මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත නැත්නම් Online Safety Bill එක කියන්නේ මොකක්ද?

ඔන්න ඉතිං සාහිත්‍ය මාසය ඉවර වෙලා කියවීමේ මාසය පටන් ගත්තා. මේ මාසයේදී ඔයාලා කියවන්න ම ඕන පොතක් තමයි ජෝර්ජ් ඕවල් ලියපු 1984 කියන පොත. දැන් ඔයාලා හිතනවා ඇති Online Safety Bill එක ගැන කියනවා වෙනුවට ඇයි මේ පොතක් ගැන කියන්නේ කියලා. ඔය පොතේ තියෙන කතාවත් අපේ මේ අලුත් පනතින් ඇති වෙන්න පුූලුවන් අයහපත් ප්‍රතිඵල මොනවාද කියලා තේරුම් ගන්න වැඳගත් වෙනවා. මිනිසුන්ගේ සිතීමේ, කතා කිරීමේ, අදහස් පල කිරීමේ, නිර්මාණශීලීත්වයේ සීමා මායිම් ඇති කරන්න පාලන තන්ත්‍රයකට ඇති හැකියාව සහ ඒකේ ප්‍රතිවිපාක මොනවාද කියලා මේ පොතේ හරිම ලස්සනට කියවෙලා තියෙනවා.. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය අනුව සෑම පුද්ගලයෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට හිමිකමක් තියෙනවා. හරි දැන් අපි කෙලින් ම යමු  Online Safety Bill එක නැත්නම් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත ගැන හොයලා බලන්න.

පනත කියලා කිව්වට තාම මේක පනතක් විදිහට සම්මත වෙලා නෑ. කෙටුම්පත් අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෙනස්කම් කරන්න පුූලුවන් මට්ටමක. සමහරු කියනවා මේ පනත නිසා අනාගතයේදී සමාජ මාධ්‍යයට වැට බැඳීමක් නැත්නම් වාරණයක් වෙන්න පුළුවන් කියලා. සමාජ මාධ්‍ය කියන කාණ්ඩයට විතරක් මේ පනත සීමා කළොත් අපිට සලකන්න පුළුවන් වෙන්නේ facebook, twitter, instagram, LinkedIn වගේ දේවල් වුණාට මේ පනතින් ආවරණය වෙන වපසරිය කොහොම වෙයිද, කොතනින් නතර වෙයිද කියලා කාටවත් තාම පැහැදිලි අදහසක් නෑ. Online කියනකොට සමාජ මාධ්‍ය විතරක් නෙමේ Online තියන සියළුම web හා අනෙකුත් මාර්ගගත සේවා Video podcast, Messaging apps, gaming and streaming platforms, trading platforms වගේ දේවල් ඇතුලත් වෙනවා.. 

මේ පනත ගේන මුල් අවස්ථාවේදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ වගේ පනතක තියෙන බරපතලකම ගැන අනතුරු ඇඟෙව්වා. පසුගිය සතියේ තමයි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. එදා ඉඳන් දවස් 14 ඇතුලත මේ කෙටුම්පතට යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ ගෙවෙන කාලය ඇතුලේ මේ කියන  Online Safety Bill එක ගැන මහජන කථිකාවතක් ඇතිවීම වැඳගත් වෙන්නේ අන්න ඒ නිසයි. 

ඇඩ්වොකාටා ආයතනය විදියට මේ පනත අපිට ඇයි වැදගත් වෙන්නේ? 

ඒකට හේතුව තමයි මේ පනත ආර්ථිකයට සෘජු ලෙස බලපාන නිසා. ලෝක ආර්ථිකය කෘෂි කාර්මික ආර්ථිකයේ ඉදලා කර්මාන්ත හා සේවා ආර්ථික පහුකරලා දැන් ඇවිත් ඉන්නේ ඩිජිටල් ආර්ථිකයකට. ඉතින් මේ වගේ සීමාකිරීම් එක්ක අපි කොහොමද රටක් විදියට ඩිජිටල් ලෝකය ජයගන්නේ? අපිට ආපස්සට ගිහිං පැරණි ක්‍රම එක්ක වෙළඳ කටයුතු කරන්න බෑ. මොකද එහෙම කිරීමෙන් ම අපේ තරඟකාරීත්වය, තාක්ෂණික දියුණුව පසුබෑමකට ලක් වෙනවා. 

Online Safety Bill එක සහ ජාතික ආරක්ෂාව

මේ පනත ගෙන ඒමට පාදක වුණ කාරණය විදිහට දක්වන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ලංකාව තුල ඩිජිටල් අවකාශයේ සැරිසරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කියන නිමිත්ත. මේකේදි 'තහනම් කාර්‍යය' කියලා වචනයක් ඇතුලත් කරලා තියෙනවා. මේ තහනම් කාර්‍යය කියන එක සම්බන්ධයෙන් පනතේ සඳහන් වැරදි 14 තියෙනවා වගේම ඒවා තීරණය කරන්න පංච පුද්ගල කමිටුවක් ඉන්නවා. ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව තමයි ඒක පත් කරන්නේ. පංච පුද්ගල කමිටුවට පුළුවන් වෙබ් අවකාශයට එකතු කළ අදහසක් වැරදිද නැද්ද කියලා තීරණය කරන්න. ඉතිං රටක ඉන්න දහස් ගණනක පුද්ගලයන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තක්සේරු කරන්න පුද්ගලයන් පස් දෙනෙක්ට පුළුවන්ද ඒක කොයි තරම් සාර්ථකද කියන එක ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි කමිටුව තීරණය කරනවා නම් යම් අන්තර්ගතයක් වෙබ් අවකාශයට නොගැලපෙනවා කියලා එයාලට පුළුවන් අදාල වෙබ් අඩවියේ ඇඩ්මින්ට පැය 24 ඇතුලත ඒක අයින් කරන්න නියෝග කරන්න. ඒ ගැන ප්‍රශ්න කරන්න හෝ විමර්ශන කිරීමකට ඇඩ්මින්ට හැකියාවක් නෑ. 

පනතේ බලපෑම කාටද?

මූලිකම වශයෙන් පනත බලපාන්නේ සමාජ මාධ්‍යවලට කියලා කතා බහක් වුණාට, ඩිජිටල් අවකාශයේ e-mail, e-commerce platforms,online services,trading platforms, education, entertainment සහ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට සපයන රාජ්‍ය සහ පුද්ගලික කියන සේවා ආදී සියල්ලකට මේ පනත අදාල වෙන්න පුලුවන්. තාම මේ පනත ක්‍රියාත්මක වෙලා නැති නිසා ඒකේ වපසරිය, ඉලක්කගත පිරිස, ඉලක්කගත ක්‍රියාකාරකම් (post, share, comment,like) සැබෑ අරමුණ කියන දේවල් දඩුවම් ආදී කිසිවක් පැහැදිලි නෑ. 

Online Safety Bill එක ගේන්න හේතු විදිහට සමාජ මාධ්‍යවල සිදු වන මිනිසුන් නොමඟ යැවීම, කලහ කිරීම්, අසැබි දර්ශන ප්‍රදර්ශනය කිරීම්, තර්ජනය කිරීම්, අධිකරණයට අපහාස කිරීම, අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතියක් වන ප්‍රකාශවලින් වැළැක්වීම  වගේ දේවල් සලකන්න පුළුවන්. ඒ වුණත් දැන් තියෙන තාක්ෂණික දියුණුව නිසා අසැබි දර්ශන වගේ දේවල් කෘතිම බුද්ධිය භාවිතයෙන් ස්වයංක්‍රීයව ම ඉවත් වෙනවා. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වගේ දේවල්වල ප්‍රශ්න ඇති වුණා කියලා සීමා මායිම් පනවලා සියල්ලන්වම පීඩාවට පත් වෙන විදිහට, අධිකරණයට යාමට පෙර පවතින කමිටුවක් හරහා මිනිසුන්ගේ ප්‍රකාශන අයිතිය සීමා කරන එක ඒ තරම් සුදුසු නෑ.

ඩිජිටල් ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

Online Safety Bill එක ගෙන ඒම සම්බන්ධයෙන් Asian International Coalition එකෙන් යම් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඒ සංවිධානය ඇතුලේ Google,Meta,  Booking.com, You Tube, Whatsapp, Facebook, LinkedIn, Apple, Twitter සහ Amazon වගේ ඩිජිටල් සේවා සපයන  දැවැන්ත ආයතන රැසක් ඉන්නවා. නීති මඟින් මහජන සංවාද හා නවෝත්පාදන සීමා කළොත් ඩිජිටල් ආර්ථිකයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවට වාණිජමය වශයෙන් අන්තර්ජාල පහසුකම් හඳුන්වාදීම සිද්ධ වෙලා තියෙන්නේ 1995 වසරේ. අද වෙනකොට ලංකාවේ ජනගහනයෙන් 66% / මිලියන 13 පමණ පිරිසක් අන්තර්ජාල, ඩිජිටල් පහසුකම් භාවිත කරනවා. හැබැයි කුමන හෝ සමාජ මාධ්‍ය ජාලයක් භාවිත කරන පිරිසට අයිති වෙන්නේ මිලියන 10 වගේ පිරිසක්. අද කාලයේ හුඟක් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්වයං රැකියා ආදිය තමන්ගේ අලෙවි ප්‍රවර්ධන කටයුතු, වෙළඳාම්, බිල්පත් ගෙවීම් ආදිය මාර්ගගත ක්‍රමයට / ඔන්ලයින් ක්‍රමයට තමයි කරන්නේ. ඉස්සර වගේ වෙබ් අඩවි පවත්වාගෙන යාම අවශ්‍ය නෑ, තමන්ගේ Facebook, Instagram, Whatsapp ගිණුම් පාවිච්චි කරලා තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යනවා. 

විශේෂයෙන් කොව්ඩ් වසංගත කාලයේ බොහෝමයක් ව්‍යාපාර මාර්ගගත ක්‍රමවලට හුරු වුණ නිසා මේ වගේ පනතකින් නිදහස සීමා වෙලා සමාජ මාධ්‍ය සහ අනෙකුත් වෙබ් අවකාශයේ ඉන්න ආයතන අපේ රටින් යන්න ගියොත් පරිශීලක පිරිසට තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යන්න තිබ්බ අවකාශය නැත්තටම නැති වෙනවා. හිතලා බලන්න ඉස්සර වගේ පත්තරවල, ලීෆ්ලට් සහ බැනර්වල දාලා මේ වගේ කුඩා පරිමාණ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්ද කියලා. 

තවත් හොඳ උදාහරණයක් තමයි ඩොලර් උපයන්න කියාපු ලංකාවේ සංචාරක ව්‍යාපාරය. ඒ වෙනුවෙන් ඩිජිටල් අවකාශයේ දායකත්වය කියලා නිම කරන්න බෑ. වෙබ් අඩවි, වීඩීයෝ, ඉන්ෆ්ලුවන්සර්ලා (සමාජ ජාලා ප්‍රවර්ධකයන්) වගේ අයගේ කාර්‍යභාරයටත් වැට කඩුළු බැදෙනවා. Trip Advisor, Booking.com වගේ වෙබ් අඩවිවලටත් මෙයින් බලපෑමක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ම අපි කවුරුත් හුරු වෙලා ඉන්නවා සේවාවක් ලබා ගන්න කලින් ඒ සේවාව කලින් ලබා ගත්ත අයගේ reviews බලන්න. මේක සංචාරක කර්මාන්තයට සම්බන්ධ සේවාවන්ට විශේෂයි. ඉතිං සමාජ මාධ්‍ය ඇතුළු අනෙකුත් වෙබ් උපකාරක සේවා මිනිසුන්ට මේ සම්බන්ධයෙන් ඉතාමත් වැඳගත් වෙනවා. මේ වෙලාවේ ලංකාවට ඕන ඩොලර් උපයන ක්‍රම. ඉතිං ඩොලර් උපයන්න තියෙන ක්‍රමවල නිදහස මේ විදිහට සීමා වෙනවා නම් නිදහස් වෙළඳපළ සංකල්පයට බාධා වෙනවා. 

පකිස්ථානයේත් මේ වගේම පනතක් ඉම්‍ රාන් ඛාන්ගේ පාලන සමයේදී ගේන්න ගිය වෙලාවේ එයාලා යෝජනා කළා ලෝක ප්‍රසිද්ධ මේ කියන සමාජ මාධ්‍ය ආයතන සියල්ලකටම පාකිස්ථානය තුල ලියාපදිංචි වෙන්න වගේම තමන්ගේ කාර්‍යයාලයක් පකිස්ථානයේ විවෘත කරන්න කියලා. මේ කියන යෝජනාවලට එකඟ වුණොත් අනිත් රටවල්වලිනුත් ඒ වගේ ඉල්ලීම්වලට යටත් වෙන්න වෙයි කියලා හිතපු මේ ආයතන, තමන් පකිස්ථානයේ සේවා සපයනවාට වඩා ඉන් පිටවෙන එක ලේසියි කියලා කල්පනා කළා. තත්ත්වය ඒ තරම් දුරදිග නොගියත්, ඒ වෙලාවේ පකිස්ථානයේ හිටපු මිලියන 70 වගේ සමාජ මාධ්‍ය පරිශීලක පිරිසක් හිටියා. ඒ තරම් විශාල පරිශීලකයන් ප්‍රමාණයක් ඉඳලත් අන්තර්ජාල සේවා සපයන දැවැන්ත තාක්ෂණික ආයතන ඒ වගේ තීරණයකට යන්න ලෑස්ති වුණා නම් ලංකාවේ මිලියන 10 ගැන කවර කතාද?

ඉදිරි පියවර‍

Online Safety Bill එක කරළියට එන්නේ තවත් සැලකිව යුතු ප්‍රශ්න ගොඩක් තියෙන පසුබිමක. මේ වෙලාවේ ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ ණය බර සහ ඩොලර් හිඟය කිව්වොත් වැරදි නෑ. ඒවා විසඳගන්න නම් ආර්ථිකයේ නිදහස, තරඟකාරීත්වය ඉහළ නැංවීම, රජය ආර්ථිකයට මැදිහත් වෙලා නිදහස් ආර්ථිකයට බාධා කරන දැඩි නීති රීතී පැනවීම කියන කාරණා නැවැත්විය යුතු වෙනවා. ලංකාව දැනටත් ආර්ථික නිදහස, ව්‍යාපාර කරගෙන යාමේ පහසුව කියන අංශවලින් පෙන්වන්නේ දුර්වල කාර්‍යසාධනයක්. ඒ නිසා ලංකාවේ ආයෝජන කටයුතුවලට පෙළඹෙන පිරිස අඩු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මිනිසුන්ගේ ව්‍යාපාරික නිදහස සමාජ මාධ්‍ය ඔස්සේ සීමා මායිම් පැනවෙනවා නම් ඒක ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කරන්න පුළුවන්.

මේ වෙලාවේ බොහෝමයක් පාර්ශව Online Safety Bill එකේ තියෙන තර්ජනාත්මක ස්වරූපය සැලකිල්ලට ගෙන පනත හකුලා ගන්නා ලෙසට බලපෑම් කරමින් ඉන්න බව පෙනෙන්නට තියෙනවා. ඇත්තටම මේවගේ පනත් වෙනුවට රටේ ආර්ථිකය පනගන්වන්න පුළුවන් ප්‍රතිසංස්කරණ ඇතුලත් පනත් ගෙන ඒමට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. නැත්තම් මේවාවලට ගත වෙන කාලය, ශ්‍රමය, ධනය නිරපරාදේ අපතේ යෑමක් විදියට තමා අපි දකින්නේ. ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනස්කම් නොකර අපිට ඉදිරියට යන්න බෑ. IMF එකත් පැහැදිලිව කියලා තියනවා ඒ කාරණය. අපි ණය අරං ණය පියව පියවා හිටියයි කියලා රටක් විදිහට දියුණු වෙන්නවත් ලෝකේ ජයගන්නවත් බෑ. ඒ නිසා ආර්ථිකයේ සැබෑ වෙනසක් වෙන්න ඕන. රටේ තියෙන සැබෑ ප්‍රශ්නය තේරුම් අරන්, නිෂ්පාදනය වැඩි කරන, රටට ඩොලර් ගේන්න පුළුවන් විදිහට, ආයෝජකයන් ආකර්ශනය කරගන්න අපි රටක් විදිහට වැඩ කටයුතු කරන්න ඕන. ඒකට ආර්ථික නිදහස කියන සාධකය ඉහළින් ම තියෙන බව මතක තියාගෙන අපි ප්‍රතිසංස්කරණ කරන්න ඕන. 

-දිල්මිණී හසින්තා අබේරත්න