රටේ වටේට මුහුද තිබිලත් අපිට ලුණු නැත්තේ ඇයි?

දිල්මිණී අබේරත්න විසිනි

මොන දේ රසට උයලා තිබ්බත්, ලුණු රස නැත්නම් මෙලෝ රහක් නෑ. ලුණු පොල්කට්ට හිදෙන්න හොඳ නෑ කියලත් ඉස්සර උදවිය කියලා තියෙනවා. ඒ කියන්නේ ගෙදරක ලුණු ටිකක් නැති වෙන එක එච්චර හොඳ නෑ කියලා තමයි ඒ අය විශ්වාස කළේ. ඒත් අද වෙද්දි ගෙදර නෙවේ, මුළු ලංකාවටම බලපාන ලුණු හිඟයක් ඇවිත්. දන්න කාලෙක මිනිස්සුන්ට බරපතළ විදිහට දැනෙන ලුණු හිඟයක් ඇවිත් නැති නිසා, මේ තත්ත්වය ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වුණා. අන්තිමට පිටරටින් ලංකාවට ලුණු ආනයනය කරන්න සිද්ධ වුණා. රට වටේ මුහුද තියාගෙන ලුණු හිඟයක් ආවේ කොහොමද කියලා හුඟ දෙනෙක් අහනවා. අපි ඒකට හේතුව මොකක්ද කියලා මේ ලිපියෙන් හොයලා බලමු.  

Image by Marek from Pixabay

ලුණු කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ්වලින් (NaCl) සමන්විත අත්‍යවශ්‍ය ඛනිජයක්. සියලුම ජීවින්ගේ පැවැත්මට යම් ප්‍රමාණයකින් සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියන සංඝටක අවශ්‍ය වෙනවා. මිනිසුන් විදිහට අපිට ලුණු අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් පරිභෝජනය, ආහාර සංරක්ෂණය කියන දේවල්වලට. ඒ ඇරුණාම විවිධ කාර්මික යෙදීම්වලටත් ලුණු යොදා ගන්නවා. වසර දහස් ගණනක අතීතයක් තියෙන ලුණු නිෂ්පාදනය, ලොව පුරා වැදගත් ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට සැලකෙනවා.

සාමාන්‍යයෙන් ලුණු නිෂ්පාදනයට ප්‍රධාන ක්‍රම 3 පාවිච්චි වෙනවා. 

  1. සූර්ය වාෂ්පීකරණය (Solar evaporation) - උණුසුම්, ශුෂ්ක දේශගුණයක් ඇති ප්‍රදේශවල භාවිතා වන අතර එහිදී මුහුදු ජලය නොගැඹුරු පොකුණුවලට යොමු කර ස්වභාවිකව වාෂ්ප වීමට සලසයි.

  2. පාෂාණ ලුණු කැණීම (Rock salt mining) - භූගත පතල්වලින් ලුණු නිධි නිස්සාරණය කිරීම.

  3. ද්‍රාවණ කැණීම සහ රික්ත වාෂ්පීකරණය (-Solution mining and vacuum evaporation) 


සූර්‍ය තාපයෙන් ලුණු නිෂ්පාදනය

ලුණු නිෂ්පාදනය කරන ක්‍රම කීපයක් තිබුනත් ලංකාවේ භාවිත වෙන්නේ සූර්ය තාපයෙන් ලුණු නිෂ්පාදනය කිරීම. දිවයිනක් විදිහට ලංකාවේ තියෙන පාරිසරික තත්ත්වය, සූර්යතාපයෙන් ලුණු නිෂ්පාදනය කිරීමට ගැලපෙනවා. විශේෂයෙන්ම පුත්තලම, යාපනය සහ හම්බන්තොට කියන ප්‍රදේශවල ලුණු නිෂ්පාදනයට හිතකර පරිසර තත්ත්වයක් තියෙනවා. ලුණු කර්මාන්තය වෙනුවෙන් යොදා ගන්නා වඩාත් පරිසර හිතකාමී සහ වියදම් අඩුම ක්‍රමය වෙන්නේ සූර්ය තාප ක්‍රමය. ඒ ක්‍රමයෙන් ලුණු නිෂ්පාදනය කරනවා නම් අනිවාර්‍යයෙන් සාධක කීපයක් තෘප්ත කරන්න ඕන. ඒ තමයි:

  1. ඉතා ඉහළ උෂ්ණත්වය සහ තදබල හිරු එළිය 

  2. අඩු වර්ෂාපතනය 

  3. හොඳින් සුළං හැමීම 

  4. මැටි සහිත පසක් තිබීම

මුහුදු වෙරළ ආශ්‍රිතව පවතින තැනිතලා බිම්වල ලුණු කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යනවා.


ලංකාවේ  ලුණු නිෂ්පාදනය

Image by Naveen Kaushan from Pixabay

ලංකාවේ ලුණු නිෂ්පාදනය ගත්තොත්, ඊට සම්බන්ධ ප්‍රධානම රජයට අනුබද්ධ ආයතන දෙකක් තියෙනවා. ඒ ලංකා ලුණු සංස්ථාව සහ ලංකා ලුණු සමාගම. ඒවා පලටුපාන සහ පුත්තලම කියන ප්‍රදේශවල ලුණු අස්වනු නෙලීම කළමනාකරණය කරනවා. සාමාන්‍ය කෘෂිකර්මාන්තයේදී වගේම ලුණු නිෂ්පාදනයේදිත් කන්න දෙකක් අනුව වැඩ කරනවා. ඒ තමයි:

  1. යල කන්නය - පෙබරවාරි සිට අප්‍රේල්

  2. මහ කන්නය - ජූනි සිට ඔක්තෝබර්

ලංකාවේ ලුණු නිෂ්පාදනය රජයේ ආයතන සහ පුද්ගලික අංශ කියන දෙකෙන්ම සිද්ධ වෙනවා. ඒ අතරින් මහ ලේවාය ලෙස සැලකෙන හම්බන්තොට ලේවාය අයිති ලංකා ලුණු සමාගමට. මන්නාරම සහ අලිමංකඩ ආශ්‍රිත ලුණු ලේවායන් අයිති වෙන්නේ කර්මාන්ත අමාත්‍යංශයට. ඒ ඇරුණාම පුත්තලමේ පෞද්ගලික අංශයට අයත් ලේවායක් තියෙනවා. ඊටත් අමතරව කුඩා පරිමාණයේ පුද්ගලික ලුණු නිෂ්පාදකයනුත් ඉන්නවා.

ලංකා ලුණු සමාගමට අනුව, ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලුණු මෙට්‍රික් ටොන් 180,000 පමණ අවශ්‍ය වෙනවා. ඒකෙන් මෙට්‍රික් ටොන් 150,000 දක්වා ප්‍රමාණයක් වෙළඳපළට මුදා හැරෙනවා. මාසිකව මෙට්‍රික් ටොන් 12,000 - 15,000 අතර ලුණු ඉල්ලුමක් පවතිනවා. දෛනික පරිභෝජනයට අමතරව කරවල නිෂ්පාදනය, සත්ත්ව ආහාර සහ ඖෂධ වගේ කර්මාන්තවලටත් ලුණු අවශ්‍ය වෙනවා. මේ වෙද්දි ලංකාවේ ලුණු නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතය නිෂ්පාදනය වෙන්නේ හම්බන්තොට මහ ලේවායෙන්. සිවිල් යුධ සමය තුළ විනාශයට ලක් වෙන්න කලින් උතුරු ප්‍රදේශයේත් ඒ හා සමානවම සාර්ථකව ලුණු නිෂ්පාදනය සිද්ධ වෙලා  තියෙනවා.

ලංකාවේ ලුණු හිඟ වුණේ ඇයි?

Image by Mike Ljung from Pixabay

මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු ලංකා ලුණු සමාගම කියන්නේ ලුණු හිඟයට ප්‍රධානම බලපෑම එල්ල වුණේ දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය කියලා. ලුණු නිෂ්පාදනය කරන්න අවශ්‍ය වියළි කාලගුණය අඛණ්ඩව තිබිය යුතු කොන්දේසියක් නිසා කඩින් කඩ වැසි ලැබෙන කාලයකදී ලුණු නිෂ්පාදනය කරන්න අසීරුයි. ලංකාවේ ලුණු නිෂ්පාදනය වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන හම්බන්තොට වගේ වියළි ප්‍රදේශවලට මින් පෙරට වඩා වැඩියෙන් වර්ෂාව ලැබෙන රටාවක් ඇති වීමත් එක්ක සාම්ප්‍රදායික ක්‍රමවලට, අඩු පිරිවැයකින් සිදු කරන ලුණු නිෂ්පාදනය අභියෝගයක් වෙලා තියෙන්නේ. 

Image by Ingo Jakubke from Pixabay

ලංකා ලුණු සමාගමේ සභාපතිතුමා ඇඩ්වොකාටා ආයතනය සමඟ කළ සාකච්ඡාවකදි පැහැදිලි කළා ලංකාවේ ලුණු නිෂ්පාදනය අඩාල වෙලා ලුණු හිඟයක් ඇති වුණේ කොහොමද කියන කාරණය. ඒ අනුව මුහුදු වතුර ලුණු බවට පත් කිරීමේ ක්‍රියාවලිය අදියර කිහිපයකින් සමන්විත වෙනවා. සාමාන්‍ය මුහුදු වතුරේ සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රතිශතය 3.5% පමණ අගයයක්. මුහුදු වතුර අදියර කීපයකදී, තටාක කීපයකට පොම්ප කිරීම මගින් ඒ ප්‍රතිශතාත්මක අගය 29%කට වගේ ඉහල නංවා ගැනීම සිදුවෙනවා. ඒ වෙනුවෙන් මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් ගත වීමේ හැකියාව තියෙනවා. අදාළ කාලය ඇතුළත වියලි කාලගුණය සමඟ හොඳින් සුළං පැවතීම වඩාත් හිතකර වෙනවා. ඒ වුණත් මේ 2025 අවුරුද්දේ ජනවාරි ඉඳලා මැයි දක්වා කාලයේදී මිලිමීටර් 600 පමණ වර්ෂාපතනයක් ඇද හැලීම නිසා බාධාවකින් තොරව ලුණු නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් ලැබිලා නෑ. මොකද ස්වභාවික ක්‍රමවලට ලුණු නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවට අනවශ්‍ය ජලය වාෂ්පීකරණය කරලා ලුණු මුදවාගැනීම සඳහා අඛණ්ඩව වියලි කාලගුණයක් තිබීම අනිවාර්ය සාධකයක්. ඒ අනුව දිගින් දිගටම ඇද හැළුණ වර්ෂාව නිසා මේ වෙනතුරු ලුණු නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ලැබිලා නෑ. ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට මුළු රටටම බලපාන විදිහේ ලුණු හිඟයක් ඇති වෙලා.  

මීට කලින් වැස්සෙන් ලුණු නිෂ්පාදනයට බාධා වෙලාම නැද්ද?

Image by congerdesign from Pixabay

ඊළඟට හුඟ දෙනෙක්ට එන ප්‍රශ්නය තමයි මීට කලින් කවදාවත් ලුණු නිෂ්පාදනය කරන පළාත්වලට එක දිගට වැහැලා නැද්ද? ලුණු නිෂ්පාදනයට බාධාවක් වෙලාම නැද්ද කියන එක. ලංකා ලුණු සමාගමේ සභාපතිතුමා වසර ගණනාවක දත්ත සලකලා බලලා ඒ සම්බන්ධයෙන් දක්වපු අදහස අනුව, මේ වතාවෙ තමයි වුරුදු ගණනාවකට පස්සේ හම්බන්තොට ඇතුළුව ලුණු නිෂ්පාදනය කරන බොහොමයක් ප්‍රදේශවලට අඛණ්ඩවම වැසි ලැබිලා ලුණු නිෂ්පාදනය අඩාල වෙලා තියෙන්නේ. ඒ අනුව යල කන්නයේ ලුණු නිෂ්පාදනය කරගැනීම සම්පූර්ණයෙන්ම වගේ අඩාල වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය 2024දිත් තිබිලා. ඒ කියන්නේ 2024දීත් වර්ෂාව නිසා නිෂ්පාදනය කරන්න අපේක්ෂා කරපු මෙට්‍රික් ටොන් 125,000 ලුණු ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න හැකියාවක් ලැබුණේ නෑ. එයින් මෙට්‍රික් ටොන් 40,000 විතරයි නිෂ්පාදනය කරන්න හැකියාව ලැබිලා තිබුණේ. ඒත් 2024දි ඒ තරම් ගැටළුවක් ඇති නොවුණේ 2023 වසරේ ලුණු නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 60,000 පමණ අතිරික්තයක් තිබුණ නිසා. 

2024 සහ 2025 යල කන්නයේ ලුණු නිෂ්පාදනය අඩාල වීම නිසා මේ වසරේ විශාල ලුණු හිඟයක් ඇති වුණා. මේකට කෙටිකාලීන විසඳුමක් විදිහට මෙට්‍රික් ටොන් 30,000 ලුණු ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරලා තියෙනවා. හැබැයි දීර්ඝ කාලීනව ලංකාවේ ලුණු හිඟයක් ඇති නොවෙන්න නම් හොඳ සැලැස්මක් ඇතුව අදාළ කර්මාන්තය පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. 

ශ්‍රී ලංකාවේ ලුණු ආශ්‍රිත ගැටළු

සාමාන්‍යයෙන් ලුණු නිෂ්පාදනයට හිතකර පරිසර තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ තිබුණත්, ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් තියෙනවා. ඒ අනුව අභියෝග කීපයක් තියෙනවා:

  1. නිෂ්පාදන හිඟය: දේශීය නිෂ්පාදනයේ තාවකාලික උච්චාවචන නිසා ඉල්ලුම සහ සැපයුම් අතර නොගැළපීම් ඇති වෙනවා. ඒ වෙනුවෙන් ආනයනය කිරීම සිද්ධ වෙනවා.

  2. දේශගුණික විපර්යාස: මුහුදු මට්ටම ඉහළ යාම, අක්‍රමවත් කාලගුණික රටා සහ වියළි කාලවලදී අනපේක්ෂිත වර්ෂාව නිසා ලුණු නිෂ්පාදනයට දැඩි ලෙස බාධා ඇති වෙනවා.

  3. නවීකරණයක් නොමැතිකම: ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් තවමත් සාම්ප්‍රදායික, ශ්‍රම සූක්ෂම ක්‍රම මත රඳා පවතින නිසා සීමිත තාක්ෂණික දියුණුවක් එක්ක කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය තියෙන්නේ අඩු මට්ටමක.

  4. පාරිසරික ගැටුම්: ලුණු නිෂ්පාදන ප්‍රදේශ පුළුල් කිරීම නිසා සමහර විට තෙත්බිම් සහ ජෛව විවිධත්වයට, විශේෂයෙන් පාරිසරික වශයෙන් සංවේදී කලාපවල බලපෑම් එල්ල වෙන්න පුළුවන්.

  5. ප්‍රතිපත්ති සහ කළමනාකරණ ගැටළු: ප්‍රමාණවත් සැලසුම් නොකිරීම, ලුණු ගොවිපලවල් දුර්වල ලෙස නඩත්තු කිරීම සහ නිලධාරිවාදී බාධක බොහෝ විට පවතින ලුණු නිපදවන යටිතල පහසුකම් ඌන උපයෝජනයට හේතු වී ඇත.


ඉස්සරහට මොකද වෙන්නේ?

Image by David_Loe from Pixabay

ලංකා ලුණු සමාගමේ සභාපතිතුමා වැඩිදුරටත් අදහස් දැක්වුවා මහ කන්නයේදී ලුණු නිෂ්පාදනය සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. එතුමා කියන විදිහට අගෝස්තු මාසයේදී තමයි සමස්ත ලුණු නිෂ්පාදනයෙන් ⅓ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නෙ. ඒකට හේතුව, අගෝස්තු මාසයත් ඇතුළුව මහ කන්නය පුරාවට පවතින හිතකර වියලි කාලගුණික තත්ත්වය. මේ නිසා මහ කන්නයේදී අපේක්ෂා කරන විදිහටම ලුණු නිෂ්පාදනය බාධාවකින් තොරව කරගෙන යන්න ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම මේ වෙනකොට ආනයනය කරලා තියෙන ලුණුත් එක්ක දේශීය ඉල්ලුම සපුරා ගැනීමේ හැකියාවක් තියෙයි කියලා විශ්වාස කරනවා. එතුමා පාර්භෝගිකයන්ට කියන්නේ අනවශ්‍ය කලබලයකින් තොරව තමන්ට ප්‍රමාණවත් ප්‍ර්‍රමාණවලින් ලුණු මිලදී ගන්න කියලා. 

කොහොම වුණත් ලංකාවේ ලුණු හිඟයක් එන බව දැන ගත්තාම ඒ වෙනුවෙන් ලුණු ගෙන්වන්න හැකියාව ලැබුණේ රජයේ ආයතනවලට විතරයි. ඒ වෙලාවේ පුද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමේ ඉඩ සලසන්න තිබුණා. දිගින් දිගටම මෙවැනි ප්‍රමාදයන් සහ හිඟයන් ඇති වුණොත් කළු කඩ, කෝටා වැනි තත්ත්වයන් දකින්න ලැබේවි. ඔන්න ඔහොමයි රට වටේ මුහුද තිබ්බ පලියට ලුණු සුලබව රටේ නැත්තේ. ලංකාවේ කාලගුණික තත්ත්වයේ දිගු කාලීන වෙනසක් වුණොත්, ලුණු කර්මාන්තය ව්‍යාප්ත කළ හැකි විකල්ප ස්ථාන, පවතින ලුණු කර්මාන්ත භූමි ව්‍යාප්ත කිරීම, නව තාක්ෂණික ක්‍රම සහ තරඟකාරීත්වය ඔස්සේ වෙළඳපළවල් පුළුල් කර ගැනීමෙන් රටට ඩොලර් ගේන ක්‍රම ගැන සොයා බලන්න වෙනවා. ඒ වගේම අනාගත අභියෝග හමුවේ, සූර්‍ය තාපයෙන් පමණක් නිෂ්පාදනය කරන ලුණු ඉන් ඔබ්බට ගිහින් නවීන තාක්ෂණික ක්‍රමවලින් නිපදවීම ගැන සොයා බලන්න වෙන්න අවශ්‍ය වෙන්න පුළුවන්.