✍ දුෂාණි එදිරිසිංහ
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව වසර 160කට වැඩි ඉතිහාසයක් සහිත ජනතාවගේ ජීවිතයට සමීප වූ ප්‍රධාන ප්‍රවාහන සේවාවකි. දිනපතා දහස් ගණනක් වූ මගීන් තම රැකියා,අධ්‍යාපන සහ ව්‍යාපාරික කටයුතු සඳහා දුම්රිය සේවාව භාවිත කරයි. විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශ අතර ගමනාගමනයේදී අඩු වියදම් සහිත විශ්වාසදායක ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය සේවාවට විශාල සමාජ වටිනාකමක් ඇත.
කෙසේ වෙතත්, ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් වුවද, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. ආදායමට වඩා වියදම ඉහළ යාම, අඩු ගාස්තු ප්‍රතිපත්තිය, පැරණි යටිතල පහසුකම් සහ මෙහෙයුම් අකාර්යක්ෂමතාව හේතුවෙන් එය රජයට අඛණ්ඩ මූල්‍ය බරක් බවට පත්ව ඇත.
ආදායමට වඩා වියදම ඉහළ යන දුම්රිය සේවාව
ජාතික ප්‍රවාහන සංඛ්‍යාලේඛන 2024 වාර්තාවට අනුව, 2023 වර්ෂයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් බිලියන 16.08ක් වූ අතර, මුළු වියදම රුපියල් බිලියන 27.84ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ අනුව එම වසරේ වාර්තා වූ ශුද්ධ පාඩුව රුපියල් බිලියන 11.77ක් පමණ විය.
තවද 2025 ජාතික ප්‍රවාහන සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව 2024 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 16.84ක් වූ අතර වියදම රුපියල් බිලියන 39.22ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමඟින් පෙනී යන්නේ දුම්රිය සේවාවේ ආදායම මෙහෙයුම් වියදම් පියවා ගැනීමට පවා ප්‍රමාණවත් නොවන බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා රජයට අයවැය හරහා විශාල මුදලක් වෙන් කිරීමට සිදුවේ. එමඟින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අමතර පීඩනයක් ඇති වේ.
මහජන බදු මුදල් මත රඳා පවතින සේවාවක්
දුම්රිය සේවාවේ පාඩුව පියවීම සඳහා භාවිත කරනු ලබන්නේ රජයේ ආදායම් සහ මහජන බදු මුදල්ය. රජයේ සීමිත මූල්‍ය සම්පත් සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ක්ෂේත්‍ර සඳහාද අවශ්‍ය වේ.
ඒ අනුව, දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස දුම්රිය සේවාව පවත්වාගෙන යාම රජයේ වියදම් කළමනාකරණයට අභියෝගයක් වේ. කෙසේ වෙතත්, මෙම පාඩුව සරල ව්‍යාපාරික පාඩුවක් ලෙස පමණක් සැලකිය නොහැක. එයට හේතුව දුම්රිය සේවාව සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබාදෙන සේවාවක් වීමයි.
දුම්රිය සේවාවේ පාඩුවට බලපාන ප්‍රධාන හේතු
1. අඩු ප්‍රවේශපත්‍ර ගාස්තු
ශ්‍රී ලංකාවේ දුම්රිය ගාස්තු බොහෝ කාලයක් තිස්සේ ජනතාවට දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාමට රජය කටයුතු කර ඇත. එය මගීන්ට සහනයක් වුවද, මෙහෙයුම් වියදම් ඉහළ යන අවස්ථාවක ආදායම් හිඟයක් ඇති කරයි.
දේශපාලන තීරණ මත නොව, ඉන්ධන, නඩත්තු සහ උද්ධමන වියදම් සැලකිල්ලට ගෙන නියමිත කාල පරාසයන් තුළ ගාස්තු සංශෝධනය කිරීම.ඉලක්කගත සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීම – සියලුම මගීන්ට අඩු ගාස්තු ලබා දීම වෙනුවට, සිසුන්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා පමණක් සහන ගාස්තු ලබා දීම. උපරිම ඉල්ලුම සහිත වේලාවන් අනුව ගාස්තු නියම කිරීම – Peak hours සහ Off-peak hours සඳහා වෙනස් ගාස්තු හඳුන්වා දී ආදායම වැඩි කිරීම සහ මගී තදබදය කළමනාකරණය කිරීම.
2. ඉහළ සේවක සහ පරිපාලන වියදම්
දුම්රිය දෙපාර්තමේන්තුව විශාල සේවක පිරිසක් සහිත රාජ්‍ය ආයතනයකි. වැටුප්, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් පරිපාලන වියදම් එහි සමස්ත වියදම වැඩි කිරීමට බලපායි.
3. පැරණි දුම්රිය යටිතල පහසුකම්
ශ්‍රී ලංකාවේ බොහෝ දුම්රිය එන්ජින්, මැදිරි සහ සංඥා පද්ධති සහ පීලී වසර ගණනාවක් පැරණි ය. ඒවා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය වන අතර, සේවාවේ කාර්යක්ෂමතාවයටද බලපෑම් ඇති කරයි.
4. භාණ්ඩ ප්‍රවාහනයෙන් අඩු ආදායම
ලෝකයේ බොහෝ රටවල දුම්රිය සේවාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ භාණ්ඩ ප්‍රවාහනයයි. නමුත් ශ්‍රී ලංකාවේ දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය තවමත් සම්පූර්ණ හැකියාවෙන් භාවිත නොවේ.
ආණ්ඩුවට බරක් වුවද ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක්
දුම්රිය සේවාව ලාභ උපයන ව්‍යාපාරයක් ලෙස පමණක් සැලකිය නොහැක. එය රටේ ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට දායක වන පොදු ප්‍රවාහන පද්ධතියකි.
දිනපතා සේවයට යන පිරිස්, විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන්, අඩු ආදායම්ලාභී ජනතාව සහ දුර ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා දුම්රිය සේවාව අඩු වියදම් ගමනාගමන පහසුකමක් සපයයි.
එමෙන්ම දුම්රිය භාවිතය වැඩි වීම මාර්ග තදබදය අඩු කිරීමට, ඉන්ධන ආනයන වියදම් පාලනය කිරීමට සහ පරිසර දූෂණය අවම කිරීමටද උපකාරී වේ. එබැවින් දුම්රිය සේවාවේ වටිනාකම මැනිය යුත්තේ ලැබෙන ආදායමෙන් පමණක් නොව, එය රටට ලබාදෙන පුළුල් ආර්ථික සහ සමාජ ප්‍රතිලාභ මතද වේ. නමුත් මේ සඳහා පවතින ප්‍රතිසංස්කරණ කිරීමද අනිවාර්‍ය වන අතර එයින් රජයට ඵලදායි ලෙස ආදායමක් එකතුකර ගත හැක.
තිරසාර දුම්රිය සේවාවක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ
දුම්රිය සේවාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම අභියෝගයක් වුවද, එහි පාඩුව අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.
ඒ සඳහා,
ඩිජිටල් ප්‍රවේශපත්‍ර ක්‍රම හඳුන්වාදීම. ( ඩිජිටල් තාක්ෂණය භාවිතය වැඩි කිරීමෙන් ටිකට් නිකුත් කිරීම, පරිපාලන කටයුතු සහ වාර්තා පද්ධති වඩාත් කාර්යක්ෂම කළ හැක. )
දුම්රිය ස්ථානවල වාණිජ අවස්ථා වැඩි කිරීම.( අවන්සලවල් සෑදීම සංචාරකයන් ගැවසෙන ස්ථානවල ලාංකික නිශ්පාදන සහිත භාණ්ඩ විකුණන අලෙවිසැල් ස්ථාපිත කිරීම)
භාණ්ඩ ප්‍රවාහන සේවාව පුළුල් කිරීම.
නවීන දුම්රිය සහ තාක්ෂණික පද්ධති හඳුන්වාදීම.
නඩත්තු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම.( රජයේ අයිතිය පවත්වාගෙන යමින්, නිශ්චිත කාර්යයක් (උදා: දුම්රිය පීලි අලුත්වැඩියාව, නඩත්තු කිරීම, ආහාර සැපයීම, පිරිසිදු කිරීම) තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා පෞද්ගලික සමාගමකට සිදු කිරීමට ලබා දීම.)
මෙහෙයුම් වියදම් පාලනය කිරීම. (මෙහෙයුම් මැදිරිය රජය යටතේ තබා ගනිමින් අනෙකුත් සියළුම වැඩිදියුණු කිරීමේ ක්‍රියාවන් ආයෝජකයින්ට හෝ පෞද්ගලික අංශයට ලබා දීම) වැනි ක්‍රියාමාර්ග ගත යුතුය.
නිගමනය
ශ්‍රී ලංකා දුම්රිය සේවාව වසර ගණනාවක් තිස්සේ පාඩු ලබන රාජ්‍ය සේවාවක් බව දත්ත මඟින් පැහැදිලි වේ. 2023 වසරේ පමණක් රුපියල් බිලියන 11කට වැඩි පාඩුවක් වාර්තා වීම එහි මූල්‍ය අභියෝගය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, විසඳුම දුම්රිය සේවාව අඩු කිරීම හෝ අත්හැර දැමීම නොවේ. එය වඩාත් කාර්යක්ෂම, නවීන සහ ආදායම් උපයන මහජන සේවාවක් බවට පත් කිරීමයි.
එකපාර මේ කියන දුම්රියට ප්‍රතිසංස්කරණ ගේන්න බෑ ඒ නිසා මේ සදහා අලුත් මොඩ්ල් එකක් ගේන්න ඕන. ලංකාවේ මේ වෙද්දි වැඩිම ඉඩම් ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුයි.ඉතින් මේ සඳහා ආයෝජකයන් ගෙන්වා ගනිමින් මුදල් යොදවමින් පොදු ප්‍රවාහන මාදිලියේ අංක එක වෙන්න දුම්රියට හැකියාවක් තිබේ.
දුම්රිය සේවාව ආණ්ඩුවට බරක් විය හැකි නමුත්, නිවැරදි කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණ හරහා එය රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් බවට පත් කළ හැකිය.

