අලුත් වුණ PayPal 

දිල්මිණී අබේරත්න විසිනි

පහුගිය සතියේ PayPal ගැන කතාබහ ආයෙමත් අලුත් වුණා. මොකද මැයි 16 වෙනිදා කොළඹ ගෝල්ෆේස් හෝටලේදී PayPal සේවාවන් පුළුල් කිරීම සම්බන්ධයෙන් අගමැතිනිය සහ ලංකා බැංකුව කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව කියන බැංකුවල නියෝජිතයන් අතර හමුවක් පැවැත්වුවා. මේ ගැන හරි අදහසක් නැති අයට අපි හිතුවා පොඩි හැඳින්වීමක් කරන්න. ඉතිං අපි බලමු මොකක්ද මේ PayPal කියන්නේ කියලා. 

PayPal කියන්නේ රටවල් අතර ආරක්ෂිතව ගෙවීම් කරන ක්‍රමයක්. ඒක වැඳගත් වෙන්නේ පාරිභෝගිකයන්ට, freelancers, ව්‍යවසායකයන්ට සහ අලුතින් ව්‍යාපාර පටන් ගන්න අයට පහසුවෙන් ගනුදෙනු කටයුතු පවත්වාගෙන යන්නයි. මේ වෙද්දි රටවල් 200 විතර PayPal පහසුකම භාවිත කරනවා. ඒ ඔස්සේ ලොව පුරා ව්‍යාපාර මිලියන ගණනකට තමන්ගේ ගනුදෙනු සුමටම පවත්වා ගන්න පුළුවන්කම ලැබී තිබෙනවා. 

 

ශ්‍රී ලංකාවට PayPalවල ඇති වැඳගත්කම 

Image by Bru-nO from Pixabay

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික න්‍යායපත්‍රය මගින් අවධානය යොමු කර ඇත්තේ සියලු දෙනා ඇතුලත් වර්ධනයක් ඇති කිරීම, ඩිජිටල් ව්‍යවසායකත්වයට සහාය වීම සහ ජාත්‍යන්තර වෙළඳපළ සමඟ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමයි. ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් ආර්ථිකයට දායකත්වය 52% පමණ වන බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා. මේ කියන PayPal ගනුදෙනු ක්‍රමය නිසා දේශසීමා බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අරමුණු ඉටුකර ගන්න ව්‍යවසායකයන්ට සහ නව ව්‍යාපාරවලට ඉඩ සැලසෙනවා. කොහොම වුණත් තවමත් PayPal ආයතනය හෝ අදාල බැංකුව ලංකාවට PayPalවල සිද්ධ වුණ වෙනස සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. 

 

PayPalවල අලුත්ම කතාබහට හේතුව දන්නවද? 

කාලෙන් කාලෙට PayPal ගැන කතාබහ කරළියට ආවා ගියා. ඒත් මේ වතාවේ තමයි වැඳගත්ම දේ සිද්ධ වුණේ. මොකද මෙච්චර කාලයක් ලංකාවේ PayPal ක්‍රියාත්මක වුණේ හරිම සීමිත විදිහට. මීට කලින් ලංකාවේ අයට PayPal ගිණුම් ඔස්සේ මුදල් ලබා ගැනීම සඳහා පහසුකම් තිබුණේ නෑ. වෙනත් සේවා සපයන්නෙකුට PayPal ගිණුමක් හරහා මුදල් ගෙවීම් කරන්න විතරයි හැකියාව තිබුණේ.  

Image by kreatikar from Pixabay

ඒත් මේ වතාවේ PayPal හරහා මුදල් ලැබීම් සඳහාත් ඉඩ සැලසෙනවා. ඒක තමයි ගොඩක්ම සුබ ආරංචිය. මේ පහසුකමත් එක්ක ලංකාවට PayPal සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙන්න ලැබුනොත් ස්වාධීන සේවා සපයන්නන්ට (freelancers), කුඩා පරිමාණ ව්‍යාපාරවලට, අපනයන සේවා සපයන්නන්ට, තරුණ ව්‍යවසායකයන්ට, අලුත් ව්‍යාපාරිකයන්ට, යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යවල සිදු කරන පළ කිරීම් සඳහා ගෙවනු ලබන මුදල් ලබා ගැනීමට වගේම ඒ ඔස්සේ විදෙස් මුදල් රටට ගලා ඒම වැඳගත් වෙනවා. මෑත කාලීනව online scams ගැන සුලබව අහන්න ලැබෙනවා. මිනිස්සු මේ වගේ දේවල්වලට නතු වෙන්න එක හේතුවක් වෙන්නෙත් සරල, ආරක්ෂිත සහ කාර්‍යක්ෂම ගනුදෙනු මාධ්‍යයන් නැතිකම. ඒ නිසා එවැනි ගැටළු වළක්වාගෙන ගනුදෙනු කටයුතු විශ්වසනීය විදිහට කරන්න PayPal ගිණුම් වැඳගත් වෙනවා. 

Image by Tumisu from Pixabay

 

PayPal ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?  

Image by danielchrisman from Pixabay

මීට කලිනුත් PayPal ලංකාවේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි ඒ ඒකපාර්ශවික සේවාවක් විදිහට. ඒ කියන්නේ ගෙවීම් කටයුතු කරන්න විතරයි පුළුවන්කම තිබිලා තියෙන්නේ. අලුත්ම තත්ත්වයට අනුව PayPal හරහා මුදල් තමන් වෙත ලබා ගැනීමේ හැකියාව සේවා සපයන්නන්ට ලැබෙනවා.  

මේ සඳහා PayPal ගිණුමක් විවෘත කිරීම හෝ දැනට පවතින ගිණුම ඊට සම්බන්ධ කර ගැනීම කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබේ ඊ-මේල් ලිපිනය, බැංකු ගිණුම සහ ණයපත් හෝ හරපත් සම්බන්ධ කරන්න ඕන.  

Image by RibhavAgrawal from Pixabay

PayPal කියලා කියන්නෙ ලෝකයේ තියෙන විශාලතම ඔන්ලයින් ගෙවීම් ක්‍රමයක්. මේක හරියට අතරමැදියෙක් වගේ. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර මැදිහත්කරුවෙක් විදියට කටයුතු කරනවා. නිවැරදිව සකස් කර ගත් PayPal ගිණුම හරහා අන්තර්ජාතික ගෙවීම් කිරීම, පිටරට සිට මුදල් ලබා ගැනීම, online shopping සහ මුදල් ගබඩා කර තැබීම කියන කාර්‍යයන් සිදු කරන්න පුළුවන්.  

Image by cyberco from Pixabay

උදාහරණයක් ගත්තොත් ලංකාවේ ඉන්න සේවා සපයන්නෙකුට (ග්‍රැෆික් නිර්මාණකරුවෙක්, හඩ කවන්නෙක්, පරිවර්තකයෙක්) වෙනත් රටක (ප්‍රංශය, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව ආදී) ඉන්න සේවාලාභියෙකුට සේවා සපයන්න පුළුවන්. ඒ සඳහා PayPal ගිණුම හරහා මුදල් ගෙවන්න, ඒ හරහා ගෙවීම ලබා ගන්න, online wallet  එකක් විදිහට ඒකෙන් බැලන්ස් එක තියාගන්න පුළුවන්; මුදල් හුවමාරු කරන්න පුළුවන් සහ වෙනත් ගනුදෙනු සඳහා මුදල් යොදවන්න පුළුවන්. 

 

Image by fotoblend from Pixabay

සාරාංශය  

ශ්‍රී ලංකාවට PayPal ඔස්සේ ලැබෙන පහසුකම ඉක්මණින්ම අත්විඳින්නට ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. මේක අනාගතයේදී ඩිජිටල් සේවා සපයන්නන්ට ලැබෙන පහසුවක්. ඒ නිසා වැඩි දෙනෙක් එහි ප්‍රතිලාභය ලබා ගන්න කටයුතු කරාවි. නමුත් ඒ තත්ත්වය යටතේ පවා අන්තර්ජාල පහසුකම්, ජාත්‍යන්තර වෙළඳාම තුළ සේවා සැපයීම සඳහා පවතින යල් පැන ගිය රෙගුලාසි ඉවත් කරලා සුමටව ක්‍රියාත්මක වෙන්න ඉඩ දීමයි වඩාත් සුදුසු.