කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රට මොකක්ද? 

දිල්මිණී අබේරත්න විසිනි

කෙලින්ම කියන්නම්කෝ. ඒ තමා ඩෙන්මාර්කය. කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රට මොකක්ද? කියලා පෙළ ගස්වන දර්ශකයක් තියෙනවා. ඒකට කියන්නේ Women, Peace and Security (WPS) Index (කාන්තා, සාමය සහ ආරක්ෂාව (WPS) දර්ශකය) කියලා. මේ දර්ශකය ප්‍රකාශයට පත් කරන්නේ ජෝර්ජ්ටවුන් ආයතනයෙන්. ඒ අනුව,  

  1. ආරක්ෂාව (security) 

  2. යුක්තිය (justice) 

  3. අන්තර්ගත බව (inclusion) 

කියන ප්‍රධාන කරුණු 3 සහ ඒ යටතට ගැනෙන උප කොටස් රැසක් මත යම් රටක් කාන්තාවන්ට ජීවත් වෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය කරනවා. මේ සාධක පහත වගුවේ සහ රූප සටහනින් බලාගන්න පුළුවන්.  

දර්ශකය හදන හැටි රටවල් මනින හැටි 

2025/2026 අවුරුද්ද වෙනුවෙන් WPS දර්ශකය රටවල් 181 සලකලා තියෙනවා. ඒ වෙනුවෙන් දත්ත සම්පාදනය කරගෙන තියෙන්නේ ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ආයතනවලින්. මේ දර්ශකයෙන් ශ්‍රේණිගත කරද්දි රටවල්වලට 0 - 1 අතර ලකුණක් ලැබෙනවා. කිසිම රටකට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබිලා නෑ. කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රට වන ඩෙන්මාර්කයට ලැබුණේ 0.94 ලකුණක්. දර්ශකය අනුව කාන්තාවන්ට ජීවත් වෙන්න නුසුදුසුම රට වන ඇෆ්ගනිස්ථානයට ලැබුණු ලකුණ 0.28ක්. දර්ශකයේ පහළම ඉන්න රට ලබා ගත් ලකුණ වගේ තුන් ගුණයක් වැඩි ලකුණක් දර්ශකයේ ඉහළම ඉන්න ඩෙන්මාර්කය ලබාගෙන තියෙනවා. 

 

කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රටවල් සහ නරකම රටවල්

හොඳම රටවල් 

හොඳම රටවල් කාණ්ඩය සැලකුවොත් ඒ හැම එකක්ම දියුණු, සංවර්ධිත රටවල්. දර්ශකයේ මුලම ඉන්නේ උතුරු යුරෝපා රටවල් වන ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ, ස්වීඩනය සහ ෆින්ලන්තයයි. මේ රටවල්වල කාන්තාවන් සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ අධ්‍යාපනයක්, ශ්‍රම බලකායට වැඩි සහභාගීත්වයක්, නීතිමය ආරක්ෂාව, මූල්‍ය ඇතුළත් කිරීම් සහ දේශපාලන නියෝජනය වගේම සාපේක්ෂව අඩු ප්‍රචණ්ඩත්වයක් පැවතීම කියන අංශවලින් පෙරමුණේ ඉන්නවා. ශක්තිමත් රාජ්‍ය ආයතන සහ පුළුල් සමාජ ආරක්ෂණ පද්ධති ජීවිත කාලය පුරාම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය පවත්වාගෙන යාමට සහාය වෙනවා. 

 

නොහොඳ රටවල් 

කාන්තාවන්ට ජීවත් වෙන්න නුසුදුසුම රටවල් හෝ දර්ශකයේ පහළම ඉන්න රටවල් වන ඇෆ්ගනිස්ථානය, යේමනය, සිරියාව ගැටුම් පිරි අස්ථාවර රටවල්. මේ තත්ත්වයන් නිසා කාන්තාවන්ට අසමාන ලෙස බලපෑම් ඇති වෙනවා. අඩුම ශ්‍රේණිගත කිරීම් සහිත රටවල් 12 තුළ ජීවත් වන කාන්තාවන්ගෙන් 70%කට අධික සංඛ්‍යාවක් වාසය කරන්නේ සන්නද්ධ ගැටුම් පවතින ප්‍රදේශවල ඉඳලා කිලෝමීටර 50ක් ඇතුළත. ඒ නිසා ඔවුන් අවතැන් වීමේ සහ ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ ඉහළ අවදානමකට ලක් වෙනවා. ගැටුම්වලට වැඩි වශයෙන් නිරාවරණය වුණ රටවල්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වීම සහ මාතෘ සෞඛ්‍යය යන අංශවලින් දුර්වල මට්ටමක් පෙන්නුම් කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලොව පුරා බහුලවම සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් එකක් බව ප්‍රකාශ කරලා තියෙනවා. 

ලංකාව කියන්නේ කාන්තාවන්ට ජීවත් වෙන්න සුදුසු රටක්ද? 

මේ දර්ශකයේ ලංකාවට ලැබිලා තියෙන ස්ථානය රටවල් 181 අතරින් 77 ස්ථානය ලබා ගෙන තියෙන්නේ ලකුණු 0.706ක් අරගෙන. ඒ අගය දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව වටා ඇති සෙසු රටවල් එක්ක සසඳලා බැලුවොත් ප්‍රශංසනීය අගයයක්. කලාපීය බලවතෙක් විදිහට නැඟී එන ඉන්දියාව පවා මේ දර්ශකයේ 131 වැනි තැනයි ඉන්නේ.  

 

දකුණු ආසියානු කලාපයේ ප්‍රගතිය 

WPS දර්ශකය මගින් මනිනු ලබන්නේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව පමණක් නොවේ. 

2022 සහ 2023 අතර කාලය තුළ, ගැටුම් ආශ්‍රිත ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් තහවුරු කරන ලද සිද්ධි සංඛ්‍යාව 50%කින් ඉහළ ගිය ගියා. ඒ වගේම ප්‍රධාන වශයෙන් සන්නද්ධ ගැටුම් සංඛ්‍යාව ඉහළ යාම නිසා අවතැන් වූ ලොව පුරා මිලියන 117.5ක් වූ ජනගහනයෙන් අඩක් කාන්තාවන්ගෙන් සමන්විත විය. 

ආරක්ෂාව, ආර්ථිකයට දායක කර ගැනීම, සෞඛ්‍ය සේවාවන්, නීතිමය අයිතිවාසිකම් සහ දේශපාලන සහභාගීත්වය යන ක්ෂේත්‍රවල දර්ශක ඒකාබද්ධ කිරීම මගින්, කාන්තාවන්ට ජීවත් වීමට, රැකියාවල නිරත වීමට සහ දියුණු වීමට අදාළ රටවල් කෙතරම් හිතකර පරිසරයක් සපයනවාද යන්න පිළිබඳ පුළුල් චිත්‍රයක් මේ දර්ශකයෙන් ලබා දෙනවා. සරලව කිව්වොත් කාන්තාවන්ගේ යහපැවැත්ම පුළුල් සමාජ තත්ත්වය පිළිබිඹු කරනවා.  

රටක් කාන්තාවන්ට ජීවත් වීමට සුදුසු රටක් කරන්නේ කොහොමද? 

ඒකට කරන්න තියෙන්නේ, දැනටමත් ලිස්ට් එකේ උඩින්ම ඉන්න රටවල්වල හැසිරීම සහ ප්‍රතිපත්ති මොන වගේද කියලා හොයලා බලන එක තමයි. ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබපු රටවල්වල සාමාන්‍යයෙන් ආර්ථික අවස්ථා, ශක්තිමත් නීතිමය ආරක්ෂාවන්, ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවක් සහ සාපේක්ෂව අඩු ප්‍රචණ්ඩත්වය කියන ලක්ෂණ දකින්න පුළුවන්. ඒත් දිගුකාලීන අස්ථාවරත්වන්ට මුහුණ දෙන ජාතීන් බොහෝ විට එකවර අංශ කීපයකින්ම පීඩාවට පත් වෙලා ඒවායින් ගොඩ එන්න සටන් කරනවා. ඔය නිසා තමයි මේ කියන ශ්‍රේණිගත කිරීම්වලින්, කාන්තාවන් අත්කර ගන්නා ප්‍රතිඵල ඇරුණාම, සමාජීය ඔරොත්තු දීමේ හැකියාව සහ ආයතනික ශක්තිය ගැන පුළුල් දැක්මක් ලබා දෙනවා. 

ලංකාව තවත් දියුණු කරන්නේ කොහොමද? 

ලංකාව මේ වෙනකොට දර්ශකයේ හොඳ මට්ටමක ඉන්නවා තමයි. ඒත් ඒක ආසියානු කලාපයට සාපේක්ෂව හොඳ මට්ටමක් මිස අපිට ළඟා කරගන්න පුලුූවන් හොඳම, උපරිම මට්ටම නෙවෙයි. සාක්ෂරතාව අතින් ඉහළ මට්ටමක හිටියත් ලංකාවේ කාන්තාවන් රැකියා කරන්න පෙළඹෙන්නේ අඩුවෙන්. මෑතකදි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවකින්  කිව්වා ලංකාවේ කාන්තා ශ්‍රම බලකා දායකත්වය 29.8%ක්. පුරුෂයන්ගේ ශ්‍රම බලකා දායකත්වය 67.4%ක්. මේ තමයි මෙතෙක් ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය වාර්තා කළ අඩුම දායකත්වය. ඉතිං රස්සාවක් නොකරන්න හේතු විදිහට ආසියානු සංවර්ධන බැංකුව කියන්නේ පවුලේ ළමයින් සහ වැඩිහිටියන් රැක බලාගැනීම කාන්තාවන්ට පැවරිලා. හොඳ රස්සාවක් කරන මට්ටමට ඉගෙන ගෙන තිබුණත්, ආරක්ෂාකාරී ප්‍රවාහන පහසුකම් නැති නිසා, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රමාණවත් නැති නිසා රස්සාවක් කරන්න ඔවුන්ට ඉඩ ඇහිරිලා.  

කාන්තාවකට රැකියා තියෙනවා කියන්නෙම ඇගෙ ස්වාධීනතාව වර්ධනය වෙනවා. ඒකෙන් ඇයට ලැබෙන සමාජ, ආර්ථික ස්වාධීනතාව, තීරණ ගැනීමේ හැකියාව සුළුපටු නෑ. තමන් කැමති, ආරක්ෂිත ස්ථානයක ජීවත් වෙන්න, දියුණු සෞඛ්‍ය පහසුකම්, යුක්තිය සහ ආරක්ෂාව කියන හැම සාධකයක්ම ඉටු කරගන්න ඇයට හැකියාව ලැබෙනවා. මේ වගේ පහසුකම් පිරුණු තැනක තමයි කාන්තාවට සුවපහසු ජීවිතයක් ලැබෙන්නේ. ඒ වෙනුවෙන්, ලංකාවේ කාන්තා ශ්‍රම බලකා දායකත්වය නඟා සිටුවන්න අවශ්‍ය පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක්.