මිල පාලනය සහ වෙනිසියුලාවේ අර්බුදය

වෙනිසියුලාවේ දරුණු තත්වයක් උද්ගත වී ඇත.  ජාත්‍යන්තර වාර්තා වලට අනුව වෙනිසියුලාවේ  ආර්ථිකය පසුගිය වසරේ පමණක් 10% කින් පමණ හැකිලී ඇත.  මේ වසර අග වන විට එම රටේ ආර්ථිකය 2013ට සාපේක්ෂව 23% අඩු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.  වෙනිසියුලාවේ උද්දමනය 1600% කින්  වැඩි වී ඇත.  ආර්ථික දත්ත වලට වඩා ශෝකාන්තය, එහි ඇති මනුස්ස ජීවිත පිලිබඳ කතාය.  එක් වාර්ථාවකට  අනුව, දරුණු ආහාර හිඟය නිසාම දැන් වෙනිසියුලාවේ  ජනතාව සුනඛයන් පවා ආහාරයට ගැනීමට පෙළඹී ඇත. අනෙත් අතට පසුගිය වසරට සාපේක්ෂව ඔවුන්ගේ බර කිලෝ ග්‍රෑම් 8.7කින් පමණ අඩු වී ඇත.

වෙනිසියුලාවේ දරුණු යුද්ධයක් නොමැත.  අපරාධ රැල්ලක්, නියඟයක් හෝ වෙනත් ස්වභාවික ව්‍යසනයක්  හෝ නොමැත. අවුරුදු 50කට පෙර වෙනිසියුලාව ලතින් ඇමරිකාවේ ඉතා ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි.  ආර්ථික වශයෙන්ද බ්‍රිතාන්‍යට ආසන්න මට්ටමක  පැවත තිබිණි.  වෙනස් වුයේ කුමක්ද? ඔවුන් අනුගමනය කල වැරදි ආර්ථික ප්‍රතිපත්තිය පමණි. වෙනිසියුලාවේ උද්ගත වී ඇති මෙම තත්වය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය මත පදනම් වූ විහින් ඇති කරගත්  තත්ත්වයකි.  

වෙනිසියුලාවේ ආර්ථිකය බොර තෙල් මත පදනම් වූවකි .  එරට අපනයනයන්ගෙන්  90%ක් ම පදනම් වී ඇත්තේ බොර තෙල් මතය.  ඇතැම් විශ්ලේෂකයන් මෙම කඩාවැටීම තෙල් මිල පිළිබඳ තත්වයක් ලෙස හඳුන්වයි.  නමුත් සත්‍ය ඊට වඩා වෙනස්ය.  2000 වර්ශයට ආසන්න කාල වලදී බොර තෙල් බැරලය $100 කට වඩා අධික මිලකට ඉහල ගියේය.  එයින් රහ වැටුනු සහ කෙටි කාලීන ආර්ථික මිථ්‍යා වලින් අන්ධ භක්තිකවූ ජනාධිපති  හියුගෝ චාවේස් තම බලය තහුවුරු කර ගැනීම පිණිස "චාවිස්මෝ" නමැති ජනතාවාදී යි කියා ගත් ප්‍රතිපත්ති අනුගමනය කෙළේය.  නමුත්,  2014 වන විට තෙල් බැරලයක මිල කඩා වැටෙන්නට පටන් ගත්තේය.  සිදුකළ යුතුව  තිබුනේ වෙළඳපොළ  ආර්ථික න්‍යායට අනුව තම මුදල වන බොලිවාර් අවප්‍රමාන ('බාල්දු') කිරීමයි. නමුත් එවිට ආනයනය කරන බඩු වල මිල ඉතා ඉහළ යනු ඇත.  මෙය තමන්ට අවාසි සහගත බව තෙරුම්ගත්  රජය , තම මුදල් අනුපාතය ව්‍යාජ ලෙස ඉහළ පවත්වා ගෙන ගියහ.  ආනයනද සීමා කළේය.  

නමුත් සිදුවූයේ වෙනත් දෙයක් ය.  ආනයන අඩුවනවාත් සමඟම වෙළඳපොළ තුල ඇතිවූ භාණ්ඩ හිඟය නිසා බඩු මිල ඉහල යන්නට පටන් ගත්තේය.  විසඳුමක් ලෙස රජය විකුණුම් මිල පාලනය කෙරෙන මිල පාලන නීති ගෙන ආවේය.  නමුත් එම උත්සහයද අසාර්ථක විය.   තෙල් ආදායම නැතිව වෙනිසියුලාවේ අයවැය පරතරය වැඩි විය. සිදුවිය යුතුව තිබුනේ වියදම් අඩු කිරීමය, නමුත් පිළියමක්  ලෙස එරට මුදල් අච්චු ගැසීමට රජය යොමු විය  . එහි ප්‍රතිඵලය වූයේ පාලනය කල නොහැකි තරම් වූ උද්දමනයකි.   

හියුගෝ චෑවේස් ජනාධිපති ධූරයට පත්ව වැඩි කල් නොගොස් විදේශ විනිමය සඳහා මුදල් පාලන මණ්ඩලයක් අලුතින් පත් කළේය. අනතුරුව මූලික ආහාර 400 ක් පමණ සංඛ්‍යාවක් සඳහා මිල පාලනය කරන ලෙස නියෝග ගෙනෙන ලදි . ඒ මිල පාලනය ගෙනාවේ “උද්ධමනය වළක්වා ගැනීමට සහ දුප්පතුන් බේරා ගැනීම” සඳහා බව චෑවේස්ගේ රජය රටවැසියන්ට පොරොන්දු විය.

බොහෝ රටවල් වල මිල පාලනය ගෙන එන්නේ  රටේ උද්ධමනය පාලනය කර ගත හැකි ක්‍රමයක් හැටියට පෙන්වමිනි. රටක බඩු මිල  ඉහළ යද්දී රටවැසියන් දකින්නේ ව්‍යාපාරිකයන් තමන් නිෂ්පාදනය කරන බඩුවල මිල ඉහළ දමන ආකාරය පමණයි. ඒ නිසා මිල පාලනයක් ගෙනැවිත් ව්‍යාපාරිකයන්ට බඩු මිල ඉහළ දැමීම තහනම් කිරීමෙන් රටේ උද්ධමනයක් ඇතිවෙන්නේ නැතැයි සිතන්නට ජනතාව හුරු වී සිටිති.

නමුත් සැබෑ ලෝකයේ දී, යම් රටක ඉහළ යන බඩු මිල ගණන් යනු උද්ධමනයක් හටගෙන ඇති බව පෙන්වන ප්‍රධාන ලක්ෂණයයි. උද්ධමනයක් ඇතිවෙන්නේ විශාල වශයෙන් රටේ මුදල් ප්‍රමාණය වැඩිකරන ලද නිසයි. ඉතින් උද්ධමනය යනු බඩු මිල ඉහළ යෑම කියනවා වෙනුවට, ආණ්ඩුව විසින් මුදල් ප්‍රමාණය වැඩි කිරීමට මැදිහත් වී සිටීම යැයි කීම වැඩියෙන් නිවැරදි හැඳින්වීමයි.

මිල යනු සියලු රටවැසියන් තම ආර්ථික කටයුතු වල දී තමන් වෙනුවෙන් අරමුණු කරගත් සැලසුම් සඳහා තීරණ ගන්නට පාවිච්චි කරන අතකොලුව නැතහොත් ඒකකයයි. සෑම වෙළඳපොළක්ම, සෑම කර්මාන්තයක්ම, සෑම වෘත්තියක්ම, සෑම නිෂ්පාදනයක්ම, සෑම පරිභෝජනයක්ම හෙවත් සියලුම ආර්ථික කටයුතු අතර සුසංවාදය පතුරුවන්නේ සහ ආර්ථික කටයුතුවල යෙදෙන සියලුම දෙනාටම වැඩි යහපත ඉටුවන්නේ   මිල පාලනයක් නොමැති නිදහස් වෙළඳපොළ ක්‍රමය තුළයි.

ඉල්ලුම සහ සැපයුම යන නිර්ණායක දෙක මත මිල ස්වභාවිකවම පාලනය වේ. කොතරම් බලවතෙකු  වුවත්,හියුගෝ චෑවෙස්ගේ කැමැත්ත නිසා වූවත්, වෙනස් කරන්නට බැරි වූවකි, මිල යන ස්ංකල්පය . අස්වාභාවික වූ මිල පාලනයකින් සිද්ධ වෙන්නේ හොඳ මුදල් වලින් මිල දී ගත හැකි බලය නරක මුදල් මත පැටවීම බව ලොවට මුලින්ම හෙළිදරව් කරන ලද්දේ 1914 දී ‘ආර්ථික නීති ධර්මතාවයේ පාලනය’ (Control of Economic Law) ලියූ ඉයුජින් වොන් බොයිම්-බ්‍රැවර්ක් විසින් ය.

මුදල් ප්‍රසාරණය සහ මිල පාලනය නිසා අද අසරණ වී සිටින්නේ වෙනිසියුලාවේ රාජ්‍ය පාලන බලයේ සිටින අය නොවෙති. මුදල් පාලනය සහ මිල පාලනය පැවතිය ද, වටිනාකම වේගයෙන් පහත යන  මුදල් නෝට්ටු අතැතිව, බඩු හිස් කඩ රාක්ක දිහා බලමින් කුසගින්නේ පෙළෙන්නේ අද වෙනිසියුලාවේ බලයේ සිටින අය නොව එහි ජීවත්වන අහිංසක වැසියන් සහ ඔවුන්ගේ දරු පැටවුන්ය.

වෙනිසියුලාවේ කතාව ශ්‍රී ලංකාව වැනි රට වලට කදිම නිදසුනක් සපයයි .  එකක් ඊනියා ජනතාවාදී ප්‍රතිපත්ති යනු හුදෙක් සීමිත පිරිසක්  බලයේ සිටීමට ගන්නා වංක තීරණ බවයි. අනික මිල පාලනය වැනි ප්‍රතිපත්ති වල ඇති චපල බවයි.  වෙනිසියුලාවේ තරම් නැතත් මිල පාලන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ යම් කර්මාන්ත අංශ වල ක්‍රියාත්මක වේ. මෙම මිල පාලන ප්‍රතිපත්ති එම කර්මාන්ත ක්ශේත්‍ර වල  වල දියුණුවට පැහැදිලි බාධා පමුණුවයි.  

සිංගප්පූරුවක් වෙන්නට අපිට පුළුවන් කියමින් කාලයෙන් කාලයට පාරම්බාන  ශ්‍රී ලංකාව අද බංකොළොත් වී ඇති වෙනිසියුලාවේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන්නට පටන්ගෙන ඇත්තේ මන්දැයි කණගාටුවෙන් වුවත්  ඇසිය යුතු ප්‍රශ්නයකි.

අරුණි ශපිරෝ සමග  ඇඩ්වොකාටා ආයතනය.  www.Advocata.org