අපි නොදන්න එල් නිනෝ (El Niño)

 දිල්මිණී අබේරත්න විසිනි

අහලා තියෙනවද බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන? නැත්නම් කේඕස් තියරිය ගැන? ඒකෙන් කියන්නේ ලෝකේ කොහේ හරි සිද්ධ වෙන පොඩි වෙනසක් නිසා ලෝකේ වෙනත් තැනක මහා විශාල විපර්‍යාසයක් වෙන්න පුළුවන් කියන එක. මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නෙත් ටිකක් ඒ වගේ දෙයක් ගැන. ඒ තමයි මේ දවස්වල කාලගුණ අනාවැකිවලින් කියන එල් නිනෝ තත්ත්වය. මේක ඇතිවෙන්න බලපාන්නේ කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පැසිෆික් සාගරයේ සිද්ධ වෙන  පාරිසරික විපර්‍යාසයක්. ඉතිං එච්චර දුරක සිද්ධ වෙන දෙයක් ගැන ලංකාවේ අපි මොකට කලබල වෙනවද? අනික අපි ඉන්නේ පැසිෆික් සාගරයේ නෙවෙයි, ඉන්දියන් සාගරයේනෙ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

එල් නිනෝ (El Niño)

එල් නිනෝ තත්ත්වයකදි පැසිෆික් සාගරයේ සිද්ධ වෙන උෂ්ණත්ව වෙනසක් නිසා ඒකේ බලපෑම ලෝකෙ පුරාම විහිදෙනවා.  වෙනත් විදිහකින් කිව්වොත්, එල් නිනෝ කියන්නේ මධ්‍යම හා නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මතුපිට ජලය සාමාන්‍යය මට්ටමට වඩා අසාමාන්‍ය විදිහට උණුසුම් වන ස්වභාවික දේශගුණික සංසිද්ධියික්; මුහුදු මතුපිට උෂ්ණත්වයේ සුළු වැඩිවීමක්. හැබැයි ඒ උෂ්ණත්වයේ වෙනස්වීම නිසා බොහෝමයක් රටවල්වලට අතිශය දරුණු දේශගුණ විපර්‍යාසවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර රටවලට නියඟ, තවත් රටවලට ගංවතුර, භෝගවලට හානි සිද්ධ වෙන නිසා ආහාර මිල ඉහළ යාම, ආහාර අනාරක්ෂිත බව, බලශක්ති බිඳ වැටීම, ගෝලීය සැපයුම් දාමවලට බාධා සිදුවීම කියන කාරණා ඇති වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පවා බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතිං ඔන්න ඔය සංසිද්ධියට තමයි එල් නිනෝ කියලා කියන්නේ.  

Image by Kanenori from Pixabay

ලා නිනා (La Niña)

මේ වතාවෙදි අපි කතා කරන්නේ එල් නිනෝ තත්ත්වය ගැන වුණාට ලා නිනා තත්ත්වය කියලා එකකුත් අපිට අහලා පුරුදුයි. ඉතිං ඒ නිසා අපි ලා නිනා කියන්නේ මොකක්ද කියලත් අපි බලමු. ලා නිනා (La Niña) කියන්නේ පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල සාමාන්‍යයට වඩා මුහුදු මතුපිට ජලය අසාමාන්‍ය ලෙස සිසිල් වීම නිසා ඇතිවන ගෝලීය දේශගුණික සංසිද්ධියකි. වෙනත් විදිහකින් කිව්වොට්ච්, ලා නිනා කියන්නේ එල් නිනෝ ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ අවස්ථාව. ඒ මඟින් ලොව පුරා වර්ෂාපතන රටාවන්හි සහ උෂ්ණත්වයේ දැඩි වෙනස්කම් ඇති කරනවා.

Image by geralt from Pixabay

එල් නිනෝ සහ වාණිජ සුළං

සාමාන්‍යයෙන්, වාණිජ සුළං විදිහට සලකන සුළං ධාරා පැසිෆික් සාගරය හරහා නැගෙනහිර සිට බටහිරට හමනවා. ඒකෙන් උණුසුම් මතුපිට ජලය ආසියාව සහ ඕස්ට්‍රේලියාව දිහාවට තල්ලු කරනවා. ඒ විදිහට උණුසුම් ජලය වෙනත් දිශාවකට තල්ලු කරලා  දකුණු ඇමරිකාව අසල ගැඹුරු සාගරයේ තියෙන සිසිල් ජලය ඉහළ යාමට ඉඩ සලසනවා. එල් නිනෝ තත්ත්වයක් අතරතුරදි මේ කියන වාණිජ සුළං දුර්වල වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට උණුසුම් ජලය නැගෙනහිර පැසිෆික් කලාපය දෙසට ආපසු ගමන් කරනවා. එතකොට සාගර උෂ්ණත්වය ඉහළ ගිහින් ලෝකෙ පුරා සාමාන්‍ය කාලගුණ රටා කඩාකප්පල් වෙනවා. පැසිෆික් සාගරයේ තාපන පද්ධතියේ සැකසුම් වෙනස් කරද්දි එම බලපෑම් ගෝලීය වශයෙන් පැතිරෙනවා කිව්වත් හරි. 

Image by eyeonicimages from Pixabay

එල් නිනෝ ඇති වෙන්නේ කොයි කාලෙද?

එල් නිනෝ කියන්නේ හැම අවුරුද්දකම අනිවාර්‍යයෙන්ම සිද්ධ වෙන සිදුවීමක් නොවේ. සාමාන්‍යයෙන් හැම අවුරුදු 2ට හෝ 7ට වතාවක්ම එල් නිනෝ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒකෙ බලපෑම මාස 9 හෝ 12 - ඒ කියන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් පවතිනවා. කොහොම වුණත් හැම එල් නිනෝ එකක්ම එක වගේ නෑ. සමහර ඒවා එච්චර ලොකු හානියක් නැති  දුර්වල ඒවා. තවත් සමහර ඒවා තියෙනවා ඉතාම්ත් දරුණු මට්ටමේ. 1877, 1982 -  1983, 1997 - 1998 වගේ අවුරුදුවල මේ වගේ භයානක මට්ටමේ සුපර් එල් නිනෝ තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඒවගේ කාලවල මෝසම් වැසි අක්‍රමවත් වෙලා, උණුසුම වැඩිවෙලා, කෘෂිකාර්මික ගැටලු ඇති වෙලා තියෙනවා. 1997-98 කාලයේ ඇති වුණු එල් නිනෝ තත්ත්වය නිසා ඇමරිකන් ඩොලර් බිලියන දහස් ගාණක පාඩු සිද්ධ වුණා කියලාත් කියනවා.  

එල් නිනෝ සහ සුපර් එල් නිනෝ

මේ වතාවේ ඇති වෙන එල් නිනෝ විශේෂ වන්නේ ඇයි? හැමෝම ඒ ගැන කතා කරන්නේ ඇයි? ඇත්තටම මේ වතාවේ එල් නිනෝ කියලමත් නෙවෙයි, සුපර් එල් නිනෝ කියලයි විද්‍යාඥයෝ මේ සංසිද්ධිය හඳුන්වන්නේ. ඒක සාමාන්‍ය එල් නිනෝ තත්ත්වයකට වඩා ගොඩක් දරුණු වෙයි කියන මතයේ ඔවුන් ඉන්නවා. මීට අමතරව, මේ සුපර් එල් නිනෝ තත්ත්වයට හේතු විදිහට,  

  • සාගර උෂ්ණත්වය අසාමාන්‍ය විදිහට ඉහළ මට්ටම් කරා ළඟා වීම  

  • එය දැඩ් ලා  නිනා කාල පරිච්ඡේදයකින් පසුව වර්ධනය වීම 

  • දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය දැනටමත් ඉහළ යමින් තිබූ කාල පරිච්ඡේදයක එය සිදු වීම දක්වන්න පුළුවන්. 

එල් නිනෝ නිසා දේශගුණික විපර්යාස ඇති  කිරීමක් නොකලත් දැනටමත් පවතින උනුසුම් ප්‍රවණතාව වැඩි වෙන්න එල් නිනෝ හේතු වෙන්න පුළුවන් නිසා මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් සැලකිලිමත් වෙනවා. ඒ නිසා තාප තරංග, අධික වැසි, නියඟ අවදානම් සහ කෘෂිකාර්මික පාඩු සිද්ධ වෙන්න පුළුවන්.  

Image by GoranH from Pixabay

එල් නිනෝවේ ගෝලීය බලපෑම

එල් නිනෝවේ ගෝලීය බලපෑම මොනවගේද කියලා බැලුවොත්, එල් නිනෝ ලෝකයේ විවිධ ප්‍රදේශවලට බලපාන්නේ වෙනස් විදිහට. සමහර රටවල්වලට ගංවටුූර තත්ත්වයන් ඇති වෙද්දි තවත් රටවල්වලට නියඟ ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ආර්ථිකයේ බොහෝමයක් අංශවලට බලපෑම් ඇති වෙන්න ඉඩ් තියෙනවා. 

උදා: ගොවිතැන මත යැපෙන රටවලට බෝග අස්වැන්න අඩුවීම, ජල හිඟ වීම,  ආහාර මිල ඉහළ යාම අත්විඳින්යන් පුලුවන්.  

බලශක්ති අංශයෙන් ජල විදුලිබල උත්පාදනයට, විදුලි ඉල්ලුමට බලපෑමක් ඇති වෙනවා. උණුසුම් කාලගුණය සිසිලනය සඳහා ඉල්ලුම වැඩි කරනවා වගේම නියඟය නිසා ජල විදුලිය උත්පාදනයටා ජල ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා.  

උද්ධමනයට පවා නරක බලපෑමක් ඇති වෙනවා. ආහාර නිෂ්පාදනය පහත වැටෙනවා කියන්නේ සැපයුම අඩු වෙනවා කියන එකයි. එතකොට පවතින සීමිත සැපයුමට ඇති වන ඉහළ ඉල්ලුම නිසා මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් උද්ධමනය වැඩි වෙනවා. ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වැඩි වශයෙන් තමන්ගේ ආදාය්මින් ආහාර සඳහා වියදම් කරන නිසා මේ තත්ත්වය තදින්ම දැනෙන්නේ ඒ වගේ රටවල්වලට. 

Image by analogicus from Pixabay

එල් නිනෝව ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙහොමද?

දැන් තමයි අපිට වැදගත්ම කොටස. එල් නිනෝ තත්ත්වය ලංකාවට බලපෑමක් කලොත්, ඒක රටේ ආර්ථිකයට තදින්ම බලපානවා. සමහර කාලගුණ විද්‍යාඥයන් කියන්නේ නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ නිවර්තන පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම අතර සම්බන්ධයක් පවතින බවට අනාවැකි පළ වුවටත්, වර්ධනය වන එල් නිනෝ කාලගුණ සංසිද්ධිය ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම අවම වේවි කියලයි.   

පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණිය මහත්මයා කියනවා, කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරලා තියෙන්නේ එල් නිනෝවේ ඕනෑම බලපෑමක් ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව පමණක් ඇති විය හැකි බවයි.   

Image by Oliver_Nguyen from Pixabay

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වර්ෂාපතනය මත දැඩි ලෙස රඳා පවතිනවා. ඒ නිසා එල් නිනෝව බලපෑම  යල සහ මහ වගා කාලවලදී ඇති වෙන්න පුලුවන්. එහෙම වුනොත් වී නිෂ්පාදනය, එළවළු නිෂ්පාදනය, තේ නිෂ්පාදනය කියන අංශ පීඩාවට පත් වේවි. සමහර ප්‍රදේශවල වර්ෂාපතනය අඩු වීම නිසා ජල හිඟයක් ඇති වෙලා බෝග අස්වැන්න අඩු වෙන්න පුලුවන්. දේශීය නිෂ්පාදනය පහත වැටෙද්දි අඩු සැපයුම නිසා ආහාර මිල ඉහළ ගිහින් පාරිභෝගිකයින් මත පීඩනය වැඩි වෙනවා. ප්‍රධාන ආහාර භෝගය වන සහල් ඇරුණම, අපනයන භෝග අතරින් තේ කර්මාන්තයට පහර එල්ල වෙන්න ඉඩ තියෙනවා. මොකද අඩු වර්ෂාව නිසා උෂ්ණත්වය ඉහළ යාම සහ පසේ තෙතමනය අඩු වීමත් එක්ක අස්වැන්න අඩු වෙන්න පුලුචන්. එතකොඅට අපි බලාපොරොත්තු වන ආදායම ලබා ගන්න බෑ. 

කොහොමත් විදේශ විනිමය අර්බුදයක් ඇති වෙන්න ලංකාවේ ඉඩ තියෙනවා, රුපියලත් පහුගිය ටිකේ අවප්‍රමාණය වුණා. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින අවස්ථාවක, අපනයන ස්ථාවරත්වය අතිශයින් වැදගත්. ඒත් එල් නිනෝ තත්ත්වය නිසා අස්ථාවරත්වයක් ඇති වෙන්න තියෙන ඉඩ වැඩී.  

ලංකාව සැලකිව යුතු මට්ටමකින් ජල විදුලිය මඟින් විදුලිය ලබා ගන්න රටක්. ඒ නිසා වැසි රටාවේ වෙනසක් ඇති වුනොත් ඒක බලශක්ති උත්පාදනයට සෘජුවම බලපානවා. ඒ විතරකුත් නෙවෙයි.  ජල විදුලිය නිපදවන්න බැරි වුනොත් ගල් අඟුරු මත යැපෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපේ විදේශ විනිමය ආයෙමත් පිටරටවලට ඇඳී යනවා.  මෙය ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ තත්ත්වයට සෘජුවම බලපානවා. සාගර උෂ්ණත්වයේ වෙනස්වීම් සමුද්‍ර පරිසර පද්ධතිවලටත් බලපාන්න පුලුවන්. මත්ස්‍ය චලන රටාවල වෙනස්කම් ඇති වුනොත් ධීවර ප්‍රජාවන්ට එයින් බලපෑමක් ඇති වෙනවා. මුහුදු ආහාර සැපයුමේ වෙනස්කම් වගේම වෙරළබඩ ජීවනෝපායන්ට නරක කල දසාවක් ලබන්න පුලුවන්. BBC ප්‍රවෘත්තිවලට අනුව, ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවන ස්වාභාවික පැසිෆික් කාලගුණ රටාව වන එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ආරම්භ වුණා කියලා ඇමරිකානු විද්‍යාඥයෝ කියනවා. ලතින් අමරිකාව ආශ්‍රිත මුහුදුබඩ ප්‍රදේශවල මත්ස්‍ය රටාවල ගැවසීමේ වෙනස්කම් මේ වෙද්දිත් දකින්න ලැබිලා තියෙනවා.  

Image by catazul from Pixabay

සාරාංශය 

එල් නිනෝ විසින්ම ආර්ථික අර්බුදයක් ඇති කරනවා කියලා එකක් නෑ. හැබැයි ශ්‍රී ලංකාව වගේ  රටකට කෘෂිකර්මාන්තය වැදගත්. ඒ නිසා ආහාර මිල උද්ධමනයක්, පෝෂණ ගැටළු, බලශක්ති අර්බුදයක්, විදේශ විනිමය ගැටලු වගේ දේවල් රැසක් ඇති වීමේ ඉඩකඩ තියෙනවා. උද්ධමනය නිසා ගෘහස්ථ ආදායමට වන  අහිතකර බලපෑම ටුලින් ආර්ථික වර්ධනයට ප්‍රමාණවත් ඉතුරුම් හෝ ආයෝජන බිහි වෙන්නේ නෑ. මේක ඉතාමත් අයපත් තත්ත්වයක්.  

අවසාන වශයෙන් - ආර්ථිකය කියන්නේ නිකම්ම නිකම් පොලී අනුපාත, බදු හෝ රජයේ ප්‍රතිපත්ති ගැන කතාවක් විතරක්ම නෙවෙයි. ඒකට එල් නිනො වගේ දේශගුණික බලපෑම් ඇතො වෙලා නොසිතූ ගැටුම් ඇති වෙන්නත් පුලුවන්. සමහර විට, පැසිෆික් සාගරයේ කිලෝමීටර් දහස් ගණනක් ඈතින් සිදුවන වෙනසක් ශ්‍රී ලංකාවේ ගොවිපලවල්වලට, විදුලිබල අංශයට, වෙළඳපොළවල් සහ කුටුම්භවලට බලපෑම් කරන්න පුළුවන්. කොටින්ම කිව්වොත් දේශගුණික සිදුවීම් ආර්ථික සිදුවීම් බවට පත්වෙමින් තියෙනවා.   

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අනාගතය අවබෝධ කර ගැනීම සඳහා ඒවා අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙමින් පවතිනවා.