තෙල් මිල වැඩිවීම හොඳද නරකද? තෙල් මිල වැඩි නොකළොත් මොකද වෙන්නේ? 

දිල්මිණී අබේරත්න විසිනි 

Image by Alexandra_Koch from Pixabay

මේ දවස්වල හුඟ දෙනෙක් කතා වෙන්නේ තෙල් මිල වැඩිවීම ගැන. මොකද ඉන්ධන මිල ගණන් වැඩි වෙනවා කියන්නේ සමාජයේ එක කොටසකට විතරක් බලපාන දෙයක් නෙවෙයි. ඒක අපි හැමෝටම බලපානවා. ආරම්භයක් විදිහට පෙට්‍රල්, ඩීසල් මිල ගණන් වැඩි වෙනවා කියන්නේ ප්‍රවාහනය හා බැඳුණු ආහාර, ඖෂධ, සෞඛ්‍ය, අධ්‍යාපන, බලශක්ති ආදී මෙකී නොකී හැම අංශයකටම ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ අඩු වැඩි වශයෙන් බලපෑම් සිද්ධ වෙන එකට. 

Image by Markus Winkler from Pixabay

සරලවම කිව්වොත් බස් ගාස්තු, ඌබර්, පික් මී ගාස්තු, රයිස්, කොත්තු, ෂෝටීස්, ඇඳුම් පැළඳුම්, ප්ලාස්ටික් බඩු, පොහොර, ලයිට් බිල් මේ හැම එකකම ගාණ වැඩි වෙනවා. ඒකෙන් මේකෙන් උද්ධමනය ඉහළ යනවා. එතකොට අපිට ආයෙමත් එදිනෙදා වැඩ කරගන්න අපේ පඩිය මදි. මිනිස්සුන්ගේ ජීවන මට්ටම් පහතට වැටෙනවා. ඉතිං හැමෝම දන්නවා මේ වෙලාවේ ලෝකයේ රටවල් ගණනාවක් සම්බන්ධ වුණු යුද්ධයක් තියෙනවා. ප්‍රධානම පාර්ශවකරුවෝ වෙන්නේ ඉරානය‍, ඊශ්‍රායලය සහ ඇමරිකාව. මේ යුද්ධෙ නිසා පර්සියන් බොක්ක සහ ඕමාන් බොක්ක අතර තියෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහලා තියෙනවා.  

  

 හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැහුවම අපිට මොකද වෙන්නේ? 

Image by wasi1370 from Pixabay

 හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකෙම අවධානය දිනා ගෙන තියෙන්නේ, මේ වෙනකොට ඒක වහලා තියෙන නිසයි. සාමාන්‍යයෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝක වෙළඳාමට බලපාන නැව් ගමනාගමනය සිද්ධ වෙනවා. ඒ අතරින් ලෝකයේ බොරතෙල් ප්‍රවාහනය අතින් 25% - 30% ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ මේ ඔස්සේ. ඒ නිසා හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා මේ වනතුරු ප්‍රවාහනය කළ නැව් නැවතිලා ලෝකයේ බොරතෙල් සැපයුමට බාධා එල්ල වෙලා තියෙනවා.  

මේ වෙද්දි බොහොමයක් තෙල් නිපදවන රටවල් සහ ඒවායේ බොරතෙල් නිපදවන ආයතන තමන්ගේ නිෂ්පාදන කටයුතු සීමා කරලා තියෙනවා; තවත් සමහරු නවත්තලා හරි තියෙනවා. මොකද නිපදවූ බොරතෙල් තවදුරටත් ගබඩා කරන්න ඒ රටවල්වලට තියෙන ඉඩකඩත් සීමා සහිතයි. එයාලටත් ආයෙ වතාවක් බොරතෙල් නිපදවන්න පුළුවන් වෙන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කරපු දවසක තමයි.  

Image by Alexandra_Koch from Pixabay

යුද්ධෙට සම්බන්ධ වෙලා ඉන්න ඉරානය මේ වෙද්දි කියනවා ‘ඔවුන් දිගටම හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහලා තියෙනවා’ කියලා. ඒකෙ ප්‍රායෝගික බව තීරණය කරන්න තාම කල් වැඩි වුණත්, දැනට ලෝක තෙල් සැපයුමට මේ නිසා බාධා එල්ල වෙලා, තෙල් මිල වැඩිවෙන ප්‍රවණතාවක් තියෙනවා. සමහර ආර්ථික විශ්ලේෂකයන් කියන විදිහට මාර්තු මාසය ඉවර වෙද්දිත් යුද්ධය අවසන් නොවුනොත් බොරතෙල් බැරල් එකක මිල ඇ.ඩො. 150 වගේ අගයක් දක්වා ඉහළ යන්න පුළුවන්. 

  

ලංකාවේ තෙල් මිල - පෝලිම් සහ QR 

ලංකාවේ මේ වෙනකොට තෙල් මිල  ඉහළ නංවලා තියෙනවා.  කොහොමත් තෙල් මිල ඉහළ යන එක ගැන නම් කවුරුත් සතුටු වෙන්නේ නෑ.  හුඟක් දෙනා අහන ප්‍රශ්නය තමයි, අලුත් තොග රටට ගේන්නත් කලින්ම ලංකාවට කලින් ගෙනල්ලා තිබුණු තෙල් (පරණ මිලට ගෙනාපු තෙල්) සංචිත ලංකාවේ ශෙඩ්වල තියෙද්දි කොහොමද ලංකාවේ තෙල් මිල ගණන් ඉහළ දැම්මෙ කියන එක.  

බැලූ බැල්මට එහෙම කළාම රජය අනිසි වාසියක් උපයනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් අපි මෙතනදි හිතන්න ඕන තෙල් මිල වැඩි නොකළොත් මොකද වෙන්නේ කියලා.   

Image by Pete Linforth from Pixabay

ලෝකයේ දරුණු යුධමය තත්ත්වයක් තියෙන නිසා ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගණන් අනිවාර්යෙන්ම ඉහළ යනවා කියලා මිනිස්සු දන්නවා. ලංකාවේ මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ මාසෙ අන්තිමට නිසා යුද්ධෙන් එන බලපෑම මාසෙ අන්තිමට කරන මිල වෙනස් කිරීමෙන් දරාගන්න වෙන බවත් මිනිස්සු දන්නවා. ඒ වගේ තත්ත්වයක් උඩ, ලෝක වෙළඳපලේ මිල ගණන් වැඩි වෙද්දිත් ලංකාවේ තෙල් මිල ඊට වඩා අඩු මට්ටමක තිබුණොත්, මිනිස්සු ඊළඟ මිල සංශෝධනයට කලින් පුළුවන් තරම් අඩු මිලට තෙල් රැස් කරගන්න බලන නිසා ලංකාවේ තියෙන තෙල් ප්‍රමාණය ඉක්මනටම ඉවර වෙනවා. ඒ වගේම ලංකාවේ තෙල් සංචිත රැස් කරන්න තියෙන පහසුකම් සීමිත නිසා වැඩි ප්‍රමාණයක් ගබඩා කරන්නත් බෑ. ඒ නිසයි ලංකාවේ පරණ මිල ගණන්වලට ගෙන්නුව තෙල්වල මිල ගණන් වැඩි කරන්න සිද්ධ වුණේ.  

  

අපි තෙල් ගේන්නේ ඉන්දියාවෙන්ද? 

Image by jorono from Pixabay

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලෝකයේ තෙල් සැපයීමට බාධා සිද්ධ වෙලා තියෙන හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුවට ලංකාවට ප්‍රශ්නයක් නෑ. මොකද ලංකාවට තෙල් ගේන්නේ ඉන්දියාව සහ සිංගප්පූරුව කියන රටවල්වලින් කියලා. ඒත් සිංගප්පූරුව සහ ඉන්දියාව කියන්නේ තෙල් කැණීම් කරන තෙල් තියෙන රටවල් නෙමෙයි.  ඒ රටවල්වල තියෙන්නෙ තෙල් පිරිපහදු කිරීමේ ස්ථාන විතරයි. මේ නිසා ඉන්දියාවයි සිංගප්පූරුවයි තෙල් ගන්නේ වෙනත් රටවල්වලින්. ලෝකයේ තෙල් සැපයුමට බාධාවක් වෙලා තියෙන වෙලාවක ඉන්දියාවටවත්, සිංගප්පූරුවටවත්, ලංකාවටවත් ඒ බලපෑමෙන් මිදෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම ලංකාවට තෙල් සපයන රටවල්වලටත් මේ වෙලාවේදී තෙල් හිඟයක් තියෙන නිසා ඒ රටවල්වලින් වුණත් අනෙකුත් රටවල්වලට ලබා දෙන තෙල් ප්‍රමාණය සීමා කිරීමට වැඩි ඉඩකඩක් තියෙනවා.  

  

QR කෝඩ් එක සාර්ථකම විසඳුමද? 

තෙල් පෝලිම්වල කල් මරපු අතීතයක් අපිට තියෙනවා. ඒ නිසා ඒකෙ තියෙන තිත්ත ඇත්ත අපි හැමෝම දන්නවා. ඒ වෙලාවේ ලංකාවට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කරන්නවත් ප්‍රමාණවත් මුදල් තිබුණේ නෑ. ඒ නිසා ආනයනය කරන්න පුළුවන්කම තිබුණු සීමිත තෙල් ප්‍රමාණය QR කෝඩ් එකක් ඔස්සේ හැමෝටම බෙදලා දුන්නා.  

ඒත් මේ වතාවේ තියෙන්නේ ගෝලීය මට්ටමින් හැම රටකටම බලපාන තෙල් හිඟයක්. ඒකට QR කෝඩ් එක කියලා කියන්නේ දීර්ඝකාලීන විසදුමක් නෙවෙයි. මොකද ලංකාවේ තෙල් පරිභෝජනය අතින් ගත්තම සමස්ත තෙල් පරිභෝජනයෙන් 70% පරිභෝජනය කරන්නේ ධනවත්ම 30% පිරිස. සමස්ත තෙල් පරිභෝජනයෙන් ඉතිරි 30% පාවිච්චි කරන්නේ ජනගහනයෙන් ඉතිරි කොටස.   

තෙල් මිල ඉහළ ගියා කියලා, තෙල් පරිභෝජනය කරන 70% කොටසට ලොකු බලපෑමක් වෙන්නේ නෑ. මොකද මිල වැඩිවුණා කියලා ධනවත් පිරිස පරිභෝජනය අතාරින්නේ නෑ, වැඩි මිලකට වුණත් තෙල් මිලදී ගන්න පෙළඹෙනවා. හැබැයි මිල වැඩි වුණාම නැති බැරි පිරිස කලින් තරම් තෙල් පරිභෝජනය කරන්නේ නෑ. ඒ නිසා හැමෝටම අඩු මිලකට තෙල් විකුණුවොත් ඊට වඩා ගෙවීමේ හැකියාව තියෙන ධනවතුන් පවා වෙළඳපළ මිලට නොගැළපෙන මිලකට ඉන්ධන පරිභෝජනය කිරීම නිසා මේ තත්වය සමනය වීමක් වෙන්නේ නෑ.  

ඉතින් මේ වෙලාවේ හැටියට තෙල් මිල වැඩිවීම අපි මූණ දෙන්න අකමැති තීරණයක් වුණත්, ඒ තීරණය ගන්නවා ඇර විකල්පයක් නෑ. එහෙම නොකර වෙළඳපලේ ඇති වෙන්න ඉඩ තියෙන අධි ඉල්ලුම සමනය කරලා ඉල්ලුම සහ සැපයුම කළමනාකරණය කරගන්න වෙන්නෙත් නෑ.  

  

ඩොලර් සංචිතවලින් තෙල් ගෙන්නලා අඩුවට බෙදමුද? 

සමහරු හිතනවා ලංකාවේ ප්‍රාථමික ශේෂය හොඳ මට්ටමකට ආව නිසා අපේ සංචිත වියදම් කරලා හරි අපිට තෙල් ගේන්න පුළුවන් නේද කියලා. එහෙම කරනවා නම් එහෙම කරන්න පුළුවන් ඉතාම ටික කාලයයි. මොකද ලංකාව මේ තෙල් හිඟය එන්න කලිනුත් සමෘද්ධිමත් මට්ටමක හිටිය රටක් නෙවෙයි, අර්බුදයකින් ගොඩ එන්න උත්සාහ කරන රටක්. ඒ වගේම අපි දන්නේ නෑ මේ යුද්දෙ ඉවර වෙන්නේ කවදද කියලා. පැහැදිලිව පෙනෙන අනාගතයක් නැති යුද්ධයක් නිසා අපිට සීමිත මුදල් සංචිත ටික නාස්ති කරගන්න බෑ. යුද්ධය නිසාම තව මොනවගේ හදිසි මිලදී ගැනීම් සහ අත්‍යවශ්‍ය මිලදී ගැනීම් කරන්න අපිට මුදල් ඕන වෙයිද කියලා අපි හරියටම දන්නේ නෑ. මේ නිසා දැනට තියෙන සංචිත ටික තෙල් මිල අඩුවෙන් පවත්වාගන්න කියලා වියදම් කිරීම සුදුසු නෑ.  

  

මිල සූත්‍රයෙන් පිහිටක් තියෙනවාද? 

Image by Markus Spiske from Pixabay

මුහුණ දුන් ආර්ථික අර්බුදය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කොන්දේසි මත සහය ලබා දුන්නා. ඒ එක කොන්දේසියක් තමයි ලෝක වෙළඳපළේ බොරතෙල් මිලේ වෙනස්කම් ඇතුලත් වන මිල සූත්‍රයක් හඳුන්වා දීම සහ ඒ මඟින් විනිවිදභාවය පවත්වා ගැනීම. මෙයින් අදහස් වෙන්නේ මිල සූත්‍රයෙන් ජාත්‍යන්තර තෙල් මිල, නැව්ගත කිරීමේ සහ රක්ෂණ වියදම්,  විනිමය අනුපාත චලනයන්, බදු සහ මෙහෙයුම් පිරිවැය කියන දේවල් පිළිබිඹු කළ යුතුයි කියන කාරණය. 

ශ්‍රී ලංකාව බොහෝ දුරට IMF වැඩසටහන යටතේ අවශ්‍ය ඉන්ධන මිල සූත්‍රයට අනුකූල වුණත්, එය අඛණ්ඩව සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වෙනවද කියන විවාදය තියෙනවා. කලින් වතාවලදී ලෝක වෙළඳපළේ මිල ගණන් අනුව මිල සූත්‍රය වෙනස් වෙන්නේ කොහොමද කියලා කලින් හිටපු විෂයභාර ඇමතිවරයා ටිවිටර් පණිවුඩ මඟින් ජනතාව දැනුවත් කළත් ඒ පිළිවෙත දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. 

  

උත්තරේ මොකක්ද? 

භාණ්ඩයක මිල තීරණය වෙන්න ඒකේ සුලබතාව අනුව. වැඩිපුර තියෙන දේවල්වලට වැඩි මිලක් නියම කරන්න අමාරුයි. ඒත් වෙළඳපළේ සැපයුම අඩු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නැංවීම මඟින් තමයි වෙළඳපළ සමතුලිතය ඇති කරගන්නේ. දැනට ලංකාවේ තියෙන සීමිත තෙල් තොගය කළමනාකරණය කරන්නේ QR කේත ක්‍රමය අනුව. ඒත් ඒක දීර්ඝකාලීනව සාර්ථක ක්‍රියාමාර්ගයක් නෙවෙයි. අපිට අනිවාර්යයෙන්ම ලෝක වෙළඳපළේ මිල ගණන්වලට අනුකූලව ලංකාවේ තෙල් මිල ගණන් වෙනස් කිරීමට සිදුවෙනවා. එහෙම වුණොත් තමයි ඉල්ලුම සහ සැපයුම අතර තුලනයක් ඇතිවෙන්නේ. ඒ වගේම අනවශ්‍ය විදිහට තෙල් පෝලිම් ඇතිවීම, කළුකඩ ඇති වීම සමනය වෙන්නේ.  

Image by billy cedeno from Pixabay

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරිම අසාධාරණ තර්කයක් කියලා. මොකද මධ්‍යම පාන්තිකයන් සහ අඩු ආදායම්ලාභීන්ට පවා මේ තෙල් මිල වැඩිවීමෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. අනිවාර්යෙන්ම ඔව්. ඒ නිසා තමයි මේ වෙලාවේ හැටියට සුදුසු අනෙකුත් ක්‍රියාමාර්ගවලට යන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් රැකියා තත්ත්වයන් ගත්තහම නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව වගේ පහසුකම් ලබා දීලා දෛනික ගමනාගමනය වෙනුවෙන් වැයවන තෙල් පරිභෝජනය අඩු කරන්න ඕන. තෙල් මිල වැඩිවීම නිසා පීඩාවට පත්වන දරා ගැනීමේ හැකියාව අඩු සමාජ පංතිවලට ඒ වෙනුවෙන් මුල්‍යමය සහනයක් ලබා දෙන්නත් පුළුවන්. නමුත් අපි කළ යුත්තේ අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමයි. මෑත කාලයේ තෙල් පෝලිම්වල ඉන්න වුණ දෙවනි වතාව මේක. ඒ නිසා අපි හැමදාමත් ඒ පීඩනය විඳින්න ඕන නෑ. දීර්ඝකාලීනව සාධනීය වෙනස්කම් කරන්න ඕන. 

අන්න ඒකයි අපි යටිතල පහසුකම් සංවර්ධනය ගැන වැඩි අවධානයක් දෙන්න ඕන. වැඩිපුර තෙල් සහ ගෑස් ගබඩා කිරීමේ පහසුකම්, රටරටවල් සමඟ ගනුදෙනු කිරීමේදී අපට කලින් වතාවල මඟ හැරුණු වෙළඳපළවල් වෙත යොමු වීම, නව වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම වැඳගත්. බලශක්ති අර්බුදයට පිළියමක් විදිහට වගේම තිරසාර සංවර්ධන අභිමතාර්ථවලට අනුගත වීමක් විදිහට පුනර්ජනනීය බලශක්ති සම්පාදනය, සම්ප්‍රේෂණය සහ ගබඩා කිරීම වෙනුවෙන් විභව ව්‍යාපෘති කඩිනමින් ඇති කිරීමටත්, ඒ සඳහා පෞද්ගලික අංශයේ සහය, විදේශ සෘජු ආයෝජන ආකර්ශනය කර ගැනීමත් තවදුරටත් කල් දාන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ ප්‍රතිසංස්කරණ කල් දානවා කියන්නෙම ලංකාවේ ආර්ථික අවුල ලිහා ගන්න එකටත් තවදුරටත් බාලගිරි දෝසෙම තමයි.