දිල්මිණී අබේරත්න විසිනි
දූෂණය නිසා පැන නඟින අයුක්තිය අවසන් කිරීමේ අරමුණින් රටවල් 100කට වැඩි ගණනක ක්‍රියාත්මක වන ගෝලීය ව්‍යාපාරයක් වන Transparency International ආයතනය විසින් නිකුත් කරපු 2025 දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index 2025: CPI) අනුව ශ්‍රී ලංකාව ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල සැලකිව යුතු වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ රටවල් 181ක් අතරින් 107 වැනි ස්ථානයට ඇවිත්. ඉතිං ඒ කියන්නේ ලංකාවේ දූෂණය අඩු වෙලාද? මේ කියන CPI දර්ශකයෙන් මනින්නේ මොනවද? දූෂණය මර්දනය කරන්න හිතාගෙන අපි කරන්න ඕන මොනවද කියලා මේ ලිපියෙන් හොයලා බලමු.
දූෂණය කියන්නේ මොකක්ද?
Image by Robert Cubitt from Pixabay
යම්කිසි පුද්ගලයෙකුට හෝ ආයතනයක් වෙත පැවරූ බලය අනිසි ලෙස භාවිත කිරීම දූෂණය විදිහට හඳුන්වනවා. කාලයක් තිස්සේ අපේ රටේ අස්ථාවරතා, ආර්ථික ගැටලු මැද්දේ බලය අවභාවිත කළා කියන චෝදනාව නිතරම අහන්න ලැබුණා. බලය වැරදි විදිහට පාවිච්චි කළාම සිද්ධ වෙන දූෂණය නිසා විශ්වාසය බිඳෙනවා විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වෙනවා. තවත් සරලව ගත්තොත් ආර්ථික සංවර්ධනයට බාධා වෙලා අසමානතාවය, දරිද්‍රතාවය, සමාජ බෙදීම සහ පාරිසරික අර්බුද ඇති වෙනවා.
CPI දර්ශකයෙන් මනින්නේ මොනවද?
දූෂණ සංජානනය පිළිබඳ දර්ශකය මඟින් ලෝකයේ රටවල් 181 යොදාගෙන ඒ ඒ රටවල දූෂණයේ තත්ත්වය අනුව රටවල් පෙළගැස්වීම සිද්ධ වෙනවා. මේ දර්ශකයේ ලකුණු ලබා ගන්නා පිළිවෙලට තමයි රටවල් ශ්‍රේණිගත කිරීම සිද්ධ වෙන්නේ. ඉතිං CPI දර්ශකය 0 ඉඳන් 100 දක්වා අගය පරාසයක තියෙනවා. ඒකේ ලකුණු 0ට ළඟා වෙනවා කියන්නේ, එහෙමත් නැත්නම් ලකුණු අඩු වෙනවා කියන්නේ ඒ රටේ රාජ්‍ය අංශය දූෂණයට ගොඩක් නැඹුරුයි කියන එක. අනිත් අතට මේ දර්ශකයේ 100 පැත්තට බරවෙලා වැඩි ලකුණු ගන්න රටවල් හරිම පිරිසිදු, දූෂණය අවම රටවල් විදිහට නම් කෙරෙනවා.
මේ අවුරුද්දේ CPI දර්ශකය ඉදිරිපත් කරද්දි එක් එක් රටවල්වල දූෂණය සම්බන්ධයෙන් නිර්ණායක රැසක් පදනම් කරගෙන තිබෙනවා. අල්ලස, රාජ්‍ය මුදල් අපහරණය, ප්‍රතිවිපාකවලට මුහුණ නොදී පෞද්ගලික ලාභය වෙනුවෙන් තමන්ගේ රාජ්‍ය කාර්යාලය භාවිත කිරීම, රාජ්‍ය අංශයේ දූෂණය පාලනය කිරීමට රජයන්ට ඇති හැකියාව, දූෂණය සඳහා අවස්ථා වැඩි කිරීමේ හැකියාවක් ඇති රාජ්‍ය අංශයේ විවිධ තත්ත්වයන් සහ රාජ්‍ය සේවයට සිදු කරන ඥාති සංග්‍රහ පත්වීම් ආදිය ඒ අතර වෙනවා.
ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් තමන්ගේ මූල්‍ය සහ විභව අවශ්‍යතා ගැටුම් හෙළිදරව් කළ යුතු බව සහතික කරන නීති, අල්ලස් සහ දූෂණ නඩු වාර්තා කරන පුද්ගලයන් සඳහා නීතිමය ආරක්ෂාව, පටු අභිමතාර්ථ මඟින් රාජ්‍යය අල්ලා ගැනීම සහ රාජ්‍ය කටයුතු / රජයේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සඳහා ප්‍රවේශය කියන දේවලුත් මේ අතර තියෙනවා.
2025 CPI දර්ශකයෙන් කියවෙන දේවල්
2025 වසරේ ලෝකයේ දූෂණය අඩුම රට විදිහට ශ්‍රේණිගත වෙන්නේ ඩෙන්මාර්කය. ස්කැන්ඩිනේවියන් රටවල් දූෂණය අඩුම රටවල් ලැයිස්තුවේ මුල් ස්ථාන 10 තුළ වැඩි වශයෙන් ඉන්න බවක් පේනවා. අඩුම ලකුණු ලබාගෙන ලැයිස්තුවේ පහළ ඉන්න රටවල් අතරේ තියෙන්නේ දකුණු සුඩානය, සෝමාලියාව සහ වෙනිසියුලාව.
CPI දර්ශකයේ 2025 වසරේ ශ්‍රේණිගත කිරීම්
මූලාශ්‍රය : Transparency International Annual Rankings
ලංකාවට ලකුණක් දෙන්න පුළුවන්ද?
පහුගිය අවුරුදු 10 කාලය ඇතුලේ ලංකාව දූෂණ සංජනන දර්ශකයේ ලකුණු ලබා ගත් පිළිවෙල පහත වගුවෙන් බලාගන්න පුළුවන්.
CPI දර්ශකයේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් 2015 - 2026
මූලාශ්‍රය : Transparency International Annual Rankings
ලකුණු 32 ඉඳලා 38 වෙනකම් පරාසයක තියෙන නිසා ලොකු වෙනසක් වෙලා නෑ. ඒත් ශ්‍රේණිගත කිරීම් අතින් 2015 ඉඳලා 2026 දක්වා කාලය තුළ විශාල වෙනසක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය කාලය තුළ ලංකාව ශ්‍රේණිගත කිරීම් හොඳ මට්ටමක නෑ. 2024 වසරේ ලංකාව ලකුණු 32 අරගෙන ඉතාමත් පහළ තලයකට වැටුනේ රටවල් 181 අතරින් 121 මට්ටමට ළඟා වෙලා. ඒ අනුව බලද්දි 2025 වසරේ ලංකාව ස්ථාන 14කින් පෙරමුණට ඇවිත් සැලකිව යුතු ප්‍රගතියක් අත් කරගෙන තියෙනවා.
“2025 වසරේ දූෂණ සංජනන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 35 සමඟ 107 වන ස්ථානයේ පසු වෙනවා.”
CPI දර්ශකයේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් 2015 - 2026
මූලාශ්‍රය : Transparency International annual rankings
2012 අවුරුද්දේ ඉඳලා රටවල් 31 දූෂණය අවම කරගන්න කටයුතු කරලා තිබුනත්, අනෙකුත් රටවල් ඒ ගැටළුව විසඳගන්න බැරිව එකම තැන පල්වෙමින් තවමත් වෙහෙසෙනවා. සලකා බලන රටවල් හෝ ප්‍රදේශ 181න් තුනෙන් දෙකක බහුතරයකට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ලකුණු 50ට වඩා අඩුවෙන්. ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ පොදු ජනතාවට. දූෂණය නිසා අරමුදල් අඩු රෝහල්, ඉදි නොකළ ගංවතුර ආරක්ෂක පද්ධති සහ තරුණයින්ගේ බලාපොරොත්තු සහ සිහින විනාශ වෙලා.
අවසාන වශයෙන් ගත්තම දූෂණ සංජානන දර්ශකයෙන් පෙන්වන ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම හුදෙක් වගුවක / ලැයිස්තුවක තියෙන තවත් ඉලක්කමක් විතරක් නෙවෙයි. ඒක ආයෝජකයින්ට, සංවර්ධන හවුල්කරුවන්ට, ව්‍යාපාරවලට සහ වඩාත්ම වැදගත් වෙන්නේ පුරවැසියන්ට රටේ ආයතනවල ශක්තිය සහ පාලන රාමුවේ විශ්වසනීයත්වය පිළිබඳ ලබා දෙන සංඥාවක්.
ලංකාවේ CPI දර්ශකයේ අගය වැඩිදියුණු කිරීම කියන්නේ, විශ්වාසය නැවත ගොඩනැගීමයි. විනිවිද පෙනෙන ප්‍රසම්පාදනය, දූෂණ විරෝධී නීති ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීම, ස්වාධීන අධිකරණයක් සහ ස්ථාවර ආයතනික ප්‍රතිසංස්කරණ කියන සියල්ලම ආයෝජන ප්‍රවාහ, ණය ගැනීමේ පිරිවැය සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට සෘජුවම බලපානවා.
ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රකෘතිමත් වීම අරමුණු කරගෙන ඉන්න අවස්ථාවක, පාලන ප්‍රතිසංස්කරණය කියන්නේ අතුරු සංවාදයක් නෙවේ. ඒ තමයි තිරසාර වර්ධනයට කේන්ද්‍රීය වන කාරණය. ඉහළ CPI ශ්‍රේණිගත කිරීමකින් විතරක් අපේ ආර්ථික අභියෝග එක රැයකින් විසඳන්නේ නෑ. ඒත් දූෂණය සහ ආයතනික දුර්වලතාවලට විසඳුමක් නොදී ඉන්න තාක්කල් තත්ත්වය හොඳ මට්ටමට පත් වෙන්නේ නෑ. මේ නිසා, ආර්ථික ස්ථාවරත්වය ඉලක්කය නම්, ආයතනික අඛණ්ඩතාව පදනම වෙන්න ඕන.

