චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න... කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න

ධනවත් මනසක් නැති අපට ධනයෙන් පොහොසත් විය නොහැක

මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්‍රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්‍රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ... මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල් න්‍යායත් එක්ක... ඒ නිසා මුදල් අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ, චීනය අපිට වැටෙන්න දෙන්නේ නෑ වැනි අදහස්ය.

අප විසින් නිර්මාණය කරගත් ආර්ථික අර්බුදවලින් අප ගලවා ගැනීමට අපට මිතුරු වෙනත් විදෙස් රාජ්‍යයන් අපට පිහිටුවේ යැයි සිතීම නොකළ යුත්තකි. හදිසි ස්වභාවික විපතකදී හෝ වෙනත් හදිසි තත්ත්වයකදී එලෙස උපකාර කළද, අපිම කාලක් තිස්සේ නිර්මාණය කරගත් අර්බුදවලින් ගොඩඒමට ඔවුනගේ පිහිට පැතීමද එකී රටවල්වල මිත්‍රත්වයටත් කරන අගෞරවයකි.

මේ තීරු ලිපියෙන් වතාවන් ගණනාවකදීම සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ණය පිළිබඳ සහ ඒ හා බැඳුණු ආර්ථික ප්‍රතිසංස්කරණ නොකිරීමේ ගැටලු මාලාවක් මිස වෙනෙකක් නොවේ. අපි අද ණය පිළිබඳව සාකච්ඡාව නැවත ආවර්ජනය කරන්නේ දැන් ආර්ථික අර්බුදය තීව්‍ර වනවාත් සමගම ණය අර්බුදය දෙස නැවත බැලීම වැදගත් නිසායි. ඇල්බර්ට් අයින්ස්ටයින්ට (Albert Einstein) අනුව "මේ ලෝකෙ 8 වැනි පුදුමය නම් වැල් පොලියයි (Compound Interest). වැල් පොලිය තේරුම් ගත් කෙනා හම්බ කරන අතර තේරුම් නොගත් කෙනා ගෙවන බව අයින්ටයින් පැවසීය. දැන් ලංකාව ඉන්නේ ගෙවන පැත්තේය.

චීනය ගැන දැනගන්න ජපානය පහුකරගෙන යන්න ඕන

1. ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio) 240%කි. එසේ නම් ලංකාව 90% - 100% ක් වීම නිසා ඇතිවෙන ගැටලුව මොකකද?  එය මෙලෙස විග්‍රහ කර ගනිමු. ජපානයේ ණයවලින් විශාල ප්‍රමාණයක් ඇත්තේ ඔවුන්ගේ රටේ මුදල් ඒකක වන ජපන් යෙන්වලිනි (Japaneese yen). තවත් සරලව පවසනවා නම් ජපානයේ වැඩිපුර ණය ඇත්තේ දේශීය ණය ලෙසිනි. (ඒ රටේ මිනිස්සුන්ටම තමයි ණය) එනිසා ණය පියවීමට සඳහා ඕනෑම මොහොතක මුදල් අච්චු ගසා හෝ ණය ගෙවා ගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. ඒත් ලංකාවේ ණය විශාල වශයෙන් තිබෙන්නේ ඇමරිකානු ඩොලර්වලිනි (සහ වෙනත් මුදල් ඒකකවලින්). එකී මුදල් ඒකක අපිට අච්චු ගැසිය නොහැක.

අප අවධානය යොමුවිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio)  නොවේ. අවධානය යොමුකළ යුත්තේ අවුරුද්දකට අපට ගෙවීමට ඇති පොලිය අපේ ආදායම මෙන් කොපමණද යන්නය. ජපානයේ ආදායමෙන් ඔවුන් ගත් ණයවල පොලිය වශයෙන් වසරකට ගෙවීමට ඇත්තේ 1%කට ආසන්න ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ ණයවලට පොලිය ලෙසින් අප අපේ ආදායමෙන් 47%ක් ගෙවිය යුතු වේ. සරලවම පවසනවා නම් මෙරට පුරවැසියකුගේ ආදායම රු100 නම්, රු. 47ක් වැයවන්නේ වාහනේ ලීසිං වාරිකයේ පොලිය ගෙවීමටය (ණය මුදලින් රුපියලක්වත් අඩු වෙන්නෙ නැතිව). වාහනයේ ලීසිං වාරිකයේ පොලිය සහ ණය මුදලේ කොටසක් ගෙවීමට පමණක් රු. 106ක් අවශ්‍යය. (ආදායම රු.100ක් වුණාට) ජපාන පුරවැසියෙක් තම මෝටර් රථයේ ලීසිං වාරික‍යේ පොලිය ලෙසින් ගෙවිය යුතු වන්නේ ඔහුගේ ආදායමෙන් රු. 1ට ආසන්න ගණනකි. එනිසා ජපනා කාලයත් සමග ණය ගෙවීමේදී ඔවුන්ගෙන් ණය අඩු වේ. එනිසා අලුතෙන් ණයගත හැකිය. එහෙත් ලංකාවේ අප ණයවල පොලිය ගෙවනුයේද නැවත පොලියට ණය අරගෙනය. එවිට පොලිය අඩු නොවේ. ණය අඩු නොවේ. ජපානය සහ ලංකාවයි සංසන්දනය කළ නොහැක්කේ එබැවිනි. ලෝකයේ මුදල් ඒකක ස්ථාවර

ඇතැම් සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP ratio) එක 100%ට වැඩිය. අනික් හේතුව නම් ජපාන රජයේ බදු ආදායම ඔවුන්ගේ සම්පූර්ණ නිෂ්පාදනයෙන් (GDP) 40%ට වැඩිය. ලංකාවේ බදු ආදායම අපේ නිෂ්පාදනයෙන් (GDP) 12%කට ආසන්නය.

ඉතින් ණය ගෙවා, රැකියා විරහිත වූ උපාධිධාරීන්ට රැකියා දී, පාඩු ලබන සියලු රාජ්‍ය ආයතනවලට පඩි ගෙවා, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා, සමෘද්ධිය ලබාදී, ඇමැතිතුමන්ලාට වාහන අරගත්තාට පසු ණය ගෙවීම සම්බන්ධ කරුණ අත්හැරියද ඉහත වියදම් සඳහා අපේ ආදායම මදිය. අනික් පැත්තෙන් පොලියයි ණයයි පමණක් ගෙවීමටද අපේ ආදායම මදිය. එවැනි තත්ත්වයකදී ජපානය සමග සංසන්දනය කර ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයට ණය ගැන හිතලා මානසික ආතතිය යම් තරමකට හෝ අඩුකර හිත සනසාගත හැකිය. එහෙත් යථාර්ථය ඊට බොහෝ ඈතය.

දැන් නිර්මාණය වී ඇති තත්ත්වය නම්, අපිට ණය ගෙවාගත හැකිවේදැයි යන චකිතය නිසා ලෝක මූල්‍ය වෙළෙඳපොළෙන් (International Financial Markets) ණය ගනිද්දී අවදානම වැඩි නිසා, ලෝකයේ අනිත් රටවල්වලට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුව තිබේ. අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළ ණය ගෙවීමේ අවදානම අනුව වැඩිම අවදානම් පොලියක් (Risk Premium) ගෙවීමට ඇති රාජ්‍යයන් වන ආජන්ටිනාව සහ සැම්බියාව අතරට අපද එකතුවී ඇත.

පසුගිය වසරේ ලංකාවට ණය ලබා ගැනීම සඳහා දේශීය වශයෙන් නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) වලින් 90%කට බලාපොරොත්තු වුණු ඉල්ලුමක් නොලැබුණි (Under subscribe). එමෙන්ම ද්විතීක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවේ (සමහර බැඳුම්කරවල: කල්පිරෙන වර්ෂය අනුව මිල වෙනස් වේ) ඩොලර් එකක ස්වෛරී බැඳුම්කර අලෙවි වන්නේ ඩොලර් සත 70ට වැනි ආසන්නම මුදලකටය. ඒ නිසාය මේ ණය අර්බුදය අප නැවත සිහි කැඳවිය යුත්තේ.

2. චීනය අපිව බේරා ගනීවිද?

මුදල් අමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව චීනය ශ්‍රී ලංකාව බේරා ගනීවි යැයි සිතූ බොහෝ දෙනා විමතියට පත්වී ඇති බවක් පෙනුණි. ඇතැමුන් සිතා සිටිනුයේ අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළවල් යනු බටහිර රටවල් ඇතුළු මහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව. මූල්‍ය වෙළෙඳපොළවල් යනු මුදල් ඇති ලෝකයේ ඕනම රටක කෙනෙක් හා ගනුදෙනු කළ හැකි වෙළෙඳපොළකි. එහි සෑම රටකම මිනිස්සු සහ ආයතන තිබේ. මීට වසරකට පමණ පෙර නිකුත්වුණ Morgan Stanley ආයතනයේ වාර්තාවක අනුවත් සනාථ ක‍ළේ අප චීනයට සමස්තයක් ලෙසින් ණය 10% ක් පමණ බවයි. (ද්විපාර්ශ්වික ණය + චීන රජයට අයිති සංවර්ධන බැංකුවලට + ඇතුළු සියලු ණය. නමුත් ඊට අමතරව සමහර ව්‍යාපෘති ණය සහ රජයට අයිති ව්‍යාපාර හරහා ලබා ගත් ණයත් තිබෙනවා)

දැන් ප්‍රශ්නය නම් චීනය සල්ලි දීලා අපේ ණය ගෙවයිද යන්නයි. මෙරට බොහෝ දෙනා කැමැති වනුයේද චීනය එසේ කරනවා නම්ය. පවතින තත්ත්වය අනුව එය ඉතාමත්ම පහසුය. ඒත් මා දකින ආකාරයට නම් චීනය එසේ කරන්නේ නැත. ඔවුන් අපේ ණය කපා හැරියොත් හෝ ප්‍රමාණය ඉක්මවා අපිට ආධාර කළහොත් අප මෙන්ම ඔවුන් සමග සමීපව ගනුදෙනු කරන අනෙකුත් ආසියාතික රටවල්, එමෙන්ම අප්‍රිකානු රටවල් ඒ ලෙසින්ම චීනයෙන් මුදල් ඉල්ලිය හැක. කලකට ඉහතදී හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හමුවූ අවස්ථාවකදී මමද ඔය ප්‍රශ්නයම ඇසුවෙමි. එතුමා චීන ජනාධිපතිතුමාගෙන් එකී ඉල්ලීම සිදුකළ අවස්ථාවේදී ලබාදීපු පිළිතුර පෙරළා මට ලබා දුන්නා.

හම්බන්තොට වරායට ලබාදුන් ණය කපා ඉවත් කරන ලෙස සරත් අමුණුගම මහතා චීනයේ එක් තීරයක් එක් මාවතක් සමාරම්භක උළෙලට සමගාමීව පැවැති රැස්වීමකදී කළ ඉල්ලීමට චීන ජනාධිපතිතුමා සහ ඔහුගේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ "එහෙම කළොත් අනෙක් හැම රටක්ම ණය කපා හරින්න කියලා ඉල්ලාවි" යන පිළිතුරයි.

අනිත් කාරණය නම් අපේ ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond - ISB) වලින් වැඩිපුරම අයිතිය තිබෙන්නේ ඇමරිකාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය කියන රටවල්වල සමාගම්වලටය. ඉදින් චීනය ලංකාවට සල්ලි දී අපේ ණය අර්බුදයෙන් අපිව බේර ගන්නවා යනු වක්‍රාකාරයෙන් ඔවුන්ගේ මුදල් සෘජුවම ගමන් කරන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ රටවලටයි. චීනය අපිට උදව් කරාවි. ඒත් අපේ ණය අර්බුදය සම්පූර්ණයෙන් විසඳා ගැනීමට ඔවුන් හිස් චෙක්පතක් ලබා නොදෙනු ඇත. ඒ වගේම චීනයේ උදව් ලබා ගැනීම වෙනුවෙන් භූදේශපාලනිකමය (Geo politics) වශයෙන් අපිට තවත් ප්‍රශ්න ඇතිවීමේ අවදානමද වැඩියි. මෙතන ඇත්තේ චීනය ගැන ප්‍රශ්නයකට වඩා ලංකාවෙ ණය ගැන ප්‍රශ්නයකි. අපේ මූල්‍ය පරිපාලනය අන්තිම පිරිහුණු ආකාරයෙන් සිදුකර චීනයට, ඇමරිකාවට, ජපානයට සහ ඉන්දියාවට දෙහි කැපුවාට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

එම නිසා දැන් චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන්ද සහාය ලබා ගන්නා ආකාරයක් පෙනෙයි. පුද්ගලික ආයෝජන තරගකාරී ලෙස වීම වැදගත්ය. නමුත් අප මතක තබා ගත යුත්තේ අපි ආර්ථික ප්‍රතිසංස්කර්ණ කරන තුරු ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩා ආ නොහැකි බවය. ඇල්බට් අයින්ස්ටයින් කියපු දේ දැන් ඔබට යාන්තමට හරි වැටහේවි යැයි මා සිතමි.

2021 දෙසැම්බර් 10 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය