දිල්මිණී අබේරත්න විසිනි
ආහාර කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක්. ඒ නිසා ආහාර සුරක්ෂිතතාව ඉතාමත් වැඳගත් මාතෘකාවක්. විශේෂයෙන්ම මේක වසංගත, ආපදා සහ යුධ ගැටුම් කාලයක මඟ අරින්න බැරිම ප්‍රශ්නයක්. පහුගිය දවස්වල ලංකාවට බලපෑ ප්‍රචණ්ඩ ‘දිත්වා’ සුළි කුණාටුව නිසා රට පුරා දිස්ත්‍රික්ක 20ක විතර ජීවිත සහ දේපල හානි සිදු වුණා. ඒ හානිය පවා තවමත් නිවැරදිව ගණනය කරලා අවසන් නෑ. ඒ වුණත් තවමත් ඇඳ හැළෙන තද වැසි සහ මේ වනවිටත් රටේ ඇති වී තිබෙන දුක්ඛදායක තත්ත්වයත් එක්ක ඉතාමත් ඉක්මණින් අපට ආහාර අර්බුදයක පෙර නිමිති පේන්න අරගෙන තියෙනවා.
Cyclonic Storm Ditwah is catastrophic tropical cyclone that brought heavy rains to Sri Lanka and Southern India
Image by Stefan Bernsmann from Pixabay
කුණාටුව අවසන් වූ හැටියෙම කැපී පෙනෙන විදිහට කැරට්, ලීක්ස් සහ පොල් මිල ගණන් ඉහළ ගියා. ගංවතුර තත්ත්වය නිසා වී වගා කළ කුඹුරු වගේම අනෙකුත් භෝග වගාවන්ට නොසෑහෙන හානි සිදු වෙලා තියෙනවා. කුකුළු ගොවිපලවල් වගේ තැන්වලත් මීට සමාන හානි දකින්න පුළුවන්. ඒ වගේම අර්බුද, ගැටුම්, ආපදා කියන තත්ත්වයන් හමුවේ මිනිසුන් වැඩි වැඩියෙන් භාණ්ඩ රැස් කරන්න හුරු වීම නිසාත් වෙළඳපළේ තාවකාලික භාණ්ඩ හිඟයන් නිර්මාණය වෙලා තියෙනවා.
කොහොම වුණත්, ගැටුම්, භයානක මට්ටමේ කාලගුණ තත්ත්වයන් සහ ආර්ථික කම්පන ප්‍රධාන වශයෙන්ම ආහාර අනාරක්ෂිතභාවයක් ඇති කරන්න හේතු වෙනවා. ඒක ලංකාවට අලුත් සිද්ධියක් නෙවෙයි. 2022 ඇති වුණ ආර්ථික අර්බුදය ඇතුලේ වැඩිම පීඩනයක් ඇති වුණ අංශයක් විදිහට ආහාර අවශ්‍යතාව සලකන්න පුළුවන්. මෙවැනි ආහාර අනාරක්ෂිතතාවකදි වඩාත් අවදානමට ලක් විය හැකි කණ්ඩායම් අතරට තමන්ගේ නිවාස සහ ආදායම් මාර්ග අහිමිව අවතැන් වූ පුද්ගලයින් අයිති වෙනවා. දිත්වා සුළි කුණාටුව නිසා සමහර අයට තමන්ගේ ඉඩම් පවා අහිමි වෙලා තියෙනවා. මේ වගේ ව්‍යසනකාරී අවස්ථාවක අපට නොසිතූ විදිහේ වියදම් දරන්න වෙන නිසා කලින් හිතපු මට්ටමට ආර්ථිකය වර්ධනය කර ගැනීමේ ගැටළු පවා ඇති වෙන්න පුළුවන්. ඒ අතරින් අද අපේ අවධානය යොමු වෙන්නේ ආහාර සුරක්ෂිතතාව ගැන.
ආහාර සුරක්ෂිතතාව කියන්නේ මෙන්න මේකට
ලෝක ආහාර වැඩසටහනට අනුව ආහාර සුරක්ෂිතතාව පවතින්නේ සාමාන්‍ය වර්ධනය හා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් තරම් ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර සහ ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ජනතාවට ලබා ගන්න පුළුවන් වටපිටාවක. මේ කියපු දේවල් ඒ ඒ තත්වයෙන් නොපවතිනවා නම් ඒකට ආහාර අනාරක්ෂිතභාවය කියලා කියන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීම සඳහා දිගු කාලයක් පුරා ප්‍රමාණවත් ආහාර පරිභෝජනය කිරීමට පුද්ගලයෙකුට නොහැකි වීම නිදන්ගත ආහාර අනාරක්ෂිතභාවය විදිහටත් ජනතාවගේ ජීවිත හෝ ජීවනෝපායන්ට තර්ජනයක් වන ඕනෑම තත්ත්වයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයක් කියලත් හඳුන්වන්න පුළුවන්.
Image by Steve Buissinne from Pixabay
1996 ලෝක ආහාර සමුළුවට අනුව ආහාර සුරක්ෂිතතාව නිර්වචනය කරන්නේ,
“හැම දෙනාටම හැමවිටම ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සහ ආහාර රුචිකත්වයන් සපුරාලීමට ප්‍රමාණවත් වන ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර සඳහා භෞතික හා ආර්ථික ප්‍රවේශයක් තිබීම යන්නය.” කියලා.
ආහාර සුරක්ෂිතතා අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු සාධක 4ක් තියෙනවා. ඒ හැම එකක්ම සපුරා ගත්තම ආහාර සුරක්ෂිතතාව කියන කාරණය සම්පූර්ණ වෙනවා.
ආහාරවල භෞතික සුලභතාවය: ආහාර සුරක්ෂිතතාවයේ ‘සැපයුම’ එනම් ආහාර නිෂ්පාදන මට්ටම, තොග මට්ටම් සහ ශුද්ධ වෙළඳාම අනුව තීරණය වේ.
ආහාර සඳහා ආර්ථික හා භෞතික ප්‍රවේශය: ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රමාණවත් ආහාර සැපයුමක් තිබූ පමණින් ගෘහස්ථ මට්ටමේ ආහාර සුරක්ෂිතතාව සහතික නොකරයි.
ආහාර භාවිතය: භාවිතය යනු ශරීරය ආහාරවල ඇති විවිධ පෝෂ්‍ය පදාර්ථවලින් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය ලෙස සාමාන්‍යයෙන් වටහාගෙන ඇත. පරිභෝජනය කරන ආහාරවල හොඳ ජීව විද්‍යාත්මක භාවිතය සමඟ ඒකාබද්ධව, මෙය පුද්ගලයන්ගේ පෝෂණ තත්ත්වය තීරණය කරයි.
කාලයත් සමඟ අනෙකුත් මානයන් තුනෙහි ස්ථායිතාව: අදට කෙනෙකුගේ ආහාර ගැනීම ප්‍රමාණවත් වුවද, වරින් වර ආහාර සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති වනවා නම් සහ පෝෂණ තත්ත්වය පිරිහීමේ අවදානමක් ඇත්නම්, ඔහු තවමත් ආහාර අනාරක්ෂිත ලෙස සලකනු ලැබේ.
අවසන් කාරණයේ දක්වා ඇත්තේ අහිතකර කාලගුණික තත්ත්වයන්, දේශපාලන අස්ථාවරත්වය හෝ ආර්ථික සාධක නිසා (විරැකියාව, ආහාර මිල ඉහළ යාම) ආහාර සුරක්ෂිතතා තත්ත්වයට බලපෑමක් ඇති කළ හැකි බවයි.
දිත්වා සහ ලංකාවේ ආහාර සුරක්ෂිතතාව
මේ සටහන ලියන මොහොත වෙද්දිත් රට පුරා ඇතැම් තැන්වල විපතට ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර තොග රැස් කිරීම, ආහාර පිළියෙල කිරීම සහ බෙදා හැරීම සිදු වෙනවා. මේ කෙටිකාලීන ඉතාමත් ක්ෂණික පියවරයන් පමණයි. තවත් ටික දවසකින් අවතැන් වුණු ජනතාව පවා නව සාමාන්‍ය පිළිවෙතට අනුගත වෙනවා. ඒ අවස්ථාව වෙද්දි විපතට පත් අයගේ ආහාර සුරක්ෂිතතාව කලින් සඳහන් කරපු සාධක හතර තුළ සම්පූර්ණ වෙනවද කියන එක ඉතාමත් අස්ථාවරයි.
Joint Rapid Needs Assessment by DMC and UN agencies (2025)
කෘෂිකර්මාන්තය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, සාමාන්‍යයෙන් ලංකාවේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 2.4කට ආසන්නයි. ලෝක ආහාර වැඩසටහනේ සංඛ්‍යා දත්තවලට අනුව, 2024 වසරේ දෙසැම්බර් වෙද්දි ලංකාවේ කුටුම්භවලින් 16%ක් ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බව කියැවුණා. සුළි කුණාටුව නිසා මේ තත්ත්වය තවත් නරක අතට හැරෙන්න තියෙන ඉඩ වැඩියි. කුණාටුව පටන් ගන්න අවස්ථාව වෙද්දිත් මහ කන්නයේ හෙක්ටයාර 563,950ක් වගා කරලා තිබුණා (Department of Agrarian Development). මීට අමතරව, ගංවතුර තත්ත්වය සහ තද සුළංවල බලපෑම හේතුවෙන් අනෙකුත් ක්ෂේත්‍ර භෝග හෙක්ටයාර 95,799ක් සහ බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, කෙසෙල් සහ විවිධ එළවළු භෝග හෙක්ටයාර 13,463කට පමණ විශාල හානියක් සිදුවෙලා තියෙනවා (CROPIX, Department of Agriculture).
ධීවර කර්මාන්තය
ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයට අනුව, වෙරළබඩ ධීවර කටයුතුවලට පාවිච්චි කරන කුඩා ෆයිබර්ග්ලාස් බෝට්ටු රැසකට, මෝටර් බෝට්ටු 200කට ආසන්න ප්‍රමාණයකට, ඔරු සහ සාම්ප්‍රදායික යාත්‍රා වගේම මහ මුහුදේ ක්‍රියාත්මක වන නිශ්චිත නොවන බහුදින යාත්‍රා සංඛ්‍යාවකටද හානි සිදු වෙලා තියෙනවා. රට අභ්‍යන්තරයේ ඇති ජලාශවලට හානි වීම සහ ගංවතුර නිසා මසුන් වගා කළ ස්ථාන විනාශ වී යාම හේතුවෙන් මිරිදිය ධීවර අංශයට විශාල වශයෙන් පාඩු සිදු වී තිබෙනවා.
සැපයුම් දාම
හානි වූ ප්‍රවාහන ජාල, ගබඩා පහසුකම්, වෙළඳපොළවල් සහ සන්නිවේදන මාර්ග හේතුවෙන් කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ධීවර අංශ හරහා සැපයුම් දාම දැඩි ලෙස කඩාකප්පල් වෙලා. මේ කියන බාධා කිරීම් නිසා ග්‍රාමීය ජීවනෝපායන් දුර්වල වෙලා. මේ දේවල් ආහාර අනාරක්ෂිතභාවයට හේතු වෙනවා විතරක් නෙවෙයි බලපෑමට ලක් වූ ගොවිතැන් සහ ධීවර ප්‍රජාවන් හරහා ප්‍රකෘතිමත් වීම මන්දගාමී කරනවා.
කුඹුරු බිම් සහ අනෙකුත් වගාවන්ට සිද්ධ වුණු හානි නිසා සැපයුමට බාධා එල්ල වෙලා. ගොවීන්ට නිෂ්පාදන වෙළඳපොළට ගෙන යාමේ දුෂ්කරතා නිසා අස්වනු අලාභ ඇති වීමත් ආදායම අඩු වීමත් දකින්න පුළුවන්. ගොවිපලවලට හානි වීම, මාර්ග අවහිර වීම නිසා බීජ, පොහොර, පශු වෛද්‍ය සැපයුම් සහ පශු සම්පත් ආහාර බෙදා හැරීම ප්‍රමාද වෙනවා.
Image by wurliburli from Pixabay
ඒ ඇරුණම ගබඩා සහ සිසිලන පහසුකම් විනාශ වීම නිසා භෝග නරක් වීම වෙළඳපොළ වසා දැමීම සහ නිෂ්පාදකයින්, ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් අතර සම්බන්ධීකරණයට බාධා වීමෙන් වෙළඳපළට ඉදිරිපත් වෙන සැපයුම් ප්‍රමාණය අඩු වීම නිසා ආහාර සුරක්ෂිතතාවයේ පළමු නිර්මාණායකය වන ආහාරවල භෞතික සුලභතාවය කඩ වෙනවා. මේ නිසා මිල ගණන් ඉහළ යාම, ආහාර උද්ධමනයක් ඇති වීම, ජීවන මට්ටම් පහළ යාම, පෝෂණ ඌණතා සහ ප්‍රතිශක්තිකරණ ගැටළු ඇතිවීමෙන් සෞඛ්‍ය ගැටළු ඇති වීම, ශ්‍රම බලකායට සහ නිෂ්පාදන ධාරිතාවට බලපෑම් ඇති වීම සහ ඒ සියල්ල අවසානයේ ආර්ථික වර්ධනයට අහිතකර බලපෑමක් ඇති වීම සිද්ධ වෙනවා.
මේ ව්‍යසනය ඇති වෙන්න පෙරත්, ලංකාවේ ඉඩම් හිමිකම සම්බන්ධයෙන් ගැටළු තිබුණා. ඒ නිසා ගොවීන්ට තමන් කැමති භෝගයක් වගා කිරීමේ ගැටළුව කලිනුත් තිබුණා. භූමිය වගේ නිෂ්පාදන සාධකවල අයිතිය පෞද්ගලික අංශයට වඩා රජය සතු වීම නිසා නවෝත්පාදන, වැඩිදියුණු කිරීම් සහ කාර්යක්ෂම සම්පත් භාවිතය සම්බන්ධ ගැටළු ආහාර සුරක්ෂිතතාව තර්ජනයට ලක් කරන තවත් කරුණක්.
ආහාර සුරක්ෂිතතාව කිව්වම සමහරුන්ට හිතෙන දේ
සමහරු හිතාගෙන ඉන්නේ ආහාර සුරක්ෂිතතාව කිව්වම අපි රටක් විදිහට ආහාරවලින් ස්වයංපෝෂිත වෙන්න ඕන කියලා. ආහාරවලින් තියා කිසිම දේකින් කිසිම රටකට තනියෙන් ස්වයංපෝෂිත වෙන්න බෑ. කොහොමත් ජාත්‍යන්තර වෙළඳාම නිර්මාණය වෙන්නේ මේ කාරණය මත. රටක් තමන්ට වඩාත් කාර්යක්ෂමව සහ ලාභදායීව නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරලා ඒක වෙනත් රටවල් සමඟ හුවමාරු කර ගන්නවා. තමන්ට නිෂ්පාදනය කරන්න බැරි දේවල් වෙනත් රටවලින් ලාභදායී මිලකට ලබා ගන්නවා. අන්න එහෙමයි ආහාරවල සුලභතාව පවත්වා ගන්න පුළුවන් වෙන්නේ.
පහුගිය දවසක, දිත්වා කුණාටුවේ බලපෑමෙන් පීඩාවට පත් වුණු නුවරඑළිය එළවළු ගොවීන් සහ විනාශයට පත් වුණු එම ඉඩම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. නිලධාරීන් කියන විදිහට විනාශ වෙලා තියෙන වගා බිම් ප්‍රමාණය 25% ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් දෙසැම්බර් උත්සව මාසය නිසාත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි තත්ත්වයක් තියෙනවා. ඒත් මාර්ගවල සුපුරුදු පරිදි ගමනාගමන සහ ප්‍රවාහන කටයුතු කිරීමේ අපහසුවක් තියෙන නිසාත්, අනෙකුත් කරුණු නිසාත් මේ මොහොතේ ඉල්ලුමේ පවතින්නෙ අඩුවක්. ඒ අනුව සැපයුමේ සහ ඉල්ලුමේ විවිධ හැසිරීම් මීට කලින් පුරෝකතනය කළ ඒවාට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාව ඉතාමත් සුලබව ආනයන සීමා පනවන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා ආහාර ද්‍රව්‍ය පවා පිටරටින් ගෙන්වන එක ලේසි වෙන්නෙත් නෑ. මේ අවස්ථාවේදී ආනයනය කරන්න හදිසි අවශ්‍යතාවක් නැති වෙන්නත් පුළුවන්. නමුත් දිගු කාලීන පියවරක් විදිහට අපට වඩාත් ලාභදායී ලෙස ආනයනය මඟින් සපුරා ගත හැකි ආහාර අවශ්‍යතා තියෙනවා නම් ඒ ගැන සලකා බැලීම ආහාර සුරක්ෂිතතාවට වඩාත් සුදුසු පියවරක් වේවි.

