. ලිස්ට් එකේ අන්තිමටම ඉන්නේ ඇෆ්ගනිස්ථානය. ඒ අනුව ඒ අයට වීසා නැතිව යන්න පුළුවන් ගමනාන්තයන් තියෙන්නේ 25 විතරයි.
ගෙවුණු අවුරුදු 10 තුළ විශාලතම වෙනස
පහුගිය අවුරුදු 10 ඇතුලේ වැඩිම ස්ථාන ගණනක් ඉදිරියට එන්න පුළුවන්කම ලැබුණු රට විදිහට සැලකෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය. ඒ 42වන ස්ථානයේ ඉඳලා 8වෙනි ස්ථානය දක්වා. චීනයත් ඒ කාලය තුළ 94 ස්ථානයේ ඉඳලා 60 දක්වා ඉහළට ආපු රටක්. චීනයේ නැඟී ඒමට විවෘතභාවය වඩා වැඳගත් භූමිකාවක් රඟ දක්වලා තියෙනවා.
පසුගිය දශකය ඇතුලේ වැඩිම ස්ථාන ගණනකින් පහත වැටුණු ගුවන් බලපත්‍ර අතරට වෙනිසියුලාව, වනුවාටු, කැනඩාව, ඇමරිකාව සහ එක්සත් රාජධානිය කියන රටවල් අයිති වෙනවා. ශ්‍රේණිගත කිරීම්වල දකින්න ලැබෙන මේ පහත වැටීම යම් ප්‍රවණතාවක් ඉස්මතු කරනවා. කාලෙකට කලින් සංචාරක නිදහසේ පෙරමුණ ගත් රටවල් පසුපසට යද්දි නැගී එන ආර්ථිකයන් වීසා ලබා ගැනීම සහ ශක්තිමත් ගෝලීය සබඳතා ගොඩනඟා ගැනීම පහසු කරලා ඉදිරියට එන බවක් පේනවා. එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි පැරණි බලවතුන් වැඩි වැඩියෙන් සංචාරක බාධක පනවන බවක් පේනවා. ලංකාව මෑතකදි රටවල් 40කට වීසා නැතිව ලංකාවට එන්න පහසුකම් ලබා දුන්නා. ඒ අනුව ලංකාවටත් කිසියම් රටක් සහනදායී පිලිවෙතක් අනුගමනය කරයිද, ඒකෙන් ගුවන් ගමන් බලපත්‍රය ශක්තිමත් එකක් වේවිද කියලා ඊළඟ වතාවේ ශ්‍රේණිගත කිරීම්වලින් බලන්න පුළුවන්.