- රියාද් රිෆායි විසිනි
ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ආතතීන් නිසා ගෝලීය ගුවන් ගමන් සිතියමේ අස්ථාවර බව නැවත වරක් හෙළිදරව් වී තිබේ. දශක තුනක් තිස්සේ මැද පෙරදිග කලාපයේ "දැවැන්ත සම්බන්ධීකාරකවරුන්" (super-connectors) ලෙස කටයුතු කරන එමිරේට්ස්, කටාර් එයාර්වේස් සහ එතිහඩ් එයාර්වේස්, පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ප්‍රධාන ප්‍රභව හරහා යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියානු කලාපය සම්බන්ධ කරමින් භූගෝලීය කාර්යක්ෂමතාව සහතික කිරීමේ පොරොන්දුව මත ප්‍රමුඛ ගෝලීය ජාලයක් ගොඩනඟා ගත්හ.
එහෙත් ඔවුන්ගේ සාර්ථකත්වයට ඉඩ දුන් භූගෝලීය තත්ත්වයම මේ වන විට ව්‍යුහාත්මක අවදානමක් හෙළි කිරීමට සමත්ව තිබේ. භූ දේශපාලනික අර්බුද ඔස්සේ ඉරානය, ඉරාකය හෝ නැගෙනහිර මධ්‍යධරණී කලාපය හරහා ගුවන් අවකාශයට බාධා එල්ල වන විට, මෙකී ප්‍රධාන මධ්‍යස්ථානයේ සහ කුඩා ගුවන් තොටුපලවල සිට ඒ වෙත පැමිණෙන ගුවන් ගමන්වල ආකෘතියේ කාර්යක්ෂමතාව ක්ෂණික අවදානමකට ලක් වේ. එවැනි අස්ථාවර පරිසරයක් තුළ, ලොව පුරා ගුවන් සමාගම්වලට ආරක්ෂිතව ක්‍රියාත්මක වීම සඳහා විකල්ප සැලසුම් සහ ශක්තිමත් පද්ධති අවශ්‍ය වනු ඇත.
මෙම නැගී එන අවශ්‍යතාවය මඟින් ශ්‍රී ලංකාවට උපායමාර්ගික අවස්ථාවක් ඉදිරිපත් කරයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඌන උපයෝගී යටිතල පහසුකම් මඟින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ විභව ද්විතියික ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කරයි. එමෙන්ම ජාතියේ ගුවන් සේවා වත්කම්වල වාණිජ වටිනාකම ශක්තිමත් කරමින් අස්ථාවර කාලවලදී ගෝලීය ගුවන් සමාගම්වලට සහාය වීමට මෙන්ම ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ පාඩු අවම කිරීමට හැකියාව ලබා දෙනු ඇත.
“Super-Hub”ආකෘතියේ සීමාවන්
නූතන මැද පෙරදිග ගුවන් සේවා ආකෘතිය, මූලික වශයෙන් ස්ථාවර සහ විවෘත ගුවන් අවකාශය මත රඳා පවතී. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන කේන්ද්‍රීය ගුවන්තොටුපළවල් ගෝලීය හරස් මාර්ග ලෙස ක්‍රියා කරන්නේ, ඒ ඔස්සේ ගුවන් යානාවලට මහාද්වීප අතර කෙටිම මාර්ග ක්‍රියාත්මක කළ හැකි බැවිනි.
කෙසේ වෙතත්, කලාපීය ගැටුම මෙම කාර්යක්ෂමතාවයට කිහිප ආකාරයකින් බාධා කරයි.
ගුවන් අවකාශයේ බාධාව
Image by ThePixelman from Pixabay
හමුදා ආතතීන් නිසා ගුවන් සමාගම්වලට ඉරාන, ඉරාක සහ නැගෙනහිර මධ්‍යධරණී ගුවන් අවකාශයේ විශාල කොටස් මඟ හැරීමට බල කෙරෙයි. යුරෝපය ආසියාවට සම්බන්ධ කරන ගුවන් ගමන් අරාබි මුහුද සහ ඉන්දියන් සාගරය හරහා දිගු දකුණු මාර්ග පසු කළ යුතු අතර එමඟින් ඇති වන ගුවන් ගමන් කාලය සහ මෙහෙයුම් සංකීර්ණතාව වැඩිය.
මෙහෙයුම් පිරිවැය ඉහළ යාම
දිගු මාර්ග සෘජුවම ඉහළ ඉන්ධන පරිභෝජනයට සහ ගුවන් ගමන් කාලය වැඩි කිරීමට හේතු වේ. අමතර ඉන්ධන පැටවීම් සඳහා ගුවන් සමාගම් බොහෝ විට භාණ්ඩ ප්‍රවාහනය සීමා කළ යුතු අතර එමඟින් වැදගත් ආදායම් ප්‍රවාහයක් අහිමි කරයි. දැනටමත් අඩුවෙන් ලාභ ලබන ගුවන් සේවා කර්මාන්තයේ, ගුවන් ගමන්වලට සිදු වන බාධා නිසා තවත් කඩිනම් මූල්‍ය පාඩු ඇති විය හැකිය.
ආරක්ෂාව සහ රක්ෂණ අවදානම
උත්සන්න වූ ගැටුම් කාල පරිච්ඡේද ගුවන් සේවා රක්ෂණ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සමත් වේ. විභව ගැටුම් කලාප අසල ක්‍රියාත්මක වන ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය ඉහළ අවදානම් තක්සේරු කිරීම්වලට මුහුණ දෙන අතර එය මෙහෙයුම් සැලසුම්කරණය සහ ආයෝජක විශ්වාසය යන දෙකටම බලපායි.
මෙකී පීඩන ගල්ෆ් මධ්‍යස්ථාන ආකෘතිය යල් පැන ගිය එකක් බවට පත් නොකරන නමුත් එම පීඩනයන් තීරණාත්මක දුර්වලතාවයක් හෙළි කිරීමට සමත් වේ. ගෝලීය ගුවන් සේවා යටිතල පහසුකම් බෙහෙවින් භූ දේශපාලනිකව සංවේදී කලාපයක සංකේන්ද්‍රණය වී ඇත.
ශ්‍රී ලංකාව ද්විතියික උපායමාර්ගික මධ්‍යස්ථානයක් ලෙස
මෙම අස්ථාවර කලාපවලට දකුණින් ශ්‍රී ලංකාව පිහිටා ඇති අතර එය ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් කොරිඩෝව දිගේ පිහිටා ඇත. දිවයිනේ ගුවන් සේවා යටිතල පහසුකම්, විශේෂයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ උපායමාර්ගික භූගෝලීය පිහිටීම අතින් සහ ඌන උපයෝගි වූ ධාරිතාවයේ දුර්ලභ සංයෝජනයකි.
වැදගත්ම දෙය නම්, ශ්‍රී ලංකාව මැද පෙරදිග ඇති මහා පරිමාණ ගුවන් ගමන් මධ්‍යස්ථාන (mega-hubs) ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ නොකළ යුතුය. මන්ද ඩුබායි හෝ දෝහා වැනි නගරවල පවතින දැවැන්ත මගී ඉල්ලුම, මූල්‍ය පරිසර පද්ධති සහ ගුවන් සේවා පොකුරු පහසුවෙන් ප්‍රතිනිර්මාණය කළ හැකි ඒවා නොවේ.
ඒ වෙනුවට, ශ්‍රී ලංකාවේ යථාර්ථවාදී අවස්ථාව පවතින්නේ විශේෂිත භූමිකාවන් කිහිපයක ගෝලීය ජාල සඳහා සහාය වන ද්විතියික ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට පත්වීම තුළය. ඒ අනුව
• ඉන්ධන පිරවීම සහ කාර්ය මණ්ඩල විවේක ගැනීම් සඳහා විශ්වාසදායක තාක්ෂණික නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස
• ගුවන් අවකාශය වසා දැමීම් හෝ හදිසි අවස්ථාවලදී භාවිතයට ගත හැකි හැරවුම් ගුවන් තොටුපළක් ලෙස
• දකුණු ආසියානු වෙළඳපොළට සේවය කරන භාණ්ඩ හා සැපයුම් ඒකකයක් ලෙස
• ඉන්දියානු සාගරය හරහා ක්‍රියාත්මක වන ගුවන් සමාගම් සඳහා නඩත්තු සහ මෙහෙයුම් ආධාරක පදනමක් ලෙස කටයුතු කළ යුතුය.
මෑත කාලීන කලාපීය ගැටුම් නිසා දැනටමත් ශ්‍රී ලංකාවට පවතින මෙම විභවය පෙන්නුම් කර තිබේ. අස්ථාවර කාලවලදී, ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා තාක්ෂණික සහ හැරවුම් මධ්‍යස්ථාන ලෙස ගුවන් තොටුපළ දෙකම සූදානම් කර ඇති අතර, එය දිගු දුර ගුවන් යානා සඳහා මෙහෙයුම් අඛණ්ඩතාව පවත්වා ගැනීමේදී ඔවුන්ගේ විභව කාර්යභාරය නිරූපණය කරයි.
ඉන්දියානු සාගරය සඳහා ද්විත්ව ගුවන් තොටුපළ උපාය මාර්ගයක්
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා උපාය මාර්ගය එහි ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙක අතර අනුපූරක පද්ධතියක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ - මෙහෙයුම් දොරටුව
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රාථමික මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනු ඇත. රටේ ප්‍රධාන ගුවන් සේවා දොරටුව ලෙස, එය දැනටමත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් බහුතරයක් හසුරුවයි.
අනාගත සංවර්ධනය අවධානය යොමු කළ යුත්තේ,
· දිගු දුර ගුවන් යානා සඳහා වේගවත් හැරවුම් පහසුකම්
· කාර්යක්ෂම භාණ්ඩ ප්‍රවාහන සේවා
· කාර්ය මණ්ඩල වෙනස් කිරීම සහ ඉන්ධන පිරවීමේ මෙහෙයුම් විධිමත් කිරීම
· පුළුල් කරන ලද පර්යන්තය සහ ධාවන පථ ධාරිතාව කෙරෙහිය.
මෙම වැඩිදියුණු කිරීම් මඟින් ගල්ෆ් මධ්‍යස්ථානවල ක්‍රියාත්මක වන දැවැන්ත පරිමාණය අනුකරණය කිරීමට උත්සාහ නොකර වැඩි කළ සංක්‍රමණ මෙහෙයුම් සඳහා සහාය වීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට හැකියාව ලැබේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ - උපායමාර්ගික ආධාරක කඳවුර
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සතුව පුළුල් යටිතල පහසුකම් ඇති නමුත් දැනට ක්‍රියාත්මක වන්නේ ධාරිතාවයට වඩා බෙහෙවින් අඩු මට්ටමකය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමඟ සෘජුවම තරඟ කිරීමට වඩා, මත්තල උපායමාර්ගික ගුවන් සේවා ආධාරක පහසුකමක් ලෙස නැවත ස්ථානගත කළ හැකිය.
එහි විභව භූමිකාවන්ට ඇතුළත් වන්නේ,
• තාක්ෂණික නැවතුම් සහ ගුවන් යානා ස්ථානගත කිරීම
• දිගුකාලීන ගුවන් යානා නැවැත්වීම
• භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් මෙහෙයුම්
• ගුවන් යානා නඩත්තු හා අලුත්වැඩියා පහසුකම් යනාදියයි.
තරඟකාරී ගොඩබෑමේ ගාස්තු, ඉන්ධන මිලකරණය සහ සැපයුම් යටිතල පහසුකම් වැනි සුදුසු දිරිගැන්වීම් සමඟින්, මත්තල ඉන්දියානු සාගර කොරිඩෝව හරහා ක්‍රියාත්මක වන ගුවන් සමාගම් සඳහා ආකර්ශනීය මෙහෙයුම් පදනමක් බවට පත්විය හැකිය.
දකුණු ආසියානු සම්බන්ධතාවය ශක්තිමත් කිරීම
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ගුවන් සේවා වෙළඳපොළවල් කිහිපයකට යාබදව පිහිටා ඇත.
ශ්‍රී ලංකාව ප්‍රධාන ජනගහන මධ්‍යස්ථානවලට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් ලෙස කටයුතු කරන්නේ,
• ඉන්දියාව
• බංග්ලාදේශය
• මාලදිවයින
යන රටවල් සම්බන්ධයෙනි. දකුණු ආසියාව පුරා මගී සහ භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව ව්‍යාප්ත වන විට, ගුවන් සමාගම්වලට මෙම වෙළඳපොළවල් කාර්යක්ෂමව සම්බන්ධ කළ හැකි කලාපීය සැපයුම් මධ්‍යස්ථාන වැඩි වැඩියෙන් අවශ්‍ය වනු ඇත.
කලාපය පුරා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහිත ස්ථාවර, මධ්‍යස්ථ ගුවන් සේවා වේදිකාවක් සැපයීමෙන්, ශ්‍රී ලංකාවට කලාපීය සම්බන්ධතාවයේ වැදගත් පහසුකම් සපයන්නෙකු ලෙස සේවය කළ හැකිය.
ගුවන් සේවා උපාය මාර්ගය පෞද්ගලීකරණයට සම්බන්ධ කිරීම
ශ්‍රී ලංකාව ද්විතීයික ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ පුළුල් උපායමාර්ගික අරමුණ වන්නේ ගෝලීය ආයෝජකයින් සඳහා රටේ ගුවන් සේවා වත්කම්වල ආකර්ෂණය වැඩි කිරීමයි.
ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පෞද්ගලීකරණය කිරීම හෝ බදු දීම වඩාත් අර්ථවත් වන්නේ ඒවා දේශීය යටිතල පහසුකම් ලෙස පමණක් නොව, දකුණු ආසියාව පුරා ගුවන් සේවා ස්ථාවරත්වය ශක්තිමත් කරන වැදගත් කලාපීය මධ්‍යස්ථාන ලෙස අප දකින්නේ නම්ය.
විදේශීය ආයෝජකයින් හෝ ගුවන් සමාගම් ශ්‍රී ලංකාව තුළට මුදල් හෝ හවුල්කාරිත්වයන් යෙදවීමට වැඩි උනන්දුවක් දක්වන්නේ ශ්‍රී ලංකාවා විසින් පැහැදිලි වාසි හෝ උපායමාර්ගික ප්‍රතිලාභ ලබා දෙන විටය. එනම්,
• උපායමාර්ගිකව පිහිටා ඇති ගුවන් සේවා වේදිකාවක් සැපයීම
• පුළුල් කිරීම සඳහා සූදානම් ඌන උපයෝගිතා යටිතල පහසුකම් පැවතීම
• වර්ධනය වන දකුණු ආසියානු වෙළඳපොළවල් වෙත ප්‍රවේශය
• භූ දේශපාලනික බාධාවන් අතරතුර ගෝලීය ගුවන් සේවා ජාලවලට සහාය වීමේ හැකියාව
මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා වැදගත් වන්නේ දේශීය ගුවන් ගමන් සඳහා පමණක් නොවේ. විශේෂයෙන් අනෙකුත් ගුවන් සේවා මධ්‍යස්ථාන කඩාකප්පල් වූ විට, ජාත්‍යන්තර ගුවන් ගමන් ස්ථාවර සහ විශ්වාසදායක ලෙස තබා ගැනීමටද ඒවාට උපකාරී විය හැකිය.
නිගමනය
පරිණාමය වෙමින් පවතින භූ දේශපාලනික භූ දර්ශනය, ගෝලීය ගුවන් සේවා යටිතල පහසුකම් තනි කලාපයක් තුළ සංකේන්ද්‍රණය කිරීමේදී මුහුණ පාන ඊට ආවේණික අවදානම් මේ වන විට හෙළි කර ඇත. මැදපෙරදිග මෙගා-හබ්ස් ගෝලීය ගුවන් ගමන් සඳහා කේන්ද්‍රීයව පවතිනු ඇතත්, ගුවන් සමාගම්වලට බාධා ඇති වන කාලවලදී ඔවුන්ගේ ජාලවලට සහාය විය හැකි අතිරික්ත මෙහෙයුම් මධයස්ථාන වැඩි වැඩියෙන් අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවට ගල්ෆ් කලාපයේ ගෝලීය කේන්ද්‍රස්ථාන ප්‍රතිස්ථාපනය කළ නොහැක. නමුත් ඉන්දියන් සාගරයේ ස්ථාවර ද්විතීයික ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට පත්වීමට අවශය වන භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සහ දේශපාලන ස්ථානගත කිරීම එය සතුය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ උපායමාර්ගිකව සංවර්ධනය කිරීමෙන් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සහ පුද්ගලීකරණය කිරීමට පවත්නා හැකියාවෙන් ඌන ක්‍රියාකාරී රාජ්‍ය වත්කම් ගෝලීය ගුවන් සේවා සඳහා තීරණාත්මක යටිතල පහසුකම් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ.
ඉහළ යන භූ දේශපාලනික අවිනිශ්චිතතාවයක් ඇති යුගයක, ඒවාට ඔරොත්තු දීමේ හැකියාවද කාර්යක්ෂමතාව තරමටම වැඳගත් වෙමින් පවතී. නිවැරදිව ස්ථානගත කර ඇත්නම්, ශ්‍රී ලංකාවට ගෝලීය ගුවන් සේවාවේ නව සේද මාර්ගය ඔස්සේ වැදගත් ස්ථානයක් හිමි කර ගත හැකිය.
මෙම ලේඛකයා Advocata ආයතනයේ සාමාජිකයෙකු වන අතර ඔහු සමඟ riyadriffai@gmail.com විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධ විය හැකිය.

