මණ්ඩලේ අලුත්ම විස්තරේ 

දිල්මිණී අබේරත්න විසිනි

මෑතකදිත් ලංකා විදුලිබල මණ්ඩලේ අලගිය තැන් මුලගිය තැන් හැම එකක්ම එක්ක අපි ලිපියක් ගෙනාවා. ඒ වුණාට මණ්ඩලේ කතාව යට යන්නෙම නෑ. ආයෙමත් කතාබහ උණුසුම් වෙලා. මේ දවස්වල අලුත්ම තත්ත්වේ තමයි ජයිකා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ලංකාව ගැන තරමක් කනස්සල්ලෙන් ඉන්නේ. ඒකට හේතුව තමයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩල පනත. පසුගිය ආණ්ඩුවෙන් ලංවිම ප්‍රතිව්‍යුහගත කරන්න අලුත් පනතක් ගෙනාවා. ඒ පනතට මේ වෙනකොට සංශෝධන ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ කියන සංශෝධන නිසා  ලංකා විදුලිබල මණ්ඩලය අර්බුදයට ලක් වෙයි කියන බය ඔය කියන ආයතන තුනටම තියෙනවා. 
විදුලි බලය කියන්නේ කාලීනව අත්‍යවශ්‍ය දෙයක්. එයින් තොර කාර්මීකරණයක්, නිෂ්පාදනයක්, ආර්ථික ක්‍රියාකාරීත්වයක් ගැන හිතන්නවත් බෑ. පාරිභෝගිකයන් විදිහට අපිට විදුලි බිලෙන් සහනයක් ඇති වෙන්නේ විදුලිය වෙනුවෙන් වැයවන පිරිවැය සාධාරණ ක්‍රමයකට අපෙන් අය වුණොත් විතරයි. උදාහරණයක් විදිහට පිරිවැය අනුව මිලකරණය කරද්දී, ඒ පිරිවැය ඇතුලට ආයතනික ආකාර්යක්ෂමතා ඇතුළත් වෙනවා නම්, ඒ අනවශ්‍ය පිරිවැයේ බරත් දරන්න වෙන්නේ පාරිභෝගික අපටම තමයි.

පවතින විදුලි මිල 

පිරිවැය ආවරණය වෙන විදිහට මිල අය කළත්, ලංකාවේ තියෙන අසාධාරණ ක්‍රමයක් තමයි එකම පිරිවැයකට නිපදවන විදුලි ඒකකයක් වෙනුවෙන් පාරිභෝගිකයන් දෙදෙනෙක් ගෙවන ගාණ වෙනස්. මේ නිසා අඩු පිරිවැයක් දරන්න වෙන විදුලි පාරිභෝගිකයා වැඩියෙන් පරිභෝජනය කරන්න පෙළඹෙනවා. වැඩි පරිභෝජනයක් කරන කෙනාට වැඩි වියදමක් දරන්න වෙනවා. මෙතන තියෙන ගැටළුව වෙන්නේ, බොහෝ දුරට සූර්‍ය බලශක්තිය වගේ විකල්පයකට යන්න පුළුවන්කම තියෙන්නේ යම්කිසි උසස් ආර්ථික මට්ටමක ඉන්න කෙනෙක්ට විතරයි. එහෙම නැතුව හැමෝටම සූර්ය බලයෙන් විදුලිය නිපදවා ගැනීමේ හැකියාවක් නෑ. සාමාන්‍යයෙන් ලංකාවේ ඒකක 0 - 30 දක්වා පරිභෝජනය කරන අයට අයවෙන්නේ අඩු මිලක්. එතනින් එහාට වැඩිවන ඒකක සඳහා වැඩි වියදමක් දරන්න වෙනවා. අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන්න පෙලඹෙන්නේ සූර්ය බල ශක්තිය වගේ එකක් බලශක්ති පරිභෝජනය කරන පිරිසට තමයි. එතැනදී සාමාන්‍ය ජනතාවට ඇතිවන විදුලි බිලේ පීඩනය කිසිසේත්ම අඩුවෙන්නෙ නෑ. ඒ නිසා ජීවන වියදම් අඩුකිරීමට හැකියාවක් ලැබෙන්නෙත් නෑ. සුළු පරිමාණ කර්මාන්තවල තත්ත්වයත් මේකමයි.   

යල් පැන ගිය ක්‍රම

ඒවගේම ලංකාවේ ස්මාර්ට් මීටර්ස් වගේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා වැඩිපුර විදුලි පරිභෝජනයක් තියෙන වෙලාවට, වැඩිපුර විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ කවුද? වැඩි පරිභෝජනයක් නැති සාමාන්‍ය පැය ගණන්වලදී වැඩි වශයෙන් විදුලිය පරිභෝජනය කරන්නේ කවුද? කියන එක හරියටම හොයාගන්න පුළුවන්කමක් නෑ. එහෙම පුළුවන්කමක් තිබුණා නම්, ඉල්ලුම වැඩි අවස්ථාවලදී වැඩි වශයෙන් පරිපෝජනය කරන අයගෙන් ඉහළ මිලක් අයකර ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ තත්ත්වයක් ක්‍රියාත්මක වුණා නම් පරිභෝජනය කරන පිරිසත්, කාර්යක්ෂම විදිහට පරිභෝජනය කරන්නත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නත් පෙළඹෙනවා. අවාසනාවකට එහෙම තත්ත්වයක් ලංකාවෙ නෑ. ඔය නිසා සාමාන්‍යයෙන් වැඩි විදුලිබල ඉල්ලුමක් තියෙන රාත්‍රී කාලයේදී වගේ ලංකාවේ විදුලි බල උත්පාදනය වෙනුවෙන් වැඩි වශයෙන් පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ තියෙන අධික ඉල්ලුම සමනය කරන්න නම් ගල් අඟුරු වගේ පිරිවැය සහිත බලශක්ති උත්පාදන ක්‍රමවලට යොමුවෙන්න සිද්ධ වෙනවා. ඔය වගේ තත්ත්වයක් උඩ පහුගිය දවස්වල හරි අපූරු වැඩසටහනක් ආරම්භ වුණා. 

අතේ ඇති ගාණට තිරසාර බලශක්තිය 

2025 ජුනි 20 වෙනිදා ලෝක බැංකු සමූහය ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්තිය නඟා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 150ක නව වැඩසටහනක් අනුමත කළා. මේ වැඩසටහනේ අරමුණ, මිල අධික පොසිල ඉන්ධන ආනයන මත යැපීම අඩු කිරීම සහ සූර්ය හා සුළං බලශක්ති වෙත විතැන්වීම මඟින් රටේ ආර්ථිකයට තල්ලුවක් දෙන එක.

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහත්මයා කියන විදිහට මේ වැඩසටහන ඔස්සේ  ශ්‍රී ලංකාව පුරා සිටින පවුල් සහ ව්‍යාපාර සඳහා දැරිය හැකි මිලකට බලශක්තිය සම්පාදනය කිරීමටත් ඒ වෙනුවෙන් යන ගමනේදී රජය සහ පෞද්ගලික අංශය සමඟ එකට එකතු වෙලා වැඩ කරන්නත් බලාපොරොත්තු වෙනවා. 

ඒ විතරක් නෙවෙයි. නව සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා සහාය ලබා දෙනවා. එමඟින් තිරසාර බලශක්ති ප්‍රභවයන්ගෙන් ගිගාවොට් 1ක විදුලිය ජාලයට එක් කරනවා. 2030 වෙද්දි ශ්‍රී ලංකාව  පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් 70%ක් විදුලිය ජනනය කිරීමේ ඉලක්කයට සමීප වෙන්න හැකියාව ලැබෙන්නේ එහෙමයි. මේ වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන සෙසු ක්‍රියාවලි විදිහට, ඩොලර් මිලියන 800කට වඩා වැඩි පෞද්ගලික ආයෝජන රැස් කිරීම සහ එමඟින් විදුලි පිරිවැය අඩු කිරීමටත්, බලශක්ති සැපයුම සම්බන්ධයෙන් පවුල් සහ ව්‍යාපාර සඳහා විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

"ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්තිය කියන්නේ පිරිසිදු බලශක්තිය පුළුල් කිරීමට, බලශක්ති ප්‍රවේශය වැඩිදියුණු කිරීමට සහ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම වෙනුවෙන් ලැබෙන අවස්ථාවක්," ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දකුණු ආසියාව සඳහා කලාපීය අධ්‍යක්ෂ ඉමාඩ් එන් ෆකෞරිගේ අදහස ඒකයි. ඔහු තවදුරටත් අදහස් දක්වලා තියෙනවා, මේ වැඩේට  රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙන්ම සමීප සහයෝගීතාවයක් සහ ආයෝජන අවශ්‍ය බව. ඒ ඇරුණාම, පෞද්ගලික ආයෝජන ඔස්සේ තිරසාර බලශක්ති සම්පාදනය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ එහි ජනතාව සඳහා අවස්ථා පුළුල් කරන රැකියා නිර්මාණය කිරීම මේ වැඩසටහනින් කරන්න බලාපොරොත්තු වෙන අනෙකුත් කාරණා යටතට වැටෙනවා. 

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ විදුලිබල ජාලය වැඩිදියුණු කිරීමට සහාය වෙනවා වගේම පුනර්ජනනීය බලශක්තිය වඩා හොඳින් හැසිරවීමට සහ විදුලිබල ඇනහිටීම් අඩු කිරීමට සහය වෙනවා. මේ  නවීකරණය නිසා විදුලි මිල ස්ථාවර කිරීමටත් රට පුරා නිවාස සහ ව්‍යාපාර සඳහා බලශක්ති ප්‍රවේශය වැඩි දියුණු කිරීමටත් උපකාරී වෙනවා.

ඊට අමතරව, මෙම මුලපිරීම සැලසුම් කිරීම, ප්‍රසම්පාදනය සහ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට තාක්ෂණික සහාය ලබා දෙමින් තරඟකාරිත්වය, උපයෝගිතා කළමනාකරණය සහ නියාමන අධීක්ෂණය වැඩිදියුණු කිරීමත් රජය විසින් මෙහෙයවනු ලබන ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමත් සිදු වෙනවා.

ඉතින් අපි කාටවත් මෑතකදී ඇතිවුණු ආර්ථික අර්බුදය අමතක වෙන්න තරම් කාලයක් ගත වුණේ නෑ. එතනදි විශේෂයෙන්ම මහජනතාවගේ කැළඹිලි ස්වභාවය වැඩි වෙන්න හේතු වුණේ බලශක්තිය අර්බුදය. වාහනවලට පෙට්‍රල්, ඩීසල් නෑ. ගෘහස්ථ සහ කර්මාන්තශාලාවලට අවශ්‍ය බලශක්තිය නෑ. මේ හැම දෙයකම සැපයුම අඩාල වුණා. ඒනිසා ජන ජීවිතය අකාර්යක්ෂම වෙලා අවසානයේ මුලු ආර්ථිකයම කඩාගෙන වැටුණා. ඒ වගේ අතීතයක් තියෙද්දි ලංකාව විදුලිබල මණ්ඩලය අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායක් විදිහට ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවශ්‍යයි කියන කාරණය මතුවුණා. ඒක කාලීනව ඉතාමත් වැදගත්. මොකද ලංකාවේ ආර්ථිකයේ හැම අස්සක් මුල්ලක් නෑරම බලශක්තිය කියන කාරණය වැදගත් භූමිකාවක් රඟපානවා. විදුලිබලය වෙනුවෙන් දරන්න සිද්ධ වෙන පිරිවැය වැඩිවෙන එක රුපියලක් රුපියලක් ගානේ ජන ජීවිතයට අදාළ බොහෝමයක් දේවල් මිල අධික වෙනවා. ඒකයි ජාත්‍යන්තර ආයතන පවා මැදිහත් වෙලා ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය  ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නැගී සිටින්නේ. හැබැයි මේ වෙනකොට ලංකා විදුලිබල මණ්ඩලේ තියෙන්නේ ඒකාධිකාරයක් මණ්ඩලය ගාන වැඩි කළා කියලා අපිට ඔයාලගෙන් ලයිට් එපා කියලා වෙනත් විකල්පයකට යන්න විදිහක් නෑ. මේ නිසා තමයි ළංවීම පනතට සංශෝධන ගෙනාවේ.

ඉස්සරහට මොකද වෙන්නේ?

සංශෝධන ඔස්සේ විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම කියන කාරණා සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වුණේ. ඒ ඔස්සේ පෞද්ගලික අංශයටත් මේ කර්මාන්තය තුළට පිවිසීමේ ඉඩකඩ සැලසීම  බලාපොරොත්තු වුණා. හැබැයි අලුත්ම තත්තවය යටතේ තවදුරටත් ඒ වගේ නව ආයෝජන, තාක්ෂණය සහ තරඟකාරීත්වය වැඩි කරන දේවල්වලට ඉඩක් නොලැබී යනවා නම් අපිට රෑ වැටුණු වලේම දවල් වැටෙන්න සිද්ධ වෙනවා. මේ නිසා තමයි අපි අර කලින් කියපු ආයතන තුනම ලංකාව සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වෙලා ඉන්නේ.‍ අපි හැමදාමත් කියනවා වගේ රජයක් වෙළඳාම් කටයුතුවලට එහෙම නැත්නම් ආර්ථික කටයුතුවලට මැදිහත් වෙනකොට ආර්ථිකයක් සංකෝචනය වෙනවා. ආර්ථිකයක් වර්ධනය වෙන්න නම් නිදහස තියෙන්න ඕන. අපිට ගොඩ යන්න අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවක, ඒ වෙනුවෙන් උදව් කරන්නත් පිරිස් ඉදිරිපත් වෙලා ඉන්න වෙලාවක, ඒ කිසිම දේකින් ප්‍රයෝජනයක් නොගෙන හිටියොත් රටක් විදිහට ආපස්සට යාම වැඩි ඈතක නම් නෙවෙයි. විදුලිබල මණ්ඩලේ කතාව සම්බන්ධයෙන් ඇඩ්වොකාටා අපේ යෝජනා කීපයක් එක්ක මේ සටහන ඉවර කරනවා. 

  • පිරිවැය පිළිබිඹු කරන මිලකරණය 

  • විවිධ අංශවලට ලබාදෙන සහනාධාර (මිල අඩු කිරීම් ) ඉවත් කිරීම 

  • පැහැදිලි විනිවිදභාවයෙන් යුතු නියාමනය 

  • ⁠භාවිත කරන වෙලාව අනුව ගාස්තු නියම කිරීම 

  • ⁠සූර්ය බලශක්ති ප්‍රවර්ධනය හා Net Metering සදහා ප්‍රතිසංස්කරන හදුන්වාදීම

  • ⁠අඩු ආදායම්ලාභීන් සදහා සහනාධාරයක් ලෙස ජීවනෝපාය ගාස්තු (Lifeline Tariff) හදුන්වා දීම 

  • ⁠විදුලි මිලදී ගැනීම්වලදී ක්ෂණික වෙළෙඳපොළ මිලකරණය වෙත යොම්මුවීම 

  • ⁠වඩා වැඩි ඵලදායීතාවයක් සදහා දුරස්ථව වැඩ කිරීම (Remote Work) ප්‍රචලිත කිරීම