දිල්මිණී අබේරත්න විසිනි
පහුගිය දවස්වල ජනාධිපතිතුමා සිටි බ්‍රෑන්ඩින් (City Branding) ගැන කතා කළා. තේරෙන සිංහලෙන් කිව්වොත් City Branding කියන්නේ නගර සන්නාමකරණය ගැන. එහෙමත් නැත්නම් Brand එකක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ මතකයේ රැඳුණ හොඳ ප්‍රතිරූපයක් තියෙන දෙයක්. ඒකනේ ඇඳුමක්, පැළඳුමක්, කෑමක්, බීමක්, හෝටලයක නවාතැන් පහසුකමක් වගේ දේවල් තෝරා ගනිද්දි ඔය කියන හොඳ නමක්, හොඳ Brand එකක් තියෙනවද කියලා හොයන්නේ.
Photo by James Yarema on Unsplash
දැන් බලන්න, අපිට ඔලුවෙ කැක්කුමක් හැදුන ගමන් කෙනෙක් කියනවා, “පෙනඩෝල් දෙකක් බොන්න, ඕක හරියයි” කියලා. හැබැයි පෙනඩෝල් කියන්නේ බෙහෙතේ නමද? නෑ. ඒක තමා බ්‍රෑන්ඩ් එකේ නම. පෙනඩෝල් කියලා විකුණන්නේ පැරසිටමෝල් කියන බෙහෙත. කඩේට ගිහින් රෙදි හෝදන සබන් කෑල්ලක් ගන්න කෙනෙක් ඉල්ලන්නේ “සන්ලයිට් එකක් දෙන්න” කියලා. ඒත් සන්ලයිට් කියන්නේ ඒ සබන් කෑල්ලේ නම විතරයි. ඉතිං ඔය වගේ අපි නොදැනුවත්වම එදිනෙදා භාවිතයේදී භාණ්ඩයේ නම නොකියා රින්සෝ, ඇස්ට්‍රා, සන්සිල්ක්, ඇන්කර් වගේ බ්‍රෑන්ඩ් එකේ නම කියනවා. මොකද ඒ බ්‍රෑන්ඩ් එක ඒ තරමටම ප්‍රසිද්ධයි.
බොහෝමයක් වෙලාවට හොඳ Brand එකක් තියෙන භාණ්ඩ හා සේවාවල මිල වැඩියි වගේම කල් පැවැත්ම, ගුණත්වය, පාරිභෝගික තෘප්තියත් වැඩියි. ඒත් ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න වෙන එක ගැන පාරිභෝගිකයා දුක් වෙන්නේ නෑ. මොකද ඒ තරමටම Brand එක හොඳයි. ඉතින් ඒ කියන්නේ branded product එකක් හරිම සුවිශේෂී. ඒක අනිත් දේවල් අතර විශේෂයෙන් කැපී පෙනෙනවා. කාලයත් එක්ක ඒ Brand එක ලබාගෙන තියෙන පිළිගැනීම නිසා ඒ බ්‍රෑන්ඩ් එකට මිනිස්සු ඇදිලා එනවා.
ලංකාවේ City Branding ව්‍යාපෘතිය
City Branding කියන්නේ වෙනම කාරණයක්. ඒක භාණ්ඩ හා සේවාවලට අදාළ branding ගැන වගේ නෙවෙයි. නගරයක් හෝ ස්ථානයක් branding කරන එක ගැන. හැබැයි ඒකෙදිත් බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු ඒ නගරයට ආකර්ශනය කරගන්න එකම තමයි. ජනාධිපතිතුමා කියපු City Branding කතාවෙදි ලංකාවේ නගර කිහිපයක් සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා සංවර්ධනය කිරීම සිදු වෙනවා. ඒ අනුව මේ ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන නගර විදියට මහනුවර, කොළඹ, අනුරාධපුර සහ කතරගම කියන නගර 4 ඇතුළුව ප්‍රධාන නගර 10ක් සහ සෙසු නගර 25ක් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.
City Branding සහ අනෙකුත් Branding
සාර්ථක නගර සන්නාමකරණයක් යනු, කිසියම් නගරයක් මිනිසුන්ට ජීවත් වීමට, වැඩ කිරීමට සහ සංචාරය කිරීමට අවශ්‍යතාව ඇති ස්ථානයක් බවට පත් කිරීමේ හැකියාවයි.
වුල්ෆ් ඔලින්ස්, අධ්‍යක්ෂ, ජාත්‍යන්තර සන්නාම උපදේශන ආයතනය
Branding කියන සංකල්පය ඇත්තටම ගොඩක් ලොකු සබ්ජෙට් එකක්. ඒක ඇතුලේ භාණ්ඩයක්, සේවාවක්, පුද්ගලයෙක්, ස්ථානයක්, නගරයක් හෝ රටක් brand කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපට හුරුපුරුදු භාණ්ඩ හා සේවාවලට අදාළ සාමාන්‍ය Branding වගේ නෙවෙයි - City Branding. ඒක ඉතාමත් විශාල සහ සංකීර්ණ වපසරියක් ආවරණය වන මාතෘකාවක්. ඒකට හේතුව තමයි, නගරයක් හිටිහැටියේ ප්‍රාදූර්භූත වෙන්නේ නෑ. ඒ නගරයට ඓතිහාසික පසුබිමක් තියෙනවා. ඒ ඒ කාලය තුළ සිද්ධ වුණු දේවල් වෙනස්. අතීතයේ ඇති වුණු ගැටුමක්, සටනක්, සංස්කෘතිකමය අවස්ථාවක්, ආගමික සිද්ධියක් තියෙන්න පුළුවන්. ඒ ඒ සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා ඒ ඒ නගරයට සුවිශේෂී අනන්‍යතාවක් ලැබෙනවා. ඒ නිසා මිනිස්සු ඔය කියන නගරත් එක්ක සමීප, සංවේදී සබඳතාවක් ඇති කරගන්නවා. උදාහරණයක් හැටියට මිනිස්සු වතිකානුවට, මක්කමට යන්නේ ආගමික පසුබිම නිසා. අපි අනුරාධපුරේ, පොළොන්නරුව බලන්න යන්නේ අපේ ඉතිහාසයට, ආගමික පසුබිමට ඒ නගර වැඳගත් වුණ නිසා.
City Branding ගැන තවදුරටත්
Photo by Pedro Lastra on Unsplash
City Branding කියන එක ඇත්තටම පටන් ගත්තේ 19 සියවසේ මැද කාලයේදී - ඒ ඇමරිකාවේ මිනිස්සු ගම්බද ශ්‍රමය නගරවලට ගෙන්වා ගැනීම වෙනුවෙන් දියත් කරපු උපායශීලී සන්නාකරණයක් විදිහට. පසුකාලීනව යුරෝපයේ බොහෝ රටවල් මේ සංකල්පය සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් භාවිත කළා.
City Branding / නගර සන්නාමකරණය කියන්නේ යම්කිසි නගරයක් පිළිබඳව මිනිසුන්ට තියෙන ප්‍රතිරූපය. ඒක ඒ නගරයේම ජීවත් වෙන මිනිස්සුන්ට හෝ ඉන් පිටත ජීවත් වන අය ඒ නගරය සම්බන්ධයෙන් ඇති කරගෙන තියෙන ප්‍රතිරූපය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ප්‍රංශයේ පැරිස් කියන නගරය ගත්තොත් පැරීසීයේ ජීවත්වන පුද්ගලයෙක්ට වගේම පැරීසියට එන සංචාරකයෙක්ට ඒ නගරය ගැන දැනෙන ආකල්පය / ප්‍රතිරූපය මොන වගේ එකක්ද කියලා තමයි මේ City Branding කියලා කියන්නේ.
Image by Alexandra_Koch from Pixabay
මේ වෙනකොටත් පැරීසීය කියලා කියන්නේ ලෝකයේ City Brandingවලින් ඉස්සරහින්මම තියෙන නගරයක්. ‘ප්‍රේමයේ නගරය’ කිව්වොත් හැමෝම දන්නවා. “ඔබ කලාකරුවෙක් නම්, අනිවාර්යෙන්ම ප්‍රංශයට යා යුතුමයි” කියලත් සමහරු අතර කතාවක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි පැරිසීයේ Brand එක. මේ නගරය පුරාම ඒ Brand එකට සම්බන්ධ වුණු ආයතන සහ සංස්කෘතියක් ගොඩ නැඟිලා තියෙනවා. කෑම බීම, අවන්හල්, කෞතුකාගාර, සංගීතය, චිත්‍ර ප්‍රදර්ශන, වේදිකා නාට්‍ය, සංධ්වනි, නොයෙකුත් සිහිවටන, ස්මාරක මේ නගරයට ආදායම් උපයන මාර්ග බවට පත් වෙලා. ලෝකය පුරාම ප්‍රසිද්ධ මොනාලිසා වගේ චිත්‍ර තියෙන්නෙත් පැරීසියේ ලූවර් කෞතුකාගරයේ. කෙනෙක්ට මොනාලිසා බලන්න නම් පැරීසියට එන්නම වෙනවා. ඒ වගේම තමයි අයිෆල් කුළුණ. සාමාන්‍යයෙන් දවසකට පැරිසියට සංචාරකයන් 100,000ට වඩා එනවා. අයිෆල් කුළුණ බලන්න දවසකට සංචාරකයන් 18,000 වගේ පිරිසක් එනවා. මං දීර්ඝව කතා කළේ පැරිසිය ගැන වුණාට, ලෝකය පුරා රටවල් සහ නගර මේ විදිහට යම් යම් දේවල්වලට බෑන්ඩ් වෙලා / සන්නාම ගතවෙලා තියෙනවා. කිසියම් දේකට ප්‍රසිද්ධ නිසා මිනිස්සු ඒ තැනට හෝ නගරයට ආකර්ෂණය වෙලා තියෙනවා.
නගරයක් Brand වෙන්නේ කොහොමද?
ඉතින් ඒ අපි කතා කරපු නගරයක් හෝ ස්ථානයක් පිළිබඳ හැඟීම / ප්‍රතිරූපය නිර්මාණය වෙන්න බලපාන නොයෙකුත් සාධක තියෙන්න පුලුවන්. ඒ අතරට සංස්කෘතිය, ඉතිහාසය, ස්වභාවධර්මය, ආකර්ශනීය ස්ථාන, කර්මාන්ත, ප්‍රසිද්ධ පුද්ගලයන්, නව සොයා ගැනීම්, ව්‍යාපාරික අවස්ථා වගේ බොහෝමයක් දේවල් අදාළ වෙනවා. ඒ ඇරුණහම මාධ්‍ය මගින් කොහොමද ඒ නගරය සමාජයට හඳුන්වා දෙන්නේ, ප්‍රවෘත්තිවලින් කොහොමද ඒ නගරය ගැන වාර්තා කරන්නේ, චිත්‍රපටවලින් හෝ සමාජ මාධ්‍යවලින් අදාළ නගරය ගැන ඇති කරන්නෙ මොන වගේ ප්‍රතිරූපයක්ද කියන කාරණා රටක්, නගරයක් හෝ විශේෂිත තැනක් Brand වෙන්න සෘජුව හෝ වක්‍රව බලපානවා. තවත් අතකින් රජයක් ගන්නා ප්‍රතිපත්තියක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක්, එහෙමත් නැත්නම් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කරන යම් කිසි දෙයක් නිසා කිසියම් නගරයක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්.
Image by Carlos Atel from Pixabay
ඉතින් අපිට මේ සිටි බ්‍රැන්ඩින් කියන එක සමහරවිට අලුත් සංකල්පයක් වුණාට දැනටමත් සමහර රටවල් සහ නගර නොයෙක් දේවල්වලට ප්‍රසිද්ධියක් උසුලන අවස්ථා අපි ඕන තරම් දකිනවා. සමහර රටවල් යම් අංශයකට විශේෂීකරණයක් දක්වනවා වෙන්නත් පුළුවන්. එතකොට ඒ දේවල්වලිනුත් රටවල් බ්‍රෑන්ඩ් වෙනවා.
දැන් දැන් හුඟක් අයගේ සිහින ගමනාන්තයක් වෙලා තියෙන ස්විට්සර්ලන්තයේ ගමක් උදාහරණයකට ගත්තොත්, ඒක හරියට කතන්දර පොතක තියෙන පින්තූරයක් වගේ. “කවදහරි මම ස්විට්සර්ලන්ඩ් යනවා. ගිහින් කෝච්චියක නැඟලා එහෙ තියෙන ලස්සනම ලස්සන ගමක් බලන්න යනවා.” කියලා කෙනෙක් කියනවා නම්, ස්විට්සර්ලන්තය තමන්ගේ ස්වභාව සෞන්දර්‍යයෙන් බ්‍රෑන්ඩ් වෙලා, සන්නාමයක් වෙලා. මිනිස්සු එහෙ යන්න හිතනවා නම්, ඒකෙන් ස්විට්සර්ලන්තයේ සංචාරක කර්මාන්තයට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනවා.
City Branding හරියට කළොත්?
branding කියන සංකල්පය නිසා ලෝකය තරගකාරී වීමත් එක්ක රට රටවල් විතරක් නෙමෙයි, ස්ථාන, නගර පවා එකිනෙකා එක්ක තරඟ කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පැරීසියට වඩා ලන්ඩන් හොඳ වෙන්නේ කොහොමද, ලන්ඩන්වලට වඩා බාලි හොඳ වෙන්නේ කොහොමද, ඒ ඒ නගරයට එන පිරිස වැඩි කර ගන්නේ කොහොමද කියන කියලා හිතලා බලනවා. City Branding හරියටම කළොත්, ඒ ඒ නගර සංවර්ධනයේදී නගරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒ නගරයට පැමිණෙන සංචාරකයන්, ශිෂ්‍යයන්, සේවා නියුක්තියකයන් සහ ආයෝජකයන්ගේ ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්.
Image by sergioricci from Pixabay
ඉස්සර කාලේ යම් තැනක් ප්‍රසිද්ධ වුණේ භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් නිපදවීම සම්බන්ධයෙන්. ඒත් කාර්මීකරණයෙන් පස්සේ ගෙවන වර්තමානයේ වැදගත් වෙන්නේ භාණ්ඩ හෝ සේවා විතරක් නෙමෙයි. දැන් ඇත්තටම වැදගත් වෙන්නේ දැනුම, සේවා, සංචාරක කර්මාන්තය, තාක්ෂණය වගේ දේවල්. දැන් කාලේ නගර හෝ රටවල් තරග කරන්නේ මෙන්න මේ දේවල් වෙනුවෙන්.
මිනිස්සු - සංචාරකයින්, ශිෂ්‍යයින්, පුහුණු ශ්‍රමිකයින්, නේවාසිකයින්
සම්පත් - ආයෝජන, ආධාර, දක්ෂතා, කුසලතා
ව්‍යාපාර - සමාගම්, ව්‍යවසායකයින්
මේ කියන දේවල් තමන්ගේ රටට, නගරයට ආකර්ශනය කරගෙන ඒවායින් ආර්ථික වාසියක් ලබන්න පුළුවන් නිසා විවිධ රටවල් හෝ රජයන් සිටි බ්‍රෑන්ඩින් සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට අදාළ ස්ථානය / නගරය ආකර්ෂණීය තැනක් කරන්න. ඒකෙන් ආදායමක් ලබන්න. අපිට නිතර අහන්න ලැබෙන, අහලා පුරුදු කතා ටිකක් කියන්නද?
Image by travelwithzhuk from Pixabay
“මගේ නම් ප්ලෑන් එක තියෙන්නේ කොරියාවට යන්න. ගිහින් ගේමක් ගහන්න.”
“මෙහෙ ඉඳලා හරියන්නෑ. කොහොම හරි ඉතාලි යන්න ඕන.”
“බිස්නස් එකක් පටන් ගන්න නම් ඉතිං ඩුබායි තමා.”
“ලංකාවෙ නම් මේ කපේට බිස්නස් එක රෙජිස්ටර් කරන්න වෙන්නෑ. මං මේ වැඩේ කරගන්න යනවා සිංගප්පූරුවට.”
“අපි නිවාඩුවට බාලි යන්න ඉන්නේ.”
මිනිස්සු තමන්ගේ තීරණ ගනිද්දි, ඒ ඒ රට හෝ නගරය ප්‍රසිද්ධ මොකටද කියලා කල්පනා කරනවා. නිවාඩුවක් ගත කරන්න හොඳ කොහෙද, බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න හොඳ කොහෙද කියලා හිතනවා. එතකොට තමයි අර බ්‍රෑන්ඩින් කතාව වැඳගත් වෙන්නේ.
සංචාරකයෝ දැනටම ආකර්ශනය වෙලා ඉන්න නගරේ මැද්දේ බන්ධනාගාර හැදුවම හරිද?
Branding තුළ තෝරාගත් දැක්මක්, අරමුණක් සහ භූමිකාවක් තියෙනවා. ඒකට සැලැස්මක් තියෙනවා. අපි City Branding වෙනුවෙන් නගරයක් තෝරා ගන්නවා නම්, ඒ නගරයේ දැනටමත් තියෙන අනන්‍යතාව විනාශ නොකර පවත්වා ගත යුතු අතරේ ඊට හානි වන දේවල් කිරීමෙන් වැළකී ඉන්න ඕන. ලංකාවේ පහුගිය දවස්වල ඇති වුණු සමාජ, ආර්ථික ප්‍රශ්න නිසා වැඩිදුර නොහිතා ගත්තු ඇතැම් තීරණ නිසා මහනුවර සහ ගාල්ල වගේ දැනටමත් සංචාරකයන් වැඩි වශයෙන් යන එන නගර මැද බන්ධනාගාර ස්ථාපිත කරන්න තීරණය වෙලා. රජයේ City Branding ව්‍යාපෘතිය යටතේ මහනුවර නගරය සංවර්ධනය කිරීම මූලික පියවරක්. එහෙම තත්ත්වයකදි පවා, මෙවැනි තීරණ ගැනීම අදූරදර්ශීයි. City Brandingවලදි එකම නගරය ඇතුලේ තියෙන එක එක අයිතමය වෙන වෙනම ප්‍රචාරණය කරන්න ඕන වෙන්නේ නෑ. පැරීසිය කිව්වාම කලාව, ප්‍රේමය, ඉතිහාසය වගේ පැති ගණනාවකට අයිති සිහිවටන, ස්මාරක, කෞතුකාගාර, අවන්හල් පිරිලා. ඒ වගේම නගරයට එන අයට යටිතල පහසුකම් නිවැරදිව සම්පාදනය කරලා තියෙනවා.
ලංකාවේ City Branding
ලංකාවේ හුඟක් නගරවල යටිතල පහසුකම් ප්‍රමාණවත් නෑ. කන්න බොන්න පිරිසිදු තැන් නෑ. තිබ්බත් රෑ වෙන්නත් කලින් හවස් වෙද්දිම ඒවා වහලා. සමහර පලාත්වල සංචාරකයන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න. තනියෙන් පාරේ බැහැලා යන්න බෑ. බලහත්කාරෙන් බඩු භාණ්ඩ අලෙවි කරන්න වෙළෙන්දෝ පස්සෙන් එනවා. පික් මී වගේ සංචාරකයන් භාවිත කරන්න කැමති ප්‍රවාහන මාධ්‍යයන්ට බාධා කරන වෙනත් පිරිස් ඉන්නවා.
ඉතිං ඒ වගේ තත්ත්වයන් තුළ සංචාරකයන් ලංකාවට වඩා ආරක්ෂාකාරී, පහසුකම් පිරි වෙනත් රටවල් කරා යනවා. මොකද ලංකාවට එන්නෙත් වෙනත් රටවල්වල ඇවිදින මිනිස්සුම තමයි. අපේ රටේ පහසුකම් අනිත් රටවල්වලට වඩා ගුණත්වයෙන් පිරිහෙන තරමට ඔවුන් වඩා හොඳ ගමනාන්තයන් හොයාගෙන වෙනත් රටවල්වලට සංචාරය කරනවා. ඒ නිසා City Branding කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ව්‍යාපාරයක් අද පටන් ගත්තා කියලා හෙට බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නෑ. ඒකට කල් යනවා. මොකද මේක කාලය මත ගොඩ නැඟෙන විශ්වාසයත් එක්කයි බැඳිලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ පටන් ගන්න යන City Branding කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. අඛණ්ඩව පවත්වා ගත යුතු ප්‍රතිපත්ති මත රැඳෙන දෙයක්. සංචාරකයෙක් මේ වතාවේ ලංකාවට ඇවිල්ලා ඊළඟ වතාවේ ලංකාවට එනකොට එයා කලින් වතාවේ ආපු කඩයක්, හෝ ලබපු සේවාවක් ආයෙ ලබන්න බැරි නම් එතන City Branding කියලා එකක් නෑ. එතන තියෙන්නේ තාවකාලිකව අටවගත්තු මොකක් හරි දෙයක් විතරයි. නමුත් අපි මේ තරඟ කරන්නේ ජාත්‍යන්තරයත් එක්ක. අපේ රටට ගෙන්න ගන්නේ පිටරටවලට ඇඳිලා යන්න පුළුවන් සංචාරක කණ්ඩායමක්. අපි තරඟකාරී නොවුණොත් අපේ City Brandingවලින් වැඩක් නෑ.
සාරාංශය
නගර සන්නාමකරණයක් කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි ඒක හරියට පොරොන්දුවක් වගේ. මේ නගරයෙන් බලාපොරොත්තු විය හැක්කේ මෙන්න මේකයි කියන පණිවුඩය ඒ තුළ තියෙනවා. මේ වෙද්දි ලංකාවේ සිටි බ්‍රෑන්ඩින් කරන්න නගර තෝරාගෙන ඉවරයි. ඒත් ඒවා සංවර්ධනයට, ඒවාට සංචාරකයන් සහ ආයෝජකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගන්න නම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන්න ඕන. ඒ වගේම කෙටිකාලීන පැලැස්තර පිළියම්වලට නොයා දිගු කාලීන දැක්මක් ඇතිව වැඩ කරන්නත් ඕන.

