දිල්මිණී අබේරත්න විසිනි
Image by OpenClipart-Vectors from Pixabay
පහුගිය දවසක යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර Investment Dialogue සාකච්ඡා පැවැත්වුණා. එතනදි කතාබහට ලක් වුණා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙන ජී.එස්.පී+ සහනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති රීති තවදුරටත් දැඩි කිරීම ගැන. ඒ අනුව යුරෝපා කලාපයෙන් සහන ලබා ගන්න නම්, ලංකාවේ ආයෝජන පරිසරය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කරන්න වෙනවා.
ජී.එස්.පී+ සහනය කියන්නේ මොකක්ද?
Image by TheDigitalArtist from Pixabay
Generalised Scheme of Preferences + එහෙමත් නැත්නම් වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය කියලා කියන්නේ යුරෝපා සංගමය විසින් අඩු හෝ පහළ මැදි ආදායම් ලබන රටවල්වලට ලබා දෙන අන්‍යෝන්‍ය නොවන තීරුබදු සහනයක්. මේ කියන සහනය යටතේ තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ ඉතා අඩු මට්ටමක පවත්වා ගැනීම සිද්ධ වෙනවා. ජී.එස්.පී+ සහනය ලබා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල තිරසාර සංවර්ධනය සහ යහපාලනය ප්‍රවර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන සානුබලයක් නැත්නම් දිරිගැන්වීමක් විදිහට. 2026දී ලංකාව ඇරුණාම ජී.එස්.පී+ සහනය ලබන තවත් රටවල් අතරට බොලීවියාව, කේප් වර්ඩ්, කිර්ගිස්තානය, මොන්ගෝලියාව, පකිස්තානය, පිලිපීනය, උස්බෙකිස්තානය කියන රටවල් ඇතුලත් වෙනවා.
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කවුරුත් මුකුත් දෙන්නේ නෑනේ. ඒ වගේ තමා යුරෝපා සංගමයත් අපිට ලබා දෙන මේ තීරු බදු සහනය වෙනුවෙන් පෙරළා යමක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජී.එස්.පී+ සහනය ලබා ලබාගන්න සුදුසු රටවල් හැම එකක්ම මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසරය සහ යහපාලනය කියන මූලික හරයන් ආවරණය වන අන්තර්ජාතික සම්මුතීන් 27 ක්‍රියාත්මක කරන්න එකඟ වෙන්න ඕන.
අලුත් කොන්දේසි
අලුත් කොන්දේසි යටතේ අන්තර්ජාතික සම්මුතීන් 27 වෙනුවට අන්තර්ජාතික සම්මුතීන් 32ට එකඟ වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් අනාගතයේදී අපට ජී.එස්.පී+ සහනය ලැබෙන එකක් නෑ. දැනට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කොන්දේසි 2026 දෙසැම්බර් 31න් අවසන් වෙලා 2027 ජනවාරි 01 දා ඉඳන් අවුරුදු 10 කාලයක් පුරාවට අලුත් කොන්දේසි රාමුවක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. ඒත් ලංකාවට පුළුවන්කමක් තියෙනවා 2028 දෙසැම්බර් 31 දක්වා සංක්‍රමණ කාලයක් වෙනුවෙන් අලුත් ඇප්ලිකේෂන් එකක් දාලා වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්න. ඒ වුණත් අලුත් කොන්දේසිවලට නම් එකඟ වෙන්නම වෙනවා.
ජී.එස්.පී+ සහ ශ්‍රී ලංකාව
ජී.එස්.පී+ සහනයේ ඉතිහාසය ගැන කතා කළොත් ලංකාවට මේ සහනය ලැබුණේ 2005 අවුරුද්දේ. 2010දි ජී.එස්.පී+ සහනය අපිට අහිමි වුණත් 2015 බලයට පත් වුණ යහපාලන ආණ්ඩුව මැදිහත් වෙලා 2017 වෙද්දි ආයෙමත් ලංකාවට ජී.එස්.පී+ සහනය ලබා ගත්තා. මේ කියන තීරු බදු සහනය වැඩිපුරම වැදගත් වෙන්නේ ඇගලුම් කර්මාන්තයට. ආර්ථිකයට සැලකිව යුතු දායකත්වයක් ලබා දීලා විදේශීය විනිමය උපයන අංශයක් විදිහට වගේම ශ්‍රම බලකායට, සේවා නියුක්තියට ප්‍ර්‍රබල දායකත්වයක් ලබා දෙන අංශයක් විදිහට ඇඟලුම් කාර්මික අංශයට ලබා දීලා තියෙන මේ ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතාමත් වැදගත්. 2025දී ලංකාවේ මුළු භාණ්ඩ වෙළඳාමෙන් 12.5%ක් ජී.එස්.පී ප්ලස් සහනය නිසා ලංකාවට ලැබිලා තියෙනවා. ඒ වගේම යුරෝපා කලාපය ලංකාවේ දෙවන විශාලතම වෙළඳ ගනුදෙනුකරු. 2024 අවුරුද්දේ ද්විපාර්ශවික භාණ්ඩ වෙළඳාමෙන් යුරෝ බිලියන 3.9ක් සහ සේවා වෙළඳාමෙන් යූරෝ බිලියන 1.9ක් උපයලා තියෙනවා.
ජී.එස්.පී+ සහනය ලබන්න සපුරාලිය යුතු සුදුසුකම්
කලින් සඳහන් කරපු සම්මුතීන්ට එකඟ වීම ඇරුණාම යුරෝපීයයන්ගෙන් මේ කියන බදු සහනය ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම සංවර්ධනය වෙමින් පවතින පහළ මැදි / පහළ ආදායම් ලබන රටක් වෙන්න ඕන.
ලංකාවට ජී.එස්.පී+ නොලැබෙන්න අවදානමක් තියෙනවද?
Image by WilliamCho from Pixabay
ඇත්තටම ඔව්. කාරණා කීපයක් නිසා ලංකාවට අවදානමක් තියෙනවා.
ලංකාව තවදුරටත් අඩු ආදායම් / පහළ මැදි ආදායම් රටක් නොවීම
මානව හිමිකම් කඩවීමේ අවස්ථාවකදී
යුරෝපා සංගමය විසින් පැනවූ කොන්දේසිවලට එකඟ නොවුණ අවස්ථාවකදී
ජී.එස්.පී+ සහනය ලබන රටවල්වල ප්‍රගතිය ගැන යුරෝපා සංගමය විසින් වාර්තා සම්පාදනය කරනවා. ඒ අනුව යුරෝපා සංගමයට ඉදිරිපත් වුණු ලංකාව පිළිබඳ වාර්තාවේ පහත කරුණු යෝජනා ආකාරයෙන් අවධාරණය කෙරෙනවා.
ජාතික හා ආගමික සුළුතරයන් මෙන්ම LGBTQ+ ප්‍රජාව ආරක්ෂා කෙරෙන ලෙසින් වෙනස්කම් සිදු කිරීම
සමලිංගික සේවනය අපරාධයක් නොවන ලෙසට නීති සකස් කිරීම
මරණ දඩුවම සම්පූර්ණයෙන් අහෝසි කිරීමේ පියවරක් ලෙස ඊට නිල තහනමක් පැනවීම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව නීති සම්පාදනය කිරීම
Online Safety Act ප්‍රතිශෝධනය කිරීම
ළමා විවාහ තහනම් කිරීම
ආරක්ෂක අංශ මඟින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වෙත සිදුවන බලපෑම් නතර කිරීම
පොලිස් අත් අඩංගුවේ පසුවන්නන් මියයාම සහ වධහිංසා පැමිණවීම වැළැක්වීමට විධිමත් වගවීමක් ඇති කිරීම
අලුත් ප්‍රතිසංස්කරණ / සම්මුති යටතේ මොන තරම් දේවල්වලට හැඩගැහෙන්න සිද්ධ වුණත් ඒවායේ ලොකු වැඳගත්කමක් ලංකාවේ සමාජ හා ආර්ථික පරිසරයට බලපානවා. මොකද යුරෝපා සංගමය ඉදිරිපත් කරපු වාර්තාවට අනුව,
2017 ඉඳන් 2026 වෙනකම් අවුරුදු 10ක කාලය තුළ ලංකාව තමයි ජී.එස්.පී+ සහනය ලබන රටවල්වලින් තුන්වෙනි විශාලතම ප්‍රතිලාභියා.
2024 වසරේදී යුරෝ මිලියන 139 වටිනා තීරු බදු නිදහස් කිරීම් ලැබුණා.
යුරෝපයට යවන ලංකාවේ ජී.එස්.පී+ පංගුව සැලකුවොත් 83.5% සහනයක් ලැබිලා තියෙනවා.
ජී.එස්.පී+ සහනය නොලැබුණොත්?
සරලවම ගත්තොත් පහළ මැදි ආදායම් ලබන රටක් විදිහට ලංකාවට ජී.එස්.පී.ප්ලස් බදු සහනය අහිමි වුණොත් ලංකාවෙන් යුරෝපා සංගමයට කරන ඇඟලුම් අපනයනවලට සඳහා 10%න් බදු ප්‍රතිශතය ඉහළ යාමේ හැකියාව තියෙනවා. ඒ මඟින් සෘජුවම අපනයන ආදායමට, විදේශීය විනිමය ඉපයීම්වලට, සේවා නියුක්තියට, ආර්ථික වර්ධනයට සහ සමාජීය වශයෙන් නොයෙකුත් ගැටළු පැන නැඟීමේ හැකියාවක් තියෙනවා.
හැබැයි ජී.එස්.පී+ සහනය අපට සදාකාලිකවම ලැබෙන දෙයක් නෙවෙයි. ඒත් ලැබෙන මොහොතේ ඒ සහනය ලබා ගන්න එක වැඳගත්. මොකද ලංකාව ගෙවුණු අවුරුදු කීපය තුළ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා සෑහෙන පසුබෑමකට ලක් වෙලා. ඒ නැති වුණු ආර්ථික වර්ධන වේගය ලබා ගන්න එක අභියෝගාත්මකයි. ආර්ථික අර්බුදය ඇති වුණේ විදේශ විනිමය හිඟයක් එක්ක. ඒ නිසා වෙන කවදාටත් වඩා ලංකාවට ජී.එස්.පී+ සහනය ඕන වෙන්නේ මේ වෙලාවේ. යුරෝපා සංගමය එක්ක කතාබහ කරලා මේ සහනය තවදුරටත් ලබා ගැනීමේ හැකියාව වගේම ඒ වෙනුවෙන් අදාළ වෙනස්කම් සහ ගැළපුම් කරගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලය ලංකාවට තියෙනවා. ඒ කියන්නේ ලංකාව තාමත් ප්‍රමාද නෑ. හැබැයි යුරෝපා සංගමය මේ සහනය ලබා දෙන අවස්ථාවේ අපි ඉටු කරයි කියලා බලාපොරොත්තු වුණ දේවල්වල ප්‍රගතියක් පෙන්නුවේ නැත්නම් යුරෝපා සංගමයෙනුත් රතු එළි පෙන්නන්න වැඩි කාලයක් ගන්න එකක් නෑ.

