ලංකාව ඉහළ මැදි ආදායම් රටක් වීම ගැන ඔබට සතුටුයිද?  

දිල්මිණී අබේරත්න විසිනි

ලෝක බැංකුව නිකුත් කරපු අලුත්ම සොයාගැනීම්වලට අනුව, ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ ඉඳලා ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා ඉහළ නංවලා තියෙනවා. බොහෝ දෙනෙක් සහ බොහෝමයක් මූලාශ්‍ර ඒ ප්‍රවෘත්තිය සුබ ආරංචියක් විදිහට දකිනවා. ඒත් ඇත්තටම ලංකාව ඉහළ මැදි ආදායම් මට්ටමට ආපු එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්ද? බැරිද? ඒ මොකද කියලා මේ ලිපියෙන් අපි කතා කරනවා.

ලෝක බැංකුව කියන කතාව

1987 ඉඳලා ගෝලීය ආදායම් වර්ගීකරණ භූ දර්ශනය සැලකිය යුතු ලෙස වෙනස් වෙලා. ඒ නිසා අඩු ආදායම්ලාභී රටවල් විදිහට වර්ගීකරණය කරපු ආර්ථිකයන් / රටවල් ප්‍රමාණය 30% ඉඳලා 11% දක්වා පහත වැටිලා තියෙනවා. ඒක ප්‍රශංසනීය කාරණයක්. මොකද කාලයත් එක්ක අඩු ආදායම්ලාභී රටවල් ඊට වඩා දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. කොහොම වුණත්, මේ කියන රටවල්වල දියුණුව හැම රටටම හැම කලාපයටම එක වගේ නෑ. එකම වේගයෙන් වර්ධනය වෙලත් නෑ. ලෝක බැංකුව විසින් මේ වසරේ ඉදිරිපත් කරපු ආදායම් මත රටවල් වර්ගීකරණයේදී ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය කියන රටවල් පහ ඉහළ ආදායම් කාණ්ඩයටත්, ටෝගෝ අඩු ආදායම් මට්ටමින් පහළ මැදි ආදායම් කාණ්ඩයටත් මාරු වෙලා තියෙනවා. මේ එක් එක් රටවල් උසස් ආදායම් කාණ්ඩයකට විතැන් වුණේ කොහොමද කියන එක රටින් රටට වෙනස්. ඒ හේතු කෙටියෙන් පහත වගුවේ බලාගන්න පුළුවන්.

රටක් ආදායම අනුව කාණ්ඩ කිරීම

ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ ඉඳලා ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා ඉහළ නංවලා තියෙනවා කිව්වට සමහරු මෙතන වෙන සිද්ධිය ගැන පැහැදිලිව දන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම රටවල් ආදායම් අනුව කාණ්ඩවලට බෙදද්දි, හැම අවුරුද්දකම ජූලි 1 වෙනිදා ඉඳන් ඊළඟ අවුරුද්දේ ජූලි 1 වෙනිදා වෙනකම් ඒ ඒ රටේ දළ ජාතික ආදායම (GNI) ඒක පුද්ගල ඇස්තමේන්තු අනුව වර්ගීකරණය කරලා යාවත්කාලීන කරනවා. ඒ අනුව රටවල් ප්‍රධාන වශයෙන් ආදායම් කාණ්ඩ හතරකට බෙදෙනවා. 

  1. අඩු ආදායම්

  2. පහළ මැදි ආදායම්

  3. ඉහළ මැදි ආදායම් 

  4. ඉහළ ආදායම්

මේ අවුරුද්දේ වර්ගීකරණයට රටවල් / ආර්ථික 218ක් ආවරණය කරලා තියෙනවා. ඒ ඒ ආදායම් කාණ්ඩයට රටක් ඇතුලත් වෙන්නේ මොන ආදායම් මට්ටමේ හිටියොත්ද කියලා පහත වගුවෙන් පැහැදිලි වෙනවා.

මූලාශ්‍රය : ආදායම් අනුව රටවල් වර්ගීකරණය, ලෝක බැංකුව (2026)

ලංකාව ගැන සතුටු වෙන්න බැරි ඇයි?

ලංකාව දැන් ඉන්නේ ඉහළ-මැදි ආදායම් කාණ්ඩයේ. ඒ කියන්නේ ඇ.ඩො. 4,636 - ඇ.ඩො. 14,375 අතර. ලංකාවට ඇ.ඩො. 4640ක ආදායමක් තියෙන නිසා ඇ.ඩො. 4636 සීමාව පහු කරගන්න මේ වතාවේ යාන්තමින් හැකියාව ලැබුණා. අපි ඊට කලින් හිටියේ ඇ.ඩො. 1,176 - ඇ.ඩො. 4,635 අතර පහළ-මැදි ආදායම් කාණ්ඩයේ. ලංකාව ඉහළ-මැදි ආදායම් කාණ්ඩයට ආපු පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් 2019 අවුරුද්දෙදිත් ලංකාව ඉහළ-මැදි ආදායම් කාණ්ඩයට ආවා. මිනිස්සු ඒ වෙලාවෙත් ඒ ගැන හුඟක් සතුටු වුණා. ඒත් ඒක ඒ තරම් කාලයක් සමරන්න වුණේ නෑ. අවුරුද්දක් ඇතුලත රට ආයෙමත් පහතට වැටුණා. මොකද ලංකාව ඉහළ මට්ටමට ආවේ විශාල වශයෙන් දදේනිය වර්ධනය කරගෙනවත්, අපනයනය කරන භාණ්ඩ සහ සේවා ප්‍රමාණය වැඩි කරගෙනවත් නෙවෙයි. ලෝක බැංකුව කියන විදිහට, දැන් ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයට උසස් වෙන්න හේතු වෙලා තියෙන්නේ සංචාරක කර්මාන්තය ඇතුළු ඇතැම් කර්මාන්තවල සිදු වුණු ප්‍රකෘතිමත් වීම සහ 2025 වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම කියන කරුණු.  

ලෝක බැංකුවෙන් ගාණ හැදුවා වැරදිද?

ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ ආර්ථික හැසිරීම වෙනස්. ඉස්සර මිනිස්සු කතාවට කිව්වේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. ඉතිං ඒ කතාව සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. මොකද ආර්ථිකමය වශයෙන් සක්‍රීය ව්‍යාපාර කටයුතු බොහොමයක් කේන්ද්‍ර වෙලා තියෙන්නේ කොළඹ නගරය ඇතුළු බස්නාහිර පලාත ආශ්‍රිතව. ඒ නිසා අනෙකුත් දුෂ්කර සහ ග්‍රාමීය ආර්ථිකවල තත්ත්වය කොළඹට වඩා වෙනස්. ඒ ඇරුණත් 2022 ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගතය වගේ විශාල ආර්ථික බිඳ වැටීම්වලින් පස්සේ ලංකාව හිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක. ලංකාව ඉතාමත් සුළු මට්ටමකින් මැදි ආදායම් සීමාව තරණය කරලා ඒ කාණ්ඩයට ඇතුළු වුණාට, ඒකෙන් සමස්ත ආර්ථිකයේ පැහැදිලි රූපයක් දකින්න ලැබෙන්නේ නෑ.

ආර්ථිකමය වශයෙන් ඔය කියන ආදායම නොලැබෙන මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවා. දුප්පත්කම, විරැකියාව, ආහාර අනාරක්ෂිත බව, යටිතල පහසුකම්වල ගැටළු ඇතුළුව ප්‍රමාණවත් ලෙස ගැලපෙන ආකාරයේ රැකියා සහ ව්‍යාපාර නොපැවතීම හැමදාම වගේ අදත් දකින්න ලැබෙනවා. විශාල ප්‍රමාණයේ වක්‍ර බදු ප්‍රතිශත ක්‍රියාත්මක වීම, කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ නොකිරීම, සමාජ ආරක්ෂණ වැඩසටහන්වලදී ප්‍රතිලාභීන් නිවැරදිව ඉලක්ක නොකිරීම, රාජ්‍ය සේවයේ අකාර්‍යක්ෂමතා කියන දේවල් නිසා ආර්ථිකයේ ප්‍රතිලාභ සමානව බෙදී යාමක් සිද්ධ වෙන්නේ නෑ. ඒකයි ලංකාව ඉහළ මැදි ආදායම් රටක් වුණා කිව්වම මිනිස්සු අහන්නේ ලෝක බැංකුවට වැරදිලාද කියලා. මොකද සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් ඉන්නේ ඉහළ ආදායම් කාණ්ඩයේ නෙවෙයි. ඔවුන්ගේ ජීවන මට්ටම් උසස් වෙලත් නෑ. ඒ  නිසා රටේ ශ්‍රේණිගත කිරීම් වෙනස් වුණු පමණින් බහුතර ජනතාවට ඒ වෙනස අත්විදින්න ලැබෙන්නේ නෑ. 


ඉහළ මැදි ආදායම් රටක් වීමේ වාසි අවාසි

මෑත අතීතය තුළ ලංකාව ආර්ථික අර්බුදයකින් බැට කාලා බංකොලොත් කියලා හංවඩු ගැහුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට අපිට අපේ ණය ගෙවාගන්න බැරි වුණා. කොටින්ම කිව්වොත් ජාත්‍යන්තරය ඉදිරියේ ලැජ්ජාවට පත් වුණා. හදිස්සියකට කියලා අතමාරුවක් දෙන්නවත් බොහොමයක් රටවල් කැමති වුණේ නෑ. මොකද ණය ශ්‍රේණිගත කිරීමෙන් පවා පහළටම වැටුණා. 

ඉතිං එහෙම හිටපු රටක්, රට ඇතුලේ යථාර්ථය මොකක් වුණත්, සංඛ්‍යා දත්ත මඟින් හෝ ආදායම් මට්ටමින් ඉහළට ඒම ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයට හොඳයි. ඒ වගේ රටකට ණය දෙන්න, ආයෝජනය කරන්න වෙනත් පාර්ශවයන්ට විශ්වසනීය බවක් ඇති වෙනවා. 

මේකේ තියෙන නරකම පැත්ත වෙන්නේ ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් කියලා සලකලා, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් අඩු පොලියට ලැබෙන සහනදායී ණය, සංවර්ධන ආධාර තවදුරටත් නොලැබී යන්න පුළුවන්කම. දැන් පවතින තත්ත්වය යටතේ ණය ගන්නවා නම්, ඉදිරියේදී ලංකාවට වාණිජ මට්ටමේ ඉහළ පොලී සහිත තරඟකාරී ණය වෙළඳපළට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.  

හරියටම ඉහළ මැදි ආදායම් රටක් වෙන්නේ කොහොමද?

ලංකාවට විතරක් නෙවෙයි, කිසිම රටකින් දියුණුව එක දවසින් ළඟා වෙන්නෙ නෑ. රෝමය එක දවසින් ගොඩ නැඟුනේ නෑ. ඉන්දියාව ඉහළ ආදායම් රටක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නිදහස ලබා ගැනීමෙන් වසර 100 ගත වෙන 2047 අවුරුද්දෙදි. එහෙම කියලා විතරක් බෑ. ඒකට ගැළපෙන වෙනස්කම් කරන්න ඕන. ඒකටයි කාලය ගත වෙන්නේ. එහෙම නැතුව ප්‍රසිද්ධ වෙන්න කියන එක පෝයෙන් පෝය දෙකෙන් රට හදන කතා පුස්සක් විතරයි. ඒ තරම් සාධනීය සහ තිරසර වැඩක් හදිස්සියේ කරන්න බෑ. දිගු කාලීන කැපවීමක් අවශ්‍යමයි. ඉතිං ලංකාව ලබන හැබෑම ජයග්‍රහණය වෙන්නේ ඉහළ මැදි ආදායම් සීමාව යාන්තම් ඉලක්කම්වලින් පන්නගන්න එක නෙවෙයි. දිගින් දිගටම ඒ සීමාවෙන් උඩ මට්ටමේ රැඳෙන්න අවශ්‍ය වෙනස්කම් ප්‍රමාද නොකර කරන එකයි. 

ඒක එහෙම කරන්න නම්, ශ්‍රී ලංකාවට තිරසාර ඵලදායිතා වර්ධනයක් ඇති කරගන්න අවශ්‍යයයි. ඒ වෙනුවෙන් ශක්තිමත් අපනයන, ඉහළ පෞද්ගලික ආයෝජන, හොඳ සාර්ව ආර්ථික කළමනාකරණයක් අව්ශ්‍යයයි. ආර්ථිකය අංශ කිහිපයකට හෝ කලාප කිහිපයකට සංකේන්ද්‍රණය වෙලා ඒ මතම යැපෙන එක සාර්ථක නෑ. මොකද ලෝක ආර්ථික කම්පන නිසා ලංකාව වගේ පොඩි ආර්ථික එක රැයෙන් වුණත් බිමට සමතලා වෙන්න පුළුවන්. එහෙම නොවී ඉන්න නම් ආර්ථික වර්ධනය පුළුල් ලෙස පදනම් වන බව සහතික කරන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කරලා කල් පවතින සමෘද්ධිය වර්ධනය පවත්වා ගැනීම, තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ ඉහළ යන ජාතික ආදායම ජනගහනයෙන් විශාල කොටසකට වඩා හොඳ ජීවන තත්වයන් බවට පරිවර්තනය වන බව සහතික කිරීම අත්‍යාවශ්‍යයයි.

වැඩිදුර කියවීම්: 

https://blogs.worldbank.org/en/opendata/who-moves-up-and-why--a-closer-look-at-the-new-world-bank-group-?fbclid=IwY2xjawSzGcxleHRuA2FlbQIxMABzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEesP31mmcsA5HXOcJeMXrcubXtr10-2v1J-2lZllik9-1GqQtp_TUXafJc2dA_aem_LnHezGQcdo-alb66zdNUWQ