රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු

දිල්මිණි අබේරත්න විසිනි

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි.

රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට කරන්න කිව්ව ප්‍රතිසංස්කරණත් එක්ක. 

ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය බර ගාණක් ලබන්නේ පාඩු. සමහර වෙලාවට එක ආයතනයක පාඩුව තවත් ආයතනයක ක්‍රියාකාරීත්වයට බලපාන්නත් පුළුවන්. හුඟක් වෙලාවට මේ ආයතන පාඩු ලබලා තියෙන්නේ රජය ආර්ථිකයට මැදිහත් වෙන නිසා. මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය 245ක් සහ ඒ අතරින් ප්‍රධාන වශයෙන් වැඳගත් කියලා සැලකෙන රාජ්‍ය ව්‍යවසාය 55ක් තියෙනවා කියලා රාජ්‍ය භාණ්ඩාගාරය කියනවා. මේ කියන 55 ඇතුලේ 2005 ඉඳලා 2015 දක්වා කාලයේදී පාඩුව රුපියල් බිලියන 636 වෙලා තියෙනවා. පෞද්ගලික ආයතන සාමාන්‍යයෙන් පාඩු ලබන්න ව්‍යාපාර කරන්නේ නෑ. ඒත් රජයට අරමුණ ලාභ ලබනවාට වඩා මහජන සුභසාධනය සලසන්න සහනාධාර දෙන එක වගේ වෙනත් අරමුණක් වෙන්න පුළුවන්. 

ආණ්ඩුව දෙන සහනාධාර ආණ්ඩුවේ ලාභ හෝ පාඩුවලට ගණනය නොකර මේ කියන රාජ්‍ය ව්‍යවසායවලට පටවන එක කාලයක් තිස්සේ සිද්ධ වුණා. ඒ නිසා මිනිස්සුන්ට බරක් දැනුණේ නෑ. සරලම උදාහරණය තමයි පෙට්‍රල් සහ ඩීසල්. අපි ඉස්සර තෙල් ගැහුවේ සහනාධාර ක්‍රමයට. ලීටරයක් මිලට ගන්න යන වියදම රුපියල් දෙසීය නම් අපෙන් ගත්තේ රුපියල් සීයයි. ඒත් ඒ පාඩුව රජයේ කියලා පෙන්නුවේ නෑ. ඒ වෙනුවට ඒ පාඩුව තියෙනවා කියලා වාර්තා කළේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලෙමයි. මේ එක හේතුවක් විතරයි. 

මීට අමතරව, මේ කියන රාජ්‍ය ව්‍යවසායවලට පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩල එහෙම ඒ ඒ තනතුර දරන්න  සුදුසුම අය නෙවෙයි. හුඟක් ඒවා දේශපාලනික පත්කිරීම්. 

රාජ්‍ය ව්‍යවසාය ඇතුලේ නැති රැකියා මැව්වා. ආයතනයට ඕනේ සේවකයෝ සීයයි නම් ඇමතිතුමාගේ කැමැත්ත අනුව දෙසීයක් දැම්මා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායවල තියෙන වත්කම් අවභාවිතා කළා. 2009 ඉඳලා 2014 දක්වා කාලයේදී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය 109 ඉඳලා 245 දක්වා දෙගුණයට වඩා වැඩි වෙලා තියෙනවා. 2017දී රාජ්‍ය අංශයේ සේවා නියුක්ත සේවක පිරිස 233,849ක්. ඔන්න ඔය විදිහටයි රාජ්‍ය ව්‍යවසාය ලංකා ආර්ථිකයට බරක් වෙලා තියෙන්නේ වගේම ඒ බර එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ. 

ඒ වගේම මේ අතරේ සහනාධාර ක්‍රමයට අඩු ගාණකට තෙල් දීලා ලබපු පාඩුව අඩු කරගන්න ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මොකද කළේ? එයාලා ගුවන් යානා ඉන්ධන සැපයුමට අය කරන ගාණ වැඩි කළා. ඒ හින්දා ශ්‍රී  ලංකාවේ ජෙට් ෆුඑල් වියදම කලාපයේ ඉහළ අගයයක් ගන්නවා. 

මේ නිසා ශ්‍රී ලංකා එයාර්ලයින් ආයතනයේ පිරිවැයෙන් 30% ක් තිබ්බේ ගුවන් යානා ඉන්ධන සඳහා වැය වන වියදම. ඒ හේතුව නිසා ශ්‍රී ලංකා එයාර්ලයින් එකේ පාඩුවත් වැඩි වුණා. මේ වගේ පාඩු ලැබිලා ඉදිද්දි මේ ආයතන දෙකම මහා භාණ්ඩාගාරයට එහෙම නැත්නම් භාණ්ඩාගාරයට යනවා. මොකද බැංකුවලින් මෙයාලට ණය දෙන්නෙ නෑ . මෙයාලගෙ ණය ගැන ඉතිහාසය එච්චර හොඳ නෑ. භාණ්ඩාගාරයෙන් මේ ආයතන දෙකටම ඇපයක් දෙනවා. එයාලා ඒක අරන් රජයේ බැංකුවලට - ලංකා බැංකුව සහ මහජන බැංකුවට ගිහින් සල්ලි ඉල්ලගන්න මේ ආයතන දෙකටම පුළුවන්. ඒ වුනත් ඒ ණය මේ ආයතන දෙකම ආපහු ගෙවන්නේ නෑ. දැන් මේ බැංකු දෙකත් අමාරු වැටෙනවා. 

රජයේ බැංකුවල ස්ථාවර තැන්පතු තියෙන්නේ රටේ ජනතාවගේ. රාජ්‍ය බැංකු වැටෙනවා කියලා කියන්නේ රටේ ජනතාවට පාඩුවක් වෙනවා කියන එකයි. එහෙම බලද්දි මේ පද්ධතියේ සම්පූර්ණ බිඳවැටීමට හේතුව වෙලා තියෙන්නේ රාජ්‍ය ව්‍යවසායවල පාඩු. ඔන්න ඔය කියන ප්‍රශ්න ආපහු ඇති නොවන විදිහටයි අපි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිපත්තිය, රාජ්‍ය ව්‍යවසාය නීතිය කෙටුම්පත් කරන්නේ. 

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිපත්තිය / SOE POLICY 

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකිරීමේ ආයතනය මගින් රාජ්‍ය ව්‍යාපාර ‌මොනවාද ඒවා පවත්වාගෙන යා යුත්තේ කෙසේද අවශ්‍ය නිති ප්‍රතිපාදන මොනවාද යන්න මාධ්‍යට නිකුත් කරලා තියෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයතනයට අනුව රාජ්‍ය  ව්‍යවසාය ප්‍රතිපත්තිතියම තමා නීතිවලට හරවන්නෙත්. එම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිපත්තියේ ප්‍රධාන කරුණු තුනයි. 

  1. පාරිභෝගිකයාට ලැබෙන භාණ්ඩ හෝ සේවාවල මිල සහ ගුණාත්මක භාවය

  2. ප්‍රවේශ වීමේ හැකියාව සහ විවෘත වෙළඳපළ 

  3. රජයට තියෙන බර අඩු කිරීම /  fiscal burden 

ඔය කියන අරමුණු තුන ඉටුකර ගන්න ප්‍රතිපත්ති නවයක් තියෙනවා.

1. රජය ආර්ථිකයට මැදිහත් වෙලා ව්‍යාපාර කරන එක ඒ තරම් සුදුසු නොවුණත්, භාණ්ඩවල ගුණත්වය පවත්වා ගෙන යාම වගේ කටයුතුවලට අවශ්‍යම වෙලාවකදී රජය මැදිහත්විය යුතුයි. එහෙම වුණාම පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙන්නේ නෑ.

2. ආණ්ඩුවට මේ වාණිජ ආයතනවල (commercial entreprises) කොටස් හිමිකාරීත්වයක් තියෙනවා නම් ඒක තියාගන්න පුළුවන් වෙන්නෙ holding company එකක් යටතේ. මේ කතාව සිංගප්පූරුවේ ටැමසෙක් මොඩල් එකට සමානයි. (අපි මේ ගැන කලින් ලිපියක සඳහන් කළා, ඔයාලට මතක ඇති)

3. මේ ආයතන සියල්ලම මුදල් අමාත්‍යාංශය යටතේ ගැසට් කළ යුතුය. දැනට තියන ආයතන හැම එකකම අයිතිය තියෙන්නේ මුදල් අමාත්‍යංශයට.

4. හැම ආයතනයක්ම සමාගම් පනතට ගන්න ඕන. සමාගම් පනත යටතේ අධ්‍යක්ෂවරුන්ට වෙන් වූ වගකීම් තියෙනවා. මේ විදිහට හැම ආයතනයක්ම එකම පනතකින් පාලනය වීමේදී පාලන පහසුවක් ඇතිවෙනවා.

5. සෑම රාජ්‍ය ව්‍යවසායක්ම ඒකාබද්ද පාලනයකට (corporate governance) යටත් වෙන්න ඕන. ආයතන පාලන සංග්‍රහය (companies governance code) එක යටතේ කොළඹ කොටස් වෙළඳපළ සහ විනිමය සහ සුරැකුම්පත් කොමිසම දාලා තියෙනවා. මේ අංශය ඉන්න හැම කෙනෙක්ම ඒක අනුගමනය කරන්න ඕනෙ.

6. සමාන තරඟකාරී පරිසරයක් (level playing field) සියලුම ආයතනවලට නිර්මාණය කරන්න ඕන. රාජ්‍ය ව්‍යවසායවලට විතරක් විශේෂ වරප්‍රසාද හිමිවිය යුතු නෑ.

7. රජයේ උදව්වෙන් ණය ගන්න එකත් (state assisted borrowing) නතර කරන්න ඕන. කලින් කිව්වා වගේ රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් ලබාගන්න බෑ. කොහොම වුනත් මේ ආයතන එක රැයෙන් අහෝසි කරලා දාන්නත් බෑ. , ඒ ඒ ආයතනයට වෙනස්කම් කරගන්න ඊට ආවේණික කාලයක් යනවා. හැම ආයතනයට ඒ නිසා පොදු කාලයක් නෑ .

8. සමහර ආයතන මෙහෙයුම් කටයුතු වගේම වාණිජ ක්‍රියාකාරකම් කරනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් ශ්‍රී ලංකාවේ වරායයන් කීපයකම (කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය වගේ) භාණ්ඩ බහාලුම් ආනයනය, අපනයනය, ප්‍රති නැව්ගත කිරීම වගේ දේවල් සිදු කෙරෙනවා. ඒ වගේම නැව්වලට අවශ්‍ය සේවාවන් සැපයීම මඟින් ආදායම් ඉපයීමත් සිද්ධ වෙනවා. 

9. සහනාධාර දෙනවා නම් ඒ පිරිවැය රජය යටතට ගන්න ඕනේ. ඒවා මේ කියන ආයතනවලට දරන්න දෙන්න බෑ. 

අන්තර්ජාතික මූල්‍ය අරමුදලක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. අපි දැන් කතා කරපු කාරණාවලට මීට ටික කාලෙකට කලින් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ නිසා ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ.

Advocata විදිහට අපි කලිනුත් කිව්වා මොනවගේ වෙනස්කම් රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් ගන්න ඕනද කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පාලා 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලුවාට පස්සේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ප්‍රතිසංස්කරණ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරේ රාජ්‍ය වියදම් අඩු කර ගැනීම, දූෂණය සහ වංචාව, ආයතන ඇතුලේ වෙන නාස්තිය අවම කිරීම සහ කාර්‍යක්ෂම ව සම්පත් භාවිත කරන්න ඕන කියන දේවල් වැඳගත් වෙනවා. ඒත් එක්කම රජය ව්‍යාපාර කරනවාට වඩා පෞද්ගලික අංශයට වඩා කාර්‍යක්ෂම සේවාවක් ලබා දෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන එක වටිනවා. ඒකෙන් නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය වෙනවා සහ රජයේ තදබල නීති රීති යටතේ අපහසුවෙන් ව්‍යාපාර කරගෙන යනවාට වඩා පහසුවෙන් සහ කාර්‍යක්ෂමව ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පෞද්ගලික අංශයට සම්පත් තියෙනවා. ඒ වගේම දැනට පවතින රාජ්‍ය ව්‍යවසායවලට යෝජනා කරලා තියෙන ප්‍රතිසංස්කරණ කරමින් ඒවායේ පාඩු අවම කරගෙන ලාභ උපයන තත්ත්වයට ගේන්න අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම වැඳගත් වෙනවා.