සල්ලි දීල ගත්තහම මනුස්සකම වැඩි වෙන්නේ කොහොමඳ?

ශ්‍රමයෙහි සහ වැටුපෙහි ඇති ආර්ථික විද්‍යාව

දිනක් ඉතාම නවීන මෝටර් රථයක් නවතා තිබෙන තැනක සිටි මැදි ආදායම් ලබන පුද්ගලයෙක් නවීන මෝටර් රථයක් දෙස බලමින් “බලන්න මේ වාහනය ගත්තු කෙනා කොච්චර ආත්මාර්ථකාමීද? මේ වාහනය ගත්තු සල්ලිවලින් සල්ලි නැති මිනිස්සු කී දෙනෙක්ට බෙදල දෙන්න තිබුණද? කෑම වේල් කීයක් නං දෙන්න තිබුණද’’ කියමින් සිටියේලු. සරල භාෂාවෙන් පවසනවා නම් හූ සිට ඇත්තේය හූල්ලමින්ය. ඒ අවස්ථාවේදී ඒ වාහනයේ සැබෑ අයිතිකරු එතැනට පැමිණියේය. ඉහත කී පුද්ගලයා රථයේ හිමිකරුගෙන් මෙසේ ඇසීය. “ඇයි ඔබතුමා මෙච්චර ආත්මාර්ථකාමී. මේ වගේ අති නවීන වාහනයක් ගන්න මුදලින් තව කී දෙනෙක්ට සල්ලි බෙදල දෙන්න තිබුණද? ඔබතුමාලට හිතක් පපුවක් නැද්ද?” යනුවෙනි. එලෙස ආවේගය් ඇසූ පැනයට රථය හිමිකරු ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුණි. ඒ  “ඉතිං මං මේ වාහනය සල්ලි දීල අරගෙන මම කරේ මගේ තිබ්බ සල්ලි ටික මිනිස්සුන්ට බෙදල දීපු එක තමයි” යනුවෙනි. මේ ප්‍රකාශයෙන් හූල්ලපු පුද්ගලයා පුදුම විය. ඔහු ආපසු මෙසේ ඇසීය. “එහෙම වෙන්නේ කොහොමද? මේ වාහනය අයිති ඔබතුමාට නං සල්ලි කොහොමද මිනිස්සුන්ට බෙදුනෙ?” යනුවෙනි.

රථයේ හිමිකරු ඊට දුන් පිළිතුරු මෙයයි. “මේ වාහනය හදල තියෙන්නේ ඉතාම දක්ෂ කාර්මික ශිල්පීන්. ඔවුන් ඉතාම දක්ෂයි. ඉතින් ගෙවපු සල්ලිවලින් කොටසක් මේක හදපු කාර්මික මහත්වරුන්ට යනවා. මේ වාහනේ තීන්ත ගාල තියෙන්නේ වාහන පින්තාරුකරුවන්. මගේ සල්ලිවලින් කොටසක් ඒ අයටත් බෙදෙනවා. මේ වාහනේට දාල තියෙන්නේ ඉස්තරම්ම වර්ගයේ ටයර්. ඒ ටයර් හදන්න මිනිස්සු රබර් ගස්වලින් කිරි කපනවා. මගේ සල්ලිවලින් කොටසක් ඒ මිනිස්සුන්ටත් යනවා. මේ වාහනයේ ආසනවල කවර හදල තිබෙන්නේ නවීන සම් වර්ගවලින්. ඉතින් ඒ සම් කර්මාන්තකරුවන්ටත් මගේ සල්ලිවලින් කොටසක් යනවා. ඒ වගේම මගේ සල්ලිවලින් කොටසක් මේ ආයතනය ලාභ විදියට උපයනවා. එයින් කොටසක් ඔවුන් ලභාංශ විදියට බෙදනවා. එතකොට ඔවුන්ටත් මගේ සල්ලි බෙදිල යනවා. ඒ ලාභයට ඔවුන් රජයට බද්දක් ගෙවනවා. ඒකෙන් රටේ දියුණුවටත් දායක වෙනවා. මේ වාහනය ගනිද්දි මං වෙනමත් බදු ගෙව්වා. ඒකත් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වගේ වියදම් වෙනවා. ඇත්තටම මගේ සල්ලි හැමෝටම බෙදිල ගිහිල්ලා මට ඉතුරු වෙන්නේ මෙන්න මේ කාර් එක විතරයි.යන”

මේ කතාව සරල කතාවක් වුවද මේ තුළළ ඇති ආර්ථික විද්‍යාව බොහොම වැදගත් එකකි. මේ කතාව හරහා අපිට ආර්ථික විද්‍යාවට ඉගෙන ගන්න පාඩම් ගණනාවක් තිබේ. පළමුව අපි ඉගෙන ගන්න පාඩම නම් අප ඕනම අයෙක්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් හරි මිලදී ගන්නවා යනු අදාළ භාණ්ඩය හෝ සේවාව විකුණන අයට  කරන ගෞරවයකි. විකුණන අයට පමණක් නොවේ, මුළු නිෂ්පාදන ජාලයට සම්බන්ධ සියල්ලන්ට  කරන ගෞරවයකි. ‘පාරිභෝගිකයාට රජෙක් මෙන් සලකන්න‘ යන සංකල්පය පැමිණ ඇත්තේ ඒ හරහාය. භාණ්ඩය අලෙවි කරන්නා තමා පිලිබද  විශ්වාසය තබන පාරිභෝගිකයාට ගරු කරයි. එමෙන්ම පාරිභෝගිකයාද යමක් මිලදී ගන්නවා යනු එය නිෂ්පාදනය කළ පුද්ගලයාට, ශ්‍රමයට හැකියාවට සහ කැපවීමට ගරු කරනවා යන්නය.

ඒ නිසා ආර්ථික විද්‍යාවේදී ගනුදෙනුවක් අර්ථකථනය වනුයේ අපි එකිනෙකා වෙත දක්වන ගෞරවයක් වශයෙනි. නමුදු එකී අරුතෙන් අප එකිනෙකාට ගෞරව කිරීම පිණිස සෑම භාණ්ඩයක්ම මිලදී ගත යුතුයි යන අදහස ගම්‍ය නොවේ. අප මිලදී ගන්නේ අප වියදම් කරන මිලට වඩා වැඩි වාසියක් එම භාණ්ඩයෙන් අපිට ලැබේ නම් පමණකි. එනම් පාරිභෝගිකාට තෘප්තියක් ලැබේ නම් පමණි. එලෙසින්ම භාණ්ඩය අලෙවි කරන්නාද පාරිභෝගිකයා වෙත එම භාණ්ඩය යම් මුදලකට අලෙවි කරන්නේ ඔහුට නිෂ්පාදනය කළ මිලට වඩා වැඩි වටිනාකමක් පාරිභෝගිකයාගෙන් අය කර ගත හැකි නම් පමණකි.

අප රටේ බොහෝ දෙනෙක්ට නොතේරෙන සරල ආර්ථික විද්‍යාවේ එක පැතිකඩක් නම්, ඇතැම් මිනිසුන් භාණ්ඩ විකුණන්නේ සහ ඇයි ඇතැම් මිනිසුන් භාණ්ඩ මිලදී ගන්නේ ඇයි යන්නයි. එය අවබෝධ කර ගැනීමට තරම් වුවමනාවක්ද නැත.  එනිසාම ලංකාවේ බොහෝ දෙනා එකිනෙකා වෙළෙඳාම් කිරීම එතරම් සුබවාදීව දකින්නේ නැත. එනිසා පාරිභෝගිකයෝ නිරන්තරයෙන්ම ව්‍යාපාරිකයන්ව දකින්නේ අනවශ්‍ය ලාභ ලබන්න උත්සාහ කරන පිරිසක් ලෙසිනි. රජය ව්‍යාපාරිකයන්ව දකින්නේද එලෙසිනි. එය එසේ නොවිය යුතු යැයි හෝ සෑම ව්‍යාපරිකයෙක්ම ඉතාම අවංක බව අප නොපවසන්නෙමු. මක්නිසාද යත් පාරිභෝගිකයා ලෙස තමන් කැමැති දේ කැමැති කෙනෙක්ගෙන් මිලදී ගැනීමේ හැකියාව වැදගත් වන නිසාය. එවිට වංක ව්‍යාපාරිකයන්ගෙන් භාණ්ඩ මිලදී නොගෙන සිටීමේ අයිතිය පාරිභෝගිකයාට හිමිවේ. වක්‍රාකාරයෙන් අවංක මහන්සියට ගරු කිරීමටත්, වංකකමට ගරු නොකිරීමටත් අපට එදිනෙදා ජීවිතයේ හමුවන සෑම ගනුදෙනුවකදීම අවස්ථාව දක්නට ලැබෙන සුලබ තත්ත්වයකි.

තමන්ගේ ශ්‍රමයට සරිලන ලාභයක්, වැටුපක් ලබා ගැනීම ඕනෑම සාර්ථක පුද්ගලයෙක්ගේ අඩිතාලම වන්නේ ඒ නිසයි. දැන් අපි ඒ සමීකරණයම අපේ රට වෙත යොදා බලමු. ශ්‍රී ලංකාවේ රජය සිදුකරන ගනුදෙනුවලින් බොහොමයක් වටිනාකමට සරිලන ගෙවීම් සිදුවන ගනුදෙනු නොවේ. රජයේ රැකියාවන් ගතහොත් මිලියන 1.6ක සේවක මණ්ඩලයෙන් කොපමණ ප්‍රමාණයක් ඔවුන්ගේ වැටුප ලබා ගැනීමේදී සිදුවන ගනුදෙනුවට සාධාරණයක් ඉටු කරන ලෙස සේවය කරනවාද? සාමාන්‍ය වෙළෙඳපොළේ අපේ ගනුදෙනු මෙන් අපිට ඔවුන් සුදුසු නොමැති නම් වෙනත් කෙනෙක්ගෙන් එම කාර්යය කර ගැනීමටත් හැකියාවක් නැත. එම නිසා බොහෝ අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණය තුළ වැටුප් ලබා ගැනීමේදී සිදුවන්නේ වටිනාකම මත පදනම් වූ ගනුදෙනු නොවේ. මෙරට රාජ්‍ය සේවය ගැන විවේචන එල්ලවන්නේ එනිසාය.

වටිනාකමක් එකතු නොකරන බහුතර පිරිස නිසා වටිනාකමක් ලබා දෙන පිරිසටත් ඉහළ වැටුපක් ලබා ගැනීම ඉතා අපහසු වී ඇත. එහි අරුත නම් රජයක් අනවශ්‍ය බව නොවේ. රජය අවශ්‍ය වන්නේ ඉතාම අත්‍යවශ්‍ය කරුණුවලට පමණක් බවයි. එමෙන්ම ගනුදෙනුවලදී සිදුවන්නේ අපගේ ශ්‍රමයට සහ දැනුමට කෙරෙන ගෞරවයක් බව බොහෝ දෙනෙක් නොදන්නා බැවින් සැම විටම රජයෙන් සෑම දෙයක්ම නොමිලේ ඉල්ලා සිටීමත් දැකිය හැකිය.

ගැබිනි මවකට පෝෂණ මල්ලක් ලැබීම, ඉපදුණු රෝහලේ නොමිලේ බෙහෙත් සැපයීම, දරුවාට පාසලක් ලබාදීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම, නැවත රැකියාවක් ලබා දීම, රැකියාවට වැටුපක් ලබාදීම, රැකියාවෙන් පසුව විශ්‍රාම වැටුපක් ලබාදීම සහ මරණයෙන් පසු භුමදානය දක්වාම ගනුදෙනු පිළිබඳ අවබෝධයක් නොමැති බොහෝ දෙනා රජයෙන්ම නොමිලේම බලාපොරොත්තු වීමෙන් සිදුවන්නේ අපේ රට තවත් පසු පසට යාමක්ම පමණි.

අයෙක් සාධාරණව ඉපැයූ දෙය යනු තමන්ගේ ශ්‍රමයට, දක්ෂතාවට ලැබුණු ගෞරවය මුදල් බවට පත්වීමයි. අප මහන්සියට ලැබුණු මුදල් බවට පත්වුණු ගෞරවය එවැනිම ගෞරවාන්විත ලෙස තමන්ගේ මහන්සිය යොදවන කෙනෙක් වෙත මුදල් ලෙස ලබා දීම අපේ වියදම් කිරීමයි. මුළු ලෝකයම ගනුදෙනුවලින් අද බැඳී පවතින්නේ මේ සරල න්‍යාය මතයි.

රටක් ලෙස අපට ඉදිරියට පැමිණෙන්නට නොහැකි වී තිබෙන්නේ එම සරල මූලධර්මය තවමත් තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන නිසා බව මගේ හැඟීමයි.

අප තවමත් කරන්නේ හරියට නවීන වාහන මිලදීගත් පුද්ගලයායේ වාහනය අසලට පැමිණ ඒ වෙත හූල්ලමින් “බලන්න මේ සල්ලිවලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද?” කියමින් අනෙක් මිනිසුන්ට ඊර්ෂ්‍යා කිරීමයි. අනෙකා ධනය උපයන අනෙකා කෙරේ ඊර්ෂ්‍යාවෙන් බැලීමය. ධනය යනු උත්පාදනය කළ යුත්තක් සහ එය අපගේ මහන්සියේ ප්‍රතිඵලයක් බව අවබෝධ කර ගැනීමයි අප කළ යුතු වන්නේ. සෑම දෙයම නොමිලයේ ලැබෙන තෙක් බලා සිට අපගේ රටත් විස්මයජනක දියසෙන් කුමාරයකු පහළ වීමෙන් ගොඩ එමුයි සිතා වෙනස් නොවී සිටියහොත් අපේ රටද සැමදා එක තැනය. එසේ වුවොත් තව පරම්පරා ගණනක් යන තෙක් අප දියුණුවෙමින් පවතින රටකි.

2021 දෙසැම්බර් 03 වැනි දින අරුණ පුවත්පතේ පළ වූ ලිපිය