දිල්මිණී අබේරත්න විසිනි
ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ගැන කතාබහ කාලෙන් කාලෙට අලුත් වෙනවා. විශේෂයෙන්ම සීමිත රටවල් ප්‍රමාණයක් එක්ක විදේශීය ගනුදෙනු සම්බන්ධතා පවත්වාගන්න රටක් විදිහට ලංකාවට අනාගතයේ මුහුණපාන්න සිද්ධ වෙන අභියෝග මොන වගේද කියලා හිතන්න අමාරුයි. නමුත් දැනටත් කලාපීය යුද්ධ සහ ඒ ඒ රටවල තියෙන ආර්ථික සම්බාධක නිසා ලෝකය පුරා බොරතෙල් මිල ගණන් ඉහළ යාම, ඒ සම්බන්ධ විකල්ප අවම රටක් වන ලංකාවට දැඩි බලපෑම් ඇති කරනවා. මේ නිසා ප්‍රවාහනයේ සිට බලශක්තිය සහ ආහාරපාන ඇතුළු හැම දෙයකම මිල ගණන් ඉහළ ගිහින්.
ඒ අතරේම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟළුම් ආනයන වෙළඳපළක් වන ඇමරිකාව විසින් ලංකාවට 12.5%ක තීරු බද්දක් පනවලා තියෙනවා. ඇමරිකාවට ඇගළුම් අපනයනය කරන ශ්‍රී ලංකාවේ තරඟකරුවන් වන සෙසු රටවල්වලට පනවලා තියෙන ඇමරිකානු තීරු බද්ද මීට වඩා අඩු ප්‍රතිශතයක්. මේ නිසා ලංකාවට ඇමරිකානු වෙළඳපළේ තරඟ කිරීමේ ගැටළුවක් පැන නඟිනවා. ඒ නිසාම ලංකාවට ලැබෙන විදේශ විනිමය ඉපැයුම් සම්බන්ධයෙනුත් අවිනිශ්චිතතාවක් හට ගන්නවා. මොකද ඇගළුම් කියන්නේ ලංකාවට විදේශ විනිමය ඉපැයුම් ලබා දෙන ප්‍රධානතම මූලාශ්‍රයක්. මේ වගේ තත්ත්වයන් කලින් දැනුම් දීලා සිද්ධ වෙන ඒවා නෙවෙයි. ඒ නිසා අපි රටක් විදිහට අනාගතය ගැන සැලසුම් කරද්දි, ඇති විය හැකි අවදානම් සහ අභියෝග ගැන පුරෝකතනය කරලා ඒ වෙනුවෙන් සැලසුම් සහගතව ඉන්න ඕන. ඒකයි, විදේශීය වෙළඳාමේදී එක රටක් මතම රැඳෙන්නේ නැතිව රටවල් සහ කලාප කීපයක් එක්ක ගනුදෙනු හැකියාව පුළුල් කර ගන්න ඕන. ඔන්න ඔය වගේ තැනකදී තමයි ජාත්‍යන්තර සහයෝගිතා, ගිවිසුම් සහ එකඟතාවන් වැඳගත් වෙන්නේ.
කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය නැතිනම් RCEP කියලා කියන්නෙත් ඒ වගේ ගිවිසුමක්. ඒත් මේ වගේ දේවල් ගැන කතාබහ ඇති වෙන මුල්ම අවස්ථාවෙදිම මිනිස්සු බයයි වෙනත් රටවල් එක්ක ගනුදෙනු කරන්න. කාලයක් තිස්සේ ලංකාවට අත්දකින්න වෙලා තියෙන දේවල් නිසයි එහෙම වෙන්නේ. මේ නිසා මොන මොන රටවල් එක්ක ගනුදෙනු කළත්, ඒවා ලංකාවට අපේ ආර්ථිකයට වාසියක් මිස හානියක් නොවෙන විදිහට පවත්වාගෙන යන්න අවශ්‍ය වැඩ කටයුතු බුද්ධිමත්ව සම්පාදනය කළ යුතුයි.
කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය / RCEP යනු?
RCEP ගිවිසුම කියන්නේ රටවල් 15ක් අතර පවත්වාගෙන යනු ලබන නිදහස් වෙළඳ ගිවිසුමක්. ඒ රටවල් වෙන්නේ බෲනායි දරුස්සලාම්, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, කොරියානු ජනරජය සහ නවසීලන්තය. ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් පමණ සහ ලෝක ජනගහනයෙන් 1/3 පමණ සම්බන්ධ වෙලා ඉන්න නිසා මේ ගිවිසුම ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම විදිහට සැලකෙනවා. RCEP සම්බන්ධ සාකච්ඡා විධිමත් ලෙස දියත් කළේ 2012 වසරේ, කාම්බෝජයේ පැවති ASEAN සමුළුවේදීයි. ගිවිසුම අත්සන් කළේ 2020 නොවැම්බර් 15 වෙනිදා. ඒත් ගිවිසුම බලාත්මක කිරීමට අවශ්‍ය ගණපූරණය සපුරා ගත්තේ 2021 නොවැම්බර් මාසයේදීයි.
Image by lucasgeorgewendt from Pixabay
තීරුබදු අඩු කිරීම් කෙරෙහි පමණක් අවධානය යොමු කරන සාම්ප්‍රදායික වෙළඳ ගිවිසුම් වගේ නෙවෙයි, RCEP ගිවිසුමෙන් බලාපොරොත්තු වෙන තවත් දේවල් තියෙනවා. ඒ තමයි වෙළඳ නීති විධිමත් කිරීම, ප්‍රමිතීන් එකිනෙකට අනුකූල කිරීම, ආයෝජන සඳහා පහසුකම් සැලසීම, රේගු ක්‍රියා පටිපාටි සරල කිරීම සහ කලාපීය සැපයුම් දාම ශක්තිමත් කිරීම කියන අරමුණු. මේ ගිවිසුම මඟින් ව්‍යාපාරවලට නොයෙක් වෙළඳපලවල් හරහා ක්‍රියාත්මක වීමට, ගනුදෙනු පිරිවැය අඩු කර ගැනීමට සහ පුරෝකථනය කිරීමේ හැකියාව වැඩි කිරීම සඳහා පොදු රාමුවක් සපයයි. මේ සියල්ලක් අතරින් වඩාත්ම වැදගත් දෙය වන්නේ, RCEP නූතන වෙළඳාමේ යථාර්ථය වටා නිර්මාණය කර තිබීමයි. තවදුරටත් නිෂ්පාදනය සිදු වන්නේ තනි රටක් තුළ නොවෙයි. එක නිෂ්පාදිතයක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරලා අවසන් කරන්නේ එක් පාර්ශවයක් නොවෙයි. අදාළ නිෂ්පාදිතයේ අඩංගු සංරචක එක් එක් ආර්ථිකයන් විසින් වෙන වෙනම නිෂ්පාදනය කරන ඒවා. සම්පූර්ණ නිෂ්පාදිතය බිහි වන්නේ වෙනත් තැන්වල නිපදවා එකලස් කිරීමෙන් පසු ගෝලීය වශයෙන් විකිණීමෙනි. මෙම කලාපීය වටිනාකම් දාමයන්ට ඒකාබද්ධ වන රටවල් වැඩියෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සහ අපනයන පුළුල් කිරීමට නැඹුරු වෙනවා.
තිරසාර ආර්ථික ප්‍රකෘතියක් සහ දිගුකාලීන වර්ධනයක් වෙනුවෙන් වෙහෙසෙන ශ්‍රී ලංකාව යළි යළිත් තමන්ගේ වෙළඳ ප්‍රතිපත්තිය ගැන අවධානය යොමු කරනවා. අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව විශ්වාසය තැබුවේ සීමිත අපනයන වෙළඳපොළවල් සහ ද්විපාර්ශ්වික වෙළඳ විධිවිධාන මතයි. ඒත් ගෝලීය ආර්ථිකය විශාල කලාපීය වෙළඳ කණ්ඩායම් වෙත යොමු වෙමින් තමන්ගේ ආර්ථිකයේ පංගුව විශාල කර ගනිමිනුයි ඉන්නේ. ඒ අතරෙදි RCEP ගිවිසුම් ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම ලෙසින් කැපී පෙනෙනවා. RCEP සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තියෙන ප්‍රශ්නය වෙන්නේ තවදුරටත් කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය වැදගත්ද නැද්ද කියන එක නෙවෙයි. කලාපයේ තියෙන වඩාත්ම බලගතු වෙළඳ රාමුවෙන් පිටත සිටීමට හැකියාවක් තියෙනවද නැද්ද යන්නයි.
ශ්‍රී ලංකාවේ වෙළඳ අභියෝගය
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට බලපාන දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතාවන් තියෙනවා. ඒ අතරින් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා ප්‍රමාණවත් අපනයන ආදායම් උත්පාදනය කිරීමට රටට ඇති නොහැකියාව ප්‍රධානම කාරණයක්. අපනයන අභිමුඛ සංවර්ධනය ගැන දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා කළත්, ශ්‍රී ලංකාව තවමත් ආසියාවේ අඩුම වෙළඳ ඒකාබද්ධතාවක් සහිත ආර්ථිකයන්ගෙන් එකක් විදිහටයි සැලකෙන්නේ.
ලෝක බැංකු දත්තවලට අනුව, 2024දී ශ්‍රී ලංකාවේ වෙළඳාම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ආසන්න වශයෙන් 42%ක්. ගෝලීය වෙළඳාමෙන් සාර්ථකව වාසි ලබන වියට්නාමය සහ සිංගප්පූරුව වගේ රටවල් එක්ක සංසන්දනය කරද්දි ඒ රටවල්වල වෙළඳාම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් 170% සහ 300% ඉක්මවන බව වාර්තා වෙනවා. ඒකෙන් පේන්නේ ලංකාව ජාත්‍යන්තරව තරඟකාරී නිෂ්පාදනයට නැඹුරු වනවාට වඩා දේශීය පරිභෝජනය, ප්‍රේෂණ සහ ණය ගැනීම් මත අඛණ්ඩව යැපෙන බවයි.
ඒ වගේම, ශ්‍රී ලංකාවේ අපනයන බොහෝමයක් සීමිත අංශ සහ වෙළඳපොළවල් කිහිපයක පමණයි සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ. වෙළඳ භාණ්ඩ අපනයනවල ප්‍රමුඛස්ථානය ගන්නේ ඇඳුම් පැළඳුම්. ඒවායේ ප්‍රධාන ගමනාන්ත වෙන්නේ එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයයි. මේ වෙළඳපොළවල් අපේ ආර්ථිකයට කරන බලපෑම ඉතාමත් වැදගත්. ඒ වුණත් පටු පරාසයක තියෙන නිෂ්පාදන සහ සීමිත ගමනාන්ත ප්‍රමාණය නිසා ආර්ථිකය බාහිර කම්පන, පාරිභෝගික ඉල්ලුමේ වෙනස්කම් සහ වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. ශ්‍රී ලංකාව තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට සහ අනාගත ගෙවුම් ශේෂ අර්බුද වළක්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, වෙළඳාම පුළුල් කිරීම සහ අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම කියන කාරණයන්ට ප්‍රමුඛතාවයක් ලබා දෙන්න ඕන.
RCEP අවබෝධ කර ගැනීම
විසිවන සියවසේ වැඩි කාලයක් ආර්ථික අවස්ථාවන් සංකේන්ද්‍රණය වී තිබුණේ උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ. අද වන විට, ගෝලීය ආර්ථිකයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය ආසියාව දෙසට ක්‍රමයෙන් මාරු වෙමින් පවතිනවා. RCEP තුළ නියෝජනය වන ආර්ථිකයන් අතර ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික වෙළඳපොළවල් සහ නිෂ්පාදන මධ්‍යස්ථාන කිහිපයක්ම ඇතුළත්. මෙම කලාපය, ආයෝජන, තාක්ෂණික සංවර්ධනය සහ කාර්මික නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, යන්ත්‍රෝපකරණ, රෙදිපිළි සහ දියුණු නිෂ්පාදන යන අංශවල සැපයුම් දාමයන් වැඩි වැඩියෙන් ආසියානු ආර්ථිකයන් පුරා විහිදෙනවා. ශ්‍රී ලංකාව සඳහා, මෙම මාරුව අවස්ථාවක් වගේම අවදානමක් කියන දෙකම ඇති කරනවා. අවස්ථාව පවතින්නේ වේගයෙන් ප්‍රසාරණය වන වෙළඳපොළවල් සහ ආයෝජන ප්‍රවාහයන් වෙත ප්‍රවේශය ලබා ගැනීම තුළයි. අවදානම පවතින්නේ අසල්වැසි රටවල් කලාපීය නිෂ්පාදන ජාලවලට වඩාත් ගැඹුරින් ඒකාබද්ධ වන අතරතුර අපි රටක් විදිහට ඊට සම්බන්ධ නොදී ඉන් මිදී සිටීමෙනුයි. ගෝලීය වෙළඳ රටා පරිණාමය වන විට, මෙම ජාලවලට සහභාගී වන රටවල්වලට වැඩි ආයෝජන සහ අපනයන අවස්ථාවලින් ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඔවුන්ගෙන් පිටත සිටින අය වැඩි වැඩියෙන් කොන් කරනු ලැබිය හැකිය.
RCEP ගිවිසුමට සම්බන්ධ වනවා නම් ඉන් පෙර කළ යුතු දේ
පසුගිය සති කීපය පුරාවට ශ්‍රී ලංකාව RCEP ගිවිසුමට සම්බන්ධ වීම ගැන කතාබහ ඇති වුණා. ඊට සම්බන්ධ වීම හුදකලා ප්‍රතිපත්ති තීරණයක් විදිහට සලකන්න අවශ්‍ය නෑ. ඒ වෙනුවට, RCEP වගේ නිදහස් වෙළඳ ගිවිසුමක් නිසා ශ්‍රී ලංකාව වඩාත් තරඟකාරී ආර්ථිකයක් බවට පත් කිරීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක කොටසක් විදිහට සලකන්න පුළුවන්.
ලංකාව හෙට අනිද්දම RCEPවල සාමාජිකත්වය ගන්නවාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය. අපි ඒ ගිවිසුමට සම්බන්ධ වෙනවා නම්, අපේ ආර්ථිකයට සුදුසු සහ වාසි සහගත විදිහට එයින් ප්‍රතිලාභ ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ලංකාවට ප්‍රතිසංස්කරණ කීපයක් කරන්න සිද්ධ වේවි. ඒ අතරට,
රේගු ක්‍රියා පටිපාටි සහ වෙළඳ පහසුකම් පද්ධති නවීකරණය කිරීම.
ආයෝජනයට පවතින නියාමන බාධක අඩු කිරීම.
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලීන් සරල කිරීම.
සැපයුම් සහ වරාය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
කුසලතා සංවර්ධනය සහ ශ්‍රම බලකායේ ඵලදායිතාව ශක්තිමත් කිරීම.
ප්‍රතිපත්ති පුරෝකථනය කිරීමේ හැකියාව සහ නියාමන විනිවිදභාවය වැඩි දියුණු කිරීම කියන කාරණා ඇතුලත් වෙනවා.
මේ කියන ප්‍රතිසංස්කරණවලින් ව්‍යාපාර සඳහා දරන්නට සිදු වන පිරිවැය අඩු වීම, ආයෝජක විශ්වාසය වැඩි දියුණු කිරීම, සහ නිෂ්පාදන හා සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ශනීය බව වැඩි වීම සිද්ධ වෙනවා. හැබැයි මේ ගිවිසුමට එළඹෙනවා කියන තීරණය ගත්තොත්, ලංකාවට ඒ වෙනුවෙන් අපි මේ කියපු වෙනස්කම් ටිකවත් කරන්නම වෙනවා.

