ඩොලර් ගැටලුවට‌ කෙටි පිළිතුරු නැත

ඩොල‌‍ර් හිගය දැන් හැමෝටද දැනෙන ගැටලුවකි.  එහි බලපෑම සාමාන්‍ය ජනයාද පෙළන තත්ත්වයට අදවනවිට පත්ව තිබේ.කෙසේ වුවද මෙය විවිධ පාර්ශ්වයන් ඔවුන්ගේ කෝණයන්ගෙන් විග්‍රහ කරනු දැකිය හැකිය. බෝහෝ දෙනෙක් ඩොලර් ප්‍රශ්නය දකිනුයේ ණය ගෙවීමට තරම් ඩොලර් නැති වීමේම ප්‍රශ්නයක් ලෙසිනි. එය ප්‍රශ්නයේ මතුපිට පමණි.

එහිදී ඩොලර් නැතිවෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට මගහැරේ. කෙසේ වුවද ඒ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් නැත. පිළිතුර ඉතාම දීර්ඝය. දිගු පිළිතුරු තියන වැඩවලට අපේ දේශපාලකයෝ කැමැති නැත. ඒ එම තීරණ දේශපාලනිකව වේදනාකාරී වන නිසා මෙන්ම ඒවා ජනප්‍රිය නොවන බැවිනි. එකී තීරණවලින් ජන්දයක් දිනිය නොහැකි නිසා ප්‍රශ්නය තාවකාලිකව යට ගහයි.

ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් විවිධ මත ඇති බව ඉහතදී සඳහන් කළෙමු. එහිදී සංචාරක කර්මාන්තය අඩාළ වූ නිසා මේ ප්‍රශ්නය ඇති වී ඇති බව එක මතයක් වන අතර කොවිඩ් නිසා මේ ප්‍රශ්නය ඇති වී ඇති බව තවත් මතයකි.

අර්බුදයේ ගැඹුර ගැන අවබෝධය තේරුම් ගැනීමට නම් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දරන උත්සහයෙන් ඉඟියක් ලබා ගත හැකිය. එතුමා මෑතකදී සිදුකළ මැදපෙරදිග සංචාරය හරහා ඕමානයෙන් අපට අවශ්‍ය ඛනිජ තෙල් ලබා ගැනීමට ඩොලර් මිලියන 3.5ක් සහ කටාර් රාජ්‍ය සහ ඉන්දියාවෙන් එවැනිම කෙටිකාලීන ණය ලබා ගැනීමට විශාල උත්සාහයක අපි නිරත වී සිටින්නෙමු. එම රටවල් ණය ලබාදීමේදී බොහෝ විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට ගමන් කළහොත් පමණක් ණය ලබාදීමට වැඩි ඉඩක් ඇත. එක් එක් රටකට ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය වෙන වෙනම අධ්‍යනය කිරීම අපහසු නිසා එලෙස අධ්‍යනය කිරීමට ජාත්‍යන්තරය පිළිගත් ආයතනය වන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගමන් කිරීමය ලොව අනුගමනය කරන ක්‍රමවේදය. එලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට සහභාගී වී සිටින රටක් සමග ගනුදෙනු කිරීමෙන් ඔවුන්ගේ ණය නැවත පියවා ගැනීම පිළිබඳ අවදානම අඩු කර ගත හැක. මෑතකදී ශ්‍රී ලංකාවට ණය පහසුකමක් ලබා දුන් බංග්ලාදේශය එයට කදිම නිදසුනකි. ඔවුන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන එයින් කොටසක් අප වෙත ණය ලෙස ලබාදුනි. ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ශ්‍රේණිගත කිරීම පහත දමා ඇති නිසා ලංකාව වැනි රටකට ද්වීපාර්ශ්වික ණය ලබා දීමෙන් එම රටවලද දේශපාලන අර්බුද පැන නැගිය හැකිය.

ඒ අතරවාරයේදී පවතින ඩොලර් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට විශාල ආනයන ප්‍රමාණයක් තහනම් කර ඇති අතරම බොහෝ ක්‍රෙඩිඩ් කාඩ්පත්වලින් සහ ඩෙබිට් කාඩ්පත්වලින් ඩොලර්වලින් සිදු කරන ගනුදෙනු වෙත තහංචි පනවා තිබේ. එමෙන්ම අපගේ ඩොලරයක් වෙත මහ බැංකුව ස්ථාවර මිලක් නියම කර ඇත. මහ බැංකුව ගෙන ඇති එම තීරණය පාරිභෝගික අධිකාරිය කිරිපිටි සඳහා පාලන මිලක් පැනවීම හා සමානය. පාරිභෝගික අධිකාරිය පැනවූ පාලන මිලත් සමග වෙළෙඳපොළේ විශාල ලෙස කිරිපිටි හිඟයක් ඇතිවිය. එයට හේතුව ඕනෑම වෙළෙඳපොළක් ක්‍රියාත්මක වීමට නම් වෙළෙඳපොළට භාණ්ඩ සපයන පිරිසක් මෙන්ම භාණ්ඩ මිලදී ගන්නා පිරිසක්ද සිටිය යුතු වීමයි.

භාණ්ඩ වෙළෙඳපොළට සපයන පිරිස භාණ්ඩ සැපයීම සිදු කරන්නේ ඔවුන්ට වාසියක් ලැබෙන මුදලකට භාණ්ඩ විකිණිය හැකි නම් පමණි. එලෙසම භාණ්ඩ මිලදී ගන්නා පිරිස භාණ්ඩ මිලදී ගන්නේද ඔවුන් වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් එම භාණ්ඩය ඔවුන්ගේ පරිභෝජනයට දායක වන්නේ නම් පමණය.

ඒ අනුව එම තත්ත්වය ඩොලර්වලටද පොදුය. ඩොලර් නෝට්ටු යනු වෙළෙඳපොළේ පවතින තව එක භාණ්ඩයක් හා සමානය. එම ඩොලර් නමැති භාණ්ඩය වෙළෙඳපොළට සපයන්නේ අපේ අපනයනකරුවන්, අපේ විදේශ ශ්‍රමිකයන් විසින් ලංකාවට එවන මුදල් හෙවත් ප්‍රේෂණ, අපේ සංචාරකයන් ලබාදෙන මුදල්, අපට ඩොලර්වලින් ලැබෙන විදේශ ආයෝජන සහ අපගේ වත්කම් විකිණීමෙන් හෝ ඒවා හවුල් ව්‍යාපෘති ලෙස හෝ ව්‍යාපාර ලෙස සිදු කිරීමෙන් ලැබෙන ආදායමයි. අපගේ ඩොලර් මිලදී ගන්නේ අපේ ආනයනකරුවන්, ශ්‍රී ලංකාවෙන් විදේශ සංචාර සඳහා පිටව යන සිසුන්, ශ්‍රී ලාංකික සංචාරකයන්ය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවත් ඩොලර් විශාල ලෙස මිලදී ගන්නේ අපට අවශ්‍ය ණය ගෙවීමට සහ සංචිත ගොඩ නැගීමටය.

දැන් ඇතිව තිබෙන තත්ත්වයේ එක පැතිකඩක් නම් අපගේ අපනයන අඩු නිසා වෙළෙඳපොළට ඩොලර් රැගෙන එන පිරිස අඩුවෙන් ඩොලර් රැගෙන ඒමය. නමුත් එය එසේ වන්නේ අප ඩොලරය ගෙවන්නේ එහි නියම වටිනාකම නොවන නිසාය. එය මහ බැංකුව තීරණය කර ඇත්තේ රු.203 මට්ටමට වුවත් සාමාන්‍ය (අවිධිමත්) වෙළෙඳපොළේ ඩොලරයක මිල රු. 235 සහ ඊටත් වඩා වැඩි අගයකට ඉහළ ගොස් තිබේ. එහි තේරුම නම් සැපයුම්කරුවන් වෙළෙඳපොළට ඩොලර් ගෙන එන්න කැමැත්ත තිබෙන්නේත්, ගැනුම්කරුවන් ඩොලරයක වටිනාකම ලෙස දකින්නේත් එම මුදලවීමය. ගැනුම්කරුවන් ඩොලරයක් 203කට ගැනීමට අනිවාර්යයෙන්ම කැමැතියි. නමුත් එතරම් අඩු මිලකට කිසිවෙක් ඩොලර් සැපයීමට කැමැත්තක් නැත. එනිසා නිරායාසයෙන්ම වෙළෙඳපොළේ ඩොලර් හිඟයක් ඇතිව තිබේ. එම නිසා තිබෙන ඩොලර් අර පිරිමැස්මෙන් භාවිත කිරීමට බැංකුවලට ඩොලර් වියදම් වන ගනුදෙනු සහ ඩොලර් විකිණීම සීමා කිරීමට සිදුව තිබේ.

එහි බලපෑම අපට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඛනිජ තෙල් සහ බෙහෙත් වර්ග වැනි දෑ ගෙන ඒමේදී අපහසුතා ඇතිවීමයි. එහි වක්‍රාකාර තේරුම නම් අපගේ ජීවන මට්ටමේ ගුණාත්මකභාවය අඩු වීමයි. ජීවන මට්ටමේ ගුණාත්මකභාවය අඩු වෙනවා යනු අප කලින් පහසුවෙන් කළ දේ ඉදිරියේදී එතරම් පහසුවෙන් කිරීමට නොහැකි වීමය.

ඩොලරය ස්ථාවර අගයක පවත්වා ගන්නටනම් මහ බැංකුවට අසීමිතව වෙළෙඳපොළට ඩොලර් සැපයීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ කිරීමට නම් අසීමිතව ඩොලර් ණයට ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. මක්නිසාද අපට ඩොලර් මුද්‍රණය කළ නොහැක. මේ කාරණා දෙකෙහිම අප අසමත්වූ විට ඩොලර් හිඟයක් කිරි පිටි සහ සහල් මෙන් ඇතිවීම ස්වභාවිකය.

එහි අනෙක් පස නම් අපට ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණත් (Foreign remittances) දැන් ක්‍රමයෙන් අඩු වෙමින් යාමය. එනම් පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් එවන මුදල් ප්‍රමාණය අඩු වීමයි. පසුගිය අයවැයෙන් විදේශ ප්‍රේෂණ සඳහා වැඩිපුර මිලක් ලබාදෙන බව කියවුණත් බැංකු නොවන අවිධිමත් වෙළෙඳපොළේ එම රුපියල් කිහිපයක වටිනාකමට වඩා විශාල අගයකට මුදල් හුවමාරු කිරීමට හැකියාව ඇත. එනිසා අපගේ ප්‍රේෂණ ක්‍රමයෙන් අප බලාපොරොත්තු වූවාටත් වඩා වේගයෙන් අඩු වෙමින් පවතී. එමෙන්ම ඔවුන් මුදල් එවීම වෙනුවට ශ්‍රී ලංකාවේ සිට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ තිබේ.

නමුත් මහ බැංකුව ඩොලරය ස්ථාවර අගයක පවත්වා ගැනීමට උත්සාහ කිරීම අප අවබෝධකරගත යුතු වේ. ඊට එක මූලික හේතුවක් විය හැක්කේ අපගේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අගය ස්ථාවරව පවත්වා ගැනීමයි. (Debt to GDP Ratio) ඩොලර්වලින් ලබා ගත් ණය රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි විනිමය අනුපාතිකයකින් පරිවර්තනය කළ විට ණය ප්‍රමාණයේ රුපියල් අගය ඉහළ යාම නිසා දැනට පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය 104% ලෙස පවතින අගය තවත් ඉහළ යා හැකිය. එමගින් අපගේ ණය ශ්‍රේණියට මෙන්ම දේශපාලනික මට්ටමින් විශාල අවාසි ගණනාවක් ඇති විය හැකිය. නමුත් ණය ගෙවීමේදී අප ඩොලර්වලින් ලබා ගත් ණය ඩොලර්වලින්ම ගෙවීමට සිදු වන නිසා විනිමය අනුපාතිකය කෘත්‍රිමව අඩුවෙන් තබා ගැනීමෙන් පලක් නැත.

මෙහි බොහෝ දෙනෙක් මග හරින කොටසනම් මුදල් අච්චු ගැසීමේදී නිරායාසයෙන් ඩොලර් අඩුවීමයි. මෙතරම් ආනයන තහනම් කර තිබියදීත් වසර තුනක් තුළ වාර්තා ගත වූ වැඩිම ආනයන සැප්තැම්බර් මාසයෙන් වාර්තා විය. එයට ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම එක හේතුවක් විය හැකි වුවත් ආනයන තහනම් කර තිබීමෙන් එම අගය ඉහළ යන්නේ මුදල් අච්චු ගැසීම නිසා බව මෙම තීරු ලිපියෙන් අප නිතරම අවධාරණය කළෙමු. මුදල් අච්චු ගැසීමෙන් එම මුදල් නැවත අපට අත්‍යවශ්‍ය ආනයන වලට නැවත නැවත වියදම් වීමෙන් සහ කළුකඩ ක්‍රමයට වියදම් වීම නිසා ආනයන ඉහළ යාමට මුදල් ධාරිතාව ඉක්මවා මුද්‍රණය කිරීම ප්‍රධානම හේතුවකි.

එනිසා මේ ලිපිය ආරම්භයේ පැවැසූ පරිදි ඩොලර් අර්බුදයට කෙටිකාලීන විසඳුම් නැත. රුපියල අවප්‍රමාණය වීමෙන් අපගේ ඉහළ යන බඩු මිල සමග අපි කලින් භාවිත කළ දේ භාවිත නොකර සිටීමත්, කලින් පහසුවෙන් කළ දේවල් දැන් පහසුවෙන් කිරීම කැප කිරීමත් අපගේ ජීවන තත්ත්වය අප විසින්ම අඩු කර ගැනීමත් හැරෙන්න මේ ඩොලර් අර්බුදයෙන් ගොඩ ඒමට අපට කෙටි පාරක් නැත. අපිට පෙනෙන සහ පෙන්වන සියලුම පාරවල් කෙටි මාර්ග සේ පෙනුණද ඒවා ඉතාම කෙටි බව බොහෝ දෙනා පැවසුවත් එය කෙටි නොවන බව නිදහසෙන් පසු වසර 70දීම අප ඇත් දැක ඇත්තෙමු. අප කනගාටු විය යුත්තේ වසර 70ක් යනතුරුත් අපට තවම නිවැරදි මාර්ගය අවබෝධ කර ගැනීමට නොහැකි වීම ගැනය.

2021 ඔක්තෝම්බර් 29 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය