empowerment

ආර්ථික නිදහස ඉල්ලා 15,000ක් කාන්තාවෝ වීදි බසිති

දිල්මිණී අබේරත්න විසිනි

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන්නේ මාර්තු 8 වෙනිදට. ඉස්සර වගේ නෙවෙයි. දැන් කාන්තා දිනය ගැන මතක් කරන්නේ නොයෙක් තැන්වල තියෙන නොයෙක් ප්‍රමාණයෙන් කරන සැමරුම්, සමහරුන්ට ලැබෙන මල්, කාන්තාවන් අගය කරමින් තබපු සටහන් වගේ දේවල්වලින්. හැබැයි ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ වූණේ අද දකින්න තියෙන විදිහේ සැමරීමක් විදිහට නම් නෙවෙයි. ඉල්ලීමක් විදිහට. ආර්ථික නිදහස වෙනුවෙන් කරපු ඉල්ලීමක් විදිහට. 1908දී කාන්තාවෝ 15000ක් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න නිව්යෝර්ක් නගරයට පාගමනින් ආවා. ඒ අය ඉල්ලුවේ නම්‍යශීලී සේවා පැය, හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය. අද අපි සමරන විදිහේ කාන්තා දින සැමරුමක් මුල්ම වතාවට සැමරුවේ 1975 අවුරුද්දේ  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්. ඒ කම්කරු පංති ව්‍යාපාරයක්, දේශපාලන අයිතිවාසිකම් ව්‍යාපාරයක් සහ ආර්ථික සමානාත්මතාව ගැන ඉල්ලීමක් විදිහට.

ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය

ක්ලාරා සෙට්කින්

ජාත්‍යන්තර කාන්තා දිනයක් සමරන්න ඕන කියන යෝජනාව මුල් වරට ගෙනල්ලා තියෙන්නේ ජර්මානු සමාජ ක්‍රියාකාරිනියක් වුණු ක්ලාරා සෙට්කින් 1910දී. ඒකමතිකව ඒ අදහස සම්මත වුණා. එතනදි ජාත්‍යන්නතර දිනයක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීම මඟින් බලාපොරොත්තු වුණේ ලොව පුරා ඉන්න කාන්තාවන් ඡන්ද අයිතියත් ඇතුළුව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නඟන්න ඕන කියන කාරණය.

වැඩ කිරීමේ අයිතිය, සාධාරණ වැටුප් සඳහා ඇති අයිතිය, ඡන්ද අයිතිය, පොදු ජීවිතයට සහභාගී වීමේ අයිතිය වගේ දේවල්. මේ අයිතීන් බොහෝමයක් ගැඹුරින් ආර්ථිකමය ස්වාරූපයෙ ඒවා. අද ලොව පුරා සමරන කාන්තා දිනය බිහි වූණේ කර්මාන්තශාලා, කම්කරු වැඩ වර්ජන සහ වැටුප් වෙනස්කම් කිරීම් ඔස්සේ. එතන තියෙන හරය වුණේ ආර්ථික නියෝජිතායතන.

2026 කාන්තා දින තේමාව : Rights. Justice. Action. For ALL Women & Girls

Image by PicElysium from Pixabay

එක්සත් ජාතීන්ට අනුව 2026 අවුරුද්දේ ජාත්‍යන්තර කාන්තා දින තේමාව වෙන්නේ, සෑම ගැහැනු ළමයෙකුටම සහ කාන්තාවකටම අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාත්මක කිරීම කියන එක. ලෝකෙ පුරා ඉන්න කාන්තාවන් සැලකුවාම එයාලට තියෙන්නේ පිරිමින්ට තියෙන අයිතිවාසිකම්වලින් 64% විතරයි. ලෝකය AI යුගයක් කරා ඇවිත් තියෙන  මේ කාලය වෙද්දිවත් කිසිම රටකට කාන්තා - පුරුෂ දෙපාර්ශවයේ තියෙන නීතිමය වශයෙන් තහවුරු කල අයිතිවාසිකම්වල පරතරය නැති කරන්න පුළුවන්කමක් ලැබිලා නෑ.

පවුල, ආරක්ෂාව, රැකියාව, මුදල්, දේපල, සංචලතාව, ව්‍යාපාර, විශ්‍රාම ගැනීම කියන සෑම අංශයකදිම කාන්තාවන්ට නීතිය අසාධාරණ විදිහට සලකන බව දකින්න ලැබෙනවා. 2026 කාන්තා දින පණිවිඩය අනුව කාන්තාවන්ටත් පුරුෂයන්ට වගේම  සමානව යුක්ති සහගත ලෙස සැලකීමක් ලැබීමට ඇති බාධා  වෙනස් කොට සලකන නීති ඉවත් කිරීම, දුර්වල මට්ටමක ඇති නීතිමය ආරක්ෂාව තර කිරීම, ළමා අයිතිවාසිකම් ඛාදනය කරන හානිකර භාවිත හා සමාජ සම්මත ඉවත් කිරීම කියන ඉල්ලීම් සපුරා දෙන්න ඕන.

Image by Amber Clay from Pixabay

අද කාන්තාවන්ට තියෙන නිදහස මොන වගේද? අද කාන්තාවන්ට තියෙන ආර්ථික නිදහස කියන්නෙ මොකකටද?  ඒ තමයි තමන් කැමති රස්සාවක් කිරීමේ නිදහස, දේපල හිමි කර ගැනීමේ නිදහස, ව්‍යාපාරයක් කිරීමේ නිදහස, ගෝලීය වෙළඳපොළට ඇතුලු වීමේ නිදහස, ඉපයීමට, ඉතිරි කිරීමට, ආයෝජනය කිරීමට සහ වෙළඳාම් කිරීමට ඇති නිදහසට. මේ කියන ආර්ථික නිදහස නැතිව ලැබෙන දේශපාලන අයිතිවාසිකම් අසම්පූර්ණයි.

ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී-පුරුෂ අධ්‍යාපන මට්ටම සලකා බැලුවොත් 2023 වසරේ පුරුෂ සාක්ෂරතාව 94%, කාන්තා සාක්ෂරතාව 92.6%ක්. බොහොමයක් උසස් අධ්‍යාපන ආයතනවලත් කාන්තා නියෝජනය වැඩියෙන් දකින්න ලැබෙනවා. ඒත් 2024 වසරේ සේවා නියුක්තිය අතින් කාන්තා නියෝජනය 29.8% වෙද්දි පුරුෂ සේවා නියුක්තිය 67.4%ක්. ඒකෙන් පේන්නේ ඉගෙන ගන්නා කාන්තාවන් පිරිසෙන් රැකියා කරන කාන්තාවන් පිරිස අඩු අගයයක්. ඒ පරතරය සමාජීය ගැටලුවක් විතරක් නෙවේ, ආර්ථික පාඩුවක්.

Image by Edgar Binan from Pixabay

විශේෂයෙන්ම් ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වෙලා විසඳුම් හොයද්දි, රටේ නිෂ්පාදන කටයුතු වැඩි කරන්න ඕන කියන එක අනිවාර්‍යය කාරණයක්. ඒකට කාන්තා ශ්‍රම බලකාය අතිශයින් වැඳගත්. කාන්තාවන් වෙළඳපොළෙන් බැහැර වෙනවා කියන්නේ වැඩ කල හැකි වයසේ ශ්‍රම බලකාය පූර්ණ සේවා නියුක්ත නොවෙන නිසා රටේ  ආර්ථිකය පුළුවන් උපරිම තලයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එක.

වෙනත් විදිහකින් කිව්වොත් කාන්තා සේවා නියුක්තිය අඩු වුණාම, කාන්තා ව්‍යවසායකයින් අඩුයි,  එතකොට කුටුම්භ ආදායම අඩුයි, සමස්තයක් විදිහට රටේ ආර්ථික  ඵලදායිතාව අඩුයි ආර්ථික වර්ධනයත් අඩුයි. ආර්ථික නිදහස හොඳින් ක්‍රියාත්මක වෙන විවෘත වෙළඳපොල තත්ත්වයක් තිබීම කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය වැඩි කිරීමට ඉතාමත් වැදගත්. මොකද වෙළඳපොළ විශාල වෙද්දි අවස්ථා පුළුල් වෙනවා. අපනයන කර්මාන්තවල රැකියා, දුරස්ථ රැකියා අවස්ථා, ගෝලීය ගනුදෙනුකරුවන් වෙත ප්‍රවේශ වීම වගේම,  පාරිභෝගිකයින් සඳහා අඩු මිල ගණන් ඇති කිරීම පහසු වෙනවා.

කොහොම වුණත් ආර්ථික නිදහසට පවතින සීමා මායිම් සහ නීති රෙගුලාසිවල වැට බැඳීම් නිසා විශේෂයෙන්ම සේවා, ඇඟලුම්, ඩිජිටල් කටයුතු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ප්‍රවේශයෙන් කාන්තාවන් ප්‍රතිලාභ ලබන්නේ අසමානුපාතිකව. ආර්ථික නිදහසට, තරඟකාරීත්වයට සීමා පනවන ප්‍රතිපත්ති නිසා බොහෝමයක් වෙලාවට මුලින්ම හානියට සහ පීඩාවට පත් වෙන්නේ කුඩා හා අවිධිමත් ව්‍යවසායකයින්. මේ අතරින් බොහෝ පිරිසක් කාන්තාවෝ. ඉතින් මේ කාන්තා දිනයේදී, මල් පොකුරු දෙනවට හැෂ් ටැග් අමුණපු පෝස්ට් දානවට එහා ගිය දෙයක් අපි කරන්න ඕන.

අපේ රටේ කාන්තාවන්ට ආර්ථික නිදහස හිමිද?

ඒ තමයි කාන්තාවන් ආර්ථික වශයෙන් නිදහස්ද? කියන ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්න එක.  කාන්තාවන් සවිබලගැන්වීම හැම කාන්තා දිනයකදිම කතා බහට ලක් වෙන නිකම්ම නිකම් සටන් පාඨයක් වෙලා වැඩක් නෑ. ස්වාධීනව ආර්ථිකයේ තේරීමක් කිරීමේ හැකියාව කාන්තාවන්ට තියෙන්න ඕන. ඒ වෙනුවෙන් රැකියාවේ නිදහ්ස, අධ්‍යාපනයේ නිදහස ලබා දෙන්න අවශ්‍ය කරන යතිටූඅල පහසුකම් ආර්ථිකය තුළ ස්ථානගත කරන්න ඕන. දිවා සුරැකුම් මධ්‍යස්ථාන, නමයශීලී සේවා පැය, සුළු හා කුඩා පරිමාණ ව්‍යවසාකයන්ට ණය ලබා ගැනීමේ පහසුව ඇති කරන්න ඕඅන මේ නිසයි. කාන්තා දිනය සමානාත්මතාවයේ කතාවක් විතරක් නෙවෙයි. ඒක වෙළඳපොළවල්, අවස්ථා සහ නිදහස පිළිබඳ කතාවක්. කාන්තාවන් සඳහා වන ආර්ථික නිදහස කියන්නේ ලබා දිය යුතුද කියලා තීර්‍රණය කළ යුතු දෙයක් නෙවෙයි. අනිවාර්‍යයෙන්ම කාන්තාවන් හැම දෙනාටම ලැබිය යුතු අත්‍යවශ්‍ය දෙයක්. ඉතිං මේ සාධනීය දේවල් ඉටු වන සුභ කාන්තා දිනයක් වේවා!