Dilmini Abeyrathne

ටමසෙක් ක්‍රමය : “අලුත් කලාවක් හොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්”

පුංචි කාලේ මගේ රට ගැන රචනාවක් ලියද්දි, හුඟක් අය ලිව්වේ “ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්” කියලා. ඉතිං ඒ අවුරුදු 20 - 30ට විතර කලින්. සමහරවිට ඊටත් වඩා එහාට යන්නත් පුළුවන්. හැබැයි තාමත් ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. ඉතිං කවද්ද මේ දියුණුව කියන දිනුම් කණුවට අපි ලං වෙන්නේ? ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වෙන්න එහෙමත් නැත්නම් පරක්කු වෙන්න, නතර වෙන්න, අසාර්ථක වෙන්න හේතු ගොඩක් තියෙනවා. සමහරු කියනවා ලංකාව පසුගිය කාලේ ලාභ නොලබන ව්‍යාපෘතිවලට වියදම් කරලා පාඩුවක් කර ගත්තා කියලා. ඒත් තවත් සමහරු කියනවා ලංකාවේ අසාර්ථකත්වයට හේතුව බලයට ආපු හැම ආණ්ඩුවක්ම කරපු වංචාව, දූෂණය කියලා. මේ හැම දෙයක් ම අඩු වැඩි වශයෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වෙලා තියෙනවා. 

විශාල රාජ්‍ය අංශයක් තිබීම, පමණ ඉක්මවා ගිය රජයේ වියදම්, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර, ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට සමත් සානුබලයක් නොතිබීම, විනිවිදභාවයක් නැති ගනුදෙනු, රාජ්‍ය ව්‍යවසායවල විශාල සේවක පිරිසක් සිටීම සහ කලමණාකාරීත්ව දුර්වලතා කියන හැම දෙයක් ම මේ හේතු අතර තියෙනවා. රාජ්‍ය අංශයේ තියෙන දුර්වලතාවලට ගැළපෙන විසඳුම් ඇති කරගෙන රාජ්‍ය අංශය දියුණු කර ගන්න නම් මේ වෙනකොටත් දියුණු වෙලා තියෙන රටවල් ඒ තත්ත්වයට එන්න පාවිච්චි කරපු උපක්‍රම මොනවාද කියලා හොයලා බලන එක වටිනවා. ඉතිං අපි අද හොයලා බලන්න යන්නේ රටක් විදිහට අපිටත් වැඳගත් වෙන ටමසෙක් ක්‍රමය (Temasek Model) මොකක්ද කියලා. 

 අපි නොදන්න ටමසෙක්

ටමසෙක් කියලා කියන්නේ සිංගප්පූරුවෙන් එන සංකල්පය‍ක්. 1965දී නිදහස ලබා ගත්තාට පස්සේ සිංගප්පූරු රජයට සහ ව්‍යාපාරවලට ආයෝජන සහ ප්‍රාග්ධනය අවශ්‍ය වෙලා තිබුණා. 1974 ජූනි 25 වෙනිදා ආයෝජන සහ ප්‍රාග්ධනය සපයා ගන්න සිංගප්පූරුව රාජ්‍ය ව්‍යවසාය (SOE) සහ රජයට සම්බන්ධ සමාගම් (GLC - Governement Linked Companies) වෙනුවෙන් Temasek Holdings (Private) Limited, කියන ගෝලීය ආයෝජන සමාගම පිහිටෙව්වා. 2002දී මේ ආයතනය ජාත්‍යන්තර නිරාවරණය සහිත උපායමාර්ගික ආයෝජන අරමුදලක් (Strategic Investment Fund) බවට පත් වුණා.. 2023 වෙද්දි මේ Temasek ආයතනය සතු වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 287 ක් විතර වෙනවා.

මේ කවුද මොකද කරන්නේ?

Temasek ආකෘතිය කියන්නේ ස්වෛරී ධන අරමුදල්වල 'ආයෝජන සමාගම් ආකෘතියක්'. ඒකෙදි රජය කරන්නේ වත්කම් කළමනාකරණය කරන්න සුදුසු ආයෝජන සමාගමක් නිර්මාණය කරන එක. 1965 දී නිදහස ලැබුණාට පස්සේ සිංගප්පූරු රජය විදේශීය ආයෝජන ව්‍යාපෘතිවල වගේම දේශීය වශයෙන් තියෙන ආරම්භක මට්ටමේ ව්‍යාපෘතිවල සුළු කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගත්තා. ඒකට හේතුව වුණේ නගරවල සංවර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය වීම. ටමසෙක් ඔස්සේ ආයෝජන ව්‍යාපෘතිවල කොටස් මිලදී අරගෙන නගර සංවර්ධනයට කටයුතු කිරීමෙන් කාරණා දෙකක් ඉෂ්ට වුණා. එකක් තමයි ආයෝජකයින්ට තියෙන අවදානම අඩු වෙන එක. දෙවනි එක තමයි ප්‍රාග්ධනය සපයා ගැනීමට පහසුවක් වීම.

ටමසෙක් කාර්‍යභාරය

රජය සහ ටමසෙක් ආයතනය කියන දෙකටම අවශ්‍ය වෙලා තියෙන්නේ කොටස් වෙළඳපළේ ලැයිස්තුගත සමාගම්වල තියෙන ගුණාත්මක බවට සම වෙන විදිහට යහපාලනයේ යහපත් ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයට සම්බන්ධ ආයතන ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කරන්න.   මේ නිසා සිංගප්පූරුවේ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වෙලා  තියෙන ආයතනවලින් 37%ක්ම තියෙන්නේ ටමසෙක් ආයතනය යටතේ තියෙන රජයට සම්බන්ධ ආයතන. සිංගප්පූරුවේ රජයට සම්බන්ධ ආයතන සාමාන්‍යයෙන් ලාභදායී ඒවා. ඒකට හේතු විදිහට ස්ථාවර ලාභාංශ අගයයක් තිබීම, වඩා ලාභදායී හිමිකම් මත ගෙවන ප්‍රතිලාභ අනුපාත සහ වත්කම් මත ගෙවන ප්‍රතිලාභ අනුපාත කියන හැම එකක්ම අදාළයි. Temasek ආයතනය  නිසා සිංගප්පූරුවට ලැබෙන ආදායම යොදාගෙන රජයට පුළුවන්කමක් ලැබිලා තියෙනවා රජයේ ආදායම විවිධාංගීකරණය කර ගැනීමට වගේම බදු ආදායම මත යැපෙන එක අඩු කර ගන්න. සිංගප්පූරුව ටැමසෙක් ආක්ෘතිය හදල තියෙන්නේම රජය ව්‍යාපාර වලට පැනල ඇගිලි ගැහුවොත් ඒක නැත්තටම නැති වෙන එක වැලැක්වීමට. සරළවම කිව්වොත් රජය ව්‍යාපාර වලින් ඈත්වීම තමයි මේ හරහා කරල තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායවල අද තත්ත්වය

ආර්ථික විද්‍යාවේ පියා විදිහට සැලකෙන ඇඩම් ස්මිත් කියලා තියෙන්නේ රජය ව්‍යාපාරවලට මැදිහත් නොවී ඉන්න ඕන කියලයි. ඒත් ලංකාවේ හුඟක් රාජ්‍ය ව්‍යවසාය තියෙනවා. ඒ කියන්නේ රජය මැදිහත් වෙලා කරන ව්‍යාපාර කටයුතු තියෙනවා. කාලයක් තිස්සේ බලයට ආ ගිය පිරිස් අපේ හිතේ මතයක් ඇති කරලත් තියෙනවා පෞද්ගලික අංශය බිල්ලෙක් කියලා. ඒ නිසා හුඟක් අය බයයි මේ පෞද්ගලීකරණය කියන වචනයට. ඒ නිසා ලොකු අවබෝධයක් නැතුවත් මිනිස්සු කැමතියි ව්‍යාපාර රජය යටතේ තියෙනවා දකින්න. හොඳයි අපි බලමු ලංකාවේ රාජ්‍ය ව්‍යවසායවල අද  තත්ත්වය මොන වගේද කියලා. මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය 245ක් සහ ඒ අතරින් උපාය මාර්ගිකව ගත්තොත් වැඳගත් කියලා සැලකෙන රාජ්‍ය ව්‍යවසාය 55ක් තියෙනවා කියලා රාජ්‍ය භාණ්ඩාගාරය කියනවා. මේ කියන 55 ඇතුලේ 2005 ඉඳලා 2015 දක්වා කාලයේදී පාඩුව රුපියල් බිලියන 636 වෙලා තියෙනවා. තව ටිකක් සරලව කියනවා නම් බලශක්ති අංශයෙන් මේ පාඩුවට රුපියල් මිලියන 358,564 ක්, ජල සම්පාදනයෙන් රුපියල් මිලියන 8,245, ගුවන් සේවාවලින් රුපියල් මිලියන 94,218, ප්‍රවාහන අංශයෙන් රුපියල් මිලියන 61,450 විදිහට පාඩු සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම 2009 ඉඳලා 2014 දක්වා කාලයේදී රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය 109 ඉඳලා 245 දක්වා දෙගුණයට වඩා වැඩි වෙලා තියෙනවා. ඒකට සමගාමීව සේවක පිරිස 140,500 ඉඳලා 261,683 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඔන්න ඔය විදිහටයි රාජ්‍ය ව්‍යවසාය ලංකා ආර්ථිකයට බරක් වෙලා තියෙන්නේ වගේම ඒ බර එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ. 

 

Temasek මොඩල් එක ලංකාවට හොඳද?

ලංකාවටත් බැරිද අකාර්‍යක්ෂම රාජ්‍ය සේවයෙන් ඵලදායී ව වැඩක් ගන්න මේ කියන Temasek මොඩල් එක / ආකෘතිය ක්‍රියාත්මක කරන්න? එහෙම කරනවානම් මුලින්ම කරන්න වෙන්නේ දැනට තියන රාජ්‍ය ආයතන එකම පරිපාලන නීතියක් යටතට ගන්න එක.. දැන් සමහර ඒවා තියෙන්නේ දෙපාර්තමේන්තු විදියට.. සමහර ඒවා සමාගම් ලියාපදිංචිය යටතේ ලියාපදිංචි වෙලා, සමහර ඒවා පනත් මගින් පාලනය වෙනවා.. මේ ඔක්කොම එකම කොටසක් යටතට ගන්න ඕන. ඒ විදිහට පටන් ගන්න ආයතනයේ මූල්‍ය කටයුතු, ආයෝජන කටයුතු, පරිපාලනය ගැන පළපුරුදු, දක්ෂතාවක් තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්න එක වැඳගත් වගේම ඒ සමාගම පටන් ගන්න වෙලාවට ප්‍රමාණවත් තරමේ මුදලකුත් තියෙන්න ඕන.  සංවර්ධනයේ මුල් අදියරවලදී ලාභ ලබන්න තරම් කාලයක් ආයතනයට ලැබෙන්නේ නෑනේ. තාම මේ ආයතනය පටන් ගත්තා විතරයි. ඉතිං මේ අදියරේදී මණ්ඩලයට සුදුසුයි කියලා හිතෙන විදිහට රාජ්‍ය ව්‍යවසායවල තියෙන ඵලදායි නොවන වත්කම් වෙන්දේසි කරලා හරි විකුණලා හරි තමයි මුදල් උපයා ගැනීමක් කරන්න වෙන්නේ. එහෙමත් නැත්නම් පාඩු ලබන ආයතනයක් නම්, පෞද්ගලික අංශයකට විකුණලා ඒ පාඩු ලබන එක නතර කර ගන්නත් පුළුවන්.  සිංගප්පූරුවේ තියෙන Temasek ආකෘතියට අනුව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සිංගප්පූරුවේ දේශපාලන ප්‍රභූවරුන් අතර සමීප සම්බන්ධතාවක් තිබුණට ලංකාවේදි නම් ඒක ඒ විදිහට ම කරන්න අමාරුයි මොකද ලංකාවේ දේශපාලන ප්‍රභූවරුන් ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා තියෙන අවස්ථා සලකලා බැලුවම ඒ හුඟක් අවස්ථා දූෂණයෙන් සහ වංචාවෙන් කෙළවර වෙලා තියෙනවා. මේ නිසා මණ්ඩලය හැකිතාක් ස්වාධීනව තියෙන එක වටිනවා වගේම මණ්ඩලය වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවට මිසක් ජනාධිපතිවරයා වැනි තනි බලධාරියෙකුට නෙවෙයි.මධ්‍ය කාලයේ ඉඳලා දිගු කාලයට යද්දි, ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන Temasek ආකෘතියේ කොටස් හිමි සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන්න ඕන.

Temasek ආකෘතියේ සමාගමක් ලංකාවේ පිහිටුවීමෙන් ලබන්න පුලුවන් වාසි විදිහට කාර්යක්ෂමතාව සහතික කිරීමත් රාජ්‍ය ව්‍යවසායන්වල පාඩු පියවා ගන්න බදු ගෙවන්නන්ගෙන් අරමුදල් සපයා ගැනීමත් වළක්වා ගන්න පුළුවන්වීමත් සඳහන් කරන්න පුළුවන්.  මේ මඟින් බලපෑමට ලක් වූ අංශවල ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න තරඟකාරිත්වයක් ඇති කර ගන්න හැකි වෙනවා වගේම රාජ්‍ය අංශයේ ව්‍යවසාය අනිසි විදිහට භාවිතා කිරීම පිළිබඳ ගැටුම් වලක්වන්නත් හේතු වෙනවා. සංස්ථාපිතකරණය කිරීම සහ මූල්‍ය කළමනාකරණය නිවැරදි ම ආකාරයෙන් කිරීම නිසා ඉක්මණින්ම රාජ්‍ය ව්‍යවසායවලට ආදායම් ඉපයීම පහසු සහ වේගවත් කර ගන්නත් හැකියාව ලැබෙනවා. මේ විදිහට උපයන ආදායම්වලින් කොටසක් හදිසි අවස්ථාවකදී සංචිතවල තබා ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. මේ විදිහට ඉදිරියට රජයට වෙන්න පුළුවන් වාර්ෂික අලාභ හෝ හිඟයක් පියවා ගන්න මේ ආකෘතියෙන් ලබා ගන්න ලාභ යොදා ගන්න නිසා අයවැය හිඟය පියවා ගන්නත් උපකාරයක් වෙනවා.. ලංකාව දැන් ඉන්න තත්ත්වය සලකලා බැලුවොත් ඒකෙන් පේනවා ලංකාවට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න හොඳම කාලය මේ තමයි කියලා. ඉතිං මේ අපිට අලුත් ටමසෙක් කලාවට ඉඩක් දෙමුද? ඔයාලගේ අදහස මොකක්ද? 

- දිල්මිණී හසින්තා  අබේරත්න

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සුදුසුද?

පොදු ප්‍රවාහනය කියලා කියද්දිම මතකයට එන්නේ මොකක්ද? ලංකාවේ අපිට නම් මගී ප්‍රවාහන බස් සහ දුම්රිය ප්‍රවාහනය තමයි. ඇත්තටම පොදු ප්‍රවාහනය වගේම පොදු භාණ්ඩ සැපයීම රජයේ කාර්‍යභාරයෙන් එකක්. ඉතිං පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සුදුසුද? අද අපි හොයලා බලමු මේ කතාවේ ඇත්ත නැත්ත.

ඉස්සර කතාවක් තියෙනවනේ නිකම් දෙනවානම් දෙමළ පත්තරේ හරි ගනී කියලා. හුඟක් වෙලාවට මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා නිකම්ම ලබා දෙන එහෙමත් නැත්නම් නොමිලේ ලබා දෙන දේවල්වලට.  ඒ නිසා තමයි තමන්ගේ මහන්සියෙන් දියුණු වෙනවට වඩා සමෘද්ධි, සහනාධාර වෙනත් මුදල් ආධාර වගේ දේවල්වලට මිනිස්සු කැමති.  මේ විදිහට නොමිලේ යමක් ලැබෙන එක හොඳයි අපට වාසියි කියලා හුඟක් දෙනා කලින්ම හිතාගෙන ඉන්නවා. ඒ වුණත් ඇත්තටම නොමිලේ ලැබෙන හැම දේකින්ම වාසියක් හෝ ලාභයක් තියෙනවාද? කොහේ හරි තැනක මේ දේවල්වල සැඟවුණු පිරිවැයක් තියෙනවද, ඒ පිරිවැය දරන්නේ කවුද? මේ කියන ප්‍රශ්න හැම දෙයකට ම උත්තර අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

නොමිලේ භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ

ආර්ථික විද්‍යාවේදී උගන්වනවා නොමිල භාණ්ඩ කියලා කාණ්ඩයක්. ඒකට අයිති වෙන්නේ ස්වභාවිකව අපට ලැබෙන හිරු එළිය සහ වාතය වගේ දේවල්. ඒවාට අපි මිලක් ගෙවන්නෙත් නෑ, නමුත් ඒවායේ සැපයුම සීමා වෙන්නෙත් නෑ. හැබැයි මිනිස්සු මැදිහත් වෙලා සපයන භාණ්ඩ හා සේවා එහෙම නොමිලේ සපයන්න පුළුවන්කමක් නෑ. එහෙම වුණාම වෙන්නේ පාඩුවක්. කිසියම් මිලක් අය කරලා සපයන්න පුළුවන් ගිනි පෙට්ටියක්, සහල්, රථ වාහන, නීති උපදෙස් වගේ ඕනෑම දෙයක් ආර්ථික භාණ්ඩයක්.

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙන්න පුළුවන්ද?

විශේෂයෙන්ම තෙල් මිල ඉහල ගිහින් තියෙන වෙලාවක මේ නොමිලේ ලබා දෙන පොදු ප්‍රවාහනයේ  කතාව ඇහුවාම හුඟක් අයට සතුටු හිතෙන්න පුළුවන්, අපිට සල්ලි ගෙවන්නේ නැතුව බස් එකේ, කෝච්චියේ යන්න පුළුවන් කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දුන්නම පුද්ගලික වාහන, ඒ කියන්නේ අපි තනි තනිව පාවිච්චි කරන වාහන භාවිතය අඩු වෙයි, එතකොට වායු දූෂණය, වාහන තදබදය අඩු වෙයි කියලා. අපි එහෙම හිතුවට ඇත්තටම එහෙම වෙනවද? ලෝකයේ මේ සම්බන්ධයෙන් තියෙන්නේ මොන වගේ අත්දැකීමක්ද?

ලක්සම්බර්ග්, එස්තෝනියා චිලී සහ නොමිල පොදු ප්‍රවාහනය

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් මේ රටවල් තුනම වැඳගත්. ලක්සම්බර්ග් තමයි මුල් වරට නොමිල පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කළේ. 2014 අවුරුද්දේදී එස්තෝනියාවේ අගනුවර වුණු ටැලින් නගරයටත් නොමිලේ පොදු ප්‍රවාහනයට ඉඩ කඩ ලැබුණා. පොදු ප්‍රවාහනයට මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත වැඩි කරන්න වගේම, වායු දූෂණය, වාහන තදබදය, තෙල් මිලට විසඳුමක් විදිහට තමයි මේ ක්‍රියාමාර්ගය අරන් තිබුණේ. ඒත් හිතුව තරම් ප්‍රතිඵලයක් මේකෙන් ලැබුණේ නෑ. පොදු ප්‍රවාහනය භාවිතා කරන ප්‍රමාණය සතියකට  3% වගේ සුළු ප්‍රතිශතයකින් ඉහළ ගියා විතරයි. අවුරුද්දක් ගත වුණට් පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස 14% දක්වා විතරයි ඉහල ගියේ. 

හැබැයි චිලී රටේ තත්ත්වය මීට වෙනස්. එයාලා අධ්‍යයනයක් කළා පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීම සාර්ථකයිද බලන්න. ඉතිං එයාලා කණ්ඩායම් දෙකක් තෝරගෙන එක කණ්ඩායමකට විතරක් නොමිලේ පොදු ප්‍රවාහනය භාවිත කරන්න පුළුවන් වෙන විදිහට කූපන් එකක් ලබා දුන්නා. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල බලාපොරොත්තු වුණ මට්ටමේ ඒවා නෙවෙයි.  මේ කූපන් නිසා පොදු ප්‍රවාහනයට යොමු වුණ පිරිස සතියක් ඇතුලත 10% ඉහල ගියා. ඒක ලක්සම්බර්ග්වලට වඩා හොඳ තත්ත්වයක්. ඒත් මේ කූපන් එයාලා පාවිච්චි කරලා තිබුණේ කාර්‍යාල වේලාවන්වලට අදාලව නම් නෙවෙයි. කාර්‍යාල වෙලාවෙන් බැහැරව වෙනත් ගමන් යන්න තමයි මේ කූපන් භාවිත වුණේ. ඒ නිසා වාහන තදබදයේ අඩුවක්වත්, වෙන වාසියක්වත් ලැබුණේ නෑ. පෞද්ගලික වාහන භාවිතයේ අඩුවක් වෙලා තිබුණෙත් නෑ. ඔයාලට හිතෙන්න පුලුවන් එක අධ්‍යයනයකින් හොයා ගත්ත දේවල් කොයි තරම් දුරට හරිද වැරදිද දන්නේ නෑ කියලා. 

මේ වගේම අධ්‍යයන දෙකක් 1996දීත් 2017දීත් කරලා තියෙනවා. ඒවායිනුත් හොයා ගෙන තියෙන්නේ පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දුන්න එක නිසා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන පිරිස වැඩි වෙලා තියෙන්නේ 0.17% ඉදලා 1.3% වගේ ඉතාමත් කුඩා ප්‍රමාණයකින් විතරයි කියලා. මේ හැම සිද්ධියකින්ම අපිට පේන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස වැඩි කරන්න නම්, පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීලා විතරක් මදි කියලයි. 

ඇයි නොමිලේ දීලත් පොදු ප්‍රවාහනයට මිනිස්සු අකමැති?

පොදු ප්‍රවාහනය කියලා කියන්නේ මේ වෙනකොටත් මිනිස්සුන්ට තියෙන ලාභදායීම ප්‍රවාහන ක්‍රමය. ලංකාවේ තියෙන ආර්ථික අර්බුදය නිසා බස් ගාස්තු සෑහෙන මට්ටමකින් ඉහල ගියාට සාමාන්‍යයෙන් ඕනම රටක තියෙන ලාභදායීම ප්‍රවාහන ක්‍රමය තමයි පොදු ප්‍රවාහනය කියලා කියන්නේ. ඉතිං ඒ වගේ දෙයක් තවත් ලාභදායී කළා කියලා මිනිස්සු අමුතුවෙන් පොදු ප්‍රවාහනයට යොමු වෙයි කියලා හිතන්න අමාරුයි. මිනිස්සු ගාණ වැඩි වුණත් ත්‍රීවිල් එකක, ටැක්සියක යන්න පෙළඹෙන්නේ තමන්ගේ කාලය, වෙහෙස මහන්සිය, පහසුව, නිදහස වගේ දේවල් ගැන හිතලා. ඉතිං කෙනෙක් පොදු ප්‍රවාහනයට අකමැති වෙනවා නම් ඒකට හේතු වෙන්නේ පොදු ප්‍රවාහනයේ තියෙන අඩු ගුණාත්මක බව. 

චිලී රටේ උදාහරණය ආයෙත් සලකලා බැලුවොත්, ඒ අධ්‍යයනයෙන් හෙළිදරව් වුණ තවත් කාරණයක් වුණේ පොදු ප්‍රවාහනය යොමු වුණු පිරිස වැඩි වුණාම, ඒ වැඩි වුණ පිරිසට අයිති වුණේ කවුද කියන කාරණය. ඒ පිරිස දුප්පත් අයවත්, මහළු හෝ තරුණ අයවත් නෙවෙයි. එයාලා පොදු ප්‍රවාහනය සේවයකට ඉතාමත් පහසුවෙන් ළගා වෙන්න පුළුවන් දුරක පදිංචි වෙලා හිටපු අය. මෙට්‍රෝ සේවයක් හෝ බස් සේවයකට කිලෝමීටර් 1 වගේ දුරක ජීවත් වුණ අය ඒ සේවාව නොමිලේ ලබා දුන්නම තමන්ගේ පරිභෝජනය එහෙමත් නැත්නම් බස් රථවල ගමන් බිමන් යාම දෙගුණයකින් වැඩි කරලා තිබුණා. ඒත් කිලෝමීටර් 1 වඩා දුර හිටපු අයගෙන් එහෙම වෙනසක් පෙනිලා නෑ. 

පොදු ප්‍රවාහනයේ දියුණු වෙන්න ඕන මොනවාද?

මේ හැම කතාවක්ම කියන්නේ පොදු ප්‍රවාහනය නොමිලේ දීලා විතරක් මදි, ඒකේ ගුණාත්මක බවත් වැඩි කරන්න ඕන කියලා. චිලී උදාහරණයෙන් පේනවා මිනිස්සු තමන්ට ඒ වෙනුවෙන් දරන්න වෙන මුදලට වඩා කාලය, ළගා වීමේ පහසුව වගේ දේවල් සලකනවා කියලා. කාලය කියද්දි බස් එකක් එනකම් බලන් ඉන්න කාලය, ගමනට ගත වෙන කාලය, එක වාහනයකින් තවත් වාහනයකට මාරු වෙද්දි ඒකට ගත වෙන කාලය වගේ බොහෝමයක් දේ සලකලා බලනවා. එහෙම බලද්දි පෞද්ගලික වාහනයක යන එක ගාණ වැඩි වුණත් ලාභයි කියලා මිනිස්සු හිතන්න පෙළඹෙනවා. 

2006දී කරපු අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා පෞද්ගලික වාහනයක් වෙනුවෙන් වැය වෙන වෙලාව, පොදු ප්‍රවාහනයට වැය වෙන වෙලාව වගේ 40% ගුණයක් අඩුයි කියලා. එහෙම බලද්දි මිනිස්සු තමන්ට වඩාත් පහසු ක්‍රමය තෝර ගන්නවා මිසක් නොමිලේ ලබා දෙන දේම පිලිගන්නේ නෑ.

අපි තවත් උදාහරණයක් ගමු ස්පාඤ්ඤයෙන්. 2015දි මැඩ්රිඩ් අගනුවර ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් වැඳගත් තීරණයක් ගත්තා. මැඩ්රිඩ්වල ජීවත් වෙන සියලුම තරුණ ප්‍රජාවට මාසික ප්‍රවාහන කටයුතුවලට පාවිච්චි කරන්න යූරෝ 20ක නොවෙනස් අනුපාතයක් ලබා දුන්නා. ඒකෙන් අඩු පහසුකම් සහිත පරිසරවල ජීවත් වෙන තරුණ කොටස්වල පොදු ප්‍රවාහන භාවිතය 25% කින් ඉහල ගියා. පරිභෝජනය ඒ විදිහට ඉහල ගියේ පොදු ප්‍රවාහනය ලාභ වුණ නිසා. මධ්‍යම පාංතික තරුණ කොටස්වලට මේ වාසිය නිසා තමන්ගේ වියදම්වලින් 49% ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් වුණා. ඒ විදිහට අතේ ඉතුරු වුණ සල්ලිවලින් වෙනත් වියදම් පිරිමහ ගන්නත් එයාලට පුළුවන් වුණා. මේ උදාහරණය ගැන විවේචන එල්ල වෙලා නැත්තේ නෑ. ඒ වුණත් ස්පාඤ්ඤයේ මේ උදාහරණයෙන් පේන්නේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන පිරිස වැඩි කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගය හරි ගියා කියලයි. 

පොදු ප්‍රවාහනය ඇත්තටම නොමිලේ ලබාදන්න පුලුවන්ද? 

නිදහස් ආර්ථිකයක මිල තීරණය කරන්නේ පාරිභෝගිකයෝ සහ නිෂ්පාදකයෝ. කාටවත් මිලක් නැතිව නිෂ්පාදන කටයුතු, පාරිභෝජන කටයුතු කරන්න බෑ. ආර්ථික විද්‍යාවේ මේකට කියන්නේ කාටවත් දවල් කෑම පිනට / නිකම් හම්බ වෙන්නේ නෑ කියලා (There is no such thing as free lunch). කාටම හරි දෙයක් නොමිලේ ලැබෙනවා කියන්නේ ඒ වෙනුවෙන් තවත් කෙනෙක් වියදම් දරලා තියෙනවා කියන එකයි. අපි හිතමු අපිට තෑග්ගක් විදිහට මෝටර් බයිසිකලයක් ලැබෙනවා කියලා. ලැබුණ කෙනාට ඒ වෙනුවෙන් වියදමක් දරන්න වුණේ නෑ තමයි. ඒත් ඒ තෑග්ග දුන්න කෙනා බයිසිකලයට මිල ගෙවලා තියෙනවා. 

ඉතිං රජය තමයි රටක පොදු භාණ්ඩ වෙනුවෙන් ඒ වියදම දරන්නේ. ඒත් රජයට ආදායම් ලැබෙන්නේ මිනිස්සු ගෙවන බදු සල්ලිවලින්. ඒ සල්ලිවලින් නොමිලේ පොදු ප්‍රවාහනය ලබා දෙනවා කියන්නේ රජයට ලොකු වියදමක් දරන්න වෙනවා කියන එක, නැත්නම් බදු ගෙවන සාමාන්‍ය ජනතාවට ඒ බර දරන්න වෙනවා කියන එක. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ. පොදු ප්‍රවාහනයටත් ඒක පොදු කතාවක්. ඉතිං නොමිලේ ලැබෙන පොදු ප්‍රවාහනය අපිට ඔබට වාසිදායකද? ඔබම හිතලා බලන්න. 

-දිල්මිණී හසින්තා අබේරත්න  




ලංකාවේ ව්‍යාපාරවලින් ගොඩයන්න පුළුවන්ද?

පසුගිය අවුරුද්දේ මුල ඉඳලාම ලංකාවට මුහුණ දෙන්න වෙලා තියෙන දරුණු ආර්ථික අර්බුදය හින්දා සමහරු රට අත් ඇරලා ගියා. එහෙම යන්න බැරි වුණ අය සහ නොයන්න තීරණය කරපු තවත් අය ලංකාවේ ඉදිරි අනාගතය ගොඩ නගන්න එක එක විදිහේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළා. සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි ලංකාවේ රජය සහ ව්‍යාපාරිකයන් පවා මේ ගැන විවිධ යෝජනා සහ චෝදනා ඉදිරිපත් කළා. ඉතිං ඒ අතර තිබුණ එක යෝජනාවක් තමයි ලංකාවට දියුණු වෙන්න නම් ලංකාවේ ව්‍යාපාර දියුණු වෙන්න ඕන කියන කතාව. ඉතිං ඒ කතාව ඇහුවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ව්‍යාපාර කරලා ගොඩයන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇයි තවත් බලන් ඉන්නේ කියලා. ඔව්, එහෙම හිතෙන එක සාධාරණයි. ඒත් ලංකාවේ ව්‍යාපාර කරන එක ලෝකයේ සමහර රටවල්වල ව්‍යාපාර පටන් අරගෙන කරගෙන යන එක තරම් ලේසි වැඩක් නෙවෙයි. මේකට හේතු ගොඩාක් තියෙනවා. ඉතිං අපි මුලින්ම බලමු ඇයි ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න මේ තරම් අමාරු කියලා.

ලංකාව ව්‍යාපාරවලට සහ ව්‍යාපාරිකයන්ට හොඳ ද?

ලංකාව කියලා කියන්නේ ඉන්දියන් සාගරයේ ඉතාමත් උපායශීලී පිහිටීමක් සහිත රටක්. රට වටේම තියෙන මුහුද, වගා කරන්න පුළුවන් ඉඩම්, ජලය, ස්වභාවික සම්පත්, ස්වභාවික වරායයන් වගේ දේවල් ලංකාවේ ආර්ථිකයට වටිනාකමක් එකතු කරනවා. මේ විශේෂ පිහිටීම නිසා ම සමහර රටවල් ලංකාවේ ආයෝජනය කරන්න, ඒ කියන්නේ මුදල් යොදවලා ව්‍යාපාර පටන් ගන්න පවා කැමතියි. ඒත් සම්පත් තිබුණා කියලාවත් කවුරුහරි කැමති වුණා කියලාවත් රටක ව්‍යාපාර කටයුතු ඒ තරම් ලේසියෙන් පවත්වාගෙන යන්න පුලුවන්කමක් නෑ. ලංකාවේ පරිසරය ව්‍යාපාර කරන්න කොයිතරම් සුදුසු මට්ටමක තියෙනවද කියලා තේරුම් ගන්න අපිට ලෝකයේ පිලිගත් දර්ශක කීපයක් යොදා ගන්න පුළුවන්. 

ගෝලීය තරඟකාරීත්ව දර්ශකයට අනුව 2023 දී රටවල් 184 අතරින් ලංකාව ඉන්නේ 136 වන ස්ථානයේ. 2020දී  ව්‍යාපාර කිරීමේ පහසුව දර්ශකයට අනුව ලංකාව 99 වැනි ස්ථානයේත්, 2020දී ඉදිරිපත් කරපු ෆ්‍රේසර් ආයතනයේ ආර්ථික නිදහස පිලිබඳ තක්සේරුවලට අනුව 89 වැනි ස්ථානයේත් රැඳිලා ඉන්නවා. සරලවම කිව්වොත් මේ හැම අගයයකින්ම පේන්නේ ලංකාව ඉතාමත් දුර්වල මට්ටමක ඉන්නවා කියන එකයි. මේ කියන දර්ශකවලට ඇතුලත් වෙලා තියෙන දේපල හිමිකාරීත්වය, ව්‍යාපාර නියාමනය, දේපල ලියාපදිංචි කිරීම, ණය ගැනීම සහ බදු ගෙවීම වගේ කාරණා හැම එකක්ම සලකලා බලද්දි ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්නවාට වඩා වෙන රටක ව්‍යාපාරයක් කරගෙන යන එක, පටන් ගන්න එක ලේසි. 

උදාහරණයක් විදිහට ගත්තොත් ව්‍යාපාර කරගෙන යාමට තියෙන පහසුව ගැන මැන බලන දර්ශකයේ ඉහළින් ම ඉන්න රටවල් වෙන සිංගප්පූරුව, ඩෙන්මාර්කය වගේ රටවල්වල නිෂ්පාදන සාධක (භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය) ලංකාවේ තියෙනවාට වඩා ව්‍යාපාරවලට හිතකර මට්ටමක තියෙනවා. සිංගප්පූරුව සංවර්ධනය වෙන්න කලින් ලීක්-වාන්-යූ හඳුනාගත්තා ඒ රටේ දියුණුවට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන සාධක මොනවාද කියලා. ඉතිං ලංකාවට වගේ ස්වභාවික සම්පත් නොතිබුණ සිංගප්පූරුව තේරුම් ගත්තා තමන්ට තියෙන භූමියෙන් සහ ශ්‍රමයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. අන්න ඒ විදිහටයි ලීක්-වාන්-යූ සිංගප්පූරුවට ආයෝජකයන් ගෙන්වගන්න අඩු මිලකට ශ්‍රමය සපයන්න තීරණය කළේ. ඒ වගේම පිටරටවලින් ඇවිත් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයට සහනදායී කොන්දේසි යටතේ පහසුවෙන් ව්‍යාපාරික ඉඩම් ලබාගෙන නිදහසේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් වටපිටාවක් හදන්න ලීක්-වාන්-යූට පුළුවන් වුණ නිසා තමයි අද සිංගප්පූරුව දියුණු රටක් වෙලා තියෙන්නේ.

ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න ඇයි මේ තරම් අමාරු?

කලින් කිව්වා වගේ ව්‍යාපාරයක් / නිෂ්පාදන කටයුත්තක් කරගෙන යන්න නම් ඒකට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන සාධක ඕන වෙනවා. ලංකාවේ මේ කියන සාධකවල අඩුවක් නෑ කියලා ඔයාලට හිතෙනවා ඇති. එහෙනම් මොකක්ද ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නය?

කොයිතරම් නිෂ්පාදන සාධක තිබ්බත් ඒවා පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ සීමාවීම තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. ලංකාවේ භූමියෙන් වැඩි කොටසක අයිතිය තියෙන්නේ රජයට. ඒ නිසා සාමාන්‍ය ජනතාව යටතේ තියෙන ඉඩකඩම් ප්‍රමාණයෙන් අඩුයි. ව්‍යාපාරයක් කරන්න ඉඩමක් හොයාගන්න එකම ව්‍යාපාරිකයෙකුට ලොකු අභියෝගයක් වෙන්නේ ඒ නිසයි. ලංකාවේ ඉඩම්වලින් 80% වගේ විශාල කොටසක් රජයට අයිති ආයතනවලට හෝ රජයට සම්බන්ධ අය යටතේ තියෙන නිසා සාමාන්‍ය කෙනෙකුට හෝ දේශීය/විදේශීය ව්‍යාපාරිකයන්ට ඉඩමක් ලබා ගන්න සීමාවන් රැසක් තියෙනවා. 

ඉතිං ව්‍යාපාරයක් කරන්න හරි හමන් තැනක් නැතුව ඒ වෙනුවෙන් වියදම් කරන්න ප්‍රාග්ධනයක් හොයා ගන්න එකයි, ඒ ව්‍යාපාර වැඩවලට හැකියාවන් සහිත ශ්‍රමිකයෝ හොයා ගන්න එකත් අමාරු වැඩක් වෙනවා. විශේෂයෙන් ම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය රැකියාවන්ට ගැලපෙන අධ්‍යාපනය ක්‍රමයක්ද කියන ප්‍රශ්නයත් මෙතනදි මතු වෙනවා. ජපානය වගේ රටවල් තමන්ට අවුරුද්දකදි කොයිතරම් පරිගණක ඉංජිනේරුවෝ, වෛද්‍යවරු ඕන වෙනවාද කියලා තීරණය කළත්, ලංකාවේ ඒ වගේ ක්‍රමයක් ඇත්තේ නෑ. ඊටත් වඩා, බොහෝමයක් දෙනා හිතාගෙන ඉන්නේ රස්සාවක් හොයලා දෙන එක රජයේ වගකීමක් කියලා. ඉතිං නිදහස් වෙළඳපළ ආර්ථිකයක රජයට ඒ වගේ දේවල් කරනවාට වඩා වැඳගත් වැඩ තියෙනවා. තමන්ගේ හැකියා, දක්ෂතා, ආකල්ප සහ දැනුම අනුව තමටන්ට ගැලපෙන රස්සාවක් හොයා ගන්න එක ඒ ඒ පුද්ගලයා කරන්න ඕන දෙයක්. තමන්ට ම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ව්‍යවසායකයෙක් වෙන කෙනෙක් නම් ඒ දේ කරන්නත් අපි කලින් කියපු නිෂ්පාදන සාධක ප්‍රමාණවත් ම සහ ප්‍රවේශ වෙන්න පුලුවන් මට්ටමකින් තියෙන එක වටිනවා. 

ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකය ආර්ථිකයකට විශාල වෙනසක් කරන්න පුළුවන් සාධකයක්. මොකද ව්‍යවසායකයෙකුට පුළුවන් ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගෙන අවදානම් දරමින්, නවෝත්පාදනය කරමින්, නව ව්‍යාපාරික කටයුතු බිහි කිරීම ඔස්සේ බොහෝ පිරිසකට රස්සා ලබා දෙන්න. ඒකෙන් රටක විරැකියාව අඩු කරන්න, ජීවන මට්ටම් ඉහල නංවන්න, නිෂ්පාදිතය ඉහල නංවන්න රුකුලක් සැපයෙනවා. ඒත් ලංකාව වගේ රටක ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු පටන් ගන්න සහ පවත්වාගෙන යන්න තරම් සුදුසු හිතකර පරිසරයක් තියෙනවද කියන කාරණය ගැටළුවක්. විශේෂයෙන්ම ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න සුදුසු ඉඩමක්, ගොඩනැඟිල්ලක්, රජයේ අනුමැතියක්, ණය පහසුකමක් වගේ දේවල් ලබා ගන්න අනුගමනය කරන්න තියෙන පියවර අනෙක් රටවලට වඩා අසීරු මට්ටමක තමයි තියෙන්නේ. 

සිංගප්පූරුවේ සාර්ථකත්වය 

උදාහරණයක් විදිහට අපි කලින් සඳහන් කලා වගේ 1965 කාලය වෙද්දි සිංගප්පූරුවේ තිබුණු සමාජ සහ ආර්ථික තත්ත්වය ඉතාමත් දුර්වල එකක්. පැල්පත් නිවාසවල ජීවත් වුණ බොහෝමයක් මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉතා පහල මට්ටමකයි තිබුණේ. හැබැයි සිංගප්පූරුවේ අසහාය නායකයා විදිහට සැලකෙන ලීක්-වාන්-යූ හොඳට හිතලා බලලා තමන්ගේ රටේ වැඩක් ගන්න පුළුවන් විදිහට තියෙන නිෂ්පාදන සාධක මොනවාද කියලා තේරුම් ගත්තා. ලංකාව වගේ ස්වභාවික සම්පත් ගොඩක් සිංගප්පූරුවට නැති වුණත් තමන්ට තියෙන ශ්‍රම සම්පත සහ භූමිය ඵලදායී විදිහට වගේම උපරිම කාර්‍යක්ෂමතාවකින් පාවිච්චි කරන්න ලීක්-වාන්-යූ සැලැස්මක් ක්‍රියාත්මක කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිංගප්පූරුවේ සහනදායී බදු ප්‍රතිපත්ති, අපනයන දිරිගැන්වීම්, අඩු මිලට ශ්‍රමය සැපයීමට හැකි විශාල සේවා වියුක්තියකයන් පිරිසක් සිටීම, හිතකර කම්කරු ප්‍රතිපත්ති, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වලට වරණීය පහසුකම යටතේ ප්‍රවේශ වීමට ඇති හැකියාව වගේ සාධක නිසා විදේශීය ආයෝජකයන්ට සිංගප්පූරුවේ ආයෝජනය කරලා ව්‍යාපාර පටන් ගන්න උත්තේජනයක් ලැබුණා. විදේශීය ආයෝජකයන් සිංගප්පූරුවට ගෙන්වගන්න ලීක්-වාන්-යූ තමන්ගේ රටේ නිදහස් නීති රෙගුලාසි පනවලා ආයෝජකයන්ට නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දුන්න නිසා අද වෙනකොට සිංගප්පූරුව ලෝකයේ ව්‍යාපාර නිදහස මනින දර්ශකවල ඉහළම රටවල්  10 ඇතුලේ රැඳිලා ඉන්නවා. 2019 දී ලෝකයෙන්ම දෙවනි ස්ථානයට එන්න සිංගප්පූරුවට පුළුවන්කම ලැබුණේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීම, විදුලිය සහ ණය ලබා ගැනීම, දේපල ලියාපදිංචි කිරීම, බදු ගෙවීම, දේශසීමා හරහා සිදු කරන වෙළඳාම වගේ නිර්ණායකවලින්  ඉහළ කාර්‍යසාධනයක් පෙන්වපු නිසයි.

ලංකාවේ ව්‍යාපාර නිදහස වෙනුවෙන් අපි වෙනස් කරන්න ඕන මොනවාද?

නූතන ආර්ථික විද්‍යාවේ පියා කියලා සැලකෙන ඇඩම් ස්මිත් තමයි මුලින් ම නිදහස් ආර්ථිකයක් ගැන කතාව පටන් ගන්නේ. ඇඩම් ස්මිත් කියන විදිහට රජයයන් ආර්ථිකයට මැදිහත් වෙන්නේ නැතුව පෞද්ගලික අංශයට නිදහසේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඉඩ සලසා දෙන්න ඕන. ලංකාවේ තියෙන ව්‍යාපාර බොහෝමයක රජයේ බලපෑමක් තියෙනවා. රජය කරගෙන යන ව්‍යාපාර පාඩු ලබන තත්ත්වයක් තිබුණොත්, ඒ පාඩුව පියවන්න මුදල් යොදවන්න වෙන්නෙත් රජයේ ආදායමෙන්ම තමයි. මේ නිසා කාර්‍යක්ෂම විදිහට ලාභ ලබමින් ව්‍යාපාර කරගෙන යන්න නම් පුද්ගලික අංශය තමයි ව්‍යාපාරවලට මැදිහත් වෙන්න ඕන.

නිදහස් වෙළඳාමකදී සමතුලිතයක් තීරණය වෙන්නේ ගැනුම්කරුවන්ගේ ඉල්ලුම සහ සැපයුම්කරුවන්ගේ සැපයුම කියන සාධක දෙකම සමාන වෙන මට්ටමකදී. ඒත් රජයක් සහනාධාර දීම, උපරිම මිල නියම කිරීම, අවම මිල නියම කිරීම වගේ දේවල් කරලා ඒ වෙළඳාමට මැදිහත් වෙද්දි ගැනුම්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට නිදහස් වෙළඳාමෙන් ලැබෙන්න තිබුණ අතිරික්තය එහෙමත් නැත්නම් සුබසාධනය අහිමි වෙනවා.

ආනයන සීමා පැනවීමෙන් ලංකාවේ ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්ද?

මෑත කාලයේදී ආනයන සීමා පැනවීම කියන කාරණය ඉතාමත් සුලබව දකින්න ලැබුණා. අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ආර්ථික අර්බුදය නිසා මිනිස්සු පිටරටින් ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩු කරන අරමුණෙන් ආනයන සීමා පැනවුණා කියන එක තමයි අපි හැමෝම දන්න කාරණය. ඒ වුණත් සමහර වෙලාවල දේශීය නිෂ්පාදකයන් දිරි ගන්වන්න, එහෙමත් නැත්නම් දේශීය නිෂ්පාදකයන්ට සහනයක් වෙන්න කියලා හිතාගෙන රජය නිදහස් වෙළඳාමට මැදිහත් වෙලා විදේශීය භාණ්ඩ ආනයනයට සීමා පනවනවා. අපි මේ කතාව උදාහරණයකින් පැහැදිලි කර ගමු.

දේශීය ගොවියාට යහපතක් කරන්න හිතාගෙන පිටරටින් ගෙන්වන කහ නතර කළා කියලා හිතමු. ඒ වෙලාවේදී ලංකාවේ ප්‍රමාණවත් දේශීය කහ සැපයුමක් තිබුණේ නෑ. ඒ නිසා තිබුණ සීමිත කහ සැපයුමට අති විශාල ඉල්ලුමක් ඇති වෙලා කහවල මිල අසාමාන්‍ය විදිහට ඉහල ගියා. හුඟාක් වෙළඳසැල්වල කහ විකුණන්න තිබුණේ නෑ. ඉතිං අසාමාන්‍ය මිලක් ගෙවන්න සිද්ධ වීම නිසා ගැනුම්කරුවෝ හුඟක් අසීරුතාවකට ලක් වුණා. දේශීය නිෂ්පාදකයන් දිරිමත් වෙලා කහ සැපයුම වැඩි කිරීම කෙටි කාලීනව කරන්න පහසු දෙයකුත් නෙවෙයි.

ඉතිං දේශීය සහ විදේශීය භාණ්ඩ දෙවර්ගයටම ප්‍රවේශ වෙන්න ගැනුම්කරුවන්ට ඉඩකඩ තියෙනවා නම් ඒ දෙවර්ගයෙන් හොඳම නිෂ්පාදිතය තෝරා ගැනීමේ හැකියාව ගැනුම්කරුවාට ලැබෙනවා. ඉතිං ඒ තේරීම නිසා ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළඳපළේ තරඟයට මුහුණ දෙන්න මේ සැපයුම්කරුවන්ට සිද්ධ වෙනවා. ඒකෙන් පාරිභෝගිකයන්ගේ සහ නිෂ්පාදකයන්ගේ සුබසාධනය ඉහළ යනවා. 

මීට අමතරව ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්න ඉඩකඩම්, ගොඩනැඟිලි, රජයේ අනුමැතිය, ණය පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතා රැසකට මුහුණ දෙන්න ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලීන්ගේ තියෙන මන්දගාමී බව, අකාර්‍යක්ෂම බව නිසා ව්‍යාපාර ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, ගෝලීය වෙළඳපළට ඇතුළු වීම වගේ දේවල්වලදි අධෛර්‍යමත් වෙලා ව්‍යවසායකයින් / ව්‍යාපාරිකයින් වෙළඳපලෙන් ඉවත් වෙනවා. 

ව්‍යාපාර කිරීමේදී දරන්නට සිදු වන පිරිවැය අවම කිරීමට පෞද්ගලික අංශයේ කටයුතු විධිමත් කිරීම, සාධාරණ ලෙස අපනයන ක්‍රියාවලිය පවත්වා ගැනීමට වෙළඳ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම, සෘජු විදේශීය ආයෝජන රටට ආකර්ශනය කර ගැනීමට, රඳවා ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීම, ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීම සහ මූල්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථා සලසා දීම තුළින් ලංකාවේ ව්‍යාපාර තරඟකාරීත්වය ඇති කර ගැනීමට හැකියාව තියෙනවා. දැන් ඔබට හිතෙනවා ඇති අපි කලින් හිතපු තරම්ම ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් තරඟකාරීත්වය ඇති කිරීම ලේසි වැඩක් නෙවෙයි කියලා. ඒ වුණත් අද සංවර්ධනය වෙලා තියෙන හැම රටක්ම ඒ තත්ත්වයට එන්න දුෂ්කර කාලයක් ගත කරලා තියෙනවා. ඒ නිසා ලංකාවටත් කන්දක් නැඟලා ම තමයි පල්ලමක් බහින්න වෙන්නේ. ඉතිං ඒක මතක තියාගෙන මහන්සි වෙලා හැමෝම එකතු වෙලා වැඩ කලොත් ලංකාවේ ව්‍යාපාරයක් කර ගෙන ගොඩ යන්න බැරිකමක් නෑ. මෙන්න මේ වගේ හේතු නිසා ශ්‍රී ලංකාව ව්‍යාපාර කරගෙන යාම, ආර්ථික නිදහස වගේ දේවල්වලින් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව අපේ විශ්වාසයයි.

-දිල්මිණී අබේරත්න