දිල්මිණී අබේරත්න විසිනි
“ඔයා හොඳින්ද?”
“ඔයා ඉන්නේ සතුටින්ද?”
කෙනෙක්ගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවම, අවංකවම උත්තර දෙන්න අමාරුයි. මොකද සතුට කියන්නේ ඒ තරම් සාපේක්ෂ දෙයක්. හැඟීමක් නිසා මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් රටක් විදිහට සතුටින්ද ඉන්නේ දුකින්ද ඉන්නේ කියලා මනින්න දර්ශකයක් තියෙනවා. හැම අවුරුද්දෙම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජාතීන්ගේ Sustainable Development Solutions Network එකෙන් තමයි සතුට කිරලා මැනලා රටවල් පෙළ ගස්වලා තියෙන්නේ. ඒ අනුව සලකා බලපු කාල පරිච්ඡේදය වෙන්නේ 2023 - 2025. ඉතිං 2026දී ලෝකේ සතුටුම රට ෆින්ලන්තය වෙද්දි අසතුටුම රට ඇෆ්ගනිස්ථානය. රටවල් 147 අතරින් 134 වෙනි තැනට ආපු ලංකාව ඉන්නේ ලෝකයේ අසතුටුදායකම රටවල් අතරේ.
සතුට මනින හැටි
මේ වගේ ශ්‍රේණිගත කිරීමකට පාදක කරගෙන තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, ආයු අපේක්ෂාව, නිදහස, දුෂණය අඩුකම, ත්‍යාගශීලීත්වය කියන දේවල්. සතුටු දර්ශකයේ අගය 0 ඉඳන් 10 දක්වා විහිදෙනවා. ලංකාවට මේ දර්ශකයේ ලැබිලා තියෙන්නේ 4.013 අගයක්. දර්ශකයේ ලකුණු 10න් 7.7ක් ගත්ත ෆින්ලන්තය තමයි 2026දී ලෝකයේ සතුටුදායකම රට. ෆින්ලන්තය සතුටුදායකම රට බවට පත්වුණු පළවෙනි වතාව මේක නෙවෙයි. අඛණ්ඩව අවුරුදු නමයක් පුරාවට සතුටු දර්ශකයේ මුල්ම තැන ගත්තේ ෆින්ලන්තය. ඔවුන්ගේ සතුටේ රහස මොකක්ද කියලා ඇහුවම ලැබුණ උත්තර අතරේ මේ වගේ දේවල් කියවිලා තිබුණා.
Image by JonPauling from Pixabay
“අවුරුදු හතක ළමයෙක්ට උනත් තනියම ඉස්කෝලේ ගිහින් තනිවම ආපහු ගෙදර එන්නට තරම් ආරක්ෂිත බවක් තියෙනවා. කවුරුවත් බයේ ජීවත් වෙන්නේ නෑ. හැමෝටම නිදහස තියෙනවා. කිසිම කෙනෙක් දුන්නු පොරොන්දුවක් කඩ කරන්නෙත් නෑ. ඒ වගේම පරිසරයට සමීපව ජීවත් වෙනවා කියන්නෙත් සතුටට හේතුවක්. ”
2026 අවුරුද්දේ ලෝකේ සතුටුදායකම රටවල් 10
ෆින්ලන්තය
අයිස්ලන්තය
ඩෙන්මාර්කය
කොස්ටරිකාව
ස්වීඩනය
නෝර්වේ
නෙදර්ලන්තය
ඊශ්‍රායලය
ලක්සම්බර්ග්
ස්විට්සර්ලන්තය
ෆින්ලන්තය ඇරුණහම මේ කියන ලැයිස්තුවේ උඩම ඉන්න රටවල් බොහොමයක් ස්කැන්ඩිනේවියන් රටවල්. සතුටුදායක බව මනින දර්ශකයේ ලොකුම පිම්මක් පැනලා ඉදිරියට ඇවිත් තියෙන්නේ ලතින් ඇමෙරිකානු රටක් වුණු කෝස්ටරිකා. 2023දී 23 තැන හිටපු කෝස්ටරිකා 2026දී ලෝකෙන්ම 4 වෙනි තැනට ළඟා වෙලා. ලතින් ඇමරිකානු රටත් සතුටු දර්ශකයේ මේ තරම් දුරක් ඉදිරියට ආපු පළවෙනි අවස්ථාව මේක. කෝස්ටරිකාවල සතුටේ රහස ‘ශක්තිමත් පුද්ගල සහ සමාජ සම්බන්ධතා’ කියලා සඳහන් වෙනවා.
2026 අවුරුද්දේ ලෝකේ අසතුටුදායකම රටවල් 10
සතුටුදායක බව මනින දර්ශකයේ අන්තිමට ඉන්න රටවල්වල විවිධාකාරයේ අර්බුද දකින්න ලැබෙනවා. ඒවා පෙළගස්වලා බැලුවොත් ලෝකේ අසතුටුදායකම රට ඇෆ්ගනිස්ථානය.
147. ඇෆ්ගනිස්ථානය
146.සියෙරා ලියෝන්
145.මලාවි
144. සිම්බාබ්වේ
143. බොස්ට්වානා
142. එස්වාටිනි
141. ලෙබනන්
140. කොංගෝ
139. ඊජිප්තුව
138. ටැන්සානියාව
මූලාශ්‍රය : Visual Capitalist
යුධ උණුසුම පිරුණු සටන් වදින රටවල් ඉන්නේ සතුටින්ද?
Image by Dariusz Sankowski from Pixabay
මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන රටවල් වෙන්නේ යුද්ධෙකට මැදි වෙලා ඉන්න ඇමරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය. ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න රටවල් 10 න් 8 වෙනි තැන ඉන්නේ ඊශ්‍රායලය. ඇමරිකාව ඉන්නේ 23 තැන, ඉරානය 97 වෙනි තැන. ඉංග්‍රීසි කතා කරන අනෙකුත් රටවල් විදියට ඔස්ට්‍රේලියාව දර්ශකයේ 15 වෙනි තැන, කැනඩාව 25 වගේම මහා බ්‍රිතාන්‍යය 29 වෙනි තැන රැඳිලා ඉන්නවා.
මේ අවුරුද්දේ සතුටු දර්ශකයේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ සතුට සහ සමාජ මාධ්‍ය භාවිතය කියන කාරණයට. වැඩි වේලාවක් සමාජ මාධ්‍ය භාවිත කරන අයගේ සතුට අඩු මට්ටමක තියෙන බවත්, විශේෂයෙන් තරුණ ළමයින් අතර මේ තත්ත්වය දකින්න ලැබෙන බවත් සඳහන් වෙනවා.
මේ වාර්තාවේ තවත් වැදගත් සොයාගැනීමක් තමයි සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය භාවිතය නොකරන අයට වඩා අඩු වේලාවක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන අයගේ සතුට වැඩියි කියන එක. ඉතින් මෑත කාලීනව බොහොමයක් බටහිර රටවල් තමන්ගේ ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සීමා පැනවීමක් පවා දකින්න ලැබුණා.
සතුටින් ඉන්නේ කොහොමද?
Image by Gino Crescoli from Pixabay
කොහොම වුණත් ලංකාවේ සතුට අසතුට කියන කාරණයට අපේ රටේ නිෂ්පාදනය කොච්චර දුරකට වර්ධනය කර ගන්නවද? එයින් එක් එක් පුද්ගලයාට ලැබෙන සැබෑ පංගුව කොයිතරම්ද? යල් පැන ගිය නීති රීතිවලින් සීමා නොවී නිදහසේ වෙළඳාමක් කරගෙන යන්න පුළුවන්ද? තමන් කැමති දෙයක් තෝරලා බේරලා ගන්න තරම් විකල්ප නිෂ්පාදන වෙළඳපළේ තියෙනවද? එහෙමත් නැත්නම් තියෙන දෙයක් අරන් එන්න වෙනවද? කියන එක බලපානවා. පාරේ රස්තියාදු වෙමින්, හොඳ කැමක් බීමක්, බෙහෙතක් නැතිව, වැඩ වර්ජන උද්ඝෝෂණවලට මුහුණ දෙමින් අධික උද්ධමනකාරී, අස්ථාවර, දූෂිත වංචාකාරී හැසිරීම් හැමදේම බලපානවා. ඒ අනුව තමයි පුද්ගලයෙකුගේ සතුට, රටක සතුට තීරණය වෙන්නේ. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කළ හැකි විනිවිද භාවයෙන් යුතු පාලන තන්ත්‍රයක්, තේරීමේ හැකියාවක් ඇති වෙළඳපළක්, නිෂ්පාදනය වැඩි කර ගැනීමට කැප වෙන ශ්‍රම බලකායක් වගේම කුඩා පරිමාණ ව්‍යාපාරවලට අතහිත දෙන විශ්වසනීය ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලබාදීම තුළින් ව්‍යාපාර කර ගෙන යාමට සුදුසු නිදහස් තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමත් ඒ මඟින් තේරීමේ හැකියාව වැඩි ඉහළ ජීවන මට්ටමක් ඇති කිරීමත් වැඳගත්.

