යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ

දිල්මිණී අබේරත්න විසින්
සංචාරක ගමනාන්තයක් විදිහට ලංකාව කියලා කියන්නේ පාරාදීසයක්. අවුරුද්දෙන් වැඩි කාලයක් පුරාවට තියෙන සෞම්‍ය දේශගුණය, එක් දිනක් තුළ පවා එකිනෙකට වෙනස් දේශගුණ කලාපවලට පිවිසීමේ නැතිනම් සංචාරය කිරීමේ හැකියාව ඇරුණාම, ඓතිහාසික උරුමයන්, පැරණි වාරි තාක්ෂණික අරුමයන් වගේම සුන්දර වෙරළ තීරයන් සහිත දිවයිනක් වීම කියන කාරණා එකට එකක් සම්බන්ධ හේතු මාලාවක් වගේ සංචාරයට සුදුසු ලංකාවක් නිර්මාණය කරනවා.

කාලයක් තිස්සේම ලංකාවට ඩොලර් ගේන ප්‍රධාන මාර්ගයක් විදිහට සංචාරක කර්මාන්තය වැඳගත් කාර්‍යභාරයක් ඉටු කරනවා. හැබැයි පහුගිය කාල වකවානුවේ ලංකාවට මුහුණ දෙන්න සිදු වුණ ආර්ථික අර්බුදය සහ ඉන් පෙර ඇති වුණ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ, සංචාරක කර්මාන්තය නොසෑහෙන පසුබෑමකට ලක් වුණා. ලංකාවේ විදේශ විනිමය ඉපයීම්වලට ඒ අඩුවත් බලපෑවා. ආර්ථික අර්බුදයෙන් පස්සේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් තුළ ඉන්න අතරවාරයේ ලංකාවේ සංචාරක කර්මාන්තය ආයෙමත් හෙමි හෙමින් නැඟිටින්න පටන් අරන්. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් වාර්තාවන් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් වඩාත්ම මෑතකදී ඉදිරිපත් වුණ සංඛ්‍යා දත්තවලට අනුව 2025 මැයි මාසයේදී සමස්ත සංචාරක පැමිණීම් වාර්තා වෙන්නේ 132,919 විදිහට. ඒක 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 18.5% වැඩි වීමක්, 2018 වසරත් එක්ක බලද්දි ඒ අගය  2.7% වැඩි වීමක්.

මාසික සංචාරක පැමිණීම

2025 අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් ගණන 174,608ක්. අපේ රටට  සංචාරකයන් පැමිණෙන කලාප ගැන සලකා බැලුවොත්, 2025 අප්‍රේල් මාසය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් ඇවිත් තියෙන්නේ යුරෝපයයෙන්. ඒ පැමිණීම් 83,730ක් එහෙමත් නැත්නම් මුළු පැමිණීම්වලින් 48%ක් විදිහට. ආසියා සහ පැසිෆික් කලාපයෙන් 78,878ක් ඇචිත් තියෙනවා. ඒ කියන්නේ මුළු සංචාරක පැමිණීම්වලින් 45.2%ක්. ඒ අනුව ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් ඇවිල්ලා තියෙන්නේ මේ කියන යුරෝපා කලාපය සහ ආසියා පැසිෆික් කලාපයෙන්. ඒ වගේම සංචාරකයන් තෝරා ගෙන තියෙන ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් වැඩි පිරිසක් (173,386) ගුවන් මාර්ගයත්, 1222 පිරිසක් මුහුදු මාර්ගයෙනුත් ලංකාවට ඇවිත් තියෙනවා. 

යුරෝපයෙන් පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නේ සෘතුමය සංචාරක රටාවන්, සංස්කෘතික රුචිකත්වයන් සහ හිතකර සංචාරක පැකේජ නිසා කියලා  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ආසියානු කලාපයෙන් පැමිණෙන පිරිස් වැඩි වෙන්න හේතුව රටවල් අතර සමීපත්වය සහ ගමන් කිරීමේ පහසුව බවත් සඳහන් වෙනවා. ඒ ඇරුණාම මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයෙන් එන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු වෙන්නේ සාපේක්ෂව සීමිත සෘජු ගුවන් ගමන් වාර සහ ඉලක්කගත අලෙවිකරණ උපායයන් ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම කියන කාරණා නිසා.

අප්‍රේල් මාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් 10

2024 අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා බලනකොට 2025 අවුරුද්දේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් ආපු රටවල් 10 දිහා බලද්දි සැලකිය යුතු වෙනස්කම් කීපයක් දැක ගන්න පුළුවන්. පසුගිය වසරට සාපේක්ෂව ඉන්දියාවේ සංචාරක පැමිණීම් 27,304 ඉඳලා 38,744 දක්වා 41.9% වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව පෙරමුණේ ඉන්නෙ අසල්වැසි ඉන්දියාව. ඇතැම් පුවත් වාර්තා වෙන විදිහට ඉන්දියානු සංචාරකයින් අතර ලංකාව ප්‍රියතම ගමනාන්තයක් වීමේ හේතු අතරට, භූගෝලීය සමීපතාව, දේශීය ආහාර මිල ගණන් සාධාරණ බව සහ රසවත් බව, සීගිරි බලකොටුව සහ දළදා මාලිගාව යන ප්‍රධාන ආකර්ෂණයන් වෙත පැමිණීමේ කැමැත්ත වැඳගත් කාරණා ලෙස සැලකෙනවා. 

ලැයිස්තුවේ දෙවෙනියට ඉන්න එක්සත් රාජධානිය පසුගිය වසරට සාපේක්ෂව 31.7% සංචාරක වර්ධනයක් පෙන්වනවා. ඒ ඇරුණාම ජර්මනිය, ඕස්ට්‍රේලියාව, බංලාදේශය සහ නෙදර්ලන්තය කියන රටවල්වලිනුත් ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමක් දකින්න පුළුවන්. ඒ අතරිනුත් බංග්ලාදේශයෙන් ලංකාවට පැමිණෙන පිරිස 2024ට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩිවෙලා තියෙනවා ඒ 2,354 ඉඳලා 5,428 විදිහට.

අනිත් අතට රුසියාවෙන් පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය 10.5% අඩුවෙලා. ඒකට හේතුව විදිහට ආර්ථික හෝ භූගෝලීය කාරණා හේතු වන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ ඇරුණහම චීනය සහ ප්‍රංශය කියන රටවල්වලින් එන සංචාරක පිරිසත් අඩුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවෙන් එන සංචාරකයන්ගේ ප්‍රමාණය 24.6% වගේ විශාල අගයකින් අඩුවෙලා. ඒකට හේතුව විදිහට ආර්ථිකමය තත්ත්වයන්, වෙනත් ගමනාන්තයන්වල තියෙන තරගකාරී ස්වභාවය හෝ දීර්ඝ පැය ගණන් සහිත ගුවන් ගමන් වාරවලට ඇති අකමැත්ත වැනි කාරණා වෙන්න පුළුවන්.  

සමස්තයක් විදියට ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනය සිදුවන්නට ඇතැයි සැලකෙන හේතු අතරට වැඩිදියුණු කළ ගුවන් සහ මුහුදු සම්බන්ධතා, සාර්ථක අලෙවි ප්‍රවර්ධන කටයුතු, කලාපීය සමීපතාවය සහ ආර්ථික තත්ත්වයන් වගේ දේවල් සලකා බලන්න හැකියාව තියෙනවා.   

සංචාරයේ අරමුණු

සංචාරකයන් අපේ රටට එන්නේ මොන මොන අරමුණු මතද කියලා දැනගෙන ඉන්න එක සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා ඉතාමත් වැදගත් වෙනවා.  2025 අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම සලකා බලනකොට වැඩිම පිරිසක් (57%) ලංකාවට පැමිණීමේ අරමුණ විදියට සඳහන් කරලා තියෙන්නේ විවේකය ගත කිරීම කියන කාරණය. එයින් පැහැදිලි වන කාරණය තමයි, ලංකාවේ තියෙන ස්වභාවික සුන්දරත්වය, දර්ශනීය වෙරළ තීරයන්, සංස්කෘතික උරුමයන් සහ ස්වභාවධර්මය දායාදයන්, ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ මූලික අඩිතාලම දමනවා.

ඥාතීන් සහ හිත මිතුරන් මුණගැසීම වෙනුවෙන් ලංකාවට පැමිණෙන පිරිස 8.35%  අගයකුත්, රැස්වීම් සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ආදී කටයුතු සඳහා සම්බන්ධ වීමට ලංකාවට පැමිණෙන පිරිස 6.15% අගයකුත් ගන්නවා. 

ඊට අමතරව ව්‍යාපාරික කටයුතු සඳහා ලංකාවට සංචාරය කරන පිරිස 2%, ආයුර්වේද කටයුතු සම්බන්ධ සංචාරක කටයුතු සඳහා 0.6%, ආගමික කටයුතු සඳහා 0.5% ආදී වශයෙන් අනෙකුත් කාරණා සම්බන්ධයෙනුත් කුඩා කුඩා ප්‍රතිශතවලින් සංචාරකයන් ලංකාවට පැමිණෙමින් සිටිනවා. 

සංචාරකයන් ලංකාවේ රැඳී සිටින කාලය

සංචාරක කර්මාන්තයේදී රටකට පැමිණෙනන සංචාරකයන් වැඩි දින ගණනක් රට තුළ රඳවා ගන්න පුළුවන් නම් තමයි ඒ සංචාරයේ වාසිය සත්කාරක රටට ලබා ගන්න පුළුවන් වෙන්නේ. සංචාරකයන් නිසා ලැබෙන විදේශ ඉපයීම් වැඩි වෙන්නෙත් ඒ අනුව. දැනට වැඩි වශයෙන් ලංකාවට සංචාරකයන්  එන රටවල්වලින් වුණත් මෙරට තුළ රැඳී සිටීමේ දින ගණන අඩුයි. 


මේ රූප සටහනින් පේනවා ඉන්දියාවෙන් වැඩි වශයෙන් සංචාරකයන් ආවත්, ඔවුන් ලංකාවේ රැඳී ඉන්න කාලය අඩුයි. ඒත් නෙදර්ලන්තය සහ ස්විස්ටර්ලන්තය වගේ රටවල්වලින් එන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු වුණත්, ඒ අය රට තුළ රැඳෙන කාලය වැඩියි. මේ තත්ත්වයන් දෙකෙන්ම සාර්ථකව ඵල නෙලා ගන්න සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන්ගේ අවධානය යොමු වෙන්න ඕන. 


අනාගත අභියෝග 

ලංකාවට මේ මොහොතේ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන රටවල් සහ කලාප තියෙනවා. නමුත් යුරෝපය සහ ආසියා පැසිෆික් කලාපය මත දැඩි ලෙස රඳා පැවතීම දිගු කාලීනව හිතකර නොවෙන්නත් පුළුවන්. මොකද ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්ම්ක වෙන කර්මාන්ත නිරන්තරයෙන්ම ජාත්‍යන්තර දේශපාලන, ආර්ථික සහ සමාජීය කම්පනයන්ට සංවේදී වෙනවා. මේ නිසා වෙළඳපළ විවිධාංගීකරණය කිරීම මඟින් විශේෂයෙන් ඇමරිකාව, මැදපෙරදිග සහ අප්‍රිකාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන එක කාලීනව ඉතා වැඳගත්. ඊට අමතරව, ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම මගින් සමස්ත සංචාරක පැමිණීම් ස්ථාවර කිරීම, වැඩිදියුණු කළ ගුවන් ගමන් සම්බන්ධතාවය සහ ඉලක්කගත සංචාරක දිරිගැන්වීම් ඔස්සේ සංචාරක නියෝජනය අඩු කලාපවලින් වැඩි වැඩියෙන් සංචාරකයන් ලංකාවට ආකර්ෂණය කර ගන්න අවස්ථාව ලැබෙනවා.

ඇමරිකාව, ප්‍රංශය සහ රුසියාව  වගේ රටවල්වලින් ලංකාවට එන සංචාරකයන්ගේ ප්‍රමාණය සෑහෙන දුරකට අඩුවෙලා තියෙනවා. ඒ වගේ කාරණා සලකා බැලුවහම ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පවතින පහසුකම්වලට වඩා පහසුකම්වල වර්ධනයක්, සංචාරකයන් වැඩි දින ගණනක් රට තුළ රඳවා ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් පවත්වා ගැනීම වැදගත්. විශේෂයෙන්ම වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය නම්‍යශීලී කිරීම, යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගත් විට ගුවන් තොටු‍පොළ සංවර්ධනය සහ නවාතැන් පහසුකම් ගුණාත්මක බවින් යුතුව පවත්වා ගැනීම, ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන දිරි ගැන්වීම සහ ඔවුන්ට තරඟකාරී වෙළඳපළ තත්ත්වයක් නිර්මාණය කිරීම අතිශයින් වැඳගත්. 

ඒ විතරක් නෙවෙයි, ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විවේකය වෙනුවෙන් පැමිණෙන සංචාරකයන්ට විනෝදාස්වාද කටයුතු සඳහා අවස්ථාවන් සුලභ කිරීම සහ  ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයේ ඇති වී තිබෙන නව ප්‍රවණතාවයන් සමඟ සමීප වී නවීන කාලීන අවශ්‍යතාවයන් සපුරන සංචාරක කර්මාන්තයක් පවත්වා ගැනීම ලංකාවේ ආර්ථිකයේ ඉදිරිය වෙනුවෙන් අද දවසේ ගන්නා වැඳගත්ම තීරණයක් වේවි.