සමුද්‍ර සන්ධියකින් පැන නඟින ආහාර අර්බුදය 

දිල්මිණී අබේරත්න විසිනි

අර්බුද කියන්නේ ශ්‍රී ලංකාවට අලුත් දේවල් නෙවෙයි. ගෝලීය වශයෙන් හැම රටකටම බලපාපු කොවිඩ් අර්බුදය වගේම 2022 වසරේ උච්චතම තලයකට ආපු ආර්ථික අර්බුදයේ ගිනිදැල් නිවී ගිහින් ඒ තරම් කල් ගත වෙලා නෑ. මේ වෙද්දි ගල්ෆ් කලාපයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර යුධ ගැටුම් ඇති වෙලා, ඇමරිකාවත් ඊට හවුල් වෙලා තියෙන නිසා නැව් මඟින් ප්‍රවාහන කටයුතු සිදු කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කරලා තියෙනවා. ඊට කලින් ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් 25% ප්‍රමාණයක් සහ පොහොර ප්‍රවාහනයෙන් 35% ප්‍රමාණයක් මේ කියන සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදු කෙරුණා. මෙකී කලාපීය යුද්ධය නිසා ලෝකයටම බලපාන බලශක්ති අර්බුදයක් ඇති වෙලා. ඉතිං ඉන්ධන විතරක් නෙවෙයි පොහොර ප්‍රවාහනයෙනුත් සැලකිව යුතු ප්‍රමාණයක් මේ මාර්ගය ඔස්සේ සිදු වෙන නිසා, ඊළඟ අර්බුදය ආහාර අර්බුදයක් වෙන්නත් බැරි නෑ. තෝරු මෝරු අස්සේ හාල් මැස්සෝ කිව්වා වගේ මේ දැවැන්ත රටවල්වල යුද්ධය නිසා ලංකාව වගේ කුඩා ආර්ථික ඉතා ඉක්මණින් බැට කනවා. අද අපි මේ ලිපියෙන් කියන්නේ ලංකාවේ අපි ඊළඟට ලෑස්ති වෙන්න ඕන මොන අර්බුදයටද කියලා. 

යල කන්නය වගා කරන්න ඇති තරම් පොහොර තියෙනවද? 

ලංකාවේ කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ යල සහ මහ කන්න දෙක තුළයි. මහ කන්නය ඔක්තෝබර් ඉඳලා පෙබරවාරි දක්වාත් යල කන්නය මාර්තු ඉඳලා අගෝස්තු දක්වාත් දිවෙනවා. ඉරාන යුද්ධය පටන් ගන්න වෙලාව වෙද්දි බොහෝ දුරට මහ කන්නය අවසන් වෙලා තිබුණ නිසා මහ කන්නය සම්බන්ධයෙන් පොහොර ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ඒත් ඉන්ධන කෝටා ක්‍රමය ක්‍රියාත්මක වුණ නිසා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමත්, ඒවායේ මිල ඉහළ යාමේ ප්‍රතිඵලත් නිසා මහ කන්නයේ අස්වනු නෙළීමේ කාලයේදී ඉන්ධන ගැටළුවට මුහුණපාන්න සිද්ධ වුණා. අස්වැන්නේ මිල ගණන් ඉහළ යාමක් සිද්ධ වුණේ එහෙමයි.  

හැබැයි මාර්තු මාසේ ආරම්භයත් එක්ක යල කන්නයට එද්දි ඉන්ධන සහ පොහොර කියන ප්‍රශ්න දෙකටම මුහුණ දෙන්න වෙනවා. යල කන්නය ආරම්භ වෙන වෙලාව වෙද්දි ලංකාව සතු යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 102,000 ප්‍රමාණයක්. යල කන්නයේදී වී වගා කරන්නේ මහ කන්නයේ වගා කරන ප්‍රමාණයෙන් අඩක් පමණයි. සාමාන්‍යයෙන්, යල කන්නයේදී හෙක්ටයාර 450,000 සහ මහ කන්නයේදී හෙක්ටයාර 850,000 විදිහට. හැබැයි රජය මේ අවුරුද්දේ යල කන්නයට හෙක්ටයාර 550,000 වගා කරන්න බලාපොරොත්තු වෙනවා. 2013 වසරේ නිකුත් කළ පොහොර යෙදීම පිළිබඳ නිර්දේශ අනුව පොහොර යොදනවා නම්, අතරමැදි සහ වියළි කලාපවල වගා කටයුතු කිරීමේදී වාරි ජල මූලාශ්‍ර මත යැපෙනවා කියලා හිතුවොත්, හෙක්ටයාර එකකට 225kg යොදන්න ඕන. 

යල කන්නයේ තියෙන ප්‍රශ්නය මේකයි 

වී වගාව විතරක් සලකලා බැලුවොත්, යල කන්නයේ වී වගාව වෙනුවෙන් යූරියා මෙට්‍රික්ටොන් 98,800 ඕන වෙනවා. ඒත් ලංකාව සතුව මේ වෙනකොට තියෙන්නේ යූරියා මෙට්‍රික්ටොන් 102,000 විතරයි. එහෙම බැලුවම අපිට පොහොර ප්‍රමාණවත් වෙන්නේ වී වගාවට විතරයි. ඒ තරමින්වත් ප්‍රමාණවත් වෙන්නේ හෙක්ටයාර 450,000 වවනවා නම් විතරයි. ඒත් යල කන්නායේ හෙක්ටයාර 550,000 වගා කරන්න බලාපොරොත්තු වෙනවා නම්, දැනට තියෙන පොහොර ප්‍රමාණය වී වගාව වෙනුවෙන්වත් ප්‍රමාණවත් වෙන්නේ නෑ.  

පොහොර ඕනේ මොනවටද? 

අපි මේ දක්වා කතා කළේ වී වගාව ගැන විතරයි. හැබැයි වී ඇරුණාම බඩ ඉරිඟු වගේ අනෙකුත් භෝග, එළවළු සහ පළතුරු, තේ වැනි වගාවන්ටත් පොහොර යොදන්න වෙනවා. මේ අතරින් බඩ ඉරිඟු වගාව අපේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරන ප්‍රධාන මාර්ගයක් ලෙස වැඳගත් වෙනවා. ඒ කොහොමද කිව්වොත්  බඩ ඉරිඟු සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට යොදා ගන්නවා. ඒ නිසාම කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදනයට  බඩ ඉරිඟු වගාව වක්‍රාකාරයෙන් වැඳගත් වෙනවා.  බඩ ඉරිඟු වගාව වෙනුවෙන් පොහොර මෙට්‍රික්ටොන් 13,000 පළතුරු සහ එළවළු වෙනුවෙන් පොහොර මෙට්‍රික්ටොන් 42,000 - 43,000ක්, තේ, පොල්, කුරුඳු, ගම්මිරිස් වගේ භෝග වෙනුවෙන් පොහොර මෙට්‍රික්ටොන් 62,000 - 63,000 වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ හැම භෝග වගාවක්ම සලකා බැලුවොත් යල කන්නය වෙනුවෙන් පොහොර මෙට්‍රික්ටොන් 200,000වත් ඕන වෙනවා. 

ලෝකයේ පොහොර නිෂ්පාදනය 

පොහොර නිෂ්පාදනය කරන සහ ආනයනය කරන රටවල් ගත්තම චීනය සහ ඉන්දියාව ගැන කතා නොකරම බෑ. ලංකාවේ අර්බුද කාලවලදි ඉන්දියාවෙන් අපිට පොහොර ලැබුණ අවස්ථාත් තියෙනවා. හැබැයි ඒ ලැබුණේ ඉන්දියාව වෙන රටවල්වලින් ඇණවුම් කරලා ඉන්දියාවට ගොඩබාලා නොතිබුණ පොහොර විතරයි. මොකද ඉන්දියාවේ ගොඩබාපු පොහොර වෙන රටකට දෙන්න ප්‍රතිපත්තිමය බාධා තියෙනවා. මේ කලාපීය යුද්ධ නිසා පොහොර අර්බුදයක් ඇති වෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. ආසියාවේ විතරකුත් නෙවෙයි. මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන යුරෝපයේ පවා පොහොර හිඟයන් ඇති වෙනවා. මේකට හේතුව පොහොර නිෂ්පාදනය යුද්ධයට සම්බන්ධ ගල්ෆ් කලාපයේ රටවල් විසින් සිදු කිරීමයි. ඉතිං කොහොම වුණත් ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටකට තියෙන මිලදී ගැනීමේ හැකියාව සහ අනුගත වීමේ හැකියාවන් සීමිතයි. විශේෂයෙන්ම වැඩි මිලක් ගෙවා හෝ පොහොර මිලදී ගැනීමේ හැකියාව තියෙන යුරෝපා රටවල් සහ තමන්ගේ රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන පොහොර නිෂ්පාදනය කරන රටවල් නිසා ශ්‍රී ලංකාවට පොහොර නිසි වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් සහ දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකිවේද කියන කාරණය ප්‍රශ්න සහගතයි, අවිනිශ්චිතයි.     

පොහොර නාස්ති කරන්න එපා කියලා සමහරු කියනවා මේ දවස්වල අහන්න ලැබුණා. පොහොර අවශ්‍ය වන එකම අවස්ථාව අපට ආහාර සපයා දෙන භෝගවලට පෝෂණය ලබා දීම. ඉතිං ගස්වැල්වලට කන්න නොදී මිනිස්සුන්ට කන්න ලැබෙන්නේ නෑ. ඉතිං පොහොර සම්බන්ධයෙන් යම් ගැටළුවක් තියෙනවා. කලාපීය යුද්ධ සහ සැපයුම් දාම අවහිර වීම කියන කරුණු නිසා අපිට ඉක්මණින්ම කරන්න සිද්ධ වෙන්නේ තියෙන පොහොර ප්‍රමාණය කාර්‍යක්ෂමව භාවිත කිරීමයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය විදිහට වී, ප්‍රෝටීන් ප්‍රභවය විදිහට බඩ ඉරිඟු සහ අපනයන භෝගය විදිහට තේ කියන අංශවලට පොහොර බෙදා හැරීමක් කරන්න සිදු වෙනවා. නැතිනම් පවතින තත්ත්වය යටතේ අපිට පොහොර හිඟයක් මතුවෙන්න ඉඩ තියෙනවා.  

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජෙයෂ්ඨ මහාචාර්‍යය, බුද්ධි මාරබේ මහතා සමඟ කළ සංවාදයක් ඇසුරිනි.