Rupee

රුපියල් අච්චු ගහද්දි ඩොලර් සංචිත අඩුවෙන්නෙ කොහොමද?

අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය.

ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ නැතිනම් මේ ආකාරයෙන් රුපියල බාල්දු නොවන බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි. විදේශයක සිටින මා මිතුරෙක් මැතකදී විමසා සිටියේ “ඩොලර් නම් අතේ තියෙනව. ඒවා දැන්ම රුපියල් කරන්නද? නැත්නම් තව කාලයක් ගිහිල්ල රුපියල්වලට හරවන්නද යනුවෙනි.

ආනයන තහනම ඉවත් කළොත් රටේ මේ තියෙන ගැටලු තවත් උග්‍රවන බව තමයි තව පිරිසකගේ අදහස. ඒ වගේම රුපියල දිනෙන් දින කඩාවැටීම හමුවේ අපේ ආර්ථිකය කඩා වැටෙනවා නේද? තවත් පිරිසක්  ප්‍රශ්න කරති. යම් යම් පුද්ගලයන් තමන් සිටින, තමාට වැටෙහන තත්ත්වය අනුව පවතින අර්බුද විවිධාකාරයෙන් විග්‍රහ කරමින් සිටිති.

මෙහිදී අප පළමුව තේරුම් ගත යුත්තක් ඇත. එනම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යනු රටක ආර්ථිකය හොඳට දුවනවද නරකට දුවනවද යැයි පරීක්ෂා කර බලන මීටරය වැනි දෙයක් නොවන බවයි. එහි අරුත “ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට භය වෙන්න කිසිම හේතුවක් නෑ” යන්න නම් නොවේ. ‍විවිධ හේතු නිසා එක් එක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය විය හැකිය. උදාහරණයක් ලෙසින් ඇමරිකාව වැනි දියුණු රටක පොලිය වැඩි කිරීම/අඩු කිරීම වැනි දේ බලපා හැකිය. නමුත් මේ රුපියල වැටෙන්නෙ අපේ මූල්‍ය පද්ධතියෙ ඇති රුපියල් ප්‍රමාණය වැඩි කිරීම නිසාය. මුදල් අච්චු ගැසූ හැම මොහොතකම රුපියල කඩා වැටුණි.

2015 වසරේදී උද්ධමනය අඩුයි යැයි පවසමින් මුදල් අච්චු ගැසීය. එහි ප්‍රතිඵලය වූයේ 131 ට තිබූ රුපියල 151 දක්වා අවප්‍රමාණය වීමයි. 2018දිත් එම ක්‍රමයම අනුගමනය කෙරුණි. එහිදී රුපියල 181ට ඉහළ ගියේය. මේ මොහොතේ ඩොලරය රුපියල් 200 සීමාවේ තබාගෙන සිටිනුයේ කෘතිමවය. මීට පෙරද සල්ලි අච්චු ගැසීය. එවිට රුපියල කඩා වැටෙද්දි සංචිතවලින් ඩොලර් වෙළඳ පොළට මුදාහැර, ණය වී ලබාගත් ඩොලර් සංචිතවලට මුදා හැරියේය. ඒ මුදල් නැවත රුපියල අවප්‍රමාණය වීම නැවැත්වීමට යෙදවීය. සල්ලි අච්චු ගැහීම මේ මොහොතේ වඩා භයානක වනුයේ ණය ගෙවීමට ඇති සංචිත සල්ලි අච්චු ගැසීමෙදී එන්න එන්නම අඩු වන නිසාය. සල්ලි අච්චු ගැහුවාම කොහොමද සංචිත අඩුවන්නේ යන ප්‍රශ්නය දැන් ඔබට පැන නැගෙනු ඇත. ඊට පිළිතුර නම් ආනයන වැඩි වෙන නිසා. එසේ නම් මුදල් අච්චු ගැසීම සහ ආනයන අතර ඇති සම්බන්ධය කුමක්ද? අප අච්චු ගසන්නේ රුපියල්ය. එහෙත් භාණ්ඩ ගෙන්වීමේදී ගෙවන්නේ ඩෙලර්වලිනි. එය සිදුවනුයේ මෙලෙසිනි.

සල්ලි අච්චු ගැසූ විට බැංකුවලට ණයට දීමට මූල්‍ය පද්ධතිය තුළ ඕනෑ තරම් මුදල් ඇත. සල්ලි අච්චු ගැහුවෙ නැතිතම් බැංකුවලට ණයට දෙන්න ඇත්තේ තැන්පත්කරුවන්ගේ මුදල්ය. තැන්පත්කරුවන්ගෙන් මුදල් වැඩිපුර තැන්පත් කර ගැනීමට නම් වැඩි පොලියක් ගෙවිය යුතුය. ඉන් අදහස් වූයේ මිනිස්සු වියදම් නොකර මුදල් ඉතුරු කළ යුතුය. නමුත් එවිට ආර්ථික වර්ධනය සිදුවනුයේ සෙමිනි. මන්ද මුදල් ඉතුරු කරනවා යනු නව ඉදිකිරීම් අඩුය, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම් අඩුය. එමගින් ආර්ථිකය හිරවේ. එවිට බැංකුවලට ණයට දීමට ඇති මුදල් අඩුය. ඒත් දැන් සිදුකරනුයේ මහ බැංකුව සල්ලි අච්චු ගැසීමය. එවිට බැංකුවලට මහ බැංකුවෙන් මුදල් ඉක්මනින් ගෙන ආයෙත් සාමාන්‍ය මිනිස්සුන්ට ණයට දිය හැකි. එවිට වැඩිපුර ණය දෙනවා යනු ආර්ථික ගමන වේගවත් වීමකි. Credit හොඳට යනවා යැයි පවසන්නේ එයටය. නමුත් එහිදී ආනයන වැඩි වේ. කවුරුන් හෝ බැංකුවෙන් ණයක් ‍ගෙන බිල්ඩිම් ඉදිකළහොත් රුපියල්වලින් ගෙවීම් කළද ඒ සඳහා භාවිත වන යකඩ ගෙන්වන්නේ ආනයනය කරය. සිමෙන්ති ආනයනය කර, වීදුරු ආනයනය කර. බිල්ඩිම හදන කෙනා රුපියල්වලින් ගෙවීම් සිදුකළද අන්තිමේදී වැයවන්නේ ඩොලර්වලිනි. ආනයන කෙතරම් තහනම් කළද පළක් නොවන බව සහ එය රුපියල අවප්‍රමාණය වීමට බලපෑමක් නැතැයි මා නිරන්තරයෙන් පවසන්නේ එනිසාය. ඊට වඩා ගැළපෙන්නේ ආනයන තහනම ඉවත් කර, පද්ධතියේ ඇති රුපියල් ප්‍රමාණය අඩු කිරීම. එවිට ඉබේම ආනයන අඩු වේ. ආනයනවලට ඇති ඉල්ලුම අඩු වේ. ඩොලර් පද්ධතිය වැය නොවේ. එය ඉතිරි වේ. නිෂ්පාදනය වැඩි කිරීම සහ කාර්යක්ෂම බව තුළින් අපේ ආර්ථිකය වර්ධනය කළ හැකිය.

මුදල් වැඩිපුර අච්චු ගහපු ගමන් ආනයන වැඩි වෙනව කියල බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ආනයන කෙතරම් තහනම් කළද ආනයනය කළ හැකි දේට මිනිසුන් යොමු වේ. උදාහරණයක් ලෙසින් ගතහොත් බැංකුවෙන් ණයක් ගෙන වාහනයක් මිලදී ගැනීමට සිටි පුද්ගලයෙක් දැන් වාහන ගෙන්වන්න බැරි නිසාත්, නිවාස ණය පොලිය අඩු නිසා ගෙයක් හැදීමට උත්සාහ කරයි. නැතිනම් පරණ වාහනයක් මිලදී ගනියි. එවිට පැරණි වාහනය විකුණූ පුද්ගලයා පරිගණකයක් මිලදී ගන්නා යැයි තීරණය කළහොත් ඒත් අන්තිමට වියදම යන්නෙ ඩොලර්වලින්මයි. එහෙම නම් අපේ රටේ සන්නාම සහිත භාණ්ඩ පරිභෝජනය කළාම ඩොලර් ඉතිරි වේ යැයි යමෙක් තර්ක කළ හැකිය. එහෙත් නවීන නිෂ්පාදන බිහිවනුයේ රටවල් ගණනාවක අමුද්‍රව්‍ය එකතු වීය. උදාහරණයකට ශ්‍රී ලාංකික සන්නාමයක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගනිමු. අපි විදෙස් සංචාරයන් යෑමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් භාවිත කළද, ඒ වෙනුවෙන් අපි ගෙවන්නා වූ මුදල් ලෝකෙ වටේටම සැරිසරයි. එකී ගුවන්යානයට ගහන තෙල් අපේ නොවේ. ගුවන්යානය නිර්මාණය කළ යකඩ අපේ නොවේ. මේ ආකාරයෙන් අපේ නොවන ගැන දිගු ලැයිස්තුවක් විය හැකිය. එනිසාය අපේ ආර්ථිකය අනෙකුත් ආර්ථික හා සම්බන් කිරීම වැදගත් වනුයේ. එවිට විදෙස් රටක අයෙක් මුදල් වියදම් කළද‍ ඉන් කොටසක් අපේ රටටද ගලා ඒ.

ශ්‍රී ලන්කන් සමාගමේ ගුවන්යානයක් පාවිච්චි කළා මෙන් මුළු ආර්ථිකයකම මිනිස්සු වැඩි වැඩියෙන් වියදම් කරද්දි ආනයන වැඩි වේ. එසේ නැති වුණොත් බඩුවල මිල අධික ලෙස ඉහළ යයි. අනෙක් පසින් සල්ලි අච්චු ගැසීමේදී බඩුවල ඉල්ලුම වැඩි වීම නිසා ඩොලර්වලට ඇති ඉල්ලුමද වැඩි වේ. එවිට රුපියල අවප්‍රමාණ වේ. එවැනි මෙහොතක මහ බැංකුව සංචිතවල ඇති ඩොලර් විකුණා ඩොලර් රැක ගැනීමට උත්සාහ ගනියි. ඉදින් සංචිත අඩු වේ.

සංචිත අඩු වෙද්දී මහ බැංකුව නැවත වෙළෙඳ පොළෙන් ඩොලර් මිලදී ගනී. ඒ සංචිත නැවත ගොඩනැගීම වෙනුවෙනි. එවිට නැවත වරක් ඩොලර් අඩු වේ. ආයෙත් රුපියල අවප්‍රාමාණය වේ. අපි මේ දවස්වල අපේ ණය ගෙවන්නෙ අපේ සංචිතවලිනි. ඊට හේතුව නම් ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපේ ණය ශ්‍රේණිය පහත දමා ඇත. එනිසා වෙළෙඳ පොළෙන් නැවත ණය ගැනීම අසීරුය. මිත්‍ර රාජ්‍යයක් අපිට ඩොලර් දුන්නොත් හැරෙන්න ඩොලර් සංචිත ගොඩගැනීම පවතින තත්ත්වය තුළ ඉතා අසීරුය. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්  ස්වොප් ගිවිසුම් Swap agreement) මගින්  අපේ භාෂාවෙන් කියනවා නම් යාළුකමට අත මාරුවට දෙන මුදල්ය. ආනයන මෙතරම් තහනම් කළද, ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වුණත් රුපියල අවප්‍රමාණය වෙන්නෙ ඇයි, අපේ සංචිත අඩු වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය අපි අපෙන්ම අසාගත යුත්තකි. එලෙස ස්වයං ප්‍රශ්න නැගීමකින් පමණි මෙහි ඇති ගැටලුව වටහාගත හැකි වනුයේ.

අප මේ පිළිබඳ කෙතරම් පැහැදිලි කළ ද මේ දේ මහ බැංකු නිලධාරින් දන්නේ නැත්දැයි බොහෝ දෙනා අසති. ඒ ප්‍රශ්න නැගීම නිවැරදිය. ඒ අපි බෞද්ධ වුවද, ධර්මයේ ඇති කරුණු දැනගත්තද නිවන් දකින්නෙ නැත. ධර්මය දැනීමයි ධර්මය අනුගමනය කිරීම සහ ධර්මය ප්‍රගුණ කිරීම යනු එකිනෙකට පරස්පර කරුණු තුනකි. එලෙසින්ම මේ ආර්ථික ගැටලුවේදී කරුණු දැනගත් පමණින් ක්‍රියාත්මක නොවේ. එහෙත් මෙරට ජනයා බලා සිටිනුයේ නිවැරදි ප්‍රතිපත්ති භාවිත කර අපේ මුදල්වල වටිනාකම ඉතිරි කර දෙන දිනයක් උදාවන තුරුය.

2021 දෙසැම්බර් 17 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න... කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න

ධනවත් මනසක් නැති අපට ධනයෙන් පොහොසත් විය නොහැක

මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්‍රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්‍රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ... මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල් න්‍යායත් එක්ක... ඒ නිසා මුදල් අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ, චීනය අපිට වැටෙන්න දෙන්නේ නෑ වැනි අදහස්ය.

අප විසින් නිර්මාණය කරගත් ආර්ථික අර්බුදවලින් අප ගලවා ගැනීමට අපට මිතුරු වෙනත් විදෙස් රාජ්‍යයන් අපට පිහිටුවේ යැයි සිතීම නොකළ යුත්තකි. හදිසි ස්වභාවික විපතකදී හෝ වෙනත් හදිසි තත්ත්වයකදී එලෙස උපකාර කළද, අපිම කාලක් තිස්සේ නිර්මාණය කරගත් අර්බුදවලින් ගොඩඒමට ඔවුනගේ පිහිට පැතීමද එකී රටවල්වල මිත්‍රත්වයටත් කරන අගෞරවයකි.

මේ තීරු ලිපියෙන් වතාවන් ගණනාවකදීම සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ණය පිළිබඳ සහ ඒ හා බැඳුණු ආර්ථික ප්‍රතිසංස්කරණ නොකිරීමේ ගැටලු මාලාවක් මිස වෙනෙකක් නොවේ. අපි අද ණය පිළිබඳව සාකච්ඡාව නැවත ආවර්ජනය කරන්නේ දැන් ආර්ථික අර්බුදය තීව්‍ර වනවාත් සමගම ණය අර්බුදය දෙස නැවත බැලීම වැදගත් නිසායි. ඇල්බර්ට් අයින්ස්ටයින්ට (Albert Einstein) අනුව "මේ ලෝකෙ 8 වැනි පුදුමය නම් වැල් පොලියයි (Compound Interest). වැල් පොලිය තේරුම් ගත් කෙනා හම්බ කරන අතර තේරුම් නොගත් කෙනා ගෙවන බව අයින්ටයින් පැවසීය. දැන් ලංකාව ඉන්නේ ගෙවන පැත්තේය.

චීනය ගැන දැනගන්න ජපානය පහුකරගෙන යන්න ඕන

1. ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio) 240%කි. එසේ නම් ලංකාව 90% - 100% ක් වීම නිසා ඇතිවෙන ගැටලුව මොකකද?  එය මෙලෙස විග්‍රහ කර ගනිමු. ජපානයේ ණයවලින් විශාල ප්‍රමාණයක් ඇත්තේ ඔවුන්ගේ රටේ මුදල් ඒකක වන ජපන් යෙන්වලිනි (Japaneese yen). තවත් සරලව පවසනවා නම් ජපානයේ වැඩිපුර ණය ඇත්තේ දේශීය ණය ලෙසිනි. (ඒ රටේ මිනිස්සුන්ටම තමයි ණය) එනිසා ණය පියවීමට සඳහා ඕනෑම මොහොතක මුදල් අච්චු ගසා හෝ ණය ගෙවා ගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. ඒත් ලංකාවේ ණය විශාල වශයෙන් තිබෙන්නේ ඇමරිකානු ඩොලර්වලිනි (සහ වෙනත් මුදල් ඒකකවලින්). එකී මුදල් ඒකක අපිට අච්චු ගැසිය නොහැක.

අප අවධානය යොමුවිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio)  නොවේ. අවධානය යොමුකළ යුත්තේ අවුරුද්දකට අපට ගෙවීමට ඇති පොලිය අපේ ආදායම මෙන් කොපමණද යන්නය. ජපානයේ ආදායමෙන් ඔවුන් ගත් ණයවල පොලිය වශයෙන් වසරකට ගෙවීමට ඇත්තේ 1%කට ආසන්න ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ ණයවලට පොලිය ලෙසින් අප අපේ ආදායමෙන් 47%ක් ගෙවිය යුතු වේ. සරලවම පවසනවා නම් මෙරට පුරවැසියකුගේ ආදායම රු100 නම්, රු. 47ක් වැයවන්නේ වාහනේ ලීසිං වාරිකයේ පොලිය ගෙවීමටය (ණය මුදලින් රුපියලක්වත් අඩු වෙන්නෙ නැතිව). වාහනයේ ලීසිං වාරිකයේ පොලිය සහ ණය මුදලේ කොටසක් ගෙවීමට පමණක් රු. 106ක් අවශ්‍යය. (ආදායම රු.100ක් වුණාට) ජපාන පුරවැසියෙක් තම මෝටර් රථයේ ලීසිං වාරික‍යේ පොලිය ලෙසින් ගෙවිය යුතු වන්නේ ඔහුගේ ආදායමෙන් රු. 1ට ආසන්න ගණනකි. එනිසා ජපනා කාලයත් සමග ණය ගෙවීමේදී ඔවුන්ගෙන් ණය අඩු වේ. එනිසා අලුතෙන් ණයගත හැකිය. එහෙත් ලංකාවේ අප ණයවල පොලිය ගෙවනුයේද නැවත පොලියට ණය අරගෙනය. එවිට පොලිය අඩු නොවේ. ණය අඩු නොවේ. ජපානය සහ ලංකාවයි සංසන්දනය කළ නොහැක්කේ එබැවිනි. ලෝකයේ මුදල් ඒකක ස්ථාවර

ඇතැම් සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP ratio) එක 100%ට වැඩිය. අනික් හේතුව නම් ජපාන රජයේ බදු ආදායම ඔවුන්ගේ සම්පූර්ණ නිෂ්පාදනයෙන් (GDP) 40%ට වැඩිය. ලංකාවේ බදු ආදායම අපේ නිෂ්පාදනයෙන් (GDP) 12%කට ආසන්නය.

ඉතින් ණය ගෙවා, රැකියා විරහිත වූ උපාධිධාරීන්ට රැකියා දී, පාඩු ලබන සියලු රාජ්‍ය ආයතනවලට පඩි ගෙවා, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා, සමෘද්ධිය ලබාදී, ඇමැතිතුමන්ලාට වාහන අරගත්තාට පසු ණය ගෙවීම සම්බන්ධ කරුණ අත්හැරියද ඉහත වියදම් සඳහා අපේ ආදායම මදිය. අනික් පැත්තෙන් පොලියයි ණයයි පමණක් ගෙවීමටද අපේ ආදායම මදිය. එවැනි තත්ත්වයකදී ජපානය සමග සංසන්දනය කර ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයට ණය ගැන හිතලා මානසික ආතතිය යම් තරමකට හෝ අඩුකර හිත සනසාගත හැකිය. එහෙත් යථාර්ථය ඊට බොහෝ ඈතය.

දැන් නිර්මාණය වී ඇති තත්ත්වය නම්, අපිට ණය ගෙවාගත හැකිවේදැයි යන චකිතය නිසා ලෝක මූල්‍ය වෙළෙඳපොළෙන් (International Financial Markets) ණය ගනිද්දී අවදානම වැඩි නිසා, ලෝකයේ අනිත් රටවල්වලට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුව තිබේ. අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළ ණය ගෙවීමේ අවදානම අනුව වැඩිම අවදානම් පොලියක් (Risk Premium) ගෙවීමට ඇති රාජ්‍යයන් වන ආජන්ටිනාව සහ සැම්බියාව අතරට අපද එකතුවී ඇත.

පසුගිය වසරේ ලංකාවට ණය ලබා ගැනීම සඳහා දේශීය වශයෙන් නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) වලින් 90%කට බලාපොරොත්තු වුණු ඉල්ලුමක් නොලැබුණි (Under subscribe). එමෙන්ම ද්විතීක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවේ (සමහර බැඳුම්කරවල: කල්පිරෙන වර්ෂය අනුව මිල වෙනස් වේ) ඩොලර් එකක ස්වෛරී බැඳුම්කර අලෙවි වන්නේ ඩොලර් සත 70ට වැනි ආසන්නම මුදලකටය. ඒ නිසාය මේ ණය අර්බුදය අප නැවත සිහි කැඳවිය යුත්තේ.

2. චීනය අපිව බේරා ගනීවිද?

මුදල් අමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව චීනය ශ්‍රී ලංකාව බේරා ගනීවි යැයි සිතූ බොහෝ දෙනා විමතියට පත්වී ඇති බවක් පෙනුණි. ඇතැමුන් සිතා සිටිනුයේ අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළවල් යනු බටහිර රටවල් ඇතුළු මහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව. මූල්‍ය වෙළෙඳපොළවල් යනු මුදල් ඇති ලෝකයේ ඕනම රටක කෙනෙක් හා ගනුදෙනු කළ හැකි වෙළෙඳපොළකි. එහි සෑම රටකම මිනිස්සු සහ ආයතන තිබේ. මීට වසරකට පමණ පෙර නිකුත්වුණ Morgan Stanley ආයතනයේ වාර්තාවක අනුවත් සනාථ ක‍ළේ අප චීනයට සමස්තයක් ලෙසින් ණය 10% ක් පමණ බවයි. (ද්විපාර්ශ්වික ණය + චීන රජයට අයිති සංවර්ධන බැංකුවලට + ඇතුළු සියලු ණය. නමුත් ඊට අමතරව සමහර ව්‍යාපෘති ණය සහ රජයට අයිති ව්‍යාපාර හරහා ලබා ගත් ණයත් තිබෙනවා)

දැන් ප්‍රශ්නය නම් චීනය සල්ලි දීලා අපේ ණය ගෙවයිද යන්නයි. මෙරට බොහෝ දෙනා කැමැති වනුයේද චීනය එසේ කරනවා නම්ය. පවතින තත්ත්වය අනුව එය ඉතාමත්ම පහසුය. ඒත් මා දකින ආකාරයට නම් චීනය එසේ කරන්නේ නැත. ඔවුන් අපේ ණය කපා හැරියොත් හෝ ප්‍රමාණය ඉක්මවා අපිට ආධාර කළහොත් අප මෙන්ම ඔවුන් සමග සමීපව ගනුදෙනු කරන අනෙකුත් ආසියාතික රටවල්, එමෙන්ම අප්‍රිකානු රටවල් ඒ ලෙසින්ම චීනයෙන් මුදල් ඉල්ලිය හැක. කලකට ඉහතදී හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හමුවූ අවස්ථාවකදී මමද ඔය ප්‍රශ්නයම ඇසුවෙමි. එතුමා චීන ජනාධිපතිතුමාගෙන් එකී ඉල්ලීම සිදුකළ අවස්ථාවේදී ලබාදීපු පිළිතුර පෙරළා මට ලබා දුන්නා.

හම්බන්තොට වරායට ලබාදුන් ණය කපා ඉවත් කරන ලෙස සරත් අමුණුගම මහතා චීනයේ එක් තීරයක් එක් මාවතක් සමාරම්භක උළෙලට සමගාමීව පැවැති රැස්වීමකදී කළ ඉල්ලීමට චීන ජනාධිපතිතුමා සහ ඔහුගේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ "එහෙම කළොත් අනෙක් හැම රටක්ම ණය කපා හරින්න කියලා ඉල්ලාවි" යන පිළිතුරයි.

අනිත් කාරණය නම් අපේ ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond - ISB) වලින් වැඩිපුරම අයිතිය තිබෙන්නේ ඇමරිකාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය කියන රටවල්වල සමාගම්වලටය. ඉදින් චීනය ලංකාවට සල්ලි දී අපේ ණය අර්බුදයෙන් අපිව බේර ගන්නවා යනු වක්‍රාකාරයෙන් ඔවුන්ගේ මුදල් සෘජුවම ගමන් කරන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ රටවලටයි. චීනය අපිට උදව් කරාවි. ඒත් අපේ ණය අර්බුදය සම්පූර්ණයෙන් විසඳා ගැනීමට ඔවුන් හිස් චෙක්පතක් ලබා නොදෙනු ඇත. ඒ වගේම චීනයේ උදව් ලබා ගැනීම වෙනුවෙන් භූදේශපාලනිකමය (Geo politics) වශයෙන් අපිට තවත් ප්‍රශ්න ඇතිවීමේ අවදානමද වැඩියි. මෙතන ඇත්තේ චීනය ගැන ප්‍රශ්නයකට වඩා ලංකාවෙ ණය ගැන ප්‍රශ්නයකි. අපේ මූල්‍ය පරිපාලනය අන්තිම පිරිහුණු ආකාරයෙන් සිදුකර චීනයට, ඇමරිකාවට, ජපානයට සහ ඉන්දියාවට දෙහි කැපුවාට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

එම නිසා දැන් චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන්ද සහාය ලබා ගන්නා ආකාරයක් පෙනෙයි. පුද්ගලික ආයෝජන තරගකාරී ලෙස වීම වැදගත්ය. නමුත් අප මතක තබා ගත යුත්තේ අපි ආර්ථික ප්‍රතිසංස්කර්ණ කරන තුරු ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩා ආ නොහැකි බවය. ඇල්බට් අයින්ස්ටයින් කියපු දේ දැන් ඔබට යාන්තමට හරි වැටහේවි යැයි මා සිතමි.

2021 දෙසැම්බර් 10 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

සල්ලි දීල ගත්තහම මනුස්සකම වැඩි වෙන්නේ කොහොමඳ?

ශ්‍රමයෙහි සහ වැටුපෙහි ඇති ආර්ථික විද්‍යාව

දිනක් ඉතාම නවීන මෝටර් රථයක් නවතා තිබෙන තැනක සිටි මැදි ආදායම් ලබන පුද්ගලයෙක් නවීන මෝටර් රථයක් දෙස බලමින් “බලන්න මේ වාහනය ගත්තු කෙනා කොච්චර ආත්මාර්ථකාමීද? මේ වාහනය ගත්තු සල්ලිවලින් සල්ලි නැති මිනිස්සු කී දෙනෙක්ට බෙදල දෙන්න තිබුණද? කෑම වේල් කීයක් නං දෙන්න තිබුණද’’ කියමින් සිටියේලු. සරල භාෂාවෙන් පවසනවා නම් හූ සිට ඇත්තේය හූල්ලමින්ය. ඒ අවස්ථාවේදී ඒ වාහනයේ සැබෑ අයිතිකරු එතැනට පැමිණියේය. ඉහත කී පුද්ගලයා රථයේ හිමිකරුගෙන් මෙසේ ඇසීය. “ඇයි ඔබතුමා මෙච්චර ආත්මාර්ථකාමී. මේ වගේ අති නවීන වාහනයක් ගන්න මුදලින් තව කී දෙනෙක්ට සල්ලි බෙදල දෙන්න තිබුණද? ඔබතුමාලට හිතක් පපුවක් නැද්ද?” යනුවෙනි. එලෙස ආවේගය් ඇසූ පැනයට රථය හිමිකරු ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුණි. ඒ  “ඉතිං මං මේ වාහනය සල්ලි දීල අරගෙන මම කරේ මගේ තිබ්බ සල්ලි ටික මිනිස්සුන්ට බෙදල දීපු එක තමයි” යනුවෙනි. මේ ප්‍රකාශයෙන් හූල්ලපු පුද්ගලයා පුදුම විය. ඔහු ආපසු මෙසේ ඇසීය. “එහෙම වෙන්නේ කොහොමද? මේ වාහනය අයිති ඔබතුමාට නං සල්ලි කොහොමද මිනිස්සුන්ට බෙදුනෙ?” යනුවෙනි.

රථයේ හිමිකරු ඊට දුන් පිළිතුරු මෙයයි. “මේ වාහනය හදල තියෙන්නේ ඉතාම දක්ෂ කාර්මික ශිල්පීන්. ඔවුන් ඉතාම දක්ෂයි. ඉතින් ගෙවපු සල්ලිවලින් කොටසක් මේක හදපු කාර්මික මහත්වරුන්ට යනවා. මේ වාහනේ තීන්ත ගාල තියෙන්නේ වාහන පින්තාරුකරුවන්. මගේ සල්ලිවලින් කොටසක් ඒ අයටත් බෙදෙනවා. මේ වාහනේට දාල තියෙන්නේ ඉස්තරම්ම වර්ගයේ ටයර්. ඒ ටයර් හදන්න මිනිස්සු රබර් ගස්වලින් කිරි කපනවා. මගේ සල්ලිවලින් කොටසක් ඒ මිනිස්සුන්ටත් යනවා. මේ වාහනයේ ආසනවල කවර හදල තිබෙන්නේ නවීන සම් වර්ගවලින්. ඉතින් ඒ සම් කර්මාන්තකරුවන්ටත් මගේ සල්ලිවලින් කොටසක් යනවා. ඒ වගේම මගේ සල්ලිවලින් කොටසක් මේ ආයතනය ලාභ විදියට උපයනවා. එයින් කොටසක් ඔවුන් ලභාංශ විදියට බෙදනවා. එතකොට ඔවුන්ටත් මගේ සල්ලි බෙදිල යනවා. ඒ ලාභයට ඔවුන් රජයට බද්දක් ගෙවනවා. ඒකෙන් රටේ දියුණුවටත් දායක වෙනවා. මේ වාහනය ගනිද්දි මං වෙනමත් බදු ගෙව්වා. ඒකත් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වගේ වියදම් වෙනවා. ඇත්තටම මගේ සල්ලි හැමෝටම බෙදිල ගිහිල්ලා මට ඉතුරු වෙන්නේ මෙන්න මේ කාර් එක විතරයි.යන”

මේ කතාව සරල කතාවක් වුවද මේ තුළළ ඇති ආර්ථික විද්‍යාව බොහොම වැදගත් එකකි. මේ කතාව හරහා අපිට ආර්ථික විද්‍යාවට ඉගෙන ගන්න පාඩම් ගණනාවක් තිබේ. පළමුව අපි ඉගෙන ගන්න පාඩම නම් අප ඕනම අයෙක්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් හරි මිලදී ගන්නවා යනු අදාළ භාණ්ඩය හෝ සේවාව විකුණන අයට  කරන ගෞරවයකි. විකුණන අයට පමණක් නොවේ, මුළු නිෂ්පාදන ජාලයට සම්බන්ධ සියල්ලන්ට  කරන ගෞරවයකි. ‘පාරිභෝගිකයාට රජෙක් මෙන් සලකන්න‘ යන සංකල්පය පැමිණ ඇත්තේ ඒ හරහාය. භාණ්ඩය අලෙවි කරන්නා තමා පිලිබද  විශ්වාසය තබන පාරිභෝගිකයාට ගරු කරයි. එමෙන්ම පාරිභෝගිකයාද යමක් මිලදී ගන්නවා යනු එය නිෂ්පාදනය කළ පුද්ගලයාට, ශ්‍රමයට හැකියාවට සහ කැපවීමට ගරු කරනවා යන්නය.

ඒ නිසා ආර්ථික විද්‍යාවේදී ගනුදෙනුවක් අර්ථකථනය වනුයේ අපි එකිනෙකා වෙත දක්වන ගෞරවයක් වශයෙනි. නමුදු එකී අරුතෙන් අප එකිනෙකාට ගෞරව කිරීම පිණිස සෑම භාණ්ඩයක්ම මිලදී ගත යුතුයි යන අදහස ගම්‍ය නොවේ. අප මිලදී ගන්නේ අප වියදම් කරන මිලට වඩා වැඩි වාසියක් එම භාණ්ඩයෙන් අපිට ලැබේ නම් පමණකි. එනම් පාරිභෝගිකාට තෘප්තියක් ලැබේ නම් පමණි. එලෙසින්ම භාණ්ඩය අලෙවි කරන්නාද පාරිභෝගිකයා වෙත එම භාණ්ඩය යම් මුදලකට අලෙවි කරන්නේ ඔහුට නිෂ්පාදනය කළ මිලට වඩා වැඩි වටිනාකමක් පාරිභෝගිකයාගෙන් අය කර ගත හැකි නම් පමණකි.

අප රටේ බොහෝ දෙනෙක්ට නොතේරෙන සරල ආර්ථික විද්‍යාවේ එක පැතිකඩක් නම්, ඇතැම් මිනිසුන් භාණ්ඩ විකුණන්නේ සහ ඇයි ඇතැම් මිනිසුන් භාණ්ඩ මිලදී ගන්නේ ඇයි යන්නයි. එය අවබෝධ කර ගැනීමට තරම් වුවමනාවක්ද නැත.  එනිසාම ලංකාවේ බොහෝ දෙනා එකිනෙකා වෙළෙඳාම් කිරීම එතරම් සුබවාදීව දකින්නේ නැත. එනිසා පාරිභෝගිකයෝ නිරන්තරයෙන්ම ව්‍යාපාරිකයන්ව දකින්නේ අනවශ්‍ය ලාභ ලබන්න උත්සාහ කරන පිරිසක් ලෙසිනි. රජය ව්‍යාපාරිකයන්ව දකින්නේද එලෙසිනි. එය එසේ නොවිය යුතු යැයි හෝ සෑම ව්‍යාපරිකයෙක්ම ඉතාම අවංක බව අප නොපවසන්නෙමු. මක්නිසාද යත් පාරිභෝගිකයා ලෙස තමන් කැමැති දේ කැමැති කෙනෙක්ගෙන් මිලදී ගැනීමේ හැකියාව වැදගත් වන නිසාය. එවිට වංක ව්‍යාපාරිකයන්ගෙන් භාණ්ඩ මිලදී නොගෙන සිටීමේ අයිතිය පාරිභෝගිකයාට හිමිවේ. වක්‍රාකාරයෙන් අවංක මහන්සියට ගරු කිරීමටත්, වංකකමට ගරු නොකිරීමටත් අපට එදිනෙදා ජීවිතයේ හමුවන සෑම ගනුදෙනුවකදීම අවස්ථාව දක්නට ලැබෙන සුලබ තත්ත්වයකි.

තමන්ගේ ශ්‍රමයට සරිලන ලාභයක්, වැටුපක් ලබා ගැනීම ඕනෑම සාර්ථක පුද්ගලයෙක්ගේ අඩිතාලම වන්නේ ඒ නිසයි. දැන් අපි ඒ සමීකරණයම අපේ රට වෙත යොදා බලමු. ශ්‍රී ලංකාවේ රජය සිදුකරන ගනුදෙනුවලින් බොහොමයක් වටිනාකමට සරිලන ගෙවීම් සිදුවන ගනුදෙනු නොවේ. රජයේ රැකියාවන් ගතහොත් මිලියන 1.6ක සේවක මණ්ඩලයෙන් කොපමණ ප්‍රමාණයක් ඔවුන්ගේ වැටුප ලබා ගැනීමේදී සිදුවන ගනුදෙනුවට සාධාරණයක් ඉටු කරන ලෙස සේවය කරනවාද? සාමාන්‍ය වෙළෙඳපොළේ අපේ ගනුදෙනු මෙන් අපිට ඔවුන් සුදුසු නොමැති නම් වෙනත් කෙනෙක්ගෙන් එම කාර්යය කර ගැනීමටත් හැකියාවක් නැත. එම නිසා බොහෝ අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණය තුළ වැටුප් ලබා ගැනීමේදී සිදුවන්නේ වටිනාකම මත පදනම් වූ ගනුදෙනු නොවේ. මෙරට රාජ්‍ය සේවය ගැන විවේචන එල්ලවන්නේ එනිසාය.

වටිනාකමක් එකතු නොකරන බහුතර පිරිස නිසා වටිනාකමක් ලබා දෙන පිරිසටත් ඉහළ වැටුපක් ලබා ගැනීම ඉතා අපහසු වී ඇත. එහි අරුත නම් රජයක් අනවශ්‍ය බව නොවේ. රජය අවශ්‍ය වන්නේ ඉතාම අත්‍යවශ්‍ය කරුණුවලට පමණක් බවයි. එමෙන්ම ගනුදෙනුවලදී සිදුවන්නේ අපගේ ශ්‍රමයට සහ දැනුමට කෙරෙන ගෞරවයක් බව බොහෝ දෙනෙක් නොදන්නා බැවින් සැම විටම රජයෙන් සෑම දෙයක්ම නොමිලේ ඉල්ලා සිටීමත් දැකිය හැකිය.

ගැබිනි මවකට පෝෂණ මල්ලක් ලැබීම, ඉපදුණු රෝහලේ නොමිලේ බෙහෙත් සැපයීම, දරුවාට පාසලක් ලබාදීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම, නැවත රැකියාවක් ලබා දීම, රැකියාවට වැටුපක් ලබාදීම, රැකියාවෙන් පසුව විශ්‍රාම වැටුපක් ලබාදීම සහ මරණයෙන් පසු භුමදානය දක්වාම ගනුදෙනු පිළිබඳ අවබෝධයක් නොමැති බොහෝ දෙනා රජයෙන්ම නොමිලේම බලාපොරොත්තු වීමෙන් සිදුවන්නේ අපේ රට තවත් පසු පසට යාමක්ම පමණි.

අයෙක් සාධාරණව ඉපැයූ දෙය යනු තමන්ගේ ශ්‍රමයට, දක්ෂතාවට ලැබුණු ගෞරවය මුදල් බවට පත්වීමයි. අප මහන්සියට ලැබුණු මුදල් බවට පත්වුණු ගෞරවය එවැනිම ගෞරවාන්විත ලෙස තමන්ගේ මහන්සිය යොදවන කෙනෙක් වෙත මුදල් ලෙස ලබා දීම අපේ වියදම් කිරීමයි. මුළු ලෝකයම ගනුදෙනුවලින් අද බැඳී පවතින්නේ මේ සරල න්‍යාය මතයි.

රටක් ලෙස අපට ඉදිරියට පැමිණෙන්නට නොහැකි වී තිබෙන්නේ එම සරල මූලධර්මය තවමත් තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන නිසා බව මගේ හැඟීමයි.

අප තවමත් කරන්නේ හරියට නවීන වාහන මිලදීගත් පුද්ගලයායේ වාහනය අසලට පැමිණ ඒ වෙත හූල්ලමින් “බලන්න මේ සල්ලිවලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද?” කියමින් අනෙක් මිනිසුන්ට ඊර්ෂ්‍යා කිරීමයි. අනෙකා ධනය උපයන අනෙකා කෙරේ ඊර්ෂ්‍යාවෙන් බැලීමය. ධනය යනු උත්පාදනය කළ යුත්තක් සහ එය අපගේ මහන්සියේ ප්‍රතිඵලයක් බව අවබෝධ කර ගැනීමයි අප කළ යුතු වන්නේ. සෑම දෙයම නොමිලයේ ලැබෙන තෙක් බලා සිට අපගේ රටත් විස්මයජනක දියසෙන් කුමාරයකු පහළ වීමෙන් ගොඩ එමුයි සිතා වෙනස් නොවී සිටියහොත් අපේ රටද සැමදා එක තැනය. එසේ වුවොත් තව පරම්පරා ගණනක් යන තෙක් අප දියුණුවෙමින් පවතින රටකි.

2021 දෙසැම්බර් 03 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය

ක්‍රිකට්වල ආර්ථික විද්‍යාව

මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. ක්‍රිකට් ගැන කතාව එතරම් සතුටුදායක නොවූවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අසාර්ථක වීමට ආර්ථික විද්‍යා හේතු ගණනාවක් තිබෙන බවයි මගේ හැඟීම. ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් සාර්ථක නොවෙන්නේ එකම ආකාරයේ මූලික හේතු නිසා කිහිපයක් නිසා ඒවා ආර්ථික විද්‍යාත්මකව බැලීමත් වැදගත්. ආර්ථික විද්‍යාව කියන්නෙ එදිනෙදා ජීවිතය සහ සාමාන්‍ය දැනීම.

අතීතය යහපත් නිසා වර්තමානය ආකෘතියට අනුගත නොවීම - ක්‍රිකට් සහ ආර්ථිකය

අපි ක්‍රිකට්වලින් පටන් ගමු. අපි නිතරම ක්‍රිකට් සංසන්ධනය කරන්නේ 1996ට සාපේක්ෂව. “බලන්න, ඉස්සර සනත් ගහපු ගැහිල්ල, මුරලි බෝල දාපු විදිය, අර්ජුන නායකත්වය දීපු විදිය සහ අපි ලෝක කුසලානය දිනපු විදිය" කියල තමයි අපි පටන් ගන්නෙ. අපි ආර්ථිකය ගැන කතා කරන්නෙත් ඒ වගේමයි.

“බලන්න පරාක්‍රමබාහු රජතුමා කෘෂිකර්මාන්තයට කරපු සේවය. බලන්න ඒ කාලෙ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බ ආකාරය. අපේ රජවරු ගිහිල්ල බුරුමය පවා ආක්‍රමණය කළා. අපි පෙර අපර දෙදිග මුහුදු මාර්ගයේ කේන්ද්‍රස්තානය. අපි පිරමීඩ පසු කරන් අහස සූරන වැව්, දාගැබ් හැදුවා. කොච්චර ආර්ථික සංවර්ධනයක්ද?”, කියන මතකය ඒක්ක තමයි අපි නිතරම අද දවස සංසන්ධනය කරන්නෙ.

එහෙම බැලුවම රටේ ආර්ථිකයෙයි, ක්‍රිකට්වලයි දෙකේම අපි අතීතයේ ශ්‍රී විභූතිය ගැන සිහිකරමින් මානසික තෘප්තියක් ගන්නවා වෙනුවට අපි ඇත්තටම වර්තමානයට මුහුණ දෙන්නෙ ඇවිල්ල නෑ.

ආර්ථික විද්‍යාවේ තිබෙන මූලිකම හරය තමයි අපගේ තිබෙන සීමිත සම්පත් උපරිම ආකාරයට කළමනාකරණය කිරීම. මේ සීමිත සම්පත් කියන සංකල්පය අප ජීවත් වෙන කාලයට සාපේක්ෂයි. අපේ ජනගහනය එතරම් වැඩි නොමැති කාලවල අපිට ඕනෑ තරම් වතුර, ඉඩම්, වනාන්තර වගේ දේවල් තිබුණා. ඒත් ජනගහනය වැඩි වෙනවා එක්කකම අපිට තවදුරටත් ඒ සම්පත් ඒ විදියට භාවිතා කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. හැමෝම ගෙදර කූඹුරක් කරගෙන ඇලකින් වතුර බීලා, සුනිල දිය දහරකින් දවල්ට නාගන්න කැමති වුනත්, අතීතයට සාපේක්ෂව ඒ සම්පත් අපිට නෑ. අද ලෝකය කියන්නේ, රටවල් ලෙස දේශ සීමා වෙන්වී තිබුණත් එකම ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන තනි රටක්. ලෝකයේ දියුණුව මනින්නෙත් බොහෝ විට අපිට එකිනෙකා අතර කොතරම් ඉක්මනට සහ පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්ද යන්න මතයි.

ක්‍රිකට්වලත් ඒ වගේමයි. අපි 1996 ලෝක කුසලානය දිනන කොට තිබුණු ක්‍රිකට් සහ දැන් තිබෙන ක්‍රිකට් ආකෘතිය අහසට පොළව වගේ. අපි බැලුවොත් අපි ලෝක කුසලානය දිනන කාලෙදි එක ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නෙ එක අන්තර්ජාතික කණ්ඩායමකට විතරයි. ඒ කියන්නෙ අදාළ රට නියෝජනය කරන අන්තර්ජාතික කණ්ඩායමට පමණයි. ඊට අමතරව දේශීය ක්‍රීඩා සමාජයට, පාසලට, වෙළඳ සේවා කණ්ඩායමට වගේ තවත් දේශීය කණ්ඩායම් කිහිපයකට ක්‍රීඩා කරාවි. ඒත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. එකම ක්‍රීඩකයා අන්තර්ජාතික මට්ටමේ කණ්ඩායම් කිහිපයක සෙල්ලම් කරනව ප්‍රිමියර් ලීග් තරග සඳහා. ඉන්දියානු ලීග් තරගාවලිය, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් වගේ ලෝකෙ වටේ කණ්ඩායම් ගණනාවක එකම ක්‍රීඩකය නියෝජනය කරනවා. මුල් කාලයෙ අරවින්ද ද සිල්වා තමයි එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කළේ. පසුව මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වගේ අයත් එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම්වලට ක්‍රීඩා කළේ. එතකොට දැන් එකම ක්‍රීඩකයට තෝරා ගැනීමට කණ්ඩායම් ගණනාවක් තිබෙනවා. තරග විශාල ප්‍රමාණයකට ඔවුන් ක්‍රීඩා කළ යුතුයි. ඒ අනුව ඔවුන්ගේ කාලය සීමිත සම්පතක් වී තිබෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ට ආදායම් උපයා ගැනීමට අවස්ථාවන් දැන් වැඩි වී තිබෙනවා. ඒ වගේම වැඩි තරග ප්‍රමාණයක් විවිධ රටවල විවිධ කණ්ඩායම් යටතේ ක්‍රීඩා කරන නිසා ආබාධවලට නැඹුරුවීමේ අවධානම වැඩි වී තිබෙනවා. ඒ වගේම රටවල් ගණනාවක ක්‍රීඩකයන්ගේ තරග රටාව සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා.

වෙනත් රටවල් වල ක්‍රීඩකයන් සමග සමීපව ක්‍රීඩා කිරීමට සහ ඇසුරු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. සරලවම කිව්වොත් ක්‍රීඩාවේ විශාල පරිවර්තනයක් සිදුවී තිබෙනවා. හරියට රජ කාලය සහ අද කාලය වගේ. රජ කාලයේ ආර්ථික තීරණ අද පවතින වාතාවරණයට නොගැළපෙන්නා වගේම අතීත තරග රටාව සහ ආකෘතිය අදට ගැළපෙන්නේත් නැහැ. එම නිසා කාලයට අනුරූප නොවන තරග රටාව සහ ක්‍රීඩාවේ ආකෘතියේ දුර්වල සැලැස්ම නිසැකවම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයේ විශාල කොටසක්. අපේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් පිළිබද ප්‍රශ්න, තේරීම්වල විනිවිදභාවය පිළිබද ප්‍රශ්න, නායකයන් තෝරාගැනීම සහ ක්‍රීඩකයන්ගේ විනය පිළිබද ප්‍රශ්නයේ ලක්ෂණ පමණයි. රෝගය නොවෙයි.

තරගකාරීත්වය සහ විනිවිධභාවය - ආර්ථිකය සහ ක්‍රිකට්

අපි ආර්ථික විද්‍යාත්මකව තේරුම් ගත යුතු මූලික හරය තමයි මුළු ආර්ථිකයක වගේම ක්‍රීඩාවෙත් ජයග්‍රහණය කරන්නේ තරගකාරීත්වය වැඩිම පුද්ගලයායි. තරගකාරීත්වය යන වචන අපි භාවිතා කළත් එහි අරමුණ අපට එතරම් පැහැදිලි වී ඇති බවක් පෙනෙන්නට නැහැ. තරගකාරීත්වය ඇති වන්නේ තරග කරන්න හැමෝටම සමාන පරිසරයක් ඇති විටදීයි. එහිදී නිරවද්‍ය බවට සහ විනිවිධභාවයට විශාල තැනක් ලබා දී තිබෙනවා. මීට වසර ගණනාවකට කලින් විනිසුරුවරුන්ගේ වැරදි තීරණ සහ සිතා මතා කරනු ලැබූ ද්වේශසහගත තීරණ ක්‍රීඩාවට බලපානු ලැබුවා. මුරලිගේ පන්දුව දමා ගැසීමේ චෝදනා ඊට හොදම උදාහරණයයි.

නමුත් තාක්ෂණය සමග දැන් විනිසුවරුන්ගේ තීරණ නැවත පුනරූපණය කිරීමට වැඩි අවස්ථාව ලබාදීම මගින් තරගයකදී සැබවින්ම දක්ෂ කණඩායමක ජයග්‍රහණය උදුරා ගන්න කිසිවෙකුටත් හැකියාවක් නෑ. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම විනිවිදභාවය මත පදනම් වූ සහ දක්ෂතාවය මත පදනම් වී හමාරයි. අනෙක් ක්‍රීඩාත් එලෙසමයි. එම නිසා ජයග්‍රහණයක් ලැබිය හැක්කේ දක්ෂතාවය පෙන්වීමෙන්ම පමණයි. එම දක්ෂතාවය හුදෙක් පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන්නෙන් ඔබ්බට ගොස් තිබෙනවා. ක්‍රීඩකයන්ව දැන් නිර්මාණය කරන්නේ සමස්ත සන්නාමයක් ලෙසයි. සරලවම ඔවුන්ට ක්‍රීඩා පිටියේ එක් චරිතයකුත්, පිටියෙන් පිට තවත් චරිතයකුත් ලෙස චරිත දෙකක් රඟපෑමට හැකියාවක් නොමැති තරමට සමාජ ජාල හරහා ක්‍රීඩකයන්ව අධීක්ෂණයට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩයමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ජීව බුබුළෙන් මිදී යාමෙන් එංගලන්තයේදී මුහුණ දුන්නේ එවැනි අත්දැකීමකටයි.

අපේ රටේ ආර්ථිකයේත් ඇත්තේ එම ප්‍රශ්නයමයි. අපි ආර්ථිකයේ යථා ස්වභාවය නිතරම එළියට එන්නට ඉඩ දෙන්නේ නෑ. නිතරම අපි ඉදිරිපත් කරන ආර්ථික දත්ත, ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි, අන්තර්ජාතික ගිවිසුම, ගණුදෙණුවල විනිවිදභාවට ඉතාම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාව ව්‍යාපාර පහසුවෙන් සිදුකිරීමට හැකියාව මනින රටවල් දර්ශකයේ 99 වැනි තැනටත්, ලෝකයේ විනිවිදභාවය සහ අවම දූෂිත රටවල් අතර දර්ශකයේ 94 වන ස්ථානට පත්වීමෙන් පෙනෙන්නේ අපගේ ආර්ථිකයත් නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන සහ එහි සැබෑ ප්‍රතිරූපය පිළිඹිබුවන ක්‍රමවේද සහ මූලික සංඝටක අඩංගු වී නොමැති බවයි. එමගින් නිතරම සිදුවන්නේ මවා ගන්නා පුහු ප්‍රතිරූපය නිසා නිවැරදි වෙළඳපොළ චිත්‍රය ඉදිරිපත් නොවන නිසා පිටතින් ප්‍රශ්නයක් නොමැති ලෙස පෙනුනත් සැබවින්ම ආර්ථිකය එක තැන පල් වීමයි. වසර ගණනාවක් තිස්සේ අපගේ ආර්ථික දියුණු නොවූවා සේම ක්‍රීඩාවෙනුත් අවසන් වරට ලෝක කුසලානයක් දිනා තිබෙන්නේ 2014 වසරේදියි. අවසාන එක්දින ලෝක කුසලානයක් දිනා තිබෙන්නේ 1996 වසරේදියි. ඉඳ හිට එක් තරගාලිවයක්, තරගයක් ජයග්‍රහණය කළත් දීර්ඝ කාලීන තරග සැලස්මක් දක්නට ලැබුනේ නෑ. එම නිසා පිටතින් අපගේ ක්‍රිකට් කණ්ඩායාම හොඳයි කියා අපට සිතුනත් තරගකාරීත්වය අතින් ඉදිරියට යෑමට තරම් ඔවුන් සැබවින්ම තරගකාරී නෑ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂතා සඳහා වන දර්ශකයනුත්, ලෝකයේ අනෙක් ප්‍රිමියර් තරගාවලි සඳහා අපගේ ක්‍රීඩකයන්ට ඇති ඉල්ලුමත් සැසදූ විට අපගේ ක්‍රීඩකයන් තරගකාරීත්වය අඩු බව රහසක් නොවේ.

ක්‍රිකට් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය

ඒ වගේම ක්‍රිකට් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලන ව්‍යුහය සකස් වී තිබෙන්නේ එකම අකාර්යක්ෂම ආකාරයටයි. ක්‍රිකට් පරිපාලනයට ඉදිරිපත් විය හැක්කේ ඉතා සීමිත පිරිසකට පමණයි. ක්‍රීඩා සංගම් වල උපකාරයෙන් තෝරාගත් පිරිසකට පමණක් ඕනෑම අවස්ථාවක ජයග්‍රහණය කළ හැකි අයුරින් සකස් කර ඇති ආකෘතියක් නිසා නිතරම පත් වන්නේ දක්ෂයන් නොවේ. දක්ෂයන්ට පැමිණීමටත් දක්ෂතාවයට අනුව ඉදිරිපත් වීමට දිරිගැන්වීමකුත් නොමැති වන තැන දක්ෂයන් එකතු වන්නේ නෑ. එම නිසා එම අකාර්යක්ෂමතාවයන් ක්‍රීඩකයන්ව තෝරා ගැනීමේදීත් ඔවුන්ට තරග ලබාදීමේදීත් ජාතික ක්‍රිකට් සඳහා කාන්දු වීම වැලැක්විය නොහැකියි. දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ සමීපතමයන්ට පමණක් එක්විය හැකි සංවෘත ක්‍රමයක් තිබීමෙන් දක්ෂයන් එකතු විය හැකි විවෘත ක්‍රමයකට අවස්ථාවක් නැහැ.

රාජ්‍ය පාලනයත් එලෙසමයි. ඉතාම සීමිත පිරිසකට ඉතා විශාල ධනයක් සහ බලයක් වියදම් කිරීමෙන් පමණක් සුරක්ෂිත විය හැකි ලෙස සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක වී තිබෙනවා. කොතරම් පාඩු ලැබුවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවලට එරෙහිව අවම තරමේ විගණන වාර්තා අනුව ක්‍රියාත්මක වීමටත්, මහ බැංකු බැදුම්කර වංචාව වැනි විශාල වංචා පිළිබදව ඉදිරිපත් කර ඇති වෝහාරික සහ අනෙක් විගණන වාර්තා අනුව නීතිමය පියවරක් ගැනීමට නොහැකි වන ලෙස සමස්ත රාජ්‍ය පාලනයම පැවැති සහ පවතින රජයන් මගින් අඩපණ කර හමාරයි. එහි බලපෑම ඉතා දුර්වල පසුගාමී, සංවර්ධනය නොවන ආර්ථිකයකින් පිළිඹිබු වීම නැවැත්විය නොහැකියි. කනගාටුවට කරුණ නම් රටේ සියලුම දෙනා මෙම අසාර්ථක ක්‍රමයේ කොටස්කරුවන් සහ සිරකරුවන් වීමයි.

ඒ අනුව අපේ ආර්ථික සටනින් පරාජය වීමටත්, ක්‍රිකට් සටනින් පරාජය වීමටත් පවතින්නේ එකම පන්නයේ හේතුයි. මේ දෙකෙන්ම ගොඩ ඒමට නම් අපට කිරීමට තිබෙන්නේ එකම වර්ගයේ විසදුම් ලබාදීමයි. විසඳුම ක්‍රියාත්මක වන ආකාරය ස්ථානය අනුව වෙනස් වුණත් විසඳුම පිළිබඳ ඇති දර්ශනය එකමයි. අපේ සංවෘත යල් පැනගිය වර්තමානය සහ අනාගතය නොදකින දර්ශනය වෙනස් වුණු දවසට ක්‍රිකට් වගේම ආර්ථික තරගයත් දිනන්න අපිට පුළුවන්.

2021 ජූලි 23 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක්

යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන GSP Plus පිළිබඳව විවිධ අදහස් පළවීමට පටන්ගෙන තිබෙනවා.

එක් මතයක් වන්නේ GSP Plusවලින් ශ්‍රී ලංකාවේ ඇගලුම් සහ මත්ස්‍ය අපනයනවලට විශාල බලපෑමක් එල්ල වන නිසා එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විනිමය අර්බුදය තවත් ඉහළ යා හැකි බව සහ අපනයන තවත් අඩු විය හැකි බවයි. එමගින් අපේ ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව රු.300ක් විය හැකි බවත් පැව‍සෙනව.

ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන පිරිස් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මැදි සහ ඉහළ ආදායම් ලබන රටක් වීමත් සමග අපට GSP Plus අනිවාර්යයෙන්ම අහිමි වන නිසා එය ලැබුණත් නොලැබුණත් එතරම් බලපෑමක් ඇති නොවනු ඇති බවයි. තවත් මතයක් වන්නේ GSP Plus 2017 වසරේදී නැවත ලැබීමෙන් පසුව යුරෝපා සංගමයට අපගේ අපනයන එතරම්  වැඩි නොවී ඇති නිසාත් මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග අප බ්‍රිතාන්‍යට අපනයනට GSP Plus තිබීමෙන් එතරම් ප්‍රයෝජනයක් නොමැති බවයි.  මෙවැනි අදහස් පිළිබඳව ආර්ථික විද්‍යාත්මක දත්ත මත සරලවඑ තේරුම් ගැනීම වැදගත්.

මොකක්ද මේ GSP Plus කියන්නේ

යුරෝපා සංගමයේ The Generalised Scheme of Preferences (GSP) යන වෙළඳ ගිවිසුම GSP ලෙසින් හැඳින්වේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට යුරෝපයට අඩු තීරුබදු යටතේ හෝ තීරු බදු නොමැතිව අපනයනය කිරීමට අවස්ථාව සලසන වෙළඳ ගිවිසුමක්. එමගින් දිළිදු රටවල් වලට යුරෝපයට තරගකාරී ලෙස අපනයනය කර ඔවුන්ගේ දුප්පත්කම නැති කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබේ.

GSP Plus කියන්නේ මෙම ක්‍රමය යටතේම ඇති GSP සහනය ලබාගන්න රටවල්වලට තවත් අපනයන කාණ්ඩ 7200 ක් (HS Codes) පමණ සඳහා කිසිදු තීරු බදු අයකිරීමකින් තොරව යුරෝපා සංගමයට අයිති රටවල්වලට අපනයනය කළ හැකි තීරුබදු සහන ක්‍රමයයි. (තීරු බද්දක් යනු එක රටක සිට තවත් රටකට භාණ්ඩ ආනයනය කිරීමේදී රේගුව මගින් අයකරන බද්දයි. එම තීරුබදු විවිධ භාණ්ඩ සඳහා වෙනස් වනවා. තීරු බදු නිසා අදාළ භාණ්ඩයේ මිල බදු එකතු වීමෙන් නිරායාසයෙන්ම ඉහළ යනු ලබනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වාහන ආනයනය තහනම් නොමැති කාලයේදී ඒ සඳහා 150% සිට ඉහළට තීරුබදු අය කළා. එහි අර්ථය නම් ජපානයේ සමාගමක් තාක්ෂණය භාවිත කර, සේවකයන්ට පඩි ගෙවා, විශාල යන්ත්‍රෝපකරණ භාවිත කර විශාල මහන්සියක් දරා උපයාගන්නවාට වඩා දෙගුණයකට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවේ රජය කිසිම සේවයක් නොකර පාරිභෝගිකයාගෙන් තීරු බදු ලෙස අය කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ වාහන ඉතා මිල අධික එම හේතුව නිසයි. මෙය තිරුබදු නිසා භාණ්ඩවල මිලට සිදුවන වෙනසට උදාහරණයක් පමණයි) GSP Plus ලබා ගැනීමට අදාළ රටවල් මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික සමුළු සහ තවත් අන්තර්ජාතික සම්මුතීන්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේද සඳහා එකඟතාවය පළ කළ යුතුයි.

2005 වසරේදී GSP Plus ක්‍රමය පටන් ගත්දා සිටම ශ්‍රී ලංකාව එහි සාමාජිකයෙක්. ඉන් අනතුරුව 2010 වර්ෂයේදී අපට GSP Plus සහනය අහිමි වේ. නැවත අපට එම සහනය ලැබුණේ 2017 වසරේදී.

අපනයන දත්ත දෙස බැලීමේදී (ප්‍රස්තාරයට අනුව) 2005 වසරෙන් පසුව යුරෝපා සංගමයට අපගේ අපනයන සීග්‍ර ලෙස වර්ධනය විණි. එමෙන්ම 2008 වසරෙන් පසුව යුද්ධය නිමාවීමත් සමගම අපගේ මුළු අපනයන ප්‍රමාණයත් සීග්‍රයෙන් වර්ධනය විය. එම දත්ත දෙස බැලීමේදී පෙනී යන්නේ GSP Plus සහනය 2010 වසරේදී අපට අහිමිවීමෙන් පසුවත් යුරෝපා සංගමයට අපගේ අපනයනවල යම් වැඩිවීමක් සිදුවූ බවයි. කෙසේ වෙතත් GSP Plus සහනය 2005 දී ලැබීමට පෙර සහ පසු දත්ත සැලකූ විට අපට පෙනෙන්නේ යුරෝපා සංගමයට අපනයන 28% සිට 38% දක්වා වැඩි වී ඇති බවයි. 2017 දී නැවත අපට GSP Plus සහනය ලැබුණු පසුව අපගේ අපනයන යුරෝපා සංගමය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 250කින් පමණ වැඩි වී ඇති බව තමයි දත්ත අනුව පෙනෙන්නේ.

GSP Plus ගැන ආර්ථික විද්‍යාත්මකව බලන්නේ කොහොමද?

මේ ප්‍රශ්නය දිහා ආර්ථික විද්‍යාත්මක බලද්දී මතුපිටින් අපගේ අපනයන දත්ත මත පමණක් බැලීම ප්‍රමාණවත් නෑ. අප මතුපිටින් ගැඹුරට යද්දී අපට පෙනෙන දෙය නම් අපගේ අපනයන වර්ධනයන්ගේ ඉතා පසුගාමී බව. අපගේ ආර්ථික වර්ධනය වන වේගය සමග සැසදීමේදී අපගේ අපනයනවල වර්ධනයක් නෑ. ශ්‍රී ලංකාවේ අපනයන දියුණු නොවීම මුළු රටටම විශාල ගැටලුවක්.

එනිසා මේ දෙස බැලිය යුත්තේ GSP Plus තිබීමෙන් අපගේ අපනයනවලට බලපෑමක් සිදුවේද, නොවේදැයි සිතනවාට වඩා දැනටමත් අපගේ අපනයන කඩා වැටෙන්නේ ඇයිද යන්න පිළිබඳවයි. ප්‍රශ්නය එම කෝණයෙන් බැලීමේදි වැටහෙන මූලිකදේ නම් අපනයනයට බාධාවන් ඇත්තේ රටෙන් පිට නොව රට ඇතුළත බව. ශ්‍රී ලංකා රේගුවෙන් පටන් ගත් විට අපනයනකරුවන්ට තිබෙන නීතිමය සහ නීතිමය නොවන බාධා ඉතා විශාලයි. ඒ සියල්ල විදේශීය බලපෑම් නොවේ. සරල ගමේ භාෂාවෙන් කියනවා නම් අපිට ඉස්සරහට යන්න නොදෙන්නේ පිට මිනිස්සු නොව අපේම මිනිසුන්.

මෙරට අන්තර්ජාතික වෙළඳාම සඳහා බාධාවන් රට තුළින්ම නැගෙද්දි කොතරම් වෙළෙඳ ගිවිසුම් හෝ තීරු බදු සහන ලැබුණද අපනයන දියුණු කළ නොහැකිය. එමෙන්ම අපනයන වෙළෙඳපොළ සහ ජාත්‍යන්තර වෙළඳාම යනු නිරන්තරයෙන් වෙනස් වෙන ඉතාම තරගකාරී වෙළෙඳපොළක්. ලෝකයේ අද ඇත්තේ ඉතා සංකීර්ණ අන්තර් ජාතික වෙළඳාමක්. තරගකාරී ලෙස අපනයනය කිරීමට නම් තරගකාරී ලෙස ආනයනය කිරීමත් අවශ්‍යයි.

ඇඟලුම් කර්මාන්තය එයට කදිම නිදසුනක්. ඩොලර් බිලියන 5ක පමණ අපනයන කිරීමට ඔවුන්ට ආනයනය කිරීමට සිදුවන ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-3.00 අතර ප්‍රමාණයක්. එම තත්ත්වයෙන් සහ එම මිලට ආනයනය කිරීමට හැකියව නොලැබුණොත් බොහෝ විට මුලින්ම කඩා වැටෙන්නේ ඔවුන්ගේ අපනයන.

අපත් සමග තරග කරන රටවල් ශක්තිමත් වීම

අතීතයේ මෙන් අපගේ අපනයන අඩු වන්නේ ඇයිදැයි අප රට සමග පමණක් සසදා බලන්නටත් පුළුවන් කමක් නෑ. අපේ කලාපයේ ඇති අනෙක් රටවල් අපට වඩා තරගකාරී දැයි සොයා බැලිය යුතුයි. එසේ බලද්දි දකුණු ආසියාතික කලාපයෙන් පාකිස්ථානයට GSP Plus සහන ලැබී ඇත. එමෙන්ම ආසියානු කලාපයේ අපි වැනි ශ්‍රමය සමග තරග කළ හැකි පිලිපීනය, ආර්මේනියාව සහ මොන්ගෝලියාව වැනි රටවලටද GSP Plus සහනය ලැබී ඇති බව පෙනේ. අපට වඩා ඔවුන්ගේ අපනයන තරගකාරී වීමද එක සම්භාවිතාවක්.

එමෙන්ම කාලයක් තිස්සේ එකම භාණ්ඩ වර්ග යුරෝපය පරිභෝජනය කරන්නේ නෑ. 2005 සිට 2021 දක්වා වසර 16ක් තුළ මිනිසුන් භාවිත කරන භාණ්ඩ සෑහෙන ප්‍රමාණයකින් වෙනස් වනවා. ඒ අනුව අප තවමත් අපනයන කරන්නේ යුරෝපා සංගමයට ගැළපෙන අපනයනද යන්න නැවත සිතා බැලිය යුතුයි. එතැනදි අපත් සමග කරට කර තරග කරන බංගලාදේශය GSP Plus ලබා ගැනීමට විශාල උත්සාහයක් දරන බවත් අමතක නොකළ යුතුයි. ඔවුන්ට GSP Plus හිමිවීමෙන් දනටමත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන කර්මාන්තශාල බංගලාදේශයට යොමු වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඇතැම් ශ්‍රී ලාංකික ආයතනවල කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් සහ සේවකයන් බංගලාදේශයේ ව්‍යාපාර කටයුතුවල නිරත වනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව අමතක කර බංගලදේශය ගැන වැඩිපුර සිතීමට තිබෙන ඉඩද වැඩිය.

අපි මතක තබා ගත යුතු වැදගත්ම දේ නම් යුරෝපා සංගමයේ GSP Plus අහිමිවීමෙන් වෙනත් රටවල් ඔවුන්ව අනුගමනය කිරීමෙන් මෙරට කීර්තිනාමයට විශාල හානියක් සිදුවිය හැකි බව. එමෙන්ම වත්මන් ලෝකයේ වෙළඳපොළ දත්ත සහ තොරතුරු මත තීරණය වන නිසා එක කීර්තිනාමය පලුදු වීමෙන් වෙනත් වෙළඳපොළවල්වලටත් එය බලපෑම් ඇති කළ හැකි බව.

විසඳුම් මොනවාද?

අප අපනයන ප්‍රශ්නය අල්ලා ගත යුත්තේ අපේ තරගකාරීත්වය නොමැතිවීම පැත්තෙන්. අපි මිලෙන් සහ ගුණාත්මක බවෙන් තරග නොකරන තාක් අපනයනවලින් ඉදිරියට ගමන් කළ නොහැකියි.

එහිදී නවීන ලෝකයේ සැපයුම් ජාලා ක්‍රියාත්මක වන ආකාරය අනුව අපනයනය සඳහා ආනයන අවශ්‍ය බව තේරුම් ගැනීමත් වැදගත්. ආනයන නොමැතිව අපනයන කිරීමට උත්සාහ කිරීම ආනයන සහ අපනයන යන දෙඅංශයම කඩා වැටීමේ අවදානමක්. එම නිසා ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක්.

ලෝකයේ දැන් තිබෙන ක්‍රමය නම් ඕනෑම සරළ භාණ්ඩයක් වුවත් නිපදවන්නේ කොටස් හා උපාංග විශාල ප්‍රමාණයකින් (Parts and components). එනිසා සරල භාණ්ඩයක් වුවද නිෂ්පාදනයට රටවල් 20ක් 30ක දායක වනවා. විවිධ රටව භාණ්ඩයේ විවිධ කොටස් ආනයනය සහ අපනයනය කරමින් තමයි භාණ්ඩ නිපදවන්නේ. ඔබේ නිවසේ ඇති ඕනෑම සරල භාණ්ඩයක් පිලිබඳව සිතුවහොත් ලෝකයේ රටවල් කීයක් එම භාණ්ඩයට නිෂ්පාදනයට දායක් වී ඇත්දයි ඔබටම අවබෝධ කර ගත හැකියි. එමනිසා මේ ප්‍රශ්නයට විසඳුම නම් ශ්‍රී ලංකාව ලෝකය සමග තිබෙන සැපයුම් ජාලවලට සම්බන්ධ වී එහි කොටසක් අත්පත් කර ගැනීමයි.

GSP Plus දෙස අප බැලිය යුත්තේ එමගින් අපනයන තවත් අඩු වෙනවද තියෙන මට්ටමේම ති‍බෙනවාද යන සරල ආකාරයට වඩා වසර ගණනාවක් ඉදන් අපේ අඩුවන අපනයන අප වැඩි කර ගත හැක්කේ කෙසේද යන ආකාරයෙනුයි.

2021 ජූලි 16 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

උපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

හසරිඳු රාජපක්ෂ විසිනි

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කළහොත් රටේ ආර්ථිකය සංකෝචනය විය හැකි බවත්, එමගින් දරුණු ආර්ථික පසුබෑමකට රට ලක්විය හැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට රට මුහුණ දෙමින් සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත ඉතා කඩිනමින් යා යුතු බවයි.

‘ආනයන සීමා කරන්න හැකි සීමාවක් තියෙනවා’

‘මේ වන විට භාණ්ඩ ආනයනය සීමා කරලා තියෙන්නේ. නමුත් අපිට ආනයන සීමා කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. එයට සීමාවක් තිබෙනවා. ආනයනය මත රැඳෙන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා.  ඒ වගේම අපි ආනයනය කරන භාණ්ඩවලින් පාරිභෝගික භාණ්ඩ තිබෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඉතිරි භාණ්ඩ අතරමැදි භාණ්ඩ සහ අමුද්‍රව්‍ය. ඒ වගේම අපි ආනයනය කරන දේවල්වල අපනයනය සඳහා අවශ්‍ය වන කොටස් බොහොමයක් තිබෙනවා. උදාහරණයක් ලෙස ඇඟළුම් ක්ෂේත්‍රය ගැන කියනවා නම් මෙහි නිෂ්පාදන ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වැනි ප්‍රමාණයක් අපනයනය කරනවා. එයට අවශ්‍ය රෙදි, නූල් වැනි අමුද්‍රව්‍ය, උපකරණ ආනයනය සඳහා එයින් සියයට දෙකක් පමණ ප්‍රමාණයක් සඳහා වැයවෙනවා. ඒ මොකද මේ කිසිවක් ලංකාවේ හදන්නේ නැති නිසා.

තේ කර්මාන්තය ගත්තත් ඒ විදිහමයි. ලංකාවෙන් තේ අපනයනය කළාට තේ පැකට් කරන පොලිතින් වගේ බොහොමයක් ආනයනය කරන්න වෙනවා. මේ නිසා ආනයනය දිගටම නවත්වාගෙන තියාගන්න අමාරුයි.

මොකද මේ විදිහට ගියොත් අපේ මුළු ආර්ථිකයම සංකෝචනය වෙන්න පුළුවන්. මේ වන විට රටේ තිබෙන ඩොලර් ප්‍රමාණය අඩු නිසා බැංකුවලින් ණයවර ලිපි (Letter of Credit) විවෘත කරන්න දෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මහා පරිමාණ ආයතනවලට බාධාවකින් තොරව කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි. නමුත් පොඩි ආයතනවලට මේ තත්ත්වය දරාගන්න අමාරුයි. ඒ කියන්නේ මේ තත්ත්වය නිසා පොඩි-පොඩි ව්‍යාපාරවලට පහර වදිනවා. ඒවා හකුළාගන්න වෙනවා. එහෙම නැත්නම් වහලා දාන්න වෙනවා. එය ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැමදෙයක්ම ලංකාවෙ හදන්න පුළුවන් ද?

තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ වන විට එක භාණ්ඩයක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලෝකයේ කිසිම රටක් නැති තරම්. ඕනෑම කුඩා භාණ්ඩයක් වුණත් ලෝකයේ රටවල් 20ක පමණ එකතුවෙන් තමයි හැදෙන්නේ. උදාහරණයකින් කියනවා නම් ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රය ගත්තොත් එහි කපු ලබාගන්නේ එක රටකින්, නූල් හදන්නේ තවත් රටකින්, රෙදි හදන්නේ තව රටක, වර්ණක හදන්නේ තවත් රටක, මැෂින්, උපකරණ හදන්නේ වෙනත් රටක. මේ වගේ පොඩි නිෂ්පාදනයක් ගත්තත් එය රටවල් 20ක, 30ක වගේ පැතිරිලා තිබෙනවා.

වාහනයක් නිෂ්පාදනය කරන ආකාරය සැලකුවත් එහෙමම තමයි. බෙන්ස් කාර් එක ගත්තොත් එහි සීට්වලට ඇතුළත් කරන සංවේදක උපකරණ හදන්නේ ලංකාවේ. ඒ පොඩි උපකරණය විතරයි ලංකාවේ හදන්නේ. බෙන්ස් කාර් එක අපිට හදන්න බැහැ. එහෙම කළොත් අපිට ලොකු වියදමක් යනවා. මේ දාමය අපි තේරුම් අරගෙන නැති වීම ප්‍රධානම ප්‍රශ්නයක්. හැමදෙයක්ම ලංකාවේ හදන්න පුළුවන් කියන සංකල්පයේ අපි ඉන්නවා. ඒ යුගය දැන් ඉවර වෙලා තියෙන්නේ. අපි එය තේරුම්ගත යුතුයි. අපි දැන් අලුත් යුගයකට ඇවිත් ඉන්නේ. මේ නිසා ලංකාව හැටියට අපිත් මේ මහා පරිමාණ නිෂ්පාදනවල කොටස්වලට එකතු විය යුතුව තිනෙවා.

ඩොලර් අර්බුදය හිතන තරම් සරල නෑ

අපේ රටේ තිබෙන ඩොලර් අර්බුදය අද ඊයේ ඇතිවුණු දෙයක් නෙමෙයි. අවුරුදු ගණනාවක් පුරා තිබුණු ප්‍රශ්නයක්. එයට හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ රට තුළ ව්‍යාපාර කරන්න පුළුවන් පසුබිමක් අවුරුදු ගණනාවක් තිස්සේ හැදුණෙ නැහැ. ලෝක බැංකුව කරන සොයාබැලීමට අනුව ව්‍යාපාර කරන්න පුළුවන් හැකියාව තිබෙන රටවල් අතර අපි හැමදාම හිටියේ පහළ මට්ටමේ. නමුත් අපේ කලාපයේ සිටින ඉන්දියාව, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව වගේ මේ රටවල් සියල්ල අපිට වඩා ඉදිරියට ගිහින් තිබෙනවා. ආයෝජකයෙක් මේ කලාපය තෝරා ගනිද්දි ලංකාව තෝරාගත්තා කියලා විශේෂ වාසියක් ඔවුන්ට නැහැ. ඉතින් අපේ කලාපය තුළ ව්‍යාපාර කරන්න අපේ රට තුළ අපහසු නම්, ඒ සඳහා පහසුකම් නැත්නම් කවුරුත් මෙහෙ ව්‍යාපාර කරන්න එන්නෙ නැහැ. මේ ප්‍රශ්නය අවුරුදු ගාණක් තිස්සේ තිබුණු දෙයක්. ඒ නිසාම වෙන්න ඇති මේ ගැන හොයලා බලන්න ජනාධිපතිතුමා කමිටුවක් පවා පත්කරලා තියෙන්නේ.
ඩොලර් අර්බුදයට තවත් විශාලම හේතුවක් තමයි අපිට ගෙවන්න තිබෙන විශාල ණය කන්දරාව සහ පොලිය. ඒ නිසා ආනයනයට ඩොලර් වියදම් කරනවා වෙනුවට ණය සහ පොලිය ගෙවීමට අපිට ඩොලර් වියදම් කරන්න වෙනවා. මේ වන විට අපිට ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. දැනට තිබෙන දත්තවලට අනුව අපි ලබාගෙන තිබෙන ණයවල පොලිය පමණක් ගෙවන්න අපේ රට ලබන ආදායමෙන් සියයට 50ක් පමණ වැයවෙනවා. මේ තත්ත්වය තුළ ණය, ණය වාරික සහ පොලිය ගෙවන්න අපේ රාජ්‍ය ආදායම මදි වෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම අඩුවෙලා වියදම වැඩි වෙලා තිබෙනවා. රජය උපයන සෑම රුපියලකින්ම සත 86ක් වැය වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න.

මේ තිබෙන තත්ත්වයෙන් නිදහස් වෙන්න තිබෙන එක ක්‍රමයක් තමයි, තවත් ණයක් අරගෙන අපිට තිබෙන ණය සහ පොලිය ගෙවලා ඉදිරියට යන එක. නමුත් ඒක කරන්න අමාරු තත්ත්වයක තිබෙන්නේ. ඒ මොකද ග්‍රේණිගත කිරීම් අනුව අපි පහළ මට්ටමක ඉන්නේ. එවැනි රටකට ණය දෙනවා නම් ඒ දෙන අය විශාල පොලියකට තමයි ණය දෙන්නේ. ඒ නිසා අපිට නැවත ණය අරගෙන මේ ප්‍රශ්නය විසඳන තැනට යන්න බැහැ. මේ නිසාම වෙන්න ඇති දැන් රජය විසින් පෞද්ගලික ආයතනවලට විදෙස් ණය ලබාගන්න අවස්ථාව දීලා තියෙන්නේ.

මුදල් අච්චු ගැසීම විසඳුමක් ද?

දැන් රජය වැඩි වශයෙන් මුදල් අච්චු ගහනවා. රජයට වියදම වැඩිවෙලා අදායම අඩුවෙලා තියෙන නිසා මේ වියදම පියවන්න තව-තවත් ණය ගැනීමට යොමුවෙනවා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් නිතුත් කිරීම හෝ විනිමය සුරැකුම්පත් නිකුත් කරන විට මහ බැංකුවම ඒවා මිලදීගෙන බැංකුවලට යම් මුදල් ප්‍රමාණයක් නිදහස් කරනවා. එය මූල්‍ය පද්ධතියට එකතු වෙන්නේ කිහිපගුණයකින් වැඩි වෙලා. මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ මේ සිද්ධිදාමයට. පසුගිය මාස 18ක කාලයේදී ඒ ආකාරයට මුදල් ට්‍රිලියන 02ක වගේ මුදලක් මේ පද්ධතියට එකතු වුණා.

මේ තත්ත්වය අපිට දරන්න අපහසුයි. මෙහෙම වුණේ රජයේ බදු ආදායම අඩු වුණු නිසයි. මේ ආකාරයට වැඩිපුර මුදල් පද්ධතියට එකතු කිරීම තුළ වක්‍රකාරයෙන් සිදුවෙන්නේ ආනයනය වැඩි වීමයි. මොකද අපි කොපමණ ආනයනය සීමා කළත් මුදල් අච්චු ගැසීම හරහා සිදුවෙන්නේ ජනතාවගේ පරිභෝජනය වැඩි කිරීමයි. උදාහරණයක් විදිහට වාහන ආනයනය තහනම් කරලා තිබුණත්, මිනිස්සු අතේ සල්ලි තියෙනවා නම්, ණය ගන්න පුළුවන් නම් ඔවුන් කරන්නේ වාහනය ගෙන්වනවා වෙනුවට වෙනත් කටයුත්තක් කරන එක. ඇතැම් විට ගොඩනැගිල්ලක් හදන එක හෝ වෙනත් කටයුත්තක් වෙන්න පුළුවන්. එතකොට වාහන ආනයනය කරන ප්‍රමාණය තහනම් වුණාට නිවාස හදන ප්‍රමාණය වැඩි වෙනවා.

ඒ කියන්නේ යකඩ වගේ දේවල් අපිට ආනයනය කරන්න වෙනවා. ඒවා සීමා කරන්න අමාරුයි. අපි එක දෙයක් ආනයනය සීමා කරන විට ඒ හා සාපේක්ෂව වෙනත් දෙයක ආනයනය වැඩිවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මුදල් අච්චු ගැසීම කරන්න හොඳ දෙයක් නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ පරිභෝජනය අඩු කරලා ආනයනය අඩු කරන එක විතරයි. ඒ වගේම අපි අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඕනෑම දෙයකට ඕනෑවට වඩා තහංචි දැම්මොත් කළු කඩ මාෆියාව ඇතිවෙනවා. ‍

චීනය උදව් කරන්නේ ඇයි?

ඒ වගේම මේ තත්ත්වයෙන් ගොඩ එන්න තියෙන විසඳුම් ගැන කතා කරද්දි කට්ටියක් හිතනවා චීනය සමග එකතු වෙලා අපිට මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් කියලා. චීනය අපිට බොහෝ උදව් කරලා තියෙනවා. නමුත් කිසිම අපේක්ෂාවක් නැතිව කිසිම රටක් වෙනත් රටකට උදව් කරන්නේ නැහැ. අපේ රට කාටහරි උදව් කළත් උදව් කරන්නේ එහෙම බලාපොරොත්තුවක් තියාගෙනයි. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ඇතිවුණාම අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහින් අපිට සහන කාලයක් ඉල්ලා ගැනීම. අපිට උදව් කරන්න අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මැජික් බලයක් නැහැ. අපි මේ අරමුදලේ ආරම්භක සාමාජිකයෙක්. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගත යුතුයි.

මොකද අපිට ආයෝජකයෝ එන්නෙත් නැත්තේ, අපිට කවුරුත් මුදල් දෙන්නෙත් නැත්තේ එක හේතුවක් නිසයි. ඒ තමයි අපි මුදල් පරිපාලනය හරියට කරලා නැහැ. අපි ණය ගෙවීම් සම්බන්ධයෙන්, අදායම්-වියදම් ගෙවීම සම්බන්ධයෙන් හරියට කටයුතු කරලා නැහැ. මේ තත්ත්වය තුළ අපි කාගෙන් හරි ණය ඉල්ලුවොත් කවුරුත් අපිව විශ්වාස කරන්නේ නැහැ. ඒකයි අපිට ණය ගන්න බැරි. මේ තත්ත්වය තුළ අපිට ආරක්ෂකයෙක් හොයාගන්න වෙනවා. ඒ නිසයි අපේ අධීක්ෂකයා විදහට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නේ. එහෙම කළාම අපි ගැන ආයෝජකයන්ට විශ්වාසය ඇතිවෙනවා. මේ නිසා අපි කළ යුතු හොඳම දේ එයයි. හැබැයි එය ඉතාම ඉක්මනින් කළ යුතුයි. එතැනදී අඩු පොලියට ණයත් ගන්න පුළුවන් වෙයි. ඒ තත්ත්වය තුළ රුපියල ස්ථාවර කරගන්නත් අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි ආර්ථික ප්‍රතිසංස්කරණවලට යායුතු වෙනවා.’

2021 ජූලි 09 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

ආර්ථිකය දෙස ධනාත්මක ලෙස බලන්න බැරි ඇයි?

අද බොහෝ දෙනෙන් අහන දෙයක් තමයි ඇයි ආර්තිකය ගැන සෘණාත්මක දේවල්  විතරක් කතාකරන්නෙ ආර්ථිකය ගැන ධනාත්මකව බලන්න බැරිද? කියන එක. 

අප සැමට අවශ්‍ය උත්තර මිස ප්‍රශ්න නොවේ. අපි අද ලංකාවෙ තියෙන ආර්තික ප්‍රශ්ණ වලට විසදුම් කතා කරමු. එතනදි තේරුම් ගත යුතු දේ නම්  නිවැරදි දේ කිරීමට උත්සාහ කිරීම තරම්ම, වැරදි දේවල් නොකර සිටීම වැදගත් බව. 

මං පොඩි කාලේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුවා “ඇයි හාමුදුරුවනේ බුදු දහම මෙච්චර සෘණාත්මක. නිතරම කියන්නෙ ලෝකය දුකයි, අනිත්‍යයි, අනාත්මයි කියල. චතුරාර්ය සත්‍ය පටන් ගන්නෙත් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය කියල. නිතරම කියන්නෙ සිහිය පවත්වාගෙන මරණානුස්සතිය වගේ භාවනා වඩන්න, මරණය , හුස්ම ගැනීම ගැන සිහි කරන්න කියල. ධර්මයේ ධණාත්මක මුකුත්ම නැද්ද?” කියල. එතකොට ලොකු හාමුදුරුවො දීපු උත්තරය තමයි “ප්‍රශ්ණයක් තියන බව තේරුම් ගැනීම සහ ඒ ප්‍රශ්ණය විශ්ලේශණය කිරීම සෘණාත්මක දෙයක් නොවෙයි ධනාත්මක දෙයක්. මිරිගුවක ඉන්නවට වඩා සත්‍ය ඇති සැටියෙන් දැකීම සහ යතාර්තවාදී වීම ප්‍රශ්ණයට පිළිතුර සොයා ගැනීමේ මූලික පියවරයි. දුකක් තිබෙන බව තේරුම් නොගෙන දුක නැති කරන්නෙ කොහොමද?. දුක පිළිබදව තේරුම් ගැනීම කොතරම් ධනාත්මකද? කියල මගෙන් පෙරලා ඇහුවා. 

ලංකාවෙ ආර්තිකයත් ඔය වගෙයි. බොහෝ අයට ප්‍රශ්ණයක් තියෙන බව නොතේරීම නිසා ප්‍රශ්නය විසදන්න අමාරුයි. 

ඒ වගේම ආර්තික ප්‍රශ්නය ඉතාම සංකීර්ණයයි. මේක හරියට අවුරුදු ගාණක් තමංගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නෙ නැතුව, වැරදි සෞක්‍ය පුරුදු වලට ඇබ්බැහි වී අසාධ්‍ය රෝගියෙක්ට එක දවසින් එක බෙහෙතක් දී සම්පූර්ණ සුවය දෙනව කියනව වගේ විසදුම් මේ ආර්තික ප්‍රශ්න වලට නෑ. සෑම විසදුමක්ම කාලයත් එක්ක අනුරූප වෙන්න ඕන.   

කෙටිකාලීන විසදුම් 

ලංකාවේ ආර්තිකයත් දැන් හෙමින් ගමන් කරමින් ඉන්නෙ අසීරු අඩියකට. හරියට හොදටම සීනි වැඩි වෙලා සිහිමුර්ජාවුණ දියවැඩියා රෝගියෙක් වගේ. දැන් මේ රෝගියට මුලින්ම ව්‍යායාම කරන්න, හොද කෑම කන්න කියල කියන්න කලින් සැර බෙහෙතක් දීල සිහිය ගන්න ඕන. ඉක්මනට රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පහළට ගන්න සැර බෙහෙතක් හෝ ඉන්සියුලින් වගේ ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕන.  ඒකට තමයි අපේ දැන් තියෙන තත්ත්වය අනුව මුලින්ම අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යන්න වෙන්නෙ. බොහෝ දෙනෙක්ට නොතේරෙන දෙයක් තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන්නෙ  1950 අපිම සාමාජිකත්වය ගත්ත ලෝකයේ බොහෝ රටවල් සාමාජිකත්වය අරගෙන තියෙන සංවිධානයක් බව. ශ්‍රී ලංකාව මහ බැංකුව පිහිටවපු දවසට පහුවෙනිදම අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමජිකත්වය ගත්තා. අපේ මුදල් ඇමැතිතුමා සහ මහ බැංකු අධිපතිතුමා තමයි ඔය සංවිධානයේ ලංකාව නියොජනය කරන්නෙ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අපිව මේ ප්‍රශ්ණයෙන් ගොඩ ගන්න මැජික් ක්‍රමයක් නෑ. ඔවුන් සමග වැඩසටහනකට ගියාම වෙන මූලිකම දේ තමයි දැනට අපිට ණය දෙන්න අදි මදි කරන, අපේ රටේ මූල්‍ය ස්තාවරබව ප්‍රශ්ණ කරන ආයෝජකයන් භය නැතුව ඔවුන්ගේ මුදල් රටට රැගෙන ඒම සහ අපිට ණය ලබාදීමට ඉදිරිපත් වීම. මොකද අන්තර්ජාතික අරමුදල යම් කිසි වගවීමක් අපේ ආර්තිකයේ ප්‍රතිසංස්කරණ පිලිබදව ගන්න නිසා. එහෙම වෙද්දි මේ තියන ඩොලර් අර්බුදයෙන් පොඩි හුස්මක් ගන්න අපිට පුලුවන්. ඒක ඉතා කෙටි කාලීන හුස්මක් බව අපි මතක තබාගත යතුයි. දියවැඩියා රෝගියට සිහිය ආපු ගමන් ආයෙත් අයිස්ක්‍රීම් කන්න පුලුවන් වෙන තරමෙ සහනයක් නෙවෙයි ඒක. එමගින් අපේ අපනයක ක්ශේත්‍ර සහ ආනයන වෙළදාම නැවත යතා තත්වයට ගේන්න පුලුවන්. ආර්තිකයට පොඩි පිම්මක් ගන්න පුලුවන්. එතනදි  අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යා යුත්තේ නැවත එම ආයතනයට නොයන ආකාරයට අපේ ආර්ථිකය හදන සැලස්මකුත් එක්කයි.  

ඒ වගේම කෙටිකාලීනව අපි මුලින්ම අපේ මූලිකම ආනයනය වන ඛණිජ තෙල් මිල ලෝක වෙළදපොලත් එක්ක සමපාත වෙන මිල ක්‍රමයක් හදුනවා දෙන්න ඕන.  30%ක් වන ලංකාවේ ඇති හැකි අය ඛණිජ තෙල් වලින් 70%ක් භාවිතා කරනවා. ලෝක වෙළදපොලේ මිල එක්ක වෙනස් වන ක්‍රමයකින් අපේ වැඩිම ආනයන භාණ්ඩය සහ වැඩිපුරම ඩොලර් වියදම් වෙන ඛණිජ තෙල් වලට වෙන බලපෑම අඩු කරන්න පුලුවන්.  

 මේ දෙකම ටිකක් තිත්ත බෙහෙත් බොනවා හා සමානයි. නමුත් සිහිය නැතිවෙලා අසාධ්‍ය මට්ටමේ ඉන්න ලෙඩෙක්ට විටමින් සී දිල සිහිය ගන්න අමාරු බව අපි තේරුම් ගන්න ඕන. 

ඒ වගේම රජයේ වියදම් සීම කරන්නම වෙනවා. අලුතෙන් රජයට සේවකයන් බදවා ගැනීම නවත්තන්න වෙනවා. දැටමත් අපි එකතු කරන හැම බදු රුපියලකින් ශත 86ක් යන්නෙ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න. ඉතිං තවත් සේවකයන් බදවගෙන පඩි ගෙවන්න සල්ලි කොහෙන්ද? බොහෝ අයට හිතන දෙයක් තමයි  රජයේ සේවකයන් බදවා ගැනීමෙන් රට සංවර්ධනය කරන්න පුලුවන් කියන එක. ඒත් එය මිත්‍යාවක් බව නිදහසෙ පසු අවුරුදු 70ම   එක ලෙස පෙන්වල තියෙනවා.  

මධ්‍යකාලීන විසදුම් 

තිත්ත බෙහෙත් වර්ග තුනක් එක ළග බිව්වම පොඩ්ඩක් අපිට ඔලුව උස්සන්න පුලුවන් වෙනවා. නමුත් අපේ සමාජයේ ඉන්න දුප්පත්ම පිරිසට වෙන පීඩනය අවම කරන්න අපි ඉක්මනටම ක්‍රමයක් හදන්න ඕන. දැනට ඒකට තියෙන ක්‍රමය නම් සමෘද්ධිය. ඒත් සමෘද්ධිය සැබෑවට හිමිවිය යුතු අයයි, හිමිනොවිය යුතු අයත් ඒක ලබාගන්නව.  ඒවගේම සමෘධිය ලැබෙන්න ඕන විශාල පිරිසකට ඒක ලැබෙන්නෙ නෑ. ඒ නිසා සමෘද්ධි ලැයිස්තුව  සුද්ද කරන්න ඩිජිටල් ක්‍රමයක් හදුන්වා දිය යුතුයි.  ඒ වගේම සමෘධිය ස්ථර කීපයකට තිබීම වැදගත්. දුප්පත්ම අයට වැඩි මුදලකුත්, ඊට වඩා තමක් දුප්පත්කම අඩු අයට සදහා ඊට අඩු මුදලකුත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් හරහා යන ආකාරයට හදන්න ඕන.  යම් විදියකින් තෙල් මිල වැඩි වීම, කිරිපිටි ඉල වැඩි වීම, ගෑස් මිල වැඩිවීම, විදුලි මිල වැඩි වීම වගේ අවස්තාවලදි දුප්පත් කම වැඩිම පිරිසට මිල වැඩිවීමට අනුරූප සහනාධාරයක් මුදල් වශයෙන් සෘජුව ලබාදීමට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම මිල අඩු වෙද්දි එම සහනාධාරය නැවත අඩු කිරීමට හැකියාවක් ලබා දෙනවා. සරළව කියනවනම් හැම මාසෙකටම එකම සමෘධි මිලක් වෙනුවට ජීවන වියදමත් එක්ක ඉහළ පහළ යන සමෘධි ක්‍රමයක් සැදිය යුතුය. එවිට සමාජයේ දුප්පත් පිරිසට එයින් ගොඩ එන්න අවස්ථාව හිමිවෙනව.

ඉන්පසු මධ්‍යකාලීනව කිසිම තේරුමක් නැති විශාල පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූගගත කිරීම අනිවාර්යයි. අර්බුදයෙන් ගොඩ ඒමට නම් බොහෝ ඒවා පෞද්ගලීකරණය කරන්න වීම නවත්වන්න අපහසුයි. ඒ සදහා දේශීය ආයෝජකයන්ට සහ දේශීය සහ විදේශීය ව්‍යාපාර සංකලන වලට අවස්තාව ලබා දිය හැකියි. බොහෝ දෙනෙක් නොදන්න දෙයක් නම් මේ ආයතන වල විශාල පාඩු ගෙවන්නේ සාමාන්‍ය දුප්පත්ම ජනතාව බව. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පළමු මාස 4ට පමණක් බිලියන 24ක් පාඩු ලැබුවා. මාස 4ට ලැබූ පාඩුව අපි සමෘද්ධියට මුලු අවුරුද්දටම වෙන් කරන මුදලින් අඩකට සමානයි. මේ දක්වා එම ආයතයන ලබා ඇති මුලු පාඩුව බිලියන 372ක්. එය මේ වසරේ සමෘධියට වෙන් කර ඇති මුදල වගේ 7 ගුණයක්. තවත් සරල කරනවා නම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලැබුවේ නම්, ඒ මුදලින් පමණක් මේ වසරරේ සමෘධිය 7 ගුණයක් වැඩි කිරීමේ හැකියාව තිබුණ.

එතරම් පාඩු ලබන ආයතන තබා ගෙන මේ ආර්තික අර්බුදයෙන් ගොඩ එන එක පහසු නෑ. ශ්‍රී ලංකන් කියන්නෙ මේ වගේ පාඩු ලබන එක ආයතනයක් පමණයි. මෙවැනි රජයට අයිති ආයතන 527කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් ඒවයින් සැලකිය යුතු වෙනසක් නොකර මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒම දවල් දකින සිහිනයක්. මේ සමහර තීන්දු තිත්ත බෙහෙත් වගේ ජනප්‍රිය නොවන තීන්දු වීමට ඉඩ තිබෙන බව රහසක් නොවෙයි. ඒ බවත් අපි විවෘතව පිළිගැනීමට නිහතමානී විය යුතුයි. 

මීළග මධ්‍යකාලීන විසදුම සදහා දැනටමත් ජනාධිපතිතුමා කමිටුවක් පත් කරනු ලැබූවා. ඒතමයි අනවශ්‍ය නීති රීති සහ බාධාවන් ඉවත් කිරීමේ කමිටුව. ඒ හරහා ව්‍යාපාර කිරීමට තිබෙන අනවශ්‍ය නීති ඉවත් කිරීම අනිවාර්යයි. එතකොට ව්‍යාපාර වල පිබිදීමක් නිරායාසයෙන් ඇති වෙනවා. 

දිගු කාලීන විසදුම් 

දිගු කාලීනව අපි මුලින්ම අපේ ඉඩම් ප්‍රශ්නය විසදිය යුතුමයි. දැනට ලංකාවෙ ඉඩම් වලින් 80%ක් අයිති රජයට. ඒ නිසා අපේ තියන මූලික ප්‍රශ්නය තමයි ඉඩම් නිසි පරදි ඵලදායීව භාවිතා නොකිරීම. එය අපේ ගොවිතැන, කෘෂිකර්මය වගේම අපේ වනාන්න්තර සදහාත් මේ ඉඩම් අයිතිය බලපානවා. අපේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය සේන්දු වීමට නම් ඉඩම් වල සින්නක්කර අයිතිය සහ ඔප්පු ජනතාවට ලැබීම සිදුවියම යුත්තක්.  එහිදී බැංකු හරහා මුදල් මූල්‍ය පද්ධතියට මුදල් එකතු වීමෙන් ආර්තිකයේ විශාල පිම්මක් ඇති කළ හැකියි. ඉඩම්වල අයිතිය ජනතාව ලැබුණු විට ඒ හරහා ණය ලබා ගැනීමෙන් විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම, කෘෂිකර්මාන්තයට ඉඩම් අවශ්‍ය තාක්ෂණය ගෙන ඒමට කරන ඉදිකිරීම් වශයෙන් විශාල තාක්ෂණික සහ ආර්තික විප්ලවයකට පාර කැපිය හැකියි. 

එමෙන්ම මෙරට උසාවි වල විශාල ලෙස එකතුවී තියෙන නඩු හබ බොහොමයක් ඉඩම් නඩු. ඒ අනුව උසාවි වල නඩු එකතු වීමෙන් අධිකරණ ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. අධිකරණ කාර්යක්ෂම කිරීමෙන් අපේ ව්‍යාපාර කාර්යක්ෂම කිරීමට අවස්තාව ලැබෙනවා. ඒ වගේම දැනටමත් ක්‍රියාත්මක වෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ඉක්මනින් කල යුතුමයි. අධිකරණ ක්ශේත්‍රය කාර්යක්ෂම කිරීම ව්‍යාපාර සංවර්ධනයට විශාල ලෙස බලපානු ලබනවා. 

මීලගට අප දීර්ගකාලීනව අපේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක්. අපේ මහ බැංකුවට මුදල් සැපයුම අඩු වැඩි කරන්න පුලුවන් ප්‍රමාණය ගැන නිසි නීති ගෙන ඒම, අපට ස්වාධීනව ණය කළමණාකරණය කළ හැකි ආයතයක් පිහිටවීම සහ මුදල් විෂය භාර වෙනම ඇමතිවරෙක් සිටීම (ජනාධිපති හෝ අගමැති නොවන) වැනි සමස්ත මූල්‍ය පද්ධතියම ආරක්ශාවන දිගු කාලීන විසදුම් අවශ්‍යමයි. මහ බැංකුව අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්තිය ස්තාවර කරන, අපට තිබෙන සංචිත මත පමණක් මුදල් සැපයුම වැඩි කල හැකි ක්‍රමයක් සකස් නොකර මේ ප්‍රශ්ණයෙන් ගොඩ එන්න අපහසුයි. 

එම දිගු කාලීන විසදුම් හරියට දිය වැඩියා රෝගියා තරමක් සුවය ලැබූ පසු නැවත ව්‍යායාම සඳහා යොමු වීම වගේයි. 

මේ ඉදිරිපත් කර තිබෙන්නේ විසදුම් වලින් කිහිපයක් පමණයි. අපි නිවැරදි තීරණ නොබියව, නිසි කලට ගතහොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ ඒමට පුලුවන්. එම නිසා අප කළ යුත්තේ නොබියව තීරණ ගනිමින් ඉදිරියට යාමයි. ප්‍රශ්නය ඇති සැටියෙන් දැකීමෙන්ම ප්‍රශ්ණයෙන් 50%ක් විසදෙන බව අපි මතක තබා ගමු. ඒ වගේම දුක අවබෝධ කර ගැනීම දුක නැති කිරීමේ පළමු පියවර අපි සිහියේ තබා ගමු. 

2021 ජූලි 09 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්

රුපියල බාල්දුවීමේ ආර්ථික විද්‍යාව

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල වැඩි වීම බොහෝ දෙනාට තේරුම් ගැනීම අසීරුය. මේ සම්බන්ධ විවිධ මත පළවේ. මේ ගැන බොහෝදෙනා තේරුම් කරන්නෙ ගැඹුරු විදිහටය. මෙය විවිධ අය විවිධ විදියට දැකීමට හේතුවකි. එනම් බොහෝදෙනා විස්තර කරනුයේ එක් කොටසක් පමණි. හරියට අර තරුණයන් කිහිප දෙනෙක්ට කළුවරේ අලියව අල්ලල අලිය මොන වගේද කියල කියන්න කිව්වා සේය. කකුල අහුවුණ තරුණයාට අලියා වංගෙඩියක් විය. කන අසවූ තරුණයාට අලියා කුකුළෙක් විය. මේ නිගමනයන් හැම දෙයම කොටස් වශයෙන් ගත්විට එය සම්පූර්ණයෙන් වැරදි නොවන නමුදු නිවැරැදි ද නැත. එහෙත් අලියා මොන වගේදැයි දැන ගැනීමට නම් මුළු අලියාම එක පාර බැලිය යුතුය.

ඩොලර් එක වැඩි වෙන්නෙ ඇයි? එහිදී අලියගෙ කකුල අල්ල ගත්තා මෙන් එක පිරිසක් මේක අල්ල ගන්නෙ ආනයන අපනයන ගෙනි. ශ්‍රී ලංකාවට ඩොලර් නැති බව රහසක් නෙවේ. වසර ගණනාවක සිට අපට ඩොලර් ලැබෙන්නෙ අඩුවෙනි. මෙය ආනයන අපනයනයන් ගැන විග්‍රහ කරන්නන් පවසන්නේ ‘අපි ඩොලර් බිලියන 20ක් ආනයනය කර, අපනයනය කරන්නෙ ඩොලර් බිලියන 10ක් ලෙසිනි. එනිසා ඉතුරු දහය පිරවීමට අපි ඩොලර්වලින් සල්ලි සෙවිය යුතු බවත්, එහිදී ඩොලරයේ මිල ඉහළ යන බවයි. බැලූ බැල්මට එම තර්කයේ වරදක් නැත. එනිසා ආනයන තහනම් කළ යුතු බව පවසයි. අපනයන විවිධාංගීකරණය කර, අගය එකතු කළ අපනයනයන්ගෙ අවශ්‍යතාව පෙන්වාදේ. ඩොලර්වල මිල වැඩි වීමට බොහෝ ජනප්‍රිය මතය එයයි. නමුත් ඔවුන්ට ලෝකයේ නවීන ආර්ථිකය හැඩ ගැසී ඇති ආකාරය ගැන නිරවුල් අවබෝධයක් නැත. අපේ අපනයන රඳාපවතින්නෙ ආනයන මතය. අපේ ආනයන වලින් 80%ක්ම ප්‍රග්ධන භාණ්ඩ සහ අතර මැදි භාණ්ඩය. එසේ නම් ඩොලර් ඉතුරු කිරීමට ආනයන තහනම් කළ විට අපනයනයද කඩා වැටේ. ඒ ගැටලුවේ එක් පැත්තකි. එමෙන්ම තවත් පිරිසක් පවසනුයේ අප ණය ගැනීම නිසා ඒවා ගෙවීමට ඩොලර් අවැසි බැවින්, ඩෝලර් මිල ඉහළ යන බවයි. තව පිරිසක් ඇමැතිවරු වාහන ගේනව, වියදම් කරන නිසා අපට ඩොලර් හිඟ බව පවසති. මේ සෑම කතාවකම ඇතැම් කොටස්වල සත්‍යතාවක් ඇත. එය අලියගෙ අල්ල ගත්තා සේ පවසන විස්තර වැනිය. එසේ නම් මුළු ප්‍රශ්නයම දිහා බැලිය යුත්තේ කෙසේද?

මේ වන විට රජය සහ විපක්ෂය විශාල මූල්‍ය ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන තිබේ. එය ඉතාම සාධනීය තත්ත්වයකි. ඊට හේතුව ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම විසඳුමක් සොයා ගැනීමේ පළවෙනි පියවරයි. මෙම ගැටලුවේ බොහෝ දෙනෙක් නොදකින මානයක් නම් ‘මූල්‍ය ප්‍රතිපත්තිය“ [Monetary Policy] නැත්තම් මහ බැංකුව රටේ භාවිතයට සපයන මුදල් ප්‍රමාණයයි. සල්ලි අච්චු ගසනවා යනු ඔය මුදල් ප්‍රමාණය වැඩි කිරීමටය.

මෑත කාලයේදී ශ්‍රී ලංකා බහ බැංකුව යම් මුදල් ප්‍රමාණයක් අච්චු ගසන බවත් සඳහන්ය. (ආර්ථික විද්‍යාවෙන් පවසනවා නම් මහ බැංකුව සතුව තිබෙන භාණ්ඩාගර බිල්පත්වල එකතුව තමයි මුද්‍රණය කරන මුදල් ප්‍රමාණය ලෙස සැලකෙන්නේ) දත්ත අධ්‍යයනයේදී පෙනෙන දෙය නම්, සෑම විටම මහ බැංකුව මුදල් අච්චු ගසන විට (රජයේ භාණ්ඩාගාර බිල්පත් ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගන්නා විට) ඩොලර් හිඟයක් ඇති වන බවය. මෙය බොහෝදෙනා තේරුම් ගෙන නැත.

සල්ලි අච්චු ගසද්දි බොහෝ දෙනා පවසනුයේ එයින් උද්ධමනය නැත්තම් අපි එදිනෙදා ගන්නා භාණ්ඩවල මිල වැඩිවෙන බවයි. එම ප්‍රශ්නයට පිළිතුරු දෙන මහ බැංකුව සහ ඇතැම් ආර්ථික විද්‍යාර්ථයන් ප්‍රකාශ කරනුයේ ‘ආර්ථික අවපාතයකදී, එනම් මිනිස්සුන්ට රැකියා අඩුවී, පරිභෝජනය සීමා කර ඇති සමයකදී සල්ලි අච්චු ගැහුවට ප්‍රශ්නයක් නැති බවත්, ඇමරිකාව ජපානය වැනි රටවල් ද නිරන්තරයෙන් සල්ලි අච්චු ගසන බවත්ය. එසේ කිරීමෙන් ආර්ථිකයට නව පණක් ඇවිත් සක්‍රීය වෙන වන බවත්ය.

එම තර්කන ගෙන එන්නන්ට අමතක වෙන දෙයනම් ඇමරිකාව සහ ජපානය වැනි රටවල් භාවිත වන්නේ ස්ථාවර මෙන්ම මුළු ලෝකයේම ඉල්ලුමක් තියෙන මුදල් ඒකකවලට බවයි. ඒ නිසා ඔවුන්ට එසේ කළ හැකිවුවද අපිට එසේ කිරීම දුෂ්කරය. අප එසේ කළ විටම ඩොලර් අඩුවී එය විනිමය ප්‍රශ්නයක් දක්වා දුරදිග යනු ඇත. (Balance of payment crisis - BOP crisis)

2019 වර්ෂයේ මුල් වකවානුවේදිත් මේ ප්‍රශ්නය මෙලෙසම පැන නැගුණි. රජය සතුව තිබූ බිලියන 68ක්ව පැවති භාණ්ඩාගාර බැඳුම්කර බිලියන 180 දක්වා වැඩි කරනු ලැබීය. එනම් රුපියල් බිලියන 112ක පමණ මුදලක් ක්‍රමාණුකූලව මුද්‍රණය කළේය. නමුත් නැවත මූල්‍ය පද්ධතියේ තිබූ මුදල් අවශෝෂණය කිරීමත් සමග තත්ත්වය වසර අග වන විට තරමක් සමනයකට පත්විණි.

දැන් තත්ත්වය 2019 මුල් භාගයට වඩා වෙනස්ය. 2019 මුල්භාගයේ බහ බැංකුව සතුව තිබූ රු. බිලියන 112 වටිනා භාණ්ඩාගාර බිල්පත් සමග සැසඳීමේදී මේ වනවිට බිලියන 919 ක් පමණ ප්‍රමාණයක් මහ බැංකුව සතුව භාණ්ඩාගාර බිල්පත් ඇත. එනම් 2019 අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කරන ලද කාලයට සාපේක්ෂවත් තවත් බිලියන 800 කට ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ. ඒ අනුව 2019 මුල් වකුවානුවේ ඇති වූ ආකාරයේම ඩොලර් අර්බුදයක් දැන් ඇතිවී තිබීම නොවැළැක්විය හැකිය.

රුපියල් මුද්‍රණය කළ විට ඩොලර් අඩු වෙන්නෙ කෙලෙසද? එයට හේතුව නම් රුපියල මුද්‍රණය කිරීමේදී අපේ පර්භෝජනය වැඩිවේ. අපේ පරිභෝජනයේ වැඩි කොටසක් තිබෙනුයේ ආනයනවලින් සමන්විත වියදම්වලිනි. උදාහරණයක් ලෙස අපි නිවසක් සාදනව නම් යකඩ සිමෙන්ති ඇතුළු බොහෝ දේ ආනයනය කිරීමට සිදුවීම නැවැත්විය නොහැකිය. ඒ නිසා මෙය පාලනය කළ හැක්කේ අපගේ පාරිභෝජනය අඩු වීමෙන් සහ වෙළෙඳපොළ ක්‍රමය මත පදනම් වී ස්වභාවික මිල තීරණය වීමකට ඉඩ දීමෙන් පමණි.

සල්ලි අච්චු ගැසීමෙන් සිදුවන සිද්ධාත්නය බොහෝදෙනාට අවබෝධ කරගත නොහැක්කේ අපේ රුපියල සහ පිටරට මුදල් ඒකකයි අතර ඇති සම්බන්ධතාව අවබෝධ කර ගැනීම අසීරු බැවිනි. මෙය අවබෝධ කර ගැනීමට නම් මුදල් බිහිවීමේ ඉතිහාසයට යා යුතුය. අතීතයේ මුදල් තිබුණේ රත්තරන් රිදී වැනි කාසිවලිනි. නෝට්ටු නොතිබිණි. එසමයේ අලුතින් සල්ලි අච්චු ගසනවා නැති නම් කාසි හදනවා යනු වැඩි වැඩියෙන් රත්තරන් රිදී වැනි වටිනා ලෝහ තවත් භාවිතයට ගැනීමය. සරලව පවසනවා නම් සෑම කාසියකම වටිනාකමට ගැළපෙන රන් හෝ රිදී හෝ වටිනා ලෝහයක් ඒ කාසිය ඇතුළෙම ගැබ් වී ඇත. එනිසා කෙතරම් කාසි හැදුවද ගැටලුවක් නොවිණි. ඊට හේතුව නම් කාසියත් සමගම යම් කිසි නිෂ්පාදනයක් සහ ක්ෂය නොවන වටිනාකමක් එකී කාසි‍යේ ගැබ්ව තිබීමයි. වර්තමානයේ භාවිත කරන නෝට්ටු කිසිදු වටිනාකමක් නැති කොළ කැබැල්ලකි. එයට වටිනාකමක් ලැබෙනූයේ අදාළ රජයෙන් දෙන නීතිමය වටිනාකම පමණි. මේ නෝට්ටුවට යම්කිසි වටිනාකමක් ලබාගන්න කරන එක දෙයක් නම්, මේ නෝට්ටුව සාමාන්‍යයෙන් මිල ඉහළ පහල නොවන රත්තරන් හෝ ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් වැනි ස්ථාවර මුදල් ඒකකයක් හෝ ඒකක කිහිපයක් සමග ඇමිණීමයි. එය හඳුන්වනුයේ Peg කරනවා යනුවෙනි. ඇතැම් රටවල ඔවුන්ගේ රටේ මුදල් ඒකකය මෙවැනි ස්ථාවර මුදල් ඒකකත් සමග සෘජුවම, තදින්ම අමුණා ඇත. එනම් එකී රටවල මූල්‍ය පද්ධතියේ ඇති සම්පූර්ණ භෞතික මුදල් ප්‍රමාණය (Money base) ඔවුන්ගේ රටේ තිබෙන රත්‍රන්, ඩොලර්, ස්ටර්ලිං පවුම්, වැනි ස්ථාවර මුදල් ප්‍රමාණයට සමාන හෝ අඩුය. අලුතින් මුදල් අච්චු ගැසිය හැක්කේ ස්ථාවර මුදල් ඒකක වල වටිනාකමට පමණි. හිතුමතයට මුදල් අච්චු ගැසිය නොහැක. මුදල් අච්චු ගහනවා නම්, ඒ අච්චු ගහන මුදල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් තමන්ගෙ සංචිත වැඩි කළ යුතුය. එය විනිමය පාලක ස්වභාවයක් ලෙසින් හඳුන්වයි. (Currency Board). Currency Board යනු නීතිමය රාමුවක් මිස මිනිසුන් සිටින සභාවක් නොවේ. මිනිස්සු සිටිනුයේ දෛනික කටයුතුවලට පමණි.

ඒ වගේ රටවල් වලට මහ බැංකුවක් අවශ්‍ය නැත. නීතියෙන්ම මුදල් අච්චු ගැසිය හැක්කේ ‍රට සතුව තිබෙන සංචිත ප්‍රමාණයට පමණි. හොංකොං වැනි රාජ්‍යයන් අනුගමනය කරනුයේ Currency Board ක්‍රමයයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව දැනට රටවල් 48 ක් පමණ Currency Board භාවිත කරයි. ඇතැම් රටවල් කෙළින්ම තම රටේ මුදල් ඒකකයක් නොමැතිව ස්ථාවර මුදල් ඒකකයක්ම භාවිත කරයි. Dollarization යනු එයටයි. පැනමාව වැනි රටවල් භාවිත කරනුයේ කරන්නේ ඇමරිකානු ඩොලරයයි. (පැනමානු බැල්බෝලාව[Balboa] තිබුණ ද මූලිකව භාවිත වන්නේ ඇමරිකානු ඩොලර්ය. මෙවැනි ක්‍රමයක් පාවිච්චි කරන්න දැඩි මූල්‍ය විනයක් අවැසිය. ඊට හේතුව යම් ගැටලුවක් ඇති වුවහොත් මැද්දට පැන මුදල් සැපයීමට කිසිවෙක් නොමැතිවීමයි. එලෙස සැපයීමට ද නොහැක. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ වියදම ආදායමට වඩා වැඩි වූ විට මහ බැංකුවෙන් මුදල් ඉල්ලිය නොහැක. වැඩිපුරම මහ බැංකුව මුදල් අච්චු ගසනූයේ රජයේ වියදමටය. රජයේ වියදම වැඩිවන විට ඉබේම ඩොලර් අඩුවේ. මාර්ගවල ඉන්ධන සහ නොයෙක් ව්‍යාපෘති වල වැඩිපුරම ඇත්තේ ආනයනය. රජය වැඩිපුරම මුදල් විය‍දම් කරන්නෙ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මහා මාර්ග වැනි දේටය. ඒ සෑම දේම ආනයනය. (රාජ්‍ය සේවක වැටුප් සහ අනෙක් සුබසාධන වියදම් හැරුණු විට).

මෙරටද Currency Board එකක් හෝ ඒ සමාන ආකෘතියක් ඉදිරිපත් කළ හැකි නම් මේ ප්‍රශ්නය අපිට යම් තාක් දුරකට සමනය කරගත හැකිය. එය කළ නොහැක්කේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි බැවින් මුදල් අඩුවෙන සෑම මොහොතකම මහ බැංකුවෙන් මුදල් ඉල්ලීම නිසාය. බොහෝ අය රුපියල අවප්‍රමාණ වීම, ඩොලර් නොමැතිවීමට හේතුව විදිහට ආනයනය දැක්කට සත්‍ය ලෙසම රුපියල අවප්‍රමාණ වන්නේ වැඩිපුර මුදල් අච්චු ගහන නිසාය. වැඩිපුර මුදල් අච්චු ගහන්න වෙන්නේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි නිසාය. ලංකාවෙ රුපියල් ට්‍රිලියන 1 ක් (බිලියන 1000) පමණ අය වැය පරතරයක් තියෙනව සෑම වර්ෂයකම. එනිසා ඩොලර් අඩුවෙන්න මුල්ම හේතුව මුදල් අච්චු ගැසීම සහ රජයේ වියදම වැඩිවීමයි. එමෙන්ම අලියා සම්පූර්ණයෙන් දකින්නෙ නැතුව කොටස් වලින් අල්ලා නිගමනය දෙනා මෙන්ම මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් නොදැක විසඳුම් යෝජනා කිරීම ප්‍රශ්නය තවත් වැඩිවීමක් බවත් මතක තබාගත යුතුය.

2021 ජූලි 02 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්