සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ මෙම ලිපිය කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්‍ය, සිරිමල් අබේරත්න විසින් සම්පාදිතය. පරිවර්තනය දිල්මිණී අබේරත්න විසිනි.
Image by KasunChamara from Pixabay
2000 සියවස ආරම්භ වනවාත් සමඟම සෑම ශ්‍රී ලාංකිකයන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම ජීවත් වූයේ නිල දරිද්‍රතා රේඛාවට පහළින්. මේ අගය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනත්, අවුරුදු 25 ගත වී ඇති තැනදි අපි නැවත වතාවක් ආරම්භක ස්ථානයටම ඇවිත්. දැන් ආයෙමත් ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දුප්පතුන් කාණ්ඩයට ගැනෙනවා.
ඇත්ත වශයෙන්ම, යළිත් වතාවක් රට තුළ හදිසියේම වගේ දුප්පත්කම හිස එසවීමට බලපාන කම්පන මාලාවක් ඇති වුණා. කොහොම වුණත්, ඒ තුළ ඇති ප්‍රතිපත්ති මත පදනම් වූ කොටස ඉස්මතු කිරීම සුදුසුයි කියා මම සිතුවා. මෙතනදි ප්‍රතිපත්ති දිශාවන්වල වෙනස්කම් නිසා දුප්පත්කම අඩු කිරීම සහ සමාජ ආරක්ෂාව යන අංශ දෙකටම ක්ෂණික ප්‍රතිපත්තිමය ඇඟවුම් ඇති කළ හැකි බව තේරුම් ගැනීම වැදගත්.
ශ්‍රී ලංකාවේ දුප්පත්කම දිගින් දිගටම පැවතීම දෛවයේ අහම්බයක් නෙවෙයි; ඊට බලපාන ප්‍රබලතම හේතු ලෙස දැක්විය හැක්කේ, මේ රටේ ජීවිතය දුප්පතුන්ට ක්‍රමානුකූලව මිල අධික එකක් බවටත්, ආරක්ෂිතව දිවි ගෙවන සුළුතරයකට පමණක් ලැබෙන සුවපහසුවත් සහතික කරන ප්‍රතිපත්තිමය තේරීම් මගිනි.
මිල අධික මූලික අවශ්‍යතා
පසුගිය සතියේ අපි සාකච්ඡා කරපු පැරා තීරු බදු ක්‍රමයෙන් ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡාව මත පදනම් වුණොත්, ශ්‍රී ලංකාවේ දුප්පත්කම කියන්නේ නිකම්ම නිකම් වෙළඳපොලේ ‘අසාර්ථක වීම’ විතරක් නෙවෙයි. මූලික භාණ්ඩවල පිරිවැය වැඩි කිරීමට හේතු වන ආනයන සීමා කිරීම්, පැරා තීරු බදු සහ දේශීය බදු වැනි ප්‍රතිපත්ති නිසා බොහෝ දෙනෙක්ට යහපත් ජීවන තත්ත්වයක් ගත කිරීමට අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
ආහාර ද්‍රව්‍යවල ඉඳලා ගොඩනැගිලි අමුද්‍රව්‍ය දක්වා පුළුල් පරාසයක පැතිරුණු භාණ්ඩ සලකා බැලුවොත්, ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලින් සිද්ධ වෙන්නේ විවෘත තරඟකාරිත්වයට මඟ ඇහිරීමක් වගේම වඩා වැඩි මිල ගණන්වලට භාණ්ඩ හා සේවා අලෙවිවීමක්. මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් තමන්ගේ ආදායමෙන් වැඩි කොටසක් වැය කරන කුටුම්භවලට මේ කියන මිල වැඩිවීම්වලින් ඇති වන බලපෑම දැනෙනවා වැඩියි.
ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් තුනකට වැඩි (75%) පිරිසක් තවමත් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල; රටේ දුප්පත් ජනතාවගෙන් පහෙන් හතරකට වඩා (80%) ජීවත් වෙන්නෙත් ග්‍රාමීය ප්‍රදේශවල. ඒ ඇරුණාම ශ්‍රී ලංකා ශ්‍රම බලකායෙන් හතරෙන් එකක් (25%) ජීවිකාව සරි කරගන්නේ කෘෂිකර්මාන්තයෙන්. සමස්තයක් විදිහට ගත්තම, මේ සංඛ්‍යා දත්තවලින් තහවුරු වෙන්නේ රටේ දුප්පතුන්ගෙන් වැඩි දෙනෙක් බොහෝ දුරට අඩු ඵලදායි කෘෂිකර්මාන්තය මත යැපෙමින් ජීවත් වනවා කියන කාරණය.
ආහාර, ඇඳුම් පැළඳුම්, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ සරල නිෂ්පාදිත භාණ්ඩ වෙනුවෙන් දුප්පතුන්ට දිගින් දිගටම ඉහළ මිල ගණන් ගෙවන්න සිද්ධ වුණාම ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ දුෂ්කරතා විතරක් නෙවෙයි ජීවන මට්ටම් පහළ වැටිලා ඉතාමත් අවම ග්‍රාමීය පහසුකම් යටතේ විතරක් ජීවත් වෙන්න සිදු වීමයි.
මිල අධික ආහාර, මිල අධික නවාතැන්
සෙස් බද්ද, වරාය සහ ගුවන්තොටුපළ බද්ද, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ වැට් බදු වැනි බදුවලින් සමන්විත ආහාර ආනයනය සඳහා පනවා ඇති ආරක්ෂණ බදු නිසා දිගු කලක් තිස්සේ සහල්, අර්තාපල්, ළූණු, කිරි නිෂ්පාදන, කුකුළු මස් සහ ධාන්‍ය වර්ග වැනි ප්‍රධාන ද්‍රව්‍යවල මිල ඒවායේ සැබෑ මිල ගණන්වලට වඩා වැඩියෙන් තීරණය වෙලා තියෙනවා. නමුත් විවෘත ආර්ථිකයක් සහිත පාලන තන්ත්‍රයක් යටතේ මේ මිල ගණන් පවතින්නේ ඊට වඩා අඩු මිල ගණන් ලෙසයි.
Photo by Towfiqu barbhuiya on Unsplash
මූලික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම නිසා දුප්පත් පවුල්වලට එම මිල අධික මූලික ආහාර වෙනුවට වෙනත් විකල්ප නැහැ. මේ නිසා මිල ගණන් ඉහළ යද්දි සිද්ධ වෙන්නේ, ඔවුන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම, ගුණත්වයෙන් හා පෝෂණයෙන් අඩු ආහාර වෙත යොමු වීම වගේ දේවල්. මෑත කාලීන සමීක්ෂණවලින් සොයා ගෙන තියෙනවා ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම නිසා කුටුම්භ ආහාර වේල් මඟ හැරීම, ලාභදායී ආහාර විකල්ප වෙත යොමු වීම වගේම බොහෝ අවස්ථාවල වැඩිහිටියන් දරුවන්ට කෑම බීම සපයලා තමන් නිරාහාරව ඉන්න පෙළඹෙනවා. මේ කෙටි කාලීනව ඇති කර ගත් හැඩ ගැසීමක්වත් ගැලපීමක්වත් නෙවේ. මේ නිසා කාලයත් එක්ක රට තුළ මන්දපෝෂණය, වර්ධනය දුර්වල වීම සහ ජනතාවගේ සෞඛ්‍යයට හා ඵලදායිතාවයට දිගු කාලීනව හානිකර වන බරපතල ගැටළු රැසක් ඇති කරනවා.
Photo by John Moeses Bauan on Unsplash
නිවාස හෝ නවාතැන් සම්බන්ධයෙනුත් තියෙන්නේ මීට සමාන ගැටළුවක්. කොළඹ ප්‍රදේශයේ කාමර තුනක සරල මහල් නිවාසයක මිල සැලකුවොත් සාපේක්ෂව හොඳින් වැටුප් ලබන විධායක ශ්‍රේණියේ වෘත්තිකයෙකුට ලැබෙන වසර 25ක පමණ ආදායමක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැනටමත් හරි හමන් නිවසක් ලබා ගැනීම කියන්නේ ඉහළ මධ්‍යම පන්තියට ළඟා වෙන්න බැරි කාරණයක්. අඩු ආදායම්ලාභීන් සම්බන්ධයෙන් ඒ තත්ත්වය ළඟා කරගන්නම බැරි නිවාස සිහිනයක් වෙනවා.
ආනයනික සිමෙන්ති, වානේ, ටයිල්, සවිකිරීම් සහ යන්ත්‍රෝපකරණ සඳහා පනවන තීරුබදු සහ පැරා තීරුබදු නිසා ඉදිකිරීම් පිරිවැය අඛණ්ඩව ඉහළ යමින් එහි උද්ධමනයක් ඇති වෙනවා වගේම පසුකාලීනව ඒවා කුලී සහ නිවාස මිල ගණන් ඉහළ යාම දක්වා බලපානවා.
නගරයේ කඩිනමින් ඉදිවන සුඛෝපභෝගී මහල් නිවාස මිලට ගන්නේ ධනවතුන්, ඩයස්පෝරා සාමාජිකයන් සහ විදේශිකයන් කියන කොටස්. ඔවුන් ඒවා මිලට ගන්නේ බොහෝ දුරට නිවසක් විදිහට පදිංචි වෙන්න නෙවෙයි, අනාගතයේ ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක් විදිහට. නමුත් මෙම ඉහළ මට්ටමේ දේපල ලාභදායී ආයෝජන බවට පත් කරන එම ප්‍රතිපත්තිය සහ බදු ව්‍යුහය නිසා සාමාන්‍ය සේවකයින්ට මූලික නාගරික නිවාස පවා මිලදී ගැනීමට අපහසු මිල අධික ඒවා බවට කරනවා.
අන්තිම අඩියට වැටිලා
නාගරික ජීවිතය දැරිය නොහැකි තරම් මිල අධික වුණාම, දුප්පතුන්ට දුර බැහැර ගම්දනව්වල ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රදේශවල ජීවන අරගලය විතරක් නෙවෙයි වන අලින්, දිවියන් වැනි සතුන්ගෙන් පවා දිවි රැකගන්න සිදු වෙනවා.
දශක ගණනාවක වර්ධනයක් තිබියදී වුණත්, ලංකාව සමාන ආදායම් මට්ටම්වල රටවලට වඩා බොහෝ පසුපසින් ඉන්න නිසාත් නාගරීකරණය වීමේ ගැටළු නිසාත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් තවමත් ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවලයි.
ඒකට හේතුව මිනිසුන් ග්‍රාමීය හුදකලාවට ආදරය කරන නිසා නෙවේ; ඉඩම්, නිවාස සහ සේවාවල අධික මිල නිසා ඔවුන්ට නගරයට ගිහින් ජීවත් වෙන්න තියෙන අවකාශයට දොර අගුළු වැටිලා. කොහොම වුණත්, දුර බැහැර ප්‍රදේශවල ජීවත් වෙනවා කියන්නෙම විධිමත් අංශයේ රැකියා, නවීන සේවා සහ විවිධාංගීකරණය වූ ආදායම් මාර්ග සඳහා තියෙන ප්‍රවේශය සීමා වෙනවා කියන එකයි. කර්මාන්ත හා සේවා අංශවලට යොමු වී සිටින තරුණ-තරුණියන් කුඩා පරිමාණ කෘෂිකර්මාන්තයට හෝ අවිධිමත් රැකියාවලට සම්බන්ධ වෙලා සිටින නිසා ඔවුන්ට ලැබෙන්නේ අඩු වැටුප්. ඒ වගේම ඒ ඒ කාලයට ඇති වන සෘතුමය අස්ථාවරත්වයට මුහුණ දෙන්නත් ඔවුන්ට සිද්ධ වෙනවා.
කාර්මිකකරණය මඟ හැරීයාම
ඔබ ජීවත් වන ස්ථානය තමයි අවසානයේදි ඔබේ ජීවිතයේ ඇති අවස්ථා ගැන තීරණය කරන්නේ. ඒ සඳහා රජයේ ප්‍රතිපත්ති විශාල කාර්යභාරයක් ඉටු කරනවා. බදු සහ වෙළඳ නීති වැනි ප්‍රතිපත්ති නිසා නගරයක ගෙවන ජීවිතය මිල අධික එකක් බවට පත් වෙද්දි, දුප්පත් ජනතාව වඩා හොඳ රැකියා සහ අවස්ථා ඇති ස්ථානවලට යාම අවහිර වෙනවා.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, දුප්පත් දුෂ්කර ගැමි ප්‍රදේශවල උපන් අය බොහෝ විට අඩු වැටුප් සහිත, අඩු ඵලදායි රැකියාවල රැඳී සිටිනවා. වෙනත් විදිහකින් කිව්වොත්, වර්ධනය වන ආර්ථික මධ්‍යස්ථානවලින් ඈත්ව සිටිනවා. ඔවුන්ගේ දරුවන් පවා ඒ සීමාවන්ටම මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ශ්‍රී ලංකාවේ නොනැසී පවතින ග්‍රාමීය දරිද්‍රතාව, මන්දගාමී කාර්මිකකරණය සහ නාගරික රැකියා උත්පාදනය අතින් පවතින දුර්වලතා සමඟ සමීප සම්බන්ධතාවක් පෙන්වනවා. කෘෂිකර්මාන්තය ශ්‍රම බලකායෙන් හතරෙන් එකක් පමණ සේවයේ යොදවන අංශය වුණත් එයින් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය ඉතා කුඩා කොටසකට සීමා වෙනවා. මේ නිසා කාර්‍යක්ෂමතාව සහ ඵලදායිතාව අඩු මට්ටමක තියෙන්නේ. එමඟින් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට ලැබෙන්නේ ඉතාමත් අඩු ආදායම්.
ඒ විතරක් නෙවෙයි. කර්මාන්ත සහ නවීන සේවාවන් ග්‍රාමීය ප්‍රදේශවල තියෙන එලදායී භාවිතයකට ලක් නොවූ අතිරික්ත ශ්‍රමය අවශෝෂණය කර ගැනීමට තරම් වේගයෙන් හෝ පුළුල් ලෙස ව්‍යාප්ත වෙලා නෑ. බොහෝ විට ‘දේශීය නිෂ්පාදකයා නඟා සිටුවීමේ’ නාමයෙන් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සාධාරණීකරණය කරලා ක්‍රියාත්මක කළත් වර්ධනය වීමේ හැකියාව තියෙන, අපනයනය කිරීමට සහ රැකියා නිර්මාණය කිරීමට හැකි තරඟකාරී කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ.
ඒ වෙනුවට, ඔවුන් කරන්නේ කුඩා දේශීය වෙළඳපලවල් තරඟකාරිත්වයෙන් ආරක්ෂා කරන එකයි. මේකෙන් සිද්ධ වෙන්නේ ඵලදායිතාව වැඩි කරගෙන ලාභ ලබනවාට වඩා සමාගම්වලට වෙළඳපළේ ඇති වන භාණ්ඩ හා සේවාවල හිඟයෙන් ලාභ ලැබීමට දිරිමත් කිරීමක්.
යන්ත්‍රෝපකරණ, අමුද්‍රව්‍ය සහ අතරමැදි යෙදවුම් ආනයනය කිරීමේදී වැඩි වැඩියෙන් බදු අය කරන විට, ආයෝජනය කිරීම, නවෝත්පාදනය කිරීම සහ පරිමාණය වැඩි කිරීම කියන දේවල් වෙනුවෙන් වැය වන වියදම වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලය පුරෝකථනය කරන්න පුළුවන්: කර්මාන්තශාලා ප්‍රමාණය ඉතා අඩු වෙනවා, සේවා මධ්‍යස්ථාන ප්‍රමාණය ඉතාමත් අඩු වෙනවා. මේ නිසාම යැපුම් කෘෂිකර්මාන්තයේ හෝ අවිධිමත් රැකියාවල නිරත වී එම අංශවලින් වෙනත් අංශයක රැකියාවක් කිරීමේ හැකියාවක් නැතිව කෘෂිකර්මාන්තයේම සිරවී සිටින තරුණ තරුණියන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා.
ආරක්ෂණය ලබා දෙන්නේ කාටද?
ඉහළ ආනයන පාලනයන්, පැරා-තීරුබදු සහ බලපත්‍ර අවශ්‍යතාවන් බොහෝ විට පෙන්වන්නේ ‘ගොවීන් ආරක්ෂා කිරීම’ හෝ ‘දේශීය කර්මාන්ත සුරැකීම’ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග විදිහටයි. ප්‍රායෝගික තත්ත්වයේදී මොවුන් සීමිත තරඟකාරිත්වය සහ විනිවිදභාවයකින් තොර තීරණ ගැනීම මත තමන්ගේ සමෘද්ධිය හෝ දියුණුව ළඟා කරගන්නා වෙළඳුන්, දේශපාලනික සම්බන්ධතා ඇති ව්‍යාපාරික කණ්ඩායම් සහ සමාජ - දේශපාලනික පරිසරයන්ගෙන් වාසි ලබන්නන්ගෙන් වගේ ඉතාමත් සීමිත වෙළඳ ප්‍රජාවක් ආරක්ෂා කරමින් ඔවුන්ව පොහොසත් කරලා තියෙනවා.
මෝටර් වාහනවල සිට කුකුළු ආහාර දක්වා, ළූණු සහ අර්තාපල් සිට ඉදිකිරීම් ද්‍රව්‍ය දක්වා, බදු සහ කෝටාවල ඇති වන හදිසි වෙනස්කම් නිසා නියම වේලාවට නිවැරදි තොග රැස් කරගෙන සිටින හෝ බලපත්‍ර ඇති අයට අනපේක්ෂිත ලාභ නැවත නැවතත් ලැබිලා තියෙනවා.
මේ අතර, මිලියන 22ක පාරිභෝගිකයින් ඉහළ මිල ගණන් ගෙවමින් අදාළ පිරිවැය ගෙවලා තියෙනවා. ඒ මිලියන 22 ඇතුලේ දුප්පත්, දුප්පත් වෙන්න ආසන්න මට්ටමක ඉන්න අය එහෙමත් නැත්නම්, තවත් එක ආර්ථික කම්පනයකින් දුප්පත්කමට වැටෙන පිරිසක් ඉන්නවා.
ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වතාවක් මේ තර්කය පැහැදිලිවම තේරුම් ගත්තා: ඔහු කිව්වා මේ ප්‍රතිපත්තිය භාවිත කරන්නේ දේශීයව ක්‍රියාත්මක වන පවුල් ව්‍යාපාර කීපයක් ආරක්ෂා කර ගන්න කියලා. ඒ වෙනුවෙන් රටේ මුළු ජනගහනයම වන්දි ගෙවන්න ඕන තත්තවයකුයි තියෙන්නේ.
ආරක්ෂණවාදයේ දේශපාලන ආර්ථිකය කියන්නේ මෙන්න මේකට: සමාජයේ ඉහළින්ම ඉන්න ප්‍රතිලාභීන්ගේ එකමුතුවක් පවත්වා ගෙන යන අතරේ සමාජ ස්ථරයේ පහළින්ම ඉන්න කොටසට තේරීම් සහ විකල්ප ඉතාමත් අඩු නිසා මිල අධික පරිභෝජනයට යටත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා.
අපි වෙළඳපළ විවෘත කළොත් මොකද වෙන්නේ?
දැන් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අන්තයට හරවලා හිතලා බලන්න. අමතර ආනයන බදු සහ සීමාවන් ක්‍රමයෙන් ඉවත් කළොත්, ආහාර, ඇඳුම් පැළඳුම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය වගේ එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ පාරිභෝගිකයන්ට ලාභදායී මිලකට ගන්න පුළුවන්. තමන්ගේ ආදායමෙන් වැඩි කොටසක් මූලික අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරන පුද්ගලයින්ට, විශේෂයෙන් දුප්පතුන්ට සහ පහළ මධ්‍යම පන්තියට මේ වෙනස උදව්වක්.
අඩු ආනයන බදු මඟින් ගොවීන්ට, කුඩා ව්‍යාපාරවලට සහ සේවා සපයන්නන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට හැකිවීමත් ලාභදායී තත්ත්වයක්. මේ ක්‍රමය අනුගමනය කළොත් විදේශීය තරඟකාරිත්වයෙන් ආරක්ෂා වෙවී හැංගි හැංගි ඉන්නවට වඩා හොඳින් තරඟ කිරීමේ හැකියාව වර්ධනය කර ගන්න පුළුවන්. කාලයත් එක්ක, වෙනත් රටවල් එක්ක විවෘතව ගනුදෙනු නොකරන සංවෘත දේශීය වෙළඳපොළක පහසුවෙන් ලාභ ලබන ව්‍යාපාරයක මට්ටමේ ඉඳලා විශාල කලාපීය සහ ගෝලීය වෙළඳපොළවල තරඟකාරීව කටයුතු කරන තැනට පත් වෙන්න පුළුවන්.
රජයේ ආදායම ගැන කියන්න පුළුවන් මොකක්ද? වෙළඳ බදු වර්තමානයේ මූල්‍ය ලැබීම්වලින් සැලකිය යුතු කොටසකට දායක වෙනවා වුණත් රජයට ආදායම් ලබා ගන්න තියෙන වඩාත්ම විකෘති සහ ප්‍රතිගාමී උපකරණය තමයි ඒක.
ශ්‍රී ලංකාවේ දේශීය බදු පදනම වඩා හොඳ ආදායම් බදු, ආයතනික බදු සහ පරිභෝජන බදු පරිපාලනය හරහා ටිකෙන් ටික පුළුල් කරද්දි, ආහාර සහ නවාතැන් මත දැරිය නොහැකි තරම් බදු පනවන්නේ නැතිව රජයට ආදායම් පවත්වා ගැනීමට හෝ ආදායම් ඉහළ නංවාගන්න පුළුවන්.
වෙනත් රටවල අත්දැකීම්වලින් පෙනී යන්නේ, සංයමයක් ඇතිව අදාළ දේට පමණක් කරන වියදම් සමඟ ඒකාබද්ධව වෙළඳ බදුවලින් කාර්යක්ෂම දේශීය බදු වෙත ක්‍රමයෙන් මාරුවීම, මූල්‍ය සෞඛ්‍යයට සහ පාරිභෝගිකයන්ට අඩු මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට රුකුලක් වෙනවා. මේකට බලපාන්නේ කොයිතරම් මට්ටමකින් බදු පනවනවාද කියන එක නෙවෙයි, බදු එකතු කරන්නේ කොහෙන්ද සහ කොහොමද කියන එකයි.
වඩා වැඳගත් වෙන්නේ මිල ගණන් ආරක්ෂා කිරීම නෙවෙයි ජනතාව ආරක්ෂා කිරීමයි
ශ්‍රී ලංකාවේ දුප්පත්කම ගැන ගැටලුව බොහෝ විට විස්තර කරන්නේ ආදායම් නොමැතිකම විදිහට. නමුත් සාමාන්‍ය ආර්ථිකවිද්‍යා ඇසින් බැලුවම, මේක ප්‍රතිපත්ති මගින් ඇති කරන ලද මිල ගණන් පිළිබඳ ගැටලුවක් බව පේනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ අවශ්‍යතා සපුරා ගන්න බැරි තරම් ඒවාගේ මිල ගණන් ළඟා විය නොහැකි මට්ටමක රැඳී තිබීම.
දිගින් දිගටම බදු අය කරමින්, මිනිස්සුන්ට දරන්න බැරි මිලකට ආහාර, නිවාස මිල ඉහළ දමමින් නාගරික රැකියා ලබා ගැනීමේ ප්‍රවේශය සීමා කළොත්, ඒකෙන් සැබෑ නිෂ්පාදනය වැඩි කරලා ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට උපකාර කරනවාට වඩා දුප්පත්කම දිගටම පවත්වාගෙන යන්න හේතු වේවි.
නමුත් වෙළඳපල විවෘත කරලා අමතර ආනයන බදු අඩු කරනවා නම්, බදු ක්‍රමය වැඩිදියුණු කරලා නිවාස හා රැකියා වෙනුවෙන් වැඩි වැඩියෙන් ආයෝජනය කරනවා නම්, මිල ගණන් ඉහළ මට්ටමක තබා ගැනීම වෙනුවට ජනතාවට උපකාරයක් කරන්න පුළුවන්.
ප්‍රශ්නය තියෙන්නේ ශ්‍රී ලංකාවට ලිබරල්කරණය කරන්න පුළුවන්ද බැරිද කියන එක නෙවෙයි. ඇත්තම ප්‍රශ්නය වෙන්නේ ආරක්ෂණ ප්‍රතිපත්තියේ නාමයෙන් දුප්පතුන්ව කුසගින්නෙ තියෙන, ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙමින් සහ බැහැර කරන ලද ආකෘතියක් ඇතුලේ කොච්චර කාලයක් දරාගෙන ඉන්න පුළුවන්ද කියන එකයි.
(මෙම ලිපිය සම්පාදනය කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකු සහ දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ (CEPA) විධායක අධ්‍යක්ෂවරයෙකු වන සිරිමල් අබේරත්න මහතා විසිනි. ඔහුව සම්බන්ධ කර ගැනීමට sirimal@econ.cmb.ac.lk යන ඊ-තැපැල් ලිපිනය හෝ @SirimalAshoka යන ට්විටර් ගිණුම භාවිත කළ හැකිය)

