Public Transportation

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සුදුසුද?

පොදු ප්‍රවාහනය කියලා කියද්දිම මතකයට එන්නේ මොකක්ද? ලංකාවේ අපිට නම් මගී ප්‍රවාහන බස් සහ දුම්රිය ප්‍රවාහනය තමයි. ඇත්තටම පොදු ප්‍රවාහනය වගේම පොදු භාණ්ඩ සැපයීම රජයේ කාර්‍යභාරයෙන් එකක්. ඉතිං පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සුදුසුද? අද අපි හොයලා බලමු මේ කතාවේ ඇත්ත නැත්ත.

ඉස්සර කතාවක් තියෙනවනේ නිකම් දෙනවානම් දෙමළ පත්තරේ හරි ගනී කියලා. හුඟක් වෙලාවට මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා නිකම්ම ලබා දෙන එහෙමත් නැත්නම් නොමිලේ ලබා දෙන දේවල්වලට.  ඒ නිසා තමයි තමන්ගේ මහන්සියෙන් දියුණු වෙනවට වඩා සමෘද්ධි, සහනාධාර වෙනත් මුදල් ආධාර වගේ දේවල්වලට මිනිස්සු කැමති.  මේ විදිහට නොමිලේ යමක් ලැබෙන එක හොඳයි අපට වාසියි කියලා හුඟක් දෙනා කලින්ම හිතාගෙන ඉන්නවා. ඒ වුණත් ඇත්තටම නොමිලේ ලැබෙන හැම දේකින්ම වාසියක් හෝ ලාභයක් තියෙනවාද? කොහේ හරි තැනක මේ දේවල්වල සැඟවුණු පිරිවැයක් තියෙනවද, ඒ පිරිවැය දරන්නේ කවුද? මේ කියන ප්‍රශ්න හැම දෙයකට ම උත්තර අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

නොමිලේ භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ

ආර්ථික විද්‍යාවේදී උගන්වනවා නොමිල භාණ්ඩ කියලා කාණ්ඩයක්. ඒකට අයිති වෙන්නේ ස්වභාවිකව අපට ලැබෙන හිරු එළිය සහ වාතය වගේ දේවල්. ඒවාට අපි මිලක් ගෙවන්නෙත් නෑ, නමුත් ඒවායේ සැපයුම සීමා වෙන්නෙත් නෑ. හැබැයි මිනිස්සු මැදිහත් වෙලා සපයන භාණ්ඩ හා සේවා එහෙම නොමිලේ සපයන්න පුළුවන්කමක් නෑ. එහෙම වුණාම වෙන්නේ පාඩුවක්. කිසියම් මිලක් අය කරලා සපයන්න පුළුවන් ගිනි පෙට්ටියක්, සහල්, රථ වාහන, නීති උපදෙස් වගේ ඕනෑම දෙයක් ආර්ථික භාණ්ඩයක්.

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙන්න පුළුවන්ද?

විශේෂයෙන්ම තෙල් මිල ඉහල ගිහින් තියෙන වෙලාවක මේ නොමිලේ ලබා දෙන පොදු ප්‍රවාහනයේ  කතාව ඇහුවාම හුඟක් අයට සතුටු හිතෙන්න පුළුවන්, අපිට සල්ලි ගෙවන්නේ නැතුව බස් එකේ, කෝච්චියේ යන්න පුළුවන් කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දුන්නම පුද්ගලික වාහන, ඒ කියන්නේ අපි තනි තනිව පාවිච්චි කරන වාහන භාවිතය අඩු වෙයි, එතකොට වායු දූෂණය, වාහන තදබදය අඩු වෙයි කියලා. අපි එහෙම හිතුවට ඇත්තටම එහෙම වෙනවද? ලෝකයේ මේ සම්බන්ධයෙන් තියෙන්නේ මොන වගේ අත්දැකීමක්ද?

ලක්සම්බර්ග්, එස්තෝනියා චිලී සහ නොමිල පොදු ප්‍රවාහනය

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් මේ රටවල් තුනම වැඳගත්. ලක්සම්බර්ග් තමයි මුල් වරට නොමිල පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කළේ. 2014 අවුරුද්දේදී එස්තෝනියාවේ අගනුවර වුණු ටැලින් නගරයටත් නොමිලේ පොදු ප්‍රවාහනයට ඉඩ කඩ ලැබුණා. පොදු ප්‍රවාහනයට මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත වැඩි කරන්න වගේම, වායු දූෂණය, වාහන තදබදය, තෙල් මිලට විසඳුමක් විදිහට තමයි මේ ක්‍රියාමාර්ගය අරන් තිබුණේ. ඒත් හිතුව තරම් ප්‍රතිඵලයක් මේකෙන් ලැබුණේ නෑ. පොදු ප්‍රවාහනය භාවිතා කරන ප්‍රමාණය සතියකට  3% වගේ සුළු ප්‍රතිශතයකින් ඉහළ ගියා විතරයි. අවුරුද්දක් ගත වුණට් පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස 14% දක්වා විතරයි ඉහල ගියේ. 

හැබැයි චිලී රටේ තත්ත්වය මීට වෙනස්. එයාලා අධ්‍යයනයක් කළා පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සාර්ථකයිද බලන්න. ඉතිං එයාලා කණ්ඩායම් දෙකක් තෝරගෙන එක කණ්ඩායමකට විතරක් නොමිලේ පොදු ප්‍රවාහනය භාවිත කරන්න පුළුවන් වෙන විදිහට කූපන් එකක් ලබා දුන්නා. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල බලාපොරොත්තු වුණ මට්ටමේ ඒවා නෙවෙයි.  මේ කූපන් නිසා පොදු ප්‍රවාහනයට යොමු වුණ පිරිස සතියක් ඇතුලත 10% ඉහල ගියා. ඒක ලක්සම්බර්ග්වලට වඩා හොඳ තත්ත්වයක්. ඒත් මේ කූපන් එයාලා පාවිච්චි කරලා තිබුණේ කාර්‍යාල වේලාවන්වලට අදාලව නම් නෙවෙයි. කාර්‍යාල වෙලාවෙන් බැහැරව වෙනත් ගමන් යන්න තමයි මේ කූපන් භාවිත වුණේ. ඒ නිසා වාහන තදබදයේ අඩුවක්වත්, වෙන වාසියක්වත් ලැබුණේ නෑ. පෞද්ගලික වාහන භාවිතයේ අඩුවක් වෙලා තිබුණෙත් නෑ. ඔයාලට හිතෙන්න පුලුවන් එක අධ්‍යයනයකින් හොයා ගත්ත දේවල් කොයි තරම් දුරට හරිද වැරදිද දන්නේ නෑ කියලා. 

මේ වගේම අධ්‍යයන දෙකක් 1996දීත් 2017දීත් කරලා තියෙනවා. ඒවායිනුත් හොයා ගෙන තියෙන්නේ පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දුන්න එක නිසා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන පිරිස වැඩි වෙලා තියෙන්නේ 0.17% ඉදලා 1.3% වගේ ඉතාමත් කුඩා ප්‍රමාණයකින් විතරයි කියලා. මේ හැම සිද්ධියකින්ම අපිට පේන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස වැඩි කරන්න නම්, පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීලා විතරක් මදි කියලයි. 

ඇයි නොමිලේ දීලත් පොදු ප්‍රවාහනයට මිනිස්සු අකමැති?

පොදු ප්‍රවාහනය කියලා කියන්නේ මේ වෙනකොටත් මිනිස්සුන්ට තියෙන ලාභදායීම ප්‍රවාහන ක්‍රමය. ලංකාවේ තියෙන ආර්ථික අර්බුදය නිසා බස් ගාස්තු සෑහෙන මට්ටමකින් ඉහල ගියාට සාමාන්‍යයෙන් ඕනම රටක තියෙන ලාභදායීම ප්‍රවාහන ක්‍රමය තමයි පොදු ප්‍රවාහනය කියලා කියන්නේ. ඉතිං ඒ වගේ දෙයක් තවත් ලාභදායී කළා කියලා මිනිස්සු අමුතුවෙන් පොදු ප්‍රවාහනයට යොමු වෙයි කියලා හිතන්න අමාරුයි. මිනිස්සු ගාණ වැඩි වුණත් ත්‍රීවිල් එකක, ටැක්සියක යන්න පෙළඹෙන්නේ තමන්ගේ කාලය, වෙහෙස මහන්සිය, පහසුව, නිදහස වගේ දේවල් ගැන හිතලා. ඉතිං කෙනෙක් පොදු ප්‍රවාහනයට අකමැති වෙනවා නම් ඒකට හේතු වෙන්නේ පොදු ප්‍රවාහනයේ තියෙන අඩු ගුණාත්මක බව. 

චිලී රටේ උදාහරණය ආයෙත් සලකලා බැලුවොත්, ඒ අධ්‍යයනයෙන් හෙළිදරව් වුණ තවත් කාරණයක් වුණේ පොදු ප්‍රවාහනය යොමු වුණු පිරිස වැඩි වුණාම, ඒ වැඩි වුණ පිරිසට අයිති වුණේ කවුද කියන කාරණය. ඒ පිරිස දුප්පත් අයවත්, මහළු හෝ තරුණ අයවත් නෙවෙයි. එයාලා පොදු ප්‍රවාහනය සේවයකට ඉතාමත් පහසුවෙන් ළගා වෙන්න පුළුවන් දුරක පදිංචි වෙලා හිටපු අය. මෙට්‍රෝ සේවයක් හෝ බස් සේවයකට කිලෝමීටර් 1 වගේ දුරක ජීවත් වුණ අය ඒ සේවාව නොමිලේ ලබා දුන්නම තමන්ගේ පරිභෝජනය එහෙමත් නැත්නම් බස් රථවල ගමන් බිමන් යාම දෙගුණයකින් වැඩි කරලා තිබුණා. ඒත් කිලෝමීටර් 1 වඩා දුර හිටපු අයගෙන් එහෙම වෙනසක් පෙනිලා නෑ. 

පොදු ප්‍රවාහනයේ දියුණු වෙන්න ඕන මොනවාද?

මේ හැම කතාවක්ම කියන්නේ පොදු ප්‍රවාහනය නොමිලේ දීලා විතරක් මදි, ඒකේ ගුණාත්මක බවත් වැඩි කරන්න ඕන කියලා. චිලී උදාහරණයෙන් පේනවා මිනිස්සු තමන්ට ඒ වෙනුවෙන් දරන්න වෙන මුදලට වඩා කාලය, ළගා වීමේ පහසුව වගේ දේවල් සලකනවා කියලා. කාලය කියද්දි බස් එකක් එනකම් බලන් ඉන්න කාලය, ගමනට ගත වෙන කාලය, එක වාහනයකින් තවත් වාහනයකට මාරු වෙද්දි ඒකට ගත වෙන කාලය වගේ බොහෝමයක් දේ සලකලා බලනවා. එහෙම බලද්දි පෞද්ගලික වාහනයක යන එක ගාණ වැඩි වුණත් ලාභයි කියලා මිනිස්සු හිතන්න පෙළඹෙනවා. 

2006දී කරපු අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා පෞද්ගලික වාහනයක් වෙනුවෙන් වැය වෙන වෙලාව, පොදු ප්‍රවාහනයට වැය වෙන වෙලාව වගේ 40% ගුණයක් අඩුයි කියලා. එහෙම බලද්දි මිනිස්සු තමන්ට වඩාත් පහසු ක්‍රමය තෝර ගන්නවා මිසක් නොමිලේ ලබා දෙන දේම පිලිගන්නේ නෑ.

අපි තවත් උදාහරණයක් ගමු ස්පාඤ්ඤයෙන්. 2015දි මැඩ්රිඩ් අගනුවර ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් වැඳගත් තීරණයක් ගත්තා. මැඩ්රිඩ්වල ජීවත් වෙන සියලුම තරුණ ප්‍රජාවට මාසික ප්‍රවාහන කටයුතුවලට පාවිච්චි කරන්න යූරෝ 20ක නොවෙනස් අනුපාතයක් ලබා දුන්නා. ඒකෙන් අඩු පහසුකම් සහිත පරිසරවල ජීවත් වෙන තරුණ කොටස්වල පොදු ප්‍රවාහන භාවිතය 25% කින් ඉහල ගියා. පරිභෝජනය ඒ විදිහට ඉහල ගියේ පොදු ප්‍රවාහනය ලාභ වුණ නිසා. මධ්‍යම පාංතික තරුණ කොටස්වලට මේ වාසිය නිසා තමන්ගේ වියදම්වලින් 49% ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් වුණා. ඒ විදිහට අතේ ඉතුරු වුණ සල්ලිවලින් වෙනත් වියදම් පිරිමහ ගන්නත් එයාලට පුළුවන් වුණා. මේ උදාහරණය ගැන විවේචන එල්ල වෙලා නැත්තේ නෑ. ඒ වුණත් ස්පාඤ්ඤයේ මේ උදාහරණයෙන් පේන්නේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන පිරිස වැඩි කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගය හරි ගියා කියලයි. 

පොදු ප්‍රවාහනය ඇත්තටම නොමිලේ ලබාදන්න පුලුවන්ද? 

නිදහස් ආර්ථිකයක මිල තීරණය කරන්නේ පාරිභෝගිකයෝ සහ නිෂ්පාදකයෝ. කාටවත් මිලක් නැතිව නිෂ්පාදන කටයුතු, පාරිභෝජන කටයුතු කරන්න බෑ. ආර්ථික විද්‍යාවේ මේකට කියන්නේ කාටවත් දවල් කෑම පිනට / නිකම් හම්බ වෙන්නේ නෑ කියලා (There is no such thing as free lunch). කාටම හරි දෙයක් නොමිලේ ලැබෙනවා කියන්නේ ඒ වෙනුවෙන් තවත් කෙනෙක් වියදම් දරලා තියෙනවා කියන එකයි. අපි හිතමු අපිට තෑග්ගක් විදිහට මෝටර් බයිසිකලයක් ලැබෙනවා කියලා. ලැබුණ කෙනාට ඒ වෙනුවෙන් වියදමක් දරන්න වුණේ නෑ තමයි. ඒත් ඒ තෑග්ග දුන්න කෙනා බයිසිකලයට මිල ගෙවලා තියෙනවා. 

ඉතිං රජය තමයි රටක පොදු භාණ්ඩ වෙනුවෙන් ඒ වියදම දරන්නේ. ඒත් රජයට ආදායම් ලැබෙන්නේ මිනිස්සු ගෙවන බදු සල්ලිවලින්. ඒ සල්ලිවලින් නොමිලේ පොදු ප්‍රවාහනය ලබා දෙනවා කියන්නේ රජයට ලොකු වියදමක් දරන්න වෙනවා කියන එක, නැත්නම් බදු ගෙවන සාමාන්‍ය ජනතාවට ඒ බර දරන්න වෙනවා කියන එක. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ. පොදු ප්‍රවාහනයටත් ඒක පොදු කතාවක්. ඉතිං නොමිලේ ලැබෙන පොදු ප්‍රවාහනය අපිට ඔබට වාසිදායකද? ඔබම හිතලා බලන්න. 

-දිල්මිණී හසින්තා අබේරත්න  




සල්ලි යටකරන් එකතැන දුවන අපේ ප්‍රවාහනය

වසර දෙක තුනකට පෙර මා පැමිණි බස් රථයක තිබූ රූපවාහිනි තිරය ඇතුළෙ ලොකු සංගීත ප්‍රසංගයකි. නිවේදක මහත්තයා එකපාරටම "වෙජිටබල් නයිට් සංගීත ප්‍රසංගයට ඔබව ආදරයෙන් පිළිගන්නවා" යනුවෙන් හඬ නැගීය. මේ සංගීත ප්‍රසංගයට ‘වෙජිටබල් නයිට්’ කියන්නෙ ඇයිදැයි කියා මා බස් නැවතුම් දෙක තුනක් පසුවන තුරුම කල්පනා කළෙමි. පසුව ටික මොහොතකින් නිවේදක මහත්මා සංගීත සංදර්ශනයට ප්‍රධාන අනුග්‍රහය බේරුවල (මට මතක විදියට) පොදු වෙළෙඳපොළේ එළවළු වෙළෙඳුන්ගෙන් සංගමය යනුවෙන් පැවසුවා. එකපාරටම මට හිනා පහළවුවද, අපි දකින හැම දේකටම අපි හිතනවට වඩා ගැඹුරක් ඇති බව මට එවිට වැටහිණි.

අපේ ප්‍රවාහන ප්‍රශ්නයත් එවැනිය. හරි සරලය. එමෙන්ම සංකීර්ණය. සංචරණ සීමා ලිහිල් වූ පසු ‘පාරේ වාහන වැඩියි, තදබදය වැඩියි’ යනුවෙන් බොහෝ දෙනෙක් පවසනු ඇසිණි. සරලව ප්‍රශ්නය පැහැදිලි කරනවා නම් අපි ප්‍රවාහනය කරනුයේ වාහන මිස, මිනිස්සු නොවේ. කුඩා මෝටර් රථවල එක්කෙනා දෙන්න ගානේ මෝටර් රථ විශාල ප්‍රමාණයක් මහමගය. එවිට මාර්ගයේ ඉඩ ඇහිරේ. දේශපාලනය කරන මහත්වරු කියන්නෙ අපේ පාරවල්වල වාහන වැඩියි බවය. එසේ පවසා වාහනවලට ලොකු තීරුබදු ද ගසති. තවත් පිරිසක් මාර්ගවල ඉඩ මදි නිසා මාර්ග පද්ධතිය පුළුල් කරමු යැයි යෝජනා ගෙන එති. තව පිරිසක් පොදු ප්‍රවාහනය දියුණු කරන්න යෝජනා ගෙන එති.

පොදු ප්‍රවාහනය දියුණු කළ යුත්තේ කෙසේද ඇසූ විට ‘ආණ්ඩුව පාරට බස් දාන්න ඕන, ආණ්ඩුව තව කෝච්චි දාන්න ඕන’ යනුවෙන් පිළිතුරු ලැබේ. ‘බස් දාන්න සල්ලි කොහෙන්ද?’ දැයි ඇසුවොත් බොහෝ අය පෙරළා අසනුයේ ඇයි ‘ආණ්ඩුවට සල්ලි නැද්ද‘ යනුවෙනි. ලංකාවේ බහුතරයකට ප්‍රවාහන ප්‍රශ්නය පිළිබඳ ඇති අදහස එපමණය. පොදු ප්‍රවාහනය යනු නොමිලේ සපයන සේවාවක් හෝ ආණ්ඩුවේ සේවාවක් පමණක් නොවේ. කෙසේ වුවද අපේ පොදු ප්‍රවාහනය හැදීමට පෙර එය බිඳ වැටීමට හේතු හොයාගත යුතුය.

කොහොමද ආර්ථික විද්‍යාවෙන් මේක පැහැදිලි කරන්නෙ...?

ඊට පෙර රථවාහන තදබදය නිසා ලංකාවෙ අවුරුද්දකට නාස්ති වෙන මුදල ගැන අවධානය යොමු කරමු.

වාහන තදබදය නිසා වසරකට නාස්තිවන ඉන්ධන ප්‍රමාණයේ වටිනාකම - LKR බිලියන 350+ ට වැඩිය.

වාහන අමතර කොටස් සඳහා නාස්ති වන මුදල - LKR බිලියන 200+ට වැඩිය.

රථවාහන තදබදය නිසා කාලය නාස්තිවීමෙන් සිදුවන පාඩුව - LKR බිලියන 300+ට වැඩිය. මාර්ග අනතුරු නිසා නාස්ති වන මුදල - LKR බිලියන 50+ට වැඩිය.

රථවාහන තදබදය නිසා මාර්ග නඩත්තුවට යන අමතර මුදල - LKR බිලියන 250+ට වැඩිය.

වසරකට වන මුදල් නාස්තිය - LKR බිලියන 1150+ට වැඩිය.

මෙකී මුදල ඇමරිකන් ඩොලර්වලින් ගණනය කළහොත් එය චීනයට හම්බන්තොට වරාය පැවරීමෙන් ගත් මුදලට වඩා 6 ගුණයකටත් වැඩියි. ඒ එක වසරකටය. මින් හතරින් එකක් අඩු කර ගත හැකි නම් ඛනිජ තෙල් ආනයනයට යන මුදලින් අඩුම තරමේ හතරෙන් එකක් හෝ පහසුවෙන් ඉතිරි කරගත හැකිය.

ඕනෑම වෙළෙඳපොළක්, ව්‍යාපාරයක් බිඳ වැටීමට අවශ්‍ය වනුයේ කරුණු තුනකි. එනම්, වෙළෙඳපොළට ඇතුළු වෙන්න තිබෙන බාධාව තරගකාරිත්වයක් නැති වීම හොඳ සහ ගුණාත්මක සේවාවක් සැපයුවත් සේවාවට සරිලන විදියට ආදායම වැඩි කර ගැනීමට අවස්ථාවක් නොමැති වීම.

මෙරට පොදු ප්‍රවාහනයේ මෙකී කාරණා තුන හරි පදමට වසර ගණනාවක් තිස්සේ තිබේ. එනිසාය ලොව අනෙක් රාජ්‍යයන් අභ්‍යවකාශයට මිනිස්සු යවද්දී අපි තාමත් පරණ ලේලන්ඩ් බස් එකේම ගමන් කරනුයේ.

මුල්ම ගැටලුව නම් පොදු ප්‍රවාහනය ක්ෂේත්‍රයට ඇතුළුවීමේ දුෂ්කරතාවයි. අපි මුදල් දී ත්‍රිරෝද රථයක් (කාර් එකක් - කැබ් සර්විස් එකකට දාන්න) ගත්විට ඕනම මොහොතක එම ත්‍රිරෝද රථය මාර්ගයට දමා මිනිස්සුන්ට සේවාවක් සපයා මුදල් අයකරගත හැකිය. එහෙත් මෙරට පොදු ප්‍රවාහනයට එසේ ඇතුළු විය නොහැක. මුදල් තිබුණද බස් රථයක් මිලටගත් පමණින් route permit එකක් ගත නොහැක. මාර්ග බලපත්‍රයක් (Route permit) දෙන්නේ දේශපාලන බලපෑම් මතය. එමෙන්ම පෞද්ගලික බස් හිමියන් නිතර පවසනුයේ නව මාර්ග බලපත්‍ර නිකුත් කරන්නේ නම් එය දැනටත් බස් රථයක් හිමිව ඇති අයකුට ලබාදිය යුතු බවයි. ඉන් පරිබාහිර බලපත් නිකුත් කළහොත් එය වර්ජනයක් දක්වා දුරදිග යන්නේය.

ඒ වගේම මාර්ග බලපත්‍රයක වටිනාකම බදු ගෙවා, මුදල් දීලා ගන්න බස් එක වගේ හතර පස් ගුණයකි. එනිසා මෙකී වෙළෙඳපොළට පිවිසීම අති දුෂ්කරය.

ආර්ථික විද්‍යාවට අනුව පැහැදිලි කරනව නම්, ඉල්ලුම වැඩි වුණාට සැපයුම වැඩි කළ නොහැක. නීති රෙගුලාසි දාලා සැපයුම වැඩි කිරීම අවහිරකර ඇත.

දෙවැනි කාරණය වනුයේ තරගකාරීත්වයක් නැතිකමය.

රජයට අයිති බස්වලින් ධාවන තත්ත්වයෙන් ඇත්තේ බස් 5000කි. පුද්ගලික බස් රථ තියනවා 20,000ක් පමණ තිබේ. සියලු දෙනාට නිතරම අමතක වෙන දෙයකි. එනම් ආණ්ඩුවට සල්ලි නැති බවය. එමෙන්ම ආණ්ඩුවට සල්ලි දෙන්නේ අපි බවද අමතක වේ. ඒ නිසා ආණ්ඩුවට බස් දාන්න යැයි පැවැසීම ප්‍රායෝගික නොවේ.

මෙහි තරගකාරීත්ව බස්රථ රේස් යෑම නොවේ. විවිධ මට්ටමේ සේවාවන් සපයන සේවා ස්තර ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිබිය යුතු බවයි. ඒ විවිධ මට්ටමේ සේවා සපයන ස්තර එකිනෙකට තරග කළ යුතුය. තම පුද්ගලික වාහනය නිවසේ තබා එම සුවපහසුවටම වැඩි මුදලක් ගෙවලා (වාහනයේ කොළඹ ගිහිල්ලා තෙල්වලට වියදම් වන මුදලට වඩා අඩු ගාණකට) ඉක්මනට යාහැකි පොදු ප්‍රවාහන ස්තරයක් අවැසිය. එවිට මහමගට එන වාහන ප්‍රමාණය අඩුය. ඒ වගේම වැඩි ගාස්තුවක් ගෙවා ගන්න බැරි සාමාන්‍ය පුද්ගලයන්ට යෑමට ඊට අඩු මුදලක් අය කරන තවත් සේවයක් අවශ්‍යය. වැඩි මුදලක් ගෙවිය හැකි අය වැඩි මුදලක් ගෙවා සුඛෝපභෝගී සේවයක ගමන් කරද්දි, පාරට එන වාහන ප්‍රමාණය අඩු වේ. එමෙන්ම සාමාන්‍ය ජනයාටද වඩා ඉක්මනින් යෑමේ හැකියාව ලැබේ. එවිට අඩු මුදලක් දී යාහැකි ස්තරයයි වැඩි මුදලක් දීල යාහැකි ස්තරයයි, අතර යම් තරගයක් ඇති වේ.

138 බස් මාර්ගයෙ AC බස් එකක් සරල භාෂාවෙන් කියනවනම් බෙහෙතකටවත් සොයාගැනීම අසීරුය. එනිසා මහරගම, හෝමගම වැනි විශාල මධ්‍යම පාන්තික ජනතාව තමන්ගෙ පුද්ගලික වාහන ටික හයිලෙවල් පාරට අතුළු කරනවා. උදේ කාර්යාල හෝරාවන්හිදී වාහන තදබදය ඉතාම වැඩිය. 138 බස් මාර්ගයට සුඛෝපභෝගී බස් (AC බස්) යෙදවිය නොහැක්කේ ඇයි? ඊට හේතුව මාර්ග බලපත්‍ර ක්‍රමය සහ සේවා ස්තර අතර තරගකාරීත්වයක් නැතිවීමයි. බොහෝ දෙනා මේ මාර්ගය තම වාහනයෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගනුයේ කැමැත්තකින් නොවේ. කරන්න දෙයක් නැතිකමටය. මේ මාර්ගයෙ සුඛෝපභෝගී බස් සේවාවක් ඇති කළ හැකි නම් පාරට එන වාහන ප්‍රමාණය අඩු වේ. ඒත් දැනට ක්‍රියාත්මක රෙගුලාසි පොදු ප්‍රවාහන වෙළෙඳපොළට නවකයකුට ඇතුළුවීමට මෙන්ම තරගකාරීත්වයක් ඇති කිරීමට ඉඩසලසන්නේ නැත. බොහෝ මධ්‍යම පාන්තික ජනතාව ජීවත් වෙන මොරටුව, බත්තරමුල්ල, මාලබේ, වත්තල, ජාඇළ පැතිවලත් තත්ත්වය මෙයමය.

බොහෝ දෙනෙකු දුම්රිය ගැනද කතා කරති. දුම්රිය කියන්නේ රජයට අයිති ඒකාධිකාරයකි. කිසිම තරගයක් නැත. එනිසා කිසිදු දියුණුවක්ද නැත. මෙයට රජය තව මුදල් යොදනවා නම් සාර්ථක කරන්න පුළුවන් කියා ඇතැම්හු සිතති. තරගකාරීත්වයක් නැති තාක් කොතරම් දුම්රිය පෙට්ටි සහ දුම්රිය එන්ජින් ගෙනාවද දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ නොලැබේ. සේවාව ගුණාත්මකද නැත. දුම්රිය ප්‍රශ්නයට ලබාදිය හැකි සාර්ථක විසඳුමක් නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය පීලි අයිතිය රජය සතුව පවත්වාගනිමින් දුම්රිය පීලිවල ධාවනයට පුද්ගලික අංශයටත් අවස්ථාව දීමය. එවිට පුද්ගලික අංශයට වැඩිපුර මුදලක් අයකර උපරිම සේවාවක් සපයන දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි පොදු ප්‍රවාහන වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැක. එවිට GPS තාක්ෂණය ඔස්සේ දුම්රිය ඇති ස්ථානය වේලාව තමන් අත ඇති සුහුරු දුරකථනයෙන් පහසුවෙන් සාමාන්‍ය ජනයාට දැනගත හැකිය. COVID -19න් පසු සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට බස් රථවල මෙන්ම දුම්රියවලද වෙනදා මෙන් තෙරපිලා යා නොහැක. ඒ නිසා වැඩිපුර යාහැකි අන්දමින් බස්රථ මෙන්ම දුම්රියද අනිවාර්යයෙන්ම සේවයට එකතු විය යුතුමය. එනිසා ජනතා අඩු විරෝධයක් සහ ආශිර්වාදයත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කරන්න හොඳම අවස්ථාව මෙයයි.

තෙවැනි කාරණය වනුයේ හොඳ සහ ගුණාත්මක සේවාවක් සැපයුවද සේවාවට සරිලන ආකාරයේ ආදායම වැඩි කර ගැනීමට සේවා සපයන්නන්ට අවස්ථාවක් නොමැති වීමයි. පෞද්ගලික බස් රථ හිමියන්ගේ පාර්ශ්වයෙන් ඔවුන් කෙතරම් හොඳ සේවාවක් සැපයුවද ඔවුන්ට ඒ සඳහා අමතර මුදලක් අය කළ නොහැක. සරලව පැහැදිලි කරනවා නම් තත්ත්වයෙන් උසස් අලුත් බස් රථයක් ධාවනයට යෙදවූවද, තත්ත්වයෙන් පරණ, ලාභ බස් රථයක් පාරට දැම්මත් ගමනාන්තය සඳහා අයකළ හැක්කේ එකම ගාස්තුවකි. බස් ගාස්තුව වෙනස් වනුයේ දුර අනුවය. සේවාව අනුව අය කරන ගාස්තුව වෙනස් වන ප්‍රමාණය ඉතා සීමිතයි. ඒ නිසා දශක දෙක තුනක් තිස්සේ මෙරට මාර්ගවලට ධාවනයට නව බස් රථ එකතුවන්නේ නැත.

මෙරට බස් කර්මාන්තයට වඩා taxi කර්මාන්තය ඉදිරියට ගියේ එනිසාය. App එක අනුව ඉල්ලුම වැඩි වෙලාවට ගාස්තු වැඩිය. ඉල්ලුම අඩු වෙලාවට ගාස්තු අඩුයි. රාත්‍රි කාලයේ සේවා සැපයීමේදී වැඩි ගාස්තුවක් අය කිරීමට අවස්ථාව ලබාදී ඇත. ගුවන් ටිකට් පත් වල මිල ගණන් නිතරම ඉහළ පහළ යන්නේ මෙකී කාරණය නිසාය. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ පහළ යද්දී, නත්තල් සමයට මෙන්ම අලුත් අවුරුදු සමයට ගුවන් ගමන් සඳහා ඉල්ලුම වැඩි වේ. එහිදී නිතර ටිකට්පතේ මිල වෙනස් වේ. සෑම ගුවන්යානාවකම ටිකට්පතක මිල අදාළ ගුවන් ගමන් මෙහෙයවන රටවල්වලින් පාලනය කළහොත් ගුවන්යානා ක්ෂේත්‍රයට ඇතිවෙන තත්ත්වය සුවදායී නොවනු ඇත. Route permit ක්‍රමය නැති කළොත් ඇතිවන ගැටලුවක් ලෙසින් බොහෝ දෙනා පෙන්වා දෙන දෙයක් ඇත. එනම් සැමදෙනාම වැඩිපුර සෙනඟ ඇති මාර්ග සඳහා බස් රථ යෙදීමට උත්සාහ ගැනීම සහ එනිසා දුෂ්කර පළාත්වල ධාවනයට බස් ධාවනය තවදුරටත් අඩාළ වන බවයි. එහිදී දුෂ්කර පළාත්වල ධාවනය වන බස්වලට සෙනඟ අඩු බැවින් වැඩි ගමන් ගාස්තුවක් අය කිරීමට සිදුවේ. එසේ සිදු නොවුණහොත් එයට ව්‍යාපාරයක් ලෙසින් පැවැත්මක් නැත. ආණ්ඩුවෙන් බස් ධාවනයට යෙදෙව්වද අඩු ගමන් ගාස්තුවක් යටතේ ප්‍රවාහන සේවා ලබාගත්තද, වක්‍රාකාරයෙන් බදු ලෙසින් ඒ මුදල අප ආපසු රජයට ගෙවන්නෙමු. එනිසා එවැනි අවස්ථාවලදී දැනට අත්හදා බලා ඇති බස්රථ සඳහා මුදල් ගෙවන කාඩ් ක්‍රමය තුළින් රජයට යම් සහනාධාරයක් ලබාදීම පිළිබඳ සලකා බැලිය හැකිය. එමෙන්ම වැඩිහිටි පුරවැසියන්ට මෙන්ම ආබාධිත පුද්ගලයන්ටද එම කාඩ්පත් මගින් යම් සහනදායී මිලකට ප්‍රවාහන පහසුකම් ලබාදීමට අවස්ථාව ඇත.

මෙරට ප්‍රවාහන ප්‍රශ්නය ඉතා සංකීර්ණයි. මාර්ග පද්ධතියේ තිබෙන දුර්වලතා ඇතැම් මංසන්ධි පටු වීම සහ ප්‍රමාණවත් තරම් පළල් නොවීම වැනි පැති ගණනාවක් මේ ගැටලුව පිටුපස ගැට ගැසී ඇත. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා මේ පිළිබඳ ගැඹුරු හැදෑරීම් ගණනාවක් කර තිබේ.

2021 ජුනි 25 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්