ට්‍රම්ප් ඊළඟට වහන සමුද්‍ර සන්ධිය මලක්කාවද?   

දිල්මිණී අබේරත්න විසිනි


හුඟ දෙනෙක් අහලාවත් තිබුනේ නැති හෝමුස් සමුද්‍ර සන්දිය නිසා මේ දවස්වල ලෝකෙ පුරා මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑමක් වෙලා තියෙනවා. මොකද ඉන්ධන ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයක් විදිහට හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය මැදිහත් වෙලා වහපු නිසා බොරතෙල් මිල ගණන් ඉහළ ගියා. ඒ නිසා අපේ කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන් හැම දෙයකම මිල ගණන් ඉහළ ගියා. කොටින්ම කිව්වොත් ලංකාවේ අපිට ආයෙමත් ඉන්ධන කෝටා ක්‍රමයකට පවා යන්න වුණා. එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ ආයතනය කියලා තියෙනවා මේ අර්බුදය නිසා 2026 වසරේ ලෝකයේ ආර්ථික වර්ධනය 2% දක්වා පහත වැටෙනවා කියලා.  

සමුද්‍ර සන්ධියක් කියන්නේ මොකකටද?

ඉතිං සමුද්‍ර සන්ධි කියන්නේ සාගරයක් හරි මුහුදක් හරි වගේ විශාල ජල මාර්ග දෙකක් එකිනෙක සම්බන්ධ කරන පටු, ස්වාභාවික ජල මාර්ගවලට. සාමාන්‍යයෙන් සමුද්‍ර සන්ධිවලට භූ දේශපාලනික හා උපායමාර්ගික වැදගත්කමක් තියෙනවා. ඒ නිසාම මේවා වැදගත් නැව් මාර්ග සහ සමුද්‍රීය මාර්ග විදිහට පාවිච්චි වෙනවා. වෙනත් විදිහකට කිව්වොත් සමුද්‍ර සන්ධි කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් එක් එක් රටවල් අතර සම්බන්ධතා ඇති කරගත්තු ලෝකෙක, විදේශ ප්‍රතිපත්තියේ වැදගත් මෙවලමක්. ඒ වගේ තවත් එක සමුද්‍ර සන්ධියක් තමයි මලක්කා සමුද්‍ර සන්ධිය. හෝමුස් සමුද්‍ර සන්ධියට වගේම මලක්කා සමුද්‍ර සන්දිය ගැනත් මේ වෙද්දි ඇමරිකාව හරිම උනන්දුයි.

හෝමුස් වගේද මලක්කා?

මලක්කා සමුද්‍ර සන්ධියට මලක්කා කියන නම ලැබුණේ 16 වන සහ 17 වන සියවස්වල මැලේ වෙරළ තීරයේ තිබුණ මෙලාකා /මැලක්කා කියන වෙළඳ වරාය නිසයි. දිගින් කිලෝමීටර් 900ක් වන මේ සමුද්‍ර සන්ධිය ඉන්දියානු සාගරය සහ පැසිෆික් සාගරය සම්බන්ධ කරන මුහුදු මාර්ගයක්. ඊට බටහිරින් තියෙන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත, නැගෙනහිරින් මැලේසියාව සහ දකුණින් තායිලන්තය. ඒ අනුව මලක්කා සමුද්‍ර සන්ධියේ ප්‍රධාන මායිම් රටවල් වන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය.   

Image by Peter_Lindenau from Pixabay

මේ සමුද්‍ර සන්ධියේ උතුරු දොරටුවේ ඉඳන් කිලෝමීටර 150ක් විතර දුරින්, ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත් පිහිටලා තියෙන නිසා මලක්කා සමුද්‍ර සන්දිය ඉන්දියාවටත් උපායමාර්ගිකව වැදගත්. මොකද ඉන්දියාවේ වෙළඳාමෙන් සැලකිව යුතු ප්‍රමාණයක් මේ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරනවා. 

2026 මාර්තු මාසෙ ඇමරිකාව ඉන්දුනීසියාවත් එක්ක අලුත් ගිවිසුමකට එළඹුණා. ඒකෙන් සිද්ධ වෙන්නේ ඇමරිකාවේ හමුදා ගුවන් යානාවලට ඉන්දුනීසියානු ගුවන් අවකාශයට කලින්ට ව්ඩා වැඩි මෙහෙයුම් ප්‍රවේශයක් ලබෙන එකයි. ඒකෙන් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඇමරිකාවේ නිරීක්ෂණ කටයුතු සහ පාලනය වැඩි දියුණු කරන්න පුළුවන්.  

ඒත් ඇයි ඇමරිකාව මේ වගේ ගිවිසුමක් ගැහුවේ?

ඒක තේරුම් ගන්න නම් මලක්කා සමුද්‍ර සන්දියේ වැඳගත්කම අපි තේරුම් ගන්න ඕන. මලක්කා සමුද්‍ර සන්දියේ තියෙන විශේෂත්වය ගැන කතා කළොත්, මේක ලෝකේ තියෙන දෙවන කාර්යබහුලම තෙල් මාර්ගය කියලත් කියනවා. පළමු තැන ගන්නේ හෝමුස් සමුද්‍ර සන්දිය. මලක්කා සමුද්‍ර සන්දියේ අඩුම පළලක් සහිත තැන කි.මී. 3යි. මුහුදු බොරතෙල්වලින් සියයට 22% - 29% අතර ප්‍රමාණයක් සහ සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දුනීසියාව කියන රටවල් පසුකර යන සියලුම වාණිජ නැව්ගත කිරීම්වලින් 25% -30% අතර ප්‍රමාණයක් මලක්කා සමුද්‍ර සන්දිය හරහා ගමන් කරනවා.   

Image by dendoktoor from Pixabay

බොහෝ දෙනෙක් පිළිගන්නේ නැති වුණත්, විචාරකයින් මේ වෙද්දි මත පළ කරලා තියෙනවා ඇමරිකාව මේ ලෑස්ති වෙන්නේ යුද්ධයකට එහා ගිය වැඩකට කියලා. කොහොමත් ඉතිං මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ. අවි ආයුධවලින් කරන යුද්ධයකට වඩා තෙල් සැපයුම් මාර්ග අවහිර කිරීමෙන් ඇමරිකාව සිය ප්‍රතිවාදී චීනයේ බලය බිදීම සහ චීනයට වඩා උපායමාර්ගික ආධිපත්‍යයක් ලබා ගන්න කරපු වැඩක් කියලා මත පළ වෙනවා. පසුගිය අවුරුද්දේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හැම රටකටම වගේ තීරු බදු පැනෙව්වා. මේ අවුරුද්ද පටන් ගනිද්දිම වෙනිසියුලාවට, පස්සේ ඉරානයට අවි ආයුධවලින් පහර දුන්නා. ඒ කරපු දේවල් දැක්කම, මලක්කා සමුද්‍ර සන්දියට අත තියෙන්නේ, චීනයට සහ මුළු ආසියාවටම රිද්දන්න වෙන්නත් බැරි නෑ.   

'මලක්කා උභතෝකෝටිකය' | Malacca Dilemma

Image by PPPSDavid from Pixabay

හෝමුස් වගේ නෙවෙයි මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ තෙල්වලට අමතරව, නිමි භාණ්ඩ, රථවාහන සහ සෙමි කන්ඩක්ටර්ස් වගේ දේවල් ප්‍රවාහනය කරනවා. චීනය ඇරුණාම, දකුණු කොරියාව, ජපානය සහ තායිවානය කියන රටවල්වලට බොරතෙල් ආනයනය සහ බලශක්ති සැපයුම්වලින් සියයට 80ක් විතර සිද්ධ වෙන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා. මෙම සමුද්‍ර සන්ධිය මත යැපීම චීනයේ බලශක්ති ආරක්ෂාවට සැලකිය යුතු අවදානමක් ඇති කරනවා. ඒ නිසා කවදහරි දවසක මේ සමුද්‍ර සන්දිය නිසා තමන්ට දිගුකාලීන භූ දේශපාලනික අවදානමක් ඇති වෙයි කියලා චීනය කලින්ම දැනගෙන හිටියා. ඒකට කියන්නේ 'මලක්කා උභතෝකෝටිකය' (මලක්කා ඩිලෙමා) කියලා.  

හෝමුස් සහ මලක්කා සමුද්‍ර සන්ධි

හෝමුස් සහ මලක්කා කියන සමුද්‍ර සන්ධි දෙකම සලකලා බැලුවොත්, ඒ අතර තියෙන සමාන අසමානතා අනුව වැඳගත්කම සොයා බලන්න පුළුවන්. 

හෝමුස් සමුද්‍ර සන්ධිය පිහිටලා තියෙන්නේ ඉරානය සහ ඕමානය අතර, හැබැයි මලක්කා සමුද්‍ර සන්ධිය පිහිටලා තියෙන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාව අතර. ඉතිං උපායමාර්ගික කාර්යභාරය අතින් ගත්තම හෝමුස් සමුද්‍ර සන්ධිය ගල්ෆ් කලාපයෙන් තෙල් අපනයනය කිරීමේ දොරටුව විදිහටත් මලක්කා සමුද්‍ර සන්ධිය ආසියාවේ වෙළඳ හා බලශක්ති කොරිඩෝව විදිහටත් සලකනවා. 

බොර තෙල් ප්‍රවාහනය අතින්  ගෝලීය ඛනිජ තෙල් ද්‍රව පරිභෝජනයෙන් 20% -25% ක් පමණ සිද්ධ වෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා. ගෝලීය සමුද්‍රීය තෙල් වෙළඳාමෙන් 29% ක් පමණ සිද්ධ වෙන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා.  

Image by catmoz from Pixabay

හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුව ගමන් ඒ බලපෑම ලැව් ගින්නක් වගේ මුළු ලෝකෙ පුරාම ඇවිලිලා ගියා. ඒකට හේතු වුණේ හෝමුස් සමුද්‍ර සන්ධිය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් විකල්ප මාර්ගයක් නැති එක. ඒ විතරක් නෙවෙයි, සවුදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ඉරාකය, කටාර් වගේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයින්ට තමන්ගේ නිෂ්පාදන වෙළඳපළට ගෙනියන්න තියෙන එකම අපනයන මාර්ගයත් හෝමුස් සමුද්‍ර සන්ධිය විතරයි. 

මලක්කා සමුද්‍ර සන්ධිය වඩාත් වැඳගත් වෙන්නේ චීනය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දියාව වගේ ආර්ථිකවලට. මේ සමුද්‍ර සන්ධිය වැහුවොත් සුන්ඩා සහ ඉන්දුනීසියාවේ ලොම්බොක් වගේ ඒ වෙනුවට භාවිත කරන්න පුළුවන් වෙනත් විකල්ප මාර්ග තියෙනවා.  ඒත් ප්‍රශ්නය වෙන්නේ ඒවායේ දුර සහ ප්‍රවාහන කාලය එක්ක ගත්තම අදාළ ප්‍රවාහන භාණ්ඩවල මිල ගණන් ඉහළ යන එක. 

පවතින තත්ත්වය

මේ සමුද්‍ර සන්ධි දෙක සම්බන්ධයෙන් තියෙන අවදානම් මොන වගේද කිව්වොත්, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව භූ දේශපාලනික ගැටුම් අවදානමත්, මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මුහුදු කොල්ලකෑම් සහ තදබදයක් ඇති වීමේ අවදානමත් තියෙනවා. ඒ අතරින් හෝමුස් සමුද්‍ර සන්දිය දැනටමත් ප්‍රශ්නයකට මුහුණ දීලයි තියෙන්නේ.  

මේ හැම දෙයක් අතරින්ම වඩාත් වැඳගත් වෙන්නේ ආර්ථිකයට ඇති වෙන බලපෑම. මොකද යුද්ධ, මතවාද, ප්‍රතිපත්ති වෙනස්කම් ලෝකේ කොහේ සිද්ධ වුණත්, ඒවා මොන විදිහට සිද්ධ වුණත්, ඒක මුලින්ම දැනෙන්නේ අපේ පර්ස් එකට. ඉතිං හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුව ගමන් ගෝලීය වශයෙන් තෙල් මිල උච්චාවචනය වුණා. හැබැයි මලක්කා සමුද්‍ර සන්ධියට බාධාවක් ඇති වුණොත් ඒක බලපාන්නේ තෙල්වලට විතරක් නෙවෙයි. ඒකෙන් ආසියාවට විශාල වෙළඳ බාධාවක් ඇති වෙනවා.