කාන්තා ව්‍යවසායිකාවන්ට සුබ ආරංචියක්

දිල්මිණී අබේරත්න විසිනි

ලංකාවේ කොයිතරම් කාන්තා ව්‍යාපාර තියෙනවද දන්නවද? කාන්තාවන් මෙහෙයවන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට ණයක් ගන්න කොයිතරම් ලේසිද අමාරුද කියලා දන්නවද? අද සටහන ඒ ගැන. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කෙරුනත් එතරම් අවධානයට ලක් නොවන එක් බාධාවක් වන්නේ කාන්තාවන් සතු සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට තම ව්‍යාපාර ආරම්භ කිරීමට, පවත්වාගෙන යාමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය පරිමාණයේ මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවයි. මේ සම්බන්ධයෙන් වැඳගත් පියවරක් අරන් තියෙනවා. ඒ තමයි කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය සංග්‍රහය. 

Image by dandarnell from Pixabay

කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය සංග්‍රහය /කාන්තා ව්‍යවසාය මූල්‍යකරණ ප්‍රඥප්තිය එහෙමත් නැත්නම් The Women Entrepreneurs Finance Code (WE Finance Code) කියලා කියන්නේ ස්ත්‍රී - පුරුෂභාවය සලකා වෙනස්කමක් නොකර සියලු දෙනා ඇතුළත් වන, කාන්තාවන්ට සහ පිරිමින්ට මූල්‍ය සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගත හැකි සහ සාධාරණ මට්ටමක පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයේ වැදගත් නව පියවරක්. කාන්තාවන් සතු හෝ ඔවුන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර, විශේෂයෙන්ම ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවෙන් ක්‍රියාත්මක කරලා ඒවායේ පූර්ණ ආර්ථික විභවය ළඟා කර ගැනීම සහාය වීම මෙහි අරමුණයි. මෙම ප්‍රතිපත්තිමය රාමුව, සියල්ලන් ඇතුළත් සහ තිරසාර වර්ධනයක් සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස කාන්තාවන්ට ආර්ථික සම්පත් සහ මූල්‍ය සේවා වෙත සමාන ප්‍රවේශයක් ලබා දීම ඉල්ලා සිටින SDG 5 (ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය) සහ SDG 8 (සුනිසි මෙහෙවර සහ ආර්ථික වර්ධනය) යන තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සමීපව අනුගත වේ. 

මූලිකත්වය දරන්නේ කවුද? 

ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහය ඇතිව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ 2025 මාර්තු මාසයේදී ජාතික වශයෙන් දියත් කරපු මේ ව්‍යාපෘතිය තවත් සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර හොඳම භාවිතයන් ජාතික සංවර්ධන ප්‍රමුඛතා සමඟ පෙළගැස්වීමේදී ශක්තිමත් නායකත්වයක් පෙන්නුම් කරමින් මෙම ගෝලීය මුලපිරීම අනුගමනය කළ දකුණු ආසියාවේ පළමු රට බවට පත් වීම නිසයි.  

WE මූල්‍ය සංග්‍රහය ක්‍රියාත්මක කිරීම මෙහෙයවනු ලබන්නේ උපායමාර්ගික ප්‍රමුඛතා හතරකින්. ඒ, කාන්තාවන් සතු හෝ ඔවුන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සඳහා 

  1. මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම 

  2. දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය ශක්තිමත් කිරීම 

  3. මූල්‍ය නොවන සහාය වැඩි දියුණු කිරීම 

  4. සක්‍රීය පරිසර පද්ධතියක් පෝෂණය කිරීම 

මේ වෙද්දිත් රජය, මූල්‍ය ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්ගේ එකමුතුවෙන් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග සහතික කිරීම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක්, ක්‍රියාකාරී කමිටුවක් සහ තේමාත්මක වැඩ කණ්ඩායම්වලින් සමන්විත ශක්තිමත් පාලන ව්‍යුහයක් ස්ථාපිත කරලා තියෙනවා. 

මෙතෙක් ප්‍රගතිය  

වැඩසටහන සමාරම්භක වසරේම ප්‍රධාන ජයග්‍රහණ කීපයක් දකින්නට පුළුවන්. ආයතන හරහා හඳුනා ගැනීම, දත්ත රැස් කිරීම සහ වාර්තා කිරීම සඳහා අනුකූලතාව සක්‍රීය කරමින් කාන්තාවන් සතු හෝ ඔවුන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාවේ පළමු ඒකාබද්ධ ජාතික නිර්වචනය හඳුන්වාදීම. පොදුවේ පිළිගත් පැහැදිලි නිර්වචනයක් තිබීම නිසා විවිධ රාජ්‍ය ආයතන, බැංකු සහ වෙනත් සංවිධානවලට මෙම ව්‍යාපාර හඳුනා ගැනීමටත්, ඒවා පිළිබඳ තොරතුරු රැස් කිරීමට සහ ඒවායේ දත්ත වාර්තා කිරීමටත් දැන් එකම නිර්ණායක මාලාවක් භාවිතා කරන්න පුළුවන්.  

හවුල්කරුවන් කවුද?  

කාන්තා ව්‍යවසාය මූල්‍යකරණ ප්‍රඥප්තිය නිල වශයෙන් දියත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් දැඩි සහයක් හිමි වුණා. ඒ විතරක් නෙවෙයි, කාන්තාවන් සතු ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ නිරත ප්‍රධාන ආයතන ඒ සඳහා එක් වුණා. මෙම ප්‍රඥප්තියට අත්සන් තැබූ පළමු ආයතන බවට පත් වුණේ රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු ප්‍රධාන මූල්‍ය ආයතන 13ක්. ප්‍රඥප්තියට අත්සන් තැබීම මගින්, නායකත්වය, දත්ත රැස්කිරීම සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම තුළින් කාන්තාවන් වඩාත් හොඳින් ඇතුළත් කරගන්නා මූල්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීමට ඔවුහු එකඟතාව පළ කළා.  

මෙම ආයතන විසින් කිරීමට එකඟ වූ කාරණා කීපයක් තියෙනවා.  

  1. ස්ත්‍රී-පුරුෂභාවය නොසලකා හැරීමකින් තොරව සැමට මූල්‍ය සේවා ලබා දීම (gender-inclusive finance)  

  2. වඩාත් හොඳින් සහාය දැක්වීම සඳහා තම අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම. 

  3. කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ මූල්‍ය අවශ්‍යතා සහ අත්දැකීම් අවබෝධ කර ගැනීම සඳහා, ස්ත්‍රී-පුරුෂ භාවය අනුව වෙන්කර දැක්වෙන දත්ත රැස් කිරීම සහ භාවිත කිරීම වැඩිදියුණු කිරීම. 

  4. කාන්තා ව්‍යවසායිකාවන්ගේ විශේෂිත අවශ්‍යතා මත පදනම්ව, ඔවුන් වෙනුවෙන්ම සකස් කරන ලද මූල්‍ය නිෂ්පාදන සහ සේවාවන් නිර්මාණය කිරීම. 

Image by unk_bboxer from Pixabay

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් පිළිබඳ මූල්‍ය තොරතුරු කාන්තාවන් සහ පිරිමින් සඳහා වෙන වෙනම රැස් කිරීමට සහ වාර්තා කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එම තොරතුරු ජාතික මට්ටමින් ඒකාබද්ධ කිරීමේ වගකීම තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. විවිධ ආයතන විසින් මෙම දත්ත ඒකාකාරී ආකාරයකට රැස් කිරීම සහ වාර්තා කිරීම සහතික කිරීම සඳහා පොදු දර්ශක සහ මාර්ගෝපදේශ සපයලා තියෙනවා. සැබෑ සාක්ෂි සහ විශ්වසනීය තොරතුරු මත පදනම්ව තීරණ ගන්න හැකියාව ලැබෙන නිසා වඩා හොඳ දත්ත තිබීම මගින් මූල්‍ය පද්ධතිය වඩාත් විනිවිදභාවයකින් යුක්ත වීම ඉතා වැඳගත්. ඒ අතරම, කාන්තාවන් සතු සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවල අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලන මූල්‍ය නිෂ්පාදන සහ සේවාවන් නිර්මාණය කිරීම සඳහා බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවලට මෙම තොරතුරු භාවිත කරන්නත් පුළුවන්. මූල්‍යමය වශයෙන් ගත්තම 2026 ජාතික අයවැය ඇතුළු අනුප්‍රාප්තික ජාතික අයවැය මගින් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම්, ව්‍යවසායකත්ව සහය, කුසලතා සංවර්ධනය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ආයතනික ශක්තිමත් කිරීම හරහා කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉහළ නංවලා තියෙනවා. මෙය කාන්තාවන් හුදෙක් සුබසාධන ප්‍රතිලාභ ලබන්නන් විදිහට දකින්නේ නැතිව ආර්ථික ක්‍රියාකාරීන් ලෙස සැලකීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. 

අනාගතයේදී WE Finance Code වැඳගත් වෙන්නේ කොහොමද? 

මූල්‍ය පද්ධතිය තුළ හුදෙක් කුඩා හෝ තාවකාලික වැඩිදියුණු කිරීම් සිදු කිරීමට සහ පුළුල් පරාසයක විහිදුණු දිගුකාලීන වෙනස්කම් ඇති කිරීමට වැදගත් මෙවලමක් විදිහට ක්‍රියාත්මක වේවි. මෙම වැඩසටහන මගින් ශක්තිමත් රාජ්‍ය නායකත්වය, පෞද්ගලික අංශයේ ආයතනවල සහභාගීත්වය සහ විශ්වසනීය දත්ත මත පදනම් වූ වගවීම යන අංගයන් එකට එක් කරනවා කිව්වොත් නිවැරදියි. සරලවම කාන්තා ව්‍යවසායිකාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට, ඒවා වර්ධනය කර ගැනීමට සහ සාර්ථක කර ගැනීමට අවශ්‍ය වඩා හොඳ අවස්ථා සහ සහාය ලබා දෙන මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම තමයි මේකේ අරමුණ.  

ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනයෙන් (එනම් රැකියාවක නිරත හෝ රැකියාවක් කිරීමට කැමැත්තෙන් හා සූදානමින් සිටින පුද්ගලයින්ගෙන්) 34%ක් දැනට කාන්තාවන්ගෙන් සමන්විතයි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන් දැනටමත් ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දෙන බවත්, ඔවුන්ගේ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමට හැකියාවක් පවතින බවත්. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට රැකියාවල නිරත වීමට, ව්‍යාපාර පවත්වාගෙන යාමට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට දායක වීමට වැඩි අවස්ථා ලබා දෙනවා නම්, වැඩි නවෝත්පාදන, ඉහළ ඵලදායිතාව සහ ශක්තිමත් දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් තුළින් රටට ප්‍රතිලාභ අත්කර ගන්න පුළුවන්. කාන්තාවන්ට වැඩි ආර්ථික අවස්ථා, ස්වාධීනත්වය සහ සම්පත් සඳහා ප්‍රවේශය ලබා දීම මගින්, ආර්ථික අභියෝගවලට වඩාත් හොඳින් මුහුණ දිය හැකි, සියලු දෙනා ඇතුළත් කරගන්නා සහ සමස්තයක් ලෙස වඩාත් සමෘද්ධිමත් ප්‍රජාවන් ශ්‍රී ලංකාව පුරා ගොඩනැගීමට උපකාරී වනු ඇත. 

සාරාංශය  

මෑත වසරවලදී, මූල්‍ය ඇතුළත් කිරීමේ (financial inclusion) ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණා වුණත් මූල්‍ය සේවා භාවිතය සහ ව්‍යවසායකත්ව අවස්ථා සම්බන්ධයෙන් පවතින ස්ත්‍රී-පුරුෂ පරතරය, ඉලක්කගත සහ දත්ත මත පදනම් වූ මැදිහත්වීම්වල අවශ්‍යතාවය තවදුරටත් පවතිනවා. WE Finance Code කියන්නේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන් වෙත මූල්‍ය ක්ෂේත්‍රය තුළ වැඩි විනිවිදභාවයක්, වගවීමක් සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ඇති කිරීම මගින් මෙම අසමානතා විසඳීමට ගන්නා පරිවර්තනීය පියවරක්. විශේෂයෙන්ම කාන්තාවන්ට අසමාන ලෙස බලපෑ මෑත කාලීන ආර්ථික කම්පනවලින් පසුව මෙය වඩාත් වැදගත්. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (2023–2032) මගින් ආර්ථික සවිබල ගැන්වීම සහ ඵලදායී රැකියා නියුක්තිය ප්‍රධාන තේමාත්මක ක්ෂේත්‍රයක් ලෙස පැහැදිලිව හඳුනාගෙන ඇත. කාන්තාවන්ට ආර්ථිකයට පූර්ණ ලෙස සහභාගී වීමටත්, විශේෂයෙන් කාන්තාවන් මූලිකත්වය ගන්නා පවුල්වල පවතින ව්‍යුහාත්මක දරිද්‍රතාවය අවම කිරීමටත් මූල්‍ය සම්පත්, වත්කම් සහ වෙළඳපල වෙත සාධාරණ ප්‍රවේශයක් තිබීම අත්‍යවශ්‍ය බව මෙහිදී පිළිගැනේ.  

නමුත් මේ වාර්තාව තවමත් ප්‍රබල විශ්ලේෂණයක් වෙනුවෙන් පාවිච්චි කිරීමට කල් වැඩියි. මොකද මේ තමයි පළවෙනිම වාර්තාව. හැබැයි මින් ඉදිරියටත් මේ වාර්තාව නිකුත් වේවි. ඒ අනුව ඒ ඒ වර්ෂයේදී ලංකාවේ කාන්තාවන් විසින් අයිතිය දරන හෝ කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර වෙනුවෙන් ණය ලබා දීමේ ප්‍රවණතා කවරාකාරද යන්න සම්බන්ධයෙන් අපිට පැහැදිලි අදහසක් ලබා ගන්නටත්, ප්‍රතිපත්ති සම්පාදකයන්ට කාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් එය වැඳගත් වේවි.  

වැඩි විස්තර සඳහා සම්පූර්ණ වාර්තාව කියවන්න මෙතැනින් පිවිසෙන්න.

chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://www.treasury.gov.lk/api/file/a76aaaa0-8c34-48b1-b507-54c41f54a065